වැඩි වැටුප් ඉල්ලා ලංගම කම්කරුවන් ආරම්භ කල වර්ජනය සමිති නායකයන් මැදිහත්වී නතර කරයි

නන්දන නන්නෙත්ති සහ රත්නසිරි මලලගම විසිනි, 2018 සැප්තැම්බර් 8

වැඩි වැටුප් ඉල්ලා ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලයේ (ශ්‍රීලංගම) තංගල්ල ඩිපෝවේ කම්කරුවන් සැප්තැම්බර් 01 වන දා ආරම්භ කල වර්ජනය අම්බලන්තොට සහ ගාල්ල ඇතුලු දකුනු පලාතේ ඩිපෝ 11 ක් හරහා පැතිර ගිය අතර 3 දා රත්මලාන ඩිපෝවේ කම්කරුවෝ ද එයට එක් වූහ. තම නායකත්වයට පිටතින් පැන නැගුනු මෙම වර්ජනය දිවයිනේ අනෙක් ඩිපෝ වලට පැතිරයාම වැලැක්වීම සඳහා වහා මැදිහත් වූ සමිති නායකයෝ, සැප්තැම්බර් 04 දා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා සමග සාකච්ඡාවකට පැන ගනිමින්, ඔක්තෝබර් පලමුවෙනි දින සිට වැටුප් වැඩිවීම ලබා දෙන බවට ඇමතිවරයා එහිදී දුන්නේ යැයි කියන පොරොන්දුවක් වර්ජිත කම්කරුවන්ට ඉදිරිපත් කොට වර්ජනය නතර කර ගත්හ.

ඇල්පිටිය ඩිපෝව ඉදිරිපිට වාඩිලාගෙන සිටින කම්කරුවන්

මූලික වැටුප රුපියල් 27,500 දක්වා වැඩි කිරීම, අර්ථසාධක අරමුදලේ හිඟය පියවීම හා දැනට ලැබෙන රුපියල් 10,000 ක දීමනාව වැටුපට එකතු කිරීම යන ඉල්ලීම්වලට ඇමතිවරයා එකඟ වූ බව නායකයන් කම්කරුවන්ට පවසා ඇත.

ලංගම රියැදුරු, කොන්දොස්තර, කාර්මික ශිල්පී හා ලිපිකරු යන සියලු ක්ෂේත්‍ර වලට දැනට ලැබෙන මූලික වැටුප රුපියල් 11,750 කි. 2006 අංක 03 සහ 2016 අංක 02 යන චක්‍ර ලේඛ මගින් නිර්දේශ කර ඇති වැටුප් මට්ටම මේ දක්වාත් නො ගෙවූ නමුත් වෘත්තීය සමිති එය නිහඬවම පිලි ගෙන සිටිය හ. 2010 වසරේ සිට අර්ථසාධක අරමුදල් ගෙවා නොමැත.

රුපියල් 1000 ක් වන දෛනික වැටුපකට කොන්ත්‍රාත් පදනමේ සේවයේ නිරත කර සිටින කම්කරුවෝ මාස හයකට වරක් සේවය අලුත් කිරීමට මුහුන දෙති. එම කම්කරුවන්ට ස්ථිර පත්විම් ලබා දෙන ලෙස වර්ජිත කම්කරුවන් ඉල්ලා සිටි නමුත් “ඇබෑර්තු ඇති වුවහොත්“ එම කම්කරුවන් ස්ථිර කරන බවට ඇමති සමග එකඟතාවයකට පැමිනි සමිති නායකයන් එම කම්කරුවන් තව දුරටත් ඕනෑ ම වෙලාවක දොට්ට දැමීමේ කොන්දේසියට යටත්ව තබා ඇත.

කෙසේ නමුත්, ආන්ඩුව ඉහත පොරොන්දු කඩ කලහොත් අඛන්ඩ, දිප ව්‍යාප්ත වර්ජනයක් දියත් කිරීමට කම්කරුවෝ සූදානම්ව සිටිති.

කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් හා ඒවායේ මෙහෙයවීමකින් තොරව අරගලයට පිවිසියත් ලංගම සභාපති සමග 3 දා ගාල්ලේ පැවති සාකච්ඡාවට ලංගම වෘත්තීය සමිති සියල්ලේ ම නායකයන් සහභාගි වී ඇත. මාසයක් ඇතුලත ඉල්ලිම් ලබා ගැනීම කම්කරුවන්ගේ අරමුන වුවත් එහිදී වෘත්තීය සමිතිවල අරමුන වූයේ, ආන්ඩුවේ යෝජනාව වූ, මේ වසර අවසාන වන තෙක් එය කල් දැමීම ය.

මෙම සාකච්ඡාවට සවන් දීමේ අවස්ථාව ලද කම්කරුවන් ලෝක සමාජවාදි වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කියා සිටියේ තමන්ගේ ම දෑසින් දුටු දේ අනුව සමිති නායකයන් කම්කරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි විශ්වාස කල නො හැකි බව ය.

“ප්‍රධාන සමිති නායකයෝ හත් අට දෙනා ම ලංගම සභාපති ඉස්සරහ ඇඹරිච්ච ඇඹරිල්ල කොහොමද කියනව නම් එවුන් එලියට අරං පොට ඇරියෙ අපි. කොල්ලො ටික කට්ටියට (සමිති නායකයන්ට) යන්න නො දී හිර කර ගත්තා. එහෙම කරල තමයි පහුවෙනිද දවල් 12 වෙන කොට විසඳුමක් නුදුන්නොත් මුලු ලංකාව ම බස්සනව කියල පොරොන්දු කර ගත්තේ“ යැයි කොන්දොස්තරවරයෙකු වන අතුකෝරල කිවේ ය.

ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ, එසේ කලේ ඇයි ද යි කම්කරුවන් ප්‍රශ්න කල විට, “මේක යන විදියට මට ඒක නො කර බැරි උනා”යි පිලිතුරු දී ඇත. ඔක්තෝබර් 01 දා සිට වැටුප් වැඩිවීම ලබා නොදුනහොත් “ලංකාවම බස්සවන“ බවට කම්කරුවන්ට පොරොන්දු දී ගැලවී ගිය ලියනගේ “අද” පුවත්පතට පවසා ඇත්තේ වසර අවසන් වීමට පෙර වැටුප් ඉහල දමන බවයි.

කිසිදු සංවිධානයක් තමන්ට සහයෝගය නො දුන් බව කී කම්කරුවෝ රූපවාහිනී හා පුවත්පත් තම අරගලය වාර්තා නො කිරීම ගැන විශේෂයෙන් ම සඳහන් කලහ.

පුද්ගලික වරප්‍රසාද සඳහා සමිති නායකයන් රජය සහ හාම්පුතුන් වෙනුවෙන් සේවය කරන බව ද එය එම තත්වයට පත්වන හැම කෙනෙකුගේ ම ස්වභාවය වන බව ද අතුකෝරල කියා සිටියේ ය.

“දේශපාලන පක්ෂවල නායකයෝ තමයි සමිති නායකයෝ පත් කරන්නෙ, කම්කරුවො නෙවෙයි. ඒ නිසා ඔවුන් ඒ පක්ෂ වෙනුවෙන් වැඩ කරන්නේ“ යැයි තවත් කම්කරුවෙක් කීවේ ය. “සමාජවාදය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට මම සූදානම්. ඒත් ඊට සුදුසු පිරිසිදු නායකත්වයක් ඇහැට පෙනෙන මානයක නැතැ” යි එම කම්කරුවා තව දුරටත් සඳහන් කලේ ය.

වෘත්තිය සමිති නායකයන් පමනක් නොව වෘත්තීය සමිති ද මෙසේ පාලක පන්තියේ උපකරන බවට පත් වී ඇති තතු තුල තමා මුහුන දෙන ප්‍රශ්න වලට කම්කරුවන් මුහුන දෙන්නේ කෙසේ ද? යන ප්‍රශ්නය පිලිබඳව ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරුවන් සමග සාකච්ඡා කලහ.

කම්කරුවන් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙහෙය විය හැකි නව සටන්කාමී උපකරන වන කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලක් තුල ම ගොඩ නගා ගත යුතු බවත්, කම්කරුවන්ගේ ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කර ගන්නා සහ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා මගින් තීරන ගන්නා මෙම කමිටු රැකියා විරහිත තරුනයන්ගේ හා සෙසු පීඩිතයන්ගේ ද සහාය ගොනු කර ගත යුතු බවත් එහිදී සාකච්ඡා කෙරුනි.

මෙම කමිටු ඒකාබද්ධ කර ගනිමින් ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා වූ දේශපාලන අරගලයක් දියත් කිරීමෙන් තොරව කවර හෝ ඉල්ලීමක් සාක්ෂාත් කල නොහැකි බව එම සාච්ඡාවන්හි දී ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.

Share this article: