[මෙය Sri Lankan president visits India to strengthen economic and political ties යන මැයෙන් 2023 ජූලි 25පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා ඉන්දියාවට පැමිනියේය; මෙය ඔහු ඉන්දියාවට කල පලමු නිල සංචාරය විය. දිවයිනේ පවතින ආර්ථික අර්බුදය සහ ඔහුගේ පාලනයේ දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ නව දිල්ලිය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට වික්‍රමසිංහ උනන්දු වෙයි.
එක් අතකින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඉන්දියාව අතරත්, අනෙක් අතින් චීනය අතරත් තීව්ර වන ගෝලීය භූ-දේශපාලන ආතතීන් අවධාරනය කරමින්, මෝදි පාලනය, ඉන්දියාවේ භූ දේශපාලනික අවශ්‍යතා සමඟ පෙලගැසීමට සහ ශ්‍රී ලංකාව තුල බීජිනයේ බලපෑමට වල කැපීමට කොලඹ ආන්ඩුව මත එහි පීඩනය වැඩි කරමින් සිටියි.
වික්‍රමසිංහ කුප්‍රකට එක්සත් ජනපද ගැති දේශපාලනඥයෙකු වන අතර, චීනයට නැඹුරු බව දන්නා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) මත ඔහුගේ පරිපාලනය යැපීම සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ලට පත්ව සිටී.
මෙම සංචාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි සිය ආර්ථික බලපෑම විශාල ලෙස ඉහල නංවන ආර්ථික සහ වෙලෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීය. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, චීනය සමග වැඩෙන භූ දේශපාලන ආතතීන් සහ ඉන්දියාවේ අවශ්‍යතා සඳහා කොලඹ සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවය පිලිබඳව මෝදි, වික්‍රමසිංහ සමග රහසිගත සාකච්ඡා පැවැත්වූ බවයි.
චීනය පිලිබඳ ප්රශ්නය මතු කලේද යන ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා පැවසුවේ: “[මෝදි සහ වික්‍රමසිංහ අතර] සාකච්ඡාවේදී මෙම අභියෝග උචිත ලෙස ඉදිරිපත් කලා.”
චීනය ඇතුලු නැගෙනහිර ආසියාව සමඟ යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන මුහුදු මංතීරුවලට යාබදව උපායමාර්ගිකව ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇත. යුක්රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන යුද්ධය තීව්ර කිරීමට සමගාමීව, වොෂින්ටනය, චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමේ දී ඉන්දියානු උපමහාද්වීපයේ මූලෝපායික හවුල්කාරිත්වයන් තහවුරු කරමින් සිටී. නව දිල්ලිය මෙම ප්රකෝපකාරී පියවරවල වොෂින්ටනයේ ප්‍රධාන හවුල්කරුවෙකි. යුද්ධයකදී චීනයට තෙල් ඇතුලු සැපයුම් අවහිර කිරීමේදී ඉන්දියන් සාගරය පාලනය කිරීම අත්‍යවශ්‍ය බව දෙරටම ගනන් බලයි.
ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, මෝදි සහ වික්‍රමසිංහ 'සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම, සෞභාග්‍යය උත්ප්‍රේරනය කිරීම: ඉන්දියා-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරී දැක්ම' යන මැයෙන් ලේඛනයක් සම්මත කර ගත්හ. එය ගුවන්, සමුද්‍රීය, බලශක්ති, විදුලිය, වෙලඳාම සහ මූල්‍ය “සම්බන්ධතා” ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කලේය. දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබිනි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි-ධාරිතා විද්‍යුත් ජාල අන්තර් සම්බන්ධතාවයක්, සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සහ එල්එන්ජී (ද්රවීකරනය කල ස්වභාවික වායු) යටිතල පහසුකම් සහ දකුනු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා නල මාර්ගයක් ස්ථාපිත කිරීම මෙම ලේඛනයට ඇතුලත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය නගරය වන ත්‍රිකුනාමලය කාර්මික මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කිරීමටත්, කොලඹ, ත්‍රිකුනාමලය, කන්කසන්තුරේ සහ අනෙකුත් නගරවල වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් යෝජනා කර තිබේ.
මෙම පුලුල් “සංවර්ධන” ව්‍යාපෘති පෙන්නුම් කරන්නේ, ඉන්දීය මහා ව්‍යාපාරිකයන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ පවතින සෑම සම්පතක්ම සහ ව්‍යාපාරික අවස්ථාවක්ම සූරාකෑමට සහ දිවයින තවදුරටත් එහි භූ දේශපාලන ග්රහනයට ඇද ගැනීමට මෝදි ආන්ඩුව දරන උත්සාහයයි.
කොලඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සහ සුලං විදුලි බලාගාරයක් වැනි ශ්‍රී ලංකාවේ ඔහුගේ ව්‍යාපෘති පිලිබඳව සාකච්ඡා කිරීමට වික්‍රමසිංහ කුප්‍රකට ඉන්දීය බිලියනපතියෙකු වන ගෞතම් අදානි මුනගැසීම, වැදගත් කරුනකි.
2022 මුල් භාගයේ පෙර නොවූ විරූ මට්ටමකට උත්සන්න වූ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, නිසා පැන නැගුනු අහස උසට නැඟෙන උද්ධමනය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ පැය ගනන් දිග විදුලි කප්පාදුව කම්කරුවන් හා ගොවීන් සහභාගීවූ රටපුරා විරෝධතා, පෙලපාලි සහ වැඩ වර්ජන පුපුරා යාමට තුඩු දුන්නේය.
මෙම ජනතා ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව බිඳ දැමීය. රාජපක්ෂට රටින් පලා යාමට බලකෙරෙන විට සහ වික්‍රමසිංහ ජනාධිපති ධූරයට ඔසවා තැබෙන විට, මෙම කාලය පුරාවටම නව දිල්ලිය මූල්‍ය ආධාර සැපයීය.
පසුගිය වසරේ මුල් භාගයේ සිට, කොලඹ තුල බීජිනයේ බලපෑම පසෙකට දැමීමේ අරමුන ඇතිව, ඉන්දියාව ඩොලර් බිලියන 4 ක දිගුකාලීන නයක් ලබා දුන්නේය. එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක ඇප නයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට නවදිල්ලිය සහතිකයක් නිකුත් කරමින් සහාය දැක්වීය.
වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී ප්‍රකාශයට පත් කරන ලද නොයෙකුත් ව්‍යාපෘති, ඒවායේ ජාත්‍යන්තර ප්‍රතිවිපාක සහ ආර්ථික අවාසි සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටින ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ සමහර කොටස් තැතිගෙන ඇත.
ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ හොරනෑවක් වන ඩේලි එෆ්ටී (Daily ft) හි ප්රවෘත්ති වාර්තාවක මෙසේ සඳහන් විය: “දේශපාලන පීඩනයන් යටතේ අයුක්තිසහගත ලෙස මෙවැනි ව්‍යාපෘති ප්රදානය කිරීමේ අසමත් බව, සාධාරන තරඟයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශාල චීන සමාගම්වලට නියත වශයෙන්ම බාධාකාරී සංඥාවක් නිකුත් කරනු ඇති බවට, මූලාශ්‍ර අනතුරු අඟවා තිබේ.'
දැවැන්ත එල්එන්ජී ව්‍යාපෘතියක් සඳහා වන මුල් ගිවිසුම ටෙන්ඩර් ක්‍රියාවලියකින් පසු ආරම්භයේදී චීන සමාගමකට ලබා දී ඇති අතර එය කැබිනට් අනුමැතිය සඳහා 2022 සැප්තැම්බර් සිට සූදානම් කර පැවති බව ලිපියේ සඳහන් විය. මෙම ගනුදෙනුව, 'ශ්‍රී ලංකාවේ එල්එන්ජී ක්ෂේත්රයෙන් චීනය පන්නා දමමින්' දැන් නවතා දැමිය හැකි බව එහි වාර්තා විය. නවදිල්ලිය හරියටම ඉලක්ක කරන්නේ මෙයයි.
ජුලි 22 දා ඩේලි මිරර් (Daily Mirror) පුවත්පතේ “ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සහ උපාය මාර්ගික අවශ්‍යතා තුලනය කිරීම” යන මාතෘකාව යටතේ වූ කතුවැකියක මෙසේ අදහස් දක්වා තිබුනි: “ඉන්දියාවට, විවිධ කාලවලදී අපට උදව් කිරීමේ ඉතිහාසයක් පැවතීම සත්‍යයක් වන අතර, බලශක්ති වැඩසටහන් සහ විද්‍යුත් ජාල හරහා එරට සමඟ වැඩි සම්බන්ධතාවක් ඇති වීම යහපත් බව පෙනේ. නමුත් අපි අපේ ආර්ථිකයේ උපාය මාර්ගික කොටස් සඳහා විදේශ මූලාශ්‍ර මත වැඩිපුර යැපෙන්නේ නැති බවට සහතික විය යුතුයි. ඕනෑම කෙනෙකුගේ පදයට නැටුවාට කමක් නැත, නමුත් නර්තනය ඔවුන්ගේ නොව, අපගේ විය යුතුය.”
මෝදි ආන්ඩුව ද වික්‍රමසිංහ ආන්ඩුවේ අත ඇඹරීම සඳහා, දෙමල ජනයාට සහ ඉන්දියානු සම්භවයක් ඇති දෙමල වතු කම්කරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පවතින වාර්ගික වෙනස්කම් කිරීම් භාවිතා කරයි.
ඔවුන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මෝදි නරුම ලෙස මෙසේ පැවසීය: 'ශ්‍රී ලංකාවේ ආන්ඩුව දෙමල ජනයාට ගෞරවාන්විත හා අභිමානයෙන් යුත් ජීවිතයක් සහතික කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.' මෙම වදන් පවසන්නේ ඉන්දියාවේ සුලු ජාතීන් ලේ වැකි ලෙස දිගින් දිගටම මර්දනය කරගෙන යන, බීජ්පීයේ අන්ත දක්ෂිනාංශික හින්දු අධිපතිවාදී නායකයාය.
මෝදි ආන්ඩුවට සහ අනෙකුත් ඉන්දීය පාලක ප්රභූවට ශ්‍රී ලංකාවේ දෙමල සුලුතරයේ ප්රජාතන්ත්රවාදී අයිතීන් පිලිබඳ කිසිදු අනුකම්පාවක් නැත. දශක ගනනාවක දෙමල විරෝධී ප්රකෝපකිරීම්වල කූටප්‍රාප්තිය වූ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වසර 26 ක වාර්ගික යුද්ධයෙදී ඔවුහු කොලඹට සහාය දුන්හ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1987 ඉන්දු ලංකා ගිවිසුමේ කොටසක් වූ 13 වන ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස මෝදි ඉල්ලා සිටියි. මෙම ගිවිසුම යටතේ, එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවේ උතුරට එවන ලද අතර, දකුනේ මහජන විරෝධය මැඩලීම කෙරෙහි කොලඹට අවධානය යොමු කිරීමට ඉඩ සැලසීය.
යෝජිත සංශෝධනය දෙමල ධනේශ්වරයේ තත්වය ඉහල නංවමින්, දිවයිනේ ඒකාබද්ධ උතුරු හා නැගෙනහිර පලාතට බලතල බෙදා හැරීමට නියමිත විය. කෙසේ වෙතත්, සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් දෙමල ප්රභූවට මොනයම් හෝ බලය බෙදා හැරීමකට විරුද්ධ වෙමින් දෙමල-විරෝධී වර්ගවාදයේ මුල්බැසගත් පිට පිට පැමිනි කොලඹ ආන්ඩු පලාත් සඳහා නාමික බලතල පමනක් ලබා දීම සහතික කලේය.
අතීතයේ දී මෙන්ම, මෝදිගේ ප්‍රකාශයන් ඉලක්ක කර ඇත්තේ, වොෂින්ටනයේ සහ නව දිල්ලියේ භූ දේශපාලන අවශ්‍යතාවලට සහාය දක්වන ශ්‍රී ලංකාවේ දෙමල ජාතිකවාදී පක්ෂ, කොලඹට පීඩනය යෙදීම සඳහා යොදා ගැනීමයි.
වික්‍රමසිංහ ඉන්දියාවෙන් ආපසු පැමිනි විගස, පලාත්වලට බලතල බෙදා හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල අදහස් විමසන බවට ආන්ඩුව නිවේදනය කලේය.
වොෂින්ටනය සහ නව දිල්ලිය චීනය හුදකලා කිරීමට උත්සාහ කරන බවට මනාව දැනුවත් බීජිනය, කලාපය තුල සිය සබඳතා වර්ධනය කර ගනිමින් සිටියි. එය පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන වෙලඳ හවුල්කරු වූ අතර ඩොලර් බිලියන 7 ක පමන නය ලබා දෙමින් විශාල ආයෝජන ව්‍යාපෘතිවල නිරත විය.
වික්‍රමසිංහ ඉන්දියාවේ සිටියදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන යුවාන් ජියාජුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිනියහ. ඔහු හිටපු ජනාධිපති සහ එවක පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම විපක්ෂයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද හමුවිය. මෙම සාකච්ඡා පිලිබඳ විස්තර නොමැති අතර, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා මෙම සංචාරය සිදු කල බව රාජපක්ෂ පැවසීය.
කොලඹ මත මෝදි තන්ත්රයේ තීව්ර පීඩනය අවධාරනය කරන්නේ, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි සූදානම ඉහල අදියරකට පැමින ඇති බවයි. මෙම සූදානම සඳහා ඉන්දියාව සමීපව සම්බන්ධ ව සිටී.
පසුගිය නොවැම්බරයේදී වික්‍රමසිංහ ප්‍රකාශ කලේ, “අපට (ඉන්දියානු සාගර කලාපයේ) විශාල බල එදිරිවාදිකම් අවශ්‍ය නැත.” නමුත් පසුගිය සතියේ මෝදි සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ, “ඉන්දියාවේ වර්ධනය අසල්වැසි ප්‍රදේශවලට සහ ඉන්දියානු සාගර කලාපයට ප්‍රයෝජනවත් වනු ඇත,” යනුවෙන්, ඉන්දියාව දෙසට ඔහුගේ දිශානතිය පැහැදිලි කරමිනි.
එක්සත් ජනපදය සහ ඉන්දියාව, දකුනු ආසියාව සහ ඉන්දියන් සාගරය චීනය සමඟ ප්‍රධාන සටන් බිමක් බවට පරිවර්තනය කරන බැවින්, ශ්‍රී ලංකාවෙන් “උදාසීන” ආස්ථානයක් නොඉවසනු ඇත. න්‍යෂ්ටික සන්නද්ධ ජාතීන් අතර එවැනි ගැටුමක් මනුෂ්‍ය සංහතියටම ව්‍යසනකාරී වනු ඇත.
එවන් ව්‍යසනයක් වැලැක්විය හැකි එකම මාර්ගය, ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් තුල ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලන බලමුලු ගැන්වීම යි. එවන් යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ දකුනු ආසියාව පුරා සිටින සියලුම කම්කරුවන් ලොව පුරා සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග එක්විය යුතුය.