පසුගිය දින කිහිපයේ නිකුත් කෙරුනු පොලිස් ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ “යුක්තිය” නමින් අරඹා ඇති පොලිස් මෙහෙයුමේ දුරදිග යන මර්දනකාරී ස්වභාවයයි.
මෙම මෙහෙයුම ඇරඹු 2023 දෙසැම්බර් 17 දා සිට අත්අඩංගුවට ගත් පිරිස 111,074ක් බව මැයි 12 දා පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මාධ්‍යයට ප්‍රකාශ කලේය. අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමනය කිලෝ 41 ක්, අයිස් කිලෝ 43ක් හා මත පෙති 300,000 වන බවද ඔහු කියා සිටියේය. 4,472ක් දෙනා රඳවා ගැනීමේ නියෝග මත සිටින බව ඔහු ප්‍රකාශ කලත් “පුරුත්ථාපන මධ්‍යස්ථාන” වල රඳවා ඇති පිරිස කොතෙක් දැයි ඔහු කීවේ නැත.
මැයි 14 දා නිකුත් කෙරුනු තවත් පොලිස් ප්‍රකාශයකට අනුව ජාතික වශයෙන් කෙරුනු පොලිස් මෙහෙයුමක දී, 178.000කට අධික පිරිසක් තම පොලිස් බලප්‍රදේශවලින් පිටිත නවාතැන් ගෙන සිටින්නේයැයි සොයාගත් බව සඳහන් කර තිබේ. ඉන් අඟවා ඈත්තේ මෙම ලක්ෂ සංඛ්‍යාත ජනයා අපරාධවලට හවුල්වූවන් වියහැකි බවයි. පිටස්තරව පදිංචි වී සිටින අයගෙන් 31,517ක පිරිසක් නිවාස මුරකරුවන්, ගෘහ සේවිකාවන් සහ සත්කාර සේවයේ නියුතු අය වියහැකි බව ද ප්‍රකාශයේ සඳහන් වේ. තමන්ගේ නිවාසවලින් පිටත පදිංචිව රැකියාවන්හි යෙදෙන කම්කරු කොටස් ද පොලිස් ඉලක්ක බවට පත්ව ඇත.
සමූහ අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම සමස්ත සමාජයම ත්‍රස්ත කිරීමේ පියවරක් වී ඇත. ඩ්‍රෝන සහ සුනඛයින් භාවිතා කරමින්, හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය සහිතව පොලීසිය නිවෙස් වලට කඩා වදින අයුරු රූපවාහිනී මගින් නිරන්තරව ප්‍රදර්ශනය කෙරිනි. මගතොට යනෙන සාමාන්‍ය වැසියන් පවා පරීක්ෂා කරන ආකාරය ඒ අතර විය. එමගින් කිසිදු අධිකරන වරෙන්තුවකින් තොරව රිසිසේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සහ සෝදීසි කිරීම සාමාන්‍යකරනය කෙරිනි.
යුක්තිය මෙහෙයුම ඇරඹු දිනවල ඒ පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය විශ්ලේෂනය තුලදී මෙසේ සඳහන් කලේය. “දුගීභාවය සාපරාධීකරනය මෙම මෙහෙයුමේ ප්‍රධානතම අංග ලක්ෂනයකි. අත් අඩංගුවට ගත් අයගෙන් සැලකිය යුතු පිරිසක් සමාජයේ දූගීම ජන කොට්ඨාසයන්ට අයත් ය. දුප්පත්කම, විරැකියාව ආදී කොන්දේසි හේතු කොටගෙන ඔවුන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට සහ ඇතැම් විට මත්ද්‍රව්‍ය විකිනීමට පවා යොමු වීම ධනපති ක්‍රමය විසින්ම නිර්මිත සමාජ ඛේදවාචකයකි.
“දේශපාලනඥයන්ගේ, ඉහලම පෙලේ ධනපති ව්‍යාපාරිකයින්ගේ සහ ඇතැම් විට පොලීසියේ සහාය පවා නොමැතිව මෙවන් මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයක් පැවතිය නොහැක.”
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, රටේ පවතින නීතිය පවා නොතකා ක්‍රියා කිරීමට යලි යලිත් පොලීසිය උසිගන්වමින් සිටියි. අප්‍රේල් 25 වනදා විශේෂ කාර්ය බලකායේ ක්ෂනික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හැදෑරූ පොලිස් නිලධාරීන්ගේ විසිරයෑමේ උත්සවයේදී, ඕනෑම අවස්ථාවක තුවක්කුව “භාවිතා කිරීමට අවශ්‍ය නම්” එසේ කරන ලෙස අන දුන්නේය.
අලස් මෙසේ කිවේය: “ඕනම හදිසි වෙලාවක අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙනවා නම් පාවිච්චි කරන්න. අපි ඔබලා වෙනුවෙන් පෙනී සිටිනවා.” ඒ සඳහා “දෙපාරක් නොහිතා” කටයුතු කරන ලෙස ඔහු අවධාරනය කලේය. මිනීමරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයින් මරා දැමීම “පාපයක් නොවන” බව කියමින් එලෙස වෙඩි තැබීමට ඔහු තවතවත් උල්පන්දම් දුන්නේය.
අලස් මෙම ප්‍රකාශය කලේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ කඩතුරාව යටතේ සිය දෙනෙකුගෙන් යුත් තුවක්කු සහිත මෝටර් බයිසිකල් බලකායක් පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. පොලිස් මර්දන හස්තය තවදුරටත් ශක්තිමත් කිරීමේ සිය උවමනාව ඇඟවුම් කරමින් “මේ කන්ඩායම මදි වුනොත් තව පොලිස් යතුරුපැදි කන්ඩායමක් පිහිටුවන” බව ඔහු සඳහන් කලේය.
මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේදී ඊනියා “යුක්තිය” මෙහෙයුම ආරම්භයේදී මහජන ආරක්ෂක ඇමති පොලීසියට “ඕනෑම දෙයක්” කිරීමට බලය පවරා ඇති බවත් තමන් එවන් පියවර වෙනුවෙන් “පෙනී ඉන්නා” බවත් කීවේය.
පොලිස් ප්රචන්ඩත්වයට මුක්තිය ලබාදීමේ මේ ප්‍රකාශය ක්ෂනිකවම විවේචනයට ලක්විය. අලස් ගේ ප්‍රතිචාරය වූයේ, එසේ විවේචනය කරන්නන්, පාතාලයේ මුදලට ක්‍රියාකරන ඔවුන්ගේ ඒජන්තයන් බවයි. අප්‍රේල් 25 දා, මෝටර් සයිකල් බල ඇනියට අනදීමේ ප්‍රකාශ සිදුකලේ තමන්ගේ ක්‍රියා ගැන විවේචන තඹයකට ගනන් නොගන්නා බව යලිත් පෙන්නුම් කරමිනි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අප්‍රේල් 29 දා ප්‍රකාශයක් නිකුත් කරමින්, නීතිය නොතකා ඇමති කල ඉහත ප්‍රකාශ ගැන බරපතල උත්සුකය පලකරන බව සඳහන් කල අතර වහාම එම ප්‍රකාශ “ඉවත්කරගන්නා ලෙස” ඇමතිගෙන් ඉල්ලා සිටියේ ය. “නැවත නැවතත් කරන ප්‍රකාශ මගින් මුක්තිය දිරිගැන්වීම සහ නීතිය අනුව පාලනය ගැන දක්වන නොතැකීම නිසා ඔහු මහජන ආරක්ෂක ඇමති ලෙස ක්‍රියාකිරීමට නුසුදුසු හෙයින් එම ඇමති ධුරයෙන් වහාම ඉවත් කරන මෙන්,” ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක මන්ඩලය සම්මත කල යෝජනාවෙන් ජනාධිපතිගෙන් ඉල්ලා ඇත.
නීතියෙන් පිටත කෙරෙන මිනීමැරුම්, සිරභාරයේ සිටියදී සිටියදී මරනයට පත්වීම් සහ වධහිංසා පැමිනවීම් ඉහලගොස් ඇතැයි නීතිඥ සංගමය අනතුරු අඟවා ඇත.
දැනටමත් පොලීසිය, “ආයුධ පෙන්වීමට යාමේදී පලා යෑම” ඇතුලු විවිධ ගොතන ලද චෝදනා මත පුද්ගලයින් නීතිමය රාමුවට පිටින් ඝාතනය කිරීමේ වැඩකටයුතු කරගෙන යයි. ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව අප්‍රේල් මාසයේ ඉදිරිපත් කල කරුනු වලට අනුව පසුගිය වසරේදී පොලිස් අත් අඩංගුව තුලදී 24 දෙනෙක් මිය ගොස් ඇත. 'අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී' 11 දෙනෙක් මියගොස් ඇත. මේ වසරේ පසුගිය මාස කිහිපය තුල පමනක් එවන් සිදුවීම් 27 ක් වාර්තා වී තිබේ.
නීතිඥ සංගමයේ විධායක සභාවේ යෝජනාව ඇතුලුව අලස් ගේ සැහැසි විධානය විවේචනය කරමින් හා හෙලා දකිමින් නිකුත් කෙරුනු ප්‍රකාශ ගනනාවකි. මහජන ආරක්ෂක ඇමති මෙන් ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඒවා තුට්ටුවකට ගනන් ගෙන නැත. ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන් මඩිමින් ක්‍රියාකිරීම වික්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙතයි.
නිසි ක්‍රියාපටිපාටියකින් චෝදනා විභාග කිරීම හරහා වරද සොයාගන්නා තෙක් විත්තිකරුවා නිර්දෝෂීය යන්න ධනපති පන්ති පාලනය තුල පවා ප්රජාතන්ත්රවාදී මූලික මූලධර්මයක් ලෙස හුවා දක්වනු ලැබේ. නමුත් අලස් ගේ ප්‍රකාශය අනුව යමෙක් අපරාධකරුවෙක්ද? නොවේද? ඔහුට ලබා දෙන දඬුවම කුමක්ද? යන්න තීන්දු කිරීමේ වරපත්රය හිමිවන්නේ පොලීසියටයි. මෙසේ “නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය” උගුලා දැමීම සහ “වෙඩි තැබීමට දෙන වරපත්රය” ඇතුලුව ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර වැඩෙන පොලිස් රාජ්‍යයක ලක්ෂනයන් ය.
පෙර නුවූවිරු ආර්ථික අර්බුදයක් තුලින් ගමන් කරන පාලක පන්තියේ විධායකය වන ආන්ඩුව, කම්කරු පන්තියේ කෝපයට බඳුන් වී ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) පියවර ක්රියාවේ යෙදවීමට එරෙහිව මොන යම් හෝ ආකාරයකට විරුද්ධත්වය පල කරන්නන් තලා දැමීමට ක්‍රියා කරමින් සිටියි.
දැනටමත් වික්‍රමසිංහ ආන්ඩුව අරගලයට ඇදෙන කම්කරු පන්තියට එරෙහිව අත්‍යාවශ්‍ය සේවා නියෝග, හදිසි නීති ඇතුලු මර්දන නීති යොදාගනිමින් සිටී. ජනවාරි මස මුල පෞද්ගලීකරනයට එරෙහිව අරගලයට පැමිනි විදුලි බල මන්ඩල කම්කරුවන්ගෙන් 62 දෙනෙකුගේ වැඩ තහනම් කොට දඩයමක් දියත් කර ඇත.
වික්‍රමසිංහ ආන්ඩුවේ මේ ප්‍රහාර හුදකලා තත්වයක් නොවේ. තම සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ලවන ප්‍රහාර වලට එරෙහිව නැගෙන කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල තලා දැමීම සඳහා අධිරාජ්‍යවාදී රටවල පටන් සෑම රටකම පාලක පන්ති ෆැසිස්ට්වාදී හා ඒකාධිපති පාලනයන් තහවුරු කරගැනීමට වේගයෙන් පියවර ගනිමින් සිටිති.
ලෝක ධනවාදයේ මධ්‍යස්ථානය වන ඇමරිකාව තුල බයිඩන් පාලන තන්ත්රයේ මෙහෙයවීම යටතේ, ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව ශිෂ්‍යයන්ගේ සහ සෙසු කොටස් වල විරෝධතා වලට එරෙහිව පොලිස් කඩා පැනීම් සිදුවේ. මේ වනවිට ශිෂ්‍යයින් තුන්දහසකට වැඩි පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. එහෙත් සිසු විරෝධතා වැඩෙමින් පවතින අතර, කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරී කම්කරුවෝ බ්‍රහස්පතින්දා වැඩවර්ජන තීන්දුවක් ගෙන ගාසා ජනඝාතන වලටත්, සිසු මර්දනයටත් විරුද්ධ සටනට එක්ව සිටිති.
සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ජන බලවේගය අලස්ගේ ප්‍රකාශ ගැන කටපියාගෙන සිටීම පෙන්නුම් කරන්නේ, මෙම පක්ෂ ආන්ඩුව ගැන කරන සීමිත විවේචන කුමක් වුවත්, තමන්ගේ පාලනයක් ඇතිවුවහොත් ක්‍රියාකරනු ඇත්තේ, මේ ආකාරයෙන් ම, පොලිස් විධික්රම උසිගන්වමින් බවයි. ජාජබ විශ්‍රාමික හමුදා එකතුවේ නායක, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුන ජයසේකර ගම්පහ පැවති රැස්වීමකදී ප්‍රකාශ කලේ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩීමට ජාජබ ආන්ඩුවකට ගතවන්නේ සති දෙකක් පමනක් බවයි. ඒ සඳහා යොදාගන්නා විධික්රමය ගැන ඔහු සඳහන් කලේ නැත.
ලංකාවේ කම්කරු පන්තිය රට තුල වැඩෙන ආඥාදායක පාලනයේ අනතුර හඳුනාගැනීම හා ඊට එරෙහිව, දුගීන් ද මෙහෙයවා ගනිමින් අරලගලයට සූදානම් වීම හදිසිභාවයකින් මතුවී තිබේ. එය ධනපති පන්ති පාලනයට එරෙහි අරගලයකි. එම අරගලය ගෙන යා හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම මත පදනම්ව ධනපති ක්‍රමයටම එරෙහිව කරන දේශපාලන අරගලයක් ලෙසයි.