2024 බංග්ලාදේශය සඳහා ශ්‍රී ලංකාවේ 2022 නැගිටීමේ දේශපාලන පාඩම්

[මෙය The political lessons of Sri Lanka’s 2022 uprising for Bangladesh 2024 යන මැයෙන් 2024 අගෝස්තු 26 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමෙන් යන්තම් දෙවසරකට පසුව, 2024 ජූලි-අගෝස්තු කාලය තුල, ලොව පුරා පාලක පන්තීන් කම්පනයට පත්කරමින් බංග්ලාදේශය මහජන විරෝධතාවලින් දෙදරුම් කෑවේය.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන/Kimimasa Mayama] [AP Photo/Eranga Jayawardena/Kimimasa Mayama]

මෙම අරගල ආරම්භවීමේ විශේෂ වෙනස්කම් කුමක් වුවත්, නැගිටීම් දෙකම අවුලුවනු ලැබුවේ සෑම රටකටම බලපාන ගෝලීය ධනවාදයේ අර්බුදය මගිනි. එම අරගල, සෑම ආන්ඩුවක් විසින් ම ආර්ථික අර්බුදයේ බර කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ කර මත පැටවීමත් සමග ජාත්‍යන්තරව පැන නැගෙමින් පවතින පන්ති අරගලවල අනිවාර්ය කොටසකි.

ඉදිරි විප්ලවවාදී අරගල සඳහා සූදානම් වීමේ දී, ශ්‍රී ලංකාවේ, බංග්ලාදේශයේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියට මෙම නැගිටීම් වලින් දේශපාලන පාඩම් උකහා ගැනීම අත්‍යවශ්‍ය වේ.

2022 දී, මාරාන්තික කොවිඩ්-19 වසංගතයත්, රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධයත් හේතුවෙන් සැපයුම් දාමයන් බරපතල ලෙස කඩාකප්පල් වීමත් සමග අහස උසට නැගි මිල ගනන් මධ්‍යයේ ශ්‍රී ලංකාව පුරා විරෝධතා සහ වැඩ වර්ජන පුපුරා ගියේය. 2022 මුල් භාගයේදී විදේශ සංචිත පහත වැටීම නිසා ශ්‍රී ලංකාවේ අර්බුදය විශේෂයෙන් උග්‍ර වූ අතර, විදේශ නය පැහැර හැරීමට සහ අත්‍යවශ්‍ය ආනයන නතර කිරීමට ආන්ඩුවට බල කෙරුනි.

ආහාර, ඉන්ධන සහ ඖෂධ ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල ලතවිමට මහජනයාට සිදුවුවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ඔවුන්ට කිසිදු සහනයක් ලබා දුන්නේ නැත. සෑම දිනකම දීර්ඝ විදුලි කප්පාදු සාමාන්‍ය දෙයක් බවට පත් විය.

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග —“225 ම එපා ”— ජනාධිපති ඉල්ලා අස්වෙනු —“ගෝඨා ගෙදර යනු ”— යන ඉල්ලීම් සමඟින් ජනතාව වීදිවලට අවතීර්න වූහ.. ස්වයංසිද්ධ විරෝධතා සහ පිකට් උද්ඝෝෂන පුපුරා යමින් මහජන ව්‍යාපාරය ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. දහස් ගනනක් කොලඹ ගාලුමුවදොර පිටිය අඛන්ඩව වාඩිලාගෙන සිටියේ රාජපක්ෂ හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවමින් එල්ල කල රාජ්‍ය මර්දනයේ තර්ජනය නොතකා හරිමිනි.

කම්කරු පන්තිය සංවිධානාත්මක බලවේගයක් ලෙස අරගලයට අවතීර්න වීම වැලැක්වීමට, වෘත්තීය සමිති මංමුලා සහගත ලෙස ක්‍රියා කලහ. කෙසේ වෙතත්, කම්කරුවන්ගේ විශාල කන්ඩායම් විරෝධතාවලට සම්බන්ධ වීමට පටන් ගත් විට, අප්‍රේල් 28 සහ මැයි 6 එක්දින මහා වැඩ වර්ජන දෙකක් වශයෙන් සීමිත ක්‍රියාමාර්ග කැඳවීමට වෘත්තීය සමිති නිලධරයන්ට බල කෙරුනි. මහජන ව්‍යාපාරය බෙදීම සඳහා වාර්ගික වෛරය ඇවිලවීමට ආන්ඩුව සහ ජාතිවාදීන් දරන උත්සාහයන් නොතකා, මිලියන ගනනක්, වාර්ගික හා කට්ටිවාදී රේඛා කපාගෙන වැඩ වර්ජනවලට එලඹුනහ.

මහජන නැගිටීමට ඉදිරියේ ආන්ඩුව බිඳ වැටුනු අතර රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බලකෙරුනි.

ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමට දින කිහිපයකට පෙර, 2022 ජූලි 9 වන දින, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිවස දෙසට දිවෙන වීදියක විරෝධතාකරුවෝ රැස්ව සිටිති. [ඒපී ඡායාරූපය/අමිත තෙන්නකෝන්] [AP Photo/Amitha Thennakoon]

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු පක්ෂ, ඒවායේ වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වම්මු රාජපක්ෂ තන්ත්‍රය විස්ථාපනය කිරීම ධනවාදයේ ආරක්ෂකයින් අතේ තැබුහ. ධනේශ්වර පාලනය ස්ථාවර කිරීම සඳහා ධනේශ්වර විරුද්ධ පක්ෂ අන්තර්වාර ආන්ඩුවක් ඉල්ලා සිටි අතර වෘත්තීය සමිති සහ පෙසප, කම්කරු පන්තිය මෙම ඉල්ලීමට යටත් කලහ.

එහි ප්‍රතිඵලයක් ලෙස, අපකීර්තිමත් පාර්ලිමේන්තුවට, රාජපක්ෂ වෙනුවට විධායක ජනාධිපති ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා එක්සත් ජනපදයේ ගැත්තෙකු වන රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට තෝරා පත් කර ගැනීමට හැකි විය. පසුගිය වසර දෙක පුරා ඔහු කම්කරුවන්ගේ විරෝධය මැඩපැවැත්වීම සඳහා කුරිරු නීති මගින් බල ගැන්වුනු පොලිස්-රාජ්‍ය මර්දනය යොදා ගනිමින්, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල නිර්දය ලෙස ක්‍රියාවට දැමුවේය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මැතිවරන ප්‍රකාශයේ සඳහන් කල පරිදි:“2022 නැගිටීම වික්‍රමසිංහ තන්ත්‍රය බලයට පැමිනීමෙන් අවසන් වීම, නොවැලැක්විය හැකි දෙයක් නො වීය”.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සසප අවධාරනය කලේ, ධනේශ්වර ක්‍රමය තුල වැඩකරන ජනතාවට විසඳුමක් නොමැති බවයි. එබැවින්, සමාජවාදී වැඩපිලිවෙලේ පදනම මත ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලයේ දී නාගරික හා ග්‍රාමීය දුගීන් පෙල ගැස්වීමේ මූලිකත්වය ගැනීමට කම්කරු පන්තියට සිදුවේ.

මෙම කර්තව්‍යය තම අතට ගැනීම සඳහා, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ධනපති ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, සෑම වැඩබිමකම, වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස අපි කම්කරුවන්ට කැඳවුම් කලෙමු.

මෙම සටනේ වැදගත් දේශපාලන ඉදිරි පියවරක් ලෙස, එම ක්‍රියාකාරී කමිටු නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සටන් කරන ලෙස සසප වැඩකරන ජනතාවගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටියේ ය. ධනේශ්වර දේශපාලඥයින් විසින් ආධිපත්‍යය දරන පාර්ලිමේන්තුවට ප්‍රතිකූලව, එවැනි සම්මේලනයක්, කම්කරු පන්තියේ නියෝජිතයින්ට තම අත්‍යවශ්‍ය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ මූලෝපායක් ක්‍රියාවට දැමීමට වේදිකාවක් සම්පාදනය කරනු ඇත.

කෙසේ වෙතත්, ඕනෑම බහුජන ව්‍යාපාරයක තීරනාත්මක ප්‍රශ්නය වන්නේ දේශපාලන නායකත්වයයි. ධනවාදයට සහ එහි සියලු ආරක්ෂකයින්ට එරෙහිව දේශපාලන අරගලයක් ගෙන යාමට, කම්කරු පන්තිය අතට බලය ගැනීමට සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩ නැගිය යුතු බව අපි පැහැදිලි කලෙමු.

බංගලාදේශයේ අවාමි ලීග් ආන්ඩුවේ අනුග්‍රහය යටතේ, අධිකරනය විසින් යලි ක්‍රියාත්මක කරන ලද ප්‍රතිගාමී සහ බෙදුම්වාදී රැකියා කෝටා ක්‍රමයට විරුද්ධව 'වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ' (එස්ඒඩී) යන ධජය යටතේ, විශ්ව විද්‍යාල සිසුහු ජූලි මස මුලදී සිය විරෝධතා ආරම්භ කලහ. සිසුන් දස දහස් ගනනක් පෙලපාලිවලට එක්වෙද්දී, අගමැතිනි ෂීක් හසීනා, අවාමි ලීගයේ මැරයන් සමග පොලීසිය සහ මිලිටරිය මුදා හරිමින් සිසුන් ගනනාවක් ඝාතනය කලා ය.

2024 අගෝස්තු 5, සඳුදා, බංග්ලාදේශයේ ඩකාහිදී, විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් අගමැතිනි ෂේක් හසීනාගේ ඉල්ලා අස්වීම සමරති. [ඒපී ඡායාරූප/රජිබ් දහර්] [AP Photo/Rajib Dahr]

මෙම ලේවැකි මර්දනයටත්, අන්තර්ජාලය තහනම් කිරීම සහ ඇඳිරි නීතිය පැනවීම වැනි මර්දනකාරී පියවරයන්ටත් එරෙහිව නැගී ආ මහජන කෝපය පුපුරා ගියේය. එස්ඒඩී අගෝස්තු මස මුලදී ධකා අගනුවර වෙතට කැඳවූ පාගමනට මිලියන ගනනක් ජනයා ආදී ආවේ දරිද්‍රතාවය, සමාජ අසමානතාවය සහ කුරිරු ලෙස සූරාකෑම සම්බන්ධයෙන් කැටි ගැසුනු ගැඹුරු කෝපය ප්‍රකාශ කරමිනි. ඔවුහු හසීනා සහ ඇගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කර සිටියහ.

නැගී එන මහජන රල වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ තතු තුල අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බල කිරීමටත්, ඉන්දියාවට පලා යාමට සැලැස්වීමටත් හමුදාව මැදිහත් විය. පසුව එස්ඒඩී සහ ඊනියා සිවිල් කන්ඩායම්වල පිටුබලය ඇතිව මිලිටරිය විසින් ස්ථාපනය කරන ලද අන්තර්වාර පාලනය, හිටපු බැංකුකරුවෙකු වූ මොහොමඩ් යූනුස් ප්‍රධාන උපදේශක ලෙස පත් කර ගත්තේය.

එක්සත් ජනපදය හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් සමග සමීප සම්බන්ධතා ඇති යූනුස්, 'යහපාලනයට ප්‍රමුඛත්වය දෙමින් සහ දූෂනයට හා වැරදි කලමනාකරනයට එරෙහිව සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාර වර්ධනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශක්තිමත් සහ දුරදිග යන ආර්ථික ප්‍රතිසංස්කරන සිදු කරන බව' වහාම පැහැදිලි කලේය.

“ශක්තිමත් හා දුරදිග යන ආර්ථික ප්‍රතිසංස්කරන” යන්නට ඇත්තේ එක් අර්ථයක් පමනි, එනම් මහා ව්‍යාපාරිකයන්ගේ සහ විදේශීය ආයෝජකයින්ගේ ලාභ සහතික කිරීම සඳහා වැඩ කරන ජනතාවට වන්දිය ගෙවීමට සලස්වන මිලේච්ඡ වෙලඳපොල ගැති කප්පාදු පියවරයන් ය. එපමනක් නොව, මිලිටරියේ පිටුබලය ලබන අන්තර්වාර පාලනය, මෙම පියවරයන් ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා දින නියමයක් නොමැතිව බලයේ සිටී. මැතිවරනයකට දිනයක් ප්‍රකාශයට පත් කර නැත.

වාම ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සහ ධනේශ්වර ගැති වෘත්තීය සමිති සමග කාන්ඩ ගැසී සිටින විවිධ ස්ටැලින්වාදී පක්ෂ මෙන්ම දක්ෂිනාංශික බංග්ලාදේශ ජාතික පක්ෂය (බීඑන්පී) ද, අන්තර්වාර පාලනය සඳහා සිය පූර්න සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇත.

ශ්‍රී ලංකාවේ සිය සහචරයන් මෙන්ම, අවාමි ලීගයට සහ බීඑන්පීයට පිටුබලය දීමේ ඉතිහාසයක් ඇති ස්ටැලින්වාදී පක්ෂ, මහජන නැගිටීමට තුල දී කම්කරු පන්තිය සිය ස්වාධීන අවශ්‍යතා සඳහා සටන් කිරීමට පන්තියක් ලෙස මැදිහත් වීම වැලැක්වීමට වෘත්තීය සමිති සමග එක්ව කටයුතු කලහ.

වැඩකරන ජනතාව පසුගිය වසර 15 පුරා අවාමි ලීගයේ අත්තනෝමතික හා දූෂිත පාලනයට යුක්ති සහගත ලෙස ම සතුරු ය. එය නිර්දය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් මර්දනය කිරීමෙන් ප්‍රකාශයට පත්වූයේ, කුමන වියදමක් දරාගෙන හෝ ධනපති පාලනය රැක ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින ධනේශ්වර පන්තියේ ම දුෂ්ට මුහුන මිස අන් කිසිවක් නොවේ.

අවසානයේ කුමන ධනේශ්වර ආන්ඩුවක් මගින් එය විස්ථාපනය කල ද, අන්තර්වාර පාලන තන්ත්‍රය යටතේ සිදුවනු ඇත්තේ, කම්කරුවන්, තරුනයන් සහ ගම්බද දුගීන් මත ප්‍රහාරයන් තීව්‍ර වීම පමනි. එහි කප්පාදු පිලිවෙත්වලට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් මැඩලීමට කොහෙත් ම පසුබට නොවන ආන්ඩුව පිටුපසින් ධනේශ්වර රාජ්‍යය සහ සියල්ලට ම ත් වඩා මිලිටරිය සිටී.

2022 දී ශ්‍රී ලංකාවෙන් උගත යුතු පාඩම වන්නේ, සියලු ධනේශ්වර පක්ෂවලින්, ස්ටැලින්වාදීන් ඇතුලු ඔවුන්ගේ වාම ඒජන්තයන්ගෙන් සහ ඔවුන්ගේ වෘත්තීය සමිතිවලින් දේශපාලන බිඳීමකින් තොරව කම්කරු පන්තියට සිය පන්ති අවශ්‍යතා සඳහා සටන් කල නොහැකි බව ය. සෑම අව්‍යාජ අරගලයක්ම දියත් කිරීමට නම් කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

වැඩකරන ජනතාව මුහුන දෙන දැවැන්ත සමාජ අර්බුදයට ධනේශ්වර ක්‍රමය තුල විසඳුමක් නැත. සිය නොනවතින විප්ලව න්‍යාය තුල ලියොන් ට්‍රොට්ස්කි පෙන්නුම් කලේ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සමග ගැටගැසී ඇති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වැනි ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල ධනේශ්වරය, කම්කරු පන්තියේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අභිලාෂයන් සපුරාලීමට ඓන්ද්‍රීයව ම අසමත් බවයි.

අවශ්‍ය වන්නේ, කුඩා ධනවත් ප්‍රභූ පැලැන්තියේ ලාභය නිෂ්පාදනය කිරීම සඳහා නොව, මහජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජය මූලික වශයෙන් ප්‍රතිනිර්මානය කිරීමට බලය සඳහා අරගලයයි, එනම් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය යි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි එවන් අරගලයක් අවශ්‍යයෙන්ම ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව ජාත්‍යන්තර පරිමානයෙන් දියත් කල යුතුය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයේදී, සසප, ලෝක සමාජවාදී විප්ලවය සඳහා හජාජාක අරගලයේ ඒකාග්‍ර සංරචයක් ලෙස, දකුනු ආසියාව පුරා හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැගීමට සක්‍රීයව උද්ඝෝෂනය කරයි.

බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ මෑත කාලීන මහජන නැගිටීම්, සමස්ත කලාපයම අලලාගත් තීරනාත්මක ප්‍රශ්න වෙත අවධානය යොමු කරවයි. 1947-1948 බ්‍රිතාන්‍ය යටත් විජිත අධිරාජ්‍යවාදී පාලකයෝ කම්කරු පන්තිය බෙදීමට සහ ඔවුන්ගේ බලපෑම පවත්වා ගැනීම සඳහා ප්‍රතිගාමී පක්ෂග්‍රාහී පදනමක් මත ඉන්දියානු උප මහද්වීපය හින්දු ඉන්දියාවක් සහ මුස්ලිම් පකිස්ථානයක් ලෙස බෙදා වෙන් කලහ. කලාපය තුල බ්‍රිතාන්‍ය මිලිටරි මෙහෙයුම්වල කඳවුරක් ලෙස ශ්‍රී ලංකාව වෙනම රාජ්‍යයක් හැටියට ස්ථාපිත කරන ලදී.

දකුනු ආසියාවේ පාලක පන්තීන් තම පාලනය පවත්වා ගෙන ගොස් ඇත්තේ සංහාර, සිවිල් ගැටුම් සහ යුද්ධවලට තුඩු දී ඇති බෙදුම්වාදී වර්ගවාදය සහ ජාතිකවාදය ප්‍රවර්ධනය කිරීම වැනි ප්‍රතිගාමී විධික්‍රම මගින් පමනි. කුරිරු සූරාකෑමට හා මර්දනයට එරෙහි අරගලය 1971 බංග්ලාදේශය පිහිටුවීමට තුඩු දුන් නමුත් වැඩකරන ජනතාව මුහුන දෙන මූලික ප්‍රශ්න කිසිවක් විසඳී නැත.

අන්තර්වාර පරිපාලනයේ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහිව තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා—ජාත්‍යන්තරව කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීම සඳහා හජාජාක හි ආරම්භාකත්වයෙන් කැඳවා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමග සම්බන්ධ වීමට තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ සසප බංග්ලාදේශයේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

සියල්ලටත් වඩා, බංග්ලාදේශය තුල අවශ්‍ය වන්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා අරගලයක් දියත් කිරීමට අප සමග එක්වීමට ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හජාජාක ශාඛාවක් ගොඩනැගීමයි.

මෙම දේශපාලන අභියෝගය භාර ගන්නා ලෙස අපි බංග්ලාදේශයේ තරුනයන්ගෙන් සහ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන්න, අපගේ වැඩපිලිවල සහ ඉදිරිදර්ශනයඅධ්‍යයනය කර ලෝසවෙඅ හරහා අප සමග සම්බන්ධ වන්න. ඔබට දේශපාලන සහය ලබාදීමට අපි සූදානම් ව සිටිමු

Loading