රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මාරු මන්ඩල නියෝජනය සඳහා සටන් කරන්නේ ඇයි?

කරුනු හතකට විරෝධය පාමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) විසින් දෙසැම්බර් 21 දා සිට රට පුරා රෝහල් හි ‌වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කෙරුනි. 'මාරු මන්ඩලයන්හි එකඟතාවයකින් තොරව' වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ සීමාවාසික ස්ථානගත කිරීම් සිදු කිරීම එම කරුනු අතර මූලික වේ.

කෙසේ නමුත්, මෙම වර්ජනය තුල වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයේ සැලකිය යුතු අඩුවක් පැවතීම කැපී පෙනෙයි. කොලඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළු රටපුරා බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශය සහ සමහර සායන හැරුනු විට අනෙකුත් රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය සේවාවන්ට ආසන්න ලෙස සිදුවිය. මෙය මීට පෙර වර්ජන වල දී දකින්නට නොලැබුනු ලක්ෂනයකි.

වසංගතය මධ්‍යයේ මුහුනදීමට සිදුවී ඇති රුදුරු සේවා සහ ජීවන කොන්දේසි, එනම් ප්‍රමිතිගත පිපී උපකරන නොලැබීම, වැඩ අධික දීර්ඝ වැඩමුර, අනාරක්ෂිත ප්‍රවාහන පහසුකම් සහ ප්‍රවාහනය සඳහා විශාල මුදලක් වැයවීම, වැඩිවන බඩුමිල හමුවේ ලැබෙන වැටුපෙන් ජීවත් වීමට නොහැකි වීම ආදිය, ජය ගැනීමේ දැඩි අවශ්‍යතාවයෙන් වෛද්‍යවරු ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවකයෝ පෙලෙති.

නමුත් රවෛනිස ඉල්ලීම් වෛද්‍යවරුන්ගේ මෙම සැබෑ අවශ්‍යතා සමග කවර හෝ සම්බන්ධයක් නැත. ඉල්ලීම්වල අවසානයේ සඳහන් කර ඇති වෛද්‍යවරුන්ගේ වරප්‍රසාද සංශෝධනයට කර ඇති ඉල්ලීම, හුදෙක් වර්ජනයට සහයෝගය ලබාගැනීම සඳහා කඩතුරාවක් බව බොහෝ වෛද්‍යවරු පවසති.

වර්ජනය අතරතුර පැවැති රවෛනිස මහනුවර ජාතික රෝහල් ශාඛාවේ රැස්වීමකදී ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුම චෝදනා කර සිටියේ, වසංගතයේ තීරනාත්මක අවධිවලදී වර්ජනය කිරීම සඳහා ඕනෑ තරම් හේතු සාධක තිබියදීත් ඒවා මග හැර සාමාජිකයන්ට අදාල නොවන පොහොර ප්‍රශ්නය, කිරිපිටි ප්‍රශ්නය ගැන කතා කර කර සිට දැන් නින්දෙන් අවදි වූ උන් සේ සාමාජිකත්වයේ කිසිදු ඉල්ලීමකින් තොරව මාරුවීම් සම්බන්ධව වර්ජනය කැඳවීම 'සැක සහිත' බවයි.

තවත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු පැවසුවේ, වසංගතය සම්බන්ධ විශේෂඥ නිර්දේශ නොතකා ආන්ඩුව ගෙනයන සාපරාධී වැඩකටයුතු වලට අඛන්ඩව දෙන සහයෝගයට සහ තම ප්‍රශ්න වෙනුවෙන් සටන් නොකිරීමට එරෙහිව සමිති නිලධරය කෙරෙහි සාමාජිකත්වය තුල වැඩී ඇති කෝපය සමනය කිරීමේ ව්‍යායාමයක් ලෙස මෙම වර්ජනය කැඳවා ඇති බවයි.

වසංගතය ආරම්භ වූ දා සිට රවෛනිස නායකත්වය ක්‍රියා කලේ තම සාමාජිකයන්ට මෙන්ම සෙසු කම්කරුවන්ට එරෙහිව ආන්ඩුව සමඟ එකතු වී සාමූහික ප්‍රහාරයක් මුදාහැරීමට යි. සංගමයේ නායක අනුරුද්ධ පාදෙනිය විසින් එන්නත පිලිබඳ සැක සංකා පල කෙරෙන ප්‍රකාශ ඉදිරිපත් කරමින් එන්නත්කරනය ප්‍රමාද කිරීමට දායක විය. ඒ වෙනුවට එලියන්ත වයිට් වැනි ව්‍යාජ වෛද්‍යවරුන් සහ ආන්ඩුවේ මැති-ඇමතිවරුන් සමග එකතු වී දුම් හට්ටි සහ පැනි වැනි මිත්‍යා විශ්වාස ප්‍රවර්ධනයේ යෙදුනි. පාදෙනිය ඇතුළු නිලධරය,15,000 කට ආසන්න සංඛ්‍යාවක් මරනයට පත් කරමින් සහ 600,000 කට ආසන්න ප්‍රමානයක් ආසාදනය කරමින් ආන්ඩුව කරගෙන යන සමාජ අපරාධයේ දැනුවත් හවුල්කරුවෝ වෙති.

අයවැයෙන් සෞඛ්‍යය සඳහා වෙන් කෙරෙන මුදල 2019 ට සාපේක්ෂව ගත්කල, 2020 දී රුපියල් බිලියන 28කින් ද, 2021 දී රුපියල් බිලියන 34 කින් ද කප්පාදු කරන විට රවෛනිස ඇතුළු සියලුම සෞඛ්‍යය වෘත්තිය සමිති ඊට එරෙහිව වචනයක් හෝ ප්‍රකාශ නොකර නිහඬවම සහයෝගය දෙන ලදී.

වසංගතය උග්‍ර වීමට පෙර මාධ්‍ය සාකච්ඡා වලට පැමිනි පාදෙනිය, යුරෝපය වැනි දියුනු රටවල රෝහල් වසංගත රෝගීන්ගෙන් පිරීතිරී යද්දී 'කවර රෝගියා මරනයට හරිනවාද? කිනම් රෝගියා බේරා ගැනීමට උත්සාහ කරනවා ද? යන්න තීරනය කිරීමට එම රටවල වෛද්‍යවරුන්ට සිදු වී ඇති බවත් මෙරට එවැන්නක් සිදු වීමට ඉඩ නොතබන බවත් පැවසීය.

නමුත්, ලංකාවේ වසංගතය උග්‍රවී රෝහල් රෝගීන්ගෙන් පිරීතිරී ගොස්, ඔක්සිජන් ලබාදෙන උපකරන පමනක් නොව ඔක්සිජන්මත් හිග වී දැඩි සත්කාර ඇඳන් සොයාගත නොහැකිව ඇස් ඉදිරිපිටම රෝගීන් මිය යනවිට පාදෙනිය ගොළුවත රකින ලදී. එපමනක් ද නොව රෝගීන් නිවෙස් තුල රඳවා මිය යාමට ඉඩ හැරි රජයේ ප්‍රතිපත්තියට පෙරමුනේ රාල වෙමින් සිදුකල අපරාධයට ද ඔහු ඇතුලු රවෛනිස වගකිව යුතුය.

රෝහල් තුල ද, තාවකාලිකව පිහිටවූ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ද රෝගීන් දහස් ගනන් පිරී යද්දී රවෛනිස යේ නිලධාරීන් ගේ මඟ පෙන්වීම අනුව, සංගමයේ ප්‍රාදේශීය නිලධාරීහු රෝහල් පරිපාලනය සමග එකතු වී එම අසීමිත වැඩ කන්දරාව සීමිත වෛද්‍ය කාර්ය මන්ඩලය මත පැටවීමට ක්‍රියා කලහ.

වසංගතයට මුහුන දීමට අවශ්‍ය භෞතික හෝ මානව සම්පත් ඉල්ලා සිටීම සඳහා ඇඟිල්ලක් හෝ නොඑසවූ රවෛනිස, තාවකාලික ප්‍රතිකාර ඒකක ඉදි කිරීමටත් ඒවාට අවශ්‍ය උපකරන සහ වෛද්‍යවරුන්ට අවශ්‍ය පීපීඊ උපකරන මිලදී ගැනීමටත් එක් වෛද්‍යවරයෙකුගෙන් රුපියල් 1000 සිට 4000 දක්වා මුදල් එකතු කර ආන්ඩුව කොක්කෙන් ගලවා ගැනීමට වැඩ කරන ලදී.

මාරුවීම් සම්බන්ධව කලබල වී ඇති රවෛනිස, සෞඛ්‍ය අංශයට අයත් කාර්යයක් වූ එන්නත්කරන වැඩසටහන මිලිටරීකරනය කිරීමේ දී එයට විරුද්ධව රවෛනිස කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලදි.

වසංගතය හමුවේ සමස්ත සෞඛ්‍ය කම්කරුවන් ම දුෂ්කර කොන්දේසි වලට මුහුන දී සිටින අතර තුර, වෛද්‍යවරුන්ට පමනක් විශේෂ දීමනාවක් ලබා ගැනීමට ක්‍රියා කිරීම මත වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍යය කම්කරුවන් අතර ශ්‍රේනි භේදය ඇති කිරීමට ක්‍රියා කලහ. තවද අනෙකුත් සෞඛ්‍ය කම්කරුවන් තම ඉල්ලීම් දිනා ගැනීමට සටන් කරන අවස්ථාවලදී ඔවුනගේ කාර්යයන් සඳහා තම සාමාජිකත්වය යොමු කරවමින් එම සටන් වලට හොරිකඩකම් කරන ලදී, උදාහරනයක් ලෙස හෙදියන් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා පීසීආර් පරීක්ෂන වර්ජනය කලවිට වෛද්‍යවරුන් එම පරීක්ෂන සඳහා යෙදවීමට රවෛනිස කටයුතු කලේය.

මීට අමතරව හෙදියන් ඉල්ලා සිටි මාන්ඩලික ශ්‍රේනි තත්වය සහ ප්‍රවාහන දීමනා වලට ද ප්‍රසිද්ධියේ එදිරිවාදිකම් කරන ලදී. එමගින් වෛද්‍යවරුන් හා හෙදියන් අතර ශ්‍රේනි භේදය අවුලමින්, ආන්ඩුවට එරෙහිව සෞඛ්‍ය කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමට දැනුවත්ව ක්‍රියා කරන ලදී.

රවෛනිස, තම ක්ෂේත්‍රයේ කම්කරුවන්ට පමනක් නොව අවශේෂ කම්කරු කොටස් වලටද එරෙහිව වැඩට බැස ගත් ආකාරය හොඳින් ප්‍රදර්ශනය වූයේ ගුරුවරුන් තමන්ට හිමි විය යුතු වැටුප් ඉල්ලා අරගලයට පැමිනි අවස්ථාවේදීය. ඊනියා ජාතික වැටුප් ප්‍රතිපත්තියට හානි සිදුවන බව ප්‍රකාශ කරමින් පාදෙනිය ඇතුලු නඩය එම අරගලයට එරෙහි විය.

ආන්ඩුවේ ඩොලර් හිඟය හමුවේ පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කර ගත නොහැකි වී සිටි විට, කාබනික වගාව ප්‍රවර්ධනයට යැයි කියමින් රවෛනිස පෙරට පැමින, රසායනික පොහොර භාවිතය වහා නතර කල යුතු යැයි පවසමින් ආන්ඩුවට පලිහක් සේ සිටිමින් ගොවීන්ට එරෙහිව ක්‍රියාකරන ලද්දේ කෘෂි විද්‍යාඥයින්ගේ විද්‍යාත්මක දැනුමට ද එරෙහිව යමිනි.

ආන්ඩුව ධනපති ලාභ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඇඟලුම් ඇතුළු අත්‍යාවශ්‍ය නොවන කර්මාන්ත පවා විවෘත කොට කම්කරුවන් වැඩට තල්ලු කරද්දී, ඔවුන් වසංගතයට සහ මරනයට ගොදුරු කෙරෙන 'රට විවෘතව තබා ගැනීමේ' එම සාපරාධී පිලිවෙතට රවෛනිස තම පූර්න සහාය දෙන ලදී.

මෙම පිලිවෙතෙහි ම කොටසක් ලෙස පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථාන විවෘත කර ඒවාට ලමුන් දැක්කීම සඳහා, පාදෙනිය නඩය විද්‍යාව අමු අමුවේ මුසාකරනය කරන ලදි. මීට වසරකට පමන පෙර ඉතාලිය තුල වෛරසයේ ඇල්ෆා ප්‍රභේදය සම්බන්ධව කල පර්යේෂන වාර්තාවක් උපයෝගී කරගනිමින් පාදෙනිය පැවසුවේ, 'ලමුන්ට වෛරස ආසාදනය පුදුම සහගත ලෙස අඩු' බවයි.

නමුත් ඒ වන විට ලමුන් වැඩි වශයෙන් ගොදුරු වෙමින් සිටියේ ඩෙල්ටා වෛරසයට යි. අද වන විට විශේෂඥයන් පවසන්නේ නව ඔමික්‍රෝන් ප්‍රරභේද ය ලමයින්ට වඩාත් ආසාදනය වෙමින් පවතින බවයි. මේ අන්තරාය පිලිබඳව පාදෙනිය වචනයක් හෝ කතා නොකරයි. මේ වන විට ලංකාව තුළ ළමයින් 60,000 ට වඩා වසංගතයට ගොදුරු වී ඇති අතර අවුරුදු 18 ට අඩු දරුවන් 89ක් මරනයට පත් වී ඇතැයි සෞඛ්‍ය අංශ නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

වසංගතය තුල උග්‍ර වන ආර්ථික අර්බුදයේ බර තම උරමත පැටවීම හමුවේ රැඩිකලීකරනය වනවන කම්කරු පන්තිය මර්දනය කිරීම සඳහා ලොවපුරා පාලකයින් ෆැසිස්ට් සහ මිලිටරි පාලනයන් වෙතට මාරු වෙමින් පවතින අතර, කම්කරු පංතිය මෙතෙක් භුක්ති විඳි සීමිත හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කෙරෙමින් පවතී. කම්කරු පංතියේ නාමික නියෝජනයක් පවතින ‍'මාරු මන්ඩල' පවා නොතකා වැඩ කිරීමට රාජපක්ෂ ආන්ඩුව තීරනයකොට ඇත්තේ එබැවිනි.

අතීතයේ මෙම මාරුවීම් මන්ඩලයන්හි වෘත්තීය සමිති නියෝජනය යම් ප්‍රගතිශීලී ක්‍රියාකලාපයක් ඉටු කල නමුත්, ගෝලීයකරන සන්තතියත් සමග ධනපති උපකරන බවට පරිවර්තනය වී ඇති වෘත්තීය සමිති වලින් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මෙම මාරුවීම් මන්ඩලවලට අද දිනයේ කවර හෝ ප්‍රගතිශීලී අන්තර්ගතයක් නොමැත. එසේ වුවද, එහි කම්කරු නියෝජනය සඳහා ඇති අයිතිය කම්කරුවන් විසින් ආරක්ෂා කලයුතු වෙයි.

රවෛනිස නිලධරය මෙම මාරුමන්ඩල නියෝජනය කලේ, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවල ආධිපත්‍යය තම අනසක යටතේ පවත්වා ගනිමින් සංගමය තුල සාමාජිකත්වය රඳවා ගැනීමේ සහ තම නායකත්වයට එරෙහිව සටන් වදින සාමාජිකත්වය දඬු ගැසීමේ උපායක් ලෙසින් පමනි. ඔවුනගේ උත්සුකය එය අහිමිවීම සම්බන්ධයෙනි.

මාරුමන්ඩල සම්බන්ධයෙන් රවෛනිස ගෙනයන උද්ඝෝෂනයෙන් ද, 'මාරු මන්ඩල සඳහා වෘත්තිය සමිති නියෝජනය අහෝසි කල යුතු' බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ගෙනයන ප්‍රතිගාමී උද්ඝෝෂනයෙන් ද වෛද්‍යවරුන් දැනුවත්ව වෙන්වී ගත යුතුය.

වෛද්‍යවරුන් ඇතුලු සියලුම සෞඛ්‍ය කම්කරුවන් ශ්‍රේනිවාදී වෘත්තීය සමිතිවලින් බිඳී සියලු ශ්‍රේනි නියෝජනය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් වන ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, එහි ප්‍රජාතන්ත්‍ර ඡන්දයෙන් පත්වන නියෝජිතයන් මාරුවීම් මන්ඩලවලට යැවීම මගින් පමනක් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඒවා තුල නියෝජනය කල හැකි වනු ඇත.

වෛද්‍යවරුන්ගේ මාරුවීම් සම්බන්ධ ගැටලු පමනක් නොව, සෞඛ්‍ය කම්කරුවන් මෙන්ම අවශේෂ කම්කරුවන් මුහුන දී ඇති සමාජ ආර්ථික ගැටලු මතුවී ඇත්තේ ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඉහත ක්‍රියාකාරී කමිටු, අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් පිහිටුවාගනු ලබන ක්‍රියාකාරී කමිටු සමග ජාතිකව සහ ජාත්‍යන්තරව සන්ධාන ගතවෙමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදීමෙන් පමනක් එම ගැටලු ජයගත හැක.

Loading