[මෙය The working class, the fight against capitalist barbarism, and the building of the World Party of Socialist Revolution යන මැයෙන් 2024 ජනවාරි 03 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
1. 2024 නව වසර ආරම්භ වන්නේ ජාත්‍යන්තර අර්බුදය උත්සන්න වීමේ කොන්දේසි තුල ය. සහස්‍රයේ උදාවේදී, එක්සත් ජනපදයේ කාරුනික සහ “ඒකධ්‍රැව” පාලනය යටතේ ලෝක ධනවාදය විශ්වීය සාමයේ සහ සෞභාග්‍යයේ නව යුගයකට පිවිසෙමින් සිටින බවට සතුටුදායක පුරෝකථනයන් තිබුනි. සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග, “කෙටි විසිවන සියවසේ” රාක්ෂයන්—සියල්ලටත් වඩා, මාක්ස්වාදයේ සහ සමාජවාදී විප්ලවයේ අවතාර—සදහටම වලලනු ලැබිනි. වෝල් වීදිය ලෝකයට කෑගැසුවේය: “මගේ නම ධනවාදයයි, මම රජුන්ගේ රජු වෙමි, බලවත් මෙන්ම බලාපොරොත්තු සුන් වූ මිනිසුනි, මගේ ක්‍රියා දෙස බලව!” එහෙත් එම අහංකාර පුරසාරම් මහා විනාශයක් බවට පත් වීමට ගත ව ඇත්තේ කාර්තුවකටත් අඩු කාලයකි. විජයග්‍රාහී ධනවාදයේ නව සියවස සියල්ලටම වඩා කෙටි බව ඔප්පු වීමට නියමිත ය. විසිවන සියවස තුල නොවිසඳුනු, යුද්ධ හා විප්ලවයන් බිහිකල ලෝක ධනේශ්වර ක්‍රමයේ මූලික ප්‍රතිවිරෝධතා, ලොව පුරා පැතිර යන තීව්‍ර වන ආර්ථික, සමාජීය හා දේශපාලන නැගිටීම්වල ගාමක බලවේගයන් ලෙස පවතී.
2. පසුගිය ශත වර්ෂයේ සිදු වූ මහා ව්‍යසනයන් විසින් ඇති කරන ලද භීෂනයන් යලිත් ඇතිව තිබේ. ජන සංහාරය රාජ්‍ය ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙස විවෘතවම පිලිගෙන තිබේ. ගාසා තීරයේ පලස්තීන ජනතාව සමූලඝාතනය කිරීමට ඊශ්‍රායල පාලන තන්ත්‍රය දරන ප්‍රයත්නය, සටන් විරාමයකට තම විරුද්ධත්වය පුන පුනා ප්‍රකාශ කර ඇති එක්සත් ජනපදය හා එහි අධිරාජ්‍යවාදී සහචරයින්ගේ විවෘත අනුමැතිය සහිතව ඉදිරියට යයි. ජනාකීර්න නාගරික ප්‍රදේශයක් අනුකම්පා විරහිත බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඇති අතර එය යුද්ධයේ පලමු සති 10 තුල, වැඩිවශයෙන් කාන්තාවන් සහ ලමයින් සමග, මිනිසුන් 25,000 කට වැඩි ප්‍රමානයක්, මරා දමා ඇත.
3. ඊශ්‍රායලයේ ෆැසිස්ට් අගමැති බෙන්ජමින් නෙතන්‍යා හු සිය අලුත් අවුරුදු පනිවුඩයේ ප්‍රකාශ කලේ, 2024 පුරා ප්‍රහාරය පවතිනු ඇති බවයි. එක්සත් ජනපදයේ සහ නැටෝ හි සම-අපරාධකරුවන්ගේ අසීමිත මූල්‍ය සහ මිලිටරි සහයෝගය නොමැතිව ඊශ්‍රායලයට තවත් අවුරුද්දක් තබා, සතියක්වත් යුද්ධය කරගෙන යාමට නොහැක. එක්සත් ජනපද ජනාධිපති, රාජ්‍ය ලේකම්, ගනන් කල නොහැකි අනෙකුත් උසස් රාජ්‍ය නිලධාරීන් සහ පෙන්ටගනයේ ඉහලම පිරිස්, වොෂින්ටනය සහ ටෙල් අවිව් අතර එහා මෙහා යමින්, ඊශ්‍රායල මෙහෙයුම් අධීක්‍ෂනය කරමින්, බෝම්බ හෙලීමේ ඉලක්ක තෝරාගැනීමට සහාය වෙති. එක්සත් ජනපද සහ නැටෝ නිලධාරීන් ගාසා තීරයේ මිනීමරු ක්‍රියාවන්ට සෘජුව ම සම්බන්ධ බව ප්‍රසිද්ධ රහසකි.
4. සමූලඝාතන අනුමත කිරීමෙන් සහ ඒවාට සහභාගී වීමෙන් නියෝජනය වන්නේ, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මානව හිමිකම් සඳහා වන ආයාචනා සුපුරුදු පරිදි කරන උල්ලංඝනය කිරීම්වලට වඩා වැඩි දෙයකි. ගාසා ජන සංහාරය, ශතවර්ෂයකට වැඩි කාලයකට පෙර, පලමු ලෝක යුද්ධය මධ්‍යයේ ලෙනින් විසින් ප්‍රථම වරට සටහන් කරන ලද ප්‍රවනතාවක් ඉහල මට්ටමකින් තහවුරු කරයි. ඔහු 1916 දී මෙසේ ලිවීය: “ප්‍රජාතන්ත්‍රික-සමූහාන්ඩුවාදී සහ ප්‍රතිගාමී-රාජාන්ඩුවාදී අධිරාජ්‍යවාදී ධනේශ්වරය අතර වෙනස මැකී ගොස් ඇත්තේ ඒ දෙකොටස ම පනපිටින් කුනුවෙමින් පවතින බැවිනි...”“ප්‍රතිගාමී රාජාන්ඩුවාදී ” යෙදුම ආදේශ කල විට, ලෙනින්ගේ විශ්ලේෂනය වර්තමාන අධිරාජ්‍යවාදී පාලන ක්‍රම පිලිබඳ විස්තරයක් ලෙස මුලුමනින්ම වලංගු ය.
5. ගාසා ජන සංහාරය වනාහි, ඊශ්‍රායල-පලස්තීන ගැටුමට සම්බන්ධිත සුවිශේෂී තත්වයන්ගේත්, සියොන්වාදී ව්‍යාපෘතියේ සහජමය ප්‍රතිගාමී ස්වභාවයේත්, එහි වාර්ගික සහ පරභීතික-ජාතිකවාදී දෘෂ්ටිවාදයේත් නිෂ්පාදනයක් ලෙස පහසුවෙන් වටහා ගන්නා ආකාරයේ, අසමසම සිදුවීමක් නොවේ. පෙර කී අංග, ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ක්‍රියාවන්හි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ සහ ආයුධ සැපයුම්කරුවන්ගේ පූර්න සහයෝගය ඇතිව සිදු කෙරෙන වත්මන් යුද්ධයේ අසීමිත රුදුරු බව වටහාගත හැක්කේ සහ පැහැදිලි කල හැක්කේ, ලෝක අධිරාජ්‍යවාදයේ හා ජාතික-රාජ්‍ය පද්ධතියේ බිඳවැටීමේ සන්දර්භය තුල පමනි.
6. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායඥයින්ගේ මූලික 'දෝෂය' නම්, එම සිදුවීම තනිකරම දෘෂ්ටිවාදීමය වචන වලින්, එනම්, සමාජවාදී 'ආඥාදායකත්වයට' එරෙහිව ධනේශ්වර 'නිදහස් ව්‍යවසායයේ' විජයග්‍රහනය ලෙස පැහැදිලි කර තිබීමයි. එහෙත් ස්ටැලින්වාදය සමාජවාදය සමග ව්‍යාජ ලෙස අනන්‍ය කිරීම මත පදනම් වූ මෙම පැහැදිලි කිරීම, සෝවියට් සංගමය බිඳවැටීමේ සැබෑ හේතුව සහ ඇමරිකානු හා ලෝක අධිරාජ්‍යවාදයේ අනාගත වර්ධනය සඳහා එහි ඇඟවුම් වසන් කලේය.
7. සෝවියට් සංගමය විසුරුවා හැරීම, එහි ඛේදනීය ප්‍රතිවිපාක නොතකා, 'තනි රටේ සමාජවාදය' යන ස්ටැලින්වාදී ප්‍රතිපත්තිය පිලිබඳ සාරභූත මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී විවේචනය තහවුරු කලේය. හුදකලා සමාජවාදී රාජ්‍යයක් පිලිබඳ ප්‍රතිගාමී ජාතිකවාදී මනෝරාජ්‍යය, ට්‍රොට්ස්කි පුරෝකථනය කල පරිදි, ලෝක ආර්ථිකයේ යථාර්ථයට ගොදුරු විය.
8. සෝවියට් සංගමයේ අවසානය එක්සත් ජනපදයට එහි ප්‍රතිවාදීන්ට එරෙහිව කෙටි කාලීන වාසියක් සැපයූ අතර, එහි ප්‍රචාරකයෝ එය 'ඒක ධ්‍රැව මොහොත' ලෙස නම් කලහ. එහෙත් විසිවන සියවසේ ලෝක යුද්ධ දෙකට තුඩු දුන් අතිමූලික ප්‍රතිවිරෝධතාව—අතිශයින් ඒකාග්‍ර වූ ලෝක ආර්ථිකයක වෛෂයික යථාර්ථයත්, යල් පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතියේ නොනැසී පැවතීමත් අතර ගැටුම—සෝවියට් සංගමයේ සහ නැගෙනහිර යුරෝපයේ එහි පරිවාර පාලන තන්ත්‍රයන්ගේ අභාවයෙන් නොවිසඳුනි.
9. ගෝලීය ආධිපත්‍ය මට්ටමක් අත්කර ගැනීම සඳහා එක්සත් ජනපදය එහි (සෝවියට් සංගමයේ සහ එහි පරිවාර පාලන තන්ත්‍රයන්ගේ අභාවයේ -පරිවර්තක) භූ දේශපාලනික වාසිය ගසාකෑමට උත්සාහ කලේය. නාසි ජර්මනිය පරාජය කිරීමේ දී සෝවියට් සංගමය විසින් ඉටු කරන ලද තීරනාත්මක භූමිකාව සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු පැනනැගුන යටත් විජිත විරෝධී මහජන ව්‍යාපාර රැල්ලේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදයේ මෙම අරමුන වලකා තිබුනි. වොෂින්ටනය අවසානයේ තම මිලිටරි බලය හරහා ලෝක ආර්ථිකය තම පාලනය යටතේ ප්‍රතිසංවිධානය කල හැකි බව තමන්ටම ඒත්තුගන්වා ගත්තේය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රියතම පන්ඩිතයා වන නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ තෝමස් ෆ්‍රීඩ්මන් 1999 දී මෙසේ ප්‍රකාශ කලේය: 'සිලිකන් නිම්නයේ තාක්ෂනයන් සඳහා ලෝකය ආරක්ෂා කරන සැඟවුනු හස්තය, එක්සත් ජනපද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ මැරීන් බලකාය ලෙස හඳුන්වනු ලබයි..' [1]
10. බෝල්කන්, මැද පෙරදිග සහ මධ්‍යම ආසියාවේ එක්සත් ජනපදය විසින් දියත් කරන ලද නිමක් නැති යුද්ධ මාලාව, එහි සමස්ත ආර්ථික පරිහානිය නොතකා, එහි ආධිපත්‍යය පවත්වා ගැනීමට මංමුලා සහගත ලෙස ගත් උත්සාහයකි. ජාත්‍යන්තර කමිටුව 2003 ඉරාකය ආක්‍රමනය සඳහා වූ අභිප්‍රේරනය පැහැදිලි කල අතර එහි යටින් පවතින අධිපතිවාදී ව්‍යාපෘතියේ අසාර්ථකත්වය පුරෝකථනය කලේය:
'ඉරාකයට එරෙහිව ආක්‍රමනශීලී යුද්ධයක් දියත් කිරීම නියෝජනය කරන්නේ, නිෂ්පාදන බලවේගවල ගෝලීය ස්වභාවය සහ යල්පීනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරෝධයේ ලෝක ඓතිහාසික ගැටලුව අධිරාජ්‍යවාදයේ පදනම මත විසඳීමේ අවසාන, උච්ඡතම උත්සාහයකි. සුපිරි ජාතික රාජ්‍යය ලෙස ස්ථාපිත වීම මගින්, ලෝකයේ ඉරනමේ අවසාන තීරකයා ලෙස ක්‍රියා කරමින් වැඩි පංගුව තමන් අතට ගැනීමෙන් පසු ලෝකයේ සම්පත් වෙන් කරන්නේ කෙසේද යන්න තීරනය කිරීම මගින් ගැටලුව ජය ගැනීමට ඇමරිකාව යෝජනා කරයි. එහෙත් 1914 දී මුලුමනින්ම ප‍්‍රතිගාමී වූ ලෝක ධනවාදයේ යටින් පවතින ප‍්‍රතිවිරෝධතාවලට මේ ආකාරයේ අධිරාජ්‍යවාදී විසඳුම්, එහි වයස සමග වැඩිදියුනු වී නොමැත. ඇත්ත වශයෙන්ම, විසිවන සියවසේ ලෝක ආර්ථික වර්ධනයේ දැවැන්ත පරිමානය එවන් අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියකට උමතුවේ මූලාංගයක් උරුම කරයි. තනි ජාතික රාජ්‍යයක ආධිපත්‍යය තහවුරු කිරීමේ ඕනෑම උත්සාහයක් ජාත්‍යන්තර ආර්ථික ඒකාග්‍රතාවයේ අත්‍යසාමාන්‍ය මට්ටම සමග නොගැලපේ. එවැනි ව්‍යාපෘතියක ප්‍රතිගාමී ස්වභාවයේ ගැඹුර ප්‍රකාශ වන්නේ එය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ම්ලේච්ඡ ක්‍රම තුලිනි. [2]
11. වොෂින්ටනයේ “නීති මත පාදක වූ” අධිරාජ්‍යවාදී පර්යාය සමග ගැටෙන චීනය සහ ප්‍රතිරෝධී ජාතික රාජ්‍යයන් විසින් සිය ආධිපත්‍යයට එල්ල කර ඇති අභියෝගය හමුවේ, එක්සත් ජනපදය සහ එහි නැටෝ සහචරයින් තම ආධිපත්‍ය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ගන්නා වඩ වඩාත් මංමුලා සහගත හා ව්‍යාකූල වූ උත්සාහයන්ගෙන් පැන නගින “ම්ලේච්ඡ ක්‍රමෝපායන්” ගාසා ජන සංහාරය මගින් මූර්තිමත් වෙයි. පලස්තීනුවන්ගේ සංහාරය දිග හැරෙන්නේ, එය 2022 පෙබරවාරියේ පුපුරා ගිය දා සිට ආසන්න වශයෙන් යුක්‍රේනියානුවන් මිලියන භාගයක සහ අවම වශයෙන් රුසියානුවන් 100,000 ක ජීවිත අහිමි කල, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ හි ලේ වැකි වක්‍ර යුද්ධය මධ්‍යයේ ය.
12. ගාසා තීරයේ යුද්ධය විසින් අධිරාජ්‍යවාදී පිලිවෙතෙහි පිලිගත හැකි උපාංගයක් ලෙස ජන සංහාරය සාමාන්‍යකරනය කර ඇති හෙයින්, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය නිර්දය ලෙස තීව්‍ර කිරීමත් සමග, ගැටුමේදී උපායශීලී සහ උපාය මාර්ගික න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ඉහල මට්ටමක ශක්‍යතාවයක් පමනක් නොව, ඒ සඳහා සම්භාවිතාවක් ද පවතී. න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර උසිගැන්වීමක් ලෙස සීතල යුද සමයේදී බැහැර කල හැකිව තිබූ රුසියානු වත්කම් හා භූමි ප්‍රදේශවලට එල්ල කරන මිලිටරි ප්‍රහාර, බයිඩන් පරිපාලනය විසින් නිතිපතා අනුමත කරමින් මෙහෙයවයි. යලි යලිත් “රතු ඉරි” කපාගෙන යමින් සිටින බයිඩන් පරිපාලනය සහ එහි මිත්‍ර නැටෝ ආන්ඩු තම මිලිටරි මෙහෙයුම් සිදු කිරීම න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනයෙන් සීමා නොකෙරෙන බව අවධාරනය කර ඇත.
13. යුක්රේනයේ දැවැන්ත සම්පත් විනාශය තිබියදීත්, එක්සත් ජනපද-නැටෝ අධිරාජ්‍යවාදය මේ දක්වා යුද පිටියේ ජයග්‍රහනය ලබා ගැනීමට අසමත් වී ඇත. 2023 මැද භාගයේ දී, එය බොහෝ සෙයින් පුරසාරම් දෙඩූ “වසන්ත ප්‍රහාරය” අවසන් වූයේ පරාජයකිනි. 2023 අවසාන දිනවලදී, යුක්‍රේන තන්ත‍්‍රය රුසියානු භූමියට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරමින් බෙල්ගොරොද් නගරයේ අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකුවත් මරා දැමීමෙන් යුද්ධයේ සැලකිය යුතු තීව්‍රවීමක් සිදු කලේය. යුක්‍රේනය වෙත එල්ල කරන නව මිසයිල ප්‍රහාර මාලාවකින් රුසියාව එයට, ප්‍රතිචාර දක්වා ඇති අතර, වක්‍ර යුද්ධයට අසීමිත අරමුදල් අඛන්ඩව ලබා දීම සඳහා එහි ඉල්ලීම් තීව්‍ර කිරීමට බයිඩන් පරිපාලනය විසින් එය ගසාකමින් සිටී.
14. අවසාන විග්‍රහයේ දී, එක්සත් ජනපදය සහ නැටෝව විසින් යුක්‍රේනයේ වක්‍ර යුද්ධය උසිගැන්වීම සලකුනු කරන්නේ, ලෝකයේ සෑම කොටසක්ම නිශ්චිත මෙහෙයුම් ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කරමින්, චීනයට එරෙහි එක්සත් ජනපද යුද්ධයකට සූදානම් වීමකට වඩා අඩු දෙයක් නොවේ. වසර 20 කට පමන පෙර, 2006 දී, ජාත්‍යන්තර කමිටුව එක්සත් ජනපදයේ ගෝලීය ප්‍රතිපත්තිවලට අදාල ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කල අතර, ඒවා අතර පහත සඳහන් ඒවා විය:
එක්සත් ජනපදය සිය අධිපති අභිලාෂයන්ගෙන් පසුබැසීමට සහ රාජ්‍යයන් අතර ගෝලීය බලය වඩාත් සමානාත්මතාවයෙන් බෙදා හැරීමට සූදානම් වේවි ද? එය යුරෝපයේ හෝ ආසියාවේ වේවා, සම්මුතියේ සහ සහනවල පදනම මත ආර්ථික හා මිලිටරි තරඟකරුවන් වියහැකියවුන් ඉදිරියේ තවකාලිකව හෝ පසුබැසීමට සූදානම් වේවි ද? චීනයේ නැඟී එන බලපෑමට එක්සත් ජනපදය කාරුනිකව හා සාමකාමීව ඉඩ දෙයිද? [3]
මෙම ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් හජාජාක පිලිතුරු දුන්නේ, එය එසේ වනු ඇතැයි තහවුරු කරමින් පිලිතුරු දෙන අය “ඉතිහාසයේ පාඩම් වලට එරෙහිව බරපතල ඔට්ටුවක් අල්ලමින් සිටින” බවයි.
15. අද, මෙම ප්‍රශ්නවලට දෙන පිලිතුරු සමපේක්ෂන ස්වභාවයක් නොදරයි. එක්සත් ජනපදය හා චීනය අතර යුද්ධය සලකනු ලබන්නේ වියහැක්කක් ලෙස නොව, නොවැලැක්විය හැකි දෙයක් ලෙස ය. වොෂින්ටනයේ විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතය තුල ඇති මෙම සම්මුතිය ෆොරින් අෆෙයාර්ස් සඟරාවේ 2024 ජනවාරි-පෙබරවාරි නව කලාපයේ ප්‍රකාශයට පත් කරන ලද රචනයක සාරාංශගත කර ඇත. අනිෂ්ඨ පූර්වනිමිති ඇති කරමින් එය නම් කර ඇත්තේ, 'මහ එකා: චීනය සමග දිගුකාලීන යුද්ධයකට සූදානම් වීම' යනුවෙනි. එහි කතුවරයා වූයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී චින්තන පර්ෂදයක් වන හඩ්සන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන කනිෂ්ඨ ඇන්ඩෲ ජේ. ක්‍රෙපිනෙවිච් ය.
16. රචනය උපකල්පනය කරන්නේ, එක්සත් ජනපදය සහ චීනය යුද්ධයකට යනු ඇති බවයි. එය වාද විවාද කරමින් කාලය නාස්ති නොකල යුතු කරුනකි. සැබෑ ප්‍රශ්න පැනනගින්නේ, යුද්ධය ආරම්භ වන්නේ කෙසේද සහ කොතැනින්ද යන්න—තායිවාන සමුද්‍ර සන්ධියේ ද, කොරියානු අර්ධද්වීපයේ, චීන-ඉන්දියානු දේශසීමාවේ හෝ දකුනු ආසියාවේ ද —සහ යුද්ධය න්‍යෂ්ටික බලය පාවිච්චි කරන්නේද යන්න සම්බන්ධයෙනි. ක්‍රෙපිනෙවිච් මෙසේ පවසයි:
යුද්ධයක් ආරම්භ වූ පසු, චීනයට සහ එක්සත් ජනපදයට ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ගබඩාවලින් එල්ල වන අන්තරායන්ට මුහුන දීමට සිදුවනු ඇත. සාම කාලයේදී මෙන්ම, ව්‍යසනකාරී උත්සන්න වීමක් වලක්වා ගැනීමට දෙපාර්ශවය දැඩි ලෙස උනන්දු වනු ඇත. එසේ වුවද, යුද උනුසුම තුල එවැනි ශක්‍යතාවක් (න්‍යෂ්ටික ගැටුමක් ඇතිවීමේ හැකියාව - පරිවර්තක) තුරන් කල නොහැක. සම්පූර්න යුද්ධයකට නොපැටලී, අනාගත ප්‍රහාරයකදී වාසි ලබාගැනීම සඳහා බලය යෙදවිය හැකි යෝග්‍යතම ස්ථාන සොයා ගැනීමේ අභියෝගයට දෙකොටසම මුහුන දෙනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මහා බලවතුන් දෙපාර්ශවයේම නායකයින්ට ඉහල ආත්ම දමනයක් පැවතීම අවශ්‍ය වනු ඇත.
යුද්ධය සීමා කර තබා ගැනීම සඳහා, වොෂින්ටනය සහ බීජිං යන දෙකටම එකිනෙකාගේ රතු රේඛා හඳුනා ගැනීමට අවශ්‍ය වනු ඇත—විශේෂිත ක්‍රියා, උත්සන්න කිරීමක් ලෙස සලකනු ලබන අතර එය ප්‍රති-තීව්‍රවීම් අවුලුවාලිය හැකිය. [4]
17. සටන්කරුවන්ගේ ඉරනම රඳා පවතින, ජීවිතයත් මරනයත් අතර සටනක් මධ්‍යයේ, එම සටන උත්සන්න වීම සීමා කිරීමේ හැකියාව මත න්‍යෂ්ටික ලෝක විනාශයක් මඟහරවා ගැනීම සඳහා කෙනෙකු බලාපොරොත්තු තබා ගැනීම, මුලාවකට වඩා අඩු දෙයක් නොවේ. කෙසේ වෙතත්, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය දැනටමත් තහවුරු කර ඇත්තේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය න්‍යෂ්ටික පලිගැනීමේ තර්ජනයෙන් පසු නොබසින බවත්, එහි අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා සෑම 'රතු ඉරක්ම' කපාගෙන යන බවත් ය.
18. න්‍යෂ්ටික අවි භාවිතයෙන් තොරව වුව ද, නොවැලැක්විය හැකි එක්සත් ජනපද-චීන යුද්ධය සමස්ත මානව වර්ගයාටම ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දෙන බව ක්‍රෙපිනෙවිච් පිලිගනී. ඔහු මෙසේ ලියයි:
දෙපාර්ශ්වයම න්‍යෂ්ටික ව්‍යසනයෙන් වැලකී සිටියද, එක්සත් ජනපදයේ සහ එහි ප්‍රධාන සභාග හවුල්කරුවන්ගේ වාසභූම්වලට යන්තමින් හෝ අත නොතැබූවද, විනාශයේ පරිමානය සහ විෂය පථය ඇමරිකානු ජනතාව සහ එහි මිත්‍ර පාක්ෂිකයින් මෙතෙක් අත්විඳ ඇති ඕනෑම දෙයක් ඉක්මවා යනු ඇත. [5]
19. ක්‍රෙපිනෙවිච් විසින් එලඹෙන නිගමනය නම්, මිලිටරි ව්‍යසනය කවර වියදමකින් හෝ වැලැක්විය යුතු බව නොව, එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයට “පරිත්‍යාග කිරීමට ඇති කැමැත්ත සමඟින්, යුද ප්‍රයත්නය සඳහා මහජන සහයෝගය පවත්වා ගැනීමට ඇති හැකියාව, එහි සාර්ථකත්වයට තීරනාත්මක වනු ඇති,' බව යි. [6]
20. නොවැලැක්විය හැකි යුද්ධයේ මෙම බියකරු අධිරාජ්‍යවාදී පසුබිමට ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය විරුද්ධ විය යුතුය. උතුරු ඇමරිකාවේ, යුරෝපයේ, ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල කම්කරුවන්ට ඔවුන්ගේ බල-උම්මත්තක මූල්‍ය-සංගත අධිරාජ්‍යවාදී පාලක පන්තියේ ගෝලීය භූ දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කිරීමට කිසිසේත්ම උනන්දුවක් නැත. රුසියාව, චීනය සහ අනෙකුත් ප්‍රධාන ධනේශ්වර කලාපීය බලවතුන් වන - වඩාත් වැදගත් වන කිහිපයක් පමනක් නම් කලොත්, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ගල්ෆ් රාජ්‍යයන්, තුර්කිය, නයිජීරියාව, දකුනු අප්‍රිකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව යන රටවල කම්කරුවන්, බහු ධ්‍රැවීයතාව පිලිබඳ මනෝරාජික ඉදිරිදර්ශනයේ පදනම මත, ලෝක භූ දේශපාලනය ප්‍රතිසංවිධානය කිරීමේ උත්සාහයන්හි පවතින ප්‍රතිගාමීත්වයට ප්‍රගතිශීලී ස්වභාවයක් ආරෝපනය නොකල යුතු ය.
21. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය රුසියානු-යුක්‍රේන යුද්ධය උසිගැන්වීය යන කාරනය, රුසියානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතා පිලිබඳ ආස්ථානයෙන් ගත් විට, යුක්‍රේනය ආක්‍රමනය කිරීමට පුටින් ආන්ඩුව ගත් තීරනය සාධාරනීකරනය නොකරයි. ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ ප්‍රකෝපකරනයන්ට පුටින් ආන්ඩුව දක්වන ප්‍රතිචාරය තීරනය කරන ලද්දේ 'ජාතික ආරක්ෂාව' පිලිබඳ වියුක්ත නිර්වචනයන් අනුව කරන ලද සලකා බැලීම් මගින් නොව, සෝවියට් සංගමය බිඳී යාමෙන් හා එහි ජනසතු වත්කම් සම්පූර්නයෙන්ම සොරකම් කිරීම සහ පුද්ගලීකරනයෙන් මතු වූ පරපුටු කතිපයාධිකාරී ධනේශ්වර පාලක පන්තියේ පන්ති අවශ්‍යතා විසින් ය.
22 . සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව විසුරුවා හැරීමට පෙර වසරවලදී, පාලක නිලධර උපකරනය තුල දේශපාලන ගැටුම, ජාතික හා වාර්ගික රේඛා ඔස්සේ වර්ධනය විය. ස්ටැලින් විසින් නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ප්‍රතික්ෂේප කිරීම සහ ස්වෝත්තමවාදී සෝවියට් දේශප්‍රේමයේ ආවරනය යටතේ රුසියානු ජාතිකවාදය ප්‍රවර්ධනය කිරීම මගින් මෙම ප්‍රතිගාමී ප්‍රවනතාවය සකස් කර පහසුකම් සපයන ලදී. සෝවියට් සංගමය බිඳී යාමෙන් පසුව— වඩාත්ම බලගතු වූ රුසියානු සහ යුක්‍රේනියානු—ජාතිකවාදී නිලධර කල්ලි අතර ගැටුම්, අමුද්‍රව්‍ය, වෙලඳපොලවල් සහ ධනේශ්වර පාලක ප්‍රභූන් අතර භෞමික වාසි සඳහා විවෘත අරගලයක් දක්වා වේගයෙන් පරිනාමය විය. 1991 ඔක්තෝබර් මාසයේදී, සෝවියට් සංගමය විසුරුවා හැරීමට මාස තුනකටත් අඩු කාලයකට පෙර, ජාත්‍යන්තර කමිටුව මෙසේ අනතුරු ඇඟවීය:
'සමූහාන්ඩුව තුල ජාතිකවාදීන් ප්‍රකාශ කරන්නේ, සියලු ප්‍රශ්නවලට විසඳුම නව “ස්වාධීන” රාජ්‍යයන් නිර්මානය කිරීම තුල පවතින බව ය. අපට ප්‍රශ්න කිරීමට අවසර දෙන්න, කාගෙන් ස්වාධීනව ද? මොස්කව් වෙතින් “නිදහස” ප්‍රකාශ කරමින්, ජාතිකවාදීන්ට ඔවුන්ගේ නව රාජ්‍යවල අනාගතය සම්බන්ධ සියලු වැදගත් තීරන ජර්මනිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය සහ එක්සත් ජනපදය අත තැබීම හැර කල හැකි අන් කිසිවක් නැත. [7]
23. දැනට පවතින යුද්ධය, ජාත්‍යන්තර කමිටුව විසින් වසර 30 කට පෙර කරන ලද අනතුරු ඇඟවීම සනාථ කිරීමකි. එක්සත් ජනපද-නැටෝ යුද්ධයට එරෙහි අරගලය මෙහෙයවිය යුත්තේ පුටින් තන්ත‍්‍රයට අනුගත වීමෙන් නොව, එහි ප‍්‍රතිගාමී ජාතිකවාදී-ධනවාදී න්‍යාය පත‍්‍රයට අශමනීය විරුද්ධත්වයෙනි. රුසියානු හා යුක්‍රේන කම්කරුවන්ගේ යුද විරෝධී පිලිවෙත පදනම් විය යුත්තේ නව ධනේශ්වර ප්‍රභූවට එරෙහිව පැරනි සෝවියට් සංගමයේ කම්කරු පන්තියේ සියලුම කොටස්වල එකමුතුව මත ය. ලෙනින් සහ බොල්ෂෙවිකයින් විසින් පලමුවන ලෝක සංග්‍රාමයේදී තහවුරු කල ජාත්‍යන්තරවාදී පිලිවෙත, ඔවුන්ගේ ජාතික ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීමට නොසැලෙන විරුද්ධත්වය, වර්තමාන රුසියාවේ (පුටින් තන්ත‍්‍රයට එරෙහිව) සහ යුක්‍රේනයේ (සෙලින්ස්කි තන්ත‍්‍රයට එරෙහිව) කම්කරුවන් විසින් අනුගමනය කල යුතුය.
24. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ චීනය අතර ගැටුම සම්බන්ධව ජාත්‍යන්තර කමිටුවේ ආකල්පය තීරනය වන්නේ ද සමාජවාදී ජාත්‍යන්තරවාදයේ එම මූලික මූලධර්මය මතම ය. එක්සත් ජනපදය චීනයේ ආර්ථික වර්ධනය සීමා කිරීමට, තීරනාත්මක සම්පත් සහ තාක්ෂනයන්ට එහි ප්‍රවේශය සීමා කිරීමට සහ එහි ගෝලීය බලපෑමේ ප්‍රසාරනය අවහිර කිරීමට උත්සාහ කරයි. එක්සත් ජනපද ඩොලරය ලෝක වෙලඳාමේ සහ මූල්‍ය ගනුදෙනු වල කුලුන ලෙස ක්‍රියාත්මක වන, පවතින භූ දේශපාලනික හා ආර්ථික ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හරහා, ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් එල්ල කරන නිර්දය පීඩනයට එරෙහිවීමට චීනය උත්සාහ කරයි. එහෙත් මෙම ප්‍රතිපත්තිය, චීනය එයට ප්‍රගතිශීලී සහ පරාර්ථකාමී මුහුනුවරක් (උදා: “තීරු සහ මාවත් මුලපිරීම” ප්‍රවර්ධනය කිරීම හරහා) දීමට දරන උත්සාහයන් නොතකා, ධනේශ්වර පදනමක් මත දිග හැරෙන අතර, පවතින ගෝලීය බල තුලනය ප්‍රතිසංවිධානයට වඩා වැඩි යමක් ඉලක්ක කරන්නේ නැත.
25. ධනේශ්වර රාජ්‍යයන්ගේ නව බහු ධ්‍රැවීය සභාගයක් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයට ප්‍රතිවිරුද්ධව පිහිටුවීම මගින් යුද්ධය පුපුරා යාම වැලැක්විය නොහැක. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය ජාතික රාජ්‍ය පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමකින් නොව, එය අහෝසි කිරීමේ පදනම මත පමනක් සාක්ෂාත් කරගත හැකිය. පලමු ලෝක යුද්ධය ආසන්නයේ රෝසා ලක්සම්බර්ග් අවධාරනය කල පරිදි, කම්කරු පන්තිය 'අධිරාජ්‍යවාදය, යුද්ධය, රටවල් කොල්ලකෑම, ජනතාව සමඟ කේවල් කිරීම, නීතිය කඩ කිරීම සහ ප්‍රචන්ඩත්වයේ ප්‍රතිපත්තියට එරෙහිව සටන් කල හැක්කේ, ධනවාදයට එරෙහිව සටන් කිරීමෙන්, ගෝලීය ජන සංහාරයට එරෙහිව සමාජ විප්ලවය ඇති කිරීම මගින්, පමනක් ය යන නිගමනයට එලඹිය යුතුය.”[8]
Thomas L. Friedman, “A Manifesto for the Fast World,” New York Times Magazine, March 28, 1999
A Quarter Century of War: The U.S. Drive for Global Hegemony 1990-2016, by David North (Mehring Books: Oak Park, MI), p. 277
එහිම, 368-69 පිටු
Foreign Affairs, January-February 2024, pp. 111-12
එහිම, 117 පිටුව
එහිම, 118 පිටුව
“After the August Putsch: Soviet Union at the Crossroads,” by David North, in The Fourth International, Volume 19, No. 1, Fall-Winter 1992, p. 110.
“Petty-Bourgeois or Proletarian World Policy?” in Discovering Imperialism: Social Democracy to World War I, translated and edited by Richard B. Day and Daniel Gaido (Chicago: Haymarket Books, 2012), p. 470