[මෙය The socialist response to the election of Trump යන මැයෙන් 2024 නොවැම්බර් 11 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
සමාජවාදී සමානතා පක්ෂය (සසප), ට්‍රම්ප්ගේ ජයග්‍රහනයේ හේතූන් සහ ප්‍රතිවිපාක විශ්ලේෂනය කරමින් සහ බලයට පැමිනෙන ට්‍රම්ප් පරිපාලනයකට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තියට දේශපාලන මූලෝපායක් විස්තාරනය කරමින්, “මැතිවරන පරාජය සහ ආඥාදායකත්වයට එරෙහි සටන” යන මැයෙන්, නොවැම්බර් 10 දා, සජීවීව විකාශනය කෙරුනු රැස්වීමක් පැවැත්වීය.
සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්, සසප ජාතික ලේකම් සහ ජනාධිපති අපේක්ෂක ජෝසෆ් කිෂෝර්, සසප ජාතික කමිටු සාමාජිකයින් වන එරික් ලන්ඩන් සහ ටොම් කාටර් සහ සසප උප ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් මෙම අවස්ථාවට සහභාගී වූහ.
එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරුවන්ට හා තරුනයින්ට දේශපාලන දිශානතියක් සැපයීම සඳහා රැස්වීම ඉතා වැදගත් විය. එය පැවැත්වුනේ, මැතිවරනයෙන් දින පහකට පසුව සහ දේශපාලන ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ සහ දැවැන්ත සමාජ ප්රතිවිප්ලවයක් ක්‍රියාවට දැමීමේ න්‍යාය පත්‍රයත් සමග ට්‍රම්ප් යලි බලයට පැමිනීමට මාස දෙකකටත් අඩු කාලයකට පෙර, ය.
මෙම තත්වයන් යටතේ, වඩාත් තීරනාත්මක ප්රශ්නය වන්නේ, ඉදිරි අරගල සූදානම් කිරීම සඳහා දිශානතියක් සහ ඉදිරිදර්ශනයක් වර්ධනය කිරීමයි. නොවැම්බර් 5 න් පසු මාධ්‍යවල පල වූ නිමක් නැති ලිපි ලේඛන තුලින්, ඇත්ත වශයෙන් ම, ආඥාදායකත්වය සහ දැවැන්ත මර්දනය සඳහා වන ට්‍රම්ප්ගේ දුරදිග යන සැලසුම්වලට එරෙහිව සටන් කිරීමේ ශක්‍ය මූලෝපායක් තබා, ඩිමොක්රටික් පක්ෂයේ දුස්සහාය ද ඇතුලු, මැතිවරන ප්‍රතිඵලයේ දේශපාලන, ආර්ථික සහ සමාජීය හේතු පිලිබඳ බරපතල විශ්ලේෂනයක් පවා සම්පාදනය නොවුනි.
පැහැදිලිවම, වඩා බැරෑරුම් ප්‍රතිචාරයක් සඳහා ප්‍රේක්ෂකත්වයක් පවතී. සජීවී රැස්වීම ගෝලීය වශයෙන් 2,000 කට අධික පිරිසක් නරඹන ලද අතර, මෙය ලියන විට, පටිගත කරන ලද වීඩියෝව විවිධ වේදිකා තුලින් නරඹන ලද වාර ගනන 10,000 වෙත ලඟා වෙමින් තිබේ.
පැය දෙකහමාරක රැස්වීම සහ එහි දී ඉදිරිපත් වූ වාර්තා අධ්‍යයනය කිරීම අවශ්‍ය ය. පහත දැක්වෙන්නේ එහිදී ආමන්ත්රනය කරන ලද ඉතා වැදගත් ගැටලු කිහිපයක සාරාංශයකි; නමුත් එය, සමස්ත ප්රතිපදානයන්ට සවන් දීම හෝ ඒවා ප්‍රවේශමෙන් සලකා බැලීම වෙනුවට ආදේශ කල නොහැක.
රැස්වීම ආරම්භ කරමින් නෝර්ත් ප්‍රකාශ කලේ, “එක්සත් ජනපදයේ පලමු ෆැසිස්ට් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීම, ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ දිග්ගැස්සුනු අර්බුදයේ කූටප්‍රාප්තියයි.” මෙය අවබෝධ කරගත යුත්තේ, ප්රගාඪ සමාජ සහ දේශපාලන සංතතීන්ගේ ප්රකාශනයක් ලෙසට බව, නෝර්ත් අවධාරනය කලේය.
තනි පුද්ගලයෙකු ලෙස ට්‍රම්ප් මත නොව, “මෙම මැතිවරනයේදී ප්රකාශනය අත්පත් කරගෙන ඇති පන්ති බලවේග සහ අවශ්‍යතා මත” කේන්ද්‍රගත වූ “මාක්ස්වාදී විශ්ලේෂනයක්” දෙසට රැස්වීම යොමුවනු ඇතැයි ඔහු පැවසුවේ ය. “අපගේ විශ්ලේෂනයේ ආවශ්‍යක පදනම වනුයේ, එක්සත් ජනපදයේ පවතින සැබෑ සමාජ සබඳතාවලට අනුරූප වන, දීර්ඝ කාලයක් සූදානම් වෙමින් සිටි, ඇමරිකානු දේශපාලන උපරි ව්‍යුහයේ අතිමූලික යලි-පෙලගැස්මක් දෙවන ට්‍රම්ප් පරිපාලනය බලයට පැමිනීම මගින් ප්‍රකාශයට පත්වනු ඇත යන්නයි.”
ට්‍රම්ප්ගේ ජයග්‍රහනයේ වෛෂයික මූලාශ්‍ර කෙරෙහි අප කරන අවධාරනය, ඩිමොක්රටික් පක්ෂයේ පරාජය කෙරෙහි එහි දේශපාලන වගකීම කිසිදු ආකාරයකින් අඩු නොකරයි. ඒ වෙනුවට එය, ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේමත් ප්‍රතිචාරය වටහා ගැනීමේ අත්‍යවශ්‍ය පදනම සම්පාදනය කරයි. දෙවන ට්‍රම්ප් පරිපාලනයේ සැලසුම් පිලිබඳව දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කරන සසපට ප්රතිවිරුද්ධව, ඩිමොක්රටිකයන් ඒවා වසන් කිරීමට සෑම දෙයක්ම කරමින් සිටින බව, නෝර්ත් සිය හැඳින්වීම තුල අවධාරනය කලේය.
“ට්‍රම්ප් විසින්, ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම කෙරෙහි තර්ජනයක් නියෝජනය කරන බවට, බයිඩන් සහ කමලා හැරිස්, මැතිවරනයට පෙර නැවත නැවතත් අනතුරු ඇඟවූහ. ‘එෆ් වචනය,’ එනම් ෆැසිස්ට්වාදය, පූර්ව මැතිවරන කතිකාවේ කැපී පෙනුනි. දින පහක්, මොන තරම් වෙනසක් ඇති කලේ ද? ට්‍රම්ප් මැතිවරනයෙන් ජයග්‍රහනය කර ඇති බැවින්, 'එෆ් වචනය' පූර්වභංග කර දේශපාලන පිටුවහලට යවා ඇත. සමාව දීම සහ අමතක කර දැමීම ඩිමොක්රටික් පක්ෂයේ නව ආදර්ශ පාඨයයි,” යනුවෙන් ඔහු සඳහන් කලේය.
ට්‍රම්ප්ගේ මැතිවරන ජයග්රහනයෙන් පසු, බයිඩන් කල කෙටි ප්‍රකාශයට නෝර්ත් අවධානය යොමු කලේය: “[බලය] ලබන්නා මැතිවරනයෙන් පරාජයට පත් වූයේනම්, ඔහු දෙවන හා වඩාත් ප්‍රචන්ඩකාරී කුමන්ත්රනයකට සූදානම් වෙමින් සිටි ෆැසිස්ට්වාදියෙකු වුවද, සාමකාමී ලෙස බලය මාරු කිරීම” තරම් පූජනීය දේශපාලන උත්සවයක් තවත් නැතැයි බයිඩන් පැවසූ බව ඔහු සඳහන් කලේය. නෝර්ත් තවදුරටත් මෙසේ පැවසීය:
1933 ජනවාරි 30 වන දින හිට්ලර් ජර්මානු චාන්සලර් තනතුරට එසවී ගැනීම ද සාමකාමී බල හුවමාරුවක් බව මෙහි දී සිහිපත් කල යුතුය. ප්රචන්ඩත්වය පැමිනියේ ඉන් පසුවය. දැන්, ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීම, හිට්ලර්ගේ 1933 ජයග්‍රහනයේ සාම්‍යය වෙතැයි යන්න, සසප හා ලෝසවෙඅ ආස්ථානය නොවේ. එක්සත් ජනපදය වයිමර් ජර්මනිය නොවන්නාක් මෙන් ම, ට්‍රම්ප්ගේ අභිප්‍රාය කුමක් වුවද, එක්සත් ජනපදය මහජන ෆැසිස්ට් ව්‍යාපාරයක පිටුබලය ලබන පොලිස් රාජ්‍ය ආඥාදායකත්වයක් බවට පරිවර්තනය කිරීම, එක රැයකින් සාක්ෂාත් කර ගත නොහැක.
අරගලයක්, දැවැන්ත අරගලයක් පැන නගිනු ඇත; නමුත්, පසුගිය අඟහරුවාදා (05) මැතිවරනයේ භයානක ඇඟවුම් සහ සැබෑ ප්‍රතිවිපාක හඳුනා ගැනීමකින් තොරව කෙරෙන එවන් අරගලයක් දේශපාලනිකව වගකීම් විරහිත වනු ඇති අතර, සැබැවින්ම එය ට්‍රම්ප්ගේ අරමුනුවල සාර්ථකත්වයට දායක වනු ඇත. අවම වශයෙන්, ට්‍රම්ප් කියන්නේ කුමක්ද යන්න බැරෑරුම්ව ගැනීම අත්‍යවශ්‍ය වේ.
කම්කරු පන්තිය ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව සටන් කල යුතු අතර සටන් කරනු ඇත; නෝර්ත් පැවසුවේ, “නමුත් එම සටන සූදානම් කල යුතුය. එයට විශ්ලේෂනයක් අවශ්‍ය වේ. දේශපාලන සිද්ධීන් සම්බන්ධයෙන් සන්සුන් හා ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් අවශ්‍ය වේ. භීතිය සහ සන්ත්රාසය එයට අවශ්‍ය නොවේ..... බැරෑරුම් දේශපාලනයේ කාලය එලැඹ ඇත.”
ජෝසප් කිෂෝර්ගේ වාර්තාව මෙම තේමා විස්තාරනය කල අතර ට්‍රම්ප්ගේ ජයග්‍රහනයේ හේතු සහ ඇඟවුම් පිලිබඳ දල විශ්ලේෂනයක් ලබා දුන්නේය. එලෝන් මස්ක් සහ ජෙෆ් බෙසොස් වැනි පුද්ගලයින් ද ඇතුලු ධනේශ්වර කතිපයාධිකාරයක් අතේ ධනය සංකේන්ද්‍රනය වීම කෙරෙහි ඔහු අවධානය යොමු කලේය. බිලියනපතියන් 800 ක් දැන් ඩොලර් ට්‍රිලියන 6.2 කට වඩා වැඩි ඒකාබද්ධ ධනයක් හිමිකරගෙන සිටින ඇමරිකානු ධනවාදයේ විශද ලක්ෂනය මෙයයි.
එක්සත් ජනපදයේ මිලියන 1.5 ක ජනතාවක් මිය යාමට තුඩු දුන් කොවිඩ්-19 වසංගතයේ බලපෑම සහ—බයිඩන්-හැරිස් පරිපාලනයේ කේන්ද්‍රීය යොමුව වන—ගාසා තීරයේ ජන සංහාරය සහ යුක්රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය ද ඇතුලු, ප්රමුඛ විදේශ ප්‍රතිපත්ති සඟරා, “පූර්න යුද්ධයේ” කාල පරිච්ඡේදයක ආරම්භය ලෙස විස්තර කර ඇති දේ ගැන ද කිෂෝර් අවධාරනය කලේය.
ගෝලීය යුද්ධය ප්රජාතන්ත්රවාදී පාලන රූපයන් සමග නොගැලපෙන බව කිෂෝර් පැහැදිලි කලේය. “යුද්ධය සඳහා ගෙවීමට සමාජ වියදම් කපා හැරිය යුතුයි. කම්කරු පන්තිය යුද්ධය පිටුපස විනයගත කල යුතුයි. යුද්ධයේ අවශ්‍යතා මත පන්ති අරගලය යටපත් කල යුතුයි. යුද්ධයට විරුද්ධත්වය තලා දැමිය යුතු අතර එය සාපරාධීකරනය කල යුතුයි. පූර්න යුද්ධයේ දේශීය අනුපූරකය දේශපාලන ආඥාදායකත්වයයි.”
ට්‍රම්ප් තේරී පත්වීමට ඩිමොක්රටිකයන් දුන් දුස්සහාය සහ එම තේරී පත්වීමට ඩිමොක්රැටිකයන් දක්වා ඇති ප්‍රතිචාරය ගැන සාකච්ඡා කිරීමේදී, කිෂෝර්, ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාද ලත් ස්ථරයන්ගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට භාවිතා කරන අනන්‍යතා දේශපාලනයේ ප්රතිගාමී භූමිකාවත්, වර්ගය සහ ස්ත්‍රී-පුරුෂ භාවය පිලිබඳ ප්‍රශ්න සම්බන්ධ ඩිමොක්රටිකයන්ගේ ස්ථාවරයත් අවධාරනය කලේය. “වැඩකරන පන්තියේ අවශ්‍යතා මත පදනම්ව කිසිදු ආයාචනයක් ඉදිරිපත් කිරීමට ඩිමොක්රටික් පාක්ෂිකයන්ට නොහැකි වූ අතර ඔවුන් ඊට විරුද්ධ විය; ඒ වෙනුවට ඔවුන් කලේ, හැරිස් වෙත ඡන්දදායකයන් නොහැරුනේ වර්ගවාදය සහ ස්ත්‍රීන් කෙරෙහි ඇති වෛරය නිසා බව කියමින් ඡන්දදායකයින්ට දෙසා බෑම” යැයි ඔහු පැවසීය.
ප්‍රස්ථාර ද ඇසුරු කරගත්, මැතිවරන දත්ත පිලිබඳ සවිස්තරාත්මක විශ්ලේෂනයකට එරික් ලන්ඩන්ගේ වාර්තාව යොමු විය. දේශානුරාගයේ සටකපටත්වයෙන් සමාජ කෝපය ගසා කෑමට ට්‍රම්ප්ට හැකිවීම සහ කම්කරු පන්තිය තුල සිදුව ඇති දේශපාලන මාරුවීම් එහිදී අවධාරනය කෙරුනි. “පසුගිය මැතිවරනයට සාපේක්ෂව මෙම මැතිවරනයේදී ඩිමොක්රටික් පක්ෂයට ඡන්ද මිලියන 10 ක් පමන අහිමි වී ඇත; එය එම පක්ෂයේ සහයෝගී පදනමේ දැවැන්ත ඓතිහාසික බිඳවැටීමක්” බව ඔහු පැහැදිලි කලේය.
ලන්ඩන්, සියලු ජන වර්ගවල කම්කරුවන් අතර හැරිස්ට දක්වන සහයෝගයේ දැවැන්ත පහත වැටීම ඉස්මතු කල අතර ඩිමොක්‍රටිකයින්ට ධනවතුන් අතර පමනක් වැඩි වූ සහයෝගය ගැන සඳහන් කලේය. “ඩිමොක්රටික් පක්ෂය... දක්ෂිනාංශික ආර්ථික ප්‍රතිපත්ති, අධිරාජ්‍යවාදය සහ අනන්‍යතා දේශපාලනයේ සංකලනයක් මත පදනම් වූ මැතිවරන උදඝෝෂන ව්‍යාපාරයක් මෙහෙයවීය... කලු මිනිසුන්, ලතින් මිනිසුන් සහ තරුනයන් ඩිමොක්රටිකයන්ගෙන් සැලකිය යුතු ලෙස ඈත් විය.”
ඡන්දය ප්‍රකාශකොට ඡන්ද මධ්‍යස්ථාන වලින් පිටවන අයගේ අදහස් සහ අනෙකුත් දත්ත සමාලෝචනය කරමින් ලන්ඩන් මෙසේ පැවසීය: “කිසිදු දුෂ්කරතාවයකින් නොපෙලෙන බව පවසන්නේ ජනගහනයෙන් හතරෙන් එකක් පමනි. .... හැරිස් මෙම ඡන්දදායකයින් අතර, එනම් මූල්‍යමය වශයෙන් කරදර වීමට කිසිත් නොමැති ඡන්දදායකයින් අතර ඉතා හොඳින් ක්‍රියා කලාය.”
ඇමරිකානු ධනවාදයේ දේශපාලන ආයතනවල ප්රජාතන්ත්ර විරෝධී ස්වභාවය ලේඛනගත කර ඇති මෑතකාලීන සාහිත්‍යය ද ලන්ඩන් සමාලෝචනය කලේය. “ජනගහනයෙන් සියයට 90 කට, ඔවුන් සුවිසල්ව සහාය දෙන කිසිදු ප්‍රතිපත්තියක්, මෙම පක්ෂ දෙකෙන් කවර පක්ෂයක් මගින් හෝ බලාත්මක කිරීමේ ලා කිසිම හඬක් නැගිය නොහැකි මෙය, කතිපයාධිකාරී පද්ධතියකි.”
ටොම් කාටර්ගේ වාර්තාව, දෙවන ට්‍රම්ප් පරිපාලනයේ සහ එක්සත් ජනපදය තුල ආඥාදායකත්වයක් ඇටවීමට කුමන්ත්රන කරන දේශපාලන බලවේගවල සැලසුම් පිලිබඳ සවිස්තරාත්මක සහ තැතිගන්වන විමර්ශනයක් සම්පාදනය කලේය. ට්‍රම්ප්ගේ ජයග්‍රහනයට ප්‍රතිචාර වශයෙන්, “දේවල් හොඳින් සිදුවන බව යි පෙනෙන්නේ” යන බයිඩන්ගේ ප්‍රකාශය, “අනතුරේ තරම වසන් කිරීම” සහ ට්‍රම්ප්ට සහ රිපබ්ලිකානුවන්ට එරෙහිව මහජන ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීම අරමුනු කර ඇති බව කාටර් සඳහන් කලේය.
“ට්‍රම්ප් දැවැන්ත පිටුවහල් කිරීමේ මෙහෙයුමක් සැලසුම් කරමින් සිටී” යයි කාටර් පැවසුවේ, “ගාල් කඳවුරු ඉදි කිරීමත් සමඟ පොලිස් භටයින් සහ සොල්දාදුවන් ලක්ෂ ගනනක් බලමුලු ගැන්වීම අවශ්‍ය වනු ඇති” බව සඳහන් කරමිනි. අත්අඩංගුවට ගැනීම සහ පිටුවහල් කිරීම සඳහා මාක්ස්වාදීන් සහ සමාජවාදීන් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කිරීම සඳහා වන ට්‍රම්ප්ගේ සැලසුම් ද ඔහු විමර්ශනය කලේය.
සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම ජනාධිපතිවරයාගේ කැමැත්තට යටත් කිරීමේ උත්සාහයන් ඇතුලත්, රිපබ්ලිකානුවන්ගේ '2025 ව්‍යාපෘතිය' වෙත ද කාටර් අවධානය යොමු කලේය. “ට්‍රම්ප් සහ ඔහුගේ පාර්ශවය පවසන්නේ, ඔහු මහජන ඡන්දය ජයගත් නිසාත්, ඒ නිසා 'ජනතාවගේ කැමැත්ත' නියෝජනය කරන නිසාත් ඔබේ පක්ෂපාතිත්වය, ඇත්ත වශයෙන්ම, ව්‍යවස්ථාවට නොව, ට්‍රම්ප්ට වියයුතු බව යි... එය නායකත්ව මූලධර්මය, එනම්, [නාසි] ෆූරර් මූලධර්මය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමක් පමනි.”
සෑම මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකමක්ම ප්‍රහාරයට යටත් කෙරී ඇති අතර, “නිල ක්‍රියාවන්” සඳහා අපරාධ නඩු පැවරීමෙන් ජනාධිපතිවරයා 'මුක්තිය' ලබන බවට ප්‍රකාශ කරන ලද ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ට්‍රම්ප්ට පිටුබලය ලැබේ. කාටර් සඳහන් කලේ, පැමිනෙන පරිපාලනයේ න්‍යාය පත්‍රයේ ඇති බොහෝ අධිකාරීවාදී ක්‍රියාමාර්ග අතර, “ගුරුවරුන් 'තමන්ගේ රටට වෛර කිරීමට නොව, තම රටට ආදරය කිරීමට සිසුන්ට ඉගැන්වීමට' අවශ්‍ය වනු ඇති බවත්, මෙයට එරෙහි වන ඕනෑම ගුරුවරයෙකු සේවයෙන් පහ කරනු ඇති බවත් ට්‍රම්ප් පවසා ඇති බව යි.”
ජෙරී වයිට්ගේ වාර්තාව, නෝර්ත් විසින් ඔහුව හඳුන්වා දීමේදී සාරාංශ කරන ලද මූලික හා ආවශ්‍යක ප්රශ්නය ආමන්ත්රනය කලේය: “මෙම අන්තරායන් ජය ගැනීමට, මෙම ප්‍රහාරවලට ප්‍රතිරෝධය දැක්වීමට හැකි බලවේගයක් තිබේද? එසේ කිරීමට අවශ්‍යතාවක් ඇති බලවේගයක් තිබේද? මෙම ප්‍රශ්නයට පිලිතුර ඔව්: ඒ ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.
ධනේශ්වර සමාජය තුල කම්කරු පන්තියේ ස්ථානය හේතුවෙන් එයට පැවරෙන විප්ලවවාදී භූමිකාව තහවුරු කරමින්, 1844 දී මාක්ස් සහ එංගල්ස් විසින් ලියන ලද 'ශුද්ධ වූ පවුල' කෘතියේ ඡේදයක් නොර්ත් උපුටා දැක්වීය: “එය, ඒ හෝ මේ නිර්ධනයා, නැතිනම් සමස්ත නිර්ධන පංතිය තම අරමුන ලෙස මේ මොහොතේ සලකනු ලබන්නේ කුමක්ද යන්න පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. එය, නිර්ධන පංතිය යනු කුමක්ද සහ එහි පැවැත්මට අනුකූලව, එයට ඓතිහාසිකව සිදුකිරීමට බල කෙරී ඇත්තේ කුමක්ද යන්න පිලිබඳ ප්රශ්නයකි. එහි අරමුන සහ ඓතිහාසික කාර්යය, එහි ම ජීවන තත්වය තුල මෙන්ම, අද ධනේශ්වර සමාජයේ සමස්ත සංවිධානය තුල ආපසු හැරවිය නොහැකි බවට, දෘෂ්‍යමාන ආකාරයෙන් පෙරනිමිති පෙන්වයි.”
කම්කරුවන් අතර දැවැන්ත ව්‍යාකූලත්වයක් පවතින බව නෝර්ත් සඳහන් කලේය. “තමා නිර්දය ලෙස බොරුවෙන් රවටා ඇති බව ඔවුන් නොදැන සිටින්නේ කෙසේද? කෙසේ වෙතත්, විඥානයේ ගැටලු ජයගැනීමේ වෛෂයික ශක්‍යතාව පවතින්නේ “ධනවාදයේ ම ප්රතිවිරෝධතා තුල, පන්ති අරගලයේ යථාර්ථය තුල ය.”
ජෙරී වයිට් මෙම කොන්දේසි පෙන්වා දුන්නේ, ඇමරිකානු ධනවාදයේ සමාජ යථාර්ථය පිලිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් මගිනි. මෙය, දැවැන්ත අසමානතාවය සහ ජීවන තත්වයන්ගේ පිරිහීම, ඉහල යන මිල ගනන් සහ වැඩිවන සූරාකෑම මගින් නිපන් තීව්රවන සමාජ අර්බුදය තුල සංලක්ෂිත වේ. “කම්කරු පංතියේ ආදායම (රටක ජාතික ආදායමෙන් වැටුප් සඳහා වෙන් කෙරෙන ප්‍රතිශතය), 2001 පලමු කාර්තුවේ දී තුනෙන් දෙකේ හෙවත් සියයට 64 සිට 2024 පලමු කාර්තුවේ දී සියයට 55.8 දක්වා පහත වැටුනි; එය සමාජ අසමානතාවය සමග ඒඑෆ්එල්-සීඅයිඕ හි වෘත්තීය සමිති නිලධරය විසින් පන්ති අරගලය කෘතිමව මර්දනය කිරීමට සෘජුවම අනුරූප වන,” බව ඔහු පෙන්වා දුන්නේය.
එහෙත් 2024 දී, කම්කරුවන් 220,000 ක් සම්බන්ධ කර ගනිමින් සිදුවූ අවම වශයෙන් ප්‍රධාන වැඩ වර්ජන 24 ක් ඇතුලුව, කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වයේ බොහෝ ප්‍රකාශන තිබේ. “ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරයේ නග්න පන්ති අවශ්‍යතා, ට්‍රම්ප්ට ඡන්දය දුන් අය ද ඇතුලුව මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට හෙලිදරව් වන විට, සමාජ ප්රතිවිප්ලවය සූදානම් කරමින් සිටින ට්‍රම්ප් පරිපාලනය, පන්ති ගැටුම් උත්සන්න කරනු ඇති” බව වයිට් පැහැදිලි කලේ ය.
රැස්වීම අවසන් කරමින්, ට්‍රම්ප්ගේ තේරී පත්වීමෙන් උකහා ගත යුතු කේන්ද්‍රීය නිගමනය, නෝර්ත් අවධාරනය කලේය: එනම්, විප්ලවවාදී ව්‍යාපාරයක්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එක්සත් ජනපදය තුල සහ ලෝකය පුරා ගොඩනැගීම යි.
“මැතිවරනය වූකලි ගෝලීය සිදුවීමකි… එක්සත් ජනපදයේ අර්බුදය ලොව පුරා පිලිරැව් දෙයි. එමෙන්ම ට්‍රම්ප් වැන්නකු නිර්මානය කෙරුනු කොන්දේසි සෑම තැනකදී ම දැකගත හැකිය. “දක්ෂිනාංශික ෆැසිස්ට්වාදී ව්‍යාපාරවල වර්ධනය තනිකරම ඇමරිකානු සංසිද්ධියක් නොවේ. ධනවාදය ජාත්‍යන්තර බැවින් මෙය ජාත්‍යන්තර ක්‍රියාවලියකි.”
ජාත්‍යන්තර සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම හදිසි අවශ්‍යතාවක් මෙන්ම කලහැකි දෙයකි. ෆැසිස්ට්වාදය, ආඥාදායකත්වය සහ ලෝක යුද්ධය බිහි කරන එම ප්රතිවිරෝධයන් ම, කම්කරු පන්තිය තුල විප්ලවවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම හරහා ධනවාදය පෙරලා දැමීමේ පදනම ද සකසයි.
නමුත් මෙය ස්වයංක්‍රීයව සිදුවන්නක් නොවේ. “විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක් සඳහා වෛෂයික අවශ්‍යතාවයක් පවතී; නමුත් එවැනි ව්‍යාපාරයක් ගොඩනැගීම, ඓතිහාසික ක්‍රියාවලියට මැදිහත් වීමට මිනිසුන් ගන්නා තීරනවල ප්රතිඵලයකි” නෝර්ත් පැවසීය.
***
ට්‍රම්ප්ගේ තේරී පත්වීම දැවැන්ත දේශපාලන කම්පන ඇති කරනු ඇති අතර “ඇමරිකානු භූමිකම්පාව” ලොව පුරා පිලිරැව් දෙනු ඇත. ධනවාදයට එරෙහි විප්ලවවාදී ව්‍යාපාරයක වර්ධනය වෙනතකට හැරවීමට, නව දේශපාලන උගුල් නිර්මානය කිරීමට, පාලක පන්තියේ සහ එහි දේශපාලන නියෝජිතයින්ගේ පැත්තෙන් ගැනිය නොහැකි තරම් උත්සාහයන් ගනු ඇත.
සමාජවාදී සමානතා පක්ෂ රැස්වීමේ කේන්ද්‍රීය පනිවිඩය නම්, කම්කරු පන්තියට නැඹුරු විය හැක්කේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසය තුල ආරක්ෂා කරන ලද සැබෑ සමාජවාදී දේශපාලනයේ, විප්ලවවාදී දේශපාලනයේ, පුනර්ජීවනයක් තුලින් පමනක් බවයි. රැස්වීම ආරම්භයේදී ඩේවිඩ් නෝර්ත් ප්‍රකාශ කල පරිදි, “බැරෑරුම් දේශපාලනයේ කාලය ආරම්භ වී ඇත.”
කම්කරු පන්තියේ දේශපාලන දිශානතිය සඳහා, ඓතිහාසික අත්දැකීම් තුල මුල් බැසගත් දේශපාලන ඉදිරිදර්ශනයක අවබෝධය වර්ධනය කර ගැනීම අවශ්‍ය වේ. ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව, පාලක පන්තිය ෆැසිස්ට්වාදයට හා ඒකාධිපතිත්වයට හැරීමට එරෙහිව සහ ෆැසිස්ට්වාදයේ මූල හේතුව වන ධනේශ්වර ක්‍රමයට එරෙහිව සටනක් දියත් කල හැක්කේ මෙම පදනම මත පමනි.
“මැතිවරන පරාජය සහ ආඥාදායකත්වයට එරෙහි සටන” යන සසප පූර්න රැස්වීම නරඹන ලෙසත්, ඉහත වාර්තා හැකිතාක් පුලුල් ලෙස සමාජ මාධ්‍ය තුල බෙදාහරින ලෙසත්, සමාජවාදී සමානතා පක්ෂයට බැඳීමට තීරනය ගන්නා ලෙසත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගන ලෙසත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය අපගේ සියලුම පාඨකයන්ගෙන් ඉල්ලා සිටී.