ශ්‍රී ලංකා ආන්ඩුව කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල්වලින් බිලියන ගනනක් කපා හැරීමට යයි

[මෙය Sri Lankan government to slash billions from workerspension funds යන මැයෙන් 2023 ජූලි 04 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද, දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීමේ/ප්‍රශස්තිකරනය කිරීමේ (ඩීඩීආර්) සැලැස්ම ජූලි 1 සෙනසුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. මෙම සැලැස්ම මගින් මිලියන ගනනක් කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් වලින්, ප්‍රධාන වශයෙන් සේවක අර්ථසාධක අරමුදලෙන් (ඊපීඑෆ්) රුපියල් බිලියන ගනන් කප්පාදු කරනු ඇත. මෙම විනාශකාරී ප්‍රහාරය, දැන් ආන්ඩුව විසින් නිර්දය ලෙස ක්‍රියාත්මක කරමින් සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි.

යෝජිත ඩීඩීආර් වැඩ පිලිවෙලට අනුව, භාන්ඩාගාරය විසින් ඊපීඑෆ් වැනි විශ්‍රාම පාරිතෝෂික අරමුදල් ආයෝජනය කර ඇති දැනට පවතින සියලුම බැඳුම්කර ආපසු ගෙන නව බැඳුම්කර නිකුත් කිරීම, අගය පහත හෙලීමේ ක්‍රියාවලියක් (step-down process) ලෙස හැඳින්වේ. නව බැඳුම්කර සඳහා 2025 දක්වා සියයට 12 ක පොලියක් ලැබෙන අතර ඉන් පසුව සියයට 9 ක අඩු පොලියක් 2038 දක්වා ගෙවනු ලැබේ.

2022 ජූලි 7 වන දින සෞඛ්‍ය සේවකයින්ගේ කොලඹ පාගමන

මේ ආකාරයට, විශ්‍රාම වැටුප් අරමුදල්වලට දැනට පවතින අතිශය ඉහල පොලී අනුපාත නොලැබෙනු ඇත. නිදසුනක් වශයෙන්, මෑත වසරවලදී, රජයේ භාන්ඩාගාර බැඳුම්කරවල පොලී අනුපාත සියයට 30 ඉක්මවිය.

2023 ජූනි 28 දින සිට, ශ්‍රී ලංකාව තුල නිකුත් කරන ලද ඕනෑම තොග හෝ සුරැකුම්පත් පරිවර්තනය කිරීමට හෝ හුවමාරු කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පවරමින් වික්‍රමසිංහ ජූලි 3දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලේය.

ස්වාධීන චින්තන පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් ට අනුව පවතින සාමාන්‍ය පොලී අනුපාතය මත පදනම්ව, සාම්ප්‍රදායිකව සියයට 13 ක් ලෙස ගනනය කලද, ඊපීඑෆ් අරමුදලට 2038 වන විට රුපියල් ට්‍රිලියන 12 ක දැවැන්ත මුදලක් අහිමි වනු ඇත.

ප්‍රධාන වශයෙන් ඊපීඑෆ් කලමනාකරනය කරනු ලබන්නේ මහ බැංකුව විසින් වන අතර එහි රුපියල් ට්‍රිලියන 3.5 න් සියයට 95 ක් භාන්ඩාගාර බැඳුම්කර ආකාරයෙන් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇත. ආන්ඩුවේ මුලු දේශීය නය ප්‍රමානය රුපියල් ට්‍රිලියන 15 ක් පමන වේ; මේ අනුව දේශීය නයවලින් සියයට 25 ක් පමන දරන්නේ විශ්‍රාම වැටුප් අරමුදල් ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ ගිවිසුමක් යටතේ මාර්තු මාසයේ දී අනුමත කරන ගන්නා ලද ඩොලර් බිලියන 3 ක නය ලබා ගැනීම සඳහා, 2032 වන විට සිය නය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 125 සිට සියයට 95 දක්වා අඩු කිරීමට ආන්ඩුව පොරොන්දු විය. ඩීඩීආර් සැලැස්ම, මෙම ඉලක්කය සපුරා ගැනීමේ තීරනාත්මක කොටසකි.

මීලඟ නය වාරිකය ලබා ගැනීම සඳහා, සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඒලඹෙන ජාමූඅලේ සමාලෝචනයට පෙර ඩීඩීආර් ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව සාහසික උත්සාහයක නිරතවේ. පසුගිය සතියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ: “එබැවින්, අප ජාමූඅ ඊලඟ වාරිකයට යාමට පෙර, දැන්ම ම මාර්ග සිතියම් සකස් කිරීම අවශ්‍යතාවයයි”

පුද්ගලික අංශයේ සහ රජය සතු ව්‍යවසායන්ගෙන් බහුතරයක්, නෛතික අවශ්‍යතාවයක් ලෙස, තම සේවායෝජකයාගේ සහ සේවකයාගේ විශ්‍රාම වැටුප් කොටස් ඊපීඑෆ් ලෙස තැන්පත් කරයි.

අරමුදලෙන් ගෙවීම් සඳහා සේවකයින් සුදුසුකම් ලබන්නේ, වයස අවුරුදු 55 ඉක්මවා විශ්‍රාම ගැනීමෙන් පසුව පමනි. එතෙක් ඊපීඑෆ් භාරකරු වන්නේ මහ බැංකුවයි. එබැවින් මෙම ආන්ඩුවේ පාලනයට නතුව ඇති විශ්‍රාම වැටුප් අරමුදල ඒය විසින් හසුරුවනු ලබන්නේ එහි අයිතිකාර මිලියන 2.6 ක කම්කරුවන්ට හොර රහසිනි.

කම්කරුවන්ගේ නය, උකස් ආදී, වෙනත් මූල්‍ය බැඳීම් පියවා ගැනීමටත්, විශ්‍රාම ගිය පසු හැකිනම් පවුලට නිවසක් තනා දීමටත් එකම බලාපොරොත්තුව විශ්‍රාම වැටුප් අරමුදලයි. ඇතැමෙක් විශ්‍රාමික ආරමුදල බැංකුවල තැන්පත් කරන්නේ, ඉතිරි ජීවිත කාලයටම ජීවත් වීම සඳහා සොච්චම් ආදායමක් ලබාගැනීමටය.

ජාමූඅ විසින් නියම කරන ලද පරිදි, ආන්ඩුව මුදල් අවප්‍රමානය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. පසුගිය වසරේ අධි උද්ධමනය සියයට 70 කට වඩා වැඩි වූ අතර එතැන් සිට සියයට 12 දක්වා පහත වැටී ඇත. උද්ධමනය සහ මුදල් අවප්‍රමානය වීම ඊපීඑෆ් තැන්පතුවල සැබෑ වටිනාකමට දැඩි ලෙස බලපා ඇත. ඇස්තමේන්තු වලට අනුව, අරමුදලේ එක්සත් ජනපද ඩොලර් වටිනාකම 2021 දී ඩොලර් බිලියන 15.8 සිට 2022 දී ඩොලර් බිලියන 9.5 දක්වා පහත වැටුනි.

වික්‍රමසිංහ සිය අයවැය කතාවේදී රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සඳහා වන රාජ්‍ය දායකත්වය කප්පාදු කරන බව ද නිවේදනය කලේය. මීට පෙර ආන්ඩුව තම සේවකයන්ට සම්පූර්න විශ්‍රාම වැටුපක් ගෙවීමට කැපවී සිටි නමුත් මේ වසරේ සිට අලුතින් බඳවා ගන්නා සියලුම දෙනා තම ආදායමෙන් සියයට 15 ක් තම විශ්‍රාම වැටුපට යෙදවිය යුතුය.

වානිජ බැංකුවලට අධික බර පටවා ඇති බව පවසමින්, ආන්ඩුව ඒවා ඩීඩීආර් වෙතින් ඉවත් කර ඇත්තේ කම්කරුවන් ඉලක්ක කර ගන්නා අතරවාරයේදීය. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙසේ පැවසීය: “බැංකු දැනටමත් සියයට 50 ක බදු මඟින් මහා භාන්ඩාගාරයට විශාල දායකත්වයක්ද නය සහන සහ රාජ්‍ය නය ප්‍රතිපාදන අනුව ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වයද ලබාදී ඇත...”

ආන්ඩුව විසින් බැංකු ප්‍රාග්ධනයේ කොටස් හිමියන් ඩීඩීආර් බලපෑමෙන් බැහැර කිරීම පුදුමයක් නොවේ. බදු ගෙවීමෙන් පසු බැංකු ක්ෂේත්‍රයේ ලාභය 2021 සහ 2022 දී පිලිවෙලින් රුපියල් බිලියන 172 සහ රුපියල් බිලියන 150 ඉක්මවයි.

ඩීඩීආර් සැලැස්මෙන් බැංකු බැහැර කිරීම සහ ඒය කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් ඉලක්ක කර ගැනීම ගැන මහා ව්‍යාපාරිකයෝ ප්‍රීති වූහ. ජූනි 29 දා වික්‍රමසිංහ විසින් කැදවා තිබූ රැස්වීමකදී ලංකා වානිජ මන්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි ආන්ඩුවට ස්තුතිය පුද කලේය: 'මම හිතන්නේ මෙය [ඩීඩීආර්] තමයි වෙන්න තිබුනු හොඳම දේ...'යැයි ඔහු පැවසීය.

ඊයේ කොලඹ කොටස් වෙලඳපොල සියයට 7 කින් ඉහල ගියේ ආන්ඩුවේ ක්‍රියාව කෙරෙහි ධනේශ්වර පන්තියේ උද්‍යෝගය පෙන්නුම් කරමිනි.

තම නය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගැනීමට පෙර දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාවට නංවන ලෙස ප්‍රධාන ජාත්‍යන්තර නය දෙන්නන් වෙතින් කොලඹට පීඩනය එල්ල වී තිබේ. අද වන විටත්, විදේශීය නය හිමියන් නය ආපසු ගෙවීම අඩු කිරීමට හෝ ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට එකඟ වී නැත. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ රටේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයේ සම්පූර්න බර කම්කරුවන් හා දුප්පතුන් පිට පැටවීම තුලින්, පැහැර හරින ලද නය සම්පූර්නයෙන්ම ආපසු ගෙවීම සහතික කිරීමයි.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) පනතට විරුද්ධව ඡන්දය දුන්නේ කම්කරුවන්ට සිදුවන බලපෑම ගැන කිඹුල් කඳුලු හෙලමිනි. එහි මූල්‍ය ප්‍රකාශක හර්ෂ ද සිල්වා ඊපීඑෆ් කප්පාදුවට සහාය දුන් අතර, ඒමඟින් අරමුදලට “අවස්ථා අහිමිවීමේ ඉඩකඩ” පවතින බව පවසමින්, එය මෘදු ලෙස විවේචනය කලේය.

මීට කලකට පෙරම ජාමූඅලේ නය ලබා නොගැනීම පිලිබඳ ආන්ඩුව හෙලා දකින සජබ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලේ දැඩි සහායකයෙකි. සැලකිය යුතු කරුනක් නම්, සජබ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු සජබයේ පෙලගැස්ම උල්ලංඝනය කරමින් ඩීඩීආර් සැලැස්මට ඡන්දය දීමයි.

විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද ඩීඩීආර් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේය. සැලැස්මට ඡන්දය දෙන අය, ඊපීඑෆ් අනතුරේ හෙලීම සම්බන්ධයෙන් “රටේ ශ්‍රම බලකායෙන් සමාව ගත යුතු” බව එහි කථිකයා වාචාල ලෙස ප්‍රකාශ කලේය. ජාමූඅ ඉල්ලීම් වලට විකල්පයක් තමන් නොදකින බවත් ආන්ඩුවක් පිහිටුවුවහොත් තමන්ටද දැඩි කප්පාදු පියවර පැනවීමට සිදුවන බවත් එම පක්ෂය පැහැදිලි කර ඇත.

වෘත්තීය සමිති, බොහෝ දුරට සිටින්නේ නිහඬව ය. ලංකා බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, බැංකු තැන්පත්කරුවන්ට කලබල නොවන ලෙසත් තම තැන්පතු ඉවත් කර නොගන්නා ලෙසත් ය. එහි උත්සුකය වූයේ බැංකු අස්ථාවර වීම වැලැක්වීම මිස කම්කරුවන්ට සිදුවන විනාශකාරී බලපෑම ගැන නොවේ.

සේවක ප්‍රතිලාභ වෙනුවෙන් ක්‍රියා කරන ලෙසටත්, ඊපීඑෆ් වලට සහ අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල්වලට බලපෑම් කිරීමට කිසිදු පියවරක් නොගන්නා ලෙසටත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට ආයාචනා කරමින් නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සංගමය ලිපියක් යවා ඇත.

ජවිපෙ පාලනය කරන සමස්ත ලංකා පොදු වරාය සේවක සංගමය සහ සමස්ත ලංකා ටෙලිකොම් සේවක සංගමයේ නායකයෝ “ඊපීඑෆ් සහ ඊටීඑෆ් විශ්‍රාම වැටුප් අරමුදල් ආරක්ෂා කිරීමට සංවිධානය වෙමු! අපි සටන් කර අපගේ ශක්තිය පෙන්වමු!” යන මැයෙන් වූ පත්‍රිකාවක් බෙදා හැර තිබේ. කෙසේ වෙතත්, ඒ තුල කිසිදු පියවරක් යෝජනා කර නොමැත.

මෙම වෘත්තීය සමිති ජාමූඅ වැඩපිලිවෙලට ප්‍රසිද්ධියේ හෝ රහසිගතව සහයෝගය දක්වන අතර දැනටමත් මිලියන ගනනක් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවිත විනාශ කර ඇති ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට විරුද්ධ වෙති.

විශ්‍රාම වැටුප් අරමුදල් ආරක්ෂා කිරීම, කම්කරුවන් පාලක පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන සියලුම ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති වලින් ස්වාධීනව සංවිධානය වීම සමග බැඳී පවතී. සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන් හා ග්‍රාමීය දුගී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වැඩපලවල, කම්හල්වල, වතුකරයේ සහ ග්‍රාමීය ජනතාව අතර ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙසයි.

ජාමූඅ කප්පාදු ඉල්ලීම් වලට එරෙහි දේශපාලන අරගලයක්, සමාජවාදී වැඩපිලිවෙල මත පදනම් විය යුතුය. සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරන ලෙසත්, සුපිරි ධනවතුන්ගේ ධනය සමාජගත කරන ලෙසත්, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු සහ වතු ඇතුලු ප්‍රධාන සංගත ජනසතු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කල යුතුය; ඒ සඳහා, කම්කරු පන්තියේ හා ග්‍රාමීය දුගීන්ගේ දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාකාරී කමිටු මගින් තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම්වන කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප උද්ඝෝෂනය කරයි. මෙය ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන සටනේ අවියෝජනීය කොටසකි.

Loading