පොලිස්පති වෘත්තීය සමිති "පිලිකාවක්" ලෙස හංවඩු ගසයි: කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සඳුදා, පැවති සම්මන්ත්‍රනයක් අමතමින්, ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති 'පිලිකාවක්' වී ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ය.

දේශබන්දු තෙන්නකෝන් ෆේස්බුක්)

“මේ රටේ පවතින වෘත්තීය සමිති පිලිකාව මේ රටේ ආයතන විනාස කරමින්, සමාජය විනාස කරමින් සමාජ පරිහානියට දායක වෙන මොහොතක ශ්‍රී ලංකා පොලිසියේ කොඳු නාරටිය බඳු පරීක්ෂක ශ්‍රේනියේ නිලධාරීන්ගේ සංගමයේ වර්තමාන නිලධාරීන් ලෙස දැනුම ආකල්ප සහ කුසලතා වර්ධනය කිරීමට මෙ වැනි ඵලදායී කටයුත්තක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වශයෙන් මම අතිශය සතුටට පත් වෙනවා” යැයි ඔහු ප්‍රකාශ කලේ ය. ඔහු මෙසේ ප්‍රකාශ කලේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සම්පත් දායකත්වයෙන් පැවති දින දෙකක පුහුනු සැසියක දී ය.

පොලීසියේ ප්‍රධානියාගේ මෙම ප්‍රකාශය එල්ල කෙරී ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ගෙනයන රුදුරු කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව වැඩෙන කම්කරු පංතික අරගල රැල්ලට එරෙහිවයි. එම අරගල මඩිනුවස් ජනාධිපති වික්‍රමසිංහ සැලසුම් කරමින් සිටින පොලිස් රාජ්‍යයක ඇඟවුම් පොලිස්පතිවරයාගේ ප්‍රකාශය තුල ගැබ්ව පවතී.

ගෝඨාභය රාජපක්ෂ පාලනය පෙරලා දැමූ 2022 මහජන අරගලය මධ්‍යයේ ජනාධිපති ධූරයට පත් වූ වික්‍රමසිංහ, ධනේශ්වරයේ සියලුම කොටස්වල ආශිර්වාදය සහිතව, රුදුරු පොලිස් මර්දනයක් මුදා හලේ ය. 2022 ජූලි 22 වැනි දා ගෝල්ෆේස් විරෝධතා කඳවුරට පහර දී විසුරුවා හල පොලීසිය විරෝධතාවන්ට සම්බන්ධ වූ දහස් ගනන් අත් අඩංගුවට ගනු ලැබූහ. එතැන් පටන් කොලඹ නගරයේ පැවැත් වුනු ඉතා ම කුඩා විරෝධතාවකට පවා එරෙහිව දැවැන්ත පරිමානයෙන් පොලිස් සහ විශේෂ කාර්ය බලකා බටකායන් බලමුලු ගැන්වුනි.

මෙම වසරේ මෙතෙක් පැවති සෑම කම්කරු විරෝධතාවකට ම පාහේ පොලිස් බලය යොදා පහර දී ඇත. ඉහල යන ජීවන වියදම් මැද වැටුප් වැඩි වීම් ඉල්ලා කොලඹ දී පැවැත් වුනු ගුරු විරෝධතාවට එල්ල කෙරුනු ප්‍රහාරය එහි වඩාත් ම ආසන්න සිදුවීම යි.

තෙන්නකෝන්ගේ ප්‍රකාශය පැමිනෙන්නේ, කම්කරු පංතික සටන් තලා දමනුවස්, වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ සමස්ත ධනපති සංස්ථාපිතය දියත්කොට ඇති විසකුරු උද්ඝෝෂනයක් මධ්‍යයේ ය.

පසු ගිය සතියේ රාජ්‍ය අංශයේ දෙ දින වැඩවර්ජනයෙන් සහ දුම්‍රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයෙන් අනතුරු ව රැස් වූ කැබිනට් මන්ඩලය “වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා තීරනාත්මක අංශවල සිදු වන කඩාකප්පල් වීම් අවම කර ගැනීමට නීති සොයා බැලීම” සම්බන්ධයෙන් අවධානය යොමු කලේ ය. පසු ව පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයෙකු වන අමාත්‍ය බන්දුල ගුනවර්ධන “වෘත්තීය සමිති ත්‍රස්තවාදීන්” යැයි තර්ජනය කලේ ය.

මෙ සියලු ම දෙයට යටින් පවතින්නේ, විදේශ නය ආපසු ගෙවීම සහ මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීම අරමුනු කර ගත් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල කෙසේ හෝ ක්‍රියාවට දැමීමේ පාලක පංති උත්සුකය යි. දැනට ක්‍රියාවට නංවා ඇති ආරම්භක කප්පාදු වලට එරෙහිව වර්ධනය වී ඇති පංති අරගල රැල්ල සම්බන්ධයෙන් ගත්කල, පොලිස් රාජ්‍යයක් ඇටවීමෙන් තොර ව, ජාමූඅ හි සමස්ත න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවිය නොහැකි වෙතැයි ආන්ඩුව ඇතුලු ධනපති සංස්ථාපිතය ගනන් බලයි.

මේ වසරේ පෙබරවාරියේ දී ජනාධිපති වික්‍රමසිංහ විසින්, වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කල තෙන්නකෝන් එම තනතුරේ ස්ථිර කලේ, එවන් පොලිස් රාජ්‍යයක පොලීසිය මෙහෙයවීම සඳහා සුදුසුම පුද්ගලයෙකු ලෙස ඔහු හඳුනාගෙන තිබූ බැවිනි. තෙන්නකෝන් යනු තම නිලය අවභාවිතයේ යොදමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනයෙන් වරදකරුවෙකු වූවෙකි. ඔහු පොලිස්පතිවරයා ලෙස ස්ථිර කෙරුනේ දැවැන්ත මහජන විරෝධයක් මැදයි.

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ මුවාවෙන් තෙන්නකෝන්ගේ නායකත්වයෙන් දියත් කෙරුනු 'යුක්තිය' පොලිස් මෙහෙයුමේ සැබෑ අරමුන, කම්කරු පන්තියේ වැඩෙන පන්ති අරගල රැල්ල මර්දනය කිරීම බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය දිගින් දිගට ම අනතුරු ඇඟවී ය. මෙම මෙහෙයුම යටතේ පොලිස් මර්දන යන්ත්‍රය නව හැකියාවන්ගෙන් සහ ආයුදවලින් සන්නද්ධ කෙරුනි.

කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව පොලිස් රාජ්‍යයක් ඇටවීමේ ලා ධනපති මාධ්‍ය ලියනප්පුලා සහ කියනප්පුලා ප්‍රධානතම කාර්යයක් ඉටු කරති. පසුගිය සඳුදා ඩේලිමිරර් පුවත්පතේ පල කෙරුනු අමීන් ඉසදීන් ගේ ලිපියක් තුල පන්ති ක්‍රියාමාර්ග ත්‍රස්තවාදයට සමාන කෙරෙන අන්ත ප්‍රතිගාමී සූත්‍රයක් ඉදිරිපත් කර තිබුනි. 'ත්‍රස්තවාදීන්' ආන්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට 'මහජනතාව ප්‍රාන ඇපයට ගන්නා ආකාරයෙන් ම වෘත්තීය සමිති ද ආන්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට මහජනතාව ප්‍රාන ඇපයට' ගන්නා නිසා වැඩවර්ජන ද 'ත්‍රස්තවාදී ක්‍රියාවන්' යැයි ලිපිය පවසයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන සෙයක් මවා පාමින්, තත්‍ය වශයෙන් එයට තවත් විස දල සවිකොට ගෙන ඒමට නියමිත නව ත්‍රස්ත විරෝධී පනත, අටවමින් සිටින පොලිස් රාජ්‍යයේ මූලික අවයවයකි. එය, තෙන්නකෝන් ගේ ප්‍රකාශය වැනි ප්‍රකාශයන්ට පමනක් නොව, එවන් 'පිලිකා' ඉවත් කිරීමට, නැතහොත් කම්කරු පංතික අරගල තලා දැමීමට අවශ්‍ය නෛතික පදනමක් ම නිර්මානය කර දෙයි.

“ත්‍රස්තවාදී වරදක්” යනු “මහජනයා හෝ ඔවුන්ගෙන් කොටසක් බියවැද්දීම” මෙන් ම “ලංකාවේ ආන්ඩුව හෝ වෙනත් ඕනෑ ම ආන්ඩුවක් හෝ ඕනෑ ම ජාත්‍යන්තර සංවිධානයක් ඕනෑ ම ක්‍රියාවක් කිරීමට හෝ කිරීමෙන් වැලැක්වීමට වැරදි ලෙස හෝ නීති-විරෝධී ලෙස බල කිරීම” යයි එම පනත් කෙටුම්පතේ සඳහන් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මෙම වසර මුල ප්‍රකාශයට පත් කල “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රනය” නමැති කෘතියේ 2022 මහජන නැගිටීම “ත්‍රස්තවාදය” ලෙස නම් කරනු ලැබ තිබීම පාලක ප්‍රභූවේ අධ්‍යාශයන් මැනවින් විශද කරයි.

එවන් මහජන අරගලයක් පුපුරා යාමේ ඕනෑ ම විභවයක් ඉඩ නොතියා වහා ම මර්දනය කල යුතු යි. පාලක ප්‍රභූවේ ආස්ථානය එයයි.

පසුගිය වසර දෙක තුල සෑම වර්ජනයක දී ම ආන්ඩුව රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝග ක්‍රියාත්මක කල අතර මාර්ගගත සුරක්ෂිතතා පනත, ප්‍රතිත්‍රස්ත පනත ආදී නව මර්දනකාරී නීති ගනනාවක් ම හඳුන්වා දීමට කටයුතු කලේ ය.

කෙසේ නමුත්, මහජන අරගලය පැවති සමයට වඩා ජීවන කොන්දේසි එන්න එන්න ම දුෂ්කර කෙරුන පසු ගිය වසර දෙක තුල රනිල් වික්‍රමසිංහ තම පාලනය ගෙනගියේ පොලීසියේ මර්දනීය පියවරයන්ගේ සහ මර්දනකාරී නීතිවල පිහිටෙන් පමනක් නොවේ; වෘත්තීය සමිති ක්‍රමානුකූල ව පන්ති අරගල දියාරු කරන ආකාරයෙන් ගෙන ගිය පිලිවෙත්වල ද ආධාරයෙනි. මෙම සමිති ධනපති පන්තියේ ලාභ අර්බුදය පිලිගන්නා අතර ම එයට අනුකූල ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විධානිත කප්පාදුව පිලිගනී.

පොලිස්පති තෙන්නකෝන්ගේ ප්‍රකාශය වහාම ක්‍රියාත්මක වියයුතු සංඥාවක් ලෙස සියලු කම්කරුවන් විසින් ගත යුතු ව ඇත. සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල, “ඉහල වැටුප් දිනා ගැනීමට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව දේශපාලන මහ වැඩවර්ජනයක් සූදානම් කරමු!” සහ “ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!” යන ප්‍රකාශ තුලින් ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් වැදීමේ සංයුක්ත ඉදිරි දර්ශනයක් සහ ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කර ඇත. එම ප්‍රකාශ හදාරන ලෙස සියලු කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ අවශේෂ පීඩිතයන්ගෙන් ඉල්ලා සිටිමු.

වැඩිදුර කියවන්න

Loading