ඉදිරිදර්ශන

ට්‍රොට්ස්කි පිටුවහල් කිරීමේ ප්‍රින්කිපෝ අනුස්මරන උත්සවය සහ කම්කරු පන්තියේ ගෝලීය පුනර්ජීවනය

[මෙය The Prinkipo commemoration of Trotsky’s exile and the global resurgence of the working class යන මැයෙන් 2023 අගෝස්තු 25 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

අගෝස්තු 20 ඉරිදා මාමරා මුහුදේ තුර්කි දූපතක් වන ප්‍රින්කිපෝ හි, 'ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පවතින දිවයිනක්: ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ හිදී' යන මැයෙන් රැස්වීමක් පැවැත්විනි.

ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ (තුර්කියේ බියුකාඩා ලෙස හඳුන්වන) වෙතින් නික්ම යාමේ 90 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම උත්සවය, ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් බලහත්කාරයෙන් සෝවියට් සංගමයෙන් පිටුවහල් කිරීමෙන් පසු 1929 සහ 1933 අතර ඔහු එහි ගත කල සිවුවසර සිහිපත් කලේය. 1940 දී සෝවියට් රහස් පොලිසියේ ඒජන්තයෙකු විසින් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ 83 වැනි සංවත්සරය ද මෙම රැස්වීම සමග සමපාත විය.

අඩලාර් මහ නගර සභාවේ නගරාධිපති අර්ඩම් ගුල් ‌ගේ පිලිගැනීමේ කතාවකින් උත්සවය ආරම්භ විය. එය මෙහෙයවූ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය මෙහ්මට් ඕ. ඇල්කන් කෙටි හැඳින්වීමේ කථාවක් කලේය.

රැස්වීමේ ප්‍රධාන කථිකයන් වූයේ ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්; ලෝසවෙඅ කර්තෘ මන්ඩලයේ සාමාජික එරික් ලන්ඩන්; සහ තුර්කියේ මේරිං ප්‍රකාශකයෝ හි සංස්කාරක සහ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන උලාස් අටෙසි ය.

උලාස් අටෙසි, ඩේවිඩ් නෝර්ත්, මහාචාර්ය මෙහ්මට් ඇල්කන් සහ එරික් ලන්ඩන්

160 කට වැඩි පිරිසක් රැස්වීමට පැමින සිටි අතර, සජීවී විකාශය ලොව පුරා නරඹන්නන් 2,000 ක් පමන ආකර්ෂනය කර ගත්තේය.

මෙය ඓතිහාසික මෙන්ම සමකාලීන දේශපාලන වැදගත්කමකින් යුත් සිදුවීමක් බවට පැමින සිටි සියලු දෙනා අතර පැහැදිලි හැඟීමක් විය. ප්‍රින්කිපෝ විසින් 20 වන සියවසේ ඉතිහාසයේ දැවැන්ත චරිතයකට රැකවරනය සපයා ඇති බවට වන නව දැනුවත්භාවය, ට්‍රොට්ස්කි පිටුවහල් කිරීමේ සැමරුම ලෝකයේ වත්මන් තත්වයට තියුනු ලෙස සම්බන්ධ බවට වන අවබෝධය සමග අන්තර්ඡේදනය විය.

ට්‍රොට්ස්කිගේ ජීවිතයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂනය වූයේ, ගෝලීය පරිමාන පන්ති අරගලයේ විචලනයන් තුල ඔහුගේ පුද්ගලික ඉරනම කෙතරම් දුරකට වෙලී තිබුනි ද යන්නයි.

ප්‍රින්කිපෝ හි පිටුවහල් කිරීමේ පලමු වසර තුල ලියන ලද ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේය: “පුද්ගලික ඛේදවාචකයක් පිලිබඳව මම නොදනිමි. මා දන්නේ විප්ලවයේ පරිච්ඡේද දෙකක විපර්යාසයන් ය.

ට්‍රොට්ස්කි සඳහන් කල පරිච්ඡේදවල පලමු වැන්නේ දී – එනම්, විප්ලවවාදී නැගිටීමේ පරිච්ඡේදයේ දී – මහජන ව්‍යාපාරය, වසරක් ඇතුලත, ට්‍රොට්ස්කි බ්‍රොන්ක්ස් හි මහල් නිවාසයක සිට මොස්කව්හි ක්‍රෙම්ලිනය දක්වා බලයේ උච්ඡතම ස්ථානයට ඔසවා තැබීය.

විප්ලවයේ පසු බැසීම මගින් සලකුනු වූ දෙවන පරිච්ඡේදය, බලයේ සිට පිටුවහල් කිරීම දක්වා විප්ලවවාදී නායකයෙකු ලෙස ට්‍රොට්ස්කිගේ ජීවිතයේ ගමන් පථය ආපසු හැරවීය.

සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල, ප්‍රින්කිපෝ දූපතට නව විප්ලවවාදී වැදගත්කමක් ලබා දෙන වත්මන් පරිච්ඡේදයේ අන්තර්ගතය කුමක්ද?

මෙම උත්සවය, ට්‍රොට්ස්කිවාදය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය අතර සම්බන්ධතාවයේ වෛෂයික විපරිනාමය පිලිබිඹු කරමින් එයට ඉහල සවිඥානික දේශපාලන ප්‍රකාශනයක් ලබා දුන්නේය. එය, ස්ටැලින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ධනේශ්වර ජාතිකවාදය සහ පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් නායකත්වය දෙන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දශක ගනනාවක දේශපාලන අරගලය මත ගොඩනැගේ.

ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ හි ඔහුගේ මේසයේ

1929 පෙබරවාරියේදී ට්‍රොට්ස්කි තුර්කියට ගොඩබසින විට, සෝවියට් හා ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලන පසුබැස්මක සිටියේය; ට්‍රොට්ස්කි පිටුවහල් කිරීම එහි වඩාත් තියුනු ප්‍රකාශනය විය. 1917 ඔක්තෝබර් විප්ලවයේ සමාජවාදී ජාත්‍යන්තරවාදයට එරෙහිව, ජාතිකවාදී ප්‍රතිගාමීත්වය මත පදනම් වෙමින් සහ ඉන් උසිගැන්වෙමින්, ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමයේ කම්කරු පන්තියෙන් බලය උදුරා ගෙන තිබුනි.

ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ ඔක්තෝබර් විප්ලවයට මග පෙන්වූ ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය, ස්ටැලින්වාදී නිලධරයේ අවශ්‍යතා නියෝජනය කරන “තනි රටේ සමාජවාදය” යන වැඩපිලිවෙල මගින් ප්‍රතිස්ථාපනය විය.

ට්‍රොට්ස්කිගේ සහ 1923 දී පිහිටුවන ලද වාම විපාර්ෂවයේ පරාජය, සාරාර්ථයෙන් ගත්කල 1917 ඔක්තෝබර් විප්ලවයෙන් ඇරඹුනු කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී නැගිටීම තාවකාලිකව පසුබැසීමේ දේශපාලන ප්‍රකාශනයක් විය. ස්ටැලින්වාදයේ නැගීමටත්, සෝවියට් සංගමය හා ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය මත අධිරාජ්‍යවාදයේ පීඩනය යෙදවූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අඛන්ඩ බලපෑමටත් තිබුනේ එකම වෛෂයික පදනමකි.

1923 ජර්මානු විප්ලවය පරාජයට පත් විය‍; 1926 බ්‍රිතාන්‍ය මහා වැඩවර්ජනය සහ 1925-27 චීන විප්ලවය ව්‍යසනයකින් අවසන් වූයේ, ස්ටැලින් යටතේ වූ කොමින්ටර්නයේ විනාශකාරී පිලිවෙත්වල ප්‍රතිඵලයක් වශයෙනි.

1929 වෝල් වීදියේ බිඳවැටීමෙන් ආරම්භ වූ ලෝක ආර්ථික අවපාතය, ජාත්‍යන්තර පරිමානයෙන් කම්කරු පන්තියේ රැඩිකලීකරනයකට තුඩු දුන්නේය. එහෙත් ප්‍රධාන ස්ටැලින්වාදී හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු නායකත්වයේ පාවාදීම් තවත් විශාල පරාජයන් හා ව්‍යසනයන් මාලාවකට තුඩු දුන්නේය.

ඩේවිඩ් නෝර්ත් ප්‍රින්කිපෝ හි ඔහුගේ කතාවේදී පැහැදිලි කල පරිදි, ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එස්පීඩී) සහ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩී) විනාශකාරී ප්‍රතිපත්ති මගින් 1933 දී ජර්මනියේ නාසීන් බලයට පැමිනීම, ජර්මානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය පීඩාවට පත් කල විශාලතම පරාජය විය. ඉන් අනතුරුව ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ පාවාදීම් සහ පරාජයන් සමග 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ විය.

ජර්මනිය තුල ස්ටැලින්වාදී කොමින්ටර්නයේ ඓතිහාසික පාවාදීම, ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ හි සිටියදී, 1933 දී හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා කැඳවුම් කිරීමට තුඩු දුන්නේය. 1920 ගනන්වල සහ 1930 ගනන්වල ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යසනකාරී පරාජයන් තිබියදී, 1938 ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම, මාක්ස්වාදී ව්‍යාපාරයේ දේශපාලන අඛන්ඩතාවය ආරක්ෂා කලේය.

එරික් ලන්ඩන් ඔහුගේ ඉදිරිපත් කිරීමෙහි දී සාරාංශගත කල පරිදි, 1930 ගනන්වල දෙවන භාගයේදී සෝවියට් සංගමය මහා භීෂනයක් ද අත්දුටුවේය. කම්කරු පන්තිය තුල ගැඹුරින් ම මුල් බැසගත් සමාජවාදීන්ගේ දේශපාලන, බුද්ධිමය හා සංස්කෘතික පෙරටු බලඇනියේ සැලකිය යුතු කොටසක්, ස්ටැලින්වාදී නිලධරය විසින් අතුගා දමන ලදී. මෙම දේශපාලන ජන සංහාරය, 1940 අගෝස්තු 20 දා ස්ටැලින්ගේ ඒජන්තයෙකු විසින් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ ප්‍රයත්නයෙන් සහ පසුදා ඔහුගේ මරනයෙන් කූටප්‍රාප්ත විය.

දෙවන ලෝක යුද්ධයේ අවසන් වසරවල දී යුරෝපයේ පුපුරා ගිය කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය, ස්ටැලින්වාදී නිලධරය විසින් තලා දමන ලදී. මොස්කව්හි සහාය ඇතිව ධනවාදය යලි ස්ථාපිත කිරීමේත්, නැගෙනහිර යුරෝපයේ සහ චීනයේ නව ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍ර පිහිටුවීමේත් කොන්දේසි යටතේ, ස්ටැලින්වාදයේ බලය නොසැලෙන බවක් පෙනී ගියේය.

මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දුන් හතරවන ජාත්‍යන්තරය තුල පැවති ප්‍රවනතාවයක් මෙම කොන්දේසි වලට අනුගත වූයේ, ස්ටැලින්වාදයට විප්ලවවාදී භූමිකාවක් ආරෝපනය කරමින් සහ ට්‍රොට්ස්කිවාදීන්, ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ ධනේශ්වර ජාතිකවාදී පක්ෂවලට සම්බන්ධ වීමෙන් තමන්ම දියවී යා යුතු බවට තර්ක කරමිනි. එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායක ජේම්ස් පී. කැනන් 1953 දී පැබ්ලෝවාදී සංශෝධනවාදයට විරුද්ධ වෙමින්, හතරවන ජාත්‍යන්තරය විනාශයෙන් මුදවා ගත් ජාත්‍යන්තර කමිටුව නිර්මානය කරන ලෙස කැඳවුම් කර සිටියේය.

ඉනික්බිතිව පැමිනි දශක වලදී, ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සහ විවිධ සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාරවලින් ට්‍රොට්ස්කිවාදයට එල්ල වූ ප්‍රහාර, පැබ්ලෝවාදී සංශෝධනවාදයේ ආධාර සහ අනුබල ලැබීය. මෙම සියලු බලවේග ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය හුදකලා කිරීමට හා විනාශ කිරීමට අත්වැල් බැඳගෙන වැඩ කල අතර, ජාත්‍යන්තර කමිටුව දශක ගනනාවක් තිස්සේ වෙහෙස නොබලා හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික පදනම් ආරක්ෂා කලේය.

ට්‍රොට්ස්කි ඝාතනය වටා ඇති තත්වයන් පිලිබඳව 1975 ජාත්‍යන්තර කමිටුවේ 'ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' යන විමර්ශනය, ට්‍රොට්ස්කි සහ ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීමේ ඓතිහාසික අරගලයේ සන්ධිස්ථානයකි.

එරික් ලන්ඩන් විසින් සංක්ෂිප්තව ඉදිරිපත් කරන ලද මෙම විමර්ශනය, ට්‍රොට්ස්කි ඝාතනය වටා දශක ගනනාවක් තිස්සේ පැවති නිහඬතාවයේ කුමන්ත්‍රනය අවසන් කරමින් ධනේශ්වර රාජ්‍යයන්ට සහ ස්ටැලින්වාදී නිලධරයේ ඒජන්තයින්ට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රතිප්‍රහාරයක් විය. ලන්ඩන් සඳහන් කල පරිදි:

ජීපීයූවේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ආන්ඩුවේ ඒජන්තයින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලට විනිවිද යාම පිලිබඳව පලමු වරට ක්‍රමානුකූල පරීක්ෂනයක් පවත්වන ලදී. දශක ගනනාවකට පෙර ඔවුන්ගෙන් විමසා විමර්ශනය කරනු ලැබුවේ නම්, ව්‍යාපාරයට සහ එහි සාමාජිකයින්ට සිදුවූ සැලකිය යුතු හානියක් වලක්වා ගැනීමට සහ ට්‍රොට්ස්කි ඇතුලු නායකත්වයේ ජීවිත බේරා ගැනීමට හෝ ඔවුන් තවත් කාලයක් ජීවත් කරවීමට හැකිව තිබූ බවට ප්‍රශ්න මතු විය.

1975 දී ආරම්භ වූ මෙම ප්‍රතිප්‍රහාරය කෙතරම් දුරදිග ගොස් ඇත්ද යන්න, දැනට ක්‍රියාත්මක වන ආරක්ෂක විමර්ශනයේ හෙලිදරව් කිරීම් ද, ඉරිදා ප්‍රින්කිපෝ හි ඓතිහාසික උත්සවයේ දී ඒවා ඉදිරිපත් කිරීම ද මගින් පෙන්නුම් කරයි.

1985-86 දී, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) සමග ඇති වූ භේදයේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර කමිටුව තුල පැබ්ලෝවාදී ප්‍රවනතාවය අවසානයේ පරාජය විය. මෙය සමාජවාදී සමානතා පක්ෂ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටුවීම සඳහා පදනම දමමින් හජාජාක තුල ට්‍රොට්ස්කිවාදයේ පුනරුදයක් ඇති කලේය.

සෝවියට් සංගමයේ ඉරනම, සෝවියට් කම්කරු පන්තිය දේශපාලන විප්ලවයකින් බලය අල්ලාගෙන 1917 ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙලට නැවත පැමිනීම මත රඳා පවතින බවට අවධාරනය කරමින්, ජාත්‍යන්තර කමිටුව ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය තහවුරු කලේය. එසේ නොවුවහොත්, නිලධරය විසින් සෝවියට් සංගමය දියකරහැර ධනවාදය යථා තත්වයට පත් කරනු ඇත. 1989-1991 දී නැගෙනහිර යුරෝපයේ, සෝවියට් සංගමයේ සහ චීනයේ සිදුවූ දෙය, ට්‍රොට්ස්කිගේ සහ ජාත්‍යන්තර කමිටුවේ මාක්ස්වාදී විශ්ලේෂනයේ සහ ඉදිරිදර්ශනයේ නිවැරදි බව ඔප්පු කලේය.

පසුගිය වසර 35 ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය තහවුරු කලා පමනක් නොව, එය ලෝකය පුරා වෛෂයික තත්වයන්හි දැවැන්ත වෙනසක් ජනනය කර ඇත. ට්‍රොට්ස්කිවාදය මාක්ස්වාදයේ සහ ඔක්තෝබර් විප්ලවයේ ජාත්‍යන්තරවාදී පදනම සහ ඉදිරිදර්ශනය නියෝජනය කල අතර ස්ටැලින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ පැබ්ලෝවාදය බෙදාහදා ගත්තේ ඓතිහාසිකව යල්පැන ගිය සහ දේශපාලනිකව ප්‍රතිගාමී ජාතිකවාදී ඉදිරිදර්ශනයකි.

ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ ලෝකය පුරා යෝධ, අන්තර් සම්බන්ධිත කම්කරු පන්තියක් මතුවීම, ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අරගලය වඩාත් වාසිදායක වෛෂයික පදනමක් මත වර්ධනය වීමට ඉඩ සලසා දුන්නේය.

ට්‍රොට්ස්කිගේ පිටුවහලේ වසර වලදී, තුර්කි කම්කරු පන්තිය සිටියේ අපරිනත තත්වයකය. අද, එය අප්‍රිකාවේ සිට ආසියාව සහ ලතින් ඇමරිකාව දක්වා වර්ධනය වන මෙගාසිටි (විශාල නගර) සංඛ්‍යාව සමඟ ලෝක ආර්ථිකයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන කාර්මික නගරවල සංකේන්ද්‍රනය වූ දැවැන්ත සමාජ බලවේගයකි.

ඒ අතරම, අධිරාජ්‍යවාදයේ ඓතිහාසික මධ්‍යස්ථානවල ධනවාදයේ ගැඹුරු අර්බුදය, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආර්ථික හා දේශපාලනික පදනම් සහ සමාජ ප‍්‍රතිසංස්කරනවාදයේ අංශුමාත්‍රයක් හෝ පැවතියේ නම් එය පවා බිඳ දමමින් සිටී. කම්කරු පන්තිය අති දැවැන්ත පරිමානයෙන් අරගලයකට තල්ලු කෙරෙමින් පවතී.

විසිවන සියවසේ අවසාන දශකය දක්වා කම්කරු ව්‍යාපාරයේ ආධිපත්‍යය දැරූ ස්ටැලින්වාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම පැබ්ලෝවාදී සංශෝධනවාදය සහ සුලු ධනේශ්වර ජාතිකවාදය ද අද දක්වාත් පවතින්නේ නම්, ඒ ධනවාදයේ විවෘත ආරක්ෂකයින් ලෙස ම පමනි.

ස්ටැලින්වාදීන් සෝවියට් සංගමය සහ කොමියුනිස්ට් පක්ෂ දියකර හරිද්දී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, ධනේශ්වරයේ දක්ෂිනාංශික පක්ෂ වලින් වෙන්කර හඳුනාගත නොහැක. මාඕවාදීන් චීනයේ ධනවාදය පුනස්ථාපනය කල අතර ජාත්‍යන්තර සංගතවලට සහ චීන ධනේශ්වරයට දැවැන්ත ලාභ ශ්‍රමයේ මූලාශ්‍රයක් නිර්මානය කලහ. ඔවුන් කොතැනක සිටිය ද පැබ්ලෝවාදීන් උත්සාහ කරන්නේ, දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂ මත “වාම” වෙස් මුහුනක් පලඳමින්, යුක්‍රේනයේ යුද්ධයේ දී පැහැදිලිව දැකගත හැකි වූ පරිදි, නීච ලෙස අධිරාජ්‍ය ගැති සහ නැටෝ ගැති භූමිකාවක් ඉටු කිරීමට ය.

ට්‍රොට්ස්කිගේ වහරින් පවසන්නේ නම් මෙම සංවිධාන සියල්ලම “පතුලට ම කුනු වී ඇත.” ඔවුන් විසින් හුදකලා කිරීමට හා විනාශ කිරීමට උත්සාහ කර ඇති ජාත්‍යන්තර කමිටුව, ට්‍රොට්ස්කිවාදයේ, එනම් සම්භාව්‍ය මාක්ස්වාදයේ එකම දේශපාලන නියෝජිතයා ලෙස කම්කරුවන්, තරුනයන් සහ බුද්ධිමතුන් අතර ජාත්‍යන්තරව ශක්තිමත් වෙමින් පවතී.

වෛෂයික අර්බුදයත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩපිලිවෙල හා භාවිතාවත් අතර අන්තර්ඡේදනයකින් සංලක්ෂිත ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, එහි ඉතිහාසයේ නව අවධියකට අවතීර්න වී ඇත.

ප්‍රින්කිපෝ හි ට්‍රොට්ස්කි අනුස්මරනය සිදුවූයේ, අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ යලි නැගීම තුල ප්‍රකාශිත තුන්වන ලෝක යුද්ධයකට තර්ජනය කරන, මිලියන 24 කට වැඩි ජනතාවක් මරා දැමූ වසංගතයක් පවතින, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ බිඳ වැටීමකට තර්ජනය කරන, ලෝකය පුරා උත්සන්න වන පාරිසරික ව්‍යසනයක් සහ සියල්ලටත් වඩා, පන්ති අරගලයේ වර්ධනයක් උත්සන්න වන, ධනේශ්වර අර්බුදයේ පසුබිමට එරෙහිව ය. වැඩෙන කෝපයේ හා සමාජ විරෝධයේ බලපෑම යටතේ පන්ති අරගලය පාලනය කිරීමට දූෂිත, ජාතිකවාදී වෘත්තීය සමිති නිලධරයන්ගේ හැකියාව බිඳ වැටෙමින් තිබේ.

'ට්‍රොට්ස්කි ජීවත් වූ විලාව (ගම්බද සුවිසල් නිවස) සම්පූර්නයෙන් ප්‍රතිස්ථාපනය කර ට්‍රොට්ස්කිගේ දැවැන්ත දේශපාලන හා බුද්ධිමය උරුමය අධ්‍යයනය කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත් කරනු ඇතැයි' සිය හඳුන්වාදීමේ කතාව අවසන් කරමින් නෝර්ත් තම බලාපොරොත්තුව ප්‍රකාශ කලේය. එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී, “අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ඇතිව, ප්‍රින්කිපෝව ලෝක ඉතිහාසයේ එහි ස්ථානය නැවත තහවුරු කරනවා පමනක් නොව, එය මානව වර්ගයාගේ අනාගතයට සැලකිය යුතු දායකත්වයක් ද සපයනු ඇති” බව ඔහු පැවසීය.

අගෝස්තු 20 දින සැමරුම් උත්සවය ගෝලීය පන්ති අරගලයේ පුනර්ජීවනයේ සහ අන්තර් ක්‍රියාකාරිත්වයේ ද, ට්‍රොට්ස්කිවාදයේ, එනම් 21 වන සියවසේ මාක්ස්වාදයේ ලෝක විප්ලවවාදී ඉදිරිදර්ශනයේ ද ප්‍රකාශනය ලබා දුන්නේය.

ප්‍රින්කිපෝ හි පැවති ට්‍රොට්ස්කි අනුස්මරණයේදී ඩේවිඩ් නෝර්ත්ගේ ප්‍රකාශය
Loading