පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය ධනේශ්වර ගැති ජන සභා දේශපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජවිපෙ 1971 අසාර්ථක නැගිටීම වර්නනා කරයි

ශ්‍රී ලංකාවේ ව්‍යාජ වාම කන්ඩායමක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) “ශ්‍රේෂ්ඨ පරාජයක්! නොමියන මතකයක් !” යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දුන් 1971 දී අසාර්ථක වූ කැරැල්ල සැමරීමේ රැස්වීම් මාලාවක් පැවැත්වූයේය.

පෙසප කථිකයා වූයේ පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

2012 දී පිහිටුවන ලද පෙසප, ජවිපෙ අංකුරයකි. කෙසේ වෙතත්, එය මව් පක්ෂයේ සම්භවය සහ එහි අතීත දේශපාලනය පෙසපයේ කීර්තිමත් උරුමය ලෙස දිගටම සමරයි. 1971 ජවිපෙ ප්‍රමුඛ කැරැල්ල පිලිබඳ මෑතකාලීන රැස්වීම් මාලාව එවැනි අවස්ථා පිලිබඳ එක් නිදර්ශනයකි. එය නැවත වරක් පෙන්නුම් කරන්නේ, ජනතා විමුක්ති පෙරමුනෙන් නව ව්‍යාජ වාම කන්ඩායම ගොඩනැගූ අයගේ “භේදය”, එහි වාර්ගික සහ ධනපති ගැති දේශපාලනයෙන් ප්‍රතිපත්තිමය බිඳීමක් නොව, හුදෙක් සංවිධානාත්මක ක්‍රියාවක් පමනක් බව යි.

පෙසප නායකයින් ජවිපෙන් කැඩී ගියේ, 2004 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවට එක්වීම ඇතුලුව, එක් ධනේශ්වර පක්‍ෂයකට පසුව තවත් එකකට දුන් සහයෝගය නිසා කම්කරුවන් හා තරුනයන් අතර තරයේ අපකීර්තියට පත් වූ විටය. ජවිපෙ 1983 සිට වසර 26 ක් දීර්ඝ ලේවැකි දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට සහයෝගය දීමේ දී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම පාලන තන්ත්‍රයන්ට උපකාර කිරීමේදී පෙසප නායකයෝ මෙම ප්‍රතිගාමී දේශපාලන ක්‍රියාකාරකම්වල පක්ෂපාතී සාමාජිකයෝ වූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දමා එහි ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල වෙනස් කිරීමට බලපෑම් කල හැකිය යන මිත්‍යාවන් පතුරවමින් කම්කරු අරගල යටපත් කිරීමට ක්‍රියාකරන වෘත්තීය සමිති සමග අත්වැල් බැඳගෙන මෙම සංවිධානය, එම ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීම වැලැක්වීමට කටයුතු කරයි.

1971 කැරැල්ල සැමරීමට අප්‍රේල් 05 ගම්පහ යක්කල දී පැවැත්වූ ප්‍රධාන රැස්වීමේ දී පෙසප කථිකයා වූයේ පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ය. 1971 ගම්බද කැරැල්ල “සමාජවාදී විප්ලවවාදී පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ පැවති පලමු ප්‍රයත්නය” බව ඔහු කියා සිටියේ ය.

'71 කැරැල්ල පිලිබඳ මෙම ව්‍යාජ ගුනාංගීකරනය, සැබෑ ඓතිහාසික වාර්තාව විකෘති කරයි. ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල වර්ධනය වෙමින් ද, විකල්පයක් සොයමින් ද සිටින තත්වයක, ඔවුන් ඇද ගැනීමට මෙම ව්‍යාජ වාම අවස්ථාවාදියෝ තම කන්ඩායමට යම් ආකාරයක රැඩිකල් උරුමයක් ඇතැයි පින්තාරු කිරීමට උත්සාහ දරති. එහෙත්, '71 කැරැල්ලේ සැබෑ වාර්තාව පෙසපට එල්ල වන අතුල් පහරකි.

සිංහල ජනතාවාදය, මාඕවාදය සහ කැස්ත්‍රෝවාදය සහ ගොවි ජනතාව මත පදනම් වූ ගරිල්ලාවාදයේ විෂකුරු මිශ්‍රනයක් මත පදනම්ව 1965 දී ජවිපෙ පිහිටුවන ලදී. මේ සියල්ල මාක්ස්වාදයේ ප්‍රතිවිරුද්ධයන් ය. රහසිගතව ආරම්භ කල මෙම සුලු ධනේශ්වර පක්ෂය, කම්කරු පන්තියේ මූලික විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරමින් විරැකියාව හා දරිද්‍රතාව නිසා අසහනයට පත්ව සිටි ග්‍රාමීය තරුනයන් බඳවා ගත්තේ ය. ජවිපෙ එහි “පංති පහ” තුල වතු කම්කරුවන් ඉන්දියාවේ ඒජන්තයන් ලෙස අර්ථගන්වමින් “පස්වැනි කොලමක්” ලෙස හෙලා දුටු අතර කම්කරුවන්ගේ වැටුප් අරගල “කැඳ කෝප්ප සටන්” ලෙස ගර්හාවට ලක් කලේ ය.

1970 පාර්ලිමේන්තු මැතිවරනයේ දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප)-ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය අතුලත් ධනේශ්වර සභාගයට සහාය දැක්වූයේ, එක්සත් ජාතික පක්ෂය (එජාප) හා සසඳන විට එය “අඩු නපුර” ලෙස හුවාදක්වමිනි. සභාග ආන්ඩුවේ මර්දනකාරී ක්‍රියා මධ්‍යයේ, බලය අල්ලා ගැනීමේ අරමුනින් 1971 අප්‍රේල් 05 වැනිදා ජවිපෙ දහස් ගනනක ග්‍රාමීය තරුනයින්ගේ කැරැල්ලක් දියත් කලේය.

ලසසප හා කොප විසින් ධනේශ්වර සභාගයට යටත් කර තිබූ කම්කරු පන්තියෙන් මුලුමනින්ම හුදෙකලා වූ කැරැල්ල, දින කිහිපයක් ඇතුලත රාජ්‍ය හමුදා විසින් රුදුරු ලෙස තලා දමමින් තරුනයින් 15,000 ක් පමන ඝාතනය කර, එහි නායක රෝහන විජේවීර ඇතුලු තවත් දහස් ගනනක් අත්අඩංගුවට ගන්නා ලදී.

'71 කැරැල්ල ගම්බද පදනම් වූ ගරිල්ලා ප්‍රහාරයකි. ධනවාදය පෙරලා දමා කම්කරු රාජ්‍යයක් පිහිටුවීම සඳහා මාක්ස්වාදී පක්ෂය විසින් මෙහෙයවනු ලබන කම්කරු පන්තියේ නායකත්වය යටතේ සාක්ෂාත් කරගත හැකි “සමාජවාදී පරිවර්තනයක්” සඳහා වන අරගලය සමඟ පොදු කිසිවක් එයට නැත.

මාක්ස්වාදීන් 1971 වැනි අරගල හෙලා නොදකින බවත්, එයින් පාඩම් ඉගෙන ගන්නා බවත් ජයගොඩ පැවසීය. ඔහුට අනුව ජනතා විමුක්ති පෙරමුනේ සැබෑ පන්ති ස්වභාවය සහ එහි දේශපාලනය හඳුනා ගැනීම එහි කැරැල්ල හෙලා දැකීමකි. කෙසේ වෙතත්, මාක්ස්වාදීන්ට අවශ්‍ය පාඩම් උකහා ගැනීම සඳහා එවැනි ප්‍රවේශයක් ප්‍රධාන වේ.

මාක්ස්වාදීන්, කම්කරු පන්තියට පමනක් නොව අනෙකුත් පන්තීන්ට ද අත්වූ පරාජිත මෙන්ම ජයග්‍රාහී අරගලවල පාඩම් ද ප්‍රති-විප්ලවවල පාඩම් ද උකහා ගනී. මාක්ස්වාදීන් මෙය කරන්නේ සිය විප්ලවවාදී කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ සුලු ධනේශ්වර හෙංචයියන්ගෙන් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ ආස්ථානයෙනි.

ජයගොඩ, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කැරැල්ලට නිර්ධන පංති විප්ලවයන් සමඟ පොදු යමක් ඇති බව පෙන්වීමට, ලෙනින්ගේ කීර්තිමත් කෘතියක් වන රජය සහ විප්ලවය තුල පැරිස් කොමියුනය පිලිබඳව කල මෙම ප්‍රකාශය උපුටා දක්වයි:. “ඔහු එය සැලකුවේ අතිශයින් වැදගත් ඓතිහාසික අත්දැකීමක් ලෙසට ය; ලෝක නිර්ධන පන්ති ව්‍යාපාරයේ ඒකාන්ත ඉදිරිගමනක් ලෙසටය; වැඩපිලිවෙලවල් සහ තර්ක සිය ගනනකට වඩා වැදගත් ප්‍රායෝගික පියවරක් ලෙසට ය.'

එහිදී ජයගොඩ පවසන්නේ, 1871 පැරිස් කම්කරු පන්තියේ කැරැල්ලට මාක්ස් දැක්වූ ඉමහත් අවධානය ගැනයි. 1905 රුසියානු විප්ලවය ගැන ජයගොඩ සඳහන් කලේ “ඔවුන් [කම්කරුවන්] ආයුධ අතට නොගත යුතුව තිබුනි” යයි ප්ලෙකනොව් කල ප්‍රකාශය ලෙනින් විවේචනයට ලක්කල බවයි.

1871 පැරිස් කොමියුනය, 1905 රුසියානු විප්ලවය සහ 1971 කැරැල්ල
ලෙනින්

මෙම විප්ලවයන් සහ ඒවායින් උකහාගත් පාඩම් ගැන ලෙනින් පැවසූ දේ අතිශයින් වැදගත් නමුත් ජයගොඩ සිටින්නේ එම පාඩම් උගත්තෙකු ලෙස නොව ඒවාට ප්‍රතිවිරුද්ධ පැත්තේ ය. 1917 ජූලි දිනවලදී කොර්නිලොව් ප්‍රතිවිප්ලවවාදී කැරැල්ල මධ්‍යයේ සැඟවී සිටීමට සිදුවූ සතිවල ලෙනින්, ධනේශ්වර රාජ්‍යයේ ස්වභාවය පිලිබඳ ඓතිහාසික පාඩම් උකහා ගත්තේ, බොල්ෂෙවික් පක්ෂය සහ කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම සහ ධනේශ්වර රාජ්‍ය කුඩුපට්ටම් කිරීමට සූදානම් කිරීම සඳහා ය.

1871 මාර්තු 18 වන දින කොමියුනය පිහිටුවූයේ, නගරයේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කාලතුවක්කු ඉවත් කර කම්කරු පන්තිය නිරායුධ කිරීමට ඇඩොල්ෆ් තියර්ස්ගේ ප්‍රංශ ආන්ඩුව දැරූ උත්සාහයට එරෙහිව පැරිසියේ කම්කරුවන්ගේ නැගිටීමෙනි. ධනේශ්වර ආන්ඩුවේ නායකයෝ නගරයෙන් පලා ගිය අතර, ඔවුන්ගේ මූලස්ථානය වර්සායි හි පිහිටුවාගෙන පැරිසියේ කම්කරුවන්ට එරෙහිව සිවිල් යුද්ධයක් ආරම්භ කලහ.

දින 71 කට පසු, 1871 මැයි 28 වන දින, වර්සායි ආන්ඩුවේ හමුදාව විසින් කොමියුනය මර්දනය කරමින්, නගරයේ වැඩ කරන ජනතාව සමූලඝාතනය කිරීමෙන් පැරිසිය නැවත අත්පත් ගන්නා ලදී. කොමියුනයේ ස්වරූපයෙන් කම්කරු ආන්ඩුවක් පිහිටුවීම, ධනේශ්වර රාජ්‍යට විකල්පයක් ස්ථාපිත කිරීම සඳහා ඇති විභවය පෙන්නුම් කලේ ය.

ලෙනින් 1872 ජූනි 24දා ලියූ කොමියුනිස්ට් ප්‍රකාශනයේ අවසාන පෙරවදනෙන් උපුටා දැක්වූයේ මෙසේ ය: “...එක කරුනක් පැරිස් කොමියුනයෙන් ඔප්පුවිය. එය නම්, 'සාදා නිමකර තිබෙන රාජ්‍ය යන්ත්‍රය එසේම අත්පත් කරගෙන එය කම්කරු පන්තියට තමන්ගේ අරමුනු ඉටුකර ගැනීම සඳහා ක්‍රියාත්මක කල නොහැකි බව ය...” (ලෙනින්, තෝරාගත් කෘති- සිංහල පරිවර්තනය, වෙලුම 6, පි.43)

1905 රුසියාවේ විප්ලවය ඒකාධිපති සාර් රජුගේ පාලනයට එරෙහිව කම්කරු පන්තියේ නැගිටීමකි. පීටර්ස්බර්ග් කම්කරුවන් 1905 නැගිටීමේ දී පීටර්ස්බර්ග් සෝවියට් සභාව පිහිටුවන ලදී. පීටර්ස්බර්ග්හි විප්ලවවාදී නැගිටීම රුසියාව පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගියේ ය. දින 50 ක පැවැත්මෙන් පසු ආන්ඩුවේ හමුදාවෝ, එහි සභාපති වූ ලියොන් ට්‍රොට්ස්කි ඇතුලු සියලුම සෝවියට් නායකයින් අත්අඩංගුවට ගත්හ.

එය සාර්වාදී තන්ත්‍රයට එරෙහි අරගලයේ ප්‍රමුඛ භූමිකාව ඉටු කල කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය පෙන්නුම් කලේ ය. 1905 විප්ලවයේ දී රුසියානු ධනේශ්වරය දෙවෙනි සාර් නිකලස්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ගෙන යාමට අකමැති වෙමින්, කම්කරු පන්තියට එරෙහිව රජුගේ පැත්ත ගත්තේය.

“ඔවුන් ආයුධ අතට නොගත යුතුව තිබුනි” යන ප්ලෙකනොව්ගේ ආස්ථානය “ලිබරල් පන්නයේ” ප්‍රකාශයක් බව ලෙනින් පැහැදිලි කලේය.

1905 විප්ලවයෙන් ඉක්බිතිව, ‍‍ට්‍රොට්ස්කි, මෙන්ෂෙවිකයින්ගේ, සමාජවාදී විප්ලවයක හැකියාව ඇතිවීමට පෙරාතුව ධනේශ්වර සංවර්ධනයේ දිගු කාලපරිච්ඡේදයක් තුලින් රුසියාව ගමන් කලයුතු බව ප්‍රකාශ කරම්න් ඉදිරිපත් කල අවධි දෙකේ න්‍යායට එරෙහිව නොනවතින විප්ලවයේ න්‍යාය වර්ධනය කලේ ය. රුසියාව වැනි පසුගාමී රටවල ධනේශ්වර පන්තියට වැඩවසම් පාලනය සහ අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය පෙරලා දැමීමේ හා ගොවි ජනයා ගේ ප්‍රශ්න විසඳීමේ ප්‍රජාතන්ත්‍රවාදී කර්ත්‍යවයන් ඉටුකල කරගත නොහැකි බව ට්‍රොට්ස්කි පැහැදිලි කලේ ය. එම කර්තව්‍යයන් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය සමාජවාදය සඳහා සිය අරගලයේ දී ගම්බද දුප්පතුන්ගේ නායකත්වය ගැනීමෙන් පමනි.

1917 ඔක්තෝබර් විප්ලවයට මග පෙන්වූ වැඩපිලවෙල වූයේ මෙම නොනවතින විප්ලව න්‍යායයි. කෙසේ වෙතත්, නැගී එමින් පැවති ස්ටැලින්වාදී නිලධරය 1920 ගනන්වල මෙම වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරමින්, පසුගාමී රටවල් සඳහා අවධි දෙකේ විප්ලව න්‍යාය ඉදිරිපත් කලේ ය. ඒ අනුව පලමුව, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සිදුවිය යුතු අතර, සමාජවාදී විප්ලවය අවිනිශ්චිත ඈත අනාගතයක සිදුවන දෙයක් බවට පිරි හෙලීය.

ජයගොඩගේ අපේක්ෂාව වූයේ, 1871 හෝ 1905 මෙම පාඩම් උකහා ගැනීම නොවේ. ඔහුගේ අවධානය මුලුමනින් ම යොමු වූයේ, මාක්ස් 1871 අරගලයත්, ලෙනින් ඒ දෙකමත් “හෙලානොදුටු” බැවින්, 1971 කැරැල්ල ද හෙලා නොදකින ලෙස ඉල්ලා සිටීමට ය.

1871 දී සහ 1905 දී කම්කරු පන්තික නැගිටීම් 1971 දී ජවිපෙ කැරැල්ලට වඩා හාත්පසින් ම වෙනස් ය. ජවිපෙ 1971 කැරැල්ල දියත් කලේ ‍ “දේශප්‍රේමීන් කන්ඩායමක නැගිටීමකින් පාලක පන්තියේ බලය බිඳ දැමිය හැකි ය” යන ජවිපෙ සුලු ධනේශ්වර න්‍යාය පදනම් කරගෙන ය.

මාක්ස් හෝ ලෙනින් සුලු ධනේශ්වර ගරිල්ලා කැරැලි සංවිධානය කිරීමට සහාය දැක්වුයේ නැත. සමාජ විප්ලවවාදී පක්ෂය පිලිබඳ ඔහුගේ එක් විශ්ලේෂනයකදී ලෙනින් මෙසේ සටහන් කලේය: “බොල්ෂෙවික්වාදය සුලු ධනපති විප්ලවවාදයට විරුද්ධව අවුරුදු ගනන් තිස්සේ කල දීර්ඝ අරගලය තුලින් හැඩ ගැසුනු, සංවර්ධන වුනු හා පන්නරය ලැබූ බව වෙනත් රටවල ප්‍රකට වී නැත. එම සුලු ධනපති විප්ලවවාදය අරාජිකවාදයේ හැඩහුරු කම් සහිත ය. නැතහොත් සෑම වැදගත් කරුනකදීම අරාජිකවාදයෙන් යමක් උපුටා ගන්නේය. තවද සසංගත නිර්ධන පංති අරගලයක් කිරීමට අදාල කොන්දේසි හා අවශ්‍යතාවයන් එයට ඇත්තේද නොවේ.......ධනපති ක්‍රමයේ භීෂනතාවයන් දැක වියරු කෝපයට පත් සුලු ධනේශ්වර පංතියක් දක්නට ලැබීම සියළු රටවල පවතින අරාජිකවාදයේ ස්වභාව ලක්ෂනයකි. එවැනි විප්ලවවාදී තත්වයක ඇති අස්ථිරත්වය සහ නිස්සාරභාවයද, යටත් වීම, උදාසීනත්වය, මායා මත වලට රැවටීම හා එක් හෝ තවත් ධනපති විකාරයක් කෙරෙහි උමතුවකින් මෙන් ඇදී යාම කරා සීග්‍ර ලෙස යොමු වීම පිලිබඳ ප්‍රවනතාවය ද යන මේ සියල්ල ගැන කවුරුත් දනිති.' (ලෙනින් එකතු කල කෘති 10, සිංහල පරිවර්තනය, වාමාංශික කොමියුනිස්ට්වාදය - ලදරු වලිප්පුවකි, 142,143)

ජවිපෙ දේශපාලනයට එරෙහිව විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ අරගලය

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ජවිපෙ දේශපාලනය විග්‍රහ කිරීමට මැදිහත් වූයේ මෙම සංවිධානය කරලියට පැමිනි දා සිට ය. විකොස ආරම්භක ප්‍රධාන ලේකම් අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය, 1969 අග සිට විකොස කම්කරු පුවත් පුවත්පතේ කොටස් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද ලිපි මාලාවක එකතුව, ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය, මාක්ස්වාදී විග්‍රහයක් නම් ග්‍රන්ථය 1970 දී එලි දැක්වීය. මෙය ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය දෙදරවූ හෙලිදරව්වක් විය.

එහි බලපෑම 1971 කැරැල්ලෙන් පසුව සිරගතව සිටි ජවිපෙ කේඩරයන්ට දැනෙන්නට විය. ඔවුන්ට කියැවීමට අවශ්‍ය වූ මාක්ස්වාදී පොත් විකොස විසින් මහත් කැමැත්තෙන් සපයන ලදී. විකොස, ජවිපෙ දේශපාලනය හෙලිදරවු කරමින් මාක්ස්වාදී විශ්ලේෂනයක් සම්පාදනය කලා පමනක් නොව කැරැල්ලට පෙර, කැරැල්ල සමයේ මෙන්ම ඉන්පසුව ද එහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා පෙරමුන ගත්තේ, තම සංවිධානයට එරෙහිව සභාග ආන්ඩුවේ මර්දනය එල්ල වීම මධ්‍යයේ ය.

රෝහන විජේවීර

1977 ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමෙන් පසු රෝහන විජේවීර එහි නියමුවා ප්‍රකාශනයට, 1971 අප්‍රේල් දෙස ස්වයං-විවේචනාත්මකව ආපසු හැරී බලමු මැයෙන් ලිපි පෙලක් ලිවීය.

ඔහු මෙසේ ලිවීය: “ජනතා විමුක්ති පෙරමුන පිලිසිඳ ගත්තේ මෙන්ශේවික් ගර්භාෂය තුල යි. එය උපත ලද්දේ මෙන්ශේවික් ගර්භාෂයෙනු යි. මේ හේතුවෙන් එය මෙන්ශේවික්වාදයේත්, බොල්ෂෙවික්වාදයේත් දෙමුහුන් දරුවෙකු විය.” (නියමුවා ප්‍රකාශනය පිටුව 4).

බොල්ෂෙවික් හා මෙන්ෂෙවික්වාදයේ “දෙමුහුන් දරුවෙකු” සිටිය නොහැක. එය විජේවීරගේ සොයා ගැනීමකි. එය මෙන්ෂෙවික්වාදය පමනක් ම වේ. ජවිපෙ විසින් පරමාදර්ශයට නංවන ලද, ස්ටැලින්වාදයේ ප්‍රභේදයක් වන මාඕවාදය තුල මෙන්ෂෙවික්වාදයේ සලකුනු පැවතුනි. ස්ටැලින්වාදය ද මාඕවාදය ද මෙන්ශේවික්වාදීන් මෙන් “අවධි දෙකේ විප්ලවය” පිලිගත්තේය.

ජවිපෙ නායකයා විසින් මෙම ස්වයං-විවේචනය කලේ, තමන් සහ පක්ෂය මාක්ස්වාදී වන බව මවා පෑමට සහ තම සංවිධානයේ දේශපාලනය ගැන කලකිරිනු කේඩර ජවිපෙ අත යට තබා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස ය. යන්තම් මාස කිහිපයකින් එය එම “විවේචන” අත්හැර දමා ආර්ථික හා දේශපාලන තත්වයේ තියුනු වෙනස්කම් වලට වේගයෙන් අනුගත වීමට පටන් ගත්තේය. ජේ.ආර්. ජයවර්ධනගේ එජාප තන්ත්‍රය ගෝලීයකරන ක්‍රියාවලිය ආරම්භ කල අතර, එහි විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව කම්කරු පන්තියේ ප්‍රතිරෝධය සහ දෙමල සුලුතරය මර්දනය කිරීමට දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව වර්ගවාදී යුද්ධය ඇවිලවූයේ ය. එම යුද්ධයේ එදාමෙදා තුර ප්‍රධාන කසකරුවෙකු වූයේ ජනතා විමුක්ති පෙරමුනයි. එහි පංගුකාරයෙකු වීමේ ලේවැකි අපකීර්තිය පෙසප නායකයන්ට ද හිමිවේ.

ජයගොඩ, ඔහුගේ ගුරු නයෝමි ක්ලයින් සහ “ආපදා ධනවාදය”

ජයගොඩ සිය කතාවේ දී, 1971 සිට වසර 53 කට පසු පක්‍ෂයේ දේශපාලන ගමන් මග පැහැදිලි කිරීමට යොමු විය. ජනතාව පසුකරමින් සිටින කාලපරිච්ඡේදය විදහා දැක්වීම සඳහා කැනේඩියානු මහාචාර්යවරියක් සහ ඉහල මධ්‍යම පන්තික තට්ටුවක ලේඛිකාවක් වන නයෝමි ක්ලයින් වැලඳ ගත්තේය.

ක්ලයින් ගැන සඳහන් කරමින් ජයගොඩ මෙසේ පැවසුවේ ය: “අපි මේ ගෙවමින් ඉන්නෙ ප්‍රතිගාමීත්වයේ හා ප්‍රතිවිප්ලවයේ අවධියක් ... ඇය [ක්ලයින්] ලිව්වා පොතක් The Shock Doctrine [ෂොක් ඩොක්ට්‍රින්,] ඒ පොතේ ඇය වචනයක් භාවිතා කරනවා disaster capitalism [ඩිසාස්ටර් කැපිටලිසම්].

“ආපදා ධනවාදය කියන්නෙ යම් විශාල විනාශයක් සිද්ධ වුනාට පස්සෙ ඒ විනාශයෙන් ධනවාදය මිය යනවා නෙවේ, ඒ විනාශයම පාවිච්චි කරලා ධනවාදය නැවත නැගිටිනවා.' ජයගොඩට අනුව “අපි මේ පසුකරමින් සිටින්නේ එවන් ආපදා ධනවාදී යුගයක්.”

ක්ලයින් න්‍යාය යොදාගනිමින් ජයගොඩ තවදුරටත් මෙසේ පැවසීය: “රනිල් 1978 සිට උත්සාහ කල නමුත් කිරීමට නොහැකි වූ දේ වසර එකහමාරකින් කිරීමට උත්සාහ කරනවා. ඒ කියන්නෙ ආර්ථික අර්බුදයෙන් හිරි වැටිලා භීතියට පත් වෙලා තමන්ගේ දෛනික ජීවිතය ගෙවීමේ ප්‍රශ්නයේ හිරවෙලා ඉන්න මනුස්සයාව එයාට නැවත සිහිය එන්න කලින් නව ලිබරල් ප්‍රතිසංස්කරන ටික කරන්නෙ කොහොමද කියන එකටයි මේ උත්සාහ කරමින් ඉන්නෙ...' ආපදා ධනවාදයට එරෙහිව 'මහජන ව්‍යාපාරයක්' අවශ්‍ය වන්නේ එයින් ප්‍රතිසංස්කරන සෙවීමට බව ඔහු පැවසීය.

ක්ලයින්, කැනඩාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (එන්ඩීපී) දේශපාලනිකව සම්බන්ධ ව ප්‍රතිසංස්කරන දේශනා කරන අතරම, එම පක්ෂයේ යුද්ධයට ගැති සහ කප්පාදු ප්‍රතිපත්තිවලට සහාය දක්වන්නීය. ක්ලයින් ගේ ජාත්‍යන්තර සගයන් අතර, ජනාධිපති ජෝ බයිඩන්ගේ යුද්ධයේ සහ ආර්ථික ප්‍රතිපත්තිවල දැඩි ආධාරකරුවෙකු වන, එක්සත් ජනපද ඩිමොක්‍රටික් සමාජවාදී සන්ධානයේ නායිකා ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් ද සිටී.

2007 දී ඇයගේ ද ෂොක් ඩොක්ට්‍රින් පොතේ සහ අනෙකුත් ලේඛනවල ක්ලයින් ඉදිරිපත් කරන ලද කේන්ද්‍රීය තර්කය නම් ධනේශ්වර ලාභ පද්ධතිය පෙරලා දැමීම අවශ්‍ය නොවන බවයි. ජයගොඩ ඇයගෙන් ගිජුව උකහා ගත් පරිදි, ධනවාදයට ව්‍යසනයන් ට අනුගත විය හැකි අතර එම ව්‍යසනයන් හරහා ගමන් කල හැකිය.

පෙසප සහ 2022 මහජන නැගිටීම

ලංකාවේ මහ ජනතාව “ප්‍රති-විප්ලවීය යුගයක්” පසුකරමින් සිටින බව, මහාචාර්යවරියගේ අඩිපාරේ යමින් ජයගොඩ අපට කියයි. ජයගොඩගේ ගුනාන්ගීකරනය සාවද්‍ය ය. 2022 අප්‍රියල්-ජූලි මහජන නැගිටීම අසාර්ථක වීමෙන් පසු, පක්ෂයේ ධනේශ්වර ගැති දේශපාලන පිලිවෙතට ගැලපෙන පරිදි පෙසප මෙම ස්ථාවරය ඉදිරියට දමා ඇත. මාක්ස්වාදීන් ප්‍රති-විප්ලවීය කාල පරිච්ඡේදයක් යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ රටක පාලක පන්තිය විසින් කම්කරු පන්තිය තලා දැමූ කාල පරිච්ඡේදයකි.

මහජන අරගලය පරාජය වූ නමුත් ලංකාවේ පාලක පන්තියට කම්කරු පන්තිය තලා දැමීමට නොහැකි විය. එම අසාර්ථකත්වය කම්කරු පන්තියේ පසුබෑමකට තුඩු දුන් අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පලා යාමට බල කල මෙතරම් දැවැන්ත ව්‍යාපාරයක් පැවතියේ වුව ද, එක්සත් ජනපද ගැති වික්‍රමසිංහ ජනාධිපති ලෙස ඔසවා තැබීම සිදුවූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් කම්කරුවන් අතර ව්‍යාකූලත්වයක් ජනනය වී ඇත. වික්‍රමසිංහ ඒ වන විටත් ගාලු මුවදොර පිටිය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලාගෙන සිටි ක්‍රියාකාරීන් කුරිරු හමුදා-පොලිස් මෙහෙයුමකින් ඉවත් කලේ ය.

මේ තත්වය අහසින් කඩා වැටුනා නොවේ. ඇත්ත වශයෙන්ම, ජවිපෙ සහ සමගි ජන බලවේගයේ (සජබ) උපාමාරුවලට ද ධනේශ්වර ගැති වෘත්තීය සමිති නිලධරයන් ද සමග උපාමාරුවලට හවුල්ව මහජන අරගලය පාවා දීමේ ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට පෙසප ක්‍රියා කලේය.

ගාලුමුවදොර වාඩිලෑම ආරම්භ වූ විගස, එය සිය දේශපාලනික පිලිවෙත වගාදිගා කිරීම සඳහා මෙම පක්‍ෂය, සිය කේඩරයන් ද “වෙනසකට තාරුන්‍යය” සහ පෙසප විසින් පාලනය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ නායක ක්‍රියාකාරීන් ද එහි යවන ලදී; මහජන අරගලය හුදෙක් රාජපක්ෂට, ඔහුගේ පාලන තන්ත්‍රයට සහ පාර්ලිමේන්තුවට එරෙහි විරෝධතාවලට සීමා කිරීම ද; සමාජවාදී ප්‍රතිපත්ති පිලිබඳ සාකච්ඡාවක් වැලැක්වීම සඳහා ගාලු මුවදොර වාඩිලාගත්තවුන්ගේ “දේශපාලනය එපා” යන ප්‍රචාරයට සහාය වීම ද ඔවුන්ගේ කාර්යයක් විය.

ඔවුන් පලමුව සහාය දුන්නේ, අන්තර්වාර පාලන තන්ත්‍රයක් සඳහා ඉල්ලීමට ජනතාව යොමු කිරීමේ ජවිපෙ සහ සජබ ඉල්ලීම්වලට ය. කම්කරුවන්ගේ මහා වැඩවර්ජන අප්‍රේල් 8 සහ මැයි 6 යන එක්දින ක්‍රියාමාර්ගවලට සීමා කිරීමට ඔවුන්ගේ වෘත්තීය සමිති අංශය අනෙකුත් වෘත්තීය සමිති නායකයන් සමඟ එක්ව කටයුතු කලේ ය.

ඉන්පසු ඔවුහු ගාලු මුව දොර නායක අනෙකුත් ක්‍රියාකාරීන් ද එකතු කරගෙන, රාජපක්ෂ, වික්‍රමසිංහ සහ ඔවුන්ගේ නිලධරයන් ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලමින් 2022 ජූලි 5 “අරගලයේ හෙට දින” නමින් ඊනියා “ගාලු මුවදොර ප්‍රකාශය” දියත් කලහ. එම ප්‍රකාශයේ සමහර ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ ඉල්ලීම් අඩංගු වූ අතර මෙම ඉල්ලීම් ක්‍රියාවට නැංවීම සඳහා සියලු ධනේශ්වර පක්ෂවල නියෝජිතයන් සමඟ වසරක අන්තර්වාර පාලන තන්ත්‍රයක් ඉල්ලා සිටියේ ය; ධනේශ්වර පාලනය ඉදිරියට ගෙන යාම සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් පසුව, සමඟ අන්තර් පාලන කාලය අවසන් විය යුතු බව ලියවිල්ලේ සඳහන් විය.

ජුලි 12 දා, පෙසප, ගාලුමුවදොර වාඩිලෑමේ තවත් සමහර නායකයන් සමග එක්ව එම ලේඛනය විරුද්ධ පක්ෂවලට ඉදිරිපත් කලේ ය. මෙම ප්‍රකාශය වනාහි, විරෝධතාකරුවන් ධනේශ්වර හා පාර්ලිමේන්තු රාමුවට සීමා කිරීමට ද්‍රෝහී ලෙස ක්‍රියා කල මෙම ව්‍යාජ වාම කන්ඩායමේ දේශපාලන සැලැස්මක් විය.

මේ පක්ෂය ධනේශ්වර පක්ෂ, වෘත්තීය සමිති සහ අනෙකුත් මධ්‍යම පන්තික කන්ඩායම් සමඟ එක්ව පාවාදීම සූදානම් කිරීමට සහ දැන් ජාමූඅ කප්පාදුව කෲර ලෙස ක්‍රියාත්මක කරමින් සිටින වික්‍රමසිංහට මග පෑදුවේ එලෙස ය.

තම පක්ෂය කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීම සඳහා ද්‍රෝහී කටයුතුවලට සම්බන්ධ කිරීමෙන් පසු, ජයගොඩ අරගලයට සහභාගි වූවන්ට පන්ඩිතමානී ලෙස දොස් පැවරුවේ මෙසේය: “1971 අරගලයේ දුර්වලතා තිබුනා, එම දුර්වලතා විශාල වශයෙන් තිබුනේ 2022 දී. 2022 දී අපි දැක්කා පෙරටුගාමී බලඇනියක් නැති ප්‍රශ්නය.”

මහජන ව්‍යාපාරය දුර්වල කිරීමට සහ පාවා දීමට දායක වූ පසුව ජයගොඩ විසින් එහි “දුර්වලකම” සොයා ගැනීම, ජනතාවට දොස් පවරමින් ඔහුගේ සහ පක්ෂයේ අත් සෝදා ගැනීමක් මිස අන් කිසිවක් නොවේ.

දේශපාලන පසුබෑම හා ව්‍යාකූලත්වයට පසුව, කම්කරුවන් නැවත වරක්, වික්‍රමසිංහ තන්ත්‍රයේ ජාමූඅ වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට සූදානම පෙන්වා ඇත. නැගී එන කෝපය මධ්‍යයේ, වෘත්තීය සමිති 2023 සහ මේ වසරේ සීමිත වැඩවර්ජන සහ විරෝධතා කැඳවූහ. සමහර ක්‍රියාවලට කම්කරුවන් දස දහස් ගනනින් ද සමහර අවස්ථාවල ලක්ෂ ගනනින් ද සහභාගී වී ඇත. වෘත්තීය සමිති නායකයෝ ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා ඉදිරිපත් කිරීමට සහ කප්පාදුව නැවැත්වීමට හෝ ලිහිල් කිරීමට බලපෑම් කිරීම සඳහා ඒවා සිමා කලහ.

එය, වික්‍රමසිංහ ආන්ඩුවට සහ එහි ජාමූඅ වැඩපිලිවෙලට එරෙහිව වර්ධනය වෙමින් පවතින අරගලය හිරකොට වැලැක්වීම සඳහා ඔවුන් හිතාමතාම ගෙනගිය වැඩපිලිවෙලකි. පෙසප වෘත්තීය සමිති මෙම නිලධාරී තන්ත්‍රයන් සමඟ එකට කටයුතු කරයි.

ලංකාවේ කම්කරුවන්ගේ අරගල, ප්‍රධාන ධනේශ්වර රටවල මෙන්ම පසුගාමී රටවල ද ජාත්‍යන්තර වසයෙන් දිගහැරෙන පන්ති සටන් වල කොටසකි. මෙම අරගල ඇවිලී ඇත්තේ ලෝක ධනේශ්වර අර්බුදයේ සහ එක්සත් ජනපදය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද ධාවනයේ බර පැටවීමට එරෙහිව ය. මෙම යුද ධාවනය තුන්වන ලෝක යුද්ධයක් තුලට ලුහුටා යාමේ අන්තරාය මතුකර ඇත. සෑම රටකම කම්කරුවෝ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි, සමාජ වැඩසටහන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට එල්ලවන ප්‍රහාරයන්ට මුහුන දෙති.

ලංකාවේ සහ ජාත්‍යන්තරව වැඩෙන මෙම වර්ධනයන් ජයගොඩගේ 'හිරිවැටුනු මිනිසා' න්‍යාය කීතුකරයි. ජාතිකවාදී දේශපාලනයේ ගිලී සිටින පෙසප යෝජනා කරන්නේ, ධනේශ්වර ගැති ජාතික විසඳුමකි.

පෙසපයේ ජන සභා උගුල

මහජන අරගලයේ අවසානයෙන් පසුව, පෙසප ජන සභා ගොඩනැගීමේ සිය ප්‍රධාන දේශපාලන ව්‍යාපාරය තීව්‍ර කලේය. ජන සභා සිය ගනනක් රට තුල පිහිටුවා ඇතැයි පක්ෂය පුරසාරම් දොඩයි. සමරු රැස්වීමේදී ඒ සඳහා උද්ඝෝෂනය තොරොම්බල් කරමින් ජයගොඩ මෙසේ කියා සිටියේ ය: “ජනතාවට බලය අවශ්‍යයි. එම බලය නියාමනය කල යුතුයි, අධීක්ෂනය කල යුතුයි, පාර්ලිමේන්තුවට මැදිහත් විය යුතුයි”.

ඔවුන් ප්‍රවර්ධනය කරන ජන සභා, ලාභ පද්ධතිය තුල ප්‍රතිසංස්කරන සෙවීමේ ක්ලෙයින්ගේ “ආපදා ධනවාදය” න්‍යාය මත පදනම් වේ. මෙම සභා පිහිටුවීමට යෝජනා කර ඇත්තේ ආන්ඩුවට සහ පාර්ලිමේන්තුවට බලපෑම් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් පිටත සහ එය සමග එක පෙලට පවතින ආයතන ලෙසයි.

2023 මුලදී නිකුත් කරන ලද අලුත් මාවත නම් වූ පත්‍රිකාවක, පෙසප මෙසේ පැහැදිලි කලේය: “ජන සභා මගින් අප යෝජනා කරන්නේ, රාජ්‍ය බලය මෙහෙයවනු ලබන ජනතා සහභාගීත්වය සහිත ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයක් මත පදනම් වූ නව රාජ්‍ය ව්‍යුහයකි”.

මෙම “ජන සභා” හරහා “පවතින නියෝජිත ආයතනවලින් පිටත ජනතා බලය නිර්මානය කිරීම මගින්, ජනතා රාජ්‍යක් ගොඩනැගීමේ පලමු පියවර ලෙස ඔවුන්ට බලපෑම් කල හැකි” වන බවට පෙසප යෝජනා කරයි.

“මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට” යෝජනා කරන්නේ, “ආර්ථික හා දේශපාලන අර්බුදය මධ්‍යයේ කෙටි කාලීන ප්‍රතිසංස්කරන මාලාවක්” ජයග්‍රහනය කිරීම සඳහා ය. “මෙම අර්බුදය සඳහා අවසාන විසඳුම සමාජවාදය ගොඩනැගීම” බව හදිසියේ මතක්වුවක් සේ ඊට ඈඳා තිබේ.

එනම්, සමාජවාදය යනු අවිනිශ්චිත අනාගතයක “අවසාන විසඳුම” වන අතර වර්තමානයේ සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමට ඉඩක් නැත. මෙය ව්‍යාජ වාමාංශිකයන්ගේ වචනවලින් කියැවෙන එම ස්ටැලින්වාදී අවධි දෙකේ න්‍යාය ම මිස අන් කිසිවක් නොවේ.

'ජන සභා' සහ 'මහජන ආන්ඩුවක්', සඳහා, මහා ව්‍යාපාරිකයන්ගේ ඊනියා 'ප්‍රගතිශීලී' කොටස්වල සහ ධනේශ්වර ජවිපෙ සහ සජබ වැනි විරුද්ධ පක්ෂවල සහයෝගය සාදරයෙන් පිලිගන්නා බව එය තවදුරටත් කියා සිටියේය.

මෙම කන්ඩායම 'ජන සභා' සහ 'ජනතා ආන්ඩුවක්' සඳහා කැඳවුම් කරන්නේ, ධනේශ්වර සමාජයේ පන්ති පදනම නොසලකා හරිමින් සහ සියලු පන්තීන් පුලුල් පෙරමුනක් තුල සංවිධානය කිරීමට ආයාචනා කරමිනි. කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව පෙසප තරයේ ම ප්‍රතික්ෂේප කරයි.

මෑත මාසවලදී, පෙසප විසින් 'ආන්ඩුවේ මර්දනයට එරෙහිව සටන් කිරීමේ' පෙරමුනක් සාදා ගැනීමට සජබ, ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය, අනෙකුත් විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වීම සඳහා තමන් විසින් පාලනය කරනු ලබන අවිශිබමයේ නායකයින් යවන ලදී.

වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කරන පෙසපයේ දේශපාලන ක්‍රියාමාර්ගය, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම අවහිරකොට, ධනේශ්වර පක්ෂවලට කම්කරු පන්තිය යටත් කිරීමට යොමුව ඇත.

එහි දේශපාලන ක්‍රියාමාර්ගය ධනවාදය තුල සාධාරන පංගුවක් අපේක්ෂා කරන, සමාජයේ ඉහල මධ්‍යම පන්තික ස්ථරයක අවශ්‍යතා නියෝජනය කරයි. පෙසපයේ මෙම ධනේශ්වර ගැති දේශපාලනය ප්‍රතික්ෂේප කරන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

බලගතු මහජන නැගිටීමේ ප්‍රධාන දුර්වලතාවය වූයේ, සමාජවාදී වැඩපිලිවෙලින් සන්නද්ධ වූ කම්කරු පන්ති නායකත්වය සම්පාදනය කිරීම සඳහා විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක් නොමැති වීමයි. කම්කරුවන් හා තරුනයන් මහජන ව්‍යාපාරයේ අසාර්ථකත්වයෙන් පාඩම් උකහා ගත යුතුය.

සමාජවාදී සමානතා පක්ෂයේ අරගලය

සමාජවාදී සමානතා පක්ෂය (සසප)විසින් කම්කරුවන්ගේ හා ගම්බද දුප්පතුන්ගේ ක්‍රියාකාරී කමිටු තැනීම සඳහා කර ඇති කැඳවීම, මෙම ව්‍යාජ වාම කන්ඩායම විසින් මහජන සභා සහ මහජන ආන්ඩුවක් සඳහා කරන කැඳවුමට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ ය. 2022 ජූලි 22 කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් සඳහා කැඳවීමක් නිකුත් කරමින් සසප මෙසේ සඳහන් කලේය:

'සසප යෝජනා කරන ක්‍රියාකාරී කමිටු, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් යෝජනා කරනු ලබන, සහන පතා අන්තර්වාර ආන්ඩුවලට පීඩනය යෙදීමේ “මහජන සභාවල” පරිපූර්න ප්‍රතිවිරුද්ධයයි. හිඟන පාත්තරයක් රැගෙන කිසිදු ධනපති ආන්ඩුවක් වෙත යාම අර්ථ විරහිත ය. වඩා වැඩි වේදනාව හා පීඩාව හැර වෙනත් දෙයක් දීමට පාලක පන්තිය සතුව නැත. අවශ්‍ය වන්නේ, වැඩකරන ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් වදින දේහයන් ලෙස ක්‍රියාත්මක වන ක්‍රියාකාරී කමිටු ය.'

සමාජවාදී ප්‍රතිපත්තිවල පදනම මත වික්‍රමසිංහ තන්ත්‍රයට සහ එහි ජාමූඅ ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කිරීම සඳහා, ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුවෙන්, ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සසප සටන් වදියි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය ජනවාරි 6 දා නිකුත් කරන ලද ඉදිරිදර්ශනයේ මෙසේ ප්‍රකාශකර ඇත: “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉතිහාසයේ පක්ෂයකි. එහි න්‍යායික, දේශපාලනික හා ප්‍රායෝගික වැඩකටයුතු පදනම් වී ඇත්තේ සියවසකට වැඩි කාලයක් පුරා විහිදුනු අධිරාජ්‍යවාදී යුගයේ විප්ලවවාදී අරගලයේ දැවැන්ත අත්දැකීම් මත ය. ස්ටැලින්වාදයට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට, පැබ්ලෝවාදී සංශෝධනවාදයට, ධනේශ්වර ජාතිකවාදයට සහ සෑම ප්‍රතිගාමී ප්‍රභේදයක ම සුලු ධනේශ්වර රැඩිකල්වාදයට එරෙහිව 1923 දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ආරම්භ කල දා පටන්, ආරක්ෂා කර වර්ධනය කර ඇති එය පමනක් ම මාක්ස්වාදයේ අඛන්ඩතාවය නියෝජනය කරයි..'

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප, මෙම ඉදිරිදර්ශනය මත පදනම් වේ. මාක්ස්වාදයේ අඛන්ඩතාවය නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදය මත පදනම් වූ මෙම පක්ෂය ගොඩනැගීමට අප හා එක්වන්න.

Loading