ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයින් වැටුප් සම්බන්ධයෙන් ජාතික කාර්මික ක්‍රියාමාර්ගයක නියැලෙති

[මෙය Sri Lankan public sector workers take national industrial action over pay යන මැයෙන් 2024 ජූලි 10 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ආන්ඩුවේ වියදම් කප්පාදුවට එරෙහිව සහ ඉහල මාසික දීමනාවක් ඉල්ලා, ශ්‍රී ලංකාවේ මිලියනයක් පමන රාජ්‍ය අංශ සේවකයින් ජූලි 8 සහ 9 යන දිනවල ජාතික දෙදින අසනීප නිවාඩු වැඩ වර්ජනයක් පැවැත්වීය. ජුලි 9 දා රජයේ පාසල් ගුරුවරුන් 250,000 ක් පමන ඔවුන් සමග එකතු විය. වෘත්තීය සමිති 200ක ට අධික සංඛ්‍යාවක් විසින් කැඳවනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය නිසා බොහෝ රාජ්‍ය කාර්යාලවල සහ පාසල්වල එදිනෙදා කටයුතු නතර විය.

2024 ජූලි 8 වැනි දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පිටත විරෝධතා දක්වන රාජ්‍ය අංශයේ සේවකයින්

සංවර්ධන නිලධාරීන්, මිනින්දෝරුවරුන්, ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය පරිපාලන කාර්යාල සේවකයන් සහ සමෘද්ධි බැංකු සේවකයින්, අධ්‍යාපනිකයින්, තැපැල් සේවකයින්, ගොවිපලවල පරීක්ෂකවරුන් සහ ඇතැම් සෞඛ්‍ය සේවකයින් ඊට සම්බන්ධ විය. ඇතැම් විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ද විරෝධතාවලට එක් විය.

වෙනම වර්ධනයක් ලෙස, 1,000 කට ආසන්න දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය මාර්ග පාලකයන් අඟහරුවාදා වැඩවර්ජනය කලේ දීර්ඝ කාලයක් ප්‍රමාද වූ උසස්වීම් ඉල්ලා සිටීමිනි. සියලුම ප්‍රවාහන වැඩ වර්ජන තහනම් කිරීමට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත (ඊපීඑස්ඒ) මෑතක දී ක්‍රියාත්මක කල වික්‍රමසිංහ ආන්ඩුව, දුම්රිය වර්ජකයින් 'ඔවුන්ගේ සේවය පැහැර හැරියා සේ සලකන' බව ජූලි 9 වනදා ප්‍රකාශ කලේය. සිය වැඩවර්ජනය දින නියමයක් නොමැතිව අඛන්ඩව ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරමින්, ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (එස්එල්ආර්එස්එම්යූ) ඊට ප්‍රතිචාර දැක්වීය.

රාජ්‍ය සහ පලාත් රාජ්‍ය සේවා සංගම් එකතුව (එස්පීපීඑස්යූසී) විසින් සංවිධානය කරන ලදුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවකයින්ගෙන් වැඩි දෙනෙක් සඳුදා සහ අඟහරුවාදා දිනවල කොලඹ සහ අනෙකුත් පලාත්වල ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වීය. එස්පීපීඑස්යූසී, රාජ්‍ය අංශයේ විධායකයින්ට දැනටමත් ගෙවා ඇති දීමනාවලට අනුකූලව උසස්වීම් යෝජනා ක්‍රමයක් සහ රුපියල් 25,000 මාසික දීමනාවක් ඉල්ලා සිටී.

දෙදිනක් පුරා පැවති මෙම විරෝධතාවයට තැපැල් කාර්යාල 4700 කට අධික සංඛ්‍යාවක තැපැල් සේවකයින් 20,000 කට අධික පිරිසක් ද සහභාගී විය. පුරප්පාඩු වූ සියලුම තනතුරු පුරවා, තාවකාලික සේවකයන් ස්ථීර කර, උසස්වීම් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ඔවුන්, තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන (පීටීයූජේඑෆ්) විසින් සංවිධානය කරන ලද වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් විය.

අඟහරුවාදා උද්ඝෝෂනයට සම්බන්ධ වූ අධ්‍යාපනිකයෝ, දිගුකාලීන වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස බලකරමින්, ජූනි 26 දින කොලඹදී විරෝධතාවයේ නිරත වූ ගුරුවරුන්ට එල්ල වූ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය හෙලා දුටුවහ. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් ද උපයෝජ්‍යතා සහ ප්‍රවාහන දීමනාවක් ඉල්ලා සිටිමින් අඟහරුවාදා රෝහල් කිහිපයක පැය හතරක වැඩ වර්ජනයක් පැවැත්වීය.

2024 ජූලි 9 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිකට් උද්ඝෝෂනයක නිරතවන රාජ්‍ය පරිපාලන සේවකයින්

මෙම අරගල සීමා කිරීමට වෘත්තීය සමිති නායකත්වයන් දරන උත්සාහය නොතකා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට කම්කරු පන්තියේ විරෝධයේ තියුනු වීම මෙම සතියේ කාර්මික ක්‍රියාමාර්ගය හෙලිදරව් කරයි. මෙම පියවරයන්ට, මූල්‍ය හිඟය කපා දැමීම, රාජ්‍ය භාන්ඩාගාරයේ ආදායම වැඩි කිරීම සහ විදේශ නය ගෙවීමට සහ මහා ව්‍යාපාරවල ලාභ ඉහල නැංවීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය හෝ වානිජකරනය කිරීම ඇතුලත් වේ.

බොහෝ වෘත්තීය සමිති පසුගිය වසර පුරාවට වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සහ ආන්ඩුවට බලපෑම් කිරීමෙන් මේවා දිනාගත හැකිය යන මිත්‍යාව ප්‍රවර්ධනය කරමින් සීමිත විරෝධතා පැවැත්වීය. කෙසේ වෙතත්, 2020 සිට මූර්ත වැටුප්වල තියුනු පහත වැටීමට හිලවු වීමට, මෙම වසර සඳහා අයවැයෙන්, කිසිසේත්ම ප්‍රමානවත් නොවන මුදලක් වන රුපියල් 10,000 මාසික දීමනාවක් ලබා දෙන බවට ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඔවුන් නිහඬ විය.

කම්කරුවන්ගේ විරුද්ධත්වය ඉහල යාමත් සමග, වෘත්තීය සමිති නිලධරයන්ට මෙම සතියේ ක්‍රියාමාර්ගය කැඳවීමට බල කෙරුනු මුත්, සමහර වෘත්තීය සමිති නිලධාරීන් එය 'මහා වැඩ වර්ජනයක්' ලෙස නම් කර නැවත මෙය ආන්ඩුවට බලපෑම් කරනු ඇතැයි අවධාරනය කරති. කෙසේ වෙතත්, විවිධ නගරවල සිය ගනනක විසිරුනු සංකේත විරෝධතා හැරුනු විට, ඔවුන් කිසිදු ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් සංවිධානය නොකර, වර්ජකයින්ට නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටියහ. ඒ, කිසිදු වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා නොදෙන බවට දැඩි ස්ථාවරයක සිටින ආන්ඩුව සමග දේශපාලන ගැටුමක් ඇතිවීම වැලැක්වීම සඳහා ය.

සඳුදා කොලඹ පැවති විරෝධතාවයක් අතරතුර, එස්පීපීඑස්යූසී සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මාධ්‍ය වෙත පැවසුවේ, ආන්ඩුව තම ඉල්ලීම් ප්‍රමාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකල යුතු බවයි. එය එසේ කිරීමට අපොහොසත් වුවහොත්, තවදුරටත් 'ඒකාබද්ධ ක්‍රියාමාර්ගකට' සියලුම කම්කරුවන් ඒකාබද්ධ කිරීම සඳහා 'මෙම අසනීප නිවාඩු ක්‍රියාමාර්ගය දීර්ඝ කරනවා' යයි ඔහු පැවසීය. ආන්ඩුව 'වැඩකරන ජනතාවගේ බලය අවතක්සේරු නොකල යුතු' බව ඔහු වාචාල ලෙස ප්‍රකාශ කලේය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, ආන්ඩුව “අයවැයෙන් ගුරුවරුන් සඳහා ප්‍රමානවත් මුදලක්” වෙන් කල යුතු බව පැසුවේ, “එසේ නොවුනහොත් අපි එකට සටන් වදිනවා” යනුවෙන් තර්ජනය කරමිනි.

වෘත්තීය සමිති නිලධරයන්, ඔවුන් අනුබද්ධ ධනේශ්වර පක්ෂවලට අනුකූලව, ජාමූඅ හි කුරිරු පිලිවෙත්වලට මුලුමනින්ම කැපවී සිටිති. ජනාධිපතිවරයා සහ ඔහුගේ ආන්ඩුව පිලිබඳ ඔවුන්ගේ හෙලාදැකීම් හුදෙක් ප්‍රලාපයන් ය; ඒවා ඔවුන්ගේ සාමාජිකයින් මුලා කිරීමට සැලසුම් කර ඇත.

රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක මාසික දීමනාවක් ලබාදීමට නම් භාන්ඩාගාරයට අමතර රුපියල් බිලියන 275 ක් එකතු කල යුතු බව වික්‍රමසිංහ සහ ඔහුගේ ඉහල නිලධාරීන් අඟහරුවාදා මාධ්‍යයට ප්‍රකාශ කලහ. මේ සඳහා දැනට පවතින සියයට 18 ක එකතු කල අගය මත බද්ද (වැට්) සියයට 2 ත් 3 ත් අතර ප්‍රමානයකින් වැඩි කිරීමට අවශ්‍ය වනු ඇති බව ඔවුහු පවසති.

ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් වික්‍රමසිංහ අවධාරනය කලේ: “අපිට ඒක කරන්න බැහැ. ඒක කරන්න අපිට නැවත වැට් බද්ද වැඩි කරන්න වෙනවා, ජනතාවට ඒක දරාගන්න බැහැ.”

ඒ සමගම, දෙදින කාර්මික ක්‍රියාමාර්ගය අතරතුර සේවය කල සියලුම සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබාදීමට ඔහු කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. සේවා උසස්වීම් සලකා බැලීමේදී කුසලතාවක් ලෙස භාවිතා කිරීම සඳහා ඔවුන්ට 'ප්‍රශංසා සහතිකයක්' ද ලබා දෙනු ඇත. කම්කරුවන් එකිනෙකාට එරෙහිව කෙටවීමේ මෙම ගොරහැඩි ප්‍රයත්නය ඇති කරනු ඇත්තේ සුලු බලපෑමකි, මන්ද, දෙදින ක්‍රියාමාර්ගය තුල සේවයට පැමිනි සංඛ්‍යාව නොසැලකිය හැකි තරම් කුඩා බැවිනි.

මේ සතියේ වැඩ වර්ජන 'රට අස්ථාවර කිරීම' සඳහා 'තවත් අරගලයක්' දියත් කිරීම අරමුනු කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවට පැවසූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුනවර්ධන, වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය මාර්ග පාලකයින් 'වෘත්තීය සමිති ත්‍රස්තවාදයේ' නිරත වන බවට චෝදනා කලේය. 'තවත් අරගලයක්' යනු, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව පැන නැගුනු 2022 අප්‍රේල්-මැයි මහජන නැගිටීම පිලිබඳ ඉඟියකි.

මෙම ව්‍යාපාරය රාජපක්ෂට ඉල්ලා අස්වීමට බල කල නමුත්, ධනේශ්වර අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවීම සඳහා උද්ඝෝෂනය කරමින් සිටි පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂවලට කම්කරුවන් යටත් කල ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහාය ඇතිව වෘත්තීය සමිති නායකත්වයන් විසින් පාවා දෙනු ලැබීය.

වෘත්තීය සමිති 'කම්කරු පන්තියේ බලය අවතක්සේරු නොකරන ලෙස' ආන්ඩුවට අනතුරු අඟවන අතරම, ඔවුන්ගේ ස්වාමිවරුන් වන ධනේශ්වර පාලක පන්තිය මෙන්, මහජන කම්කරු පන්තික නැගිටීමක් ගැන බියෙන් සිටිති; එවැනි ව්‍යාපාරයක් අවහිර කිරීමට සහ බිඳ විසිරවීමට තම උපරිමය කරමින් සිටිති.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එරෙහිව වික්‍රමසිංහ විසින් ඊපීඑස්ඒ කැඳවුම් කර සිටීම සහ විරෝධතා දක්වන ගුරුවරුන්ට එරෙහි එවැනිම තර්ජන, කම්කරු පන්තියට තියුනු අනතුරු ඇඟවීමකි.

ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් සහ එහි මර්දනකාරී ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා කම්කරු පන්තියට ඒකාබද්ධ කාර්මික හා දේශපාලන වැඩපිලිවෙලක් අවශ්‍ය බව මෙම සතියේ රටපුරා කාර්මික ක්‍රියාමාර්ගය පැහැදිලි කරයි. එවැනි අරගලයක් ඉදිරියට යා හැක්කේ කම්කරුවන් කාරනා තම අතට ගන්නේ නම් පමනක් බව ද එයින් පෙන්නුම් කෙරේ. ඔවුන්ට වෘත්තීය සමිති නායකත්වය මත විශ්වාසය තැබිය නොහැක.

මෙයින් අදහස් කරන්නේ, මෙම ප්‍රජාතන්ත්‍රවාදීව පලනය වන කමිටු තුල ධනේශ්වර ගැති වෘත්තීය සමිති නිලධරයන්ට කිසිදු තැනක් නොදී, සෑම වැඩපලකම, වතුකරයේ සහ දුප්පත් නාගරික හා ග්‍රාමීය ප්‍රජාවන් තුල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි.

සමාජවාදී සමානතා පක්ෂය, වික්‍රමසිංහ ආන්ඩුවට සහ එහි කප්පාදු පිලිවෙත් වලට එරෙහිව දේශපාලන මහා වැඩ වර්ජනයක් සූදානම් කරන ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී. ලාභ පද්ධතිය තුල කම්කරු පන්තියේ සහ ග්‍රාමීය ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත.

වැඩි වැටුප් ගෙවීම සඳහා වැට් බද්ද හෝ වෙනත් කුරිරු ආදායම් උත්පාදන ක්‍රම අවශ්‍ය බවට ආන්ඩුව කරන බොරු ප්‍රකාශ වෙනුවට අවශ්‍ය වන්නේ, විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ ධනවත් ප්‍රභූන් විසින් ගොඩ ගසා ඇති දැවැන්ත ධනය අත්පත් කර ගැනීමයි. මෙම පියවර ගත හැක්කේ බැංකු, මහා සමාගම් සහ වතු, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීමෙන් පමනි.

එවන් සටනක් සංවිධානය කල හැක්කේ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවලින් තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ අරගලය තුලිනි. මෙය වික්‍රමසිංහ තන්ත්‍රය සහ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමට සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ ඒකාබද්ධ ව්‍යාපාරයකට මග පාදනු ඇත.

Loading