නොවැම්බර් 29-30 යන දිනයන්හි මහර බන්ධනාගාරයේ සිදුවූ ඝාතනයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධිකරන ඇමති එම්. අලි සබ්රි විසින් පත්කරන ලද පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවෙන්, බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන්ට වෙඩි තබන ලද බව තහවුරු කෙරී ඇත.
මෙම සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙක් ඝාතනයට ලක් වූ අතර 107 දෙනෙක් තුවාල වූහ. වත්තල උසාවියේ දෙසැම්බර් 16 පැවති නඩු විභාගයේ දී මියගිය 11 දෙනාගෙන් 4 දෙනෙකු සම්බන්ධයෙන් පවත් වන ලද පශ්චාත් මරන පරීක්ෂනයන්හි දී ඔවුන් මියයාමට හේතුව වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල බව තහවුරු වී ඇතැයි පංච පුද්ගල කමිටුව අධිකරනයට වාර්තා කලේ ය.
ඉතිරි 7 දෙනා පිලිබඳ පශ්චාත් මරන පරීක්ෂන වාර්තාව දෙසැම්බර් 18 වෙනිදාට උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
පච මෝල ක්‍රියාත්මක කරමින් රාජපක්ෂ ආන්ඩුව සහ පොලීසිය දිගටම උත්සාහ කලේ මෙම ඝාතන සහ තුවාලකරුවන් පිලිබඳ වගකීම රැඳවියන් කරපිට තබා අත්සෝදා ගැනීමටය. මියගිය සිරකරුවන් කිසිවෙකු වෙඩි වැදීමෙන් මිය නොගිය බව බන්ධනාගාර ප්‍රතිසංස්කරන සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත දෙසැම්බර් 3 වෙනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ ය.
“බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒ මැරිලා ඉන්න සියලුදෙනා මැරිලා තියෙන්නේ ඇතුලේ කට්ටිය ගහගෙන. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නැහැ. මරන පරීක්ෂනවලින් ඒ බව තහවුරු වෙලා තියෙනව“ යැයි ඔහු එහි දී සඳහන් කලේ ය.
මහර බන්ධනාගාරය තුල සිදුවීම් කොවිඩ් වසංගතයෙන් ඇති වූ ආතතිය හෝ තදබදය නිසා වූවක් නොවන බවත්, “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමය පිලිබඳ අන්තර්ජාතික අපවාදයක්" ඇති කිරීමට දරන ලද උත්සාහයක් බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ නොවබර් 30 දා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ගැටුම්කාරී තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව සංවිධානාත්මක රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරය තුල බෙදා හරිනු ලබන "රිවර්ස්" නමින් හඳුන්වන "මත් පෙත්තක්" බව ද ඔහු එහි දී සඳහන් කලේ ය.
"මහර බන්ධනාගාරයේ හටගත් කැරලිකාරී තත්ත්වයට ප්‍රබලම හේතුවක් වී ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ප්‍රධානියෙකු දින කිහිපයක පටන් රැඳවියන් අතර නොසන්සුන් මානසිකත්වයක් ගොඩ නැංවීම බව බුද්ධි අංශ විසින් අනාවරනය කරගෙන" ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන දෙසැම්බර් 3 දා බීබීසී සිංහල සේවයට පැවසීය. ආන්ඩුවට අවශ්‍ය ආකාරයට වරින්වර තානය මාරුකරමින් පොලීසිය දිගටම සිරකරුවන් මත වරද පැටවීමේ ව්‍යායාමයක යෙදී සිටී.
කොවිඩ් වසංගතය බන්ධනාගාර තුල පැතිරීම නිසා තම ජීවිත අවදානම ගැන බියට පත් රැඳවියන් ගේ උද්ඝෝෂන මීගමුව, වැලිකඩ සහ අඟුනකොලපැලැස්ස ඇතුලු තවත් බන්ධනාගාර තුල ද පැන නැගුනි.
මහර බන්ධනාගාරය තුල කරන ලද පීසීආර් පරීක්ෂන 1000 කින් රැඳවියන් 180 කට සහ නිලධාරීන් 06 දෙනෙකුට කොව්ඩ්-19 වෛරසය ආසාදානය වී ඇති බව ද තහවුරු වී තිබුනි. මෙම තොරතුරු රැඳවියන්ට දන ගැනීමට ලැබීමෙන් පසු ඔවුන් අතර "අප්‍රසාදයක් සහ වෛරසය ආසාදනය වීම ගැන භීතියක්" හට ගෙන තිබුන බව සාක්ෂි වලින් නිරීක්ෂනය වූ බව වාර්තාව සඳහන් කරයි.
කලහකාරී වූ රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් "කඳුලුගෑස් ගසා රබර් සහ ජීව උන්ඩ වලින් වෙඩි තැබූ" බව වාර්තාවේ සඳහන් වේ.
පුද්ගලික අමනාපකම් හේතු කොටගෙන කන්ඩායම් කීපයක් අතර එකිනෙකාට පහර දී ගැනීම් සිදු වූ අවස්ථාවේ රැඳවියන් අත "බන්ධනාගාර පරිශ්‍රයෙන් සොයාගත් ලී මුඟුරු, යකඩ පොලු, මන්න පිහි සහ කඩු" තිබී ඇති බව නිරීක්ෂනය වූ බවත් ඒවා විශාල තොගයක් ස්කෑන් යන්ත්‍රය තබා තිබෙන කාමරයෙහි ගොඩ ගසා තිබුන බවද එහි සඳහන් වේ. එහෙත් එම මුගුරු සහ ආවුද "බන්ධනාගාර පරිශ්‍රයට" පැමිනි ආකාරයක් ගැන වාර්තාව සඳහන් නොකරයි.
ගැටුම අවස්ථාවේ "බන්ධනාගාර නිලධාරීන් වරින් වර රැඳවියන් දෙසට වෙඩි තබා"ඇත. කෙසේ වුවද "බන්ධනාගාර රෝහලෙන් පැහැර ගත් බෙහෙත් පෙති අසාමාන්‍ය ලෙස පානය කිරීමෙන් කලහකාරීන්ට උත්තේජනයක් ලැබුනේ ද යන්න විශේෂඥ මතයක් තුලින් නිගමනය කල යුතු" බව වාර්තාවේ දැක්වේ.
පොලීසිය හා ඇමති විමල් වීරවංශ ඇතුලු ආන්ඩුවේ දේශපාලනඥයන් ඒ සම්බන්ධයෙන් කල ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා මනෝචිකිත්සක විද්‍යාලය නිකුත් කල ප්‍රකාශයක, “මෙම බෙහෙත් කිසිවක් ප්‍රචන්ඩ හෝ ආක්‍රමනශීලී ක්‍රියාවලට වගකිවයුතු නැති බවත් ඇත්ත වසයෙන් ම ඒවායින් සිදු වන්නේ සන්සුන්කම ප්‍රවර්ධනය කිරීම සහ තරමක නිදිබර ගතියක් ඇතිවීම” බව සඳහන් වේ.
පසුදින ද උද්ඝෝෂනය ආරම්භ කෙරුන අතර එදින උදෑසන අකුලන දොරටුව අසලට පැමිනි රැඳවියන් ජල සැපයුම අඩාල වී පැවති නිසා වතුර ඉල්ලා කෑ ගසා ඇත. "එම අවස්ථාවේ ද නිලධාරීන් විසින් කලහකාරී පිරිස පාලනය කිරීම සඳහා වෙඩිතබා ඇතැ" යි වාර්තාව පවසයි.
"බන්ධනාගාර තුල පැවති තදබදය හා උන රෝගය පැතිරී තිබීම නිසාත් ඇති වූ ජීවිත අවදානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවයට පත්ව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂනය කරන්නට පටන් ගැනීම සාධාරන උද්ඝෝෂනයක්" බව කමිටු වාර්තාව අවධාරනය කරයි.
මහර ඝාතනය මෙම වසරේ බන්ධනාගාර තුල සිදු වූ දෙවන මනුෂ්‍ය ඝාතනයයි. මාර්තු මාසයේ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ විරෝධතාවයකට වෙඩි තැබීම නිසා දෙදෙනෙකු මරනයට පත්වූහ. සිරකරුවන් ඝාතනය කිරීම සහ ඒවා යුක්තිසහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාලක පන්තියට හා ආරක්ෂක හමුදාවලට ඇත්තේ කුප්‍රකට වාර්තාවකි.
බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දී දෙමල සිරකරුවන් දුසිම් ගනනක් බන්ධනාගාර තුල ඝාතනය කෙරුනි. 2012 වැලිකඩ බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක දී ඇති වූ ගැටුමක් උපයෝගී කරගනිමින් ආරක්ෂක හමුදා විසින් රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කෙරුනි.
ආන්ඩුවෙන් පත්කරන ලද කමිටුවේ වාර්තාවට අනුව රැඳවියන්ගේ උද්ඝෝෂනය සාධාරන ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඇතිවූවකි. උද්ඝෝෂනයට රැඳවියන් 1000 කට වැඩි පිරිසක් සහභාගී වී තිබේ. ඔවුන්ගේ මූලික ඉල්ලීම් මෙසේ විය: අධිකරනයෙන් ඇප ලබා දී ඇති නමුත් නිදහස් කිරීම ප්‍රමාද වී ඇති සියලු රැඳවියන් වහා නිදහස් කිරීම, සියලුම රැඳවියන් පීසීආර් පරීක්ෂනයට යොමු කිරීම, කොවිඩ්-19 රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කිරීම සහ අනුභවයට සුදුසු ආහාර ලබාදීම.
එලෙස ඇප නියම කර තිබියදීත් බන්ධනාගාරයෙන් නිදහස් කිරීම ප්‍රමාද කල අයෙකු වන මිනුවන්ගොඩ නිල්පනාගොඩ පදිංචිව සිටි අතුල කුමාර වෙඩි ප්‍රහාරවලින් මියගිය එක් රැඳවියෙකි.
සිද්ධිය වනවිට මහර බන්ධනාගාරයේ සිටි සිරකරුවන් සංඛ්‍යාව 2782 කි. එය එහි රැඳවිය හැකි සංඛ්‍යාව මෙන් තුන් ගුනයකි. ඊට අමතරව කොලඹ වැලිකඩ සහ නුවර බන්ධනාගාරවලින් මාරුකරන ලද සිරකරුවන් පිරිසක් ද එහි සිටියහ. බන්ධනාගාර තුල රඳවා ගැනීමේ ධාරිතාවය ඉක්මවායාමට හේතුව ලෙස රජයේ රසපරීක්ෂකගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධ වගකීමෙන් තම ආන්ඩුව නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කලේ ය.
තදබදය, ජලය සහ වැසිකිලි ඇතුලු සෞඛ්‍ය පහසුකම් ප්‍රමානවත් නොවීම, කෑමට නුසුදුසු ආහාර, ඥාතීන් සහ නීතිඥයන් සමග සම්බන්ධකම් පැවැත්වීමට පවතින අපහසුතා ඇතුලු අතිශයින් ම ඛේදජනක තත්වයක් බන්ධනාගාර තුල පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය මෑත දී නිකුත් කල වාර්තාවක දැක්වේ.
ඉඩකඩ ප්‍රශ්නය කෙතෙක් ද යත්, රැඳවියන් ට හිටගෙන සිටීමට සහ මාරුවෙන් මාරුවට නිදා ගැනීමට සිදුවන බවත්, ප්‍රමානවත් වැසිකිලි පහසුකම් නැතිකම නිසා රාත්‍රියේ රැඳවුම් කාමරවලට අගුලු දැමූවිට බාල්දි හෝ පොලිතින් බෑග් වලට මල පහ කිරීමට සිදුවන බව ද මෙම අධ්‍යනයෙන් හෙලිදරව් කෙරී ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තොරතුරු වලට අනුව බන්ධනාගාර තුල රඳවා ගත හැකි ධාරිතාවය පුද්ගලයින් 11,762 නමුත් පසුගිය වසරේ දෙසැම්බර් වන විට මුලු රැඳවියන් සංඛ්‍යාව 33,472 ක් විය. එය සියයට 184.6 කින් ධාරිතාවය ඉක්මවා යාමකි. ඔවුන්ගෙන් බහුතරයක් එනම් සියයට 62.4 ක් ධනේශ්වර සමාජ අර්බුදයේ ප්‍රතිවිපාකයක් ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුනයෝය. මෙම දුෂ්කර කොන්දේසි සහ ආන්ඩුවේ නොතැකීම නිසා මේ වනවිට 3000 කට වැඩි රැඳවියන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වී ඇත.
බන්ධනාගාර තදබදයට විසඳුම් ලෙස යෝජනා කෙරී ඇත්තේ බන්ධනාගාර පද්ධතිය “නවීකරනය” කිරීම සහ කොලඹ, නුවර, ත්‍රිකුනාමලය සහ මහර බන්ධනාගාර වෙනත් ස්ථානයන්ට ගෙනයාමය. මහර සිද්ධියෙන් පසුව මෙම වැඩපිලිවල කඩිනම් කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කෙරින. චීනය ඇතුලු විදේශීය රටවල අත්දැකීම් සහ තාක්ෂනික ක්‍රම උපයෝගී කරගනිමින් බන්ධනාගාර පද්ධතිය "නවීකරනය" කිරීමට කටයුතු කරන ලෙස කාර්ය සාධක බලකායට ඔහු නියෝග කලේ ය.
එහි මුඛ්‍ය අරමුන වන්නේ බන්ධනාගාර පද්ධතියේ ධාරිතාවය පුලුල් කිරීම සහ රැඳවියන් මත ග්‍රහනය දැඩි කිරීමය. නුදුරු අනාගතයේ බන්ධනාගාර පිරී යනු ඇත්තේ රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්, විශේෂයෙන් ම, තම ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් ගෙනි.
රැඳවියන් විසින් දෙන ලද බලගතු සාක්ෂි සහ ම්ලේච්ඡ ප්‍රහාරය කෙරෙහි මහජනයා අතර පැතිර පවතින අප්‍රසාදය හා කෝපය නිසා, මහර සිද්ධියේ විමර්ශන කමිටුවට ඉහත නිගමනයක් කරා එලඹීමට බල කෙරී ඇතත් මෙම ඊනියා පරීක්ෂනවලින් මරනයට පත් හා තුවාල ලද රැඳවියන්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටු වෙතැයි සිතීම බරපතල මුලාවකි.
පොලීසිය, හමුදාව, අධිකරනය සහ බන්ධනාගාර යනු ධනේශ්වර රාජ්‍යයේ මර්දන උපකරනයෝ වෙති. ධනේශ්වර පන්ති පාලනයට එරෙහිව නැගී සිටින කම්කරු -පීඩිත ජනයා මර්දනය සඳහා ඒවා වඩ වඩා මුවහත් කෙරෙනු ඇත.