ජවිපෙ ජනාධිපති “ශක්තිමත් ආන්ඩුවක්” සඳහා උද්ඝෝෂනය කරන්නේ ඇයි?

[මෙය Why is Sri Lanka’s new JVP president campaigning for a “strong government”? යන මැයෙන් 2024 ඔක්තෝබර් 19 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, “ශක්තිමත් ආන්ඩුවක්” සඳහා වැඩ කරන ලෙස, නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයට ඉදිරිපත්වන තම පක්ෂයේ අපේක්ෂකයින්ගෙන් දැඩිව ඉල්ලා තිබේ.

ඔක්තෝබර් 13 දා—ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මැතිවරන පෙරමුන වන—ජාතික ජන බලයේ (ජාජබ) අපේක්ෂකයන් සහ ක්‍රියාකාරීන් 500 ක් පමන දිසානායකගේ කතාව ඇසීමට කොලඹ තදාසන්නයේ පිහිටි සුඛෝපභෝගී ග්‍රෑන්ඩ් මොනාක් හෝටල් ශ්‍රවනාගාරයට රැස්ව සිටියහ.

පසුගිය මාසයේ සිය ධූරයට පත්වී පැය 24 ක් ඇතුලත, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ හදිසි මහ මැතිවරනයක් කැඳවීමට දිසානායක විධායක ජනාධිපති ධූරයේ බලතල භාවිතා කලේය.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 23, සඳුදා, කොලඹ පිහිටි ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතද්දී ආරක්ෂක හමුදාපතිවරු පිටුපසින් සිටිති [ඒපී ඡායාරූප/ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය] [AP Photo/Sri Lankan President's Office]

ජවිපෙ/ජාජබ අපේක්ෂකයන් අමතමින්, දිසානායක, “අපි නව මතවාදයක් සහ වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇති මුත්,” ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවෙන් ජවිපෙ ප්‍රමුඛ නව ආන්ඩුවට සිටින්නේ, තමන් සහ තවත් ජවිපෙ/ජාජබ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් පමනක් සමන්විත ත්‍රිපුද්ගල කැබිනට් මන්ඩලයක් බව කියමින් වැලපුනි. මෙය “කිසිසේත්ම ප්‍රමානවත් නොවේ,” ඔහු තවදුරටත් පැවසීය. 'අප ඉදිරියේ ඇති අභියෝගය, නොවැම්බර් 14 වෙනිදා එම දේශපාලන බලය ලබා ගැනීමයි. අපි පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් ලබා ගත යුතුයි.'

ශ්‍රී ලංකා සහ ජාත්‍යන්තර මාධ්‍ය විසින් “වාමාංශික” ලෙසට ව්‍යාජ ලෙස හුවා දක්වන මුත්, ශ්‍රී ලාංකික ජාතිකවාදයේ සහ සිංහල ස්වෝත්තමවාදයේ කර වටක් ගිලී සිටින ජවිපෙ/ජාජබ හි 'මතවාදය' ගැන දිසානායක කිසිවක් නොකීය; සැබැවින්ම, මිලිටරි-ආරක්ෂක යාන්ත්‍රනයට සහ “නීතිය හා සාමය” ට දන්ඩනමස්කාර කිරීම සමාජවාදයට වඩා බොහෝ සමානකම් දක්වන්නේ ෆැසිස්ට්වාදයට යි.

“දූෂනය, වංචාව සහ ඥාති සංග්‍රහය” පෝෂනය කරන සාම්ප්‍රදායික දේශපාලන සංස්ථාපිතය මුලිනුපුටා දැමීමෙන් පමනක්, රට විනාශ කරන උග්‍ර සමාජ-ආර්ථික අර්බුදය ඉක්මනින් ම ජයගත හැකි බවට ජවිපෙ/ජාජබ නොකඩවා යලි යලිත් භාවිතා කරන බොරුව පුනරුච්චාරනය කිරීම හැර, දිසානායක තම පක්ෂයේ වැඩපිලිවෙල ගැන කිසිවක් නොකීවේය.

ඇත්ත වශයෙන්ම, ජවිපෙ/ජාජබ මුලුමනින්ම කැපවී සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන කප්පාදු ක්‍රියාවට නැංවීමට ය—එනම්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ මිල සහනාධාර සඳහා වන ආන්ඩුවේ වියදම් උපරිමයෙන් කප්පාදු කිරීමට; වැඩි කල බදු සහ තීරුබදු හරහා විශාල ප්‍රාථමික අයවැය අතිරික්තයන් රැස් කිරීමට; රජය සතු ව්‍යවසායන් කුනු කොල්ලයට විකිනීමට; සහ රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයක් ඉවත් කර දැමීමට ය.

මේ සියල්ල, “නය තිරසාරභාවය” සාක්ෂාත් කර ගැනීම සඳහා, එනම් ගෝලීය ආයෝජකයින්ට නය ආපසු ගෙවීම සහතික කිරීම සහ ආර්ථිකය දේශීය හා ජාත්‍යන්තර ප්‍රාග්ධනය සඳහා වඩාත් ලාභදායී බවට පත් කර ගැනීම සඳහා ය.

පාර්ලිමේන්තුව ජවිපෙ/ජාජබ මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවකින් පිරවිය යුතු වෙනවා පමනක් නොව, එසේ කල යුත්තේ “ගුනාත්මක” සාමාජිකයන්ගෙන් බව දිසානායක සිය කතාවේදී පැවසීය. ජාජබ/ජවිපෙ විසින් හුවා දක්වනු ලබන “ගුනාත්මක” අපේක්ෂකයින් බොහෝ දුරට ව්‍යාපාරිකයන්, විශ්‍රාමික හමුදා නිලධාරීන්, තාක්ෂනවේදීන් සහ අනෙකුත් මධ්‍යම පන්තික කොටස් ය. ඔවුන් “රට යලි ගොඩ නැගීමේ” ජාතිකවාදී කැඳවීම යටතේ ජාමූඅ කප්පාදුවට සහාය වනු ඇත. දෙමල සුලුතරයට එරෙහි ශ්‍රී ලංකා රාජ්‍යයේ වාර්ගික යුද්ධයේ දී විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ නැගෙනහිර හිටපු ආඥාපතිවරයෙකු වූ අරුන ජයසේකර සහ සංගත විධායකයින් වන එරංග උදේෂ් වීරරත්න සහ ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම ද ඊට ඇතුලත් ය.

මෑත අවසන් වූ ජනාධිපතිවරන ව්‍යාපාරයේ දී කලාක් මෙන්, ඔවුන්ගේ මනෝ ලෝකය තුල පමනක් ඇති “දියුනු වෙන ජාතියක්, ලස්සන රටක්!” යන හිසින් යුත්, ඔවුනගේ ඔප දැමූ මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙලවමින් ජවිපෙ-ජාජබ උත්සාහ කරන්නේ, ශ්‍රී ලංකාවේ හා ලෝක ධනවාදයේ අර්බුදයේ බර රටේ කම්කරුවන් හා දුගීන් මත පැටවීමේ එහි අභිප්‍රාය වසං කිරීමට ය.

ජවිපෙ/ජාජබ ජයග්‍රහනය දැනටමත් සාධනීය වෙනසක් ඇති කර ඇති බව පවසන දිසානායක රැස්වීමේ දී මෙසේ කියා සිටියේය: “දේශපාලකයන්ට පැරදීම හෝ මිය යාම එකම ප්‍රතිඵලය වූ පැරනි දේශපාලන සංස්කෘතියෙන් මාරුවක් සනිටුහන් කරමින්, දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ අදහස” මතුව ඇත.

මෙහිදී ඔහු සඳහන් කලේ, හිටපු ජනාධිපතිවරුන් තිදෙනා වන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුලු සම්ප්‍රදායික පාලක පක්ෂවල—එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ ශ්‍රීලනිපයෙන් බිඳී ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ—ප්‍රමුඛ පෙලේ බොහෝ දෙනෙකු තමන් පාර්ලිමේන්තුවෙන් 'විශ්‍රාම යන' බව ප්‍රකාශ කර තිබීම ගැනය.

2022 අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා, ශ්‍රී ලංකාවේ කොලඹදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිදුකල වැඩවර්ජනයක් [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

ජනාධිපතිවරනය ජයග්‍රහනය කිරීමේදී, 2022 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පලවාහල මහජන නැගිටීමෙන් පිපිරුනු සාම්ප්‍රදායික දේශපාලන සංස්ථාපිතය පිලිබඳ වැඩකරන ජනතාවගේ සාමූහික කෝපය සහ අප්‍රසාදය කුහක ලෙස ගසාකෑමට දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ සමත් විය. 2019 ජනාධිපතිවරනයේ දී ඡන්ද 440,000 ක් පමනක් ලබාගත හැකි වූ දිසානායක, 2024 දී, මිලියන 5.6 ක් නැතහොත් සියයට 42 කට වඩා වැඩියෙන් ලබා ගත්තේ ය; එය දස ගුනයකින් වැඩි වීමකි.

ඔහුගේ ඔක්තෝබර් 13 කතාවේදී, පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීම සඳහා විරුද්ධ පක්ෂවල 'දුර්වලතාවය' භාවිතා කරන ලෙස දිසානායක පක්ෂයේ අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය. “ශක්තිමත් ආන්ඩුවක්” සඳහා වන මෙම ව්‍යාපාරයේ විනිවිද පෙනෙන අරමුන වන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් ජාමූඅ ම්ලේච්ඡ කප්පාදු පැනවීමට එරෙහිව කම්කරු පන්තිය තුල නොවැලැක්විය හැකිලෙස මතුවන මහජන විරෝධයට මුහුන දීමට ආන්ඩුවේ හස්තය ශක්තිමත් කර ගැනීමයි.

පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටස්, ජවිපෙ/ජාජබ නායකත්වය දරන “ස්ථාවර” හෝ බහුතර ආන්ඩුවක් සඳහා දිසානායකගේ අභිලාෂයට සහය දෙන බවට දැන් සංඥා කරයි. එවන් බහුතර ආන්ඩුවකින්, හුදෙක් පාර්ලිමේන්තුව හරහා එහි වැඩපිලිවෙල කඩිනමින් සම්මතකර ක්‍රියාවට දැමීමට සහ සියලු විරුද්ධත්වයන්ගෙන් ආරක්ෂා වීමට පහසුකම් සැල‌සෙනවා පමනක් නොවේ. එහි ප්‍රතිගාමී, අධිරාජ්‍ය ගැති න්‍යාය පත්‍රයට එරෙහිව පැනනගින මහජන විරෝධතා සහ වැඩ වර්ජන “නීත්‍යානුකූල නොවන” “ප්‍රජාතන්ත්‍ර විරෝධී” සහ “ජාතික විරෝධී” ලෙස හංවඩු ගැසීම සඳහා එය මාධ්‍ය සහ පාලක පන්තිය පෙලගස්වාගනු ඇත.

ඔක්තෝබර් 11 දා, ඩේලි මිරර් පුවත්පත නව ආන්ඩුව විවේචනය කරන්නන් හෙලා දකින කතුවැකියක් පල කලේය. “යොවුන් ජනාධිපති ඒකේඩී [අනුර කුමාර දිසානායක]” “විශේෂිත ආයතනවලට ගජමිතුරන් පත් කිරීම”, ජීවන වියදම පහත හෙලීම සහ දුප්පතුන්ට බර අඩු කිරීම සඳහා ජාමූඅ ගිවිසුමේ වෙනස්කම් ඇති කිරීම වැනි “මැතිවරන පොරොන්දු ඉටු නොකිරීම” සම්බන්ධයෙන් ප්‍රහාරයට ලක්ව ඇති බව එහි සඳහන් වේ.

මිරර් කතුවරු, දිසානායක‌ගේ සහ ඔහුගේ ජවිපෙ/ජාජබ හි පෙරකදෝරුවන් ලෙස ක්‍රියා කරමින්, ගජමිතුරු පත්වීම් “අතලොස්සක්” පමනක් සිදුවී ඇති බවට සහ “ජාමූඅ සමග” ආන්ඩුව අද දක්වා පවත්වා ඇත්තේ “එක රැස්වීමක්” පමනක් බවට තර්ක කලහ.

එය පසුව ශ්‍රී ලංකාවේ ධනවාදය මුහුන දෙන පුපුරන සුලු ආර්ථික හා දේශපාලන තත්වය පෙන්වා දුන්නේය. “තරඟකාරී ප්‍රධාන කලාපීය බලවතුන්ගේ යුධ නැව් සහ එක්සත් ජනපද යුද නැව්... අපගේ වරායන්හි පෙනී සිටීම අපේ රට පවතින මූල්‍ය, දේශපාලනික සහ ජාත්‍යන්තර වියවුල පිලිබඳ සාක්ෂියකි.” නව ආන්ඩුවට වල කැපීමට එරෙහිව අනතුරු අඟවමින්, කතුවැකිය තවදුරටත් කියා සිටියේ, “අපේ කලින් සිටි සමහර ජනාධිපතිවරුන්ගේ ක්‍රියා... වත්මන් ජනාධිපතිවරයාට උපාමාරු දැමීමට ඇති ඉඩකඩ සීමා කර ඇත... එබැවින් මෙම මහ මැතිවරනයේදී අප ඡන්දය දෙන ආකාරය, ඉතා වැදගත් වේ” යනුවෙන් එය අවසන් කලේය.

එදිනම ද අයිලන්ඩ් පුවත්පත කතුවැකියක් පල කර ඇති අතර, “රනිල් (වික්‍රමසිංහ) (ජනාධිපති ලෙස) ඉවත්ව ගොස් ඇත, නමුත් ඔහු නැවත පැමින ඇති බවට “දේශපාලන කවයන් තුල විහිලුවක් පවතී” යැයි එහි සඳහන් කෙරී තිබුනි. වික්‍රමසිංහ “ධෛර්යමත්ව ක්‍රියාවට නැංවූ” ප්‍රතිපත්ති, 'නව පාලනය යටතේ නොවෙනස්ව පවතී...” යනුවෙන් අයිලන්ඩ් පැහැදිලි කලේය.

“සන්සුන් ආර්ථික යථාර්ථය ජනාධිපති දිසානායකගේ චින්තනයට මිහිරි බලපෑමක් ඇති කර ඇති අතර, නොවැම්බර් 14 මහ මැතිවරනයෙන් පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට සමත් වුවද, වඩා හොඳ විකල්පයක් සඳහා, ජාජබ, ජාමූඅ ඇප නය පැකේජයට ඇලී සිටින බවට ලකුනු තිබේ.”

එම කාරනය ඔප්පු කිරීමට මෙන්, ජවිපෙ දේශපාලන මන්ඩල සභික සහ ත්‍රිපුද්ගල ජවිපෙ/ජාජබ කැබිනට් මන්ඩල ප්‍රකාශක විජිත හේරත් වහාම නිවේදනය කලේ, ආන්ඩුව, නව වසරට නියමිතව තිබූ, මිලියනයකට අධික රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම් ක්‍රියාත්මක කිරීම නවත්වා ඇති බවයි.

වසර ගනනාවක මර්දනකාරී උද්ධමනයෙන් පසු, ජනාධිපතිවරන ව්‍යාපාරය නිල වශයෙන් දියත් කිරීමට මොහොතකට පෙර, වික්‍රමසිංහ, අවම වශයෙන් සියයට 25 ක වැටුප් වැඩිවීමක් නිවේදනය කලේය. දැවැන්ත උද්ධමනය හේතුවෙන් 2022 දී ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ මූර්ත වැටුප් සියයට 27 කින් ද, 2023 දී සියයට 23 කින් ද පහත වැටුනි.

හේරත් කියා සිටියේ, මැතිවරනයට කලින් වැටුප් වැඩිවීම ප්‍රකාශයට පත් කිරීමට පෙර, වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශය සමඟ නිසි උපදෙස් ලබාගෙන නොමැති බවත්, රටේ මූල්‍ය තත්වය නිසි ලෙස සලකා බලා නොමැති බවත්‍ ය. ඔහු තවදුරටත් කියා සිටියේ, ජවිපෙ/ජාජබ, “කිසිවිටකත්” “මෙවැනි ප්‍රතිඥා” ලබා නොදුන් බව යි.

සැබවින් ම, සැප්තැම්බර් 4 දා ජාජබ ව්‍යාපාරික සංසදයක් අමතමින් දිසානායක, රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන බව පැවසීම ගැන, වික්‍රමසිංහ සහ සජබ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම විවේචනය කලේය. රටේ ආර්ථික අර්බුදය පෙන්වා දෙමින් සහ මුල්‍ය විනය හොඳින්ම ක්‍රියාත්මක කරන්නා ලෙස තමන්ව හුවා දක්වමින්, ජවිපෙ/ජාජබ නායකයා එවැනි වැටුප් වැඩිවීම් “මාරාන්තික” බවට හෙලා දුටුවේය.

දිසානායක සහ ජවිපෙ/ජාජබ ආන්ඩුව ද, චීනයට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන නොකඩවා ගැඹුරු වෙමින් පවතින මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට, ඉන්දියානු සාගරයේ ප්‍රධාන නැව් මංතීරු අතරමැද පිහිටා තිබෙන ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමේ දී වික්‍රමසිංහගේ අඩිපාරේ ම යමින් සිටී. තම පාලන බලය සමඟ තමන් විශ්වාස කල හැකි බව පාලක පන්තියට ප්‍රදර්ශනය කිරීමේ එහි ප්‍රයත්නයේ කොටසක් ලෙස, ජවිපෙ මෑත වසරවලදී වොෂින්ටනයට දැඩි ලෙස සමීප වූ අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සමඟ රැස්වීම් වලදී, කලාපයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන සගයා වන ඉන්දියාවේ “මූලෝපායික අවශ්‍යතාවලට” පටහැනි කිසිවක් නොකරන බවට යලි යලිත් සපථ කලේ ය. මේ මස මුලදී, එක්සත් ජනපද පැසිෆික් බලඇනියේ ප්‍රධානී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් ද කොලඹට පැමින දිසානායක හමුවිය.

සමාජවාදී සමානතා පක්ෂය වැඩකරන ජනතාවට අනතුරු අඟවයි: ජාමූඅ සහ පාලක පන්තිය ඔහුට අවසර දෙන තාක් දුරට, ජාමූඅ හි මීලඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ තවත් දරුනු අදියරක් සමග ඉදිරියට යාමට, දිසානායක, මහ මැතිවරනය අවසන් වන තෙක් කල් බලමින් සිටී.

කම්කරු පන්තියේ විරුද්ධත්වයට මුහුන දී සිටින ආන්ඩුව, එහි පූර්වගාමීන් විසින් සම්මත කරන ලද ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති ගොන්න යොදවා, එක් අතකින් විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල භාවිතා කරන අතර අනෙක් පැත්තෙන් සිංහල ස්වෝත්තමවාදය අවුස්සනු ඇත.

ජවිපෙ/ජාජබ හි “විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික” සහ “විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමූහිකය” හරහා මිලිටරි-ආරක්ෂක යාන්ත්‍රන සහ දෙමල-විරෝධී යුද්ධයේ ප්‍රවීනයන් සමග ඇඟෑලුම්කම බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.

දිසානායක තන්ත්‍රයේ කප්පාදුවේ හා මර්දනයයේ සූදානමට එරෙහිව සටන් කිරීමට ග්‍රාමීය හා නාගරික දුගීන් පෙලගස්වා ගනිමින්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ සටන පෙරට ගෙනයාම සඳහා, කොලඹ, නුවරඑලිය සහ යාපනය දිස්ත්‍රික්කවල අපේක්ෂකයින් 41 ක් ඉදිරිපත් කරමින් සසප මැතිවරනයට මැදිහත් වේ.

අපගේ මැතිවරන නිවේදනය පැහැදිලි කල පරිදි: ධනේශ්වර පද්ධතිය තුල හෝ ජාතික පදනමක් මත ජනතාව මුහුන දෙන සමාජ අර්බුදයට හෝ ආඥාදායකත්වයේ හා ලෝක යුද්ධයේ තර්ජනයට විසඳුමක් නැත.

ධනපති ගැති වෘත්තීය සමිති නිලධරයන්, සියලු ධනපති පක්ෂ සහ ව්‍යාජ වාම කන්ඩායම් ප්‍රතික්ෂේප කරන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු! කම්කරු පන්තිය කාරනා තම අතට ගත යුතුය. වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පරාජය කිරීමට, පාලක පන්තිය විසින් ගන්නා ලද සියලු නය ප්‍රතික්ෂේප කිරීමට සහ කම්කරුවන්ගේ බලය සඳහා සටන් කිරීමට සෑම වැඩබිමකම සහ වතුකරයේ, නාගරික අසල්වැසි ප්‍රදේශයකම සහ ගමකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට අපි සටන් කරමු.

ඔවුන්ගේ පාර්ලිමේන්තුව සහ අධිකාරීවාදී විධායක ජනාධිපති ධූරය ද ඇතුලු ධනේශ්වර ප්‍රභූවේ සියලුම පක්ෂ හා ආයතන වලට එරෙහිව, ස්වාධීන කම්කරු පන්ති බල කේන්ද්‍ර ලෙස එම ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් ඇතුලත් කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට අපි සටන් වදිමු. දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ඉදිරි මාවත එය යි.

Loading