කෝවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ලොවපුරා වේගයෙන් පැතිරෙමින් මිලියන සංඛ්‍යාත වැඩිහිටියන් සහ දරුවන් ආසාදනය කරමින් ඉමහත් ව්‍යසනයක් ජනිත කර ඇත. ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය ලක්ෂ 07ද, දෛනික මරනවල සාමාන්‍යය 2000 ද ඉක්මවා ඇත. බ්‍රිතාන්‍යයේ දෛනික ආසාදන ලක්ෂයට ආසන්න වෙමින් පවතී.
ප්‍රන්සය, ජර්මනිය සහ ග්‍රීසිය ඇතුලත් මුළු යුරෝපයමද කොරෝනා වෛරසය විසින් වසාගෙන ඇත. ඔස්ට්‍රේලියාවේ තත්වයද දරුනු වෙමින් ඇති බවට සීමිත දත්ත වාර්තා හෝ පලකරන්නට ධනපති ආන්ඩුවට සිදුව ඇත්තේ, තවදුරටත් එය වසන් කල නොහැකි බැවිනි.
ශ්‍රී ලංකාව තුලද, දෛනික පරීක්ෂන සහ මාධ්‍ය තොරතුරු බලගතු ලෙස සීමාකර ඇති තත්වයක් තුල වුවද දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයන් ගනන 1000 ඉක්මවා ඇති බවට වාර්තාවේ. දෛනික මරන ප්‍රමානය ද ඉහල යමින් ඇත.
මෙම තතු තුල රාජපක්ෂ ආන්ඩුව සීමිතව පැවති මහජන සෞඛ්‍ය ආරක්ෂන පියවර පවා අත්හැර දමා, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන, පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇතුලු සියලු ආයතන විවෘත කොට 'වසංගතය සමග ජීවත්වීමේ' පිලිවෙත යටතේ 'නව සාමාන්‍ය තත්වය' ප්‍රකාශයට පත්කොට තිබේ.
ආරම්භයේ දී එන්නත ප්‍රතික්ෂේප කරමින් 'පැනි' සහ 'දුම් හට්ටි' ප්‍රවර්ධනය කල ආන්ඩුව, අද එන්නත්කරනය එකම සහ අවසන් විසඳුම යැයි මන්ත්‍රයක් සේ ජප කරයි. අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීමෙන් තොරව එන්නත්කරනයෙන් පමනක් වේගයෙන් පැතිරෙන වෛරසය පාලනය කල නොහැකිබව වසංගත විශේෂඥයෝ යලියලිත් පෙන්වා දෙති.
මහධනපතියන්ගේ ලාභ රැකදෙනුවස්, වසංගතය මධ්‍යයේ ම, කම්හල් සහ වැඩබිම් තුලට කම්කරුවන් අද්දා ගැනීමේදී පාසල් දරුවන් හා කුඩා දරුවන් නිවසේ රැඳී සිටීම බාධාවක් ලෙස දැකගත් ලොවපුරා පාලකයෝ වහා පාසල් සහ ලමා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගත්හ. රාජපක්ෂ ආන්ඩුව අනුයන්නේ ද එයයි.
වසංගතයේ පාලිත තත්වයක් ව්‍යාජව පෙන්වමින් පාසල් විවෘත කල නමුදු, දරුවන් හා ගුරුවරුන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය කිසිදු පහසුකමක් සැපයීම හෝ ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම ආන්ඩුව මුලුමනින්ම නොතකා හැරියේය. විෂබීජ නාශක දියර හෝ සබන් පමනක් නොව බොහෝ පාසල්වල ජලය පවා නොමැත. පාසල් තුල කායික පරතරය පවත්වා ගැනීම හුදු ප්‍රලාපයක් පමනි.
පොලොන්නරුව ප්‍රදේශයේ පාසල් ගනනාවක්ම පරික්ෂා කළ විට දක්නට ලැබුනේ දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් ප්‍රමානවත් පරිදි සපයා නොමැති බව සහ ඒ සඳහා මගපෙන්වීමක් හෝ සිදු නොවන බවයි. බස් රථ, දුම්රිය සහ වෑන්රථ තුල තෙරපෙමින් පාසලට එන දරුවන් උදේ නිවසෙන් පිටත්ව නැවත නිවස කරා එන තෙක්ම ආනාරක්ෂිත ය. මෙම තත්වය යටතේ ගුරුවරු ද දැඩි පීඩනයකට මෙන්ම අනාරක්ෂිත බවකට මුහුන පා සිටිති. හඳුනා නොගත් කොවිඩ් ආසාදිතයින් ආශ්‍රිත සිසුන් හා ගුරුවරුන් හේතුවෙන් පාසල් පද්ධතියම දැවැන්ත කොවිඩ් රැල්ලකින් වෙලා ගැනීමේ අවදානම තිබියදී ආන්ඩුව, පාසල් විවෘතකොට සියලු වගකීම දරුවන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා දෙමාපියන් මත පටවා දෑත් පිසදා ගනිමින් සිටී.
මේ සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක සේවය කරන ගුරුවරියක් මෙසේ විස්තර කලාය: “ අපේ ඉස්කෝලෙ ළමයි ගොඩකට ඔන්ලයින් ඉගෙනගන්න පහසුකම් තිබ්බෙ නෑ. ස්මාර්ට් ෆෝන්, කම්පියුටර් සමහර ලමයි දැකලත් නෑ. අමාරුවෙන් ඒව ගත්තත් සිග්නල් ප්‍රශ්න. ඒ නිසා අවුරුද්දක් විතර ඉගෙනීම මග නතරවෙලා තිබ්බෙ. රජය මේ ලමයින්ට උගන්නන්න මොනවද කරේ. අපිට බැන බැන හිටිය මිසක්. දැං දෙමාපියො ලමයි එවන්නෙ ලොකු උනන්දුවකින්. ඒත් අවදානම අඳුනගෙන තාමත් ලමයි නොඑවන කීප දෙනෙකුත් ඉන්නවා.
'ඉස්කෝලෙ සැනිටයිසර් (විෂබීජහාරක) සබන් නෑ. පුලුවං විදියට අපි අරං දානවා. ඒත් තියන ජීවන වියදමත් එක්ක දිගටම කරන්න බෑ. අනික දැං පරීක්ෂන කරන්නැති නිසා කොරෝනා හැදුන අයත් නැති අයත් දැනගන්න බෑ. අපි දවස ගෙවන්නෙ හරි බයෙං. වැඩ ඉවරවෙලා ගෙදර යන්නත් බයයි. උගන්නන්නත් බයයි. මේක අපිව මරනෙට ඇරං යන සතෙක් ගානට දාපු වැඩක්“
පෙරපාසල් වල තත්වයද එයම බව අප වෙත අදහස් දක්වමින් මවක් කියා සිටියාය: “අපේ පෙරපාසල පොලොන්නරුවෙ ලොකු පෙරපාසලක්. පන්තියක ළමයි 50 ගානෙ පන්ති 03ක් තියෙනවා. සතියෙ දින බෙදල කියල තමයි ගෙන්නන්නෙ. එත් පුංචි ලමයින්ට සනීපාරක්ෂක විධි තේරෙන්නෙ නෑ. ඒත් අපි දෙන්නට මෙයා (තම දරුවා පෙන්වමින්) පෙරපාසල් යවන්න වෙනව. පෙරපාසලේ ලමයෙකුගෙ අම්ම කෙනෙකුට කොවිඩ් පොසිටිව් වුනා. ඒත් ඒ දරුව නැවතුනා විතරයි. අනිත් වැඩ සාමාන්‍ය විදියට යනවා. මම දන්න අයටත් කියන්නෙ දරුවො අවදානමේ දාන්න එපා කියල“
ලොවපුරා ආන්ඩු අනුයන වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට එරෙහි විශාල අරගල රැල්ලක් ජාත්‍යන්තරව පැන නගිමින් පවතී. පසුගිය දිනෙක දකුනු ඕස්ට්‍රේලියාවේ ගුරුවරුන් තුනෙන් දෙකක්, අන්තරායකර ලෙස පාසල් විවෘතකිරීමට එරෙහිව උද්ඝෝෂන ක්‍රියාමාර්ගයකට සහභාගි වූහ. යුරෝපය හා උතුරු ඇමරිකාව පුරා ද, වසංගතය පාලනය කිරීමේ සියලු පියවර අත්හරිමින් ධනපති ආන්ඩු ගෙනයන රංචු ප්‍රතිශක්තිකරනයට එරෙහිව විශාල අරගල රැල්ලක් පැන නැගී ඇත.
ග්‍රීක ආන්ඩුව අනුයන එම ප්‍රතිපත්ති වලට එරෙහිව එරට ගුරුවරු මෙන්ම සිසුන්ද ඇතුලත් සුවිසල් විරෝධතා ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතී. කැනඩාවේ සිසුන් සියගනනක් පාසල්වල පවතින කොවිඩ් අනාරක්ෂිත තත්වයන් නිසා පාසල් වලින් පිටව යෑම, එක්සත් රාජධානියේ ලීසා ඩයස් නමැති මව ලොවපුරා දෙමාපියන් ඒකරාශී කරගනිමින් වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට එරෙහිව ජාත්‍යන්තරව ගෙන ගිය අරගලය මෙම සටන් රැල්ලේ අත්‍යන්ත කොටස් ය.
වසංගතයෙන් උග්‍ර කෙරුනු ධනපති ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව තුලින් පැන නගින මෙම අරගල එක් රටකට හෝ කිසියම් කලාපයකට සීමාවූවක් නොවේ. ශ්‍රී ලංකාව තුල, ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසක් වැඩි වැටුප් ඉල්ලා ගෙන ගිය වර්ජනය, සෞඛ්‍ය කම්කරුවන් ප්‍රමානවත් පහසුකම් සහ වැඩි වැටුප් ඉල්ලා ගෙනයන අරගලය, වගාවට පොහොර ඉල්ලා ගොවීන් ගෙනයන විරෝධතා උද්ඝෝෂන මෙම ජාත්‍යන්තර ප්‍රපංචයට අයත් වෙයි.
කම්කරු-පීඩිත මහජනතාවගේ මෙම ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට අර්බුදග්‍රස්ථ ධනපති පන්තිය ඓතිහාසිකව අසමත් ය. ගුරු අරගලය තුලදී තම ඉල්ලීම් දිනා ගැනීමකින් තොරව වර්ජනය නිමා නොකරන බවට ගුරුවරුන් දැඩි අධිෂ්ඨානයක සිටියදී වෘත්තීය සමිති, ආන්ඩුව සමග එක්ව වැටුප් ඉල්ලීම තුනෙන් පංගුවකට කප්පාදුකොට වර්ජනය පාවා දුන්හ.
මේ තත්වය ගුරු අරගලයට පමනක් සීමා වූවක් නොවේ. කම්කරු-පීඩිත මහජනතාවගේ දැවෙන ඉල්ලීම් සහ අවශ්‍යතා ධනපති ආන්ඩුවට සහ හාම්පුතුන්ට හුදු බලපෑම් යෙදීමේ බංකොලොත් ක්‍රියා මාර්ගයන්හි සිර කරන සියලු වෘත්තීය සමිති අවසානයේදී එම අරගල පාවා දෙති. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම පක්ෂ එම පිලිවෙතම අනුයන අතර, ජනතා විමුක්ති පෙරමුන සහ සමගි ජන බලවේගය ඇතුලු ධනපති 'විපක්ෂ' වැඩෙන මහජන විරෝධය ගසාකෑමේ යෙදී සිටිති.
දරුවන් සහ ගුරුවරුන් වසංගත ව්‍යසනයට ඇද දමා පාසල් විවෘත කිරීමේ ආන්ඩුවේ සාපරාධී පිලිවෙත් සමග මෙම සංවිධාන මුලුමනින්ම ඒකාබද්ධව සිටිති. විශ්ව විද්‍යාල තුල සිසුන් සිය ගනන් වසංගතයට ගොදුරු වෙද්දී, පෙසප විසින් මෙහෙයවෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය විශ්වවිද්‍යාල සම්පුර්නයෙන් විවෘත කරන ලෙස උද්ඝෝෂනය කරති.
ඊට ප්‍රතිවිරුද්ධව, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2022 අලුත් අවුරුදු පනිවිඩයේ සඳහන් කෙරුනු පරිදි, “මේ සමාජ ව්‍යසනය වැලැක්විය යුතුයි. වෛරසය පැතිරීම නැවැත්වීමට සහ රෝගයෙන් ආසාදිත සියල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කම්කරු පන්තියේ, තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සියලුම කොටස් ආන්ඩුවලින් ඉල්ලා සිටිය යුතුය. මේ සඳහා සමාජ සම්පත් විශාල වශයෙන් යලි බෙදාහැරීමක් අවශ්‍ය වේ.
““ඒ සඳහා වන ප්‍රතිචාරය මෙහෙයවිය යුතු මූලධර්මය නම්, සමාජයේ අවශ්‍යතා වලට ලාභයේ අවශ්‍යතා යටපත් කල යුතුය යන්නයි. කොටස් වටිනාකම් සහ ලාභ පිලිබඳ ධනපති ගනන් බැලීම් වලින්, රෝගයට එරෙහි සටන සීමා කිරීමට, යටපත් කිරීමට හෝ වැලැක්වීමට ඉඩ නොතැබිය යුතුය.'
මෙම මූලධර්මය මත සටන් කිරීමට නම් කම්කරු පංතිය වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ ද, තම ප්‍රජාතන්ත්‍රීය ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන සහ තීන්දු තීරන ගැනෙන්නාවූ ද තමාගේම ක්‍රියාකාරී කමිටු, කම්හල්, වැඩබිම්, පාසල් සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව ගොඩනගා ගත යුතුය. එවන් කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් හරහා වසංගතය මිහිමතින් මුලිනුපුටා දැමීමේ ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදී.