[මෙය An insight into China’s high-tech development and its implications මැයෙන් 2024 නොවැම්බර් 5දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]
“තාක්ෂනික අධිපතිත්වය සඳහා (චීන ජනාධිපති) ෂීගේ තල්ලුව සීමා කිරීමට එක්සත් ජනපදය දරන ප්රයත්නයන් බිඳ වැටෙමින් තිබේ” යන මාතෘකාව තුල ඉඟි කරන පරිදි, චීනයට එරෙහි එක්සත් ජනපදයේ අධි-තාක්ෂනික යුද්ධය ගැන සවිස්තර විශ්ලේෂනයක්, පසුගිය මාසය අවසානයේ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පල කල ප්‍රධාන ලිපියක් තුල සම්පාදනය කරයි.
ලිපිය තුල අවම වසයෙන් එක්තරා දුරකට ඉඟි කරන පරිදි, මෙහි ප්‍රතිඵලය වන්නේ යුද්ධයෙහි භව්‍යතාව වඩා සමීපයට ගෙන එමින්, චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද ධාවනය වඩා ආක්රමනශීලී රූපයන් අත් කරගැනීම යි.
චිප් තැනීමේ ධාරිතාවෙහි ඉහල ම මට්ටමට ප්‍රවේශ වීමෙන්, චීන තාක්ෂනික යෝධයන් වලක්වා තිබෙන තතු තුල, එක්සත් ජනපද උද්ඝෝෂනය සාර්ථක වේ යයි “බැලූ බැල්මට” පෙනුනු බව සටහන් කරමින් ලිපිය ආරම්භ ව තිබුනි.
අතිශයින් ම අභිවර්ධිත චිප් තැනීමට අවශ්‍ය කරන “එක්තරා වර්ගයක” යන්ත්‍ර චීනයට සැපයීම ප්‍රතික්ෂේප කරනු වස්, ඒඑස්එම්එල් නමැති නෙදර්ලන්ත සංගතයට පීඩනය යෙදීමේ දී, එක්සත් ජනපදය සාර්ථකත්වය ලබා තිබීම මෙයට හේතුව විය.
නමුත්, අපනයන පාලනයන් හා මූල්‍ය සම්බාධකයන් නො තකා, අනාගතය සඳහා වන කර්මාන්ත සංවර්ධනය කිරීමේ දී චීනය “අනවරත ප්‍රගතියක්” අත් කරගනිමින් සිටි අතර, දශකයකට පෙර ෂී දියත් කරන ලද ‘චීනයේ නිපදවන ලදි 2025’ වැඩසටහන “බොහෝ දුරට සාර්ථක වී ඇති” බව වඩා ගැඹුරු පර්යේෂනය පෙන්වා දුන්නේ ය.
“බ්ලූම්බර්ග් පර්යේෂකයන් විසින් ලුහුබඳිනු ලබන මූලික තාක්ෂනයන් 13න් පහක ගෝලීය නායකත්වය කරා ලඟා වී ඇති චීනය, තවත් තාක්ෂනයන් හතක් ඉතා වේගයෙන් අල්ලා ගනිමින් සිටී.”
වොෂින්ටනයේ පදනම් වන චින්තන පර්ෂදයක් වන ජාත්‍යන්තර ආර්ථික විද්‍යා ආයතනයේ සභාපති ඇඩම් පෝසෙන්ගේ සැඳහුම් ලිපිය තුල උපුටා දැක්වෙන අතර, හෙතෙම මෙසේ කීවේ ය: “එක්සත් ජනපද සීමාවන් විසින් චීනයේ තාක්ෂනික නැගීමට බාධා කරනවා තබා, මන්දනය කිරීම වත් කරන්නේ නැහැ.” එක ම ව්‍යතිරේකය වනු ඇත්තේ එක්සත් ජනපදය තුල හා ගෝලීය ව නව සොයා ගැනීම්වල වේගය මන්දනය කරන “අතිශය රුදුරු ඒවා” පමනි.
“දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරු ව එක්සත් ජනපදය සිටි තැනේ සිට ගෝලීය දල දේශීය නිෂ්පාදිතයට (දදේනි) සාපේක්ෂ ව චීනයේ නිෂ්පාදිත භාන්ඩ වෙලඳාමේ අතිරික්තය එහි ඉහල ම මට්ටමේ පවතී” යි සටහන් කරන ලිපිය, ලෝක ආර්ථිකයේ කුදුමහත් ව්‍යුහය තුල ම, පසුගිය දශක තුන පුරා සිදු වී පවතින යෝධ පරිවර්තනයට අවධානය යොමු කලේ ය. චීනය විද්‍යුත් වාහන, බැටරි, සහ සූර්ය පැනල නිෂ්පාදනයේ පෙරමුන ගෙන ඇත.
ඉතා ම වැදගත් චිප් වර්ග නිෂ්පාදනය චීනය විසින් අල්ලා ගැනීම වැලැක්වීමට එක්සත් ජනපදය නාභිගත ව සිටිද්දී, ජනාධිපතිවරනයෙන් කවුරුන් ධවල මන්දිරය ජයග්‍රහනය කල ද මෙම ගැටුම අඛන්ඩ ව පවතිනු ඇත.
එය ආර්ථික ක්ෂේත්රයට පමනක් සීමා නො වේ. ලිපිය තවදුරටත් කී පරිදි: “වොෂින්ටනයේ සහ බෙයිජිනයේ ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ට සංවර්ධනය කරා ධාවනය, රැකියා නිර්මානය සහ සැපයුම් දාම සුරක්ෂිත කරගැනීමේ අභිලාෂය ඇතුලු සලකා බැලීම් ගනනාවක් විසින් තාක්ෂන තරඟය ජයගැනීමේ තල්ලුව ධාවනය කරයි. එහෙත් මේ අවදියේ ආර්ථික පිලිවෙතේ දී වඩා විශාල භූමිකාවක් ඉටු කරමින් සිටින්නේ තවත් සාධකයක් විසින් බව අගනුවරවල් දෙකේ ම නිලධාරීහු කියති: එනම්, යුද්ධයක් ආසන්න හෝ සැලසුම් කර නැතත්, භව්‍ය යුද්ධයක් සඳහා වන සූදානම විසිනි.”
අර්ධ-සන්නායක, සුපිරිසිදු බලශක්තිය සහ ජෛව-තාක්ෂනය ඇතුලු අංශ තුල “හැකිතාක් විශාල ඉදිරියක් පවත්වාගෙන යාම” සඳහා එක්සත් ජනපදය උත්සාහ දරනු ඇතැයි කියමින්, 2022 වසරේ කල ප්‍රධාන කතාවක දී, අංශ ගනනාවක් ගෙනහැර දැක්වූ එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලයිවන්ගේ සැඳහුම්, එක්සත් ජනපදයේ පාර්ශවයෙන් ලිපිය තුල උපුටා දැක්වුනි.
ට්‍රම්ප් ජනාධිපති ධූරය දැරූ කාලය තුල හඳුන්වා දෙන ලද තීරු බදු හා අනෙකුත් පියවරයන්ගෙන් බොහෝ ඔබ්බට යමින්, බයිඩන් පරිපාලනය විසින් යලි යලිත් යොදාගනු ලැබ තිබෙන අපනයන පාලනයන් වනාහි, හතුරන් මත පිරිවැය පැටවීමටත්, “ඔවුන්ගේ සටන් භූමි ධාරිතාවන් පහල දැමීමටත්” භාවිතා කරනු ලබන “නව මූලෝපායික වත්කමක්” වන බව සුලයිවන් කීවේ ය.
එහෙත් චීන අධිකාරීන් ඔවුන්ගේ ප්‍රකාශයන් තුල ලුහුබඳින්නේ වෙනස් ක්‍රියා මාර්ගයකි. එක්සත් ජනපදය උඩුයටිකුරු කරමින් සිටින ජාත්‍යන්තර නිදහස් වෙලඳ පර්යාය ආරක්ෂා කිරීමට තමන් උත්සාහ දරමින් සිටින බව ඔවුහු අවධාරනය කරති.
එහෙත්, එක්සත් ජනපදයේ මූලෝපායික සැලසුම් හුදෙක් වෙලඳාමට පමනක් නො ව, විශේෂයෙන් ම බලශක්තිය ඇතුලු අමු ද්‍රව්‍යවල තීරනාත්මක සැපයුම් කපා දැමීමට එක්සත් ජනපදය උත්සාහ දරන යුද්ධයක් ද තිබෙන බව දන්නා චීන අධිකාරීහු, එබැවින් වෛකල්පිත බලශක්ති මූලාශ්‍ර තුල චීන ධාරිතාව සංවර්ධනය කිරීමට උත්සාහ දරමින් සිටිති.
“ෂීගේ ආන්ඩුව උපරි-ධාරිතාව අඩු කර, ආර්ථිකය වඩ වඩා පරිභෝජනය පැත්තට යලි තුලනය කල යුතු බවට කරන එක්සත් ජනපද විධානයන් නො තකා, සිය නිෂ්පාදන බලය පහල දැමීමේ අභිලාෂයක් චීනයට නැති වීමේ අර්ථය වන්නේ භව්‍ය පූර්න-පරිමාන ගැටුමක හැකියාව” මෙහි අර්ථය බව ලිපිය සටහන් කලේ ය.
අතිශයින් ම අභිවර්ධිත පරිගනක චිප් සහ අතිශය සංකීර්න චිප්-නිෂ්පාදන උකරන මත එක්සත් ජනපද තහනම් කිරීම් සතුව බලපෑමක් තිබීම ගැන සැකයක් නැත. එහෙත්, මෙය නො තකා “චීනය නිෂ්පාදන ආධිත්යයේ හා තාක්ෂනික අභිවර්ධනයේ ඉනිමගේ අඛන්ඩ ව ඉහල නැග්ගේ” යයි ද එක්සත් ජනපදයට තරඟය ජයගැනීම අවශ්‍ය වූයේ නම්, එයට “වේගයෙන් දිවීම හෝ චීනය වැට්ටවීමට තදින් උත්සාහ කිරීම” අවශ්‍ය වන බව විශ්ලේෂනය කීවේ ය.
සදාකාලික ව ඉහල යන ආර්ථික යුද්ධය මෙමගින් පෙර අඟවයි. එහෙත් එක්තරා ලක්ෂ්යයක දී මෙය මිලිටරි විධික්රම වඩ වඩා යොදා ගැනීම බවට වර්ධනය වනු ඇත. චැන්සොන් නමැති බෙයිජිනයේ ආයෝජන බැංකුවේ අධ්යක්ෂවරයෙක් වන ශෙන් මෙං පර්යේෂකයන්ට කී පරිදි, මෙයට හේතුව වන්නේ “කෙටි කාලීන ව චීනය සීමා කිරීමේ ප්රයත්නයන්” දීර්ඝ කාලීන ව “මෙම සීමා කිරීම උපායෙන් ජයගැනීමේ මාවත් සොයාගැනීමට චීනයට ඉඩ ලබා දී” තිබීම යි.
හාන්සි පුටු සමපේක්ෂනයක් නො වන මෙය, හුවාවි නැමති යෝධ චීන විදුලි-සන්දේශ සංගතයේ සිද්ධිය තුල පිලිබිඹු වූවකි. 2019 දී ට්‍රම්ප් පරිපාලනය, හුවාවි සංගතයේ ජංගම දුරකථන නිෂ්පාදනයට අවශ්‍ය අභිවර්ධිත චිප් කරා ප්‍රවේශ වීම අහිමි කරමින් තහනමක් පැනවූ අතර එහි වෙලඳාම් අඩු වුනි.
නිපදවීමේ හැකියාවක් නැතැයි එක්සත් ජනපදය කල්පනා කල වඩා අභිවර්ධිත චිප් වර්ගයක් වර්ධනය කිරීමට දේශීය සැපයුම්කරුවන් සමග වැඩ කරමින් හුවාවි සංගතය පර්යේෂන සහ සංවර්ධන ක්ෂේත්රයන් තුලට මුදල් පොම්ප කලේ ය. චීනයේ වර්ධනය කරන ලද චිප් වර්ගය පරාසයේ ඉහලින් නැතත්, ලිපිය මෙසේ කියයි: “එතැන් පටන් හුවාවි ස්මාට් දුරකථන ව්‍යාපාරය ප්‍රකෘතිමත් වී දැන් ඇපල් සංගතයට අභියෝග කරමින් සිටී.”
සවොෂින්ටනයේ පාදිත උපදේශක ආයතනයක විශ්ලේෂකයෙක් වන පෝල් ට්රියෝලෝ කීවේ, හුවාවි සංගතයේ කෘතිම-බුද්ධි චිප්, ඇපල් හා න්විඩියා සමාගම් නිපදවන එම වර්ගයේ චිප් තරම් අභිවර්ධිත නැතත්, “ඒවා බොහෝ ව්‍යවහාරයන් සඳහා ඇති තරම් හැකියා සම්පන්න” වෙයි යනුවෙනි.
එක්සත් ජනපද උපාංගවලින් තොර ව නිෂ්පාදනය දෙසට “ප්‍රධාන ප්‍රගතියක්” චීනය පෙන්වා ඇති බවත්, “උපාංග තනන්නන් හා ඉදිරියෙන් සිටින නිෂ්පාදන පහසුකම් යන දෙක ම ඉලක්ක කරමින් එක්සත් ජනපදය අඛන්ඩ ව පාලනයන් පැනවීමේ යෙදෙද්දී” මෙය ක්‍රියාදාමය මන්දගාමී හා අභියෝගී විය හැකි බව ඔහු කීවේ ය.
එය මන්දගාමී විය හැකි වුවත්, සංවර්ධනයේ දිශාව ප්‍රතික්ෂේප කිරීමක් නැත. චීනය චිප් නිෂ්පාදනයේ ස්වයං-පෝෂිත භාවයෙන් සියයට 40ක් හෙවත් ආසන්න වසයෙන් එහි වර්තමාන මට්ටම මෙන් දෙගුනයක් කරා 2030 වන විට ඉහල නැගිය හැකි යයි ගෝල්ඩ්මන් සැක්ස් තක්සේරු කලේ ය. මෙම වර්ධනය පරාසයේ ඉහලින් ම නැතත්, එය එක්සත් ජනපදය වෙතින් වඩ වඩා ආක්රමනශීලී ප්‍රතිචාරයක් අවුලුවනු ඇත.
චීන අධි-තාක්ෂනයේ සංවර්ධනය සහ එය කෙරෙහි එක්සත් ජනපදයේ වඩ වඩා යුදවාදී ප්‍රතිචාරය ධනපති ක්‍රමය මුල්බැස තිබෙන ජාතික-රාජ්‍ය පද්ධතියෙහි ආන්තික ප්රතිගාමී ස්වභාවයත්, ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලන බලය ගෙන සමාජවාදය ස්ථාපිත කිරීමේ අරගලය තුල එම පද්ධතිය අහෝසි කිරීමේ ඓතිහාසික අවශ්‍යතාවත් අවධාරනය කරයි.
නිෂ්පාදන බලවේගයන්ගේ අනෙක් සෑම අභිවර්ධනයක් මෙන් ම අධි-තාක්ෂනයේ සංවර්ධනය, එක් ජාතියක නො ව සමස්ත ලෝකයෙන් ඇද ගන්නා කම්කරුවන්, විද්‍යාඥයින්, මෘදුකාංග සැලසුම්කරුවන් ආදීන්ගේ ශ්‍රමය ක්රියාවේ යොදවන ගෝලීය නිෂ්පාදිතයකි.
ලෝක මහජනතාවගේ සමාජ කොන්දේසි සහ ජීවන තත්ත්වයන්වල යෝධ අභිවර්ධනයක් සඳහා විභවය එය තුල අඩංගු වෙයි. එහෙත්, අධි-තාක්ෂනයේ ගෝලීය පරිමානය සහ ජාතික-රාජ්‍ය පද්තිය විසින් ලෝකය බෙදා තිබීම අතර පරස්පර-විරෝධය පවතින තාක් දුරට, මෙම සංවර්ධනය ම ලෝක යුද්ධයේ අන්තරාය සහ ශිෂ්ටාචාරය විනාශ කිරීමේ අන්තරාය රැගෙන එන්නේ, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවත්තු ඔවුන් ම ආධිපත්‍යධාරී බලය ලෙස ස්ථාපිත කිරීම මගින් එම පරස්පරය විසඳීමට උත්සාහ දරද්දී ය.