අධ්‍යාපනය පෞද්ගලීකරනය පරාජය කිරීමට සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදිනු!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මේ මස මුල දී පාර්ලිමේන්තුවේ පැවති අය-වැය විවාදයක දී අධ්‍යාපනය පෞද්ගලීකරනය වේගවත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ඒකාබද්ධ වන ලෙස “විපක්ෂයේ“ සියලු පක්ෂවලට විශේෂ කැඳවුමක් කලේ ය.

වාර්ෂිකව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 8,000 ක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන බව පැවසූ වික්‍රමසිංහ “අපි ලංකාව මේ කලාපයේ අධ්‍යාපනයේ හබ් එකක් කරමු. එතකොට අපිට රටින් පිටට යන රුපියල් බිලියන 3ක් ඉතුරු කර ගන්න විතරක් නෙමේ, බිලියන 10 ක් ගෙන්වා ගන්නත් පුලුවන්. ඒ සඳහා එකතු වෙන්න“ යයි ඉල්ලා සිටියේ ය.

වික්‍රමසිංහගේ මෙම කැඳවුම් කිසිදු ලෙසකින් සාමාන්‍ය කම්කරු පීඩිත මහජනයාගේ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ඉහල නැංවීමේ උත්සාහයක් නොවන බව සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය කියා සිටී. ඊට ප්‍රතිකූලව එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙලේ විධානයන්ට අනුව නිදහස් අධ්‍යාපනය තවදුරටත් කප්පාදු කොට අධ්‍යාපනය දෙස් විදෙස් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමේ ප්‍රයත්නයකි.

2022 අප්‍රේල් 6 දින පේරාදෙනියේ ගලහ හන්දියේ පැවති ශිෂ්‍ය විරෝධතාවක් (ලෝසවෙඅ මාධ්‍ය)

වික්‍රමසිංහ යෝජනා කරන පෞද්ගලික විශ්වවිද්‍යාලවල රුපියල් මිලියන ගනන් වන ගාස්තු දැරිය හැක්කේ අතලොස්සක් වන ධනපති පන්තියේ හා ඉහල මධ්‍යම පාන්තික පවුල්වල දරුවන් අතලොස්සකට පමනි. පෞද්ගලීකරනය තවදුරටත් වේගවත් වීමෙන් සිදු වන්නේ, ධනපති පන්තියේ හා ඉහල මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ට පහසුකම් සපිරි අධ්‍යාපනයක් හා කම්කරු පීඩිත පවුල්වල දරුවන්ට ගරා වැටෙන පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් වශයෙන් අධ්‍යාපනය තුල අසමානතාව තවදුරටත් පුලුල් කිරීමයි.

බලයට පත් සෑම ධනපති ආන්ඩුවක් විසින් ම සිදු කර ඇත්තේ එය නොවේ ද ? නිදහස් අධ්‍යාපනය කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස රජයේ විශ්වවිද්‍යාල තුලට වාර්ෂිකව බඳවා ගත හැක්කේ උසස් පෙල සමත් දහස් සංඛ්‍යාත සිසු සිසුවියන්ගෙන් සියයට 15-20 අතර සීමිත ප්‍රතිශතයකි.

වික්‍රමසිංහ ආන්ඩුවේ 2023 අය-වැය මෙම කප්පාදුව තවත් වේගවත් කර ඇත. කොවිඩ්-19 වසංගතය මගින් හා යුක්ක්‍රේන යුද්ධය මගින් ගැඹුරු වන ලෝක ධනේශ්වර අර්බූදයේ බර කම්කරු පීඩිත මහජනයා මත පැටවීමට ජාමූඅ විසින් නියෝග කරන කප්පාදු පිලිවෙත් මුලුමනින්ම ක්‍රියාවට දැමීම අය-වැයේ එල්ලයයි.

ඉන්, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කර ඇත්තේ පිලිවෙලින් රුපියල් බිලියන 232 ක් හා 332 ක් තරම් සොච්චමකි. සෞඛ්‍යය පුද්ගලීකරනය යටතේ රජයේ රෝහල් සඳහා ගෙවීම් වාට්ටු ක්‍රමය යෝජනා කෙරී ඇත. විදුලිබල මන්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව සහ ටෙලිකොම් වැනි රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය පෙර නොවූ විරූ මට්මකින් වේගවත් කිරීම ද ඊට ඇතුලත් ය.

ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්හි උද්ධමනය තවදුරටත් ඉහල නංවන මෙම කප්පාදු හමුවේ ජීවන තත්වයන් කාබාසිනියා වීමට එරෙහිව පැන නැංවිය හැකි මහජන නැගිටීම් තලා දැමීමට මිලිටරි වියදම් රුපියල් බිලියන 539 ක් දක්වා ඉහල නංවා ඇත.

ජාමූඅ මෙම විසකුරු වැඩපිලිවෙලට මුලුමනින් පක්ෂපාති පාර්ලිමේන්තු විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), පොදු ජන එක්සත් පෙරමුන (පොජඑපෙ) හා එහි තවත් පාර්ශ්වයක් නියෝජනය කරන ඩලස් අලහප්පෙරුමගේ කන්ඩායම හා දෙමල ජාතික සන්ධානය, වික්‍රමසිංහගේ අධ්‍යාපනය පෞද්ගලීකරන වැඩපිලිවෙල ඉදිරියට ගෙන යෑම සඳහා පූර්න සහාය ලබා දෙන බවට උක්ත පාර්ලිමේන්තු විවාදයේ දී සපථ කලහ.

පසුගිය කාලපරිච්ඡේදයේ අධ්‍යාපනය සඳහා වෙන් කල මුදල ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස යන්තම් සියයට 1 ක් ඉක්මවා ගියේ වසර දෙකක් තුල පමනක් යයි ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන එස්.බී. දිසානායක ලජ්ඡාවකින් තොරව ප්‍රකාශ කලේ, ඔහු විසින් එම කප්පාදු ක්‍රියාත්මක කල ආන්ඩුවල අධ්‍යාපන ඇමතිකම් පවා දරා සිටි තතු තුල ය.

එම අගය ඉහල දැමීමට ඔහු යෝජනා කලේ, රජයේ පාසල් අතර පවත්නා දැවැන්ත අසමානතාව වඩාත් ගැඹුරු කෙරෙන්නා වූ, ගාස්තු අය කෙරෙන රජයේ පාසල් ව්‍යාපෘතියකි. අධ්‍යාපනයට “ශක්තියක්“ දිය හැකි දෙමාපියන් ජාත්‍යන්තර පාසල්වලට තම දරුවන් යොමු කරන බව ප්‍රකාශ කල ඔහු, එම දරුවන් ගාස්තු අය කෙරෙන රජයේ පාසල්වලට යොමුකර ගැනීම හරහා ලැබෙන ආදායමෙන් රජයේ අධ්‍යාපන වියදම ඉහල දැමිය හැකි බවට තර්ක කලේ ය.

රජයේ පාසල්වල වාර්ෂික වියදමෙන් දැවැන්ත බරක්, පාසල් සංවර්ධන සමිති හරහා, දෙමාපියන් මත පටවා ඇති තතු යටතේ, විදුලි හා ජල ගාස්තු ද, ලිපි ද්‍රව්‍ය ඇතුලු උපකරනවල මිල ද සුවිසල් ලෙස ඉහල යෑමට ප්‍රතිචාර වසයෙන්, නාගරික පාසල්වල පහසුකම් හා සේවා ගාස්තු රුපියල් 5,000 ද ඉක්මවා යන පරිදි දැවැන්ත පරිමානව ඉහල නංවා තිබේ. බොහොමයක් පාසල්වල ගුරු හිඟය හේතුවෙන් තාවකාලික පදනමේ බඳවා ගෙන සිටින ගුරුවරුන්ට වැටුප් ගෙවන්නේ ද දෙමාපිය ආධාරවලිනි.

අධ්‍යාපනය පුද්ගලීකරනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විපක්ෂයන්ගේ පිලිවෙත මීට වෙනස් නොවේ. ජාතික ජන බලවේගයේ (ජාජබ) අධ්‍යාපනය පිලිබඳ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින්, දෙසැම්බර් 07 දා ඒෂියන් මිරර් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නලින්ද ජයතිස්ස මෙසේ පැවසීය: 'තෘතීයික අධ්‍යාපනය ගැන කතා කරන විට, අප සතුව ඇත්තේ වර්ධනය කලයුතු කුඩා භාන්ඩාගාරයක් නිසා, රාජ්‍ය භාන්ඩාගාරයෙන් සියල්ල කරන්න බැරි වෙන්න පුළුවන්. ... එබැවින්, රාජ්‍ය නියාමනයට යටත්ව තෘතියික අධ්‍යාපනයට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමට අපි එකඟයි.'

නිදහස් අධ්‍යාපනයේ රැකවලුන් ලෙසත්, පෞද්ගලීකරනයට එරෙහි අභීත සටන්කරුවන් ලෙසත් අතීතයේ කල මවාපෑම් ඉවතලා ජාමූඅ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට ජවිපෙ සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයට සහතික කරමින් මේ දිනවල එහි නායකයෝ මෙවැනි ප්‍රකාශ නිතර සිදු කරති. පසුගිය මාසයේ දී ජවිපෙ නායක අනුර දිසානායක රාජ්‍ය සේවය කප්පාදු කල යුතු බව ප්‍රකාශ කලේ ය.

පාලක පන්තියේ මෙම ඒකාබද්ධතාවය හමුවේ වික්‍රමසිංහ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි පලල් ශිෂ්‍ය විරෝධය තලා දැමීමට කැඳවුම් කලේය. “ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කියලා අවුරුදු හතලිහේ අයව දාගෙන මේක නතර කරන්න බෑ. මට බනින්න පුලුවන් නමුත් කරන්න දෙයක් නෑ. ගන්න තීරන ජනප්‍රිය නැති වෙයි“.

'අවුරුදු හතලිහේ අය' ලෙස ඔහු විශේෂයෙන් සඳහන් කලේ, පසුගිය අප්‍රේල්-ජූලි මහජන අරගලවලට සම්බන්ධවීම හේතුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 100 ටත් වැඩි කාලයක් අත්අඩංගුවේ රඳවා සිටීමෙන් පසු දැන් අධිකරන නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාරගතකොට සිටින, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙනි.

වික්‍රමසිංහ සඳහන් කලේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිලිබඳව වුවත් ඔහුගේ තර්ජනය එල්ල කෙරී ඇත්තේ, සියලු ශිෂ්‍යයන්ට සහ අතිමූලික වසයෙන් කම්කරු පන්තියටයි. පසුගිය මාසයේ, අය-වැය විවාදය මධ්‍යයේ දී, “නැවත අරගල කරන්න ගියොත් හදිසි නීතිය යොදා හමුදාව කැඳවනවා“ යැයි වික්‍රමසිංහ සමස්ත මහජනයාට තර්ජනය කලේ ය.

අප්‍රේල්- ජුලි මහජන නැගිටීම වැන්නක් යලි පුපුරා යෑම පිලිබඳව සංවේදි වික්‍රමසිංහ, ධනේශ්වර පන්ති පාලනය රැක ගනිමින් අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාර එල්ල කිරීම සඳහා පාලක පන්තියේ ඒකාබද්ධතාවය අවධාරනය කර ඇත.

නමුත්, ධනපති ක්‍රමයේ අර්බූදයට කර ගැසීමට සූදානම් නැති බව කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් නැවත නැවතත් පෙන්වා ඇත. ඔවුන් මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය වන්නේ වික්‍රමසිංහ ආන්ඩුව ඉදිරියට දමා තිබෙන ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල හා රාජ්‍ය මර්දනය පරාජය කල හැක්කේ කුමන වැඩපිලිවෙලක් යටතේ ද ? යන්නයි.

මේ මස 20 දා අධ්‍යාපනය පෞද්ගලීකරනය සම්බන්ධව පැවති අවිශිබම සම්බන්ත්‍රනයක දී එහි ක්‍රියාකාරීන් කියා සිටියේ “සමාජයේ ප්‍රගතිශිලි බලවේග සමග එකතු වෙලා අතීතයේ දී මෙන්ම කොන්දේසි විරහිතව සටන් වදින“ බවයි.

අවිශිබමයේ මෙම ඊනියා “ප්‍රගතිශීලි බලවේගවලට“ අයත් වන්නේ වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින කප්පාදුවලට සහයෝගය දී තිබෙන පාර්ලිමේන්තු විපක්ෂයේ ධනපති පක්ෂ, ඔවුන් යටතේ ක්‍රියාත්මක වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම පක්ෂයන් ය. ධනපති ක්‍රමයේ මෙම ඍජු නියෝජිතයන් සමග ඒකාබද්ධව, පෞද්ගලීකරනය හා ශිෂ්‍ය මර්දනය පරාජය කල හැකිය යන මිථ්‍යාව වපුරන අවිශිබමයේ හා ඊට පිටුබලය දෙන පෙසපයේ ප්‍රතිගාමී වැඩපිලිවෙලින් ශිෂ්‍යයන් බිඳීගත යුතු ය.

පෙසප, අවිශිබමය හා වෘත්තීය සමිති නිලධරය ඒකාබද්ධව, පසුගිය මහජන නැගිටීම, ධනපති පක්ෂවල අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙල යටතට හරවා යවා එය පාවා දුන්හ. තම පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට හා බලය සඳහා සටන් කිරීමට, කම්කරු පංතියට ස්වාධීන ඉදිරි දර්ශනයක්, විප්ලවවාදී නායකත්වයක් සහ තමාගේම දේශපාලන උපකරනයන් අත්‍යවශ්‍ය බව එම මහජන නැගිටීමේ බලගතුම දේශපාලන පාඩමයි.

ඒ අනුව, ධනේශ්වරයේ සියලු දේශපාලන පක්ෂවලින්, ඔවුන්ගේ ව්‍යාජ-වාම අන්තේවාසිකයන්ගෙන් හා වෘත්තීය සමිති යාන්ත්‍රනයන්ගෙන් කම්කරුවන් බිඳී වෙන්වී, සෑම වැඩපොලකම, කම්හලකම සහ නිවස්නා ප්‍රදේශකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගතයුතු බව අවධාරනය කරන සමාජවාදී සමානතා පක්ෂය සහ සසජාතශි, ඉහත කමිටු වටා ගම්බද දුගීන් හා ශිෂ්‍යයන් රැලිකර ගනිමින්, ධනපති ප්‍රහාරයන්ට එරෙහිව දේශපාලන ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට පෙරට එනලෙස සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ඒ සමගම, ධනපති ක්‍රමයට අභියෝග කලහැකි එකම සමාජ බලවේගය වන කම්කරු පංතිය වෙතට හැරී, එම ප්‍රතිප්‍රහාරය සූදානම් කිරීමට එක්වන ලෙස අපි සියලු ශිෂ්‍යයන්ට කැඳවුම්කර සිටිමු,

මෙම සටනේදී ශ්‍රී ලංකාවේ කම්කරු පංතිය, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන් තනිවී නොමැත. කොවිඩ්-19 වසංගතයෙන් සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයෙන් ගැඹුරු කෙරුනු ගෝලීය ආර්ථික අර්බූදය මධ්‍යයේ, ලොවපුරා පාලක පංතීන් අධ්‍යාපනය සහ සෞඛ්‍යය ආදී සුභසාධන කප්පාදු කරමින් කම්කරු පන්තිය හා තරුන ජනයා මත එල්ල කරන ප්‍රහාර හමුවේ, ලොවපුරා බලගතු පංති සටන් පුපුරා යමින් පවතී.

ලොවපුරා කම්කරුවන් සහ තරුනයන්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් හරහා බලමුලු ගන්වමින්, ධනපති ක්‍රමය ගෝලීය පරිමානව පෙරලා දමා, ලාභය වෙනුවට මහජන අවශ්‍යතා සපුරාලන පරිදි, ජාත්‍යන්තර සමාජවාදී පදනමක් මත සමස්ත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගැනීම, ධනපති ප්‍රහාර වලින් අත් මිදීම සඳහා ඇති එකම විකල්පය යි.

මෙම වැඩපිලිවෙලෙහි කොටසක් ලෙස, සංගත, බැංකු, සුවිසල් කම්හල් සහ මහා පරිමාන වතු, කම්කරු පංති පාලනය යටතේ ජනසතු කරමින් නිෂ්පාදනය සහ බෙදා හැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කෙරෙන, කම්කරු-ගොවි ආන්ඩුවක් ශ්‍රී ලංකාව තුල බලයට ගෙන ඒමට සසප සහ සසජාතශි සටන් වදී.

සෑම විශ්වවිද්‍යාලයකම සහ අධ්‍යාපන ආයතනයකම සසජාතශි ශාඛා ගොඩනගමින් එම සටනට එක්වන ලෙස අපි ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටිමු

Loading