රැකියා හා ප්‍රතිපාදන කපා දමමින් දියත් කෙරෙන දුම්රිය පුද්ගලීකරනයට එරෙහිව පෙල ගැසෙමු!

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩී.එස්.ගුනසිංහ පසුගියදා මාධ්‍යයට පවසා තිබුනේ දුම්රිය සේවයට තව දුරටත් රාජ්‍ය ප්‍රතිපාදන අපේක්ෂා කල නොහැකි බැවින් එය “රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වයක්” ලෙස ක්‍රියාත්මක කිරීමට වැඩ කරමින් සිටින බවයි. “මගී ප්‍රවාහනයට අමතර මාර්ගවලින්” ආදායම් උපයමින් “මෙහෙයුම් අලාභ” අවම කර ගැනීම එල්ලය වන බව ඔහු කියා සිටියේය.

මෙහි අර්ථය කුමක්ද? දුම්රිය සේවය තුල මෑතක සිට වර්ධනය වෙමින් පවතින තත්වය සේවක අපට මෙන්ම දසදහස් සංඛ්‍යාත මගීන්ට බලපාන්නේ කෙසේද?

දුම්රිය දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන කපා හැරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත රාජ්‍ය වියදම් කපා දමා ආන්ඩුවේ නය ගෙවීමට මුදල් උපයා ගැනීමේ ක්‍රියාවලියේ කොටසකි. දුම්රිය සේවය පවත්වා ගැනීමට අවශ්‍ය සියලු වියදම් පියවා ගැනීමට රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම යනු සමස්තයක් ලෙස දුම්රිය සේවය වානිජකරනය කර පුද්ගලික ආයෝජන සඳහා ඉඩ සලසා දීමයි.

එහි සෘජු ප්‍රතිඵලයක් වනුයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ දහසකට අධික විශ්‍රාමික සේවකයින්ගේ පුරප්පාඩු පිරවීම දැනටමත් සිදු නොකෙරේ.

උග්‍ර සේවක හිඟය, විශේෂයෙන්ම පුහුනු ශ්‍රමිකයන්ගේ හිඟය හේතුවෙන් පැටවෙන දැවැන්ත වැඩ කන්දරාව හමුවේ අප සහෝදර කම්කරුවන් අතර වැඩී ඇත්තේ ඉමහත් කෝපයකි. එම තත්වය තුල දැනට රාජ්‍ය ‌සේවයේ සිටින බහුකාර්ය සේවකයින් දුම්රිය සේවයට ගන්නා බව ප්‍රවාහන ඇමති පවසා ඇතත් ඒ කුමන පදනමකද යන්න තවම එලිදරව් කර නැත.

වියදම් කප්පාදුවේ තවත් අංශයක් වන්නේ, කම්කරු පන්තිය හා පීඩිත මහජනතාව දෛනික ව ප්‍රවාහනය සඳහා භාවිතා කරන, සාමාන්‍ය ගාස්තු අය කෙරෙන දුම්රියවල දෛනික වාර සංඛ්‍යාව දැවැන්තව කපා දමා, අතුරු සිදුරු නැතිව මගීන් පුරවාගත් දුම්රිය කීපයක් පමනක් දෛනිකව ප්‍රවාහනයේ යෙද වීමයි. මේ වනවිට මගී දුම්රිය වාර 50කට ආසන්න ප්‍රමානයක් දිනපතා අවලංගු කෙරෙමින් පවතී. මේ හේතුවෙන් දස දහස් ගනනක් දුම්රිය මගීහු පීඩා විඳිති. දුම්රිය ස්ථානයන්හි කාලය කා දමා ඉඳහිට පැමිනෙන දුම්රියකට පොරකා ගොඩවන මගීන්ට ගමානනාන්තය දක්වා ගමන් කිරීමට සිදුවනුයේ, උතුරායන දහදියෙන් තම සිරුරු තෙත් වෙද්දී, දෑත්-දෙපා පවා චලනය කිරීමකින් තොරවය.

කම්කරු-පීඩිත මහජනතාවට දුම්රිය ගමනාගමනය වඩවඩාත් අසීරු කෙරෙන තත්වයක් තුල, දුම්රිය පද්ධතිය දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගත් ඔඩිසි දුම්රිය ඇතුලු සුඛෝපභෝගී දුම්රිය සඳහා කැප කෙරමෙින් තිබේ. මේ යටතේ, උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල ඔඩිසි හා කැලනිවැලි මාර්ගයේ සීතාවක ඔඩිසි නමැති වානිජ දුම්රිය දෙකක් හඳුන්වා දී ඇත. සදර්න් ඔඩිසි නමින් මුහුදු බඩ මාර්ගයේද එවන් දුම්රිය හඳුන්වා දීමට නියමිතය.

මෙම දුම්රියවලට අයකෙරෙන අධික ගාස්තු සාමාන්‍ය ජනයාට කිසිසේත් දැරිය නොහැක. කොලඹ කොටුවේ සිට කන්කසන්තුරය හා බදුල්ල දක්වා පිටත් වන සහ එම දුම්රිය ස්ථාන දෙකෙහි සිට කොලඹ දක්වා පැමිනෙන සුඛෝපභෝගී දුම්රිය දියත් කර ඇත්තේද සාමාන්‍ය මහජනයාට කිසිසේත් දැරිය නො හැකි ගාස්තු යටතේ ය.

පුද්ගලික අංශයට දුම්රිය මැදිරි හා දුම්රිය මාර්ග නඩත්තු කටයුතු පැවරීම වේගවත් වෙමින් පවතින අතර, මේ යටතේ දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීම්වලින් සියයට 5ක් තන්ත්‍රී නම් සමාගමකට පවරා ඇති අතර, අනුරාධපුර සිට ඕමන්තෙයි දක්වා දුම්රිය මාර්ගය පිලිසකර කිරීම ඉන්දියාවේ ඉර්කොන් සංගතයට පවරා ඇත. ඉර්කොන් සංගතය මෙම කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ, ලංකාවේ ආන්ඩුවට නය ආධාර වැඩසටහනක් ලබා දෙමිනි.

දුම්රිය සේවය පුද්ගලීකරනයේ කොටසක් ලෙස, දැනට නොමිලේ පවත්වන ආධුනික සේවක පුහුනු පාඨමාලා සඳහා ද මුදල් අයකිරීමට යෝජිත ය. ජනවාරි 26දා රත්මලාන ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික මධ්‍යස්ථානයට පැමිනි ප්‍රවාහන ඇමති බන්දුල ගුනවර්ධන, 'ආධුනිකයන්ට නය ලබා දී මුදල් අය කරන පාඨමාලා' හඳුන්වා දීමට යෝජනා කලේ ය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව රටපුරා පවතින දේපොල විකුනා දැමීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරි ඇත. මෙය, ආන්ඩුව මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ, රාජ්‍ය ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස ක්‍රියාත්මක කෙරී ඇති රාජ්‍ය දේපොල විකුනා දැමීමේ වැඩපිලිවෙලේ කොටසකි. ලංකා විදුලිබල මන්ඩලය, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්) ඇතුලු රජයට අයත් ව්‍යවසායන් ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස්ද පුද්ගලික අංශයට විකිනීමේ සැලසුම් මේ යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

දුම්රිය පද්ධතිය මහජන සේවාවක සිට සංගතවල ලාභෝත්පාදන මාධ්‍යයක් බවට පත් කරමින්, අපගේ රැකියා විනාශ කිරීම, වැඩ වේගවත් කිරීම ඇතුලු රුදුරු කප්පාදු ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ, ආන්ඩුව මුහුන දී සිටින අර්බුදයේ බර හාත්පසින්ම අපමත පටවමින් සිටයදී ය. රුපියල අවප්‍රමානය කර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මත බදු පනවා සියයට 60 කට ආසන්න අධි උද්ධමනයක් පවත්වාගෙන අතරේ, වැටුප් මත සෘජු බදු පනවා ඇත. පොලීරේට්ටුව ඉහල නංවා නය බරින් අපව මිරිකා දමා තිබේ. අතිකාල ආදී දීමනා කපා දමමින්ද, සෞඛ්‍ය, ප්‍රවාහන හා අධ්‍යාපන වැනි මහජන සේවා විනාශ කරමින් ද, විදුලි, ජල, ගෑස්, ඉන්ධන මිල අහස උසට නංවමින්ද ආන්ඩුව අප ඇතුලු සමස්ත කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවන කොන්දේසි මුලුමනින්ම විනාශ කරමින් සිටී.

සිය පද්ධතියේ ගොරතර කඩාවැටීම අප මත පටවමින් අපගේ ජීවිත වලට එල්ල කර ඇති ප්‍රහාරය පරාජය කල යුතුය. ඒ් සඳහා සටන අපේ අතට ගත යුතුය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියයකට වඩා ඇති වෘත්තීය සමිති මෙම ප්‍රහාරයන් ඇතුලු පුද්ගලීකරන වැඩ කටයුතු හමුවේ සාපරාධී ලෙස මුනිවත රකිමින් ආන්ඩුවට රිසිසේ අපව පාගා දැමීමට ඉඩදී තිබේ. දුම්රිය සේවකයින්ගේ උග්‍ර වෙමින් ඇති කෝපය වාෂ්ප කර දැමීම සඳහා මෑතදී අටවා ගත් “දුම්රිය නගා සිටුවීම සඳහා වෘත්තීය සමිති” නමැති පෙරමුන වර්ජන කැඳවමින් හා අත් හිටුවමින් සිටියි. මෙම පෙරමුන පුද්ගලීකරනයට එරෙහිව සටන් පාඨයක්වත් ඉදිරිපත් කර නැත.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය වැනි ආන්ඩුවට විරුද්ධ යයි කියන විරුද්ධ පක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වලට විකල්ප වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකරනවා පමනක් නොව සිය ආන්ඩු යටතේ එම වැඩ පිලිවෙල අප මත පැටවීමේ සූදානම ප්‍රකාශයට පත් කරති.

දුම්රිය සේවකයින් ව්‍යාකූල කරනුවස්, පුද්ගලීකරනයෙන් හොඳ තත්වයක් උදා වෙතැයි යන කසුකුසුවක්ද සමිති විසින් දියත් කර තිබේ. පුද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ සේවකයින් මුහුනදී ඇති දරුනු සූරා කෑමේ තත්වය විමසා බැලීමෙන්, පුද්ගලීකරනයේ රුදුරු ඉලක්කයන් කම්කරුවන්ගේ ජීවන කොන්දේසි මතින් ගමන් කරන ආකාරය පැහැදිලි කර ගත හැකිය.

අප දුකක්‍රික දෙසැම්බර් 30දා නිකුත් කල ප්‍රකාශයේ අන්තර්ගත මෙම සඳහන මේ අනුව වඩාත් තහවුරු වී තිබේ.

'වෘත්තීය සමිති ක්‍රියාත්මත වන්නේ ආන්ඩුවේ හා පරිපාලනයේ වුවමනා ඉටුකිරීමට මිස කම්කරුවන් මුහුන දී සිටින තියුනු ප්‍රහාරයන් පරාජය කිරීමට නො වන බව මෙම සැඳහුම් වල අර්ථය යි. එපමනක් ද නො ව ඔවුහු කම්කරුවන්ගේ සටන්කාමීත්වය මොට කිරීමටත් සටන පීලි පැන්නවීමටත් හිස් වහසි බස් තෙපලති. සංකේත විරෝධතා වලට වැඩි යමක් කිරීමට ඔවුන් සූදානම් නැති බව ඔවුන් යලි යලිත් ප්‍රදර්ශනය කර තිබේ. දුම්රිය සේවකයින් වන අප ස්වාධීන ක්‍රියාකාරී කමිටු ලෙස සංවිධානය වෙමින් මෙම සටන අපේ අතට ගත යුත්තේ එබැවිනි.'

තම අතට ගන්නා සටන සංවිධානය කිරීමට කම්කරුවන්ට නව උපකරන අවශ්‍ය ය. සියලු ධනපති පක්ෂවලින් මෙන් ම, වෘත්තීය සමිති නිලධරයෙන්ද ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු දුම්රිය වැඩපොලවල් තුල සහ නිවහන් ප්‍රදේශවල ගොඩනගා ගැනීම අවශ්‍යය.

දුකක්‍රික රත්මලාන - දෙමටගොඩ ඇතුලු මධ්‍යස්ථාන වල මෙන් ම රට පුරා විසිරී සිටින දුම්රිය කම්කරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ව සංවිධානය කිරීමට වැඩ කරන අතර ඒ සඳහා ඔබගේ සහය අවශ්‍ය ය.

පුද්ගලීකරනය සඳහා ඉලක්ක කෙරී ඇති, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මන්ඩලය, විදුලි සංදේශ හා ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව වැනි රාජ්‍ය අංශයේ ආයතනවල සේවකයින් සමඟ සබඳතා ගොඩ නගා ගනිමින් ඒ් තැන්වලද ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් ඔවුන් ද පුද්ගලීකරනයට එරෙහි සටනට බද්ධ කර ගැනීම දුකක්‍රිකවේ එල්ලය යි.

ගෝලීය අර්බුදය තුල ජීවන මට්ටම් කප්පාදු කිරීමට එරෙහි ව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා යුරෝපයේ දුම්රිය කම්කරු සටන් පැන නඟිමින් තිබේ. එම ජාත්‍යන්තර පන්ති සටන් සමග ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් ගොඩ නගා අපගේ සටන ජාත්‍යන්තරව සංවිධානගත කල යුතුයැයිද අපි යෝජනා කරමු.

දැනට පුද්ගලීකරනය ඉලක්ක කර ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිව්‍යුහකරනයට එරෙහි සටන සමඟ පහත ඉල්ලීම් මත කෙරෙන සටන ඒකාබද්ධ කර තීව්‍ර කල යුතු බව අපි අවධාරනය කරමු.

• දුම්රිය සේවය ඇතුලු රජයට අයත් ආයතනයන්ගේ සියලු පුද්ගලීකරන සැලසුම් හකුලා ගනු!

• දුම්රිය සේවය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන රාජ්‍ය භාන්ඩාගාරයෙන් වහා වෙන් කරනු! දුම්රිය මඟීන්ට සහනදායී ගාස්තු වලට ප්‍රවාහනය ලබා දෙනු!

• දුම්රිය සේවකයන් ඇතුලු රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික මාසික වැටුප රුපියල් 75,000 දක්වා වැඩි කරනු! ජීවන වියදමට සරිලන සේ සියලු සේවකයන්ට වැටුප් ඉහල යන පරිමානයක් ලබා දෙනු!

• පූර්න විශ්‍රාම වැටුප් අයිතිය දුම්රිය සේවය ඇතුලු සියලු කම්කරුවන්ට ලබා දෙනු!

පහත දක්වා ඇති අංකයට කතා කිරීමෙන් හෝ SMS / වට්ස්ඇප් පනිවිඩයක් එවීමෙන් අප සමඟ සම්බන්ධ වන්න.

දුකක්‍රික - 0777601592

Loading