“ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පවතින දිවයිනක්”: අගෝස්තු 20දා ප්‍රින්කිපෝ දිවයිනේ දී ලියොන් ට්‍රොට්ස්කි අනුස්මරනය පවත්වයි

(මෙය “An Island at the Center of World History”: Leon Trotsky commemoration to be held on Prinkipo on August 20th මැයෙන් 2023 ජූලි 13දා පල කල ලිපියේ පරිවර්තනය යි.)

ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ දිවයිනේ ඔහුගේ මේසයේ

1929 සිට 1933 දක්වා ලියොන් ට්‍රොට්ස්කි තුර්කියේ ගත කල වසර හතරක පිටුවහල් ජීවිතය, ඉස්තාන්බූල් වෙරලට ඔබ්බේ මාර්මරා මුහුදේ පිහිටි දිවයිනක් වන ප්‍රින්කිපෝහි දී, 2023 අගෝස්තු 20දා සැමරෙනු ඇත. ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය විසින් තමන් සෝවියට් සංගමයෙන් පිටුවහල් කල පසුව, ට්‍රොට්ස්කිගේ නවාතැන වූයේ ප්‍රින්කිපෝ දිවයින යි.

මෙම අනුස්මරන උත්සවයේ මාතෘකාව වන්නේ “ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පවතින දිවයිනක්: ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ” යන්න යි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්; තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ නායක සාමාජිකයෙකු වන උලාස් අටේසි; සහ ලෝසවෙඅ කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකු වන හා ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය ගැන විස්තීර්න ලෙස ලියා ඇති එරික් ලන්ඩන් මෙහි ප්‍රධාන කථිකයෝ වෙති. තුර්කියේ ඉතිහාස පදනමේ සභාපති මහාචාර්ය මෙහ්මට් ඕ. අල්කන් මෙම අවස්ථාව මෙහෙයවනු ඇත.

නගරාධිපති අර්ඩෙම් ගුල් නායකත්වය දෙන ප්‍රින්කිපෝ (ඇඩලාර්) නගර සභාව, මෙම අනුස්මරන උත්සවයට අනුග්‍රහය දක්වයි. 2019 දී නගරාධිපති පදවියට තේරී පත්වීමට පෙර, මූලධර්මාත්මක ජනමාධ්‍යවේදියෙකු ලෙස ගුල් කීර්ති නාමයක් ස්ථාපිත කරගත්තේ ය. 2015 නොවැම්බරයේ දී, කුම්හුරියෙට් නමැති දෛනික පුවත්පතේ ඇන්කාරා නියෝජිතයා ලෙස කටයුතු කල ගුල්, පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන කැන් ඩුන්දාර් සමගින් අත්අඩංගුවට ගෙන තුන් මසකට සිරගත කරන ලද්දේ, ඊනියා “මිට් ට්‍රක් රථ” පිලිබඳ ව වාර්තා කිරීම නිසා ය. 2014 ජනවාරියේ දී දකුනු තුර්කියේ හතායි හා අදානා පලාත්වල දී, තුර්කියේ ජාතික ඔත්තු සේවා සංවිධානයට (මිට්) අයත් වූ, නවතා තබන ලද ට්‍රක් රථවල තිබී සිරියාවේ ඉස්ලාමීය ජිහාඩ්වාදී හමුදාවන්ට යැවීමට නියමිත වූයේ යයි සැක කෙරෙන ආයුධ සොයා ගැනීම පිලිබඳ ව මෙම කතන්දරය සම්බන්ධ විය.

මෙම රැස්වීම 1933 ජූලි මාසයේ දී ප්‍රින්කිපෝ වෙතින් ට්‍රොට්ස්කි පිටත්ව යාමේ 90වන සංවත්සරය සමග සමපාත වන අතර, 1940 අගෝස්තුවේ දී ඔහු ඝාතනය කිරීමේ සිට හරියට ම වසර 83ක් ගත වන දිනට යෙදෙයි.

අඩ සියවසක පමන කාලයක් පුරා ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල නායක භූමිකාවක් ඉටු කර ඇති ඩේවිඩ් නෝර්ත්, මෙම අනුස්මරනයෙහි ඓතිහාසික අදාලත්වය අවධාරනය කරමින් ලෝසවෙඅ ට මෙසේ සඳහන් කලේය :

'ප්‍රින්කිපෝ දිවයිනේ ලියොන් ට්‍රොට්ස්කි ගත කල වසර හතර, ඔහුගේ ම ජීවිතයට පමනක් නො ව, විසිවන ශතවර්ෂයේ ඉතිහාසයට ද අතිශයින් ම වැදගත් දේ අතරට අයත් වෙනවා. ඔහු තුර්කියට පැමිනියේ, 1930 ගනන්වල දේශපාලන නැගිටීම් මුදා හැරීමට තුඩුදුන් ලෝක ආර්ථික අර්බුදයේ පුපුරා යාමට මාස කිහිපයකට පෙර, 1929 පෙබරවාරියේ දීයි. ඔහු තුර්කිය හැර ගියේ, කම්කරු පන්තිය මතට එදා මෙදා තුර කඩා පාත් කරන ලද ඉතා බරපතල පරාජය වූ ජර්මනිය තුල හිට්ලර් බලයට පැමිනීමෙන් මාස කිහිපයකට පසුවයි.'

'යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ විශාල දේශපාලන මධ්‍යස්ථානවලින් ප්‍රින්කිපෝ දිවයින ඉතා දුර බැහැර පිහිටා තිබුන ද එම කාල පරිච්ඡේදයේ ප්‍රධාන සිද්ධීන් ගැන ට්‍රොට්ස්කිගේ දේශපාලන විශ්ලේෂනයන්ට සමාන කල හැකි දෙයක් තිබුනේ නැහැ. හිට්ලර්ගේ නාසි ව්‍යාපාරයෙහි වර්ධනය විසින් ඉස්මතු කරන ලද අන්තරාය පිලිබඳ ව ඔහු තරම් වෙන කිසිවෙක් පැහැදිලි ව අවබෝධ කරගත්තේ හෝ සිත් කාවදින ලෙස ලිවුවේ හෝ නැහැ. ජර්මනියේ මහජන කම්කරු පන්තික පක්ෂ ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන තිබුනේ නම්, ලෝකයට දෙවන ලෝක යුද්ධයේ විනාශයෙන් බේරීගත හැකි ව තිබුනා.'

සමකාලීන දේශපාලනික හා සමාජීය සිද්ධීන් ගැන විශිෂ්ට ලෙස ලියද්දී ම, අනෙකුත් වැදගත් කෘති රචනා කිරීමට ද ට්‍රොට්ස්කි සමත් වීය යන්න ගැන ද නෝර්ත්ගේ අවධානය යොමුවිය.

දෛනික සිද්ධීන් ගැන ඔහුගේ තීව්‍ර නිමග්න වීම නො තකා, මගේ ජීවිතය යන ස්වයං-චරිතාපදානය සහ රුසියානු විප්ලවයේ ඉතිහාසය ද ට්‍රොට්ස්කි රචනා කලා. මෙම කෘති දෙක ම විසිවන ශතවර්ෂයේ සාහිත්‍යය තුල උත්කෘෂ්ට කෘතීන් ලෙස පිලිගැනෙන ඒවායි.

'එහෙත් ප්‍රින්කිපෝ දිවයිනේ සිටිය දී ට්‍රොට්ස්කිගේ ක්‍රියාවන්ගෙන් වඩාත් වැදගත්ම සිදුවීම වුයේ ඔහුගේ පිටව යාමට කෙටි කලකට පෙර දී. 1933 ජූලි මාසයේ දී, හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා ට්‍රොට්ස්කි සිය කැඳවුම නිකුත් කිරීමයි. ස්ටැලින්වාදයේ පාවාදීම් වලට ප්‍රතිචාර ලෙස උද්ගත කෙරුනු එම ක්‍රියාව ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ අඛන්ඩ පැවැත්ම තහවුරු කලා.'

නගරාධිපති ගුල් හා ප්‍රින්කිපෝ නගර සභාව, මෙම අනුස්මරන උත්සවයට සත්කාරකත්වය දීමට ගත් තීරනය ගැන නෝර්ත් සිය කෘතඥතාව පල කලේ ය.

“මෙම සිද්ධියට අනුග්‍රහය දැක්වීමට ගත් තීරනය, ඉතිහාසය කෙරෙහි බැරෑරුම් ආකල්පයක් වගේ ම ප්‍රින්කිපෝ දිවයිනේ දී ට්‍රොට්ස්කි ගත කාල තීරනාත්මක අවුරුදු තුල ඔහු කල වැඩකටයුතුවල ශ්‍රේෂ්ඨ හා නො නස්නා අදාලත්වය පිලිබඳ අවබෝධයක් පිලිබිඹු කරන බව මම විශ්වාස කරනවා. 1929 හා 1933 අතරතුර, එය සත්‍ය වසයෙන් ම ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයේ පැවති දිවයිනක්. මෙය ප්‍රින්කිපෝ දිවයිනේ ඉතිහාසයෙහි විභූතිමත් පරිච්ඡේදයක් වන අතර, ඒ සඳහා එය සැමදා ගෞරවයෙන් සලකනු ඇති.”

ට්‍රොට්ස්කිවාදී සාහිත්‍යය තුර්කි බසින් පල කරන මේරිං ප්‍රකාශන ආයතනයේ සංස්කාරක වන උලාස් අටේසි ලෝසවෙඅ ට මෙසේ ප්‍රකාශ කලේය: “සෝවියට් සංගමයෙන් පිටුවහල් කරන ලද මෙම ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදියාගේ පිටුවහලේ පලමු වසර කිහිපයට සත්කාරකත්වය දීමේ වරප්‍රසාදය ලත් ප්‍රින්කිපෝ දිවයිනේ දී පවත්වන මෙම රැස්වීමට ඓතිහාසික හා ජාත්‍යන්තර වැදගත් කමක් තිබෙනවා. අධිරාජ්‍යවාදී බලයන්ගේ හා ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයට එරහි රුදුරු සතුරෙකු ලෙස වසර 83කට පෙර ඝාතනයට ලක් වුනු ට්‍රොට්ස්කිගේ අදහස්, ලෝකය අර්බුදයෙන් දෙදරුම් කා ගෝලීය යුද්ධයක් කරා තල්ලු වෙද්දී වඩාත් වැදගත් බවට පත්වෙමින් තිබෙනවා.”

උත්සවය මෙහෙයවන්නා ලෙස මහාචාර්ය අල්කන්ගේ සහභාගීත්වය අටේසි සාදරයෙන් පිලිගත්තේ ය. “මහාචාර්ය අල්කන්ට ශාස්ත්‍රාලිකයෙකු ලෙස දීර්ඝ හා කීර්තිමත් වෘත්තීය ජීවිතයක් තිබෙනවා. දැනට ඉස්තාන්බූල් විශ්ව විද්‍යාලයේ දේශපාලන ඉතිහාසය අංශයේ ප්‍රධානියා වන ඔහු ලිපි 300ට අධික සංඛ්‍යාවක් පලකර තිබෙනවා මෙන් ම කෘති 20ට වැඩි ප්‍රමානයක් ලියා හෝ සංස්කරනය කර හෝ තිබෙනවා. මෙම කෘති අතරට ටැන්සිමැට් යුගයේ සිට වර්තමානය දක්වා තුර්කි කම්කරු පන්තියේ ඉතිහාසය 1839-2014; දාස් කැපිටාල් කෘතියේ 150වන සංවත්සරය; 1917: රුසියාවේ විප්ලවය සහ සමූහාන්ඩුව: ශතවර්ෂීය අගය කිරීමක් අයත් වෙනවා.”

ප්‍රින්කිපෝ දිවයිනේ ට්‍රොට්ස්කි ජීවත් වුනු ගෘහයන්ගෙන් එකක් තවමත් පැවතුන ද එය පවතින්නේ ආන්තික ලෙස ගරාවැටුනු තත්වයේ ය. රැස්වීම පැවැත්වීම එම ගෘහයේ පූර්න පුනස්ථාපනයකට තුඩු දෙනු ඇතැයි නෝර්ත් අපේක්ෂා පල කලේ ය. “ට්‍රොට්ස්කි ජීවත් වුනු නිවස ප්‍රධාන ඓතිහාසික අඩවියක්. පෞරානික තත්ත්වය දක්වා පුනරුත්ථාපනය කල යුතු එය, වර්තමාන ලෝක සමාජවාදී ව්‍යාපාරයට පදනම දැමීමට කටයුතු කල 20වන ශතවර්ෂයේ ඉතිහාසයෙහි දැවැන්ත චරිතයක ජීවිතය අධ්‍යයනය කරන මධ්‍යස්ථානයක් ලෙස සේවය කල යුතු වෙනවා” යි නෝර්ත් ලෝසවෙඅ වෙත කීවේ ය.

ජාත්‍යන්තර ශ්‍රාවකයකට නැරඹිය හැකි පරිදි, මෙම ප්‍රසිද්ධ රැස්වීම සජීවී ව විකාශනය කරනු ලැබේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි විස්තර ලැබුනු වහාම පල කරනු ඇත.

Loading