බූස්ටර් එන්නත පිලිබඳ අඩු මහජන උනන්දුව හුවා දක්වමින් ආන්ඩුව වැඩෙන ඔමික්‍රෝන් රැල්ලේ වගකීමෙන් අත සෝදා ගැනීමට මාන බලයි

කෝවිඩ්-19 වෛරසයට එරෙහි තෙවන එන්නත් මාත්‍රාව හෙවත් 'බූස්ටර්' එන්නත ලබා ගැනීමේදී ලංකාවේ මහජනතාව දක්වන අඩු උනන්දුව ගැන, ආන්ඩුවේ මැති-ඇමතිවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් පල කරන 'කනස්සලු' සහගත ප්‍රකාශ සහ ඒ පිලිබඳව කරන අතොරක් නැති 'දිරිගැන්වීම්' වලින් මේ දිනවල මාධ්‍ය පිටාර යමින් පවතී.

වසංගත රෝග පිලිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනවාරි 23 දා ඩේලිමිරර් පුවත්පතට පවසා තිබුනේ, 'කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩෙන තත්වයක්' තුල ජනගහනයෙන් 'සියයට 23 ක් පමනක් බූස්ටර් එන්නත ලබා ගැනීම' සම්බන්ධයෙන් 'කනස්සලු' වන බවයි. ආන්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරන ජනවාරි 19 දා මෙවැනිම ප්‍රකාශයක් කරමින්, 'ඔබ සහ ඔබේ ආදරනීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බූස්ටර් එන්නත ලබා ගන්න' යැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ඇතුලු සෞඛ්‍ය බලධාරීන් ද, බූස්ටර් එන්නත ලබා ගැනීමේ මහජන පසුබෑම සම්බන්ධයෙන් යලියලිත් කනස්සල්ල පල කරමින් මාධ්‍යයට කියා සිටින්නේ, මුව ආවරන පැලඳීම, විෂබීජහරනය සහ කායික දුරස්ථභාවය වැනි ප්‍රාථමික සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් සහ එන්නත ලබා ගැනීමෙන් පමනක් කෝවිඩ්-19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත කරන ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම ලංකාව තුල අවම කරගතහැකි බවයි.

ආන්ඩුව සහ එහි පිලිවෙත් ක්‍රියාවට දමන සෞඛ්‍ය බලධාරීන් පල කරන මෙම 'කනස්සල්ල' තුල මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් කවර හෝ උත්සුකයක් නොමැත. ඉමහත් ව්‍යසනකාරිත්වයකින් ලොවපුරා පැතිර යන ඔම්ක්‍රෝන් ප්‍රභේදය ලංකාව තුලද, කෝවිඩ්-19 ව්‍යාප්තියේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වෙමින් පවතින තතු තුල, ඉන් ඇති වෙමින් පවත්නා ව්‍යසනයේ වගකීම මහජනතාව මත පැටවීම මෙම ව්‍යාජ කනස්සල්ල සහ 'දිරිගැන්වීම්' පිටුපස පවත්නා සැබෑ උත්සුකයයි.

ගෝලීය වශයෙන් ගත්කල කෝවිඩ්-19 වසංගත ව්‍යාප්තියේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්ව ඇති ඔමික්‍රෝන්, ලංකාව තුල ද ප්‍රමුඛස්ථානයට පත්ව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කලේය. දෛනික පරීක්ෂන සංඛ්‍යාව අවම අගයක පවත්වා ගනිමින්, වසංගතයේ සැබෑ ව්‍යාප්තිය වසන් කිරීමට ආන්ඩුව උත්සාහ කල ද, එම සීමිත පරීක්ෂන මගින් පවා අනාවරනය වන්නේ එය ව්‍යසනකාරීව ව්‍යාප්ත වෙමින් පවත්නා බවයි.

පසුගිය දින කීපය පුරා දෛනික නිල ආසාදිතයන් සංඛ්‍යාව 800 ඉක්මවමින් ඉහලට යමින් පවතින අතර, ලමා ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් වැඩිවෙමින් පවත්නා බව කොලඹ රිජ්වේ ලමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පසුගිය දා මාධ්‍යයට පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් කාය වෛද්‍ය විශේෂඥ මල්කාන්ති ගල්හේන ජනවාරි 17 දා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ, ඊට පෙර සතියට සාපේක්ෂව පසුගිය සතියේ ආසාදන සංඛ්‍යාව 1000 කට වඩා වැඩි වී ඇති බවයි. පාසල් ලමුන් තම පවුල් වලට සහ අනෙකුත් ප්‍රජාවට වෛරසය ව්‍යාප්ත කරන වාහකයන් ලෙස ක්‍රියාත්මක වන බව සමීක්ෂන මගින් හඳුනාගෙන ඇතැයි ඇය අවධාරනය කර ඇත.

එය සනාථ කරමින්, පාසල්, විශ්වවිද්‍යාල සහ ගුරු අධ්‍යාපන පීඨයන් තුල ආසාදිතයන් දුසිම් ගනනින් වාර්තා වෙමින් පවතින අතර, මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 238ක් සහභාගී වූයේ කෝවිඩ් රෝගී තත්වයෙනි.

ගැබිනි මවුවරුන්ගේ ආසාදනයන්ද සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවත්නා බව කාසල් වීදියේ මාතෲ රෝහලේ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මාධ්‍යයට පවසා ඇත. 'සංචරනයන් අවම කරන ලෙස සහ ප්‍රසිද්ධ ස්ථාන වලට යාමෙන් වලකින ලෙස' ඔහු ගර්භනී මවුවරුන්ට අවවාද කරයි.

මෙම ව්‍යසනකාරී තත්වය තුල, ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් මන්ත්‍රයක් ලෙස ජප කරනුයේ, එන්නත්කරනය එකම විසඳුම බවයි. ඊට ප්‍රතිකූලව, වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත පමනක් කිසිසේත් ප්‍රමානවත් නොවන බව ජාත්‍යන්තර වසංගත රෝග විශේෂඥයන් යලියලිත් අවධාරනය කරයි. එන්නත්කරනයට සමගාමීව දැඩි මහජන සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ඔවුහු පෙන්වා දෙති. අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසැල් තාවකාලිකව වසා දැමීම, දැවැන්ත පරිමානයෙන් පරීක්ෂන සිදු කරමින් ආසාදිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් වහා හුදෙකලා කිරීම මේ අතරින් ප්‍රමුඛ ය.

මෙම පියවර ගැනීමේදී වසා දැමෙන නිෂ්පාදනයන්හි සහ පාසල්වල රැකියාවන්හි නිරතව සිටි සියලු දෙනාට වසා දැමෙන කාලය තුල පූර්න වැටුප් සහ දීමනා ද, ආදායම් අහිමිවන සියලු දෙනාට පූර්න වන්දි ද ලබාදියයුතු අතර අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය වේ. වසා දැමෙන පාසල්වල ඉගෙනුම ලැබූ දරුවන්ට පරිගනක ඇතුලු පූර්න අන්තර්ජාල පහසුකම් නොමිලේ සපයමින් ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සම්පාදනය කලයුතු වෙයි.

මෙම පිලිවෙත මහධනපතියන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලියට බාධා පමුනුවන බැවින් ආරම්භයේ සිටම එරෙහි වූ ලොවපුරා ධනපති ආන්ඩු ක්‍රියාත්මක කලේ, 'වසංගතය ජීවත්වීමේ' මිනීමරු පිලිවෙතයි. එහි මානව වියදම නිල සංඛ්‍යාවන්ට අනුව ගතහොත් ජීවිත මිලියන 5.6 ඉක්මවා ඇත. නමුත් පිලිගත් පර්යේෂන ආයතන මගින් පෙන්වා දෙන්නේ, සැබෑ කෝවිඩ් මරන සංඛ්‍යාව මිලියන 10 ද ඉක්මවා ඇති බවයි. ගෝලීය ආසාදන සංඛ්‍යාව මිලියන 350 ඉක්මවන අතර ඉන් බහුතරයකට 'දිගු කාලීන කෝවිඩ්' තත්වයන්ට මුහුන දීමට සිදුව ඇත.

කෙසේ නමුත්, මෙම පිලිවෙත් සම්බන්ධයෙන් ගත්කල ව්‍යතිරේඛී රටක් ද ලොව පවතී. 2019 අග චීනය තුල පලමු කෝවිඩ්-19 ආසාදිතයා සොයා ගැනීමෙන් පසු, කෝවිඩ් තුරන් කිරීමේ ශුන්‍ය-කෝවිඩ් (Zero-Covid) පිලිවෙත යටතේ ඉහත මහජන සෞඛ්‍ය ආරක්ෂන පිලිවෙත් දැඩිලෙස ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා එම රටතුල කෝවිඩ් මරන සිදුව ඇත්තේ 3 ක් පමනකි.

'වසංගතය සමග ජීවත්වීමේ' සහ 'කෝවිඩ් තුරන් කිරීමේ' පිලිවෙත් දෙකෙහි ප්‍රතිඵලයන් මුලුමනින්ම විපරීතය. ලොව අධිකතම ජනගහනය වන බිලියන 1.4 ක ජනයා වෙසෙන චීනයේ කෝවිඩ් මරන 3 ක් සිදුවන විට, මිලියන 330 ක් ජීවත්වන ඇමරිකා එක්සත් ජනපදය තුල එම කාලය තුල සිදුව ඇති කෝවිඩ් මරන සංඛ්‍යාව 8,50,000 ඉක්මවා ඇත. මිලියන 22 ක් ජීවත්වන ලංකාවේ සිදුව ඇති මරන සංඛ්‍යාව 15,000 ඉක්මවයි.

අනෙක් අත‌ට, 'වසංගතය සමග ජීවත්වීමේ' පිලිවෙත හේතුවෙන් වසංගතය දිගු කාලීනව පැවතී, ඔමික්‍රෝන් වැනි නව ප්‍රභේදයන් ජනනය කොට ව්‍යසනය වඩාත් ගැඹුරු කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඉදිරි දෙමස තුල යුරෝපයේ සමස්ත ජනගහනයෙන් අඩක් ඔමික්‍රෝන් වෛරසයෙන් ආසාදනය වන බවයි.

සියලු දත්ත සහ වාර්තා මගින් පෙන්නුම් කරනුයේ ආසාදිතයන් සංඛ්‍යාව ක්ෂනිකව වැඩි වී, පවත්නා රෝහල් ධාරිතාව ඉක්මවාගොස් ලොවපුරා ඉමහත් ව්‍යසනයක් නිර්මානය වෙමින් පවත්නා බවයි. වහාම ශුන්‍ය-කෝවිඩ් පියවර ගෝලීයව ක්‍රියාත්මක කල යුතුව ඇත. නමුත්, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තබන ධනපති ක්‍රමය එවන් පිලිවෙතකට සපුරා එරෙහිව පිහිටා සිටී.

ලොවපුරා අනෙකුත් ධනපති ආන්ඩු මෙන්ම රාජපක්ෂ ආන්ඩුව ද, වසංගතය පහවෙමින් පවත්නා බව ව්‍යාජව පෙන්වමින්, සියලු නිෂ්පාදන සහ සේවා ස්ථාන, සිනමාහල් සහ රංග ශාලා විවෘතව තබා ගනිමින්, රැස්වීම් සහ සංගීත සංදර්ශන ඇතුලු ප්‍රසිද්ධ ඒකරාශිවීම් වලට පූර්න අවසරය දෙමින් සහ සියලු පාසල් විවෘත කරමින් 'නව සාමාන්‍යය' යටතේ සමස්ත ආර්ථිකය ක්‍රියාත්මක කොට වසංගතයට නිදහසේ ව්‍යාප්ත වීමට ඉඩහැර ඇත.

දහස් ගනනින් සේවයේ යෙදෙන ඇඟලුම් කම්හල් වැනි නිෂ්පාදන ආයතන තුල, එකිනෙකාට තෙරපෙමින් ගමනාගමනයේ යෙදෙන ප්‍රසිද්ධ ප්‍රවාහන මාධ්‍යයන්හි සහ දහස් ගනන් ලමුන් අධ්‍යාපනයේ යෙදෙන පාසල් තුල, ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් තොරොම්බල් කරන 'කායික දුරස්ථකරනය' සහ 'විෂබීජහරනය' කිසිසේත් කල නොහැක්කකි.

මෙම තත්වය සම්බන්ධයෙන් ආන්ඩුවේ නරුම නොතැකීම ප්‍රකාශයට පත් කරමින්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මෙසේ පවසයි: 'පාසල් විවෘත කිරීම හේතුවෙන් ලමුන් අතර අන්තර්ක්‍රියාවන් වැඩිවන බවත් ඒ හේතුවෙන් ආසාදන වැඩිවීමේ හැකියාවක් ඇති බවත් අපි දනිමු. නමුත් පාසල් විවෘතව තබා ගැනීම ලමුන්ට ඉතා වැදගත්. අපි පාසල් විවෘතව තබා ගනිමින් තත්වය පාලනය කල යුතුයි.'

වසංගතය මේ සා ව්‍යසනකාරීව පැතිරෙද්දී 'පාසල් විවෘතව තබා ගැනීම ලමුන්ට ඉතා වැදගත්' යැයි හේරත් ට නරුම ලෙස පැවසිය හැකි වනුයේ, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබෙන සාපරාධී පිලිවෙතකින් ඔහු ඇතුලු නිලධරය මෙහෙයවෙන බැවිනි. ලමුන් පාසල් තුල ගාල් කිරීම හරහා දෙමාපියන් වැඩට ගෙන්වා ගැනීම පහසුකර ගැනීම, ලමා ජීවිත වලට වඩා ආන්ඩුවට සහ මෙම නිලධාරීන්ට 'වැදගත්' වෙයි.

එවන් නරුම ආන්ඩුවක් සහ නිලධරයක් බූස්ටර් එන්නත සම්බන්ධයෙන් මහජන උනන්දුව අඩුවීම සම්බන්ධයෙන් පෙන්වන කනස්සල්ල මුලුමනින්ම ව්‍යාජ ය. ආන්ඩුව, එහි ආවතේවකාර සෞඛ්‍ය බලධාරීන් සහ ධනපති මාධ්‍ය බිස්ස, 'වසංගතය සමග ජීවත්වීමේ' තම පිලිවෙත යටතේ මහජනතාව තුල නිර්මානය කර ඇත්තේ වසංගත බියක් නොමැති මනෝගතියකි.

එවන් තත්වයක් තුල එන්නත්කරනය පිලිබඳව උනන්දුව පහවයාම අහම්බයක් නොවේ. ඊට සමගාමීව දක්ෂිනාංශික එන්නත්-විරෝධී ව්‍යාපාරය විසින් ගෙනයන උද්ඝෝෂනයන් සහ එන්නත් පිලිබඳ මිථ්‍යා ප්‍රචාරයන් ද මෙම පසුබෑමට හේතුකාරක වී ඇතිබව නිසැක ය.

මෙම පසුබිම තුල, ජාතික ආසාදන රෝග ආයතනයේ කාය වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, කොලඹ ජාතික රෝහලේ කාය වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ සහ එම විශ්වවිද්‍යාලයේ ම ආචාර්ය චන්දිම ජීවන්දර යන විශේෂඥයන් ද බූස්ටර් එන්නත පිලිබඳ මහජන උනන්දුව අඩුවීම ගැන කනස්සල්ල පල කරමින්, එය ලබා ගැනීමේ වැදගත්කම අවධාරනය කල බව මාධ්‍ය විසින් වාර්තාකොට තිබුනි.

නමුත් වසංගතය මේ සා ව්‍යසනකාරීව පැතිරෙන තත්වයක් තුල ඔවුන් ද යෙදී සිටිනුයේ, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම ඇතුලු අනිවාර්යය මහජන සෞඛ්‍යාරක්ෂන පියවර ඇතුලු ශුන්‍ය-කෝවිඩ් පිලිවෙතකින් තොර, හුදෙක් බූස්ටර් එන්නත ඇතුලු එන්නත්කරනය එකම විසඳුම ලෙස ප්‍රවර්ධනය කිරීමේ ව්‍යායාමයක ‌යි. ධනපති ලාභ උත්පාදනය මිනිස් ජීවිත වලට ඉහලින් තැබෙන පිලිවෙතකින් නිර්නය වන එවන් ව්‍යායාමයක් ඉඳුරාම මානව විරෝධීය; විද්‍යා විරෝධීය.

Loading