පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී ජාජබ/ජවිපෙ ආධාරකරුවෙක් සසප උද්ඝෝෂකයන්ට තර්ජනය කරයි

දෙසැම්බර් 21 වැනි දා පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල උද්ඝෝෂනයක යෙදී සිටි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයන් පිරිසකට, එම විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකු ලෙස තමුන් හඳුන්වා ගත් ජාතික ජන බලවේගය (ජාජබ)/ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුවේ අධාරකරුවෙක් උද්ඝෝෂනය නතර කරන ලෙස තර්ජනය කලේ ය.

මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කෙරුනේ , “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද ?” යන මැයෙන්, ජනවාරි 3 වැනි දා, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශය තුල පැවැත්වීමට නියමිත සසජාතශි ප්‍රසිද්ධ රැස්වීමේ ප්‍රචාරක වැඩකටයුතුවල යෙදී සිටිය දී ය. විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය රැස්වීමට අනුග්‍රහය දක්වයි.

විශ්වවිද්‍යාලයේ “අක්බාර් පාලම” අසල දී සසප/සසජාතශි සාමාජිකයන් වෙත පැමිනි අනධ්‍යන සේවකයා රැස්වීමට සහ උද්ඝෝෂනයට තම විරෝධය පල කලේ “ආන්ඩුව ඇවිත් තවම දවස් 30යි. රට ගොඩනගන්න කල් දෙන්නෙ නැති ව ඒකට අකුල් හෙලනවා” යැයි පවසමිනි. “ආන්ඩුව වට්ටන්න හදන ඇන්ජීඕවක්” යැයි සසපට චෝදනා කල ඔහු, මෙය ආරක්ෂක අංශයට පැමිනිලි කරන බවට තර්ජනය කොට නික්ම ගියේ ය.

අනතුරු ව එතැනට පැමිනි සිවිල් ඇඳුමින් සැරසීගත් තැනැත්තෙක්, තමන් විශ්වවිද්‍යාලයේ “ප්‍රධාන ආරක්ෂක නිලධාරියා” ලෙස හඳුන්වා දෙමින්, “මෙවැනි වැඩකටයුතුවලට ඉඩ දිය නොහැකි” බව පැවසීය. උද්ඝෝෂනය වහා ම නතර කලයුතුයැයි තරයේ කියා සිටි ඔහු, නැති නම් උද්ඝෝෂකයන් පොලිසියට භාර දෙන බවට තර්ජනය කලේය.

මෙය, විශ්වවිද්‍යාල ප්‍රජාව තුල තම දේශපාලන වැඩකටයුතුවල නියැලීම සඳහා සසප/සසජාතශි සතු අයිතියට සහ එම දේශපාලනය ගැන දැන ගැනීම සඳහා එම ප්‍රජාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහි ප්‍රකෝපකාරී මැදිහත්වීමකි. එමෙන්ම එය, ජාජබ/ජවිපෙ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන හෝ එම ආන්ඩුවට එරෙහි දේශපාලන ආස්ථානයක් ගන්නා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, අධ්‍යන සහ අනධ්‍යන සේවකයන්ට මුහුන දීමට සිදුවන තත්වය පිලිබඳ පෙර ඇඟවුමකි.

මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ කඩාකප්පල්කාරී ක්‍රියාව හෙලා දකින ලෙසත්, සසප/සසජාතශි සතු එකී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමට පෙරට එන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයන සහ එම අයිතීන් ආරක්ෂා කිරීමට කැපවන සියලුදෙනාගෙන්ම අපි සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

සසජාතශි රැස්වීම, කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිත කොටස් මුහුන දී සිටින වඩාත්ම දැවෙන ප්‍රශ්නයක් වන “ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන්න පිලිබඳව කම්කරු පන්තික දෘෂ්ටි ආස්ථානයෙන් සාකච්ඡා කෙරෙන්නකි.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල මගින් නිශ්චිතව සිදු කෙරෙනුයේ, ධනපති පාලක පන්තිය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමයි. ජාජබ/ජවිපෙ ආන්ඩුව කැපවී ඇත්තේ, බදුබර වඩවඩාත් ඉහල නංවන, මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය තවදුරටත් කප්පාදු කෙරෙන, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රද්ගලීකරනය/ප්‍රතිව්‍යූහකරනය කෙරෙන, එමගින් රාජ්‍ය රැකියා ලක්ෂ ගනනක් විනාශ කෙරෙන එම වැඩපිලිවෙලටයි. ජාජබ/ජවිපෙ පමනක් නොව, සමගි ජන බලවේගය ඇතුලු සියලු ධනපති පක්ෂ, වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ එම වැඩපිලිවෙලට මුලුමනින්ම අනුගතව සිටිති.

මෙම තතු තුල, ජාජබ/ජවිපෙ ආධාරකරුවා, “කල් ලබාදිය යුතුයි” යන දිසානායක ආන්ඩුවේ මන්තරය අප ඉදිරියේ ජප කරයි. ආන්ඩුවට කල් අවශ්‍ය වනුයේ, කප්පාදු ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරු-පීඩිත මහජනතාව තලා දැමීමට අවශ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කර ගැනීමට වන අතර, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු මර්දනකාරී නීති අවලංගු කරන බවට දුන් පොරොන්දු කුනු කූඩයට දමා ආන්ඩුව කරමින් සිටින්නේ එය යි.

තමා ගුරු සේවයට අන්තර්ග්‍රහනය කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පැවැත්වූ විරෝධතාවට පොලීසිය යොදවා රුදුරු ලෙස පහරදුන් දිසානායක ආන්ඩුව, දැන් ඔවුන් හඹාගොස් දඩයම් කිරීමේ මිලේච්ඡ මෙහෙයුමක් දියත්කොට ඇත. මෙය අරගලයට පිවිසෙන කම්කරු පංතියේ සියලු කොටස් වලට ආන්ඩුව දුන් සංඥාවකි. කඩාකප්පල්කාරින් දෙදෙනා උත්තේජනය ලබා ඇත්තේ ආන්ඩුවේ මෙම පියවර වලිනි.

“ධනපති අර්බුදය වෙනුවෙන් අප වන්දි ගෙවියයුතු නොවේ” යන්න කම්කරු පන්තියේ ආස්ථානය විය යුතුයි. ඉන් ගලාඑන තාර්කික නිගමනය වනුයේ, ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට මුලුමනින්ම එරෙහි වෙමින්, එය පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ප්‍රතිප්‍රහාරයක් දියත්කල යුතු බවයි. කම්කරු පන්තිය, ගම්බද දුගීන් තමා වටා රැලිකර ගනිමින් දියත් කරන එවන් සටනක් තුල, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් මගින් ධනපති ආන්ඩුව විස්ථාපනය කල හැක.

මෙම වැඩපිලිවෙල විස්තරාත්මකව සාකච්ඡා කිරීම සඳහා ජනවාරි 03 රැස්වීමට සහභාගිවන ලෙස අපි සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ආචාර්යවරුන්ගෙන්, අනධ්‍යයන කම්කරුවන්ගෙන් සහ සෙසු කම්කරු-පීඩිත කොටස්වලින් ඉල්ලා සිටිමු.

Loading