[මෙය International Monetary Fund calls for drastic austerity measures in Sri Lanka මැයෙන් 2022 මාර්තු 13 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
කෝවිඩ්-19 වසංගතය හා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද ධාවනය ලංකාවේ ආර්ථිකය නට්ටම් කරද්දී, රටෙහි ආර්ථික අර්බුදය “විසඳීම” සඳහා ම්ලේච්ඡ කප්පාදු පියවරයන් යෝජනා කරන වාර්තාවක් මේ මාසය මුල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මන්ඩලය නිකුත් කලේ ය. මෙම වැඩපිලිවෙල කම්කරුවන් හා දුගීන් තව දුරටත් දුගී භාවයට හා කුසගින්නට ඇද දමන වට්ටෝරුවකි.
කෝවිඩ්-19 හේතුවෙන් ලංකාවට “තදබල පහරක් වැදී” ඇති බවත්, අප්‍රමානවත් විදෙස් සංචිත හා ඔරොත්තු නො දෙන රාජ්‍ය නය හේතුවෙන් “අතිශය අනාරක්ෂිත තත්ත්වයකට” මුහුන දෙන බවත්, ජාමූඅ වාර්තාව සටහන් කලේ ය.
වාර්තාව පවසන පරිදි ලංකාවේ බලධාරීන් වසංගතයට දැක්වූ ප්‍රතිචාරය වූයේ, ආන්ඩුවේ වියදම් ඉහල යාමට තුඩු දුන්, සාර්ව-ආර්ථික උත්තේජන පිලිවෙත්, සමාජ ආරක්ෂන වියදම් සහ ව්‍යාපාර සඳහා නය සහන කාලයන් ලබාදීම ඇතුලු 'පුලුල් සහන පියවරයන්' ක්‍රියාවට දැමීම තුලිනි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2020 හා 2021 වර්ෂයන් සඳහා අයවැය හිඟයන් සියයට 10 ඉක්මවා ගිය බව, එම වාර්තාව වැඩි දුරටත් කීවේ ය.
යතාර්ථයේ දී රාජපක්ෂ ආන්ඩුවේ “සහන පියවරයන්” සමන්විත වූයේ, කෝවිඩ්-19 අගුලු දැමීමේ කාලය තුල දුගීන්ට සොච්චම් දීමනා ලබා දෙන අතර, මහ ව්‍යාපාරිකය සඳහා රුපියල් බිලියන සිය ගනනක “උත්තේජන” සම්පාදනය කිරීම යි.
ලංකාව 2020 දී සියයට ඍන හයක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බවත්, 2021 සඳහා වර්ධනය සියයට 3.6ක් වනු ඇති බවත් ජාමූඅ වාර්තාව අනතුරු ඇඟවී ය. රාජ්‍ය නය ප්‍රමානය දදේනියෙන් සියයට 119ක් දක්වා නැගෙද්දී, විදෙස් සංචිත වියලී ගොස්, 2022 වසර සඳහා පමනක් නය ආපසු ගෙවීමේ කැපවීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් පමන වේ.
ආර්ථික පුපුරා යාමක් අත ලඟ යයි ගම්‍ය කල ජාමූඅ විධායක මඩුල්ල, පහත දැක්වෙන ඒවා ද ඇතුලු සවිස්තර කප්පාදු පියවරවල් යෝජනා කලේ ය:
* “වියදම් සහේතුකරනය, අයවැය සූත්‍රගත කිරීම හා ක්‍රියාවට දැමීම” සමගින් “දුගීන් අතරිනුත් ඉතාමත් දුගීන්ට” පමනක් සීමිත සොච්චම් රාජ්‍ය සහනාධාර දෙමින් සහනාධාර කපා හැරීම සමගින් සාර්ව-ආර්ථික ස්ථාවරත්වය හා නය සමතුලිතතාව පුනස්ථාපනය කිරීම.
* පොලී අනුපාත ඉහල දැමීම.
* රජයට අයත් ව්‍යවසායයන් ප්‍රතිසංස්කරනය හෙවත් ආන්ඩුවේ සංගත පුද්ගලීකරනය සහ වානිජකරනය.
* “පිරිවැය-ප්‍රකෘතිමත් කරගන්නා බලශක්ති මිල කිරීමක්” අනුගමනය කිරීම හෙවත් ඉන්ධන හා විදුලි මිල වැඩිදුර ඉහල දැමීම් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා ලංකා විදුලිබල මන්ඩලයට භාන්ඩාගාරයෙන් අරමුදල් සැපයීම ඉවත් කරගැනීම.
*ආදායම් බදු හා එකතු කල අගය මත බදු (වැට්) ඇතුලු බදු ඉහල දැමීම සහ “ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරන” ක්‍රියාවට දැමීම.
* “වෙලඳපොල මගින් නීර්නිත හා නම්‍යශීලී හුවමාරු රේට්ටු කරා ක්‍රමික ව ආපසු ඒම” හෙවත් රුපියල තව දුර අවප්‍රමානය කරමින් ආනයනිත භාන්ඩවල මිල ඉහල දැමීම.
රාජපක්ෂ ආන්ඩුව තවමත් ජාමූඅ වැඩපිලිවෙල අනුමත කර නැති අතර, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සාකච්ඡා සඳහා අප්‍රේල් මුල දී නිව් යෝක් වෙත සංචාරය කිරීමට නියමිත ය.
වසංගතය, අත්‍යවශ්‍ය භාන්ඩ හිඟය හා තීව්‍ර වන භාන්ඩ මිල මගින් මහජනයා දැනට මත් විනාශභාග කරනු ලැබ තිබේ.
ලොව පුරා සිය සගයන් මෙන් රාජපක්ෂ ආන්ඩුව ද අනුගමනය කරන සාපරාධී “මානව ජීවිතවලට පෙර ලාභ” පිලිවෙත්, අතිශයින් ම අඩු පරීක්ෂන මට්ටම් සමගින් පවා කෝවිඩ්-19 ආසාදන ගනන 655,000 දක්වාත්, නිල මරන සංඛ්‍යාව 16,370ට අධික නැගීමක් ඇත්දැක ඇත.
පෙබරවාරි මාසයේ ලංකාවේ වසරින්-වසර නිල උද්ධමන අනුපාතය සියයට 15.1 දක්වා ලඟා වූ අතර, ආහාර උද්ධමනය සියයට 25.7ක් වූයේ 2020 සැප්තැම්බරයේ සිට තියුනු නැගීමක් වාර්තා කරමිනි. 2020 පෙබරවාරි සිට මේ දක්වා ආහාර මිල සියයට 35කින් ඉහල ගොස් තිබේ.
තාපජනක විදුලි බල ජනනය සඳහා අවශ්‍ය තෙල් නැව්වලට ගෙවීමට එක්සත් ජනපද ඩොලර් හිඟ වීම නිසා, දිගු විදුලි බල කප්පාදු වෙත ආන්ඩුව යොමු වී ඇත. ආහාර පිසින ගෑස් හා ඉන්ධන ලබා ගැනීම පිනිස දීර්ඝ පෝලිම්වල සිටීමට මහජනයාට බලකෙරී ඇති අතර, අත්‍යවශ්‍ය ඖෂධ හා කිරිපිටි වැනි සමහර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නො පවතී.
ජාමූඅ සිය වාර්තාව නිකුත් කිරීමෙන් දින පහකට පසුව මාර්තු 7දා, මහ බැංකුව ඩොලරයට සාපේක්ෂ ව රුපියල සියයට 15කින් රුපියල් 230 දක්වා අවප්‍රමානය කොට, රුපියලේ අගය වෙලඳපොල මගින් තීරනය වීමට ඉඩ දුන්නේ ය. පසුගිය බ්‍රහස්පතින්දා රුපියල ඩොලරයට රුපියල් 260ක් දක්වාත්, සිකුරාදා රුපියල් 265ක් දක්වාත් නැගුනේ, උද්ධමනය තව දුර ඉහල යාමට අවස්ථාව සලසමිනි.
මහ බැංකුව මාර්තු 7දා සියයට 1කින් පොලී අනුපාත ඉහල දැමුවේ ඉන්ධන, විදුලිබලය හා ජලය සඳහා ඉහල මිල ගනන් යෝජනා කරමිනි.
ගෝලීය වසංගතය මධ්‍යයේ ඉහල යන උද්ධමනයට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුව හා අනෙකුත් මහ බැංකු විසින් පොලී අනුපාත ඉහල දැමීම, ලංකාව හා අනෙකුත් බොහෝ ඊනියා ඉස්මතු වෙමින් වෙලඳපොල ආර්ථිකයන් හා අඩු-ආදායම් රටවල් මත බොහෝ සෙයින් බලපා තිබේ.
රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීම, එක්සත් ජනපද-නැටෝ යුද ධාවනය හා එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් විසින් රුසියානු-විරෝධී සම්බාධක පැනවීම ද ලංකාවට දැඩි ලෙස පහර දෙමින් තිබේ.
“යුක්‍රේන අර්බුදය ලංකාවේ තේ හා සංචාරක කර්මාන්තයන් ප්‍රකෘතිමත් වීමේ මූලෝපාය නට්ටම් කරයි” යන හිසින් මාර්තු 7දා ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය පලකල ලිපියක්, ලංකාවේ තේ මිල දී ගන්නා දෙවන විශාලතම රට වන රුසියාවට ලංකාවේ තේ විකිනීම් නැවතිය හැකි බව සටහන් කලේ ය.
දැන් බැරලයට ඩොලර් 130 ඉක්මවන, යුක්‍රේන ගැටුම විසින් නිර්මිත ඉහල යන තෙල් මිල, ලංකාවේ ඉතා සීමිත විදෙස් මුදල් සංචිත ක්ෂය කරමින් පවතී. රුසියාව හා යුක්‍රේනය යනු පිලිවෙලින් ලංකාවේ සංචාරක මූලාශ්‍රවල පලමු හා තුන්වන ස්ථාන දරන රටවල් වෙති.
ලෝකයේ බොහෝ සෙයින් ම නයබරිත නැගී එන ආර්ථිකයන් අතරින් වඩාත් ම අනාරක්ෂිත රටවල් වන්නේ ලංකාව හා සැම්බියාව යනුවෙන් අනතුරු අඟවමින්, ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය කතුවැකියක් පලකිරීමෙන් සති දෙකකට පසුව ජාමූඅ අනතුරු ඇඟවීම නිකුත් කරන ලදී.
“ලංකාව, සැම්බියාව හා අනෙකුත් රටවලට ඒවායේ නය අර්බුදය විසඳා ගැනීමට වඩා හොඳ යාන්ත්‍රනයන් අවශ්‍යය යි” යන උද්ධෘතයෙන් යුත් එය පෙබරවාරි 15දා ප්‍රකාශ කලේ, එවන් තත්ත්වයන් සමග ගනුදෙනු කිරීමට ජාමූඅ පවතින බව හා “ඒවායේ ආර්ථිකයේ යලි නිවැරදි මාවතට ගෙන ඒමට” ප්‍රතිසංස්කරන අවශ්‍ය බව යි.
ජාමූඅ කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමීමට දැනට මත් එකඟ වී ඇති සැම්බියාව විශේෂයෙන් ම චීනයට ඇති තම ඩොලර් බිලියන 15ක නය ප්‍රතිව්‍යුහකරනය කිරීමට පියවර ගනිමින් සිටී. චීනය ලංකාවේ ද ප්‍රධාන නය මූලාශ්‍රයකි.
ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය එහි පෙට්ටගම් වෙත මුදල් අබාධිත ව ගලා ඒම ඉල්ලා සිටින තතු තුල, ඉහලින් ම නයබරිත සියලු රටවල් තුල ජාමූඅ “ප්‍රතිව්‍යුහකරන” මැදිහත් වීමක් හෝ එක පැහැර නය පැහැර හැරීමක්, කම්කරු පන්තියට වඩා දරුනු සමාජ ප්‍රහාර එල්ල කිරීම කරා ධාවනය කරයි.
මූඩිස්, එස්ඇන්ඩ්පී, ෆිච් හා අනෙකුත් ශ්‍රේනිගත කිරීමේ ආයතන, ලංකාවේ නය ඛන්ඩිත තත්ත්වයට පහල දමා ජාමූඅ මැදිහත් වීම පිලිගන්නා ලෙස උනන්දු කර ඇත.
ප්‍රධාන වසයෙන් චීනයෙන් හා ඉන්දියාවෙන් රාජපක්ෂ ආන්ඩුව දැනට මත් හුවමාරු පහසුකම් ලබාගෙන ඇති අතර, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1ක නයක් අපේක්ෂා කරයි.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ “ආර්ථික ප්‍රකෘතිය” -එනම් දරුනු කප්පාදු- සඳහා සැලැස්මක් ඉදිරිපත් කරන තෙක්, ඉන්දියාවට ලංකාවේ මූල්‍ය තත්ත්වයේ අර්බුදය කලමනාකරනය කල නො හැකි යයි ඉන්දියානු ආන්ඩුව ඔහුට ප්‍රකාශ කර ඇති බව මාර්තු 6දා සන්ඩේ ටයිම්ස් පත්‍රය වාර්තා කලේ ය. මේ මාසය අග දී බැසිල් රාජපක්ෂ නව දිල්ලියට සංචාරය කිරීමට නියමිත වන්නේ ඉන්දියාවේ විදේශ ඇමති එස්. ජෙයශංකර් සමග සාකච්ඡා සඳහා ය.
මාර්තු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූ ලංකාවේ මහ ව්‍යාපාරික කන්ඩායම් ජාමූඅ විධානයන් ප්‍රතිරාවය කරමින් ජාමූඅ සමග වැඩකටයුතුවල නිරත වන ලෙසට ආන්ඩුව උනන්දු කලේ ය.
සහනාධාර කැපීම, ඉන්ධන, ගෑස් හා විදුලිබලය “වෙලඳපොල විසින් මෙහෙයවෙන මිල සූත්‍රයක්” ස්ථාපිත කිරීම සහ හුවමාරු අනුපාත නම්‍යශීලීත්වයට ඉඩ දීම ආදිය මහ ව්‍යාපාරික නියෝජිතයෝ ආන්ඩුවෙන් ඉල්ලා සිටිය හ. ඇඟලුම් අපනයනකරුවෝ බංග්ලාදේශය, වියට්නාමය හෝ අප්‍රිකාව වෙතට ඔවුන්ගේ කම්හල් යලි ස්ථාපනය කිරීමටත්, ආර්ථික අර්බුදය දිගට ම පැවතුන හොත් ලාංකික රැකියා දහස් ගනනක් විනාශ කිරීමටත් තර්ජනය කරමින් සිටින බවට ද ඔවුහු අනතුරු ඇඟවූ හ.
ගොඩනැගිලි සමාගම් කියා සිටියේ, ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟයන් 650,000ක් වන ඔවුන්ගේ ශ්‍රම බලකායට තර්ජනයක් වෙමින් පවතින බව යි. නැවතුනු ව්‍යාපෘති හා අනෙකුත් බාධාවන් හේතුවෙන් ඔවුන් දැනට මත් කම්කරුවන් 50,000ක පමන රැකියා නවතා දමා ඇත.
ලංකාවේ සියලු ම ආර්ථික විද්‍යාඥයන්ගේ ම පාහේ සහ විරුද්ධ පක්ෂවල මන්ත්‍රය බවට පත් වී ඇත්තේ “ජාමූඅ වෙත යන ලෙස” යි. ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය, ජාමූඅ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගන්නා ලෙස කැඳවුම් කර තිබුනි.
කප්පාදු පියවරයන් සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමට උත්සාහ කරමින්, සර්ව-පාක්ෂික සමුලුවක් පැවැත්වීමේ සැලසුම් ජනාධිපති රාජපක්ෂ නිවේදනය කලේ ය. සමස්තයක් ලෙස ම දේශපාලන සංස්ථාපිතය අධිෂ්ඨානවත් ව සිටින්නේ, ආර්ථික අර්බුදයට කම්කරු පන්තිය ලවා ගෙවීමට සලස්වා විරෝධය මැඩීම පිනිස මර්දන පියවරයන් යොදාගැනීමට යි.
ඉහල වැටුප් හා වඩා හොඳ කොන්දේසි ඉල්ලමින්, සෞඛ්‍ය, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන, දුම්රිය හා වතු අංශවල කම්කරුවන් ලක්ෂ ගනන් නිරත වූ මහා වැඩ වර්ජන හා විරෝධතා පසුගිය වසරේ පැවැත්වුනි.
කප්පාදු පියවරයන්ගේ නව වටයන් කම්කරු පන්තියේ හා ගම්බද ජනයාගේ වඩා විශාල අරගල පුපුරුවා හරිමින්, ඔවුන් ව රාජපක්ෂ ආන්ඩුව සමග ඍජු දේශපාලන මුනගැටුමකට ගෙන එනු ඇත.