ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නිදහස් දින කතාව: සියල්ලෝම "මාතෘ භූමිය" වෙනුවෙන්

[මෙය Sri Lankan president’s Independence Day speech: All for the “motherland” යන මැයෙන් 2025 පෙබරවාරි 10දා පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දිනය යෙදුනු පෙබරවාරි 4දා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පවත්වන ලද කතාව, මුසාවාද, විකෘති කිරීම් සහ අර්ධ-සත්‍යයන්ගෙන් පිරී පැවති අතර, එහි දී, රටේ ආර්ථික අර්බුදයේ “බර” බෙදාහදා ගන්නා ලෙස, වැඩ කරන ජනතාවට දේශප්‍රේමී සහ ජාතිකවාදී ආයාචනයක් සිදුකලේය.

ශ්‍රී ලංකා ජනාධිපති අනුරකුමාර දිසානායක 2025 පෙබරවාරි 4 වන දින කොලඹ දී පැවති නිදහස් උත්සවය අමතමින් [Photo: President's Media Division]

උත්සවය සඳහා 'වැඩි මහජන සහභාගීත්වයක්' සහතික කිරීමේ අරමුනින් ආන්ඩුව ආරාධිත අමුත්තන් සංඛ්‍යාව අඩකින්, එනම් 1,600 දක්වා අඩු කලේය. එයට මහජනතාව අතරින් එක්රැස් කර ගැනීමට හැකි වූයේ කිහිප සියයක් පමනි; ඒ හැරුනු විට, ජනතාවගේ නිවෙස්වලින් පිටත ජාතික කොඩි එසවීමක් සිදු නොවූ තරම් ය.

මහජනයාගේ මෙම උදාසීනත්වය, ඊනියා 'නිදහස' තමන්ට මෙලෝ සම්බන්ධයක් නොමැති බවට වැඩ කරන ජනතාව අතර වැඩෙන දැනුවත්භාවය පිලිබඳ නොවරදින සාක්ෂියකි. ඒ සමඟම, ආන්ඩුව විශාල ඡන්ද ප්‍රමානයක් ලබාගෙන බලයට පත්වූයේ නමුත්, සියලු මැතිවරන පොරොන්දු වේගයෙන් කඩකරමින් සිටින බැවින්, එය ලද මහජන සහයෝගය බොඳවෙමින් පවතී.

දිසානායක සිය කතාවේදී ප්‍රකාශ කලේ, 1948 දී රට 'අප වෙනුවෙන් තීරන ගැනීමට අවශ්‍ය දේශපාලන නිදහසක්' ලබා ගත් බවයි. 'සීමිත වුනත් ඒක වැදගත්,' මන්දයත් 'අපි දේශපාලන ස්වාධීනත්වය ලැබීමේ ඉතිහාසයේ පලමුවෙනි මොහොත' සනිටුහන් කරන බැවිනි. කිරීටයෙන් පූර්න දේශපාලන නිදහස ලබන 1972 වසරත් පසුකරමින් ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මොහොත දක්වා සම්ප්‍රාප්තවී සිටින බව ඔහු කීවේය.

“ඒ ගමන තුල අප දන්නා අප සමරන වීරයන් වීරවරියන් සේ ම අප නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කල සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ කඳුලු දහදිය මතිත් අද දක්වා අප පැමිනි සිටිනවා. ඒ සියලු දෙනාට මේ මොහොතේ අපගේ ආචාරය හිමි වෙනවා'.

මේ සියල්ලේ අරමුන, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ඉතිහාසය ඇතුලුව, පසුගිය වසර 77 ක සැබෑ ඉතිහාසය හිතාමතාම වසන් කිරීමයි. 1948 දී සිලෝන් (ශ්‍රී ලංකාව එකල හැඳින්වූයේ එනමි) වෙත භාර දුන් “නිදහස” ව්‍යාජයකි. එය, යටත් විජිත පාලනයට සහ සමාජ පරිහානියට එරෙහිව අරගල කල රටේ සටන්කාමී වැඩ කරන ජනයාට පිටුපසින් සහ ඔවුන්ගේ කැමැත්තට එරෙහිව, කුඩා ගතානුගතික ධනේශ්වර ප්‍රභූවක් සමඟ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් කරන ලද කුමන්ත්‍රනයක් විය.

දිසානායකගේ නම් නොකල “වීරයන්” අතරට ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක ඇතුලත් වේ. ඔවුන් 1947 දී තම නියෝජිත සර් ඔලිවර් ගුනතිලක ලන්ඩනයට යැව්වේ නිදහස නොව, “කොමියුනිස්ට්වාදයේ” තර්ජනය වලක්වා ගැනීම සඳහා “ඩොමිනියන් තත්වයක්” ඉල්ලා සිටීමට ය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ මෙම කොල්ලකරුවන්ගේ සැබෑ කනස්සල්ල වූයේ, එවකට හතරවන ජාත්‍යන්තරයේ ඉන්දියානු උප මහාද්වීපික ශාඛාවවූ, ට්‍රොට්ස්කිවාදී ඉන්දියානු බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) නායකත්වය දුන් කම්කරු පන්තිය වෙතින් එල්ලවූ තර්ජනයයි.

බීඑල්පීඅයි, 1942 දී සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරුවන්, පීඩිතයන් බලමුලු ගැන්වීමෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියානු උප මහද්වීපය පුරා නිදහස සඳහා සටන් කල එකම පක්ෂය යි. සේනානායක සහ ඔහුගේ සමාගම කිසි විටෙකත් නිදහස ඉල්ලා නොසිටි අතර, ප්‍රතිගාමී යුද ප්‍රයත්නයන්ට සහාය දීමේ නාමයෙන්, දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයන්ට මුලුමනින්ම සහාය දුන්නේ, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සහාය ඇතිව කම්කරුවන්ගේ අරගල තලාදමමිනි.

ශ්‍රී ලංකාවේ බීඑල්පීඅයි සහ ලංකා සම සමාජ පක්ෂය (ලසසප) විසින් මෙහෙයවන ලද මහා වැඩ වර්ජනයකින්, 1947 දී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කම්කරුවෝ නැගී සිටියහ. එය මර්දනය කරනු ලැබුවද, කැකෑරෙන කෝපය එලෙස ම පැවතුනි. නිල නිදහස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දින, 1948 පෙබරවාරි 11දා, බීඑල්පීඅයි, ව්‍යාජ නිදහස හෙලා දකිමින්, මධ්‍යම කොලඹ ගාලු මුවදොර පිටියේදී කම්කරුවන් 50,000කගේ මහජන රැලියක් පැවැත්වීය.

බීඑල්පීඅයි නායක කොල්වින් ආර්. ද සිල්වා මෙසේ පැහැදිලි කලේය: “ඔවුන් ලබා ගන්නා “අලුත් තත්වය” වනාහි “ස්වාධීනත්වය” නොවෙනවා පමනක් නොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ලංකාව ගැටගසා ඇති වහල්භාවයේ යදමෙහි රූපාකාරය වෙනස් කිරීමක් පමනකි. ඒ වනාහි, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ලංකාව තුල තම පාලනය ගෙනයන රූපාකාරයේ වෙනස් කිරීමක් සමග එම පාලනය නොකඩවා ඉදිරියට ගෙනයාමකි.... ලංකාවේ “තත්වයෙහි වෙනසක් නැතැ” යි කියා සිටිති. වෙනසක් ඇත්තේ ම ය. නමුත් මෙම වෙනස ඇත්තේ, ලංකාව යටත් විජිත තත්වයක සිට ස්වාධීනත්වයකට මාරු වීමක් තුල නොව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ලංකාව සෘජුව පාලනය කිරීමේ ක්‍රමවේදයන්ගෙන් වක්‍ර පාලන ක්‍රමවේදයන්ට මාරු වීම තුලයි.”

ආරම්භයේ සිටම, කොලඹ දේශපාලන සංස්ථාපිතය කම්කරු පන්තිය බෙදීම සහ ධනේශ්වර පාලනයට සහාය වීම සඳහා ප්‍රතිගාමී වාර්ගික දේශපාලනය මත රැඳී සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ (එජාප) පලමු පරිපාලනය 1948 දී, දස ලක්ෂයකට ආසන්න දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කලේය. එක්සත් ජාතික පක්ෂය ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක ගිලී ගිය විට, සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ පදනම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) පිහිටුවන ලද අතර, 1956 දී ඔවුන් බලයට පත් වූ පසු, දෙමල කතා කරන්නන් දෙවන පන්තියේ පුරවැසියන් බවට පත් කරන ලදි.

බීඑල්පීඅයි, ප්‍රතිපත්ති විරහිතව ලසසප ට ඒකාබද්ධ වීම, 1964 දී ධනේශ්වර ශ්‍රීලනිප-සභාග ආන්ඩුවට ලසසප එක්වීමත් සමඟ මුලුමනින්ම පාවාදීමකට තුඩු දුන් දේශපාලන පරිහානියක ආරම්භය සනිටුහන් කලේය. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම ඔවුන් විසින් පැහැදිලිවම අතහැර දැමීම, සිංහල දේශප්‍රේමය, සන්නද්ධ අරගලය සහ මාඕවාදයේ සහ කැස්ත්‍රෝවාදයේ මිශ්‍රනයක් මත පදනම් වූ ජනතා විමුක්ති පෙරමුන වැනි වාර්ගික දේශපාලනය මත පදනම්වූ සුලු ධනේශ්වර රැඩිකල් පක්ෂ මතුවීමට දොර විවර කලේය.

'කිරීටයෙන් පූර්න දේශපාලන නිදහස' රටට ලැබුනු '1972 තීරනාත්මක වර්ෂය' පිලිබඳ දිසානායකගේ සඳහන උදක්ම අවධාරනය කරන්නේ, ජවිපෙ පදනම් වී ඇති සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදය යි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල ප්‍රධාන රාජ්‍ය භාෂාව බවට පත් කලා පමනක් නොව, අනෙකුත් ආගම්වලට වඩා ඉහලින් බුද්ධාගමට 'ප්‍රමුඛත්වය' ලබා දෙන බව ද තහවුරු කලේය. එසේ කිරීමෙන්, එය දෙමල සුලුතරය, විශේෂයෙන් දෙමල තරුනයින් ගැඹුරින් ම ඈත් කල අතර, එය දශකයකට පසුව ඇති වූ විවෘත සිවිල් යුද්ධයට මඟ පෑදීය.

1972 ව්‍යවස්ථාව, ලංකා සමසමාජ පක්ෂය සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති දෙවන ශ්‍රීලනිප සභාග ආන්ඩුව විසින් ව්‍යාජ 'ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක්' හරහා සම්මත කර ගන්නා ලදී. එය සම්පාදනය කරන ලද්දේ අන් කිසිවෙකු නොව, 1948 දී ඔහු පැවසූ සියල්ල ප්‍රතික්ෂේප කල කොල්වින් ආර්. ද සිල්වා විසිනි. එපමනක් නොව, එය සිදු වූයේ 1971 දී ග්‍රාමීය තරුනයින් 15,000 ක් ඝාතනය කරන ලද ජවිපෙ අතිධාවනකාරී සන්නද්ධ නැගිටීමක් සභාග ආන්ඩුව විසින් කුරිරු ලෙස තලා දැමීමෙන් පසුවය.

1971 කැරැල්ලේදී සහ පසුව ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි එහි ප්‍රතිගාමී 1988-90 ව්‍යාපාරයේදී මියගිය අයව වීරයන් ලෙස ජවිපෙ සැමවිටම ප්‍රශංසා කර ඇති බැවින්, “මාතෘ භූමිය” ආරක්ෂා කල “සමරනු නොලැබූ වීරයන්ට” දිසානායකගේ උපහාරය කැපී පෙනේ.

1977 දී බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුව, එහි 'විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්තියට' එරෙහිව කම්කරු පන්තියේ විරෝධය පුපුරා යාමත් සමඟ, දෙමල විරෝධී ස්වෝත්තමවාදයේ ආධාරය පැතුවේය. මෙය කුලුගැන්වුනේ, පූර්න පරිමානයේ වාර්ගික යුද්ධයක ආරම්භය සනිටුහන් කල, 1983 දී විනාශකාරී දෙමල විරෝධී ජනසංහාරයකිනි.

යුද්ධය රටේ ආර්ථික හා දේශපාලන අර්බුදය උග්‍ර කල විට, උතුරු නැගෙනහිර සඳහා වැඩි දේශපාලන ස්වයං පාලනයක් ලබා දෙන බවට පොරොන්දුව මත, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය නිරායුධ කිරීම සඳහා ඉන්දියානු “සාම සාධක” හමුදා ගෙන ඒමට, ජයවර්ධන 1987 දී නවදිල්ලිය සමඟ ගිවිසුමක්—ඉන්දු-ලංකා ගිවිසුම—ඇති කර ගත්තේය.

ගිවිසුම ජාතිය බෙදන බව පවසමින්, ජවිපෙ ඊට එරෙහිව ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් දියත් කලේ, එයට සහභාගී වීම ප්‍රතික්ෂේප කල දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිතිවාදීන් සහ කම්කරුවන් සිය ගනනක් ඝාතනය කිරීමට තම තුවක්කුකරුවන් යවන බව ප්‍රකාශ කරමිනි. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයින් තිදෙනෙකු ද එලෙස ඝාතනයට ලක්කල අය අතර වූහ.

එල්ටීටීඊයට එරෙහි යුද්ධය නැවත ආරම්භ කරන විට, ජවිපෙ සමඟ සන්ධානයක් ගැන සලකා බලමින් සිටි එජාප ආන්ඩුව අවසානයේ ජවිපෙට එරෙහිව හැරීගනිමින්, එම පක්ෂයේ නායකයින් සහ සාමාජිකයින් පමනක් නොව, දස දහස් ගනනක් සිංහල ගම්බද තරුනයින් ඝාතනය කලේය. දිසානායක සහ තවත් රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ජවිපෙ ජාතිවාදී ව්‍යාපාරයට ගැඹුරින් සම්බන්ධ වූ අතර මරා දැමූ නායකයින් තවමත් සලකන්නේ, මාතෘ භූමිය ආරක්ෂා කල “වීරයන්” ලෙසිනි.

අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් මෙහෙයවන ලද වර්ගවාදී යුද්ධයේ දශක තුන පුරාවටම, ජවිපෙ, හමුදාව සහ එහි යුද අපරාධ ආරක්ෂා කලේය. අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය කල අවසාන හමුදා ප්‍රහාර ද ඊට ඇතුලත් විය. තවත් දහස් ගනනක් අතුරුදහන් වූ අතර දෙමල සිවිල් වැසියන් 300,000 ක් කොටු කර හමුදා රැඳවුම් කඳවුරුවල ගාල් කරන ලදි.

දිසානායකගේ “වීරයන්” අතරට මෙම කුරිරුකම් සඳහා වගකිව යුතු හමුදා නිලධාරීන් ඇතුලත් වන අතර, ඔවුන්ගෙන් සමහරක් ජාතික ජනතා බලවේගයේම “ත්‍රිවිධ හමුදා සාමූහිකයේ” කොටස්කරුවන් ය.

තම කතාවේදී ජනාධිපතිවරයා 'ඔබ අපි එකම අරගල බිමක අරගලකරුවන් වන ' බව ප්‍රකාශ කල අතර 'රටට ආර්ථික, සමාජයීය, සංස්කෘතික නිදහස පූර්න ලෙස දිනා ගැනීමට.... සියලු දෙනාටම මේ මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් කලයුතු නිදහස් අරගලයට' එක්වෙන ලෙස ඉල්ලා සිටියේය.

ගොවීන්, ධීවරයින්, ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ට සහ “කඳුකරයේ තේදලු නෙලන ගැහැනුන් හා මිනිසුන්ට”, කර්මාන්තකරුවන්, පොලීසිය සහ ආරක්ෂක හමුදා, තොරතුරු තාක්ෂන අංශයේ වෘත්තිකයන් සහ සංචාරක උපදේශකයින් සමඟ “අපේ රට කාර්මීකරනය සහ ආර්ථික විමුක්තිය කරා රැගෙන යාමට” එක්වන ලෙස දැනුම් දුන්නේය.

කලාකරුවන්, ලේඛකයින්, මාධ්‍යවේදීන් සහ විද්වතුන්ගෙන් ඉල්ලා සිටියේ, “වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ අපේ ජාතික ආත්මය පවිත්‍ර කරන” ලෙසයි. එමෙන්ම “මේ සමාජය පවිත්‍ර කිරීමට.... දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර සහ ආයතනික ප්‍රධානීන් හා ආයතන කාර්යමන්ඩල අතර....මේ ආදී සෑම තැනකම මුල් බැසගෙන ඇති අගතීන් සහ ඔවුන්ගේ කාර්ය මන්ඩලය අතර පවතින මුල් බැසගත් අගතීන් සෝදාහැරීමේ” අවශ්‍යතාවය අවධාරනය කලේය.

කෙටියෙන් කිවහොත්, දිසානායකගේ කතාව, ව්‍යාජ නිදහසට සහ දිවයිනේ අධිරාජ්‍ය ගැති පාලක පන්තියට උත්කර්ශවත් උපහාරයක් පුද කරමින්, කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ පන්ති අවශ්‍යතා, ජාතියේ යහපත වෙනුවෙන්, එනම් මහා ව්‍යාපාරිකයන්ට සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට යටත් කල යුතු බව අවධාරනය කලේය. පසුගිය වසරේ ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කල පරිදි 'වාමාංශික' හෝ 'මාක්ස්වාදී' වනවා වෙනුවට, ජවිපෙ වැඩපිලිවෙල ෆැසිස්ට්වාදයේ දුර්ගන්ධය වහනය කරයි.

බේරා ගැනීමට සියලු දෙනා එක්විය යුතුයැයි ද ජනාධිපති ඉල්ලා සිටින මේ 'මාතෘ භූමිය' කුමක්ද? 'කාලාන්තරයක් තිස්සේ යටත්වැසියන් ලෙස අප බෙදා වෙන්කර පාලනය කල ජනවාර්ගික බේද, ආගම් බේද, කුලබේද සෝදා හැරිය' යුතුයැයි යනුවෙන් දිසානායක ප්‍රකාශ කලද, ජවිපෙ තවමත් සිංහල-බෞද්ධ අධිපතිවාදයේ ගිලී සිටී. දෙමල, මුස්ලිම් සහ අනෙකුත් සුලු ජාතීන්ගේ පැවැත්ම ඉවසනු ලබන්නේ, රටේ වාර්ගික ව්‍යවස්ථාව තුල අන්තර්ගත සිංහල පාලක ප්‍රභූන්ගේ ප්‍රමුඛ භූමිකාව ඔවුන් පිලිගන්නේ නම් පමනකි.

ධනවාදයේ ජාත්‍යන්තර අර්බුදය ගැන යන්තමට සඳහන් කරමින් ජනාධිපතිවරයා මෙසේ පුනරුච්චාරනය කලේය: “ගෝලීය ආර්ථික පද්ධතිය තුල දුබලයෙකු නොවී එහි සෑම චලනයකින්ම තැලෙන පෑගෙන යටත්වැසියෙකු නොවී ආර්ථික තලය තුල අපේ නිදහස සාක්ෂාත් කර ගන්නට නම් අප සියලු දෙනා එක්ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැප විය යුතුව තිබෙනවා.”

ජාත්‍යන්තර ආර්ථික කැලඹීම් සහ යටත් විජිත ව්‍යාප්තිය සහ යුද්ධය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ තල්ලුව මධ්‍යයේ, ශ්‍රී ලංකාවට ගෝලීය සුලි කුනාටුවෙන් ගැලවිය හැකි යැයි සිතීම තනිකරම මනඃකල්පිතයකි. දිසානායක ශ්‍රී ලංකාවේ නිදහස සමරමින් සිටින්නේ, ෆැසිස්ට්වාදී ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්, 51 වන එක්සත් ජනපද ප්‍රාන්ත රාජ්‍යය කැනඩාව ඈදාගැනීමට, පැනමා ඇල, ග්‍රීන්ලන්තය සහ ගාසා තීරය අත්පත් කර ගැනීමට සහ චීනයට එරෙහිව ආර්ථික හා මිලිටරි යුද්ධයක් දියත් කිරීමට විවෘතව සූදානම් වන අතරතුර ය.

'නිදහස' පිලිබඳ දිසානායකගේ සියලු කතා තිබියදීත්, එක්සත් ජනපදය චීනයට එරෙහිව ඉන්දු-පැසිෆික් කලාපයේ සිය මිලිටරි බලවේග ගොඩනඟා ගනිමින් සිය සන්ධාන ශක්තිමත් කරන විට, ජවිපෙ/ජාජබ දැනටමත් එක්සත් ජනපදය සහ එහි ප්‍රධාන කලාපීය සහකරු ඉන්දියාව වෙත කැපී පෙනෙන මාරුවක් සිදු කර ඇත. පැසිෆික් නාවික බලඇනියේ අනදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහෙලර් ඇතුලු ඉහල පෙලේ ඇමරිකානු නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාව තමන්ට අයත් කාර්යභාරය ඉටු කරන බව සහතික කර ගැනීම සඳහා දිසානායක හමුවී තිබේ.

දෙවන ලෝක යුද්ධය ආසන්නයේ දී, යටත් විජිත රටවල ඉරනම ගැන ට්‍රොට්ස්කි අනතුරු ඇඟවීය: “ජරපත්වන ධනවාදයෙන් වට වී, අධිරාජ්‍යවාදී ප්‍රතිවිරෝධතාවලින් වෙලී සිටින පසුගාමී රාජ්‍යයක ස්වාධීනත්වය අනිවාර්යයෙන්ම අර්ධ-ප්‍රබන්ධයක් වනු ඇති අතර, අභ්‍යන්තර පන්ති ප්‍රතිවිරෝධතා සහ බාහිර පීඩනයේ බලපෑම යටතේ එහි දේශපාලන තන්ත්‍රය නොවැලැක්විය හැකි ලෙස ජනතාවට එරෙහි ආඥාදායකත්වය දෙසට හැරෙනු ඇත...”

ජවිපෙ/ජාජබ ආන්ඩුව සූදානම් වන්නේ හරියටම මෙයට බව සසප කම්කරු පන්තියට අනතුරු අඟවයි. දිසානායක සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට එරෙහිව, වැඩ කරන ජනතාව අතර වැඩෙන විරෝධය ගැන ඔහු හොඳින් දනී. 2022 දී පුපුරා ගිය මහජන නැගිටීමේ සටන් පාඨවලින් එකක් එල්ල වූයේ, 1948 සිට බලයේ සිටි සියලු ආන්ඩුවල බංකොලොත් භාවය වෙතයි. වැඩ කරන ජනතාව මාතෘ භූමිය වෙනුවෙන් කැපකිරීම ප්‍රතික්ෂේප කලහොත්, ඕනෑම විරුද්ධත්වයක් මර්දනය කිරීම සඳහා හමුදාව සහ පොලිසිය යෙදවීමට ජවිපෙ/ජාජබ පසුබට නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ 'නිදහසේ' සිට ගතවුනු වසර 77, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යායේ සත්‍යතාව තහවුරු කරයි—එනම්, කල්පසුවූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල ධනේශ්වරය, දහසක් හුයපටින් අධිරාජ්‍යවාදයට ගැටගැසී සිටින අතර, ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අභිලාෂයන් සපුරාලීමට එය ඓන්ද්‍රීයවම අසමත් ය.

එම දේශපාලන කර්තව්‍යය ඉටු කල හැක්කේ, සමාජවාදී ජාත්‍යන්තර වැඩපිලිවෙලක් මත පදනම් වූ බලය සඳහා අරගලයක දී, ග්‍රාමීය දුප්පතුන් සහ පීඩිත ජනතාව තමන් පිටුපස පෙලගස්වා ගන්නා කම්කරු පන්තියට පමනි. දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා සහ ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සසප සටන් කරන්නේ එබැවිනි.