ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (එන්ටීයූසී), පෙබරවාරි 16 දා කොලඹ දී පැවැත්වූ නියෝජිත සමුලුවක් ඇමතූ, එහි සභාපති සහ ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ජවිපෙ වෘත්තීය සමිති, “ආන්ඩු කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක්” බවට “මුලුමනින්ම පෙරලිය යුතු” යැයි කියා සිටියේය.
තමන්ට ලැබුනු “ජනවරමට” අනුකූලව නොහැසිරෙන කොටස් වලට එරෙහිව අදාල පියවර ගැනීම සඳහා ජවිපෙ සමිති සාමාජිකත්වය “කැපවියයුතු” බව ඔහු ඒ සමගම පැවසීය. සරලව ම මෙහි තේරුම නම්, ආන්ඩුවට සහ එහි ක්‍රියාමාර්ගයට එරෙහිවීම ඔවුනට ලැබුනු බව කියන “ජනවරමට” එරෙහිවීමක් ලෙස හංවඩුගසා මැඩලිය යුතු බවය.
මෙය, ජවිපෙ වෘත්තීය සමිති නිලධරය හා එහි හෙංචයියන් කම්කරු පංතියට එරෙහි මුගුරක් බවට විවෘතවම සංවිධානය කිරීමකි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු ක්‍රියාත්මක කිරීමට මුලුමනින්ම කැපවී සිටියි. ආර්ථිකය “පුනර්ජීවනය” කිරීමේ නමින් ක්‍රියාවට දමන මෙම වැඩපිලිවෙලේ දී, අතිරික්ත බව කියන සේවකයන් කපාහැර, අනෙක් සේවකයන්ගේ කාර්යක්ෂමතාව හෝ ඵලදායීතාව ඉහල දමමින් වැඩකිරීමේ අවශ්‍යතාවය ගැන ජනාධිපති දිසානායක හා ඔහුගේ ඇමති ගොල්ල පුනපුනා ප්‍රකාශ කරති.
ජාමූඅ මෙම කප්පාදු වැඩපිලිවෙල, දැනටමත් ජීවන කොන්දේසිවල ඛාදනයකට මුහුන දී සිටින කම්කරුවන් අතරින් බරපතල අරගල පැනනැංවීමට තුඩුදෙන බව ජවිපෙ/ජාජබ නායකයෝ දනිති. ඒවා මැඩලනුවස්, ආන්ඩුව සතුව පවතින රාජ්‍ය මර්දන යන්ත්‍රය සමග ඒකාබද්ධව ක්‍රියාත්මකවීම සහ කාර්යක්ෂමතාව නැංවීමේ නාමයෙන් ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීම සඳහා කලමනාකාරීත්වයන් සමග එක්ව වැඩ කිරීම “ආන්ඩු කරන” ජවිපෙ වෘත්තීය සමිතිවල භූමිකාව වනු ඇත.
ආන්ඩුව සහ සමිති ඒකාග්‍ර කරගත් එවන් යාන්ත්‍රනයක රුදුරු ප්‍රතිඵල ලංකාවේ කම්කරු පංතිය දශක කිහිපයකට පෙර අත්විඳ ඇත. 1970 දී බලයට පැමිනි අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධවූ හවුල් ආන්ඩුව විසින් පිහිටුවන ලද, එම ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල නායකයන්ගෙන් සමන්විත වූ “කම්කරු උපදේශක සභා” මේ පිලිබඳ කටුක නිදසුනකි.
මෙම සභා යොදා ගැනුනේ, වැඩ වේගවත් කිරීම් නියම කිරීම, සේවක චර්යාව ගැන ඉහල නිලධාරීන්ට ඔත්තු සැපයීම, ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව අරගල වර්ධනයවීම වැලැක්වීම හා එම අරගල වලට නායකත්වය ගන්නා කම්කරුවන් දඩයම් කිරීම සඳහා ය. අද දින ලංකාවේ පාලක පංතීන් මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ එවන් යාන්ත්‍රනයක් වඩාත් විෂඝෝර වනු ඇත.
ජනාධිපතිවරනයට මාස කීපයකට පෙර සිට, වැඩවර්ජන නතර කිරීමට ජවිපෙ වෘත්තීය සමිති නායකත්වය ගත් ප්‍රතිගාමී තීන්දුව ලාල්කාන්ත මතකයට නැංවුයේ ය. ජාජබ/ජවිපෙ ජයග්‍රහනය වැලැක්වීමට වෘත්තීය සමිති ව්‍යාපාරය “පාවිච්චි” කිරීමට ගත් උත්සාහ එමගින් පරාජය කෙරුනුබව ඔහු පැවසීය. “සමහර වෙලාවට වැඩවර්ජන රැල්ලක් පවා ගේන්න උත්සාහ කලා” යයි කී ඔහු එන්ටීයූසී හැටියට ඒවා නතරකරගත් බවට උදම් අනුවේය. කම්කරු අරගල නතරකිරීමට මානබලමින් සිටි අනෙකුත් සමිති නායකයන් තමන් අනුයෑම ගැන ලාල්කාන්ත ස්තුති කලේය.
ජවිපෙ නායකයන් රොත්ත එදා වැඩවර්ජන නතර කරමින් ඇත්තවශයෙන්ම කලේ, වික්‍රමසිංහ ආන්ඩුවේ ජාමූඅ කප්පාදුවට එරෙහිව වැඩෙමින් තිබූ අරගල නතරකොට එම ආන්ඩුවට හුස්මකටක් පිඹීම හා ජාමුඅ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ ලංකාවේ මහ ව්‍යාපාරිකයන්ගේ ගැත්තන් ලෙස කම්කරු අරගල මැඩලමින් අවශ්‍ය සේවය ලබාදීමට සූදානම් බව තහවුරු කිරීමයි.
එමෙන්ම, ජවිපෙ වෘත්තීය සමිති, “ආන්ඩු කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් බවට පෙරලීමේ” සූදානම, බලයට පත්වීමට පෙරාතුවම ඔවුනගේ වැඩපිලිවෙලේ කෙටුම්පත් කරගෙන තිබුනි. ජවිපෙ තවත් නායකයෙකු වන, වත්මන් ජාජබ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමති සහ කැබිනට් මන්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස 2024 ජූලි 19 දා පැවති සාකච්ඡාවකදී මෙම වැඩපිලිවෙල පැහැදිලි කලේ මෙසේ ය: “ජාජබ/ජවිපෙ ආන්ඩුවක් පිහිටුවීමෙන් පසු පක්ෂය සහ ආන්ඩුව එකක් බවට පත්වෙනවා; ඒ වගේම වෘත්තීය සමිති සහ කලමනාකාරීත්වයන් එකට වැඩ කරනු ඇති.”
ජනාධිපති අනුර කුමාර දිසානායක තම ජනාධිපතිවරන උද්ඝෝෂනය මධ්‍යයේ, 2024 සැප්තැම්බර් 4 වැනි දා, මහා ව්‍යාපාරිකයන් අමතමින්, අනාගත ජාජබ/ජවිපෙ ආන්ඩුවක් නියෝජනය කරන්නේ කාගේ අවශ්‍යතාව ද යන්න මෙසේ පැහැදිලි කලේය: “ඔබගේ උවමනාව අපගේ උවමනාවයි. පලමු වතාවට ඔබ අප එකට සමපාත වෙනවා.”
දිසානායක බලයට පැමින ගතවූ මාස පහකට ආසන්න කාලය තුල ඔහු මහා ව්‍යාපාරිකයන්ට දුන් එම සහතිකය අකුරටම ආරක්ෂා කර ඇත. ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල කේන්ද්‍රකර ගනිමින්, 2025 වසර සඳහා පසුගිය දා ඔහු ඉදිරිපත්කල අයවැය, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා මත මුලුමනින්ම පාදක වී ඇත.
මහා ව්‍යාපාරිකයන්ගේ උවමනාකම්, තම උවමනාකම් බවට පත්කරගත් “ආන්ඩුවක් කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක්” ලෙස දැන් ජවිපෙ වෘත්තීය සමිතිවල භූමිකාව වනු ඇත්තේ, එම උවමනාකම් වෙනුවෙන් කම්කරු පංතිය මෙල්ලකර දීමයි.
ආන්ඩුව මෙම වැඩපිලිවෙල පලමුකොටම ක්‍රියාත්මක කිරීමට සූදානම් වනුයේ, ජාමූඅ හි කප්පාදුවලට එරෙහිව දැනටමත් අරගලයට පිවිස සිටින රාජ්‍ය සේවයේ කම්කරුවන්ට එරෙහිවයි. “රාජ්‍ය සේවය හැදිල තියෙන්නෙ මේ ජනවරමට අනුකූලව නෙවෙයි” යැයි ඉහත එන්ටීයූසී සමුලුවේ දි පැවසූ ඇමති ලාල්කාන්ත, “ඉවසීමෙන්, සංයමයෙන්, පරිනතව අපි මේ රාජ්‍ය සේවය ජනවරමට අනුකූල රාජ්‍ය සේවයක් බවට පරිවර්තනය කරගත යුතු” බව අවධාරනය කලේය.
ජාජබ/ජවිපෙ ආන්ඩුව රාජ්‍ය සේවකයන්ට එරෙහිව මෙම කඩා පැනීම සූදානම් කරන්නේ, එම ක්ෂේත්‍රයේ දැවැන්ත රැකියා කප්පාදුවක පිඹුරුපත් අතැතිවය. ජනාධිපති දිසානායකගේ ප්‍රධාන ආර්ථික උපදේශක හා ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ ලංකා වෙලඳ මන්ඩලයේ සභාපති, දුමින්ද හුලංගමුව 2024 දෙසැම්බරයේදී කියා සිටියේ, ලක්ෂ 13 ක් වන රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 7.5 දක්වා අඩුකලයුතු බවයි.
ජාජබ/ජවිපෙ ආන්ඩුව, තමාට එරෙහි කවර විරෝධතාවයකට හෝ විවේචනයකට ඉඩ නොදෙනබව දැනටමත් පෙන්වා ඇත. පෙබරවාරි 12දා හම්බන්තොට, අඟුනකොලපැලස්ස, උස්වැව ගම්මානයේ පැවැත්වීමට ගිය ජාතික ගොවි සමුලුවේ රැස්වීමක් ආන්ඩුවට සම්බන්ධ මැර කන්ඩායමක් විසින් තර්ජනය කොට විසුරුවා හලේය.
එමෙන්ම, ජනවාරි 03 දා, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද?” මැයෙන්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක්, එහි උපකුලපති විසින් තහනම් කරනු ලැබුවේ, රැස්වීමේ මාතෘකාව “ආන්ඩුවේ පිලිවෙත් වලට අභියෝග කරන” බැවින් එය පැවැත්වීමට ඉඩ නොදියහැකිබව පවසමිනි. එය ආන්ඩුවේ මැදිහත්වීමෙන් සිදුවූ බවට සාක්ෂි පවතී.
ජවිපෙ මැරයන් විසින් ඉහත ගොවි සමුලුව බලහත්කාරයෙන් විසුරුවා හැරීම හෙලා දකිමින්, සමාජවාදී සමානතා පක්ෂය පෙබරවාරි 18 දා, නිකුත් කල ප්‍රකාශයෙන්, කම්කරුවන්, දුගී ගොවීන් ඇතුලු මහජනතාවට මෙසේ අනතුරු ඇඟවීය:
“රැස්වීමේ සංවිධායකයන් සමගි ජන බලවේගයේ හා වික්‍රමසිංහගේ 'බත්ගොට්ට්න්' ලෙසට හංවඩු ගසා ඇත්තේ, තම අයිතීන් සඳහා අරගලයට එන ඕනෑ ම කොටසක්, විශේෂයෙන් ම කම්කරු පන්ති කොටස් දක්ෂිනාංශයේ ඒජන්තයන් ලෙස හෙලා දකිමින් එම අරගල රාජ්‍ය හා මැර මර්දනයට ලක්කරන බවට පෙර ඇඟවුම් කරමිනි.”
මේ අතර, අනුප්‍රාප්තික ආන්ඩුවල කප්පාදු හේතුවෙන් රාජ්‍ය ආයතනයන්හි වර්ධනයවී පවත්නා අකාර්යක්ෂමතාවයෙහි වගකීම රාජ්‍ය සේවකයන් මත පටවමින්, අවශේෂ මහජනතාව ඔවුනට එරෙහිව පිහිටුවාලීමේ තුච්ඡ උද්ඝෝෂනයක ජාජබ/ජවිපෙ ආන්ඩුව ඇතුලු ධනපති පාලකයෝ සහ ඔවුනගේ ආවතේව මාධ්‍යකරුවෝ යෙදී සිටිති.
ආන්ඩුව, එලෙස රාජ්‍ය සේවයේ කම්කරුවන්ට එරෙහිව පෙලගස්වාගත් දක්ෂිනාංශික කොටස් සහ ජවිපෙ/ජාජබ මූලිකත්වයෙන් ගොඩනගා ඇති විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සාමූහිකය වැනි ප්‍රතිගාමී කොටස් ෆැසිස්ට් නඩ ලෙස බලමුලු ගන්වා, කම්කරුවන්ට එරෙහිව මෙහෙයවීමේ ද, ජවිපෙ වෘත්තීය සමිති නිලධරය මෙම කොටස් සමග ඒකාබද්ධව ක්‍රියාත්මකවීමේ ද සෑම ඉඩකඩක්ම පවතී.
1988-90 කාල පරිච්ඡේදයේදී, ජවිපෙ ගෙනගිය ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනය තුල “මව්බිම” රැක ගැනීමේ නාමයෙන් ඔවුන් බලහත්කාරයෙන් කැඳවූ ඊනියා වර්ජන වලට එරෙහි වූ සහ ඒවාට සහභාගි නොවූ කම්කරුවන් සහ සමිති නායකයන් සියගනනක් වෙඩිතබා මරා දැමීමට ජවිපෙ නායකයෝ තම සාමාජිකත්වය මෙහෙයවූහ. අද දිනයේ “ජනවරමේ” නාමයෙන් එය පුනර්කරනයවීමේ අන්තරායට කම්කරුවෝ මුහුන දී සිටිති.
මෙම තතු තුල, ජාමූඅ හි ප්‍රහාරයන්ට ද, ජාජබ/ජවිපෙ ආන්ඩුව තම වෘත්තීය සමිති නිලධරය ද යොදා ගනිමින් සූදානම් කරන රාජ්‍ය මර්දනයටත් එරෙහිව සටන් කිරීමේ වගකීම කම්කරුවන් තමන් අතට ගතයුතුවේ. එය කල හැක්කේ, සෑම වැඩපොලකම, කම්හලකම, වතුයායකම, තමාගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම මගිනි.
කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරාපත්කර ගැනෙන මෙම ක්‍රියාකාරී කමිටු, වෘත්තීය සමිති වලින් සහ ධනපති පක්ෂ වලින් මුලුමනින්ම ස්වාධීන විය යුතුය. එම කමිටු ජාලය, ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය සමග ඒකාබද්ධ කිරීමෙන් ජාත්‍යන්තර කම්කරු පංතියේ සහාය සහ ශක්තිය ගොනුකර ගත හැකිය.
කම්කරු ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙක් සැදුම්ලත් කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමටත්, එම සම්මේලනය තුල ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවී ආන්ඩුවක් බලයට ගෙනඒමේ වැඩපිලිවෙල සාකච්ඡාකොට සම්මත කර ගනිමින් ඒ සඳහා කම්කරුවන් වටා පීඩිත ගොවීන් රැලිකර ගැනීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සටන් වදී. සසපට බැඳී මේ අරගලයට එක්වන්න.