ශ්‍රී ලංකාවේ කප්පාදු වැඩසටහන් පුලුල් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අන කරයි
IMF demands deeper austerity measures in Sri Lanka
By Saman Gunadasa, 27 February 2013
අයවැය හිගය පියවා ගැනීමට ඩොලර් බිලියනයක අලුත් නයක් සදහා ආන්ඩුව කල ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද ඩොලර් බිලියනයක අලුත් නයක් සඳහා ආන්ඩුව කල ඉල්ලීම ප්රතික්ෂේපකර ඇත. ආන්ඩුව කම්කරු පන්තිය මත තව තවත් කප්පාදු පැටවිය යුතු යයි එය අවධාරනයකර ඇත.
ආන්ඩුවට ඇප දීම සදහා 2009 දී මූල්‍ය අරමුදල අනුමත කල ඩොලර් බිලියන 2.6ක නයේ අවසන් වාරිකය ලද වහා ම භාන්ඩාගාරය 2013 අයවැය හිඟය පියවා ගැනීමට ජනවාරි මාසයේ දී තවත් නයක් ඉල්ලා සිටියේ ය.
කෙසේවුව ද, පෙබරවාරි 13 දා මහ බැංකුව නිකුත් කල පුවත්පත් නිවේදනයක මෙසේ සඳහන් විය: "ජාමූඅ ඇගවුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවට කිසියම් ඍජු හෝ වක්‍ර අයවැය සහනයක් සැපයීම සලකාබැලිය නොහැකි තත්ත්වයක තමන් පසුවන බව ය."
එදින ම පැවති පුවත්පත් සාකච්ඡාවක දී මූල්‍ය අරමුදලේ සංචාරක දූත කන්ඩායමේ ප්‍රධානි ජෝන් නෙල්ම්ස් පැවසුවේ, කලින් පොරොන්දු වී තිබෙන පරිදි මේ වසරේ අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 5.8කට අඩුකරන ලෙස තමන් ආන්ඩුවෙන් ඉල්ලා ඇති බව යි. ආනයන ඉපැයීම් පහත වැටීම පිලිබඳව සහ දැන් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80ක්ව තිබෙන ආන්ඩුවේ නය අවම කිරීමේ අවශ්‍යතාව පිලිබඳව ඔහු අනතුරු ඇඟවී ය.
ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම)සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සීපීසී) පාඩු අවම කිරීම සඳහා ''ප්රතිසංස්කරන" ක්‍රියාත්මක කල යුතු යැයි නෙල්ම් විශේෂයෙන් ඉල්ලා සිටියේ ය. මෙහි අර්ථය, සහනාධාර අවම කිරීම, මිල ගනන් ඉහල දැමීම සහ පෞද්ගලීකරනය යි. බදු ආදායම් පුලුල් කල යුතු යැයි ද ඔහු තරයේ කියා සිටියේ ය.
ලන්ඩනයෙහි පල වන ෆිනෑන්ෂියැල් ටයිම්ස් පුවත්පත, ''සැබවින් සිදුවන්නේ කුමක් ද?" යන හිසින් පල කල විවරනයක පැහැදිලි කලේ, පසු ගිය වසරේ ආන්ඩුව ගෙන්වාගෙන ඇත්තේ ඩොලර් බිලියන 2ක විදේශීය ඍජු ආයෝජන ප්‍රමානයක් එනම් ඉලක්කයෙන් අඩක් පමනක් බව යි. ''අරමුදල්වල අවශ්‍යතාව තිබුනත්," ''ප්‍රධාන නොඑකඟතාවන් දෙකක් නිසා" සැලසුම් කල නය ගනුදෙනුව ''අවසන් වී නැති" බවක් පෙනේ.
මතභේදයේ පලමුවැන්න, ආන්ඩුව ''හුදෙක් ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා නො ව රාජ්‍ය මූල්‍ය ගැටලු විසඳීම සඳහා උදව්" ඉල්ලා සිටීම යි. දෙවැන්න, රටේ මුදල් අමාත්‍යාංශය "මුදල් ලබා ගැනීමට උත්සුකවූ" නමුත් ''මහ බැංකුව විකල්ප අරමුදල් මූලාශ්‍ර සෙවීමට යොමු වීම" යි.
විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු වන හර්ෂ ද සිල්වා කල අනතුරු ඇඟවීමක් පුවත්පත සඳහන් කලේ ය. ආන්ඩුවට තව දුරටත් "ආර්ථික ප්රතිසංස්කරන කඩින්කඩ" හඳුන්වාදිය නොහැකි බව නය ප්‍රතික්ෂේප කිරීමෙන් අදහස් වන බව ඔහු කියා සිටියේ ය. වෙනත් ලෙසකින් කිවහොත්, ආන්ඩුව දැන් කම්කරුවන්ගේ සහ දුගීන්ගේ සමාජ තත්ත්වයන්ට එල්ල කරන සිය ප්‍රහාරය වේගවත් කල යුතු ය.
''ආන්ඩුව අවශ්‍ය ප්රතිසංස්කරන පිලිබඳව එකඟ වී තිබෙන" නමුත් ඒවා ''ක්‍රියාත්මක කරන්නේ තමන් කැමති ආකාරයට බව" නෙල්ම්ස් පැවසී ය. කම්කරු පන්ති අරගල අවහිර කිරීමට වෘත්තීය සමිති ආන්ඩුවට උදව් වී ඇති නමුත් සමාජ පිපිරීමක් ඇතිවිය හැකි ය යන්න ආන්ඩුවේ ප්‍රධාන උත්සුකය වී ඇත. කෙසේ වුව ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආන්ඩුවේ ''වේගය" පිලිබඳ තම නොසතුට පැහැදිලිව ප්‍රකාශකර ඇත.
ආන්ඩුව බරපතල මූල්‍ය අර්බුදයකට මුහුන දී සිටී. බිස්නස් ටයිම්ස් පුවත්පත සති අන්තයේ ලියුවේ, "භාන්ඩාගාරය ආන්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමේ බලවත් පරිශ්රමයක යෙදී සිටින" බව යි. එය විදුලි සංදේශ නියාමන අධිකාරියෙන් රුපියල් බිලියන 8ක් (ඩො. මිලියන 6.3ක්) සහ ජාතික ලොතරැයි මන්ඩලයෙන් රුපියල් මිලියන 800ක් නයට ගෙන ඇත.
ජාමූඅ නය ප්රතික්ෂේපකර යන්තම් දින 10ක් ගත වූ තැන, ඛනිජ තෙල් ඇමති අනුර ප්‍රියදර්ශන යාපා තවත් පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමක් නිවේදනය කර ඒවායේ මිල ගනන් වාර්තාගත මට්ටම්වලට නැංවී ය. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 162 දක්වා සියයට 1.9කින් සහ ඩීසල් ලිටරයක මිල රුපියල් 121 දක්වා සියයට 5.2කින් ඉහල ගියේ ය. උදුන් තෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහල ගියේ ය. පසු ගිය දෙසැම්බරයේ ආන්ඩුව පෙට්‍රල් මිල රුපියල් 10කින් වැඩි කලේ, ධීවරයන් අතර විශාල විරෝධතා පැනනංවමින් පසු ගිය පෙබරවාරියේ දී පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ගනන් සියයට 31කින් ඉහල දමා තිබිය දී ය. විදුලි බල ගාස්තු සියයට 25කින් වැඩි කරන බවට ද ආන්ඩුව අනතුරු ඇඟවී ය.
ආන්ඩුව නිදහසට කියා සිටියේ, සීපීසීය 2012 දී රුපියල් බිලියන 160ක් පාඩු ලබා ඇති බවත් ලංවිම මේ වසරේ රුපියල් බිලියන 90ක් පාඩු ලබනු ඇති බවත් ය. මිල ඉහල දැමීමෙන් පියවෙන්නේ පාඩුවෙන් කොටසක් පමනකැයි ඇමතිවරයා පැවසීමෙන් ඇඟවෙන්නේ ඉදිරියේ දී තවත් මිල වැඩිකිරීම් සිදුවන බව යි.
සන්ඩේ ටයිම්ස් ආර්ථික විද්‍යා ලේඛකයාට අනුව, නය සඳහා ගෙවන පොලිය රුපියල් බිලියන 1,154ක් නොහොත් මේ වසරේ ඇස්තමේන්තුගත අයවැය ආදායමෙන් සියයට 90කට වඩා වැඩිවනු ඇත. ආන්ඩුවේ සැබෑ සමස්ත නය ප්‍රමානය හෙලිදරව් කිරීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුත්, සමහර තක්සේරුවලට අනුව එය ඩො. බිලියන 28ක් තරම් ඉහල අගයක් වනු ඇත.
2012 අග වනවිට ඩොලර් බිලියන 6.8ක විදේශ විනිමය සංචිත සහිතව ශ්‍රී ලංකාව සතුටුදායක තත්ත්වයක පසුවන බව මහ බැංකුව ප්‍රකාශකර ඇතත්, මෙම සංචිත වලින් වැඩි කොටස සමන්විත වන්නේ නය වලිනි. සන්ඩේ ටයිම්ස් ලේඛකයා මෙසේ ලියයි: ''ඇතැම් විට ශුද්ධ සංචිත ප්‍රමානය මීට වඩා අඩුවිය හැකි ය, ඩොලර් බිලියන 3කට ආසන්න විය හැකි ය, එය අවදානම් සහගත සංචිත අගයකි." බැංකුවේ විදේශ විනිමය සංචිත, ''වර්තමානයෙහි බැංකුව ඉටුකිරීමට බාරගෙන තිබෙන කර්තව්‍යයන් සපුරාලීම සඳහා ප්‍රමානවත් නොවීමට බෙහෙවින් ඉඩ ඇත."
2012 දී, අපනයන ආදායම ඩොලර් බිලියන 9.7 දක්වා සියයට 7.4කින් පහත වැටින. ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙලඳ පොලවල් වන එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය තුල ඇතිවූ ආර්ථික පසුබෑම් නිසා, ඇඟලුම් සහ තේ අපනයන අනුපිලිවෙලින් සියයට 4.8කින් සහ සියයට 5.3කින් පහත වැටින.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, බදු ආදායම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.5ටත් වඩා පහත වැටී ඇත, එය "කලාපය තුල පෙන්වන පහල ම සංඛ්‍යාවකි." ආන්ඩුව ව්‍යාපාරික බදු අඩු කරමින් සිටී, දැන් සියයට 28ක උපරිමයක් දක්වා බදු අනුපාතය පහත හෙලා ඇත. මහා ව්‍යාපාරික ආයෝජකයෝ ද දැවැන්ත බදු විරාමයන් හා වඩා අඩු මට්ටමේ බදු අනුපාතිකයන් භුක්ති විඳිති.
අනෙක් අතට, භාන්ඩ සහ සේවාවන් මත පැනවෙන බදු අඛන්ඩව ඉහල යයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (යූඑන්ඩීපී) සහ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සම්පාදනය කල 2012 ශ්‍රී ලංකා මානව සංවර්ධන වාර්තාවට අනුව, බදු ආදායමෙන් සියයට 80කට වැඩි කොටසක් සපුරා ගැනීම සඳහා රට වක්‍ර බදු කෙරෙහි විශ්වාසය තැබීම නිසා, බදු බර දුප්පතුන්ගේ කර මතට වැටී ඇත."
ආන්ඩුව ගෙන ඇති පියවර හේතු කොට ගෙන ජීවන වියදම පිම්මේ ඉහල යයි. සාමාන්‍ය ජනතාව කෙරෙහි ඇති වන බලපෑම අඩුවෙන් පෙන්වන වාර්ෂික නිල උද්ධමන අනුපාතිකය වුවත් ජනවාරියේ දී සියයට 9.8 දක්වා ඉහල ගියේ ය. උද්ධමන අනුපාතිකය ඉලක්කම් දෙකේ සංඛ්‍යා කරා ලඟා වී ඇතැයි මූල්‍ය අරමුදල පැවසීය.
අයවැය හිඟය කපා හැරීම සදහා පෞද්ගලීකරනය ද වෙනත් "ප්රතිසංස්කරන" වේගවත් කිරීම හා බදු ආදායම් ඉහල නැංවීම යන මූල්‍ය අරමුදල නියම කර තිබෙන ප්‍රතිකර්ම නිසා රැකියා, සේවා තත්ත්වයන්, විශ්‍රාම සහන හා මූලික සමාජ අයිතීන් කෙරෙහි විනාශකාරී ප්‍රති විපාක ගෙන එනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය හා යුරෝපා මහ බැංකුව සමග එක්ව වැටුප්, සුභසාධන හා සමාජ වියදම් සම්බන්ධ උග්‍ර කප්පාදු අනකර තිබෙන ග්‍රීසියෙන් අනතුරු ඇඟවීම උකහා ගත යුතු ය. එහි ප්‍රතිඵලයක් ලෙස, නිල විරැකියාව සියයට 27කි, තරුන කම්කරුවන් අතර විරැකියාව සියයට 62කි, ජනගහනයෙන් තුනෙන් පංගුවක් දරිද්‍රතාවෙහි දිවි ගෙවති.
වැඩකරන ජනතාව සහ දුගීන් දැනටමත් හිඟමනට වැටී සිටින ශ්‍රී ලංකාවේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පියවර මගින් උග්‍ර සාමාජීය ප්‍රතිවිපාක ගෙන එනු ඇත.
Follow us on