ඉදිරිදර්ශන

මහා මෝටර් රථ සමාගම් තුනේ වැඩ වර්ජනය ව්‍යාප්ත කරනු! සමස්ත කර්මාන්තය අලලා ගත් වැඩ වර්ජනයක් කැඳවනු! බොරු “තෝරා ගත් තැන්වල පමනක් වැඩවර්ජන” එපා!

[මෙය Expand the Big Three autoworkers strike! For an industry-wide walkout, not phony “stand up strikes”! මැයෙන් 2023 සැප්තැම්බර් 20 දා පල කල ලිපියේ පරිවර්තනය යි.]

පසුගිය බ්‍රහස්පතින්දා මහා මෝටර් රථ සංගත තුනේ කම්කරුවන් 150,000ක් සඳහා වූ කොන්ත්‍රාත්තුව අවසන් වී සතියකට ආසන්න කාලයක් ගත වී ඇත. තව ද, “වර්ජනයක්” යයි කිව නොහැකි පූච්චානමක් වන එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) නිලධරය විසින් කැඳවන ලද මෙම “තෝරා ගත් වැඩවර්ජන” උපක්‍රමයක් ලෙස යොදා ගැනුනේ සාමාන්‍ය කම්කරුවන් දුර්වල කිරීමටත්, ඔවුන් බෙදීමටත් සහ හුදකලා කිරීමටත් ඉලක්ක කරගනිමින් බවත්, මෙමගින් [සංගත හිමියන්ට] දැවැන්ත සහන ලබා දීමට බල කිරීමට බවත් වඩා වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

සාමාන්‍ය මෝටර් රථ කම්කරුවන් තමන්ගේ වැඩ අත්හිටුවීමට, නිෂ්පාදනය නතර කිරීමට සහ සංගත විසින් ලාභ ඉපැයීම නැවැත්වීමට වර්ජනය සඳහා සියයට 97ක් ඡන්දය දුන්හ. සංගත විසින් පනවන ලද බෙදා මැඩ පැවැත්වීමේ (divide-and-conquer) ක්‍රම මගින් දශක ගනනාවක සහන ගරා ගැනීමෙන් පසු ව, කම්කරු පන්තියේ ශක්තිය එහි එකමුතුවෙන් ලැබෙන බවට වැඩෙන දැනුවත් භාවය පිලිබිඹු කරමින්, මහා මෝටර් රථ සංගත තුනේ කම්කරුවෝ එක්සත් ව වැඩ වර්ජනය කිරීමට ඡන්දය දුන්හ.

කෙසේ වෙතත්, යූඒඩබ්ලිව්හි සභාපති ෂෝන් ෆේන් සහ යූඒඩබ්ලිව්හි යාන්ත්‍රනය විසින් නිර්මාණය කරන ලද “මූලෝපාය”, අත්‍යවශ්‍යයෙන්ම, “වැඩවර්ජනයක්” ලෙස වෙස්වලාගත් “ආපසු වැඩට යැවීමේ” නියෝගයකි. සංගතවල සැපයුම් මාර්ගවලට හෝ ලාභයට අවම බලපෑමක් ඇති කිරීමට තෝරාගත් එකලස් කිරීමේ කම්හල් තුනක පමණක් වැඩවර්ජනය කැඳවනු ලැබීය. වර්ජනයේ යෙදී සිටින කම්හල්වල කම්කරුවන් කිහිප දහසක් වැඩ වර්ජනයකදී වෘත්තීය සමිතියෙන් තමන්ට ගෙවනු ලබන සතියකට ඩොලර් 500 ක දීමනාවෙන් දිවි ගැටගසා ගැනීමට අරගල කරන අතර, සමාගම්වල ලාභයට කිසිදු බලපෑමක් නොකර ගබඩාවල පවතින වාහන අලෙවි නියෝජිතයන් වෙත යැවීම දිගට ම සිදු කෙරෙමින් පවතී.

එක්සත් ක්‍රියාමාර්ගය අවහිර කිරීමට සහ පන්ති සහයෝගීතාවයට වල කැපීමට එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෘත්තීය සමිතිවල නිලධර තන්ත්‍රයන් විසින් සෑම දෙයක් ම කරනු ලැබේ.

කැනඩාවේ, සඳුදා රාත්‍රියේ කල් ඉකුත් වීමට නියමිතව තිබූ කම්කරුවන් 20,000කට ආසන්න සංඛ්‍යාවක් ආවරණය වන කොන්ත්‍රාත්තු යුනිෆෝර් වෘත්තීය සමිති නායකත්වය විසින් ඒකපාර්ශ්විකව දීර්ඝ කරන ලද අතර එය කම්කරුවන්ගේ දැඩි කෝපය ඇවිලවීමට තුඩු දුනි. යුනිෆෝර් සමිතිය පසු ව අඟහරුවාදා රාත්‍රියේ නිවේදනය කලේ ෆෝඩ් සමාගම සමඟ තාවකාලික ගිවිසුමකට එළඹ ඇති බවයි. ගිවිසුමේ පාවාදීමේ ස්වභාවය පිළිබඳ පැහැදිලි ඇඟවීමක් ලෙස, යුනිෆෝර් ප්‍රකාශ කර ඇත්තේ එය අනුමත කිරීමේ රැස්වීම් දක්වා විස්තර තමන් රඳවා තබා ගන්නා බවයි. මෙමගින් සමිතිය ගිවිසුම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන කොන්ත්‍රාත්තුවේ අන්තර්ගතය බැරෑරුම් ලෙස අධ්‍යයනය කිරීමට කම්කරුවන්ට කාලය ලබා නොදේ.

යුනිෆෝර් සමිතිය, යූඒඩබ්ලිව් සමග මෙන්ම මේවා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සහ කැනඩාවේ අගමැති ටෘඩෝ ආන්ඩු සමඟ සම්බන්ධීකරණයෙන් වැඩ කටයුතු කරයි. කැනඩාවේ සීමිත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් පවා සමස්ත වර්ජනයක් සඳහා එක්සත් ජනපද කම්කරුවන්ගේ ඉල්ලීම් දිරිමත් කරනු ඇතැයි කනස්සල්ලක් පවතී.

ඔටෝමෝටිව් නිවුස් අඟහරුවාදා වාර්තා කලේ කැනඩාවේ වැඩවර්ජනයක්, “විශේෂයෙන් ෆෝඩ් හි වැඩියෙන් ම අලෙවි වන පිකප් නිෂ්පාදනය වැනි මෝටර් රථ නිෂ්පාදකයාගේ පුලුල් උතුරු ඇමරිකානු සැපයුම් දාමයට බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇති” බවයි. කැනේඩියානු සහ ඇමරිකානු කම්කරුවන් පැහැදිලි ව ම එක්සත් ව වැඩවර්ජන කිරීමෙන් ශක්තිමත් වනු ඇත යන කාරනය තිබිය දී ම, යුනිෆෝර් සහ යූඒඩබ්ලිව් සමිති ක්‍රියා කරන්නේ කම්කරුවන් හුදකලා කරමින් හා බෙදමින් අරගල වෙන වෙනම සිදු කෙරෙන ආකාරයට ය.

මේ වන විට එක්සත් ජනපදයේ කම්කරුවන් 134,000ක් පමණ කොන්ත්‍රාත්තුවක් නොමැතිව වැඩ කරති. මෙය දිග්ගැසෙන සෑම මිනිත්තුවක්ම, කම්කරුවන්ට අත්‍යවශ්‍යයෙන්ම අණ කරනු ලබන්නේ, බලහත්කාරයෙන් අතිකාල වැඩ කිරීමෙන් තමන්ගෙ වැඩ වර්ජනය තමන් විසින්ම කඩාකප්පල් කිරීමට ලක් කර ගැනීමයි. මෙසේ වැඩ කිරීමෙන් ගොඩ ගසා ගන්නා ලද භාන්ඩ කම්කරුවන්ගේ යම් වැඩවර්ජනයක දී [සැපයුම් ජාලයට බාධා නොවන ආකාරයට] සංගත භාවිතා කරනු ඇත. කොන්ත්‍රාත්තුවක් නොමැති ව වැඩ කිරීම මගින් කම්කරුවන් ද පීඩාවන්ට ගොදුරු වීමේ අවදානමට ලක් ව ඇති අතර, පසුගිය සතියේ ගොතන ලද බොරු මවා පෑම් මත ස්ටෙලැන්ටිස් වොරන් ට්‍රක්හි කම්කරුවන් 10 දෙනෙකු රැකියාවෙන් ඉවත් කල බවට වාර්තාවලින් සාක්ෂි දරයි.

සීමිත වැඩවර්ජනය දැනටමත් මහා මෝටර් රථ සංගත තුනේ සහ ඉන් ඔබ්බට කම්කරුවන් බලහත්කාරයෙන් දොට්ට දැමීම් ආරම්භ කිරීමට මග සලසා ඇති අතර, මෙය වර්ජනය දුර්වල කිරීමේ යූඒඩබ්ලිව්හි නිලධරයේ මූලෝපායේ තවත් තීරනාත්මක අංගයකි. මිචිගන් එකලස් කිරීමේ කම්හලේ තීන්ත ආලේප කරන අංශයේත් සහ අවසාන එකලස් කිරීමේ අංශයේත් කම්කරුවන් වැඩවර්ජනයට කැඳවීමෙන් පසුව ෆෝඩ් සමාගම විසින් එකලස් කිරීමේ සේවකයින් 600 ක් දොට්ට දැමූ අතර ජීඑම් සමාගම වාර්තා කරන්නේ කැන්සාස් හි කැන්සාස් නගරයේ පිහිටි ෆෙයාෆෙක්ස් එකලස් කිරීමේ කම්හලේ දොට්ට දැමීම් සිදුවිය හැකි බවයි.

දොට්ට දැමූ කම්හල්වල කම්කරුවන්ට වැඩ වර්ජන දීමනා ලැබෙනු ඇතැයි යූඒඩබ්ලිව් නිවේදනය කළ නමුත් දොට්ට දැමීම් සිදුවූ කම්හල්වල පිකට් උද්ඝෝෂන කිරීමට කිසිදු සැලසුමක් ප්‍රකාශයට පත් කර නැත.

යූඒඩබ්ලිව් හි මූලෝපායේ අරමුනු වන්නේ තීරනාත්මක සගයින් වන [වාහන] අමතර කොටස් නිපදවන කම්කරුවන්ගෙන් විශාල කම්කරුවන්සංඛ්‍යාවක් හුදකලා කිරීමය. යූඒඩබ්ලිව් සංවිධානයට අයත් වාහන අමතර කොටස් සපයන මොටර් රථ කම්කරුවන්ට පවා වැඩවර්ජන වැටුප් පිරිනමන බව නොපෙනේ.

ඊයේ, ස්ටෙලන්ටිස් ටොලෙඩෝ එකලස් කිරීමේ කම්හල විසින් නිපදවන වාහන සඳහා ඇක්සල් සපයන ටොලෙඩෝ ඩ්‍රයිව්ලයින් කම්හලේ සිය ශ්‍රම බලකාය ඩානා ඉන්කෝපරේටඩ් [සමාගම] දොට්ට දැමීය. මෙමගින් ව්‍යාකූලත්වයට පත්වූ කම්කරුවන්ට, ව්‍යාජ “වර්ජනය“ අතරතුර දිවිය ගැටගසා ගන්නේ කෙසේ ද යන්න පිලිබඳ ව යූඒඩබ්ලිව් වෙතින් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි විය.

යූඒඩබ්ලිව් තන්ත්‍රයේ මූලෝපාය අන්තර් සම්බන්ධිත සාධක කිහිපයකින් උත්තේජනය ලබා ඇත. තන්ත්‍රය තමන්ගේ මූල්‍ය අවශ්‍යතා ප්‍රධාන වශයෙන් සලකා බලති.

යූඒඩබ්ලිව් සමිතිය සතුව ඩොලර් මිලියන 825ක වැඩ වර්ජන අරමුදලක් ඇති අතර වෘත්තීය සමිති නිලධාරීන් “වර්ජන අරමුදල ආරක්ෂා කිරීමේ” අවශ්‍යතාවය සඳහන් කරමින් වර්ජනයේ සීමිත ස්වභාවය සාධාරණීකරණය කිරීමට උත්සාහ කලහ. මින් සැබෑ ලෙසම අදහස් කරන්නේ වර්ජන දීමනා සඳහා හැකිතාක් අඩුවෙන් වියදම් කරන අතර ම, නිලධරය තම වැටුප්, දීමනා සහ වරප්‍රසාද සඳහා කම්කරුවන්ට හිමි විය යුතු මුදල් වියදම් කිරීමට අවශ්‍ය වී ඇති බවයි.

ඩොලර් මිලියන 825 ක් මාස තුනකට සමස්ථ වැඩ වර්ජනයක් පවත්වා ගැනීමට ප්‍රමානවත් වනු ඇත. එහෙත් මෙය යූඒඩබ්ලිව් නිලධරයට වැඩවර්ජනය සඳහා වෙන් කල හැකි වත්කම්වලින් ඉතා කුඩා කොටසක් පමනි. යූඒඩබ්ලිව් ජාත්‍යන්තරයේ 2022 ෆෙඩරල් හෙලිදරවු කිරීමේ පෝරමයට අනුව යූඒඩබ්ලිව්හි කොටස් ආයෝජනවලින් ඩොලර් මිලියන 750ක් සහ එක්සත් ජනපද භාන්ඩාගාර සුරැකුම්පත්වල ඩොලර් මිලියන 218ක් ඇත.

නිලධරය සෑම වසරකම එහි නිලධාරීන්ට වැටුප් ලෙස ගෙවන ඩොලර් මිලියන 75 යොදා ගන්නේ නම් සෑම සතියකම වර්ජන අරමුදලට ඩොලර් මිලියන 1.5 ක් එකතු කර ගත හැකි අතර එය කම්කරුවන් 3,000 ක් සඳහා පමනක් වැඩවර්ජන වැටුප් ආවරනය කරනු ඇත. යූඒඩබ්ලිව්ට සිය ඩොලර් මිලියන 112 ස්ථාවර වත්කම් (යූඒඩබ්ලිව් ගොඩනැගිලි සහ බ්ලැක් ලේක් නිවාඩු නිකේතනය ඇතුලු ව) මාස ගනනකට වැඩවර්ජනය දීර්ඝ කිරීම සඳහා දැවැන්ත නයක් ලබා ගැනීමට භාවිතා කල හැකි ය. වැඩ වර්ජන දීමනා සැලකිය යුතු ලෙස වැටුප් වලින් සියයට 70ක් හෝ 100ක් දක්වා ඉහල නැංවීමට පවා සමිතියට එසේ කල හැකිය.

මෙයින් ඔබ්බට, එක්සත් ජනපදය පුරා වෘත්තීය සමිති නිලධරයන්ට මෝටර් රථ වැඩවර්ජනය සඳහා ඉමහත් සම්පත් තිබේ. 2020 දී, එක්සත් ජනපදයේ කම්කරුවන් ඩොලර් බිලියන 15.5 ක් සමිති සාමාජික මුදල් ගෙවූ නමුත්, වෘත්තීය සමිති විසින් වාර්තා කරන ලද ඕනෑ ම පෙර වර්ෂයකට වඩා වත්කම් ප්‍රතිශතයක් ලෙස අඩු වැඩ වර්ජන දීමනා ගෙවා ඇත.

නිලධාරි තන්ත්‍රයේ මූල්‍ය අවශ්‍යතා සංගත කළමනාකරණයේත් සහ රාජ්‍යයේත් උපකරණයක් ලෙස එහි භූමිකාවට සම්බන්ධ වේ. බයිඩන් පරිපාලනය දිනපතාම ෆේන් සහ යූඒඩබ්ලිව් නිලධරය සමඟ සාකච්ඡා කර ඇත. තන්ත්‍රයේ පාලනයෙන් ගිලිහුන හොත් අරගලය ඇමරිකානු පාලක පන්තියේ යුද මූලෝපාය උඩු යටිකුරු කර සමස්ත කම්කරු පන්තියේ වඩාත් පුලුල් ව්‍යාපාරයක් දිරිමත් කරනු ඇතැයි පාලක තන්ත්‍රය ගැඹුරින් කනස්සල්ලට පත් ව සිටී.

ෆේන්ගේ ව්‍යාජ වැඩ වර්ජන මූලෝපාය ප්‍රතික්ෂේප කර සැබෑ වැඩ වර්ජනයක් ආරම්භ කල යුතු ය!

කම්කරුවන්ගේ ඉල්ලීම් වලට යටත් වීමට සමාගම්වලට සිදු විය හැකි කරදරකාරී වැඩ වර්ජනයකැයි ෆෙයින් විසින් කරන ලද සාවද්‍ය ප්‍රකාශය යමෙකු පිලිගන්නේ නම්, කර්මාන්තය පුරා වැඩ වර්ජනයක් මගින් තවත් කොපමන ප්‍රමානයක් දිනා ගත හැකිද? දැන් සමස්ත වැඩවර්ජනය සඳහා කම්කරුවන් බලමුලු ගැන්වීමටත්, හැකි ඉක්මනින් ඔවුන්ගේ උපරිම ශක්තිය යෙදවීමටත් වඩාත් හේතු සාධක ඇත.

කෙසේ වෙතත්, එවැනි මුලපිරීමක් සෑම සේවා ස්ථානයකම සාමාන්‍ය කම්කරුවන් තුලින් ස්වාධීනව සංවිධානය කර ඇති ක්‍රියාකාරී කමිටු තුලින් පැමිනිය යුතුය.

කම්කරුවන් තම ප්‍රදේශයේ හදිසි රැස්වීම් කැඳවමින්, පොදු ක්‍රියාකාරී සැලැස්මක් සාකච්ඡා කරමින් මහා මෝටර් රථ සංගත තුනින් සහ ඔබ්බට වැඩ වර්ජන ඉල්ලා යෝජනා සම්මත කල යුතුය. එක්සත් ජනපදයේ සමාගම් හරහා සම්බන්ධීකරනය කිරීම සඳහා සන්නිවේදන ජාල ස්ථාපිත කල යුතුය. කැනඩාවේ, යුනිෆෝර් සමිතිය විසින් ප්‍රකාශයට පත් කරන ලද පාවාදීමේ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට කම්කරුවන් උද්ඝෝෂනය කල යුතු අතර ඇමරිකා එක්සත් ජනපදයේ කම්කරුවන් සමග ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් සූදානම් කල යුතු ය.

අධිෂ්ඨානශීලී සටනක් සමස්තයක් ලෙස කම්කරු පන්තිය තුල දැවැන්ත සහයෝගයක් දිනා ගනු ඇත. සංගතවලට එරෙහි පොදු අරගලයක් සඳහා මෝටර් රථ කර්මාන්තය පුරාත්, අනෙකුත් කර්මාන්ත පුරාත් සහ ජාතික සීමාවන් හරහාත් මෝටර් රථ කම්කරුවන් අතර ගැඹුරු සහයෝගීතාවයක් ඇත.

අසූ පන්දහසක් සෞඛ්‍ය සේවා කම්කරුවෝ කයිසර් පර්මනන්ටේ රෝහල් සංගතයට එරෙහි ව වැඩවර්ජනය කිරීමට සියයට 98ක ප්‍රතිශතයකින් එකඟ වී ඇත. හෝටල් සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ දස දහස් ගනනින් කම්කරුවෝ ලාස් වේගාස් සහ ඇට්ලාන්ටික් සිටි කැසිනෝවලට එරෙහි ව වැඩවර්ජනය කිරීමට ඡන්දය පල කරති. මිෂිගන්හි බ්ලූ ක්‍රොස් බ්ලූ ෂීල්ඩ් සහ පෙන්සිල්වේනියාවේ ඩොමෙටික් හි යූඒඩබ් කම්කරුවන්ගේ වැඩවර්ජන දිගට ම ක්‍රියාත්මක වෙයි. දැවැන්ත විනෝදාත්මක වැඩසටහන් නිෂ්පාදනය කරන සංගතවලට එරෙහි ව දස දහස් ගනනක් රංගන ශිල්පීන්ගේ සහ ලේඛකයන්ගේ වැඩවර්ජනය ඉදිරියට ක්‍රියාත්මක ය. ඉදිරි සතිවල දී දස දහස් ගනනක් රථවාහන ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ සහ යූඒඩබ් සාමාජිකයන්ගේ ගිවිසුම් කල් ඉකුත් වේ.

සාමාන්‍ය කම්කරුවෝ සතු ව දැවැන්ත විභව ශක්තියක් ඇත. එය නිදහස් කර ගත හැක්කේ සියලු වැඩපලවල කම්කරුවෝ සමස්ත වැඩවර්ජනයකට සංවිධානය වීමෙන් පමනි.

Loading