සජබ සහ ජවිපෙ, දෙමල දේශපාලකයන් ගේ සහය දිනා ගැනීමට යාපනයේ මැතිවරන පොරොන්දු සංචාරයේ යෙදෙයි

පසුගිය ජූනියේ දී, පාර්ලිමේන්තු විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ (සජබ) නායකයා වන සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජාජබ/ජවිපෙ) නායකයා වන අනුර කුමාර දිසානායක දෙමල ධනපති නායකයන්ගේ සහය ගොනු කර ගැනීමට උතුරු නැගෙනහිර පලාත්වල සංචාරය කලහ. මෙම පක්ෂවල සහාය දිනා ගැනීමෙන් මේ දෙපලාතේ සාමාන්‍ය දෙමල මහජනතාවගේ ඡන්ද එලඹෙන ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරනවල දී තමන්ට දිනා ගත හැකි වෙතැයි ඔවුන් ගනන් බලයි.

සජිත් ප්‍රේමදාස (සජිත් ප්‍රේමදාස - ෆේස්බුක්)

ජූනි 9 වැනි දා, කිලිනොච්චියේ දී, තමන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට දමන බව ප්‍රේමදාස ප්‍රකාශ කලේ ය. 1988 පටන් ව්‍යවස්ථාව තුල දැනටමත් පවතින 13 වැනි සංශෝධනය යටතේ පලාත් සභා ක්‍රමය ස්ථාපිත කෙරුනි. කෙසේ නමුත්, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු මෙම සභාවන්ට පොලිස් සහ ඉඩම් බලතල ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එම බලතල එම සභාවන්ට ලබා දීමෙන් උතුරු නැගෙනහිර දෙපලාතේ වෙන ම දෙමල රාජ්‍යයක් ස්ථාපිත කිරීමට මග පාදනු ලැබිය හැකි ය යන සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනය සමග ගැලතෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයත් (එජාප) ඉන් බිඳුනු සජබත් මෙම බලතල පලාත් සභාවලට ලබා දීමට එරෙහි ය. ප්‍රේමදාස තම ආන්ඩුවක් යටතේ මෙම බලතල පලාත් සභාවලට දෙන බවක් කීවේ නැත. දෙමල පක්ෂවලට ලබා දෙන එබඳු පොරොන්දුවකින් තමන්ට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කන්ඩායම්වලින් බරපතල ප්‍රහාරයක් එල්ල කෙරෙන බව ඔහු දනී.

“අපි මේ රට එක්සත් කල යුතුයි. ශ්‍රී ලාංකිකවාදය පෙරට ගෙන ආ යුතු” යැයි ඔහු පසු ව මාධ්‍ය සාකච්ඡාවක දී පැවසී ය. ඔහු මේ ශ්‍රී ලාංකිකවාදය යනු කුමක් දැයි විස්තර කලේ නැති නමුත් සාමාන්‍යයෙන් ඉන් අදහස් වන්නේ රටේ සියලු ම ජනතාව තමන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිතිය යුතු බවයි.

මේ ප්‍රකාශය තුල ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් නොමැත. මේ වනාහි, සිංහල වර්ගවාදීන් දෙමල සහ මුස්ලිම් ජනතාවන්ට සිංහල බහුතරයේ ධනේශ්වර ආධිපත්‍ය පිලිගෙන ජීවත් විය යුතු බවට නියම කෙරෙන ඉඟි බසකි.

සජබ වැඩි දුරටත් කියා සිටියේ තම ආන්ඩුවක් යටතේ 2017 දී මුල් වරට ස්ථාපිත කෙරුන අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධ කාර්යාලය යලි පන ගන්වන බවයි. ප්‍රේමදාස, ඉලංගෛ තමිල් ඇරසු කච්චි (ෆෙඩරල් පක්ෂය) පක්ෂයේ නායකයන් ද යාපනයේ ඔවුන්ගේ කාර්යාලයේ දී මුන ගැසුනේ ය. මෙය, යුද්ධයේ දී අතුරුදන් කෙරුනු තම ඥාතීන් සහ හිතවතුන් සම්බන්ධ තොරතුරු හෙලිදරවු කරන මෙන් කියා සිටිමින් දෙමල ජනතාව ගෙන යන ධෛර්ය සම්පන්න උද්ඝෝෂනය යටපත් කිරීමේ පාලක පන්තියේ තවත් එක් උපමාරුවක් පමනි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක [Photo: Facebook]

ජූනි 11 වැනි දා, අනුර කුමාර දිසානායක ද ඔවුන්ගේ කාර්යාලයේ දී ෆෙඩරල් පක්ෂ නායකයන් මුන ගැසුනි. පසු ව, මාධ්‍ය සාකච්ඡාවක දී, යොමු කෙරුනු විවිධ ප්‍රශ්න හමුවේ ඔහු මෙසේ දේශනා කලේය: “ඇත්තටම ඉතිහාසයේ අපි එකිනෙකා අතින් සිදු වෙච්ච සිදුවිම් තිබෙනවා. දැන් අපි කල්පනා කරන්න ඕන ඉතිහාසයේ ජීවත් වෙමින් සිටිනවාද, අනාගතය සදහා දොරටු විවෘත කරගන්නවාද, ඒ නිසා ඉතිහාසය අපි සාකච්ඡා කරන්න ගියොත් විවිධ පාර්ශවයන්ට විවිධ කරුනු පිලිබදව සාකච්ඡා කරන්න පුලුවන්.”

ඔහුට ලේ වැකි දෙමල විරෝධි ජවිපෙ අතීතය මිනිසුන් විසින් අමතක කෙරෙනු දක්නට අවශ්‍යය. විශේෂයෙන් ම, එය වර්ගවාදී යුද්ධයට ලබා දුන් ඍජු සහය අමතක කර දැමිය යුතු ය. එ නිසා ඔහු මහජනතාවට කියන්නේ, තමන් දැන් පොරවා ගෙන සිටින ජාජබ බැටලු හම් පොරෝනය සහ අනාගතය වෙනුවෙන් දෙන මැතිවරන පොරොන්දු දෙස පමනක් බලන ලෙසයි.

“දැනටමත් ක්‍රියාත්මක වන පලාත් සභා පිලිබඳව අපේ එකඟතාවය පල කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි පලාත් සභා වලින් දැනට තිබෙන තත්වය සම්බන්ධයෙන් විසඳුමක් ඇති නොවී තිබෙන බවත් අපි පිලි ගන්නවා. ඒ නිසා එතනින් ඔබ්බට යන ක්‍රියාදාමයක් අපිට අවශ්‍යයි. ඒක ව්‍යවස්ථාමය, නීතිමය, ප්‍රායෝගික සහ ආර්ථික ආදී ක්ෂේත්‍ර ගනනාවක යලි වෙනස් කමකින් තමයි ජාතික සමගිය ස්ථාපිත කල හැක්කේ කියලා අපි විශ්වාස කරනවා.” යැයි ඔහු කියා සිටියේ ය.

දිසානායක ඔවුන් යෝජනා කරන්නේ කවරාකාරයේ ව්‍යවස්ථා වෙනස්කම් දැයි විස්තාරනය කලේ නැත. මොවුන්ගේ ඊනියා ජාතික සමගිය කුමක් ද? ප්‍රේමදාසගේ “ශ්‍රී ලාංකිකවාදය” මෙන් ම ජාජබ/ජවිපෙ පොරොන්දු වන්නේ ද “ශ්‍රී ලංකා ජාතිකත්වය” ගොඩනැගීමටයි.

අප්‍රේල් මස දී දිසානායක, යාපනයේ ගුරුවරුන් පිරිසක් අමතමින් අවධාරනයෙන් කියා සිටියේ දෙමල ප්‍රභූව තමන්ගේ අනාගත ආන්ඩුවක් සමග ඒකාබද්ධ විය යුතු බවයි. රාජ්‍ය ආයතන සමග දෙමල බසින් ගනුදෙනු කිරීමේ සහ සම්ප්‍රදායික ඉඩකඩම්වල අයිතිය දෙමල ජනයාට පොරොන්දු වූ ඔහු තම ආන්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනයට කුමක් වන්නේ ද යන්න ගැන සඳහන් කිරීම තරයේ බැහැර කලේ තමන් “ඩීල් දේශපාලනයට උතුරට ආවේ නැති” බව පවසමිනි.

පසු ව මතකයට ආ සෙයකින්, කියා සිටියේ තමන් 2019 ජනාධිපතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී 13 වැනි සංශෝධනයට තම සහය යලිත් තහවුරු කර ඇති බවයි.

13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට හඳුන්වා දුන්නේ 1987 දී ක්‍රියාවට දැමුනු “ඉන්දු-ලංකා සාම ගිවිසුම” හරහා ය. ශ්‍රී ලංකාවේ යුද්ධය ඉන්දියාවේත් කොලඹ පාලනයේත් ස්ථාවරත්වය තර්ජනයක් වූ නිසා දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) නිිරායුද කිරීම මෙම ගිවිසුමේ අරමුන විය. දෙමල දේශපාලකයන්ගේ සහය ගොනු කර ගත යුතු නිසා එය සීමිත බලතල සහිත ව පලාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ ය. “13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට දැමීම” දෙමල ජාතකිවාදීන් සහයට කැඳවා ගැනීමට වහෙන් ඔරෝ අමතන සූත්‍රයක් බවට පත් ව ඇත.

ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කල විට, සත්‍ය උඩු යටිකුරු කොට එය මාතෘභූමිය බෙදීමේ කුමන්ත්‍රනයක් යැයි කියූ ජවිපෙ ඉන්දු විරෝධී දේශප්‍රේමී උද්ඝෝෂනයක් අවුලුවාලී ය. මෙය සේවය කලේ ගිවිසුමේ සැබෑ ස්වභාවය වසන් කිරීමට පමනි. ජවිපෙ දේශපාලන විරුද්ධවාදීන් සහ කම්කරුවන් ඝාතනය කරමින් ෆැසිස්ට් පන්නයේ සන්නද්ධ කැරැල්ලක් දියත් කරද්දී කොලඹ ආන්ඩුව ඊට අනුපූරක ව ග්‍රාමීය තරුනයන් එරෙහි භීෂනයක් මුදා හලේ 60 000ක් දෙනා ඝාතනය කරමිනි.

“මාතෘභූමිය” යනු සිංහල ජනතාවාදය සහ වර්ගවාදී කන්ඩායම් මත පදනම් වූ ධනේශ්වර පක්ෂ 1948 දී ලංකාව තුල අටවනු ලැබූ ඒකීය ධනේශ්වර රාජ්‍ය ඔජ වැඩීමට යොදා ගන්නා සරුව පිත්තල යෙදුමකි. කොලඹ පාලන තන්ත්‍ර දෙමල විරෝධී වෙනස්කම් යොදා ගත්තේ කම්කරු පන්තිය වාර්ගික ව බෙදා දුර්වල කිරීමටයි. එහි උච්ඡය වූයේ 1983 දී බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි ව මුදා හල ලේ වැකි යුද්ධයයි. 2009 මැයි මාසයේ දී යුද්ධය නිමා කෙරුනේ එහි අවසන් මාසවල දී දස දහස් ගනනක් ජීවිතක්ෂයට පත් කරවමිනි. යුද්ධයේ වසර 26 තුල සිය දහස් ගනනක් මිය ගියහ. ජවිපෙ සහ ජාජබ නායකයෝ ද, එවක එජාප සාමාජිකයන් වූ සජබ නායකයෝ ද මෙම රුධිර ස්නානයට ආ වැඩූ හ.

සජබ සහ ජවිපෙ/ජාජබ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය තුල කරවටක් එරී සිටිනවා පමනක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට ද සහය දෙයි. ප්‍රේමදාසගේත් දිසානායකගේත් උත්සුකය දෙමල ජනතාවගේ ඡන්ද කොල්ල කා ගන්නේ කෙසේ ද යනුවෙන් විනා දශක ගනනාවක පීඩාකාරී වාර්ගික වෙනස්කම් කිරීම් අවසන් කර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාක්ෂාත් කිරීම සම්බන්ධයෙන් නොවේ.

දෙමල ප්‍රභූවේ දේශපාලන පක්ෂ චීනයට එරෙහි ඇමරිකානු ඉන්දීය මිලිටරි මූලෝපායික හවුල්කාරීත්වයට තම පක්ෂපාතීත්වය පල කරති. චීනයට එරෙහි පෙලගැස්මට පෙල ගස්වා ගැනීමට මෙම බලයන් කොලඹ ආන්ඩුවට යොදන පීඩනයට ද ඔවුහු සහය දෙති. මෙම නීච ප්‍රතිපත්ති හරහා අධිරාජ්‍යවාදී බලයන්ගේත් ඉන්දියාවේත් සහය ගොනු කර ගෙන දෙමල දේශපාලන පක්ෂ පලාත් සභාවලට පූර්න බලතල ඇතුලු වැඩි වරප්‍රසාද දිනා ගැනීමට අතීත කොලඹ ආන්ඩු සමග කේවල් කර ඇත.

මෙම අධිරාජ්‍යවාදී බලවත්තු සහ ඉන්දියාව යුද්ධයට සහාය දුන්හ. ඔවුන්ට, දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සම්බන්ධයෙන් ඇබැටක් තරම් වත් තැකීමක් ඇත්තේ නැත. ඔවුන්ගේ එක ම උත්සුකය නම් දෙමල සහ සිංහල දේශපාලන පක්ෂවල සහය තම භූ දේශපාලනික අවශ්‍යතාවන්ට ගොනු කර ගැනීමයි.

සජබය ගොඩ නැගුවේ 2020 දී උපායික මතබේද මත රනිල් වික්‍රමසිංහගේ නායකත්වය හැර පියා ගිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය විසිනි. ඔවුන්ගේ උපායික ගනන් බැලීම වූයේ වික්‍රමසිංහට එජාප නායකයා ලෙස පවතින රුදුරු වාර්තාව නිසා බලයට පැමිනීම සඳහා මහජන සහය දිනා ගැනීමට හැකියාවක් නොපවතින බවයි. නමුත් පක්ෂ දෙකේ ම ප්‍රතිපත්ති එක ම ය.

ජනාධිපති වික්‍රමසිංහ ද ඉදිරි ජනාධිපතිවරනයක දී දෙමල දේශපාලන පක්ෂවල සහය දිනා ගැනීමට විවිධ කුරුමානම් අල්ලමින් සිටියි. පසුගිය මාසවල දී වික්‍රමසිංහ ව්‍යාපෘති කීපයක් විවෘත කිරීමට කීප විටක් උතුරු සහ නැගෙනහිර දෙ පලාතේ සංචාරය කලේ ය; අතුරුදන් වූ පුද්ගලයන් පිලිබඳ කාර්යාලයට අතුරුදන් වූවන් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර පවුල්වල අයට වන්දි ලබා දීමටත් ඔහු උපදෙස් දුන්නේ ය.

දෙමල කම්කරුවන් සහ සෙස පීඩිත කොටස් තම ඡන්ද නැවතත් කොල්ල කා ගැනීමට එජාප, සජබ සහ ජවිපෙ/ජාජබ දරන නරුම උත්සායන් ප්‍රතික්ෂේප කල යුතු ය. එ මෙන් ම, කොලඹ මෙම කන්ඩායම් සමග පයුරු පායාසනයේ යෙදෙන ඉන්දියාවේත්, ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී රටවලත් අවශ්‍යතාවන්ට ගැති සියලු ම දෙමල දේශපාලන පක්ෂ ද ප්‍රතික්ෂේප කල යුතු ය.

දෙමල ජාතිකවාදී පක්ෂ හුවා දක්වන්නේ ප්‍රධාන ලෝක බලවතුන් සාමාන්‍ය මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට සහය දක්වන බවකි. මෙය පසුගිය දශකයක කාලය තුල හෙලිදරවු වුනු අමු ප්‍රෝඩාවකි. ඔවුන් කොලඹ ආන්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන කතා කරන්නේ වැනීම්වලින් තොර ව තම පිලිවෙතෙහි පිහිටුවා ගැනීමට පමනි.

පශ්චාත් ලෝක යුද සමථයේ අංගයක් වන ශ්‍රී ලංකාවේ ධනේශ්වර ඒකිය රාජ්‍යය පෙරලා දැමීමට සිදු කරන සටනකින් පමනක් දෙමල සහ මුස්ලිම් ජනතාවට වාර්ගික වෙනස්කම් අවසන් කර දැමිය හැකි වනු ඇත.

දෙ වැනි ලෝක යුද්ධයෙන් පසු ධනේශ්වර පන්ති පාලනය ස්ථාවර කිරීමට ගෙන ගිය වැඩපිලිවෙලේ කොටසක් වශයෙන් ඉන්දියානු උපමහද්වීපය, හින්දු බහුතරය වන ඉන්දියාවකටත් මුස්ලිම් පාකිස්ථානයකටත් බෙදා වෙන් කෙරුනේ මිලියන ගනනක ජන සංහාරයකින් අනාගතයේ දෙ රට අතර ගැටුම්වලට පූර්ව කොන්දේසි ද නිර්මානය කරමිනි.

වෙන ම ලංකා ආන්ඩුවක් ඒකිය ව්‍යවස්ථාවක් සමග ස්ථාපිත කෙරුනේ ලේ වැකි වාර්ගික ඝට්ටනයන්ට මං සාදමිනි. මේ අවස්ථා දෙකේ දී ම, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී හාම්පුත්තු ඉන්දියාවේ හින්දු සහ මුස්ලිම් ප්‍රභූව සමගත්, ලංකාවේ ධනේශ්වරය සමගත් මහජනතාවට එරෙහි ව කුමන්ත්‍රනය කලහ.

වර්ගවාදී යුද්ධයට තිරසාර ව එරෙහි වෙමින් උතුරු නැගෙනහිරින් හමුදාවන් ආපසු කැඳවීමට සටන් කලේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. යුද්ධයේ මූලික අරමුන කම්කරු පන්තිය මර්දනය බව අපි කියා සිටියෙමු. එ මෙන් ම, දෙමල මහජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කල හැක්කේත් වාර්ගික වෙනස් කම් මුලිනුපුටා දැමිය හැක්කේත් ඒවායේ මූලාශ්‍රය වන ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමීමෙන් පමනක් බව අපි අවධාරනය කලෙමු.

මෙම කර්තව්‍ය සාක්ෂාත් කර ගැනීමට නම්, වාර්ගික රේඛා ඉක්මවා යන සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පාදකව ඉදිරියට ගෙනයාම අවශ්‍ය කෙරෙයි. එ බඳු අරගලයක් සඳහා පවතින විභවය ජාමූඅ රුදුරු කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව සියලු ම ජන කොටස් අතරින් පැන නැගී ඇති ඒකාබද්ධ පන්ති සටන් තුලින් පෙන්නුම් කෙරී ඇත.

සසප, දකුනු ආසියාවත් ලෝකයත් අලලා ගන්නා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන අරගලයේ කොටසක් වශයෙන් දිවයින් තුල ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලයේ ඉදිරිදර්ශනය ඉදිරිපත් කරයි.

පසුගිය සියවස් තුන් කාලෙන් තීරනාත්මක පාඩම් උකහා ගෙන දෙ පාර්ශ්වයේ ම වාර්ගික දේශපාලනය ප්‍රතික්ෂේප කර සමාජවාදී ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය සඳහා වන අරගලය වටා රැලි වන මෙන් අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading