පොලිසිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පා ගමන පහර දී විසුරුවා හරියි

ඔක්තෝබර් 27 වැනි දා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොලඹ දී පැවැත්වූ විරෝධතා පෙලපාලියට රුදුරු පොලිස් ප්‍රහාරයක් එල්ල කොට එය විසුරුවා හැරීමට සහ එම සංවිධානයේ කැඳවුම්කරු නවීන් තාරක සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අත් අඩංගුවට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව පියවර ගත්තේය.

“නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය වනසන ලයිසියම්, එන්එස්බීඑම්, ගේට්වේ, ස්ලිට්, කොතලාවල වෙද උපාධි කඩ ගෙන ඒමේ ආන්ඩුවේ කුමන්ත්‍රනය පරදවමු”, “ප්‍රතිපාදන කප්පාදු කර රාජ්‍ය වෛද්‍ය පීඨ විනාශ කිරීමේ ආන්ඩුවේ කුමන්ත්‍රනය පරදවමු”, “සබරගමු, වයඹ, මොරටුව වෛද්‍ය පීඨවල ගැටලු වහා විසඳනු” යන මුඛ්‍ය සටන් පාඨ යටතේ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනි. විරෝධතාවයට යාපනය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලය ද ඇතුලු ව දිවයිනේ සියලු ම වෛද්‍ය පීඨවලින් දහසකට ආසන්න සිසුන් පිරිසක් රැස් ව සිටියහ.

ශිෂ්‍ය සංඛ්‍යාවට සමාන හෝ ඊට අධික යැයි කිව හැකි පිරිස් බලයකින් යුතු පොලිස් සහ හමුදා භට පිරිසක් බැටන් පොලු, කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරක රථවලින් සන්නද්ධ ව විරෝධතාවයට එරෙහි ව බලමුලු ගන්වා තිබුනි. ග්‍රීන්පාත් මාවතේ මහජන පුස්තකාලය අන්තයෙන් ඇරඹුනු විරෝධතාව එම මාවත අනෙක් අන්තය වන නෙලුම් පොකුන අසල දී පොලිස් බලකාය විසින් අවහිර කරන ලදි.

එම ස්ථානයේ රැඳී, සටන් පාඨ කියමින් සිටි සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කෙරුනි. අනතුරු ව පිරිස විසුරුවා ලීමට කැරලි මර්දන භටයෝ ප්‍රහාරයක් එල්ල කලහ. සිසුන් විහාර මහා දේවි උද්‍යානයට පලා යද්දී පොලිස් භටකාය ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් පහර දීමට පටන් ගත්හ. සිසුන් පසු බැස යමින් නැවත නැවතත් විරෝධතාවයේ යෙදීමට උත්සාහ ගත්ත ද දිගින් දිගට සිදු කෙරුන පහර දීම් හමුවේ එම උත්සාහයන් සාර්ථක නොවී ය.

වික්‍රමසිංහ ආන්ඩුව වෛද්‍ය විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයට රුදුරු ලෙස පහර දෙයි (WSWS)

පොලිස් බැටන් ප්‍රහාරවලින් තුවාල ලද සිසුන් පිරිසක් රෝහල් ගත කර ඇති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ප්‍රහාරයෙන් පසු දින පැවැත් වූ මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ ය.

මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී රුදුරු ප්‍රහාරය සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය දැඩි ලෙස හෙලා දකියි. ඒ සමගම ශීෂ්‍යයන්ගේ ආරක්ෂාව සඳහා වහා පෙරට පැමිනෙන ලෙස සසජාතශි කම්කරු පංතියේ සියලු කොටස් වලින් ඉල්ලා සිටී.

එල්ල කල ප්‍රහාරයේ රුදුරු පරිමාවන් නැවතත් පෙන්නුම් කරන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධානයන් මත ක්‍රියාවට දමමින් සිටින කප්පාදු පියවර වලට එරෙහි කවර හෝ විරෝධතාවක් නොඉවසන වික්‍රමසිංහ-පොදුජන පෙරමුනු ආන්ඩුව, එම විරෝධතා රුදුරු ම ආකාරයෙන් තලා දැමීමට තීන්දු ගෙන ඇති බවයි.

පොලිස් පහර දීමට සහ අත් අඩංගුවට ගැනීමට එරෙහි ව පසු දින දිවයින පුරා විශ්වවිද්‍යාල ගනනාවක් ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයට (අවිශිබම) අනුබද්ධ මහ ශිෂ්‍ය සංගම් විසින් විරෝධතා සංවිධානය කර තිබුනි. අත් අඩංගුවට පත් වූ සිසුන් සෙනසුරාදා කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයේ දී ඇප පිට නිදහස් කරනු ලැබ ඇත.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්වල එකමුතුවෙන් තනා ගෙන ඇති සංවිධානයකි. එය ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන අනුදැනුම යටතේ ක්‍රියාත්මක වන අවිශිබම සමග සමීප දේශපාලන සහ සංවිධානාත්මක සහයෝගීතාවකින් ක්‍රියා කරයි.

ශිෂ්‍යයන් සටනට පිවිස ඇත්තේ, අනුප්‍රාප්තික ආන්ඩු විසින් දියත් කරන ලද කප්පාදු හේතුවෙන් විශ්වවිද්‍යාල තුල දැවැන්ත මානව සහ භෞතික සම්පත් ඌනතාවක් වර්ධනය වී ඇති තතු තුලයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ අවසන් වසර අධ්‍යයන කටයුතු සඳහා මහාචාර්ය ඒකක නොමැත. වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකක ප්‍රමානවත් නොමැත.

වසර හතරකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කලේ කිසිදු නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමෙන් තොරව වන අතර, අද දක්වා එය පවත්වාගෙන යනු ලබන්නේ අනෙකුත් පීඨයන් සඳහා ඉදිකල ගොඩනැගිලි වලය. දිනෙන් දින උග්‍ර කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන කප්පාදුව හමුවේ සෙසු වෛද්‍ය පීඨයන් ද අධ්‍යයන/අනධ්‍යයන කාර්ය මන්ඩල ඌනතාවන්ගෙන් සහ සුභසාධන ගැටලුවලින් පීඩාවට පත් ව ඇත.

කම්කරු පංතික විරෝධතාවන්ට මෙන්ම ශිෂ්‍ය විරෝධතාවන්ට එරෙහි රාජ්‍ය මර්දනය වඩාත් ගැඹුරු කෙරෙමින් පවතී. පසුගිය ඔක්තෝබර් 18 වැනි දා නව ත්‍රස්ත විරෝධී පනතට සහ සමාජ මාධ්‍ය නියාමන පනතට, මහපොල ශිෂ්‍යාධාර පමා කිරීමට, සහ අධ්‍යාපනය පෞද්ගලීකරනයට විරෝධය පල කරමින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල, සිසුන් පන්සියයකට අධික පිරිසක් සහභාගී වූ පෙලපාලියක් ද පහර දී විසුරුවා ලීමට පොලිසිය කටයුතු කලේ ය. සඳුදා කොලඹ දී පැවැත් වූ ගුරුවරුන්ගේ විරෝධතාවයට ද මේ අයුරින් ම පහර දෙනු ලැබී ය.

ආන්ඩුව ක්‍රියාකාරමින් සිටින්නේ, ගෝලීය ධනේශ්වර අර්බුදයේ කොටසක් ලෙස ලංකාව තුල ගැඹුරු වී ඇති ආර්ථික අර්බුදයෙන් මහ ධනපතියන් මුදා ගනිමින්, ඔවුන්ගේ ලාභ තර කරගනුවස් තව තවත් මාර්ග විවර කර දෙන අතරේ, අර්බුදයේ සමස්ත බර කම්කරු පීඩිත මහජනතාව මත පැටවීමටයි. උසස් අධ්‍යාපනය, විශේෂයෙන් ම ඉහල ඉල්ලුමක් ඇති වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව පියවර ගෙන ඇත්තේ, එම ක්ෂේත්‍රය ජාතික සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට විවරකරදීමේ අරමුනෙනි.

ජාමූඅ ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3ක ඇපනයේ දෙවැනි වාරිකය ලෙස, ඔක්තෝබර් 19 වැනි දා, ඩොලර් මිලියන 330ක් ලබා දුන්නේ, සමාජ කප්පාදුව වේගවත් කල යුතු බවට යොදන පීඩනයක් ලෙස, මුලින් එය තාවකාලික ව අත්හිටුවීමෙන් පසු ව ය. ඔක්තෝබර් 20 වැනි දා ම විදුලි බිල සියයට 18කින් ඉහල දැමූ ආන්ඩුව, එම කප්පාදු අකුරටම ක්‍රියාවට දැමීමේ තම අධිෂ්ඨානය ජාමූඅ ට තහවුරු කලේ ය.

ඔක්තෝබර් 19 වැනි දා අධිකරන ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාල 24ක් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතු ව පත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභාවක් ලදරු අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා වන සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය වානිජකරනය කිරීමට පිඹුරු පතක් සකසා ඇත.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකින් අභියෝග නොකෙරෙන්නේ නම් මෙම සියලු කප්පාදු ක්‍රියාවට දැමීමට ආන්ඩුව කටයුතු කරනු ඇත. මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ, විදේශ නය ගෙවීම මූලික කර ගත් ජාමූඅ විධානයන් මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන සහ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමෙන් පමනි.

මේ සඳහා කම්කරු පන්තිය තම කාර්මික ශක්තිය බලමුලු ගන්වා ගනිමින් සටනට අවතීර්නය විය යුතු ය. එවන් සටනක් අවහිර කර ගෙන සිටින්නේ වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම පක්ෂයි. ධනපති ක්‍රමය තුල එකම විප්ලවවාදී සමාජ බලවේගය වන කම්කරු පංතිය වෙතට හැරී ගැනීමෙන් සිසුන් වලකා සිටින්නේ ද, පෙසප විසින් නායකත්වය දෙන අවිශිබම වැනි ශිෂ්‍ය සංවිධානයන් ය.

පසුගිය වසරේ මෙන් දැවැන්ත පරිමාන මහජන විරෝධතා පුපුරා යාම සම්බන්ධයෙන් දැනුවත් ආන්ඩුව වඩ වඩා මර්දනකාරී පියවර වෙතට හැරෙමින් සිටින අතර ආන්ඩුවේ සමාජ ප්‍රහාර හෝ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර ආන්ඩුවට ම බලපෑම් යොදමින් පරාජය කල නොහැකි බව පැහැදිලි ය.

Loading