වොෂින්ටනය මධ්‍යම ඇමෙරිකාවේ හා මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය යුද්ධය දියත් කරයි

Washington pushes drug war in Mexico, Central America

By Bill Van Auken, 29 February 2012

ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී යොදාගත් ලේ වැකි කැරලි මර්දන විධික්‍රමයන් ම මෙක්සිකෝවේ දී හා මධ්‍යම ඇමෙරිකාවේ දී යොදා ගැනීමට සූදානම් බව ස්වදේශ ආරක්ෂක [ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට එරෙහි ප්‍රාන්ත රාජ්‍යයන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක පරිශ්‍රමයන් ඒකාබද්ධ කරන එක්සත් ජනපදයේ ආරක්ෂක මධ්‍යස්ථානය] ලේකම් ජැනට් නැපොලිටා‍නෝ මෙම සතියේදී ඇඟවුම් කලේ ය.

ඊනියා "මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” උත්සන්න කිරීම සිය මූලික අරමුන කර ගනිමින් නැපොලිටානෝ මෙක්සිකෝව හා මධ්‍යම ඇමෙරිකාව හරහා ජාතීන් පහක් ආවරනය වන පරිදි තෙදින සංචාරයක නිරත වෙමින් සිටී. පෙන්ටගනය හා දේශීය ආරක්ෂක බලකායන් අතර සබඳතා තර කර ගැනීමටත් කලාපයේ සිය අධිකාරිය ආරක්ෂකා කර ගැනීමටත් වොෂින්ටනය මෙයින් වෑයම් කරයි.

සඳුදා මෙක්සිකෝවේ දී පැවැති පුවත්පත් සාකච්ඡාවක දී නැපොලිටානෝ හා ඇගේ මෙක්සිකානු සහචරයා වන ස්වදේශ කටයුතු ඇමති ඇලෙජැන්ඩ්‍රෝ පොයිර් දේශසීමා ආරක්ෂාව පිලිබඳ ගිවිසුම් මාලාවක් අත්සන් කිරීම පිලිබඳව නිවේදනය කලෝය. "ජාත්‍යන්තර ත්‍රස්තවාදය” මෙක්සිකෝව තුලට වැද්ද නොගැනීම පිනිස සහයෝගිතාව ශක්තිමත් කරගැනීමේ ක්‍රමෝපායන් පිලිබඳ ඔවුන් දෙදෙනා විසින් සාකච්ඡා කල බව පොයිර් සඳහන් ක‍ෙල් ය.

මෙක්සිකෝවේ වඩාත් අත්‍යවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා බලගතු සිනලෝ කාටලයේ නායකයාද වන ජෝකින් ගුස්මාන් අල්ලා ගැනීමට එක්සත් ජනපද හෝ මෙක්සිකානු අධිකාරීන් අසමත් වීම ගැන මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට ප්‍රතිචාර වසයෙන් නැපොලිටානෝ, ගුස්මාන් හා පසුගිය මැයි මාසයේ පාකිස්තානයේ දී එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් භටයින් විසින් ඝාතනය කරන ලද ඔසාමා බින් ලාඩන් අතර හෙලිදරව්කාරී සන්සන්දනය කිරීමක් සිදු කලාය.

"හොඳයි, ඔසාමා බින් ලාඩ්න් සොයා ගැනීමට වසර 10ක් ගත වූ බවත් අපි ඔහුව සොයා ගත් බවත් කියන්න මට ඉඩ දෙන්න,” ස්වදේශ ආරක්ෂක ලේකම් කීවාය. "එහි දී සිදු වූ දේ ඔබ දන්නවා. ඒ දේම ගුස්මාන් සම්බන්ධයෙන් සිදු වේවි කියලා මම කියන්නේ නෑ. ඒත් අපගේ රටවල් දෙකට වින කටින වුන් හා අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පටන් ගත් විට අප ඉතා දැඩි බව මම කියන්න කැමැතියි. ඒ කියන්නේ එම ප්‍රශ්නය දිගටම තියෙනවා කියන එකයි. ඒ පිලිබඳව මම දැනට එතැනින් නතර වෙනවා.”

මෙම ප්‍රකාශය ඇඟවුම් කරන්නේ-- හා මෙක්සිකෝව සම්බන්ධයෙන් පුලුල්ව ගත් විට එහි අර්ථය වන්නේ-- මෙක්සිකානු භූමියෙන් එහි පුරවැසියෙක් "පිටතට ඇද ගෙන යාමේ” අයිතිය එක්සත් ජනපදයට තිබෙන බවයි. බින් ලාඩන් සිදුවීමේදී මෙන් ම, එක්සත් ජනපද හා මෙක්සිකානු යන සංස්ථාපිතයන් දෙකම වඩාත් ම කැමැති වනු ඇත්තේ පොදුවේ "එල් චාපෝ” හෙවත් "මිට්ටා” නමින් හඳුන්වන ගුස්මාන් නඩුවකට ඉදිරිපත් කරනවාට වඩා ඝාතනය කර දැමීමට යි. ෆෝබ්ස්‍ සඟරාවේ ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ කොටස්කරුවෙක් වන ගුස්මාන් එක්සත් ජනපද-මෙක්සිකානු දේශසීමාවෙන් දෙපැත්තේ ම ආන්ඩුවේ හා මූල්‍ය තන්ත්‍රයේඉහලම නිලධාරීන් සමඟ ඔහුට ඇති සබඳතා පිලිබඳ වරද තහවුරු කරන සාක්ෂි හෙලි දරවු කරනු නිසැක ය.

වඩාත්ව පුලුල්ව කියතොත්, බින් ලාඩ්න් හා ගුස්මාන් අතර සාදෘශ්‍යයක් නැපොලිටිනෝ විසින් ඇඳීම පිලිබිඹු කරන්නේ කැරලි මර්දනයේ ප්‍රිස්මය හරහා මෙක්සිකෝව දෙස බලන එක්සත් ජනපදයේ පිලිවෙත යි. මීට වසර තුනකට ඉහත දී ඒකාබද්ධ මෙහෙයුම් තත්ත්වය නමින් හැඳින්වූ පෙන්ටගන් ලියවිල්ලක් විසින් මෙක්සිකෝව, "ඉක්මන් කඩා වැටීමකට” තර්ජන කරන "දුර්වල හා අසමත් රාජ්‍යයක්” වසයෙන් පාකිස්තානය සමඟ එකට සන්සන්දනය කිරීම මෙක්සිකෝව තුල ප්‍රචන්ඩත්වය අවුලුවාලී ය. දැන්, ඔබාමා පාලානාධිකාරියේ ඉහල නිලධාරි‍නියක විසින් ඇඟවුම් කරන්නේ, පාකිස්තානයේදී එක්සත් ජනපදය නීතිවිරෝධීව සිදුකරමින් පැවැති දේශසීමා හරහා ඝාතන ඒ අයුරින් ම මෙක්සිකෝවේදී ද යොදා ගනු ඇත යන්න යි.

පසුගිය වසරේදී, සීඅයිඒ ක්‍රියාකරුවන් හා "විශ්‍රාමික” මිලිටරි නිලධාරීන් මෙක්සිකෝවට පිටත් කර ඇර ඇති බවත් මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය යුද්ධය තවදුරටත් උත්සන්න කිරීමට පෞද්ගලික මිලිටරි කොන්ත්‍රාත්කරුවන් පිටත් කර හැරීමට ඔබාමා පාලානාධිකාරිය සලකා බලමින් සිටින බවත් අනාවරනය වී තිබේ. මෙම බින්න බැස්සවීම් මෙක්සිකෝවේ දී පුලුල්ව සලකනු ලබන්නේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ද එහි දක්ෂින අසල්වැසියා මත එක්සත් ජනපද අර්ධ-විජිත ආධිපත්‍යය තවදුරටත් දැඩි කිරීමක් ද වසයෙනි.

ඊනියා මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය,බලාපොරොත්තු වී යැයි කියනු ලැබූ එකදු ඉලක්කයක්වත් අත් කර ගැනීමට පැහැදිලිව ම අසමත් වීය යන චෝදනාවන් නිෂ්ප්‍රභ කිරීමට නැපොලිටානෝ ඇගේ සංචාරය යොදා ගත්තා ය. "මත්ද්‍රව්‍ය යුද්ධය අසමත් ය යන තර්කය සමඟ මම එකඟ වන්නේ නෑ,” ඇය කීවාය. "එය,අපගේ ජනතාව අන්තරායකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් වැලක්වීමට සිදුකරන අනවරත පරිශ්‍රමයකි.”

මෙම දෘෂ්ටියෙන් සැලකූ කල, මත්ද්‍රව්‍ය යුද්ධය පැහැදිලිව ම අසමත් එකකි. එක්සත් ජනපදය, එහි අතිශය දැඩි මත්ද්‍රව්‍ය නීති තිබියදීත්, නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිහරනය කරන ලෝකයේ ඕනෑම රටකට වඩා ඉහල අගයට අඛන්ඩව හිමිකම් කියයි. "ඇබ්බැහි වන” මිනිසුන් කෙරෙහි නැපොලිටානෝට තිබෙනවායැයි කියන කැක්කුම තිබියදීත්, පූර්ව පාලන තන්ත්‍ර ය‍ටතේ මෙන් ම ඔබාමා පාලානාධිකාරිය යටතේ ද මත්ද්‍රව්‍ය නිවාරනයට හා ප්‍රතිකාර වැඩපිලිවෙලවල්වල අරමුදල් යෙදවීම අඛන්ඩව අඩු කරමින් පවතී. මේ අතර එම අරමුදල්වලින් ද වැඩි ම කොටස ගලා යන්නේ, මිලීටරීකෘත මත්ද්‍රව්‍ය තහනම් කටයුතු හා අපරාධ නඩු පැවැරීම් වෙතට ය. මෙම අරමුන සඳහා ඩොලර් දස බිලියන ගනනක් වියදම් කරද්දී පවා නීති විරෝධී මත්ද්‍රව්‍ය සැපයුම පැහැදිලිව ම නොවෙනස්ව පවතී.

මෙක්සිකෝව සම්බන්ධයෙන් ගත් කල, මත්ද්‍රව්‍ය යුද්ධය නියෝජනය කරන්නේ ජාතික ව්‍යසනයකි. ජනාධිපති ෆැලිපේ කැල්ඩෙරොන්ගේ දක්ෂිනාංශික ආන්ඩුව නිලවසයෙන් මිලිටරීකෘත මත්ද්‍රව්‍ය යුද්ධයක් පිලිබඳ එක්සත් ජනපදය පිටුබලය දුන් මූ‍ලෝපාය සම්මත කරමින් 45,000ක් පමන මෙක්සිකානු භටයින් වීදිවලට දිගේලි කල 2006 වසරේ සිට, මෙම යුද්ධයේදී 50,000ක පමන මෙක්සිකානුවන් පිරිසකට ඔවුන්ගේ ජීවිත අහිමිව තිබේ.

මෙක්සිකානු මිලිටරිය එකදිගට සිදුකරන ලද වධ බන්ධන පැමිනවීම්, පැහැරගෙන යාම් හා නීතියට පිටතින් කල ඝාතන පිලිබඳව මානව හිමිකම් සංවිධාන චෝදනා එල්ල කර ඇත.

මෙම මිලිටරි මෙහෙයුමට වොෂිංටනය බිලියන 1.4ක මෙරිඩා ආරම්භකත්වය සමගින් පිටුබලය දී තිබේ. බ්ලැක් හ්වෝක් හෙලිකොප්ටර්, අනෙකුත් දෘඩාංග, යුද අවි හා මිලිටරි පුහුනුව මෙමගින් මෙක්සිකානු ආරක්ෂ අංශවලට සැපයුනි. පසුගිය වසරේදී එක්සත් ජනපදය, ඩොලර් මිලියන 180ක මිලිටරි හා පොලිස් ආධාර මෙක්සිකෝවට ලබා දුන්නේ ය.

අඟහරුවාදා නැපොලිටානෝ මෙක්සිකෝවේ සිට ග්වාතමාලාවටත් එතැනින් එල්සැල්වදෝර් වෙතත් පියාසර කල අතර එහි සිට කොස්ටා රිකා හා පැනමා වෙත ගුවනින් යාමට නියමිත ය.

ග්වාතමාලාවේදී එරට මෑතකදී ධුරයේ වැඩභාරගත් ජනාධිපති ඔටෝ පැරෙස් විසින් ඉදිරිපත් කල යෝජනාවකට එරෙහිව ඇය සැරෙන් කතා කලා ය. පැරෙස් වනාහි ජීවිත ලක්ෂ ගනනක් බිලිගත් එක්සත් ජනපද-පිටුබලය දුන් කැරලි-මර්දන මෙහෙයුම්වලට සම්බන්ධ වූ හිටපු ජෙනරාල්වරයෙකි.

මෙක්සිකානු මත්ද්‍රව්‍ය කාටලයේ සාමාජික‍යෝ ඔවුන්ගේ මෙහෙයුම්වලින් සමහරක් විතැන් කර තිබෙන ග්වාතමාලාවේදී මුදුනට ම නැඟ ඇති ප්‍රචන්ඩ ක්‍රියා අවම කිරීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය අපරාධහරනය කිරීම පිලිබඳ කලාපය පුරා සාකච්ඡාවක් ගැනීමට පැරෙස් කැඳවුම් කලේ ය.

යෝජනාව "ශක්‍ය නොවේ”යැයි නැපොලිටානෝ එය හෙලා දැක්කා ය. "මත්ද්‍රව්‍ය ජාවාරම් පිලිබඳ ප්‍රශ්නය පරාජය කිරීමේ යහපත් ක්‍රම තිබේ”යැයි ඇය අවධාරනය කල අතර එක්සත් ජනපද-පිටුබලය ලබන "මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” දිගටම පවත්වා ගැනීමටත් එය උත්සන්න කිරීමත් ඇය එයින් අදහස් කලා ය.

ඔහුගේ පැත්තෙන් ගත් කල, තම යෝජනාව පැත්තකට දැමීම ජනාධිපති පැරෙස් ප්‍රතික්ෂේප කලේ ය. "අප යෝජනා කරමින් සිටින්නේ සංවාදයක් හා මෙම ආරම්භකත්වයට සැලකිල්ලක් දක්වන විවාදයක්. ඒ මන්ද යත්, වසර 25ක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙම අරගලය ගෙන යා‍මෙන් අනතුරුව වඩාත් ඵලදායී ක්‍රමයක් සොයා ගැනීම සඳහා සංවාදයකට මුල පිරීමට වැදගත්වන නිසා” යයි ඔහු සඳහන් කලේ ය.

එලෙසම පැරෙස් අවධාරනය කලේ, ඔහුගේ ආන්ඩුව "විශදත්වයකින් හා අධිෂ්ඨාන සහගතව” මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන දිගටම ගෙන යන බවයි. තවතවත් අවි හා ආධාර සඳහා වොෂිංටනයට පීඩනය යෙදීමේ උපායක් ලෙස හිටපු ජනරාල්වරයා සිය යෝජනාව යොදා ගන්නවා විය හැකිය. වොෂින්ටනය පසුගිය වසරේදී ග්වාතමාලාවට ඩොලර් මිලියන 16ක් මිලිටරි ආධාර ලෙස ලබා දී ඇති අතර එය මෙක්සිකෝවට ලබා දුන් ප්‍රමානයෙන් දහයෙන් පංගුවකටත් වඩා අඩු ය.

නැපොලිටානෝ ඇගේ මධ්‍යම ඇමෙරිකානු සංචාරයේ යෙදෙන අතර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලක මන්ඩලය නිකුත් කල වාර්තාවක් අනතුරු ඇඟවුයේ, කලාපය තුල ප්‍රචන්ඩත්වය "පෙර නූවූ විරූ අවදානම් මට්ටම්වලට” ලඟා වී ඇති බව යි. ජනඝාතන රේට්ටුව හොන්දුරාස්වල ජනගහනයෙන් 10,000ට 82ක් ද එල් සැල්වදෝර්හි 65ක් හා ග්වාතාමාලාවේ 40ක් බව වාර්තාව සඳහන් කලේ ය. සමස්ථ ලෝකය පුරාම ගත් කල එම රේට්ටුව 6.9කි.

"දරිද්‍රතාව, සමාජ අසමානතාව හා තරුනයින් සඳහා ආර්ථික අවස්ථාවන් නොමැතිකම මෙන් ම විගමනය කලාපය තුල මත්ද්‍රව්‍ය ජාවාරම ඒසා වර්ධනයට ඉඩ සලසා ඇති සාධක” බව එක්සත් ජාතින්ගේ වාර්තාව සඳහන් කලේය. මධ්‍යම ඇමෙරිකාවේ මිලියන 45ක් වන ජනගහනයෙන් සියයට 50කට වැඩි ප්‍රමානයක් දරිද්‍රතාවේ පසු වේ.

මෙකී මූලික අවධාරිත කොන්දේසීන් ධනවාදය හා ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් කලාපයේ ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ පවත්වා ගෙන යන අර්ධ-යටත් විජිත ආධිපත්‍යයේ කටුක උරුමය පිලිබඳ කර්කශ චෝදනා පත්‍රයකි. "මත්ද්‍රව්‍ය යුද්ධයේ” මූලික අරමුන වන්නේ, අර්ධ ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ ඉන්දු චීනයේ සිට මධ්‍යම ඇමෙරිකාව හා ඇෆ්ගනිස්ථානය දක්වා ජාත්‍යන්තරව දියත් කල එක්සත් ජනපද රහස් මෙහෙයුම් සඳහා අරමුදල් ප්‍රභවයක් වසයෙන් සේවය කර තිබෙන සහ එක්සත් ජනපද බැංකු වෙතට සැලකිය යුතු ලාභ උපයා දෙන බහු-බිලියන්-ඩොලර් ව්‍යාපාරයක් වන මත්ද්‍රව්‍ය එක්සත් ජනපදය වෙතට ගෙන ඒමට වැට බැඳීම නොවේ.

ඒ වෙනුවට එහි මූලික අරමුන වන්නේ, සමස්ථ අර්ධගෝලයේ කම්කරුවන්ගේ වියදමින් මිලිටරිමය ක්‍රමයන්ගෙන් එහි ආධිපත්‍යය පවත්වා ගැනීම යි.

Share this article: