ඉදිරිදර්ශන

කැනේඩියානු පාර්ලිමේන්තුවේදී ජර්මානු තානාපති නාසි යුද අපරාධකරුට ප්‍රශංසා කරයි

[මෙය German ambassador applauds Nazi war criminal in Canadian parliament
යන මැයෙන් 2023 සැප්තැම්බර් 30 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

කැනඩාවේ පාර්ලිමේන්තුව වොෆන් -එස්එස් හි හිටපු සාමාජිකයෙකු වන යාරොස්ලාව් හුන්කාට ප්‍රශංසා කරයි. කැනඩාවේ ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් වේන් අයර් වම් පසින් සිටී.


පසුගිය සතියේ, කැනඩාවේ පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙක්ම, අගමැති ජස්ටින් ටෘඩෝ සමඟ, කැනේඩියානු පාර්ලිමේන්තුවේ කථානායක විසින් වීරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලද නාසි යුද අපරාධකරු යාරොස්ලාව් හුන්කා වෙනුවෙන් උද්‍යෝගිමත් අනුමැතියකින් නැඟිට අත්පොලසන්දී පිලිගත්හ.

නාසී යුද අපරාධකරුට නැඟිට අත්පොලසන් දුන් අය අතර කැනඩාවේ සිටින ජර්මානු තානාපතිවරිය වන සබීන් ස්පාර්වසර් ද සිටි බවද හෙලි වී තිබේ.

බදාදා පැවති මාධ්‍ය හමුවකදී ජර්මනියේ විදේශ කාර්යාලයේ ප්‍රකාශකයෙකු G7 රටවල අනෙකුත් තානාපතිවරුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් ද සමග නාසි සංවිධානය අගය කිරීම සඳහා ස්පාර්වසර් ගේ සහභාගීත්වය තහවුරු කලේය.

තුන්වන රයිකය බිඳවැටීමෙන් වසර හැත්තෑ අටකට පසු, ජර්මානු ආන්ඩුවේ ඉහල රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක්, හොලොකෝස්ටයේ හා සෝවියට් සංගමයට එරෙහි හිට්ලර්ගේ සමූලඝාතන යුද්ධයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කල සාපරාධී සංවිධානයක සාමාජිකයෙකුට ප්‍රශංසා කර ඇත. මෙම ක්‍රියාව ජර්මානු රාජ්‍යයේ ඉහලම මට්ටම්වල ජර්මානු මිලිටරිවාදය ප්‍රවර්ධනය කිරීමේ කොටසක් ලෙස නාසිවාදය පුනරුත්ථාපනය කිරීමේ වසර ගනනක ක්‍රමානුකූල ව්‍යාපාරයක ප්‍රතිඵලයකි.

හුන්කා සඳහා ස්පාර්වසර්ගේ අත්පොලසන් දීමේ වැදගත්කම අවතක්සේරු කිරීමට උත්සාහ කරමින්, ජර්මනියේ විදේශ කාර්යාලයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කලේ “හුන්කා මහතාගේ සැබෑ අනන්‍යතාවය, සහ ඔහුගේ සහභාගීත්වය නිවේදනය කර නොතිබූ බැවින්, එනම් ඔහු වොෆන් -එඑස් හි ස්වේච්ඡා සාමාජිකයෙකු බව, පැමින සිටි අය නොදැන සිටි බවයි”.

මෙය කිසිසේත්ම විශ්වාස කල නොහැකි ය. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කැනේඩියානු පාර්ලිමේන්තුව ඉදිරිපිට පෙනී සිටීම ඉතා සූක්ෂම ලෙස සකස් කරන ලද වැදගත් දේශපාලන සිදුවීමක් විය. ආරාධිත අමුත්තන් ආරක්‍ෂක හේතූන් මත හොඳින් පරීක්‍ෂා කෙරනු ඇත. නමින් හැඳින්වූ සහ නිල වශයෙන් සමරනු ලැබූ හුන්කා වැනි 'ගෞරවනීය ආගන්තුකයෙකු' සඳහා මෙය විශේෂයෙන්ම සත්‍ය වේ.

ජර්මානු තානාපතිනියට කලින් දන්වා නොතිබුනද, දැන් කැනේඩියානු පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ඇන්තනි රොටා විසින් ඔහුව හඳුන්වා දෙන විට හුන්කා කවුදැයි ඇය දැන සිටිය යුතුය.

'අද අපි මන්ත්‍රන සභාවේ සිටින්නේ දෙවන ලෝක යුද්ධයේ යුක්‍රේන යුද ප්‍රවීනයෙක් එක්ක; ඔහු රුසියානුවන්ට එරෙහිව යුක්‍රේන නිදහස සඳහා සටන් කල අතර ඔහුගේ වයස අවුරුදු 98 දී පවා තවමත් හමුදාවන්ට සහයෝගය දක්වනවා,” රොටා පැවසීය. “ඔහුගේ නම යාරොස්ලාව් හුන්කා; ඔහු උතුරු බොක්කෙන් සහ මගේ නිපිසිං-ටිමිස්කාමිං මැතිවරන දිස්ත්‍රික්කයෙන් පැමිනියෙකු බව මම ආඩම්බරයෙන් කියනවා. ඔහු යුක්‍රේන වීරයෙක්, කැනේඩියානු වීරයෙක්, ඔහුගේ සියලු සේවාවන්ට අපි ඔහුට ස්තූතිවන්ත වෙනවා.”

ඇය අත්පුඩි ගසන්නේ කාටදැයි ස්පාර්වසර් හරියටම දැන සිටියේය. ඇය වසර 35 කට වැඩි කාලයක් ෆෙඩරල් විදේශ කාර්යාලයේ ප්‍රමුඛ තනතුරුවල සේවය කරන ලද ඉහල පුහුනුව ලත් ඉහලම රාජ්‍ය තාන්ත්‍රිකවරියක් වන අතර දේශපාලන හා ඓතිහාසික ප්‍රශ්න-විශේෂයෙන් මෑත කාලීන යුරෝපීය සහ ජර්මානු ඉතිහාසය සම්බන්ධයෙන් හුරුපුරුදුය. ඇයගේ රාජ්‍ය තාන්ත්‍රික ජීවිතයට පෙර, ඇය වෙනත් දේ අතර, යුරෝපීය ඒකාබද්ධතාවය පිලිබඳ පර්යේෂන සහකාරවරියක් විය.

ස්පාවාසර් ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස, ෆෙඩරල් විදේශ කාර්යාලයේ ප්‍රකාශකයා ප්‍රකාශ කලේ, පෝලන්ත ස්වදේශික හමුදාව උදාහරනයක් ලෙස ගෙනහැර දක්වමින්, දෙවන ලෝක සංග්‍රාමයේදී “වෙර්මාච්ට් - ජර්මන් හමුදාව සහ රතු හමුදාව යන දෙකටම ප්‍රතිරෝධය දැක්වූ” “විවිධාකාර කන්ඩායම්” සිටි බවයි.

පෝලන්ත ස්වදේශ හමුදාව නාසි ආක්‍රමනයට එරෙහිව සටන් කල බවත් වෝර්සෝ නැගිටීම කුරිරු ලෙස මර්දනය කරමින් වෝර්සෝහිදී සම්පූර්නයෙන්ම වාගේ අතුගා දැමූ බවත් දෙවන ලෝක සංග්‍රාමයේ ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් දනිති. 'පිටුවහල් සොල්දාදුවන්' ලෙස හඳුන්වනු ලබන තනි තනි සටන්කරුවන් නව මොස්කව් පිටුබලය ලත් පෝලන්ත ආන්ඩුවට එරෙහිව සන්නද්ධ ප්‍රතිරෝධය කරා පිවිසුනේ වෙර්මාච්ට එරෙහිව රතු හමුදාවේ ජයග්‍රහනයෙන් පසුව පමනි.

හුන්කා සම්බන්ධයෙන් ගත් කල, ඔහු පෝලන්ත ස්වදේශ හමුදාවේ හෝ වෙනත් කිසිදු ප්‍රතිරෝධී සංවිධානයක සටන්කරුවෙකු නොව යුක්‍රේන නාසියෙකු බව මුල සිටම පැහැදිලි විය. දෙවන ලෝක යුද්ධයේදී 'රුසියානුවන්ට එරෙහිව' සටන් කල යුක්‍රේනියානුවන් නාසි පාලන තන්ත්‍රය උත්කර්ෂයට නැංවූ ෆැසිස්ට්වාදීන් වූ අතර අද දක්වාම එය දිගටම කරගෙන යයි. දෙවන ලෝක යුද්ධයේදී සටන් කල යුක්‍රේනියානුවන්ගෙන් අතිමහත් බහුතරයක් සෝවියට් හමුදාවේ හෝ පාටිසන්වරුන් ලෙස නාසීන්ට එරෙහිව සටන් කලහ.

1943 දී, මිලියන ගනනක් යුක්‍රේනියානුවන් ජර්මානු ආක්‍රමනිකයන්ට එරෙහිව යුද්ධ කරන විට, හුන්කා බොහෝ සිසුන් ඇතුලුව දස දහස් ගනනක් යුක්‍රේනියානුවන් සමඟ වොෆන් එස්එස් හි එස්එස් ස්වේච්ඡා ගැලීසියා කොට්ඨාශයට සම්බන්ධ විය. පසුව ඔහු එස්එස් හි ගත කල කාලය ඔහුගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය ලෙස විස්තර කලේය.

හිට්ලර්ගේ වොෆන් එස්එස් හි සාමාජිකයෙකුට නැගී සිට අත්පොලසන් දීම අහම්බයක් නොවන බව ලෝසවෙඅ කලින් ලිපිවල දැනටමත් පැහැදිලි කර ඇත. එය නේටෝ බලවතුන් රුසියාවට එරෙහිව යුක්‍රේනයේ දියත් කරමින් සිටින යුද්ධයේ ස්වභාවය හෙලිදරව් කරන අතර තවදුරටත් උත්සන්න වෙමින් පවතින වඩාත්ම ප්‍රතිගාමී දේශපාලන බලවේගවල සහාය ලබයි. ජර්මනිය මෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

හුන්කා සඳහා ස්පාවාසර්ගේ අත්පොලසන් දීමට දින දෙකකට පෙර, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී හිට්ලර් ආඩම්බර විය හැකි ආකාරයේ රුසියානු විරෝධී ප්‍රචන්ඩත්වයක් දියත් කලේය. බර්ලිනය සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බවත් යුක්‍රේනය තුල රුසියාව මිලිටරිමය වශයෙන් පරාජය කිරීමේ ඉලක්කය හඹා යන බවත් චාන්සලර් ආක්‍රමනශීලී ලෙස අවධාරනය කලේය. ජර්මානු පාලක පන්තිය, සම්පත්වලින් පොහොසත් සහ භූ-මූලෝපායික වශයෙන් වැදගත් රට මිලිටරිමය වශයෙන් යටත් කර බෙදා වෙන් කිරීමට උත්සාහ කරන විට, පලමු හා දෙවන ලෝක යුද්ධ වලදී මෙන්, ජර්මානු පාලක පන්තිය සෘජුවම සිය යුද්ධය හා මහා බල ඉලක්ක හඹා යමින් සිටී.

දෘෂ්ටිමය වශයෙන්, මෙම සතුරු සම්පත් හඹායාමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා නාසිවාදය පුනරුත්ථාපනය කිරීම අවශ්‍ය වේ. යුක්‍රේනයේ දී, අධිරාජ්‍යවාදී බලවතුන් රඳා පවතින්නේ සෝවියට් සංගමය ආක්‍රමනය කිරීමේදී හිට්ලර්ගේ ජර්මනිය සමග ගිවිසුමක් ඇති කරගත් එම ෆැසිස්ට් බලවේග මත ය. දැනටමත් 2014 ආරම්භයේ දී, වොෂින්ටනය සහ බර්ලින් කියෙව්හි රුසියානු විරෝධී කුමන්ත‍්‍රනයක් මෙහෙයවූ අතර, එහි දී ස්වබෝදා පක්ෂය සහ දක්ෂිනාංශික අංශය වැනි ෆැසිස්ට් බලවේග තීරනාත්මක භූමිකාව ඉටු කලහ. එතැන් සිට, ඔවුන් ස්ටෙපාන් බන්ඩෙරා සහ රෝමන් ෂුකෙවිච් වැනි නාසි සහයෝගිතාකරුවන්ට ගරු කරන සහ ඔවුන්ගේ ෆැසිස්ට් අදහස් විවෘතව ප්‍රකාශ කරන අසෝව් බලඇනිය වැනි හමුදා ඒකක මුලුමනින්නම සන්නද්ධ කරමින් බලමුලු ගන්වන පාලන තන්ත්‍රයකට සහාය වෙමින් සිටිති.

හුන්කා අයත් වූ වොෆන් එස්එස් ගැලීසියා කොට්ඨාශය අද ප්‍රසිද්ධියේ සමරනු ලබයි. දෙවන ලෝක සංග්‍රාමයේ නාසි ආක්‍රමනයේ දී යුක්‍රේන ෆැසිස්ට්වාදයේ මධ්‍යස්ථානයක් වූ ලිවිව් හි, 2010 වසරේ සිට එස්එස් අංශයට උපහාර දැක්වීමේ පෙලපාලියක් වාර්ෂිකව අප්‍රේල් 28 වන දින පවත්වනු ලැබේ. බොහෝ යුක්‍රේන නගර වල, මාර්ග ගලීසියා කොට්ඨාශය නමින් නැවත නම් කරන ලදී. 2020 සැප්තැම්බර් 23 දින, යුක්‍රේනයේ ශ්‍රේෂ්ඨාධිකරනය එස්එස් ගැලීසියා කොට්ඨාශයේ සංකේත නාසිවාදයට සම්බන්ධ නැති බවත් එබැවින් තහනම් නොකල යුතු බවත් තීන්දු කලේය.

කියෙව්ට අමතරව, බර්ලිනය ද ෆැසිස්ට්වාදයේ මෙම විවෘත පුනරුත්ථාපනයේ මධ්‍යස්ථානයකි. ජර්මානු ෆෙඩරල් පාර්ලිමේන්තුව 2022 පෙබරවාරි 27 වන දින එහි 'හුන්කා මොහොත' පැවැත්වූයේය. නේටෝ-ප්‍රකෝපකරන ලද රුසියානු යුක්‍රේන ආක්‍රමනයෙන් දින තුනකට පසු ෂෝල්ස් විසින් ජර්මානු හමුදාව සඳහා යුරෝ බිලියන 100 විශේෂ අරමුදල සහ කියෙව් සඳහා පලමු බර අවි බෙදා හැරීම නිවේදනය කරන විට යුක්‍රේන තානාපති ඇන්ඩ්‍රි මෙලෙනික් ජර්මානු පාර්ලිමේන්තුව (Bundestag) හි ගෞරවනීය ආරාධිතයා විය. මෙල්නික් ප්‍රකට බන්ඩෙරා ආධාරකරුවෙකු ලෙස ඔහුගේ මිනීමරු උරුමය ප්‍රසිද්ධියේ ගෞරවයට පත් කර ආරක්ෂා කලද, සමස්ත බුන්ඩෙස්ටාග් ඔහුට අත්පොලසන් දුන්නේය.

යුක්‍රේන නාසි සහයෝගිතාකරුවන් කෙරෙහි ජර්මානු ආන්ඩුවේ නිල ආකල්පය යුක්‍රේනයේ ශ්‍රේෂ්ඨාධිකරනයේ ආකල්පයෙන් වෙනස් නොවේ. “යුක්‍රේන ඓතිහාසික ප්‍රතිපත්තියේ දක්ෂිනාංශික අන්තවාදී ප්‍රකාශනයන්” පිලිබඳ වාම පක්ෂයේ පාර්ලිමේන්තු ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් ජර්මානු ආන්ඩුව මෑතකදී ප්‍රකාශ කලේ, 'ඇතැම් (ඓතිහාසික) කන්ඩායම් හෝ පුද්ගලයන් අන්තවාදී, යුදෙව්-විරෝධී, ජිප්සී-විරෝධී හෝ වෙනත් ආකාරයකින් වර්ගවාදී ලෙස කරන පූර්න වර්ගීකරනයන්ගේ ප්‍රකාශනය' පිලිගන්නේ නැති බවයි.

පාර්ලිමේන්තු ප්‍රශ්නයට පිලිතුරෙහි සඳහන් “කන්ඩායම්” සහ “පුද්ගලයින්” අතර බන්ඩෙරා, ෂුකෙවිච් සහ ඔවුන් අනදුන් යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානය (OUN) සහ යුක්‍රේන කැරලිකාර හමුදාව (UPA) තිබේ. ප්‍රත්‍යක්ෂවම දෙදෙනාම හොලොකෝස්ටයට සහ රුසියානුවන්, පෝලන්ත වැසියන් හා හංගේරියානුවන් සමූලඝාතනය කිරීමට සම්බන්ධ වූහ. OUN-M විසින් හුන්කා සාමාජිකයෙකු වූ වොෆන් එස්එස් ගැලීසියා කොට්ඨාශය සඳහා ස්වේච්ඡා සේවකයන් ද සපයන ලදී.

නාසි සංවිධානවලට සහ ඔවුන්ගේ බිහිසුනු අපරාධවලට මෙම නින්දිත සුදු හුනු ගෑම වසර ගනනාවක් තිස්සේ සූදානම් කර ඇත. 2014 දී, අන්ත දක්ෂිනාංශික හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝර්ග් බාබරොව්ස්කි, ඩර් ස්පීගල් හි හිට්ලර්ව විස්තර කලේ 'දුෂ්ට නොවන' ලෙස ය: 'ඔහු සමීපයේදී යුදෙව්වන් සමූලඝාතනය කිරීම ගැන කතා කිරීම ඔහුට අවශ්‍ය නොවීය.' එම සම්මුඛ සාකච්ඡාවේදීම, ඔහු 1980 ගනන්වල හිට්ලර්ගේ සමූලඝාතන යුද්ධය සෝවියට් සංගමයට යුක්ති සහගත ප්‍රතික්‍රියාවක් බව ප්‍රසිද්ධියේ තර්ක කල, දැනට මිය ගොස් ඇති නාසි ක්ෂමාලාපක අර්නස්ට් නොල්ටේ සමග ඔහුගේ සහයෝගීතාවය ප්‍රකාශ කලේය.

Sozialistische Gleichheitspartei (සමාජවාදී සමානතා පක්ෂය--SGP) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි IYSSE) ජාතික සමාජවාදයට සුදු හුනු ගෑමට මෙම හිතාමතා කරන උත්සාහය ප්‍රසිද්ධියේ හෙලා දුටු අතර නාසි යුද අපරාධ සාපේක්ෂකරනය කර යුක්ති සහගත කිරීම නව යුද්ධ හා නව අපරාධ සූදානම් කිරීම අරමුනු කර ඇති බවට අනතුරු ඇඟවීය. .

මෙම අනතුරු ඇඟවීම් නාටකාකාර ලෙස තහවුරු කර ඇත. පාලක පන්තිය දැන් විවෘතව ෆැසිස්ට් බලවේග සමරමින් සිටින්නේ, රුසියාවේ පරාජය සහ යටත් කිරීම සහතික කිරීම සඳහා තමන් කිසිවකින් නතර නොවන බවට සංඥා කරමිනි. ලෝක යුද්ධයට හා ම්ලේච්ඡත්වයට යලි යලි පැනීම වැලැක්විය යුතුය. මේ සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ.