වැඩි වැටුප් හා යහපත් සේවා කොන්දේසි ඉල්ලා තැපැල් කම්කරුවෝ වර්ජනයේ යෙදෙති

රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීමක් සහ නව සේවා ව්‍යවස්ථාවක් ඇතුලු ඉල්ලීම් 24 ක් මුල් කර ගනිමින් දිවයින පුරා තැපැල් සේවකයෝ ඊයේ (13 දා) සවස 4 සිට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා “සංකේත” වැඩ වර්ජනයක යෙදී සිටිති. 16,000 ක් පමන වන සමස්ත තැපැල් සේවකයන් වර්ජනයට සහභාගි වී සිටින අතර තැපැල් සේවය මුලුමනින්ම ඇනහිට පවතී.

තැපැල්, සේවක උද්ඝෝෂනය - මාර්තු 30 (ශ්‍රී ලංකා විදුලි සංදේශ සේවා සංගමය ෆේස්බුක් ගිනුමෙනි)

මෙම වර්ජනය, පිම්මේ ඉහල යන ජීවන වියදම හමුවේ වැටුප් කැටි කිරීමට සහ කොවිඩ්-19 වසංගතය මගින් වඩාත් දරුනු කෙරී ඇති රැකියා කොන්දේසිවලට එරෙහිව, ලංකාවේත් ජාත්‍යන්තරවත්, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කම්කරුවන් අතර වැඩෙන විරෝධතා සහ වැඩ වර්ජන රැල්ලේ කොටසකි.

ඉහත කොන්දේසි වලට එරෙහිව තැපැල් කම්කරුවන් අතර වර්ධනය වන පලල් විරුද්ධත්වය මධ්‍යයේ මෙම වර්ජනය කැඳවා ඇත්තේ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුන (තැවෘසපෙ) විසිනි. මෙම පෙරමුනට තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය (තැවිසෙස), තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (තැවිසනිස) ඇතුලු වෘත්තීය සමිති 23 ක් ඇතුලත් වෙයි.

තැපැල් කම්කරුවන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි සැලකිල්ලට ගතහොත්, ස්ථානාධිපති ශ්‍රේනියට අයත් නිලධාරීහු, හදිසි අවස්ථාවක දී හෝ නිවාඩුවක් ලබා ගැනීමට නො හැකි මට්ටමේ වැඩ කන්දරාවකට හා සේවක හිඟයකට මුහුන දී සිටිති. අඩු වැටුප් හේතුවෙන් මෙම නිලධාරින් සෑම විටම උත්සාහ ගන්නේ දිනකට අමතර පැය 4 ක පමන අතිකාල ද සමග පැය 12 ක සේවා කාලයක් ආවරනය කර මාසින ආදායම යම් මට්ටමකින් හෝ ඉහල දමා ගැනීමටයි.

කනිෂ්ඨ කාර්ය මන්ඩලයට අයත් අවශේෂ ශ්‍රේනිවලට හා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට අතිකාල ගෙවීමක් සිදු නොවේ. දැවැන්ත ජීවන වියදමට මුහුන දී සිටින ඔවුන්ට අමතර රැකියාවල නිරත වීමට බල කෙරී තිබේ.

තැපැල් සේවකයන් මත බරපතල ප්‍රහාරයක් එල්ල කරමින් 2012 දී පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ ඉදිරිපත් කල “සේවා ව්‍යවස්ථාව” මගින් තැපැල් කනිෂ්ට කාර්යය මන්ඩලයේ තනතුරු 18 ක් “තැපැල් සහායක” යන එක් තනතුරකට ලඝු කර, වැටුප් කප්පාදුවකට පදනම දැමී ය. 2015 දී බලයට පැමිනි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ඉහත ව්‍යවස්ථාවේ කප්පාදු ක්‍රියාවට දැමීමට එරෙහිව 2018 ජුනි මාසයේ දී දින 16 ක අඛන්ඩ වර්ජනයක තැපැල් කම්කරුවෝ නිරත වූහ.

විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 කිරීම තුලින්, රැකියාව ස්ථීර නොමැති ආදේශක කම්කරුවන් සේවයෙන් ඉවත්වීමේ තත්වයක් පවතින බව තැපැල් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට (ලෝසවෙඅ) පැවසූහ. රටපුරා ආදේශක තැපැල් සේවකයන් 3,000 ට ආසන්න සංඛ්යාවක් ප්රධාන තැපැල් කාර්යාලවලට අනුයුක්තව සේවයේ නිරත වී සිටිති.

ස්ථීර කනිෂ්ඨ සේවකයන් නිවාඩු වාර්තා කරන දිනවල රාජකාරී ආවරනය කිරීම ආදේශක සේවකයන් මගින් සිදු කෙරෙන අතර මාසයකට ඔවුන්ට වැඩ හිමිවන්නේ දින 10 ක් පමන කාලයකටයි. දෛනිකව රුපියල් 1,100 ක වැටුපක් ලබන මෙම ආදේශ සේවකයන් හට තම රැකියාව ස්ථීර කර ගත හැක්කේ ස්ථීර සේවකයන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි. ඒ සඳහා බොහෝ විට වසර ගනන් බලා සිටීමට සිදු වූ අතර විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 කිරීමෙන් ඒ කාලය තවත් දීර්ඝ වී තිබේ.

රාජපක්ෂ ආන්ඩුව පසුගිය දා ඉදිරිපත් කල අය-වැය යෝජනාවෙන් මෙම ප්‍රහාර තවත් වේගවත් කර ඇත. ගෝලීය වසංගතය මගින් ගැඹුරු කෙරෙන ලෝක ධනේශ්වර අර්බූදයේ කොටසක් ලෙස ලංකාවේ අපනයන ආදායම්වල සහ සංචාරක කර්මාන්තය වැනි විදේශ විනිමය ඉපයීම් මාර්ගවල කඩා වැටීම හේතුවෙන් ආන්ඩුවේ නය අර්බූදය වඩාත් උග්‍ර කෙරී පවතී.

විදේශ සංචිත හිඳී යාමට ප්‍රතිචාරී ලෙස ආනයන සීමා කිරීම හා පාරිභෝගික භාන්ඩ මත වක්‍ර බදු පැනවීම හේතුවෙන් අත්ත්‍යාවශ්‍ය භාන්ඩ මිල පිම්මේ ඉහල නංවා කම්කරු පීඩිත මහජනයාගේ ජීවන තත්වයන් කාබාසිනියා කිරීම වේගවත් කෙරී ඇත. ගැඹුරුවන මුල්‍ය අර්බූදය හමුවේ ආන්ඩුවේ එකම විකල්පය තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පියවර ක්‍රියාවට නගමින් අර්බූදයේ බර කම්කරු පන්තිය මත කඩාපාත් කිරීමයි.

අය-වැයට පෙර සිටම රාජ්‍ය සේවයේ නව ඉදි කිරීම්, බඳවා ගැනීම් නවතා දැමීම ඇතුලු වියදම් කප්පාදුවක් ක්‍රියාවට දැමූ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අය-වැයෙන් පසුව කියා සිටියේ “රාජ්‍ය සේවය රටට බරක්” හා “වසරක් යන තුරු” කිසිදු වැටුප් වැඩි කිරීමක් සිදු නො කරන බවයි.

රාජපක්ෂ ආන්ඩුව අනුයමින් සිටින්නේ රටක් රටක් පාසා ධනපති පාලක පන්තීන් විසින් ක්‍රියාවේ යොදවා ඇති, වසංගතය අවසන් කිරීම පසෙකලා මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරිකයන්ගේ සහ මූල්‍ය බැංකුකරුවන්ගේ ලාබ තර කිරීමේ පිලිවෙතයි. ඒ තත්වය තුල සෑම රටකම කම්කරු පන්තියේ හා පීඩිත ජන කොටස්වල බලගතු පන්ති සටන් පුපුරා ගොස් තිබේ.

පසුගිය අය-වැයෙන් වැටුප් වැඩි කරන බවට ආන්ඩුව දුන් පොරොන්දුව ඉටු නො කෙරුනු තතු යටතේ, රුපියල් 10,000 කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා පසුගිය 08 දා ප්‍රාදේශීය සභා, පලාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල සේවකයන් ලක්ෂ හයක් පමන අසනීප නිවාඩු වාර්තා කර සංකේත වර්ජනයක නිරත වූ අතර, නොවැම්බර් 29 සිට දෙසැම්බර් 06 දක්වා දහවල් කෑම පැයේ තම සේවා ස්ථාන ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ.

මීට අමතරව සෞඛ්‍යය අංශයේ සේවකයේ ද වැටුප් හා දීමනා ඉල්ලා අඛන්ඩව වර්ජනවලට අවතීර්න වී සිටිති. ඊට පෙර මාස තුනක් පුරා ලංකාවේ පාසල් ගුරුවරු අඛන්ඩ වර්ජනයක නිරත වූයේ ද ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට සරිලන වැටුපක් ඉල්ලා සිටිමිනි. වැඩෙන ආර්ථික අර්බුදය හමුවේ ආන්ඩුව පෞද්ගලීකරනය වේගවත් කර ඇති අතර, ඊට එරෙහිව වරාය හා විදුලිබල මන්ඩල කම්කරුවෝ අඛන්ඩව අරගලයෙහි යෙදී සිටිති.

මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ, රාජපක්ෂ ආන්ඩුවට හා සමස්ත ධනේශ්වර ක්‍රමයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයකින් පමනක් වන අතර ඒ සඳහා සමස්ත කම්කරු පංතිය ඒකාබද්ධ කොට බලමුලු ගන්වා ගැනීම තවදුරටත් කල් දැමිය නොහැකි ලක්ෂ්‍යයකට පැමින ඇත. එවන් අරගලයකට මුලුමනින්ම සතුරු තැපැල් සමිති, අනෙකුත් ක්ෂේත්‍රයන්හි සමිති පරිද්දෙන්ම ආන්ඩුවේ ප්‍රහාරවලට කම්කරු පංතිය යටත් කර දීමේ උපකරන ලෙස විවෘතවම ක්‍රියා කරති. 2018 දී දින 16 ක් පුරා පැවති තැපැල් වර්ජනය, සමිති නිලධරය විසින් ආන්ඩුවේ බොරු පොරොන්දුවක් මත පාවාදුනි.

මෙවර වර්ජනයේදී ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුන තැපැල් කම්කරුවන් අතර බෙදාහැර ඇති පත්‍රිකාවෙන්, ඔවුන් පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන් ද යන්න වඩාත් විශදව ඉදිරිපත්කොට තිබේ. ධනපති රාජ්‍යය සහ ආන්ඩුව මුහුනදී ඇති ගැඹුරු ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉමහත් කනස්සල්ලට පත්වන නිලධරය මෙසේ කියයි: “විශේෂයෙන්ම ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතය හමුවේ ලෝකයේ ආර්ථිකය බිඳවැටෙමින් පවතින තත්ත්වයක එම තත්ත්වයට මුහුනදීමට අප ශක්තිමත්ව කටයුතු කල යුතු අවස්ථාවක ආයතනයේ ආදායම් ලබන යම් යම් අංශ බිඳ වැටීමට කටයුතු කරමින් සිටීම ඉතා කනගාටුදායක තත්වයක් බව පෙන්වා දෙමු.”

රාජ්‍ය ආදායම් “බිඳ වැටීමට” ඉඩ නොදෙනුවස්, “අප ශක්තිමත්ව කටයුතු කල යුතු”යැයි සමිති නිලධරය කම්කරුවන්ට කියන විට, එහි යතා අර්ථය වනුයේ, ධනපති අර්බුදය වෙනුවෙන් කම්කරුවන් “කැපවිය යුතු” බවයි. මෙය වනාහි, රාජපක්ෂ ආන්ඩුව උදේ හවා ජප කරන මන්තරයමයි.

තැපැල් සමිති ද ඉටු කරමින් සිටින්නේ, “ආන්ඩුව මුහුන දී සිටින අර්බුදය සලකා”ගුරු වැටුප් ඉල්ලීම තුනෙන් පංගුවකට කප්පාදුකල ගුරු සංගම් සහ මූලික වැටුපෙන් සියයට 78 ක් ලෙස සෞඛ්‍ය කම්කරුවන් ඉල්ලා සිටි වසංගත දීමනාව රුපියල් 7500 කට කප්පාදු කල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමිතිවල ප්‍රතිගාමී භූමිකාවමයි.

ලෝසවෙඅ සමග අදහස් දැක් වූ තැපැල් සේවකයන් කියා සිටියේ මෙම වර්ජනය මගින් තම ඉල්ලීම් ලැබෙතැයි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. ධනපති ක්‍රමයට තදින්ම බද්ධ වී සිටින වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී ක්‍රියාකලාපය ජාත්‍යන්තර ප්‍රවනතාවයක් බව පෙන්වා දුන් ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් යටතේ සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් ඉදිරියට ගෙන යෑම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවය පිලිබඳව සාකච්ඡා කලහ.

හලාවත ප්‍රදේශයේ තැපැල් ස්ථානාධිපතිවරයෙක් මෙසේ ප්‍රකාශ කලේ ය: “පසුගිය 08 දා රාජ්‍ය සේවකයන් ගෙන ගිය සංකේත වර්ජනයට තැපැල් වෘත්තීය සමිති බොහෝමයක් සම්බන්ධ වුනේ නෑ. සෑම අංශයකම කම්කරුවන්ට ජීවත් වෙන්න බැරි කොන්දේසි වර්ධනය වෙද්දී අපි සටන් වැදිය යුත්තේ කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් පෙරට ගැනීමටයි”.

තැපැල් පොත් බැඳුම්කරුවෙකු ලෙස සේවය කරන කම්කරුවෙක් ලෝසවෙඅ සමග අදහස් දක්වමින් කියා සිටියේ වසර 30 ක සේවා කාලයක් හිමි ඔහුගේ මූලික වැටුප රුපියල් 37,000 ක් තරම් සොච්චමක් බවයි. වෙනත් දීමනා සමග ඔහුගේ මුලු වැටුප රුපියල් 41,000 කි. නය වාරිකවලට රුපියල් 5,000 ක් පමන වැටුපෙන් කපා හැරේ. අතිකාල ගෙවීමක් නො මැති ඔහුගේ වාර්ෂික වැටුප් වැඩිවීම රුපියල් 145 කි. “ගෑස් 1,300 න් වැඩි වුනා. එලවලු මිල අධිකයි. දරුවෝ දෙන්නගේ පන්තිවලට රුපියල් 10,000 ක් විතර වැය වෙනවා. ජීවත් වෙන එක හරිම අමාරුයි. ආන්ඩුවත්, විපක්ෂයේ අනෙකුත් පක්ෂයත් මට එපා වෙලා තියෙන්නේ” යයි පැවසීය.

වසර 10 ක සේවා කාලයක් ඇති උප තැපැල් ස්ථානාධිපතිවරයෙක් කියා සිටියේ තම මුලු වැටුප රුපියල් 39,000 ක් බවයි. “මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. වැටුපෙන් ජීවත් විය නො හැකි නිසා පසුගිය මාස කිහිපයේ මම රාත්‍රී 11 වෙනකන් අමතර රැකියාවක නිරත වුනා. අපිට වැටුප් වැඩිවිය යුතුමයි. නමුත් මේ විදිහේ හුදකලා සටන් මගින් හා මේ ආන්ඩුවට බලපෑම් දමලා මේ ප්‍රශ්න ජය ගන්න බෑ. ආන්ඩුවේ වැඩපිලිවෙල පරාජය කිරීමට සෑම අංශයකම කම්කරුවෝ තමන්ගේම ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් මත ඒකාබද්ධ විය යුතුයි.”