ජනාධිපති දිසානායක, රටේ ඉහලම ආරක්ෂක තනතුරුවලට තම මැතිවරන උද්ඝෝෂකයන් පත්කර ගනී

ජාතික ජන බලවේගයේ (ජාජබ) සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක, රටෙහි ඉහලම ආරක්ෂක තනතුරු සඳහා තම මැතිවරන උද්ඝෝෂනයේ විවෘතවම යෙදීගත්, රාජ්‍ය ආරක්ෂක සේවයේ විශ්‍රාමික නිලධාරීන් ගනනාවක්ම පත්කරගෙන ඇත.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 2023 පෙබරවාරි 11 වන දින ජවිපෙ-ජාජබ විසින් කැඳවුම් කරන ලද විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ රැස්වීම අමතමින්. විශ්‍රාමික ඉහල හමුදා නිලධාරීහු සහ තාක්ෂනඥයෝ ජවිපෙ නායකයා පිටුපස අසුන්ගෙන සිටිති. [ඡායාරූපය: ලෝසවෙඅ]

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු එයා වයිස් මාර්ෂල්වරයෙකු වන සම්පත් තුයකොන්ත ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ද, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ (සීඅයිඩී) හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ශානි අබේසේකර මධ්‍යම අපරාධ තොරතුරු විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂ ලෙස ද, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවි සෙනවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකමි ලෙස ද පත් කිරීම මේ අතරින් ප්‍රමුඛ ය.

මේ පත් කිරීම් සම්බන්ධයෙන් යම් “සදාචාරාත්මක” උත්සුකයන් තන්හි තන්හි පල විය. 2024 ඔක්තෝබර් 20 දා, දි අයිලන්ඩ් පුවත්පතේ පල වූ වාර්තාවකට අනුව, “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන සහ මැතිවරන අධ්‍යයන ආයතනයේ” විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක, අබේසේකර ගේ පත්වීම “ව්‍යාතිරේඛයක්” බව පවසා ඇත. ජාජබ ට අයත් “විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමූහිකයේ” සාමාජිකයෙකු ලෙස, පසුගියජනාධිපතිවරන උද්ඝෝෂනයේදී ජාජබ අපේක්ෂකයාගේ ජයග්‍රහනය උදෙසා අබේසේකර ක්‍රියාශීලීව සහභාගි වූ තත්වය තුල, පාර්ලිමේන්තු මැතිවරනය අතලඟ තිබියදී ඔහු නව තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් ගජනායක තම උත්සුකයන් පලකල බව දි අයිලන්ඩ් පවසයි.

කෙසේ නමුත්, කම්කරු-පීඩිත මහජනතාවගේ පැත්තෙන් ගත්කල, මෙම පත් කිරීම් තුල, ඊනියා සදාචාරාත්මක සීමාවන්ගෙන් ඔබ්බට යන බරපතල ප්‍රතිගාමී ඇඟවුම් පවතී.

දිසානායක බලයට පැමින ඇත්තේ, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන් කවර හෝ වියදමකින් සපුරාලන බවට සපත වෙමිනි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් වාරික වසයෙන් ලබා ගන්නා ඩොලර් බිලියන 2.9 ක ඇපනය වෙනුවෙන් එම ආයතනය පනවා ඇති කුරිරු කප්පාදු විධානයන් අකුරටම ක්‍රියාත්මක කිරීමට දිසානායක කැප වී සිටී.

ඔහු කල්‍යල් බලමින් සිටින්නේ, නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත මහමැතිවරනය අවසන්වන තෙක්‍ ය. එය අවසන් වූ සැනින් දිසානායක තම කප්පාදු න්‍යාය පත්‍රය වහා ක්‍රියාවට දමනු ඇත. ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් සේවයේ නියුතු රාජ්‍ය ආයතන 400 ක් පුද්ගලික අංශයට විකුනා දැමීම, ප්‍රතිව්‍යූහකරනය හෝ වානිජකරනය, 2025 අග වනවිට රාජ්‍ය අය-වැය අතිරික්තය දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 2.3 ක අගයකට ගෙනඒම සඳහා කම්කරු-පීඩිත මහජනතාව මත වඩවඩාත් බදුබර පැටවීම සහ සෞඛ්‍යය හා අධ්‍යාපනය ඇතුලු මහජන සේවා දැවැන්ත පරිමානව කප්පාදු කිරීම මෙම න්‍යායපත්‍රයෙහි ඉහලින්ම පවතී.

කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් මෙම ප්‍රහාරයන්ට එරෙහිව දැවැන්ත පරිමාන අරගලවලට එලැඹෙන බව දිසානායක හොඳින්ම දනී. ඔහු ගනන් බලන්නේ මෙම අරගල තලා දමන්නේ කෙසේද යන්න සම්බන්ධයෙනි. එය කල හැක්කේ ආඥාදායක පාලනයක් වෙතට වඩවඩාත් හැරී ගැනීමෙන් පමනි. ඒ සඳහා, එක් අතකින්, ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක් සහිත “ශක්තිමත්” ආන්ඩුවක් අවශ්‍ය ය.

මෙවර මහමැතිවරනයේ දී ජාජබ යෙන් තරඟ වදින අපේක්ෂකයන්, ඔක්තෝබර් 13 දා, කොලඹට කැඳවූ දිසානායක මෙසේ පැවසීය: “අප ඉදිරියේ ඇති අභියෝගය, නොවැම්බර් 14 වෙනිදා එම දේශපාලන බලය ලබා ගැනීමයි. අපි පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් ලබා ගත යුතුයි.”

සමාජවාදී සමානතා පක්ෂයෙන් (සසප) කොලඹ දිස්ත්‍රික්කයට තරඟ වදින කන්ඩායමේ නායිකා විලානි පීරිස්, ඔක්තෝබර් 19 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියන ලද ලිපියෙන් පැහැදිලි කල පරිදි “'ශක්තිමත් ආන්ඩුවක්' සඳහා වන මෙම ව්‍යාපාරයේ විනිවිද පෙනෙන අරමුන වන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් ජාමූඅ ම්ලේච්ඡ කප්පාදු පැනවීමට එරෙහිව කම්කරු පන්තිය තුල නොවැලැක්විය හැකිලෙස මතුවන මහජන විරෝධයට මුහුන දීමට ආන්ඩුවේ හස්තය ශක්තිමත් කර ගැනීමයි.”

ජාමූඅ හි කප්පාදු න්‍යාය පත්‍රය වේගවත් කිරිමට, එම කප්පාදු වලට එරෙහිව පැනනගින අරගල තලා දැමීම සඳහා දැනට පවත්නා මර්දන අනපනත් බලාත්මක කිරීමට සහ නව අනපනත් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ මෙම බහුතර බලය යොදා ගැනීම දිසානායකගේ අභිප්‍රාය යි.

මෙහිදී, පොලීසිය සහ මිලිටරිය මත මෙන්ම, අවශ්‍ය විටෙක කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව මුගුරක් ලෙස යොදා ගැනීම සඳහා කල්තියා සූදානම් කෙරුනු ජාජබ යේ විශ්‍රාමික පොලිස් සහ හමුදා නිලධාරි සාමූහිකයන් මත දිසානායක වඩවඩාත් යැපෙනු ඇත. රටේ ඉහලම ආරක්ෂක තනතුරු වලට මෙම සාමූහිකයන් හි සාමාජිකයන් පත් කිරීම පිටුපස පවතින්නේ මෙම දුෂ්ඨ අරමුනයි.

2023 පෙබරවාරි මාසයේ, මහරගම ජාතික තරුන සේවා සභා ශාලාවට විශ්‍රාමික හමුදා නිලධාරීන් කැඳවා ජාජබ/ජවිපෙ පැවැත්වූ සම්මන්ත්‍රනයක දී දිසානායක කල කතාවෙන් මෙම අරමුනු කල්තියා ප්‍රකට කෙරුනි.

2023 පෙබරවාරි 11 වන දින ජවිපෙ-ජාජබ විසින් කැඳවනු ලැබූ විශ්‍රාමික ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ රැස්වීමේ කොටසක්. [ඡායාරූපය: ලෝසවෙඅ]

විශ්‍රාමික හමුදා සාමාජිකයන් “පක්ෂයේ වැඩකටයුතුවල ප්‍රමුඛතම කොටසක්” වනු ඇති බව පවසමින් දිසානායක මෙසේ කීවේය:

“අපි බලාපොරොත්තු වන වෙනසේ ප්‍රමුඛතම කාර්යය කරන්න පුලුවන් ඔබට.....ඔබ සංවිධානාත්මක බලවේගයක්. මෙය වෙනස් කිරීමට එවැනි බලවේගයක් අවශ්‍යයි.....ඔබගේ වෘත්තීය අරමුනු සහ දේශපාලන අරමුනු අතර වෙනසක් නෑ. ......හමුදාව පුහුනු කරන ලද මානව සම්පතක්......එය සෑම ක්ෂේත්‍රයකම පැතිරුනු සංවිධානයක්.”

එම රැස්වීම විශ්ලේෂනය කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය:

“හිටපු සොල්දාදුවන් වෙත මෙම පෙර නොවූ විරූ හැරීම සහ ජාජබ ආන්ඩුවක් යටතේ මිලිටරියේ භූමිකාව පිලිබඳ දිසානායකගේ අවධාරනය කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. ඕනෑම කම්කරු පන්තික නැගිටීමක් මැඩපැවැත්වීමට පාලක පන්තිය මිලිටරිය සූදානම් කරමින් සිටින බවට තවත් සංඥාවකි.”

නැගෙනහිර පලාත භාර ආඥාපතිවරයෙකු ලෙස සේවය කල විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු වන අරුන ජයසේකර, අනාගත ජාජබ ආන්ඩුවක ආරක්ෂක අමාත්‍යවරයා වනු ඇතැයි දිසානායක එහි දී කීවේය. දෙමල සුලුතරයට එරෙහිව කොලඹ පාලක පන්තිය ගෙනගිය වර්ගවාදී යුද්ධයේ මූලික ක්‍රියාකලාපයක් ඉටුකල ඔහු මෙවර මහමැතිවරනයේ ජාජබ අපේක්ෂකයෙකි.

ඉහත සමුලුව ඇමතූ ජයසේකර, “නීතියේ සහ විධානයේ ආධිපත්‍යය සමාජයක පැවැත්මේ ප්‍රධාන සාධකය ලෙස අපි පිලිගන්නවා' ”යැයි පැවසීය. “මෙම නීතියේ සහ විධානයේ ආධිපත්‍යය” යටතේ කම්කරු පන්තික විරුද්ධත්වයකට කවර හෝ ඉඩක් නොතබනු ඇත.

දිසානායක විසින් ඉහල තනතුරු වලට පත් කෙරුනු හමුදා නිලධාරීන් සියල්ලම පාහේ, ඔහු ඇතුලු ජාජබ කසකරුවෙකු ලෙස ක්‍රියාකල 26 අවුරුදු වර්ගවාදී යුද්ධයේ ලේ නාගත්තවුන් ය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කොට ඇති එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත, ගුවන් හමුදාවේ අංක 09 බලඇනියේ පියාසර අනදෙන නිලධාරි ලෙස සේවය කරමින්, 2009 යුද්ධයේ අවසාන භාගයේදී පියාසැරි 400 කට වැඩි ගනනක් මෙහෙයවා ඇති අතර, ඉන් 60 කට ඔහුමත් සහභාගි වී තිබේ. එක්සත් ජාතීන්ගේ නිල සංඛ්‍යා ලේඛන වලට අනුව, යුද්ධයේ අවසාන භාගයේ ශ්‍රී ලංකා හමුදා විසින් මරා දැමුනු දෙමල සිවිල් වැසියන් සංඛ්‍යාව 40,000 කි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුනු හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්නගේ වාර්තාව මෙසේය: ජීවිත සිය ගනනක් බිලි ගනිමින් සහ තවත් සිය ගනනකට තුවාල සිදු කරමින්, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවනවිට, සීඅයිඩී ය භාරව සිටියේ සෙනෙවිරත්න ය. ප්‍රහාරය පිලිබඳව ප්‍රමානවත් තොරතුරු ලැබී තිබියදී එය වැලැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් සෙනෙවිරත්නට චෝදනා එල්ල වී පවතී. පසුව දිගහැරුනු සිද්ධිදාමයන් පරික්ෂා කිරීමේදී, වැඩෙමින් පැවති පන්ති අරගල තලා දැමීම සඳහා පොලීසිය සහ මිලිටරිය වීදිවලට කැඳවාගනුවස්, සිතාමතාම ප්‍රහාරය සිදුවන්නට ඉඩහල බවට සෑම සැකයක්ම පවතී.

සසප අපේක්ෂිකා පීරිස් තම ලිපියෙන් පැහැදිලි කල පරිදි,

“කම්කරු පන්තියේ විරුද්ධත්වයට මුහුන දී සිටින ආන්ඩුව, එහි පූර්වගාමීන් විසින් සම්මත කරන ලද ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති ගොන්න යොදවා, එක් අතකින් විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල භාවිතා කරන අතර අනෙක් පැත්තෙන් සිංහල ස්වෝත්තමවාදය අවුස්සනු ඇත.

ජවිපෙ/ජාජබ හි “විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික” සහ “විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමූහිකය” හරහා මිලිටරි-ආරක්ෂක යාන්ත්‍රන සහ දෙමල-විරෝධී යුද්ධයේ ප්‍රවීනයන් සමග ඇඟෑලුම්කම බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.”

Loading