කොවිඩ්-19 වසංගතය බන්ධනාගාර තුල වේගයෙන් පැතිර යද්දී, තම ජීවිත ආරක්ෂාව ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන්, නොවැම්බර් 29, 30 යන දිනයන්හි, ගෙනගිය උද්ඝෝෂනය මැඩලීමට රාජපක්ෂ ආන්ඩුව එල්ල කල රුදුරු ප්‍රහාරයෙන් රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර 107 දෙනෙකුට තුවාල සිදුවිය.
රැඳවියන් මියගියේ ඔවුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙසින් බව පෙන්වීමට විවිධ පච කතා ගෙතූ ආන්ඩුව සහ පොලීසිය, පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවන් නිකුත් කිරීමටත් ප්‍රථම කියා සිටියේ ඝාතන සිදුව ඇත්තේ වෙඩිතැබීම් වලින් නොවන බවයි.
වසංගතය පාලනය කිරීමේ අත්‍යවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් ආන්ඩුව කෙරෙහි වැඩුනු මහජන විරෝධය, මෙම ලේවැකි ඝාතනයත් සමග දැවැන්ත ව ඉහල නැගුනි. එය අපගමනය කරනු වස්, ආන්ඩුව සිද්ධිය “විමර්ශනය කිරීමට” පංච පුද්ගල කමිටුවක් පත් කලේය. කෙසේ නමුත්, සිද්ධීන්ගේ වසන්කල නොහැකි ස්වභාවය මත, ඝාතන සිදුව ඇත්තේ වෙඩිතැබීම් වලින් බව කමිටුවට පවා පිලි ගැනීමට සිදු විය. එහි ඇඟවුම, මෙය සිතාමතා සැලසුම්කල රාජ්‍ය ඝාතනයක් යන්නයි.
පුපුරා ගිය මහජන විරෝධය, ආන්ඩුවට එරෙහි ව පමනක් නොව, සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව යොමු වෙතැයි භීතියට පත්, විපාර්ශ්වීය ධනපති පක්ෂ, ව්‍යාජ-වාම සංවිධාන, වෘත්තීය සමිති සහ මානව හිමිකම් ක්රියාකාරිකයෝ, පුහු උද්ඝෝෂන, මාධ්‍ය හමු සහ සංවාද මන්ඩප තුල එම විරෝධය දියකර හැරීමේ දැනුවත් ව්‍යායාමයක යෙදී සිටිති.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මූලිකත්වයෙන් දෙසැම්බර් 01 දා පැවැත්වූ මාධ්‍ය හමුව මෙම ව්‍යායාමයේ ප්‍රධාන අංගයකි. පෙසපට අමතර ව තවත් ව්‍යාජ-වාම පක්ෂ දෙකක් වන, එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) සහ සමාජවාදී පක්ෂයේ (සප) නායකයෝ, වෙනත් 'වම්මු' කීප දෙනෙක් සහ වෘත්තීය සමිති නායකයන් ගනනාවක් එහිදී මාධ්‍ය ඇමතූහ.
ධනපති අධිකරනය හමුවේ නීතිපොත් පෙරලමින් නීති තර්ක ඉදිරිපත් කරන නීතීඥයන් මෙන්, ඔවුහු එකා පසුපස එකා පෙල ගැසෙමින්, මහර සිද්ධියේදී 'නීතිය' බිඳ දමා ඇති ආකාරය විස්තර කලහ. මහර ඝාතනයේ දී සහ බන්ධනාගාර තුල එදිනෙදා ජීවිතයේ දී, ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතීන් උල්ලංඝනය කෙරී ඇති බවට, ඔවුහු සියලු දෙනා ම කම්පා වූහ.
ධනපති රාජ්‍යයට, එහි ව්‍යවස්ථාවට සහ එහි නීති පද්ධතියට මොවුන් කෙතරම් තදින් බැඳී සිටී ද යත්, ඔවුන් එය හැඳින්වූයේ 'අපේ ව්‍යවස්ථාව' සහ 'අපේ නීතිය' ලෙසිනි. රාජ්‍යයේ පවත්නා පංතිමය ස්වභාවය වසන් කරනු වස් 'ධනපති' යන වචනය පවා භාවිතා නොකිරීමට ඔවුහු වගබලා ගත්හ.
හමුවේ ප්‍රධාන කථිකයා වූ පෙසප මාධ්‍ය ලේකම් පුබුදු ජයගොඩ තම කතාවෙන් සුවිසල් කොටසක් වෙන්කලේ, අධිකරනයෙන් වරදකරුවන් බවට තීරනය කෙරී තිබියදී සහ අධිකරනය හමුවේ චෝදනා ලැබ සිටියදී, මෑතදී අධිකරනයෙන් නිදහස් කෙරුනු ආන්ඩුවේ මැති-ඇමතියන්ගේ සහ එහි ආවතේවකරුවන්ගේ දීර්ඝ ලැයිස්තුව ඉදිරිපත් කිරීමට ය.
අනතුරුව, මහර බන්ධනාගාරයේ රඳවා සිටි තම දරුවන්, සැමියන් ඇතුලු ආදරනීයයන් ගැන විමසා බැලීමට එහි ප්‍රධාන ගේට්ටුව අසලට රොක්ව සිටි මහජනතාවට එවන් සහනයක් 'නීතියෙන්' නොලැබෙන බවට ඔහු විස්සෝප විය. 'නීතිය හැමෝටම සමාන නැති නිසා තමයි, දුප්පත් මිනිස්සුන්ගෙ නෝනලා, අම්මලා පමනක් අඬ අඬ ඉන්නෙ.'
පොහොසතුන් හෙවත් ධනපතියන්ට සහ ඔවුනගේ දේශපාලන නියෝජිතයන්ට එක් විධියකටත්, දුප්පතුන් හෙවත් කම්කරු-පීඩිත මහජනතාවට තවත් විධියකටත් සැලකීම ධනපති නීතියේ අත්‍යන්ත ලක්ෂනයක් බව සඟවන ජයගොඩ, දුප්පතුන්ට සහ පොහොසතුන්ට සමානව ධනපති නීතිය ක්‍රියාත්මක නොවීම ගැන කම්පා වෙයි.
ධනවාදයට, රූපික සමානාත්මතාවය සම්බන්ධයෙන් හෝ සංගතික විය නොහැකි බව සම්භාව්‍ය මාක්ස්වාදින්ගේ අදහසයි. වි.අයි.ලෙනින් එය පවසන්නේ මෙසේය:
එහෙත් රූපික සමානාත්මතාව (නීතිය ඉදිරියේ 'සමානාත්මතාවය': හොඳින් කුසපුරවාගත්තවුන් සහ කුසගින්නෙන් පෙලෙන්නන් අතර 'සමානාත්මතාවය', දේපොල හිමිවූවන් සහ දේපොල අහිමිවූවන් අතර “සමානාත්මතාවය”) සම්බන්ධයෙන් වුවද ධනවාදයට සංගතික විය නොහැක. මෙම අසංගතිකභාවයේ වඩාත් පැහැදිලි ප්රකාශනයක් වන්නේ පුරුෂයා හා සසඳන විට ස්ත්‍රියට ඇති පහත් තත්වයයි. කවර ධනේශ්වර රාජ්‍යයක් හෝ, වඩාත්ම ප්රගතිශීලී, ප්රජාතන්ත්රවාදී ජනරජයක් හෝ, අයිතිවාසිකම්වල පූර්න සමානාත්මතාවය ඇති කර නොමැත.' (ලෙනින් 1920 දී 'ජාත්‍යන්තර කාන්තා දිනය ගැන', ප්රව්දා පුවත්පතට ලියූ ලිපියකින්)
ජයගොඩ දිගින් දිගටම කනිපින්දම් කීවේ මහර සිද්ධියේදී රාජ්‍යය 'ප්‍රමිතිගත' ආකාරයකින්, එනම් ධනපති නීති ප්‍රකාරයෙන් ක්‍රියාත්මක වී නොමැති බවයි.
කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, මහර බන්ධනාගාරයේ සිද්ධිය විස්තර කරමින් කියා සිටියේ එහි දී 'අපේ නීතිය' නන් වැදෑරුම් ආකාරයකින් කඩකොට ඇති බව සහ 'අපේ ශ්‍රේෂ්ඨාධිකරනය' විසින් විවරනය කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරී ඇති බවයි.
ධනපති රාජ්‍යය යනු, දේපොල හෙවත් නිෂ්පාදන මාධ්‍යයන් හිමි ධනපති පංතිය විසින්, දේපොල අහිමි කම්කරු පංතිය පාලනය කිරීම සඳහා ඓතිහාසික ව නිර්මානය කරගත් පංති පීඩනයේ උපකරනය යි. කම්කරු පංතිය සම්බන්ධයෙන් ගත් කල එම රාජ්‍යය, එහි නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරනය 'අපේ නොවේ'. එපමනක් නොව, ඒවා සපුරා 'අපට එරෙහි' ය.
රාජ්‍යය සහ බන්ධනාගාර අතර සම්බන්ධය ගැන ෆ්රෙඩ්රික් එංගල්ස් මෙසේ කියයි:
'එය හුදෙක් ආයුධ සන්නද්ධ පිරිසකින් පමනක් නොව, ද්‍රව්‍යමය උප සංවිධාන, සිර ගෙවල් සහ ගනගෝත්ර (වංශ) සමාජය කිසිසේත් නොදත්, සියලුම වර්ගවල බලහත්කාරී ආයතනවලින් ද සමන්විතය...' (පවුල, පෞද්ගලික දෙපොල සහ රාජ්‍යය - ෆ්රෙඩ්රික් එංගල්ස්)
දැඩි ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට එය විසඳීමේ අන් විකල්පයක් නොමැති බැවින් 'පොලිස් මිලිටරි රාජ්‍යයක්' ගොඩනගමින් සිටින බව සහ මහර ඝාතනය එහි 'දිගුවක්' බව, තවත් ව්‍යාජ-වමෙකු වන විදර්ශන කන්නන්ගර කියා සිටියේය. නමුත්, රාජපක්ෂ ආන්ඩුව මුහුන දී සිටින අර්බුදය ගෝලීය ධනේශ්වර ක්රමයේ පද්ධතිගත අර්බුදයේ ප්රකාශනයක් බව සහ රාජපක්ෂ එම අර්බුදයේ පුද්ගලාරෝපනයක් බව, ඔහු දැනුවත්ව වසන් කලේය.
ධනපති ක්රමයේ ගෝලීය පරිමාන බිඳ වැටීම වසන් කිරීම, ලංකාවේ පමනක් නොව, ලොවපුරා ව්‍යාජ-වම්මුන්ගේ පොදු ලක්ෂනය යි. රටක් රටක් පාසා පාලන තන්ත්රයන් මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකියා ඇතුලු සමාජ අයිතීන් සහ ප්රජාතන්ත්රීය අයිතීන් සියල්ල උදුරා ගැනෙන සහ එයට එරෙහිව අරගලයට ඇදෙන කම්කරු-පීඩිත මහජනතාව ප්රචන්ඩ ලෙස මැඩලන මිලිටරි ඒකාධිපතිත්වයන් වෙතට මාරු වීමෙනි. ගෝලීය වසංගතය මෙම ක්‍රියාදාමය වේගවත්කොට ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වූදා සිට මිලිටරීකරනය ආරම්භ කලේ, ආරක්ෂක ලේකම් තනතුර ඇතුලු රාජ්‍යයේ මර්මස්ථාන වලට හිටපු සහ සේවයේ යෙදෙන මිලිටරි නිලධාරීන් පත් කරමිනි. වසංගතය ගසා කමින් මිලිටරීකරනය වේගවත් කල ඔහු, ඊනියා 'කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ' ප්රධානත්වයට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කරමින් සියලු රාජ්‍ය නිලධාරීන් ඔහුගේ අධිකාරියට යටත් කලේය.
ධනපති පංතියේ මෙම රුදුරු පිලිවෙත් වලට එරෙහිව, ජාත්‍යන්තර කම්කරු පංතිය අරගල රැල්ලකින් රංග පථයට අවතීර්න ව සිටින අතර, වසංගතයෙන් එය වඩාත් තීව්ර කෙරී ඇත. එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ අසල්වැසි ඉන්දියාවේ පමනක් නොව ලංකාවේද මෙම ජාත්‍යන්තර ප්රපංචය ප්‍රකාශයට පත් කරමින්, වරාය, ඇඟලුම් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ කම්කරුවෝ නිරන්තරව අරගලයට ඇදෙමින් සිටිති. මෙම වර්ධනයන් සම්බන්ධයෙන් රාජපක්ෂ තන්ත්රය උත්සුකය.
මහර රැඳවියන්ට මෙම ලේවැකි ප්‍රහාරය එල්ල කෙරුනේ මෙම සන්දර්භය තුලය.'කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාව ඉල්ලා විරෝධතා දැක්වූ රැඳවියන් අට දෙනෙක් ශ්‍රී ලංකා බන්ධනාගාරයේ දී වෙඩි තබා ඝාතනය කෙරෙති' යන හිසින්, දෙසැම්බර් 02 වන දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ලිපියක මෙසේ සඳහන් විය:
'සමාජ නොසන්සුන්තාව වඩාත් පුළුල් ලෙස මැඬ පැවැත්වීම සඳහා රාජපක්ෂ තන්ත්රය විසින් සිදු කරනු ලබන ආඥාදායක ලකලෑස්තිවීම් පිලිබඳ අනතුරු ඇඟවීමක් ලෙස කම්කරු සහ පීඩිත ජනතාව, මහර බන්ධනාගාරයේ ලේවැකි මර්දනය සැලකිය යුතුය.'
මහර ප්‍රහාරය ක්‍රියාත්මක වූ මෙම සන්දර්භය සහ එහි අන්තරාය වසන් කරමින්, ඉහත මාධ්‍ය හමුවේදී ජයගොඩ පැවසුවේ රාජපක්ෂ ආන්ඩුව සෑම අතින්ම 'අසමර්ථ, වී ඇතිවා පමනක් නොව 'ජෝක්' වී (විහිලුවට ලක්වී) ඇති බවයි. ජයගොඩට අනුව, මෙය හුදෙක් රාජපක්ෂගේ අසමර්ථභාවය මිස ධනපති ක්රමයේ අසමර්ථභාවයක් නොවේ. ඒ සඳහා 'සමත්' යැයි ඔවුන් නම් කරන වෙනත් ධනපති නඩයක් පිටුපස කම්කරු-පීඩිත මහජනතාව ගාල් කිරීම මෙහි අරමුනයි. 2015 දී මහින්ද රාජපක්ෂ තන්ත්රය ඉවත්කර සිරිසේන-වික්‍රමසිංහ පාලනය ගෙන ඒමට පෙසප ඇතුලු ව්‍යාජ-වාම නඩ පිටුබලය දුන්නේ, රාජපක්ෂගේ දුර්පාලනයට එරෙහිව 'යහපාලනය' පිහිටුවීමට නව තන්ත්රය 'සමත්' වෙතැයි මහජනතාවටබොරු කියමිනි.
ජයගොඩ අවසානයේදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මහර ප්‍රහාරයට එරෙහිව 'දේශපාලන දෘෂ්ටි කෝනයකින්' මැදිහත්වන ලෙසයි. එය, ධනපති මහජන පෙරමුනක 'දෘෂ්ටි කෝනය' බව ඔහුගේ කතාවෙන් සහ මාධ්‍ය හමුව නියෝජනය කලවුන්ගේ සංයුතියෙන් පැහැදිලි විය. රාජපක්ෂ ආන්ඩුවේ ප්රහාරයන්ට එරෙහිව කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සපුරා එරෙහි මෙම කථිකයන් අතර, ලංකා ගුරු සංගමයේ ජෝසෆ් ස්ටාලින් ඇතුලු වෘත්තීය සමිති නිලධරය ද විය. ලංගුස ඇතුලු ලොවපුරා වෘත්තීය සමිති, ඉහත ප්රහාරයන්ට කම්කරු පංතිය යටත් කරදීමේ ඝෘජු ධනපති උපකරන බවට පරිවර්තනය වී බොහෝ කල්ය.
මෙම මාධ්‍ය හමුවෙන් දින කීපයකට පසු, දෙසැම්බර් 07 වන දා, පෙසපයේ ප්‍රධානත්වයෙන් සහ ඉහත මාධ්‍ය හමුවේ කතා කල සංවිධාන වල සහභාගිත්වයෙන්, 'ගෝඨාගේ ඒකාධිපති වියරුව පරදවමු! සැබෑ ප්රජාතන්ත්රවාදය දිනවමු!' යන සටන් පාඨය යටතේ, කොලඹ දී විරෝධතාවක් පැවැත්වුනි.
එම විරෝධතාවයේදී මාධ්‍ය ඇමතූ එසප යේ නායක සිරිතුංග ජයසූරිය, 2015 ජනාධිපතිවරන සමයේ ජපකල මන්ත්‍රය නැවත ජප කරමින් කියා සිටියේ 'ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව පෙරලා දැමීමට පෙරට එන ලෙස“ මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
ගෝලීය ධනේශ්වර අර්බුදය මධ්‍යයේ වේගයෙන් දකුනට ගමන් කරමින් සිටින ලොවපුරා ව්‍යාජ-වාම නඩ, ධනපති ප්රහාරයන්ට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට එරෙහිව, ඒ ඒ රටවල 'වැඩි නපුරු' ධනපති පාලන තන්ත්රයන්ට එරෙහිව 'අඩු නපුරු' ධනපති තන්ත්රයන් බලයට ගෙනඒමේ සූත්‍රය තොරොම්බල් කරති. පෙසප, එසප, නසසප සහ සප ආදී ව්‍යාජ-වාම පක්ෂවල සහ වෘත්තීය සමිතිවල මෙම ඊනියා විරෝධතාවයන්ගේ අරමුන එයයි.
මොවුන් සියලු දෙනා වමාරන දෑ හි සම්ප්‍රයුක්තය වනුයේ, නීතිය සහ ප්රජාතන්ත්රවාදය අකුරට ම ක්‍රියාත්මක වෙන, දූෂනයෙන් මුලුමනින්ම තොර පාරිශුද්ධ රාජ්‍යයක් බවට, ඕජස් ගලන මෙම ධනපති රාජ්‍යය පිලිසකරකොට පරිවර්තනය කර ගත හැකි බව සහ ඒ සඳහා කම්කරු-පීඩිත ජනතාව කැප විය යුතු බවයි.
ධනේශ්වර විප්ලව මගින් බිහි කෙරුනු ධනපති රාජ්‍යයන්හි ආරම්භක අවධීන්හි ඉහත ලක්ෂනයන් රූපික වසයෙන් ක්‍රියාත්මක වුව ද, ධනේශ්වර විප්ලව සිදු නොවූ ලංකාව වැනි රටවල කෘතිම ව ස්ථාපනය කෙරුනු ධනපති රාජ්‍යයන්හි ආරම්භයේ පවා එවන් ලක්ෂන නොපැවතුනි.
මානව වර්ගයා අවතීර්නව සිටින්නේ ලෝක ධනවාදය අර්බුදයෙන් ඇලලී මරලතෝනි දෙන යුගයකටයි. එම යුගයේ, රටක් රටක් පාසා ධනපති රාජ්‍යයන්, ෆැසිස්ට්, මිලිටරි ආඥාදායකත්වයන් බවට පරිවර්තනය වෙමින් පවතින්නේ ධනවාදයේ ඓතිහාසික නොහැකියාවේ ප්‍රතිඵලයක් ලෙසිනි. එය කිසිසේත් පිලිසකර කල නොහැක්කකි.
ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කල හැක්කේ ධනේශ්වර ආඥාදායක රාජ්‍යය පෙරලා දමා කම්කරු පංතික ආඥාදායකත්වයෙන් යුත් රාජ්‍යයක් ස්ථාපිත කිරිමෙන් පමනකි. එය කල හැක්කේ, ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයක් තුලින්, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි.
එම අරගලයේ මධ්‍යස්ථානයන් ලෙස, වැඩපොල සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව, ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා නගා ගැනීම අත්‍යවශ්‍ය ය. එම කම්ටු ඒකාග්ර කරමින් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගය මත කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු ගැන්වීම සඳහා සටන් වදින සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය ගොඩනැගීම සෑම කම්කරුවෙකුගේ ම වගකීම වෙයි.