ජවිපෙ දුම්රිය කම්කරුවන් උගුලකට හසුකිරීමේ වෑයමක

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග පරිදි ක්‍රියාවට දමමින් සිටින පුද්ගලීකරන න්‍යාය පත්‍රය යටතේ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පරිවර්තනය කිරීමට යෝජිත ය. මේ සම්බන්ධයෙන් දුම්රිය කම්කරුවන් අතර වර්ධනය වී ඇත්තේ බලගතු විරුද්ධත්වයකි. මෙම විරුද්ධත්වය පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ ස්වාධීන අරගලයක් ලෙස වර්ධනය කිරීම වැලැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පාලනය කරන දුම්‍රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (දුඒවෘසස) හා ඊනියා ස්වාධීන වෘත්තීය සමිති වැඩට බැසගෙන සිටිති.

ජනවාරි 12දා රත්මලාන දුම්රිය වැඩපොලේ දී දිවා ආහාර විවේකය තුල පවත්වන ලද රැස්වීම වෘත්තීය සමිතිවල මෙම ක්‍රියාකලාපය පෙන්නුම් කල එක් අවස්ථාවකි. එදින දුඒවෘසස නියෝජනය කරමින් ජවිපෙ කථිකයන් දෙදෙනෙකු කම්කරුවන් අමතා කතා කල අතර, එම සභාව මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික මධ්‍යස්ථානයේ පුහුනුවූවන්ගේ සංගමයේ ලේකම් සුරංග විජේනායක නමැත්තා විසිනි. ශ්‍රේනිවාදී සමිතියක නායකයෙකු වන විජේනායකගේ උත්සාහය වූයේ, ලංකාවේ දූෂනයෙන් තොර “පිරිසිදු” ධනවාදයක් ඇතිකිරීම වෙනුවෙන් පෙනී සිටින ජවිපෙට, එලඹෙන පලාත්පාලන මැතිවරනයේදී කම්කරුවන්ගේ ඡන්ද ගසාකෑමට වේදිකාවක් තනා දීම යි.

ජවිපෙ හි මෙම සමිති නිලධරයන්ට දුම්රිය කම්කරුවන්ගේ අරගල පාවාදීම සම්බන්ධයෙන් අනෙකුත් සමිතිවල නායකයන්ට නොදෙවෙනි වාර්තාවක් ඇත. එසේ වුවද, විජේනායක ඔවුන් ඔජවැඩවූයේ 'කම්කරුවන් වෙනුවෙන් නිතර පෙනී සිටින සමිති නායකයන්' ලෙස ය.

මෙහි දී පලමුව සභාව ඇමතුවේ, දුම්රිය සේවකයෙකු හා ඇටුවන් බැස්ස ජවිපෙ සාමාජිකයෙකු වන රත්නසිරි නමැත්තා යි. දුඒවෘසස අනෙකුත් වෘත්තීය සමිති මෙන් නොව පුද්ගලීකරනයට විරුද්ධ වන බවට ඔහු පාරම්බෑවේ ය. ගෙවී ගිය වසර 74 පුරා ලංකාව පාලනය කල පක්ෂවලට රට ගොඩ ගැනීමට “ජාතික වැඩපිලිවෙලක්” නො තිබූ බවත්, එහෙත් ජවිපෙට වත්මන් අර්බුදයෙන් “ප්‍රායෝගික ජාතික වැඩපිලිවෙලක්” තිබෙන බවත්, රත්නසිරි තව දුරටත් කියා සිටියේ ය.

රත්නසිරි දෙසා බාන්නේ, ජවිපෙ නායකයන් දැන් පලාත්පාලන මැතිවරනය උද්ඝෝෂනය තුල තොරොම්බල් කරන කුතර්කයන් ය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියා සිටින්නේ ලංකාවේ අනෙකුත් ධනපති පක්ෂවල පාලකයන්ගේ දූෂිතකම නිසා වත්මන් අර්බුදය හටගෙන ඇති බවත් ඉන් ගොඩ ඒමට ප්‍රායෝගික ජාතික වැඩපිලිවෙලක් ඇති බවත්‍ ය.

රත්නසිරිගේ තර්ක අමු ප්‍රලාපයන් ය. ලංකාවේ දැන් පැන නැගී ඇති අර්බුදය ලෝක ධනවාදයට ගැටගැසී ඇති ධනපති ක්‍රමයේ අර්බුදයකි. බලයේ සිටි ලංකාවේ ධනපති පක්ෂ ඒ ඒ වකවානු තුල ක්‍රියා කලේ ජාතිකවාදී වැඩපිලිවෙලවල් හා විවෘත ආර්ථික පිලිවෙත් සහිතව ලෝක ධනවාදය තුල දඟර දමමින් බව හිතනමතන කම්කරුවෝ දනිති. පාලකයන්ගේ තුච්ඡ දුෂනය අර්බුදය ඔද්දල් කිරීමට තුඩුදුනි. ලංකාවේ අර්බුදය අනෙක් පක්ෂවලට ජාතික වැඩපිලිවෙලක් නැතිවූ නිසා ඇතිවූ එකකැයි කියා පෑම අර්බුදයේ මූලය ධනවාදය ය යන්න ආවරනය කිරීමකි.

කම්කරුවන්ගේ ඇස්වලට වැලිගැසීම සඳහා මෙලෙස ප්‍රකාශ කරන ජවිපෙට ඇත්තේ එය බිහි වූ තැන් පටන් ධනපති ආන්ඩුවලට ඇතුලත හෝ පිටත සිට සහයෝගය දීමේ ඉතිහාසයකි. මෙය කූටප්‍රාප්තියට පත් අවස්ථාවක් වූයේ 2004 දී එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවට සම්බන්ධ වී ඇමතිකම් හතරකට කර ගසා එම ආන්ඩුවේ සියලු කම්කරු-පන්ති විරෝධී පිලිවෙත්වලට සහයෝගය දීම යි.

2005 ජනාධිපතිවරනයේ දී මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ වර්ගවාදී කසකරුවා ලෙස ජවිපෙ ක්‍රියා කලේය. 2010 ජනාධිපතිවරනයේ දී යුඇන්පීය සමග එක්ව ජෙනරාල් සරත් ෆොන්සේකාට සහයෝගය දුන් අතර 2015 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට උද්ඝෝෂනය කලේය. රත්නසිරි මේ ඉතිහාසය ගැන කතා නොකලේ කම්කරුවන්ට එය අමතකවී නම් යෙහෙකැයි සිතාගෙන විය යුතුය.

ජවිපෙ දෙවන කථිකයා වූ දුඒවෘසස කැඳවුම්කාර එස්. පී. විතානගේ මෙසේ පැවසී ය: “දැනට දුම්රිය පවතින්නේ දෙපාර්තමේන්තුවක් ලෙස. ඒ නිසා ආන්ඩුවටයි, ඉහල නිලධාරීන්ටයි, ජාවාරම්කාරයින්ටයි හිතූමතේ ගසාකෑමට ඉඩක් නැහැ. අපි ආන්ඩුවට අභියෝග කරනව, පුලුවන් නම් අධිකාරිය පිහිටුවන්න කියල. එහෙම කලොත් ඊට පහුවදා ඉඳන් ම සියලුම කර්මාන්තශාලා හා වැඩබිම් ආදියේ වැඩ නවත්වලා අපි ඒක පරාජය කරනවා.”

දුඒවෘසස කම්කරුවන් “සටනට” කැඳවීමට යන්නේ, දුම්රිය අධිකාරියක් බවට පත්කිරීමෙන් “පසුදා” සිට යි. විතානගේ ට අත්වැල් අල්ලමින් විජේනායක පැවසුවේ 2002 දුම්රිය අධිකාරියක් ලෙස ප්‍රකාශයට පත් කල නමුත් බලගතු කම්කරු විරෝධය මධ්‍යයේ එය හකුලා ගැනීමට එවක යුඇන්පීය ප්‍රමුඛ ආන්ඩුවට බලකෙරුනු බවයි.

2002 දී දුම්රිය අධිකාරියක් බවට ප්‍රකාශ කොට, කම්කරුවන්ගේ බලවත් විරෝධය නිසා යූඇන්පී ආන්ඩුව උපායික ව එය හකුලා ගත්තේය. නමුත්, පුද්ගලීකරන න්‍යාය පත්‍රය හකුලා ගැනීමට එවක ආන්ඩුව මෙන් ම අනුප්‍රාප්තික ආන්ඩු ක්‍රියා කලේ නැත.

ලංකාවේ ධනපති ක්‍රමය හා එහි වර්තමාන විධායකය වන වික්‍රමසිංහ ආන්ඩුව ගොඩ ඒගත නො හැකි ආර්ථික හා දේශපාලන කැලඹීමකට මුහුන දී සිටින්නේ ලෝක ධනවාදයේ අති ගැඹුරුතර අර්බුදයේ බලපෑම තුල ය. කෝවිඩ් 19ත්, යුක්‍රේනය යොදාගෙන ඇමරිකාව සහ නේටෝව රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයත් ලංකවේ අර්බුදය ගැඹුරුකර ඇත.

මෙම තතු තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඇප නයක් ලබාගෙන විදේශ නය ආපසු ගෙවීමටත් විදේශ ආයෝජකයන්ට හා ලංකාවේ මහා ධනපතියන්ට සුරාකෑම සහතික කරදීමටත් වික්‍රමසිංහ ආන්ඩුව මුර්ග කප්පාදු වැඩ පිලිවෙලකට හැරී සිටියි. රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය හා එහි කොටසක් ලෙස දුම්රිය අධිකාරියක් කොට පුද්ගලීකරනයේ ඊලඟ අදියරට යාම ආන්ඩුවේ සැලසුමයි. එය රුදුරු ලෙස ක්‍රියාවට දැමීමට ආන්ඩුව මර්දනය උසිගන්වමින් සිටී.

ජවිපෙ ක්‍රියා කරන්නට යන්නේ කෙසේද? අපකීර්තියට පත්ව සිටින වික්‍රමසිංහට හා ඔහුගේ ශ්‍රී ලංකා පොදු පෙරමුන ආන්ඩුවට කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව නැගෙන විරුද්ධත්වය වාවා ගැනීමට නොහැකිවෙතයි ගනන් බලන ජවිපෙ මහා මැතිවරනයක් ඉල්ලයි. ජවිපෙ තම නායකත්වයෙන් පිහිටුවා ඇති ජාතික ජන බලවේගයේ නමින් තරඟ කොට 'ජනවරමක්' ඇති ආන්ඩුවක් පිහිටුවා ක්‍රියාවට දමනු ඇත්තේ ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලයි.

පසුගිය ඔක්තෝබර් 17 ස්වර්නවාහිනියේ සලකුන නම්වූ වැඩසටහනේ දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ, “ආර්ථික අර්බුදය ගැඹුරු බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හැර වෙනත් ‘විකල්පයක්’ නැහැ. මෙම අර්බුදයේ බරින් ‘කොටසක්’ මහජනතාව දරාගත යුතු යි” යනුවෙනි.

දුම්රිය අධිකාරියක් බවට පත්කිරීමෙන් පසුදා කරන 'සටන' ගැන විතානගේ කරන ප්‍රකාශය පුච්චානමකි. මන්ද යත් කම්කරුවන් ගේ පැත්තෙන් සිදුවිය යුත්තේ පහර වැදුනු පසු සටන් කිරීම නොව ඊට පෙර පුද්ගලීකරන පියවරට එරෙහිව සටන් ඇරඹීමයි. එය කල හැක්කේ, පුද්ගලීකරනය ඇතුලු කප්පාදු වැඩපිලිවෙලට මුහුන දෙන අවශේෂ ආයතනවල කම්කරුවන් සමග එකමුතුව ගොඩනගා ගෙන ඒවා පරාජය කිරීමට සුදානම් වීමයි.

අනෙක් අතට දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීමේ එල්ලය සහිත ව, දුම්රිය ඇතුලු ප්‍රවාහනය වෙනුවෙන් වෙන්කරන ප්‍රතිපාදන කපා හැරීමට අනුප්‍රාප්තික ආන්ඩු පසුගිය දශක තුන හතර තුල ක්‍රියාත්මක වී ඇත. තව ද නිර්මානය වන පුරප්පාඩු පිරවීමක් ද කරනු නො ලබයි. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව තුල 8,000ට ආසන්න පුරප්පාඩු පවතින අතර, අධිකාරියක් කිරීම හරහා තව දුරටත් ශ්‍රම බලකාය කප්පාදු කොට සූරාකෑම උග්‍ර කර ලාභ ගරන අංශයක් බවට දුම්‍රිය පත් කිරීමට ආන්ඩුව ඉලක්ක කරයි.

විජේනායක වැන්නන් කැප වී සිටින්නේ මේ ආකාරයෙන් පවතින දෙපාර්තමේන්තුව රැකීමට යි. දුම්රිය අධිකාරිය නො පිහිටුවා, වත්මන්හි පවතින තත්ත්වයෙන් එය තැබුවත්, කම්කරුවන්ට එය පිලිගත නොහැකිය.

කම්කරුවන් කල යුත්තේ පහත සඳහන් අයුරු ඉල්ලීම් මත අරගලයක් සුදානම් කිරීමයි:

දුම්රිය අධිකාරියක් කිරීම නතර කරනු! පුද්ගලීකරනය එපා! ජාමුඅ වැඩපිලිවෙල එපා! සියලු කම්කරුවන්ට හා අවශේෂ සේවකයන්ට උද්ධමනයට අනුව ඉහලයන වැටුපක්! රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කැපිම නතර කරනු! අත්‍යාවශය සේවා නියෝග ඉවත් කරනු!

කම්කරුවන්ට ආන්ඩුවලට බලපෑම් දමා ඉල්ලීම් දිනා ගැනීමට හැකිය යන මිථ්‍යාව ඉහලින්ම පුපුරා ගොස් ඇත. පසුගිය අප්‍රේල්-ජූලි මාසවල දුගීන් සමග විරෝධතා අරගලවලට එක්ව මිලියනකට අධික කම්කරුවන් වර්ජන දියත් කලහ. ඔවුන් ඉල්ලා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව ගෙදර යනු! උද්ධමනය, අත්‍යවශය භාන්ඩ හිඟය සහ විදුලි කප්පාදුව නතර කරනු! යනාදියයි.

එහෙත්, දුම්රිය සමිති ඇතුලු සියලු වෘත්තීය සමිති කම්කරුවන්ගේ වර්ජන එක් දින විරෝධතා වලට සීමා කොට, රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්වීමෙන් පසු අන්තර්කාලීන ධනපති ආන්ඩුවක් පාර්ලිමේන්තුවේ පක්ෂවලින් හැදීමේ හා සය මසකට පසු මැතිවරනයකට යාමේ ජවිපෙ හා සමගි ජන බලවේගයේ ඉල්ලීම්වලට සහයෝගය දීම සඳහා කොටු කිරීමයි.

මෙම පාවාදීම නිසා ලැබුනු ඉස්පාසුවෙන් වික්‍රමසිංහ බලයට ගෙන ඒමට හා තමන්ගේ ආන්ඩුවක් වාත්තු කර ගැනීමට පොදු පෙරමුනට ඉඩ ලබා දුනි. කම්කරුවන්ට හා දුගීන්ට ලැබුනේ ජාමුඅ ගොරතර කප්පාදු වැඩපිලිවෙල හා උත්සන්න කෙරුනු මර්දනය යි.

ජනවාරි 12 රැස්වීමට 80ක පමන කම්කරු පිරිසක් සහභාගි වී සිටියහ. එහෙත් ජවිපෙ වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනා හා විජේනායක එලෙස සහභාගි වූවන්ට කිසිදු ප්‍රශ්නයක් නැගීමට හෝ සාකච්ඡාවකට අවස්ථාවක් දීම හිතාමතා ම මග හැරියෝ ය.

මේ අත්දැකීම් පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිති තව දුරටත් නාමික ව හෝ කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී නො සිටින බවයි. තමන්ගේ ඉල්ලීම් හා අයිතීන් පිලිබඳ තීන්දු තීරන ගැනීම කම්කරුවන් තමන් අතටම ගත යුතුය. ඒ සඳහා කම්කරුවන්ට තමන්ගේ ම අරගලයේ නව උපකරන අවශ්‍ය ය. මේ සඳහා සියලු ධනපති පක්ෂවලින් මෙන් ම, වෘත්තීය සමිතිවලින් ද ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු වැඩපොලවල් තුල සහ කම්කරු නිවහන් ප්‍රදේශවල ගොඩනගා ගැනීම අවශ්‍ය කරයි.

ජාමුඅ නියෝග ක්‍රියාවට දමා විදේශ මුල්‍ය අධිපතීන්ගේ නය ගෙවීමට හා විදේශීය ආයෝජකයන්ට හා මහා ව්‍යාපාරිකයන්ට ලාභ මිරිකා ගැනීමට ක්‍රියා කරන වත්මන් ආන්ඩුව යටතේ හෝ වෙනත් ධනපති ආන්ඩුවක් යටතේ, ධනපති ක්‍රමය තුල කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් රැක ගනීමට නොහැකි ය. සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටී.

සසප දුම්රිය කම්කරුවන්ට යෝජනා කරන්නේ ද ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් අයිතීන් රැක ගැනීමේ අරගලයට සංවිධානය වන ලෙස යි. සසප දැනට මත් දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුවක් බිහිකර ඇති අතර, එයට සම්බන්ධ වෙමින්, සිය අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි ප්‍රජාතන්ත්‍රවාදී ව සාකච්ඡා කර තීන්දු ගැනීමට සහභාගි වන ලෙස අපි දුම්රිය කම්කරුවන්ට ආරාධනා කරමු

Loading