ආන්ඩුව පොරොන්දු වූ පරිදි ඩැට් දීමනාව ලබා නොදීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් වර්ජනයක

සෞඛ්‍ය සේවකයන් සඳහා, “ඩැට්” හෙවත් බාධන, උපයෝජ්‍යතා සහ ප්‍රවාහන දීමනාව වැඩි කරන බවට දුන් පොරොන්දුව ආන්ඩුව විසින් ඉටු නොකිරීමට එරෙහිව පලාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සංකේත වර්ජන මාලාවක් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කර ඇත. මැයි 9 ආරම්භ කෙරුනු මෙම උද්ඝෝෂනය මැයි 21 දක්වා පිලිවෙලින් උතුරු මැද, මධ්‍යම, සබරගමුව, වයඹ, දකුනු, ඌව සහ බස්නාහිර පලාත්වල ක්‍රියාත්මක කෙරෙයි.

වර්ජනය පැවති පලාත්වල, අතුරු වෛද්‍ය, කලමනාකරන සහායක, පරිපාලන, ඉංජිනේරු සේවාවන්හි නියුතු සේවකයන් ඇතුලු ව දහස් ගනනක් සෞඛ්‍ය සේවකයෝ වර්ජනයට සහභාගි වුහ. ඒ හේතුවෙන් අදාල රෝහල් හා සෞඛ්‍ය ආයතන වල කටයුතු අඩාල විය. වර්ජනය ක්‍රියාත්මක වන කාලය තුල සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ කඩතුරාව යටතේ 13 වෙනි දා මහනුවර රෝහලට හමුදා නිලධාරීන් යොදවා තිබුනි.

වර්ජනය කැඳවුම් කල සෞසේවෘසස වනාහි, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සම්මේලනය, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ආන්ඩුවේ වින්නඹු සේවිකාවන්ගේ වෘත්තීය සමිතිය ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72 ක එකතුවකි.

සෞසේවෘසස, “ආර්ථික යුක්තිය” ඉෂ්ට කරන ලෙස ආන්ඩුවට බලකරමින්, ජනවාරි, පෙබරවාරි සහ අප්‍රේල් මාසවල දී වරින් වර සංකේත වර්ජන ගනාවක් කැඳවුම් කලේ ය. අප්‍රේල් 2 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී අදාල දීමනාව හා නිල ඇඳුම් දිමනාව වැඩිකරන බවට සහ නිල ඇඳුම් දීමනාව නොලබන සේවකයන්ට ඒ වෙනුවට දීමනාවක් ගෙවීමට අමාත්‍යංශ බලධාරීන් පොරොන්දු වී ඇත.

කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින්, 2024 පෙබරවාරි 14 වන දින, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත විරෝධතාවයක නිරත වෙමින් [ඡායාරූප: ෆේස්බුක්/යුනියන් ලංකා] [Photo: Facebook/Unions Lanka]

අන්ඩුවේ මෙම පොරොන්දුව පිලිගෙන සමිති සන්ධානය විරෝධතා උද්ඝෝෂනය නතර කලේ ය. ආන්ඩුව පොරොන්දු කඩකර ඇතැයි දැන් ඔව්හු නහයෙන් අඬති.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පී.ජී. මහීපාල මැයි 8 වෙනිදා නිකුත් කල චක්‍රලේඛයක් මගින් “විශේෂ රාජකාරි දීමනාව ගෙවනු ලබන සෞඛ්‍ය කාර්ය මන්ඩලය සඳහා රුපියල් 3000 සහ 1000 බැගින් ගෙවනු ලබන දීමනාව 2024 මැයි මාසයේ සිට දෙගුන කර ගෙවීමට කටයුතු කරන ලෙස” සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දී ඇත.

වෘත්තීය සමිති නායකයන් කියන පරිදි දීමනාව සියලු සෞඛ්‍ය සේවකයන් ට ගෙවීමට “තාක්ෂනික වාර්තාවෙන්” නිර්දේශ කර ඇතත් සෞඛ්‍ය කාර්ය සහායක, පරිපාලන, කලමනාකරන සහකාර සහ ඉංජිනේරු සේවාව ඇතුලු සේවක කාන්ඩ 20 ට පමන කිසිදු දීමනාවක් ලැබී නැත. ගෙවීමට යෝජනා කෙරී ඇති සේවක කාන්ඩ සඳහාද එය ගෙවනු ලබන්නේ අමාත්‍යංශ ලේකම්ගේ චක්‍රලේඛයට අනුව ය. එනම්, ඒ සඳහා දැරීමට සිදුවන වියදම “සෞඛ්‍ය අමාත්‍යංශයේ 2024 අයවැය ප්‍රතිපාදන තුල කලමනාකරනය කර ගැනීමට යටත්ව” ය. ඒ අනුව, ප්‍රතිපාදන ප්‍රමානවත් නොවේ නම් දීමනාව ගෙවීම අත්හිටවනු ඇත.

“මහජනතාවට ඇතිවන අපහසුතාවය” සලකා උද්ඝෝෂනය සංකේත වර්ජනයකට සහ පලාත් මට්ටමින් කරන බවත් මැයි 21 වන විට ආන්ඩුවෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුනොත් 22 සිට අඛන්ඩ වර්ජනයකට යන බවට සෞසේවෘස සම කැඳවුම්කරු රවී කුමුදේශ් මාධ්‍යට පවසා ඇත. ඔහු ඇතුලු සෞසේවෘස නායකයන් එවැනි පුච්චානම් කතා පසුගිය අරගල හැම එකක දී ම පවසා ඇත. යතාර්ථයේ දී, ඔවුන් දිගට ම ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය සේවකයන්ගේ අරගලවලට අවහිර කරන කාර්මික පොලිසියක් ලෙසයි.

ආන්ඩුවේ අඬු ලෙස ක්‍රියාත්මක වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙස) හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයත්, විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන ( ජවිපෙ) විසින් පාලනය කරන සමස්ත ලංකා හෙද සංගමය (සලංහෙස) වර්ජනයට සම්බන්ධ වී නැත.

මැයි 13 වෙනිදා ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ රැස්වීමක දී, හෙද සේවකයන් ගේ අයිතින් දිනාගෙන ඇතැයි පැවසූ රාසේඑහෙස සභාපති මුරුතෙට්ටුවේ ආනන්ද භික්ෂුව වර්ජනය හෙලා දැක්කේ ය. අරගල කරන්නේ “අයිතින් දිනා ගැනීමට නොව හෙද-හෙදියන්ගේ මොලවලට කුනු ඇතුල් කිරීමට” බව ඔහු එහිදී සඳහන් කලේ ය.

“කලින් නොගෙවූ අයට දීමනාව ගෙවීම සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමති කටයුතු කරමින් ඉන්න නිසා ඒ තීරනයට ටිකක් කල් දිය යුතු” බව රාජ්‍ය හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හා ජනාධිපති වික්‍රමසිංහගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසා ඇත.

වර්ජනයට තම සංගමය සහභාගී නොවන බවත්, “අයිතීන් දිනා ගැනීමට ආන්ඩුව වෙනස් කල යුතු” බවත් සලංහෙස ලේකම් එච්. එම්‍. එස්. බී. මැදිවත්ත මැයි 12 වෙනි දා මාධ්‍යට පැවසී ය. එනම් ජවිපෙ විසින් මෙහෙයවන ජාතික ජන බලවේගයේ (ජාජබ) ආන්ඩුවක් බලයට පත් වන තුරු සෞඛ්‍ය සේවකයන් තම අයිති සඳහා අරගලය අත හැරිය යුතු ය. වික්‍රමසිංහ ආන්ඩුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නිර්දේශිත එහි කප්පාදු වැඩපිලිවෙල කෙරෙහි සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය තුල පවතින වෛරය ගසාකමින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ප්‍රයත්නයක ජවිපෙ සහ එහි වෘත්තීය සමිති යෙදී සිටිති. කෙසේ නමුත්, ජාජබ ආන්ඩුවක් යටතේ ද සිදුවනු ඇත්තේ ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල ඉදිරියට ම ගෙන යාම බව, ජවිප/ජාජබ නායකයන් යලි යලිත් තහවුරු කොට ඇත.

සෞඛ්‍ය සේවකයන් ගේ වැටුප් අරගලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් යටතේ වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ආර්ථික කප්පාදු වැඩපිලිවෙල මගින් එල්ල කෙරෙන ප්‍රහාර වලට එරෙහි ව කම්කරු පන්තිය තුල වර්ධනය වන අරගල වල කොටසකි.

වික්‍රමසිංහ ආන්ඩුව මෙම වසරේ අයවැයෙන් රාජ්‍ය අංශයේ වැටුප් රුපියල් 10,000 කින් වැඩිකල ද ඉහල යන ජිවන වියදමට අලගු තැබීමටවත් එය නොසෑහෙයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය දෑ සඳහා පමනක් එක් පුද්ගලයෙකුට අවශ්‍ය මාසික අවම වියදම රුපියල් 17,000 කි. ඒ අනුව හතර දෙනෙකුගෙන් යුක්ත පවුලක අවම මාසික වියදම රුපියල් 68,000 ක් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්ථික විවරනයට අනුව, කොලඹ පාරිභෝගික මිල දර්ශකය පාදක ව ගත් කල, කුටුම්බයක් (හතර දෙනෙකුගෙන් යුත් පවුලක්) සඳහා ඇස්තමේන්තුගත සාමාන්‍ය මාසික පරිභෝජන වියදම 2022 වසරේ පැවති රුපියල් 150,184 හි සිට 2023 වසරේ දී රුපියල් 176,253 දක්වා සියයට 17 කින් ඉහල ගියේය. ජාතික පාරිභෝගික මිල දර්ශකය පාදක ව ගත් කල, කුඩුම්භයක් සඳහා ඇස්තමේන්තු ගත සාමාන්‍ය මාසික පරිභෝජන වියදම 2022 වසරේ රුපියල් 88,704 කි. එය 2023 වසරේ දී රුපියල් 103,283 දක්වා සියයට 16.5 කින් ඉහල නැගුනි.

තතු එසේ හෙයින් සෞඛ්‍ය සේවකයන් ඇතුලු රාජ්‍ය අංශයේ සේවකයන්ට අවශ්‍ය වන්නේ ධනපති ආන්ඩුවේ ආර්ථික අර්බුදයට ගැලපෙන ලෙස කප්පාදු කල වැටුප් වැඩි වීමක් නොව; පසුගිය වසර කිහිපය තුල ඉහල ගිය ජීවන වියදම පූරනය වන පරිදි වන්දියක් සහිත ව පවතින ජීවන වියදමට ගැලපෙන වැටුප් වැඩි වීමකි. එහෙත් වෘත්තීය සමිති තම ඉල්ලීම් සකසන්නේ ධනපති ආන්ඩුවේ ආර්ථික අර්බුදයට ගැලෙපෙන පරිදි මිස කම්කරු පන්තියේ ජිවන වියදම ඉහල නැගීමට සමානුපාතික ව නොවේ. සෞසේවෘස නායකයන් තමන් “මස් රාත්තල ම” නො ඉල්ලන බවට වික්‍රමසිහ ආන්ඩුවට සපත කිරීමේ තේරුම එයයි.

සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ (සෞක්‍රික) සාමාජිකයන් වැටුප් අරගලය තුල සෞඛ්‍ය සේවකයන් මුහුන දෙන තීරනාත්මක දේශපාලනික සහ ක්‍රියාමාර්ගික ප්‍රශ්න පැහැදිලි කරමින් 13 වෙනිදා මහනුවර රෝහලේ වර්ජිත සෞඛ්‍ය සේවකයන් අතර මැදිහත් වූහ. එහි දී කලමනාකරන සහකාර සේවයේ නියුතු සේවිකාවක් දීමනාව වැඩි කිරීම සම්බන්ධ ආන්ඩුවේ ප්‍රෝඩාවත්, වෘත්තීය සමිති වල ද්‍රෝහී භූමිකාවත් ගැන සෞක්‍රික සාමාජිකයන් සමග සාකච්ඡා කලා ය. ඇය සඳහන් කල පරිදි සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේඛයට අනුව දීමනාව ලැබෙන්නේ සේවක කාන්ඩ 74න් දහයකට පමනි.

“ඒ ශ්‍රේනි මොනවාද කියලත් අපිට හරි වැටහීමක් නැහැ. අපේ ශ්‍රේනියට ලැබෙන්නෙත් නැහැ. ඔය දෙනවා කියන මුදල දුන්නත් ඒකෙන් ජිවන වියදම පියවා ගන්න බැහැ. ඒකත් එක්කෝ සේවකයන්ගෙ වෙනත් දීමනා, නැත්නම් රෝගීන්ගේ බෙහෙත් පත කප්පාදු කරලා තමයි දෙනවා ඇත්තේ. සමිති නායකයන් කිසිම පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. වෘත්තීය සමිති ගැන විස්වාශයක් නැති නිසා වර්ජනයට සහභාගී වුනේ කැමැත්තකින් නෙමෙයි” ඇය පැවසුවා ය.

හුදෙක් පැය කිහිපයක් වර්ජනය කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවත් වර්ජනයෙන් පසු ඒ පැය කිහිපයේ වැඩත් කිරීමට සිදුවන බැවින් අමතර බරක් සහ අධික වෙහෙසක් දැරීමට සිදුවන බවත් ඇය සඳහන් කලා ය.

“වර්ජනය හොඳින් සංවිධානය කරලත් නැහැ. හෙද සේවකයන් වර්ජනයට සහයෝගය දෙන බව සමිති නායකයෝ කිව්වට කිසිම හෙද සේවකයෙක් වර්ජනයට සම්බන්ධ කරන්න ඔවුන් කටයුතු කරලා නැහැ. වෘත්තීය සමිති තීන්දු ගන්නේ අපෙන් අහල නෙමෙයි. ඒ ගොල්ලන්ගේ හිතුමතේට”

වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහර දීම සහ පුද්ගලිකරනයට විරුද්ධ ව උද්ඝෝෂනයේ යෙදුන විදුලි බල මන්ඩලයේ කම්කරුවන් 62 ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධ ව පැහැදිලි කල විට ඇය පැවසුවේ සෞඛ්‍ය වෘත්තීය සමිති ඒ ගැන කිසිදු දැනුවත් කිරීමක් නොකල බවයි. විදුලිබල කම්කරුවන්ට එරෙහි දඩයම හෙලා දුටු ඇය ඔවුන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය සටන් කල යුතු බව සඳහන් කලා ය.

වෘත්තීය සමිති තුලින් තවදුරටත් කම්කරුවන්ට තම අයිතීන් දිනා ගත නොහැකි බවත් ඒ සඳහා වෘත්තීය සමිති වලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් අයිතීන් සඳහා අරගලය කම්කරුවන් තමන් අතට ගතයුතු බවත් සෞක්‍රික සාමාජිකයන් ඇයට පැහැදිලි කල විට කම්කරු පන්තියට එවන් වැඩපිලවෙලක් අවශ්‍යය බවත් ඒ සඳහා වැඩිදුර සාකච්ඡා කිරීමට එකඟ බවත් පැවසුවා ය.

“සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ වට්ස්ඇප් ගෲප් එකේ මම ඉන්නවා. ඒකට එවන ලිපි මම කියවනවා. ඒ ලිපිවලින් ඇත්තටම ලෝකේ වෙන්නේ මොකක් ද කියන එක දැන ගන්න පුලුවන්. යුද්ධය හරි කම්කරුවෝ මුහුන දෙන ප්‍රශ්න ගැන වෙන කිසිම මාධ්‍යයක ඒ විදිහට පැහැදිලි කරන්නේ නැහැ” ඇය සඳහන් කලා ය.

Loading