ඩේලි මිරර් ලියුම්කරු පන්ති අරගලවලට "වෘත්තීය සමිති ත්‍රස්තවාදය” ලෙස පහරදෙමින් රාජ්‍ය මර්දනයට දිරි දෙයි

ජූනි 12 සිකුරාදා, ඩේලිමිරර් පත්‍රය “වෘත්තීය සමිති ත්‍රස්තවාදය: විසඳුමක් තිබේ ද?” යන මැයෙන් ලිපියක් පල කරමින් පන්ති අරගල “ත්‍රස්තවාදයට” සම කරමින් ඒවා මර්දනයට ආන්ඩුව “හිස් කතා පැත්තකට දමා මර්දනකාරී පියවර ක්‍රියාවට දැමිය යුතුයයි උපදෙස් දී තිබේ.

ලිපියේ කර්තෘ වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන අමීන් ඉසදීන් ය. ඔහුගේ ලිපිය පෙන්නුම් කරන්නේ, ලංකාවේ වැඩෙන පන්ති අරගල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) වැඩපිලිවෙල අර්බුදයට යැවිය හැකි වෙතැයි ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සහ මහා ව්‍යාපාරකරුවන්ට පවතින කනස්සල්ල හා භීතියයි. එය කම්කරු පන්තියට අවවාද කරන්නේ “කැපකිරීමේ මනෝගතියකින්” ධනපති ආන්ඩුවේ සමාජ ප්‍රහාර විඳ දරා ගත යුතු බවයි.

ඔහුගේ මෙම විසකුරු ලිපිය පලවූයේ, ගිය සතියේ සඳුදා හා අඟහරුවාදා රාජ්‍ය අංශයේ සේවකයන් මිලියනයක් පමන සහභාගී වූ වර්ජනවලට සහ දුම්‍රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයට එරහිව ආන්ඩුවේ බුරාපැනීමත් සමග ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් පරිදි, වෘත්තීය සමිති ක්‍රියා නිසා තීරනාත්මක අංශවල සිදුවන කඩාකප්පල්වීම් අවම කර ගැනීමේ නීති සොයා බැලීම ගැන පෙරදින කැබිනට් මන්ඩලයේ රැස්වීමේදී අවධානය යොමුවූ බව ජූලි 10 දා එහි තීන්දු දැනුම්දීමේ රැස්වීමේදී ඇමති බන්දුල ගුනවර්ධන ප්‍රකාශ කලේය. පසුදා පැවති පුවත්පත් සාකච්චාවකදී, ඇමති බන්දුල ගුනවර්ධන වර්ජනය කරන්නන් 'වෘත්තීය සමිති ත්‍රස්තවාදීන්' යයි තර්ජනාත්මක ව ප්‍රකාශ කලේය ඔහුගේ ආසන්න ඉල්ලක්කය වූයේ විශේෂයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යි.

ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප්‍රචාරවලට උඩගෙඩි දෙමින් ඉසදීන් ඔහුගේ තීරු ලිපියේ විවිධ කුතර්ක ගොතා තිබේ. ආන්ඩුවේ හා එහි ප්‍රචාරකයන්ගේ සැබෑ ඉලක්කය කම්කරු පන්තිය හා ඊට සංවිධානය වීමට පවතින අයිතියයි.

“රට මුහුන දී තිබෙන අර්බුදය සලකා බලන කල කැප කිරීම් පෙරටු කර ගත් වගකීම් සහගත බවක් වෘත්තීය සමිතිවලින් අපේක්ෂා කෙරෙයි. … ජපාන ජනතාවගේ කැප කිරීමේ මනෝභාවය හේතුවෙන් දෙ වැනි ලෝක යුද්ධයේ අලු ගසා දමා ආර්ථික බලවතෙකු ලෙස නැගී සිටීමට එරටට හැකි විය,” යයි ලිපියේ සඳහන් වේ.

ඔහු වෘත්තීය සමිති ත්‍රස්තවාදයට සමාන කරමින් ගොතන තර්කය නම් ඒ දෙක ම “සිවිල් වැසියන් බිල්ලට ගන්නා” බවයි. “වෙනස නම් සමිති ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය භාවිතා නොකිරීමයි.” ත්‍රස්තවාදීන් ආන්ඩුවේ පිලිවෙත් වෙනස් කිරීමට මහජනතාව බිල්ලට ගන්නා ආකාරයෙන් ම වෘත්තීය සමිති ද ආන්ඩුවේ පිලිවෙත් වෙනස් කිරීමට මහජනතාව ප්‍රාන ඇපයට ගන්නා” බව ඉසදීන් ලියයි.

තම පන්ති අවශ්‍යතාවන්ට එරෙහි ව පැන නැගෙන විරෝධයක් තිබේ නම් එය “ත්‍රස්තවාදය” ලෙස හංවඩු ගසා “පොදු යහපත වෙනුවෙන්” යැයි මවා පෙන්වමින් මර්දනය දිගේලි කිරීම ධනපති ආන්ඩුවල කුප්‍රකට පිලිවෙතකි.

ජාත්‍යන්තර බැංකුකරුවන්ගේ නය ආපසු ගෙවීමට මහජනතාව සාගින්නට පත් කරමින් ඔවුන් බිල්ලට ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ විධායක බලතල හොබවන ධනපති පන්ති පාලනය මිස එම පීඩවන්ට එරෙහි ව නැගී සිටින කම්කරු පීඩිත මහජනතාව නොවන බව, ඉසදීන් ට නොපෙනෙනවා නොවේ. එසේ වූවාට කමක් නැතැයි ඔහුගේ නිගමනයයි.

ඉසදීන් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත අනුමත කරයි; එම කප්පාදුව නිසා දෛනික ව පීඩාවට පත් ව මිය යන රෝගීන්, පාසල් විශ්ව විද්‍යාල හැර යන සිසුන්, හාමතේ ඉගෙන ගන්නා සිසුන්, දෛනික ව දුම්‍රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා තුල පමා වෙමින් තැලී පොඩි වී මාර්ග අනතුරුවලට ගොදුරු වෙමින් ගමන් බිමන් යාම ගැන ඔහුට හද කම්පාවක් නැත. ඔහුට ඉලිප්පී පෙනෙන්නේ වර්ජන අතරතුර සිදුවීම් පමනකි. සැබැවින් ම නම්,ඒවාට වගකිව යුත්තේ ආන්ඩුව හා පාලක පන්තියයි.

ඉසදීන් කිඹුල් කඳුලු හෙලන්නේ “මහජනතාව පත් වන අපහසුතාවන්” දැක හෝ කම්කරුවන් ගැන හෝ ඇති අමාරුවක් නිසා නොව, ආන්ඩුව ක්‍රියාවට දමා ඇති කප්පාදු වැඩපිලිවෙල කඩාකප්පල් වී ධනපති ලාභයට හානි වේ යැයි යන කනස්සල්ලෙනි. ධනපති පන්තිය පනනල ගැටගසා ගන්නට වලිකන්නේ මේ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම මතයි.

ජාමූඅ විධානයන් ක්‍රියාවට දැමීම ගැන (එනම් බදු වැඩි කිරීම්, ජල, විදුලි, ඉන්ධන ගාස්තු වැඩි කිරීම්, ජීවන වියදම් ඉහල දැමීම්, සහානාධාර වැඩපිලිවෙල කපා දැමීම් ආදිය ගැන) ආන්ඩුවට කටපුරා ප්‍රශංසා කරන ඉසදීන් පවසන්නේ එය පමනක් ප්‍රමානවත් නොවන බවත් එයට ඇති ප්‍රතිරෝධය ද තලා දැමිය යුතු බවත් ය. ඔහු මෙසේ කියයි: “මූල්‍ය ප්‍රතිපත්තිමය විනයක් ගෙන ඒමට ආන්ඩුවේ උත්සහයන් නිසැක ව ම ප්‍රශංසනීය. නමුත් රටේ දේශපාලන සංස්කෘතියේ ද, පරිපාලන යාන්ත්‍රනය තුල ද, විශේෂයෙන් ම රාජ්‍ය අංශය තුල ද විනය අවශ්‍ය කෙරෙයි.”

ඉසදීන් ගේ ප්‍රකාශ එතැනින් නොනවතී. “සුපුරුදු පරිදි අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කිරීම සහ රාජ්‍ය සේවය පෞද්ගලීකරනය සහ වෘත්තීය සමිති නිර්දේශපාලනීකරනය කිරීම වැනි හිස් කතා නොමැති ව, රාජ්‍ය සේවය බාධාවකින් තොර ව පවත්වා ගෙන යාමට පෙරදැක්මක් ඇති ආන්ඩුවකට මහජනතාව ප්‍රාන ඇපයට ගන්නා වෘත්තීය සමිති සමග ගනුදෙනු කිරීමට (ඇමරිකාවේ පවතින ටේලර් නීති වැනි ප්‍රතිපාදන නැති ව වුව ද) නෛතික ප්‍රතිපාදන තිබේ.”

කොටින් ම ඉසදීන් කියන්නේ මෙයයි: ලතවෙවී සිටියා හොඳටම ඇති. පොලාපැන රාජ්‍ය බලය යොදා පහර දෙනු!

අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ කාර්මික ක්‍රියා තහනම් කොට වර්ජනවල නිරතවන්නන් හා ඒවාට අනුබලදෙන්නන් නීතියෙන් දඬුගසා සේවයෙන් නෙරපා හැර අසාධු ලේඛනගත කල හැකි ය. එපමනක් නොව ඔවුන්ගේ දේපල රාජසන්තක කර දැඩි සිරදඬුවම්වලට යටත් කල හැකි ය. ආන්ඩුව පසුගිය අවුරුදු දෙක පමනක් ගත්කල, විදුලිය, තෙල්, වරාය, තැපැල්, සෞඛ්‍ය, දුම්‍රිය ආදී විවිධ අංශ අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට යටකර වර්ජනවල යෙදුනු සේවකයන්ට එරෙහිව සීමිත පියවර ද ගෙන තිබේ. ඉසදීන් කකියන්නේ මෙම රුදුරු නීති “හිස් කතාවලට” සිමා නොකර වහා මුලු බලය ම නොයෙදීම ගැනයි.

“...රට අකර්මන්‍ය කිරීමට නැතිනම් මාක්සීය අරාජකවාදය නිර්මානය කිරීමට දේශපාලන පක්ෂ කම්කරුවන් අවභාවිතා කිරීම කෑදර ධනපතියන් විසින් කෙරෙන සූරා කෑම තරම් ම හද කම්පා කරවන සුලු ය” යැයි ඉසදීන් ලියයි. ඔහු 'කෑදර ධනපතියන් විසින් කෙරෙන සූරා කෑම' ගැන ව්‍යාජ වාක්‍ය ඛන්ඩයක් ඈඳාගෙන ඇත්තේ, කම්කරුවන්ට එරහිව සිය නග්න මැත දෙඩවීම අවරනය කර ගැනීමට ය.

'මාක්සීය අරාජකවාදය' ගැන ඔහුගේ ප්‍රකාශය මාක්ස්වාදය කෙරෙහි සතුරුකම මෙන් ම අඥානත්වයේ තරම ද ප්‍රදර්ශනය කරයි. ඊනියා 'මාක්සීය අරාජකවාදය' ලෙස හංවදඩු ගසන දේ 'නිර්මානය කරන' කිසිදු පක්ෂයක් ඔහු නම් කර නැත. ඔහු මෙලස පහර දෙන්නේ, ඉහල මධ්‍යම පන්තික කොටස් හිස් මුදුනෙන් පිලිගන්නා, ධනේශ්වර නීතියට හා පර්යායට අවනත නොවී කම්කරු පන්තිය, සිය ජීවන හා සමාජ අයිතීන් සඳහා අරගල වලට පිවිසීමට යි.

එහෙත් මෙම අරගල වල පතුලේ ම පවතින්නේ, කිසිවෙකුට අවලංගු කල නොහැකි, ධනපති ක්‍රමය තුල පවතින පංති විරෝධතාවයයි; 'නිර්ධන පංතිය හා ධනේශ්වරය අතර පවතින ප්‍රතිඝතිතතාවන් ය.'

මාක්ස්වාදය හා අරාජකවාදය අතර කිසිදු පොදු බවක් නැත. මාක්ස්වාදය හාත්පසින් ම අරාජකවාදයේ ප්‍රතිවිරුද්ධයයි. තවද, ඔහු දැනුවත් වුවත් නොවූවත්, අරාජකත්වය රජයන්නේ වෙලෙඳපොල බලවේග විසින් දිවෙන ධනවාදී නිෂ්පාදන ක්‍රමය තුලයි. අරාජකවාදයේ හා අරාජකවාදී ප්‍රවනතාවල මූලය ඇත්තේ ධනවාදය තුලයි.

ඩේලි මිරර් ලියුම්කරු වන්දනාමාන කරන ධනවාදය තුල මනුෂ්‍ය වර්ගයාට ලැබෙන්නේ, ගැඹුරුවන සමාජ අසමානතාවය, සමාජ කාලකන්නි භාවය හා යුද්ධයයි. ධනේශ්වරයට ප්‍රගතිශීලි භූමිකාවක් පැවතුනේ නම් ඒ ශතවර්ෂ එකහමාරකට පමන පෙරදී ය. ලංකාවේ ධනපති පන්තිය, එවැනි ප්‍රගතිශීලි භාවයක් කිසිදා නොතිබුනු ප්‍රතිගාමීත්වය ඉහවහාගිය අධිරාජ්‍ය ගැත්තන් රොත්තකි. ලංකාව ද ඇතුලුව ගෝලීය පරිමානව ම, කම්කරු පන්ති අරගලයන්ගේ, කේන්ද්‍රයෙහි පවතින්නේ ධනවාදය තුල ගැබ්ව පවතින මෙම විනාශකාරිත්වයට තිත තැබීමයි.

ඉසදීන් යෝජනා කරන්නේ වසර අග පැවැත් වෙන ජනාධිපතිවරනයෙන් අලුත් ආන්ඩුවක් බලයට පැමිනෙන තුරු කම්කරු පන්තිය අරගල අකුලා ගත යුතු බවටත් බදු වැඩි කිරීමකින් තොර ව පඩි වැඩි කරන්නේ කෙසේ ද යන්න එම නව පාලන තන්ත්‍රයට පැහැදිලි කල යුතු ව ඇති බවත් ය; “බදු ඉහල නොදමමින් පඩි වැඩි කල නොහැකි බව පාසල් ශිෂ්‍යයෙකු ගේ ආර්ථික විද්‍යා දැනුමට වුව වැටහේ. මූල්‍ය අර්බුදයක සිර වී සිටින ආන්ඩුව එක් ක්ෂේත්‍රයක පඩි වැඩි කරන්නේ නම් දාමයක් මෙන් සෙසු ක්ෂේත්‍ර ද පඩි වැඩී වීම් ඉල්ලනු ඇත.”

අඳෝමැයි! ධනපති පංතිය චිරකාලීනව දෙසාබාන මන්ත්‍රය ඉසදීන් මහතා අලුතින් සොයාගෙන ඇත!

සියලු වටිනාකම් නිර්මානය කරන්නේ කම්කරු පන්තියේ ශ්‍රමයෙනි. බදු යනු කම්කරු පන්තියට වැටුප් වශයෙන් ගෙවන වටිනාකමෙන් ධනපති රාජ්‍ය විසින් නැවතත් උදුරා ගනු ලබන පංගුවකි. ධනපතියන්ගෙන් ගන්නා බදු, කම්කරුවන් නිර්මානය කරන අතිරික්ත වටිනාකමෙන් ඔවුන් මඩි ගසාගන්නා පංගුවෙන් අයකර ගන්නා කොටසකි.

බදු ගසා ආන්ඩුව භාන්ඩාගාරය පුරවා ගන්නේ ජාත්‍යන්තර බැංකුකරුවන්ගේ මඩිය තර කිරීමට විදේශ නය ආපසු ගෙවීමට හා ලාභ පුම්බා ගැනීමට කොන්දේසි සකස් කර දීමට යි. කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන හා සමාජ කොන්දේසි ආරක්ෂා කිරීමට නොහැකි පාලක පංතිය ඉතිහාසයේ කුනුකුඩයට යා යුතුය. විදේශ නය ගෙවීම නිෂ්ප්‍රභා කරනු! ධනපතියන් මඩිගසා ගන්න ධනය අත්පත් කර ගනු! මෙම ධනය කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන හා සමාජ කොන්දේසි හා සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවා වර්ධනයට යොදනු!

ජපානය සහ ඇමරිකාව වැනි අධිරාජ්‍යවාදී රටවල කම්කරු පන්තිය තමන් සූරා ගන්නට අධිරාජවාදී ධනපතියන්ට ඉඩ හැර කැප කිරීම් කරමින් සිටිනවා නොවේ; ඔහු පවසන ආකාරයට කම්කරුවන් ස්ව කැමැත්තෙන් කැපකර ගෙන සිටිනවා නම් අමුතුවෙන් “ටේලර් නීති” වැනි මර්දනකාරී නීති කුමට ද?

ඒවා ඇමරිකාවේ වෘත්තීය සමිතිත් ඓතිහාසික ව කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට යට කිරීමේ ප්‍රතිඵලයකි. විශේෂයෙන් ම ඇමරිකා එක්සත් ජනපදයේ පන්ති අරගලය පුනර්ජීවනය ලබමින් තිබෙන්නේ මේ සියලු ම මර්දනකාරී නීතිත් අධිරාජ්‍ය ගැති වෘත්තීය සමිති නිලධරයත් අභියෝගයට ලක් කරමිනි. ජපානයේ ධනපතියන් යුද්ධයෙන් පසු අලුගසා නැගී සිටියා නොවේ. එරට ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ හා වෘත්තීය සමිති, තම අයිතීන් රැක ගැනීමට නැගීසිටි කම්කරුවන් පාවාදී, ඇමරිකානු හා ජපාන ධනපතියන්ට ජපානය ස්ථාවර කර ගැනීමට ඉඩ දීමේ ප්‍රතිපලයකි.

ඇත්ත වශයෙන් ම, ලංකාවේ වෘත්තීය සමිතිවල ආස්ථානය ඉසදීන් යෝජනා කරන කම්කරු අරගල අකුලා දමන ලෙස කරන යෝජනාවට වෙනස් නොවේ. සජබ, ජවිපෙ විපක්ෂවලට අනුබද්ධිත වෘත්තීය සමිති කම්කරුවන්ට යෝජනා කරන්නේ ඊලග ජනාධිපතිවරනයෙන් තම ආන්ඩුවක් බලයට ගෙන ආ හැකි නිසා එතෙක් අරගල හකුලා ගත යුතු බවයි. එහෙත් මේ පක්ෂ දෙක විවෘත ව ම කියා සිටින්නේ රට බංකලොත් බැවින් කැප කිරීමට සූදානම් විය යුතු බවයි. මේ පක්ෂ දෙකම ජාමුඅ මුර්ග කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට කැපවී සිටිති.

වෘත්තීය සමිතිවලට අරගල කැඳවීමට සිදු ව ඇත්තේ ජීවන හා සමාජ කොන්දේසි පල්ලමට වැටෙන තතුතුල තව දුරටත් කම්කරුවන් පාලනය කර ගෙන තබා ගත නොහැකි තත්වයක් තුලයි. කම්කරු පන්තිය “රට වෙනුවෙන් කැප කිරීම්” කිරීම නොහොත් ධනපති අවශ්‍යතාවන් වෙනුවෙන් තම ජීවිත බිල්ලට දීමට සූදානම් නැත.

ආන්ඩුවේත් සංස්ථාපිත මාධ්‍යයේත් සැබෑ ඉලක්කය වන්නේ මෙම කම්කරු පන්තිය නිහඬ කරවීමයි. වෘත්තීය සමිති නිලධරය මේ මර්දනයට එරෙහි ව සටන් කරන්නේ නැත. ඔවුන් වහා ම මර්දනය දෙසට ඇඟිල්ල දිගු කරමින් එය ම පන්ති අරගලයට ඇබ ගැසීමට අවස්ථාවක් කර ගෙන ඇත. පසුගිය වසර දෙකක කාලය පුරා වික්‍රමසිංහ තම අස්ථාවර පාලනය පවත්වා ගත්තේ වෘත්තීය සමිති නායකත්වයන්ගේ මෙම ද්‍රෝහී ක්‍රියාකලාපය යොදා ගන්නා අතර ම අත්‍යවශ්‍ය සේවා නියෝග ඇතුලු මර්දන නීති බලාත්මක කරමිනි.

'වෘත්තීය සමිති ත්‍රස්තවාදීන්' මැඩීම ගැන ආන්ඩුව හා මාධ්‍යවල මොරදීම මගින් සමිති නායකත්වයට අනතුරු සඥාවක් නිකුත්කර ඇත. එනම්, විකාර නොකර, කම්කරුවන් මැඩීමේ සිය පොලිස්කාර සේවය ඍජුවම යෙදිය යුතු බවයි.

අන්ඩුවේ ද ධනපති මාධ්‍යවල ලියනප්පුලා හා කියනප්පුලාගේ කඩාපැනීම් ද කම්කරු පන්තිය බැරෑරුම් ව සැලකිල්ලට ගතයුතුය. කම්කරුවන්ට තවත් ධනපති ආන්ඩුවක් හෝ ධනපති ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නැත. මතිවරනයකින් එවන් ආන්ඩුවක් බලයට ගෙන ඒම හා එවන් ධනපති ක්‍රියා මාර්ගයකට ඉඩදීම දැන් මුහුන දෙන විනාශකාරිත්වය තවත් ගැඹුරු කරනු ඇත. ඔවුන්ට තම ජීවන හා සමාජ කොන්දේසි මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට විකල්ප ක්‍රියා මාර්ගයක් අවශ්‍ය ය.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පංතියට එවන් විකල්ප වැඩපිලිවෙලක් යෝජනා කර ඇත. තම අයිතීන් සඳහා අරගලය ගෙනයාමට වෘත්තීය සමිති හා ඒවායේ නිලධරය මත කම්කරුවන්ට විශ්වාසය තැබිය නොහැකිය. ඔවුන් තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා සටන අතට ගැනීම තවදුරටත් පමා නොකල යුතුවේ. කම්කරු පන්තිය, ආන්ඩුවට හා ධනපති පන්ති පාලනයට එරෙහිව දේශපාලන මහා වැඩවර්ජනයක් සුදානම් කල යුතුයයි අපි යෝජනා කරමු..

වික්‍රමසිංහ ආන්ඩුවේ ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල පරාජයකර, කම්කරුවන්ට හා දුගීන්ට තම අයිතීන් රැකගත හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගනිමින්, එලෙස සටන්වැද සමාජවාදී ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනකි.

Loading