නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විරෝධතා දැක්වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට පොලීසිය මුර්ග ලෙස පහර දෙයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලය ඊයේ (අගෝස්තු 10) කොලඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවට සහභාගි වීමට පැමිනි විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට නින්දිත ප්‍රරහාරයක් එල්ල කල පොලීසිය ඉන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ප්‍රහාරයෙන් ගැලවීමට මහජන පුස්තකාලයට දිවගිය සිසුන් හඹාගිය පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් අයුරු (ඡායාරූප:wsws)

විරෝධතාව ආරම්භ වීමට නියමිතව තිබුනේ දහවල් 12.30 ට වුවද, විවිධ දිශාවන්හි සිට විරෝධතා පාගමන් වලින් පැමිනි සිසුන් විසුරුවා හැරීමට සන්නද්ධ පොලිස් භට කන්ඩායම් විසින් අතරමගදී එල්ල කල ප්‍රහාර හේතුවෙන්, පුරහල ආසන්නයට සිසුන් පැමිනීම ප්‍රමාද විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් කිරුලපන සිට ලිප්ටන් වටරවුමට පාගමනින් යමින් සිටියදී 'හැව්ලොක් සිටි' අසලදී පොලීසිය ජල ප්‍රහාර එල්ලකොට ඇත. අවසානයේදී සවස 3.00 ට පමන සිසුන් 200 කට ආසන්න සංඛ්‍යාවක් පුරහල අසලට පැමිනියහ.

ශිෂ්‍ය විරෝධතාවයට එරෙහිව කැරලි මර්දන පොලිසිය සහ මිලිටරි බලමුලු ගන්වා තිබූ අයුරු -wsws

මධ්‍යහන 12.00 පමන සිට, කැරලි මර්දන පොලීසිය, පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය සහ යුද හමුදාවට අයත් භටයින් 500 ක් පමන පුරහල වටා බලමුලු ගන්වා තිබුනි. මැෂින් තුවක්කු, ජල ප්‍රහාරක රථ සහ කඳුලුගෑස් විදිනයන්ගෙන් ඔවුහු සන්නද්ධව සිටියහ.

විහාර මහා දේවී උද්‍යානය අසල විරෝධතා දක්වන සිසුන්

සිසුන් විහාර මහා දේවී උද්‍යානය අසල විරෝධතාවක් ආරම්භ කල අතර, පොලීසිය, දෙපසින්ම ජල ප්‍රහාරක මානාගෙන සිටියහ. විරෝධතාකරුවන් පාගමනකින් ඉදිරියට යාමට තැත් කරත්ම පොලීසිය ඔවුන් පදික වේදිකාවට තල්ලුකර දැමීය. සිසුන් සැනෙකින් උද්‍යානයේ අනෙක් පසට දිවයත්ම පොලීසිය ඔවුන් ලුහු බැඳීය. එවිටම ජලප්‍රහාර එල්ල කෙරුනු අතර, සිසුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉහල පොලිස් නිලධාරියෙක් නියෝග කලේය. ඉවබව නැතිව එල්ල කෙරුනු ජල ප්‍රහාරයන්හිදී මාධ්‍යවේදීන්ගේ කැමරා වලට පවා හානි සිදුවිය.

මෙම විරෝධතාවය කඩාකප්පල් කිරීමේ අරමුනෙන් පොලිසිය මාලිගාකන්ද සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරන වලින් අවිශිබම විරෝධතා වාරනය කෙරෙන නියෝගයන් ද ලබාගෙන තිබිනි. ඒ අනුව ඩීන්ස් පාර, කුලරත්න මාවත, ටී.බී ජයා මාවත, ටෙක්නිකල් හන්දිය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ගාලු මුවදොර යන ප්‍රදේශ වලට යාම විරෝධතාකරුවන්ට තහනම් වූ අතර මෙම නියෝග කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවසර ලැබුනි.

දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතින අර්බුදයට මුහුන දෙමින් සිටින ආන්ඩුව තම මර්දනකාරී හස්තය අමෝරමින් සිටී. විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට එල්ල කල මේ ප්‍රහාරය පසුගිය සති දෙක තුන පුරාම තීව්‍ර කරමින් පැවැති රාජ්‍ය මර්දනයේ උච්ඡ අවස්ථාවකි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල යටතේ රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාවට නංවමින් පවතින අධ්‍යාපනය පුද්ගලීකරනයටත්, කම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) සහ සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) කප්පාදුවටත් විරුද්ධ සටන් පාඨ සිසු-සිසුවියෝ හඬ නැගූහ. 'නිදහස් අධ්‍යාපනය වනසන රනිල් විජේදාස වාර්තාව ඉරා දමව්!'; 'IMF කොන්දේසි වලට අධ්‍යාපනය-සෞඛ්‍යය විකුනන ජන අයිතීන් කොල්ල කන රනිල්- රාජපක්ෂ ජුන්ටාව පන්නමු!'; 'NSBM-ලයිසියම්-KDU ඇතුලු උපාධි කඩ එපා' ආදී සටන් පාඨ ඒ අතර විය.

ආන්ඩුව මුහුන දී සිටින්නේ කම්කරුවන් සහ ශිෂ්‍යයන් ඇතුලු විවිධ කොටස් අතරින් මතුවන විරෝධතා මාලාවකටය. වගාකල තම කුඹුරු වලට ජලය නොමැති කමෙන් දැවැන්ත පීඩනයකට ගොදුරු වූ දිවයිනේ විවිධ පලාත්වල ගොවියන් අතරින් පැනනැගුනු උද්ඝෝෂන වලින් ආන්ඩුව සසල විය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැනවූ කෘෂි රසායනික තහනමට එරෙහිව රටපුරා ඇවිලගිය ගොවි උද්ඝෝෂනවලින් ඇරඹුනු විරෝධතා මාලාව මහජන නැගිටීමක් දක්වා වර්ධනය වූ අයුරු සහ එම නැගිටීමට මිලියන සංඛ්‍යාත කම්කරු පංතිය එක්වීමත් සමග රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහ කෙරුනු අයුරු පිලිබඳව ජනාධිපති වික්‍රමසිංහ ඉතා දැනුවත්ය. රුදුරු රාජ්‍ය මර්දනය මගින් එවන් නැගිටීමක් පූර්වභංග කිරීම වික්‍රමසිංහගේ අධිෂ්ඨානය යි.

* ජූලි 28 දා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට කොලඹ දෙමටගොඩ සහශ්‍රපුර ක්‍රීඩා පිටිය අසලදී පොලීසිය ජල සහ කඳුලුගෑස් ප්‍රහාර එල්ල කල අතර එය වාර්තා කිරීමට පැමිනි මාධ්‍යවේදියෙකු වන තරිඳු උඩුවරගෙදර පොලීසිය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යන ලදී.

* ජූලි 23 දා ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) තරුන සංවිධානය වන සමාජවාදී තරුන සංගමය, 1983 ජූලි දෙමල ජන විලෝපනය අනුස්මරනය කිරීමට කොලඹ විහාර මහා දේවි උද්‍යානයේ එලිමහන් රංග පීඨය දෙසට පා ගමනකින් යමින් සිටියදී පොලිසිය ජල ප්‍රහාර එල්ල කලේ ය. මෙයට දහසක පමන දැවැන්ත පොලිස් හමුදාවක් බලමුලු ගන්වා තිබුනි.

*එ දින ම, එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) ප්‍රධානත්වයෙන් 'උතුරු දකුනු සහෝදරත්වය' නම් වූ සංවිධානය බොරැල්ල කනත්ත ඉදිරිපිට මංසන්ධියේ සංවිධානය කර තිබුනු 1983 ජූලි විලෝපනයේ අනුස්මරනයට ද දහසකට අධික පොලිස් බලකායක් බලමුලු ගන්වා විරෝධතාවය කඩකප්පල් කර විසුරුවා හැරිනි.

*ජූලි 25දා කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට පුද්ගලික අංශයේ සේවකයින් 2,000ක් විසින් ආන්ඩුවේ යෝජිත නව කම්කරු නීති හකුලා ගන්නා ලෙසත් විශ‍්‍රාම වැටුප් කප්පාදුව නවත්වන ලෙසත් බලකරමින් මහ බැංකුව දක්වා පා ගමනින් යාමට දැරූ ප්‍රයත්නය පොලීසිය විසින් ලබාගත් අධිකරන නියෝගයක් මත වලක්වන ලදී. කම්කරුවන්ට එරෙහිව හමුදාව සහ පොලිසිය ද ජල ප්‍රහාරක රථද බලමුලු ගන්වා තිබිනි.

ජූලි 23 සිට සති තුනක් ඇතුලත එල්ල කරනු ලැබ ඇති මෙම ප්‍රහාරයන් මගින් පෙන්නුම් කරන්නේ ජාමූඅ හි කප්පාදු විධානයන් ක්‍රියාවට දැමීමට අධිෂ්ඨාන වී සිටින ආන්ඩුව, තමාට එරෙහි කුමන ආකාරයක හෝ විරෝධතාවක් නොඉවසන බවයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), මෙම විරෝධතාවන්ට එරෙහිව පොලිසිය සහ හමුදාව යොදවමින් ආන්ඩුව දියත්කොට ඇති රුදුරු මර්දනය පිලිකුලෙන් හෙලා දකී. ඒ සමගම මෙම සංවිධාන වල ධනේශ්වර ගැති දේශපාලනයට සසප කිසිදු සහනයක් ලබා නොදෙයි. අවිශිබම ද ඇතුලු මෙම පක්ෂ සහ සංවිධානවල දේශපාලනය වනාහි, ආන්ඩුවලට බලපෑම් යෙදීම මගින් ඒවයේ පිලිවෙත් වෙනස් කල හැකි යන මිථ්‍යාව වපුරන විරෝධතා දේශපාලනය යි. වෘත්තිය සමිති වගාදිගා කරන්නේ ද මෙම මිථ්‍යාවම ය.

ධනපති ක්‍රමය තුල එකම විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය දෙසට ශිෂ්‍යයන් සහ ගොවි ජනතාව හැරීගත යුතුය. එහෙත් ඉහත කී සංවිධාන ඔවුන් කම්කරු පන්තියෙන් වෙන්කර තබා ගැනීමට දැනුවත්ව වෑයම් කරති.

කම්කරු පංතියට එල්ල කරන ප්‍රහාර මාලාවේ ප්‍රධානතම අංගයක් ලෙස, කම්කරු නීති සංශෝධනය කරමින් සිටින ආන්ඩුව ප්‍රකාශනයේ සහ භාෂනයේ නිදහස අහෝසි කිරීම සඳහා නීති සහ අන පනත් හඳුන්වා දෙමින් සිටී.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඔහුගේ “නව රැකියා පනත” මගින්, දැනට පවතින කම්කරු නීති 13 ක් ප්‍රතිස්ථාපනය කරනු ඇත. එමගින් සූරාකෑම තීව්‍ර කෙරෙන අතර කම්කරුවන් කටුක අරගල තුලින් දිනාගත් අයිතීන් අතුගා දැමේ. සෞඛ්‍ය සේවයේ අර්බුදය වඩ වඩා එලිදරව්වීම මධ්‍යයේ ඒ පිලිබඳ තොරතුරු මාධ්‍යයට ලබාදීම වෘත්තීය සමිතිවලට සහ සෞඛ්‍ය සේවකයන්ට වාරනය කරමින් සෞඛ්‍ය ලේකම් ජුලි 20 චක්‍රලේඛයක් නිකුත් කලේ ය.

කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් දේශපාලන විරුද්ධවාදීන් දඬුගසනුවස්, මිලිටරිය විසින් පාලනය කරන රැඳවුම් කඳවුරුවල සිරකර තැබීමේ හැකියාව ලබා දෙන පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව ජනවාරි මස සම්මත කලේය.

ජාමූඅ හි කප්පාදු පිලිවෙත් වලට එරෙහිව විරෝධතා දක්වන අයට 'ෆැසිස්ට්වාදීන්' සහ 'ත්‍රස්තවාදීන්' ලෙස ප්‍රසිද්ධියේ අපහාස කර ඇති වික්‍රමසිංහ මාර්තු 22 දා ගැසට් කරන ලද ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත කම්කරු පන්තියේ, තරුනයන්ගේ සහ ග්‍රාමීය දුගීන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකි.

ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව උද්ඝෝෂනවල යෙදෙන කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අනෙකුත් කොටස් මර්දනය කිරීම සඳහා ආන්ඩුව මහජන ආරක්ෂක ආඥා පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ පුනරුත්ථාපන කාර්යාංශ පනත ආදී රුදුරු පනත් දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටී.

ශිෂ්‍යයන්ට එරෙහි මර්දනය කම්කරු-පීඩිත මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන මෙම සමස්ත ප්‍රහාරයේ කොටසකි. ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කම්කරුවන් පෙරට පැමිනීම අත්‍යවශ්‍ය ය.

Loading