ඕපන්හයිමර් මේ සා විශාල ගෝලීය ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන ඇත්තේ ඇයි?

[මෙය Why has Oppenheimer reached such a large global audience? මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පෙබරවාරි 28දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

ක්‍රිස්ටෝෆර් නොලන් විසින් ලියා අධ්‍යක්ෂනය කොට, සමනිෂ්පාදනය කෙරුනු භෞතික විද්‍යාඥ හා “පරමානු බෝම්බයේ පියා” ජේ. රොබර්ට් ඕපන්හයිමර් පිලිබඳ චරිතාපදානමය චිත්‍රපටිය ඕපන්හයිමර් ලොව වටා ප්‍රේක්ෂකාගාර සමඟ සුපැහැදිලි බැඳීමක් ඇති කරගෙන තිබේ.

ලොව පුරා ත්‍යාග 377කට පමන නිර්දේශ ව ඇති චිත්‍රපටිය පුලුල් විචාරක සම්භාවනාවට පාත්‍ර වී තිබේ. වඩාත් මෑතක, පෙබරවාරි 24දා ලොස් ඇන්ජලීස්හි 'ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ්' සම්මාන උලෙලේ දී ඕපන්හයිමර් ප්‍රධාන සම්මාන හතරක් දිනාගත්තේ ය (මේ උලෙල සම්මාන සඳහා සලකා බලන්නේ රංගන කාර්යයන් පමනි). නොලන්ගේ චිත්‍රපටිය ඇකඩමි සම්මාන 13කට නිර්දේශ වී ඇති අතර මාර්තු 10දා පැවැත්වෙන සම්මාන ප්‍රදාන උලෙලේ දී අංශ ගනනාවක ජයග්‍රහන අත් කරගනු ඇතැයි අපේක්ෂිත ය.

කිලියන් මර්ෆි ඕපන්හයිමර් ලෙස

චිත්‍රපටියට ලැබී ඇති අවධානය නියම ලෙසින් ම එයට හිමි විය යුත්තකි. ඕපන්හයිමර් යනු නැවත නැරඹීම වටනා කෘතියකි. දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි. අතිශය සංකීර්න පෞරුෂයක් වූ ඕපන්හයිමර් ලෙස කිලියන් මර්ෆිගේ බලගතු, බහු-ස්තර රංගනය හා රොබර්ට් ඩව්නි (කනිෂ්ට), ෆ්ලොරන්ස් පියු, ඩේවිඩ් ක්‍රම්හෝල්ට්ස්, ටොම් කොන්ටි, බෙනී සැෆ්ඩී, ගැරී ඕල්ඩ්මන්, කෙනත් බ්‍රනැග් හා තවත් අයගේ වැදගත් රංගනයන් ද එහි වෙයි. ඔවුන් බොහෝ දෙනෙකු රඟපාන්නේ කුඩා චරිත ය.

චිත්‍රපටියෙහි විවිධාකාර චිත්තාකර්ෂනීය අංග තිබේ. පුලුල් පරාසයක ගැටලු විභාග කිරීමට ඕපන්හයිමර් සමත් වෙයි - පරමානු බෝම්බය වර්ධනය කිරීම, සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ විවිධ විවාද, සීතල යුද්ධය හා මැකාර්තිවාදය හා තවත් බොහෝ දෑ. එය ඇල්බර්ට් අයින්ස්ටයින් (කොන්ටි) හුදෙක් දීප්තිමත් විද්‍යාඥයකු ලෙස පමනක් නො ව බැරෑරුම් සමාජ චින්තකයකු ලෙස ද, එඩ්වර්ඩ් ටෙලර් (සැෆ්ඩී) අප්‍රසන්න, අභිලාෂවත් අවස්ථාවාදියකු ලෙස ද හෙන්‍රි ටෲමන් (ඕල්ඩ්මන්) ඔහු සැබැවින් ම වූ පරිදි කාලකන්නි, සාපරාධී චරිතයක් ලෙස ද ඉදිරිපත් කරයි.

ඕපන්හයිමර් ඇමෙරිකානු සංස්ථාපිතය ප්‍රමුඛ විද්‍යාඥයින් - ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු යුදෙව්වන් ද වාමාංශික ද දේශපාලනිකව ලාමක ද වූහ - ඔවුන් තුල පැවති ගැඹුරු හිට්ලර් විරෝධය හා නාසීන් එම භයංකර අවිය මුලින් ම නිපදවනු ඇතැයි වූ භීතිය ද පදනම් කරගනිමින්, ඒ භයංකර අවිය පලමුවෙන් නිපදවීම සඳහා පොලඹවාගත් හෝ රවටාගත් අන්දම පෙන්වයි. මෙහි දී ස්ටැලින්කරනය වූ කොමියුනිස්ට් පක්ෂය දෙවැනි අධිරාජ්‍යවාදී යුද්ධයේ හා රූසවෙල්ට්-ටෲමන් පරිපාලනයේ ස්වභාවය මුසාකරනය කරමින් භෞතික විද්‍යාඥයින් හා තවත් බොහෝ අය මංමුලාවට පත් කොට විනාශකාරී භූමිකාවක් රඟපෑවේ ඉන් පසු පැමිනීමට නියමිත හා මර්දනයට ඔවුන් මුලුමනින් ම නුසූදානම් තත්වයට පත් කරමිනි.

එවිට පවා, පුද්ගලයෝ ගනනාවක් ම මෑන්හැට්න් ව්‍යාපෘතියට එක් වීම ප්‍රතික්ෂේප කලහ, නැතහොත් එය විවේචනය කලහ. නොලන්ගේ චිත්‍රපටිය අනල්ප ගැටුම් හා පරස්පරවිරෝධතා පිලිබඳ සාපේක්ෂ වසයෙන් සියුම් වූ චිත්‍රයක් සම්පාදනය කරයි. එක් විද්‍යාඥයකු ඒත්තුගැන්වීමේ ප්‍රයත්නයෙහි දී ඕපන්හයිමර් මෙසේ අවධාරනය කරයි: “හරි ඉතින් ඔබ [කොමියුනිස්ට් පක්ෂයේ] සහගාමියෙක්, ඉතින් මක් වෙනව ද? මේක ජාතික හදිසි අවස්ථාවක්. මගේ ලඟත් ඇටසැකිලි තියෙනවා, ඒත් ඒ අය මාව ප්‍රධානියා හැටියට පත් කරලා තියෙනවා. ඒගොල්ලන්ට අපිව ඕන.' අනෙකා අනාගතවක්තෘමය අන්දමින් 'උන්ට ඕන නැති වෙන තුරු' යි පිලිතුරු දෙයි. සම්පූර්න මිලිටරි ඇඳුමින් සැරසී සිටින ඕපන්හයිමර් මුනගැසුනු විට භෞතික විද්‍යාඥ ඉසිඩෝර් රාබි (1944 නොබෙල් ත්‍යාගලාභී. ක්‍රමහෝල්ට්ස් විසින් නිරූපනය කෙරේ) ඔහුට මෙසේ කියයි: “ඔය මලවිකාර නිල ඇඳුම ගලවලා දාන්න - ඔබ විද්‍යාඥයෙක්.”

ඕපන්හයිමර් මේ අපූර්ව පුද්ගලයින් සමඟ අර්ථවත් ලෙස ගනුදෙනු කරයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා, විශේෂයෙන් එහි ප්‍රධාන චරිතය, එකිනෙක හා ගැටෙන පෙලඹීම්වලින් ඉරීගොසිනි. 1945 අගෝස්තු 6 හිරෝෂිමා බෝම්බ දැමීමෙන් පසු ඕපන්හයිමර් ඔල්වරසන් දෙන විද්‍යාඥයින්ගෙන් සමන්විත සෙනඟක් අමතමින් මේ වචන කියයි: “මේ දිනය ලෝකයා මතක තබාගනීවි. බෝම්බ හෙලීමේ ප්‍රතිඵල මොනවා දැයි කියන්න තව ම ඉක්මන් වැඩියි... ඒත් මට විශ්වාසයි ජපන්නු ඒකට කැමති වුනේ නැති බව.' (උත්තම පුරුෂයෙන් ලියන ලද) තිරනාටකය 'මම සිනාසෙන තරුන මුහුනුවලින් මස් ගැලවී එනු දකිමි… ප්ලාස්මාව කැලතෙනු ද යක්ෂයාගේ නිය පසුර රාත්‍රී අහසට පැනනඟිනු මම දකිමි... තරුන සෙනඟ ඔල්වරසන් දෙන තැන මම අලු ගොඩවල් දකිමි.”

යුක්‍රේනය හා ගාසාව සම්බන්ධයෙන් ඇමෙරිකාවට පවතින 'ප්‍රජාතන්ත්‍රවාදී' අරමුනු පිලිබඳ බොරු විශ්වාස කිරීම තෝරාගන්නා අයට මේ කතාව අද දවසේ ආදර්ශයක් විය යුතු ය. ඕපන්හයිමර් සහ සෙසු අය නිල කතාන්තරය ගැන තමන් ඒත්තුගන්වාගමින් කීකරු ලෙස අනුගත වූහ. ඔවුන් මෙහෙයවාගත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදය පසුව බොහෝ අවස්ථාවල බෙහෙවින් රලුපරලු ලෙස ඔවුන් ඉවත දැමී ය. හිරෝෂිමාවේ දී පාවිච්චි කිරීම සඳහා හමුදාව බෝම්බය අඩුක් කරන අතර ඕපන්හයිමර් ප්‍රායෝගික උපදෙස් දීමට ඉදිරිපත් වෙද්දී ගුවන් හමුදා නිලධාරියෙක්, ඇත්ත වසයෙන් සමස්ත පාලක පන්තිය ම වෙනුවෙන්, කතා කරමින් 'ආචාර්ය ඕපන්හයිමර්, ගරුසරු ඇතුව කියතොත්, මෙතනින් පස්සේ වැඩේ අපි බලාගන්නම්.' ඇත්තෙන් ම...

නොලන් සහ ඔහුගේ සගයින් ගැටලු සහ තර්ක ප්‍රවේශ විය හැකි ආකාරයකින් සංවිධානය කරමින්, කුට්ටාලිකම්වලින් හෝ ග්‍රාම්‍යකරනයෙන් තොර ව ප්‍රේක්ෂකයින්ට අවංකව සලකන අතර ජනතාව උද්‍යෝගය හා සහාය පල කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

ඕපන්හයිමර් තුල ටොම් කොන්ටි හා කිලියන් මර්ෆි

ඕපන්හයිමර් ඩොලර් 960,000,000 ක පමන ජාත්‍යන්තර බොක්ස් ඔෆිස් ආදායමක් උපයා තිබේ. මාර්තු මස ජපානයේ ආරම්භ වීමට නියමිත තිරගතකිරීම් - විවාදාපන්න සිදුවීමක් - සමඟ චිත්‍රපටිය ඩොලර් බිලියනයේ සීමාව පසු කිරීමට ඉඩ ඇත.

කී දෙනෙකු ඕපන්හයිමර් නරඹා ඇද්ද? නිශ්චිත සංඛ්‍යාවක් නිගමනය කිරීම අපහසු ය. විශේෂයෙන් ඇමෙරිකානු චිත්‍රපට කර්මාන්තය උනන්දු වන්නේ 'දල ආදායම' ගැන පමනකි. ප්‍රවේශපත්‍රයත සාමාන්‍ය මිල ඩොලර් 10 ක් වෙද්දී එක්සත් ජනපදය තුල ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලද ඩොලර් 330,000,000 මත පදනම් ව, මිලියන 30-40ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් කෙනෙකුට ඉතා දල වසයෙන් ඇස්තමේන්තු කල හැකි ය.

ගෝලීයව, ප්‍රවේශපත්‍රයක සාමාන්‍ය මිල ඩොලර් 5ක් පමන වන නමුත් (බටහිර යුරෝපයේ හා ජපානයේ මීට වඩා බෙහෙවින් ඉහල ගනන් සහිතව) එය ඉතා පුලුල් අන්දමින් වෙනස් වන බැවින් එම සංඛ්‍යාවෙන් ඒ හැටි උදව්වක් නොලැබේ. ඇතැම් රටවල් ගැන කෙනෙකුට වඩා නිශ්චිත වීමට පුලුවන. නිදසුනක් වසයෙන් ප්‍රංශය තුල ජාතික සිනමා මධ්‍යස්ථානය විසින් නව වසර ආරම්භයේ දී නිකුත් කෙරුනු සංඛ්‍යා පෙන්නුම් කලේ මිලියන 4.39 ක පුද්ගල ප්‍රවේශයන් සහිත ඕපන්හයිමර් එරට පස් වැනි සාර්ථක ම චිත්‍රපටිය වූ බව යි. ෆෙඩරල් ෆිල්ම් බෝඩ් (FFA) වාර්තා කරන පරිදි ප්‍රවේශපත්‍ර මිලියන 4.1ක් අලෙවි කල එය ගිය වසරේ ජර්මනිය තුල සිව් වැනියට ජනප්‍රියතම චිත්‍රපටිය විය.

එක්සත් රාජධානිය තුල චිත්‍රපටියේ දල ආදායම ඩොලර් 74,872,624 ක් වූ අතර ප්‍රවේශපත්‍රයක සාමාන්‍ය මිල වූයේ එක්සත් ජනපද ඩොලර් 10.04කි. ආසන්න වසයෙන් මිලියන 7.45ක් දෙනා චිත්‍රපටය නරඹා ඇත. ඉතාලියේ සිනමාහල්වල පලමු දින පහ ඇතුලත ඕපන්හයිමර් 'වෙලඳපොලෙන් සියයට 70කට වඩා' අත්පත් කරගත් අතර 'අයිමැක්ස් තිරගතකිරීම් සඳහා රට තුල සති අන්තයක ඉහල ම වාර්තාව අත්පත් කරගත්තේ ය”. (කලයිඩර්) ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වඩා චිත්‍රපටිය නරඹා තිබේ. පෙනෙන පරිදි කොරියාවේ දී ද සංඛ්‍යාව මීට සමාන ය. කොරියා ටයිම්ස් පුවත්පතට අනුව අගෝස්තුවේ දී 'ඕපන්හයිමර් ප්‍රවේශපත්‍ර මිලියන 1.5ක් අලෙවි කරමින් දින පහක් පුරා දේශීය බොක්ස් ඔෆිස් වාර්තාවල මුදුනේ රැඳී සිටියේ ය.' මේ ලේඛකයාගේ ගනනය කිරීම් නිවැරදි නම් මෙක්සිකෝව තුල ප්‍රේක්ෂකයින් මිලියන පහක් පමන ඕපන්හයිමර් නැරඹීමට පැමින තිබේ.

චීන ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා තිබීමට ඉඩ තිබේ. ඇතැම් විට සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි වීමට ද ඉඩ ඇත. 'ද හොලිවුඩ් රිපෝටර්' සැප්තැම්බරයේ වාර්තා කල පරිදි '- චීනයේ දී බාධාවක් වනු ඇතැයි බොහෝ විශ්ලේෂකයින් අපේක්ෂා කල - එහි දීර්ඝ ධාවන කාලය හා බැරෑරුම් ඓතිහාසික වස්තු විෂය තිබිය දී ඕපන්හයිමර් විශාල දේශීය ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමි කරගෙන තිබේ. 'ඩොවුබන්' නමැති සිනමා හා කලා ලෝලීන්ගේ බලපෑම්සහගත සමාජ ජාල වේදිකාව මත එයට මිලියන බාගයකට ආසන්න විමර්ශන ප්‍රමානයක් ද හොලිවුඩ් චිත්‍රපටයකට මෑතක දී ලැබුනු ඉහල ම ඇගැයුම් ලකුනුවලින් එකක් වූ 8.8ක සාමාන්‍යයක් ද ලැබී තිබිනි. 'මාඕයාන්' හා අලිබාබා ආයතනය සතු 'ටාඕ පියාඕ' ප්‍රවේශපත්‍ර සේවාව තුල එහි සාමාන්‍යය අනුපිලිවෙලින් 9.4 හා 9.6 ක් විය.” ඉන්දියාව, බ්‍රසීලය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, සෞදි අරාබිය, පෝලන්තය හා ස්වීඩනය තුල ද විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඕපන්හයිමර් නරඹා තිබිනි.

මීට අමතරව, අද දවසේ යථාර්ථයන් සැලකිල්ලට ගනිද්දී මිලියන ගනනක් දෙනා 'සොරකම් කල' පිටපත් මඟින් ද තවත් මිලියන ගනනක් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරන (ස්ට්‍රීමිං) වේදිකා හරහා ද චිත්‍රපටය නරඹා තිබීමට ඉඩ තිබේ.

වඩාත් ම ගතානුගතික ඇස්තමේන්තු යොදාගනිද්දී පැහැදිලිව ම අඩ වසක් ඇතුලත මිලියන 100කට වැඩි පිරිසක්, ලෝක-ඓතිහාසික සිදුවීම් සහිත තීව්‍ර හා සංකෝචිත කෘතියක් වූ නොලන්ගේ චිත්‍රපටිය නරඹා තිබේ.

ඕපන්හයිමර් තුල රොබර්ට් ඩවුනි (කනිෂ්ට)

චීනයේ දී චිත්‍රපටිය ලද ප්‍රතිචාරය විශ්ලේෂකයින්ගේ 'අපේක්ෂා' අවුල් කල බව කියැවෙන ඉහත උද්ධෘතය හැම තැනකට ම අදාල ය. සියල්ලට වඩා එක්සත් ජනපදය තුල, ශුන්‍ය ඔලුගෙඩි ඇති අටුවාකරුවෝ දිගින් දිගට ම මවිතය පල කරමින් සිටිති. 'ගිම්හාන චිත්‍රපට සමයේ උච්ච අදියරේ දී නිකුත් කෙරුනු දීර්ඝ, ආර්-ශ්‍රේනියට අයත් නාට්‍යමය කෘතියක් ඩොලර් මිලියන 900ක බොක්ස් ඔෆිස් ආදායම් ලබනු ඇතැයි කර්මාන්තය තුල කිසිවෙකුත් අපේක්ෂා කලේ නැතැ' යි 'දි ඇසෝෂියේටඩ් ප්‍රෙස්' රලුපරලු ලෙස වුවත් නිවැරදිව වාර්තා කලේ ය. 'වරායටි' (Variety) සඟරාව තම කොටස ඉටු කරමින් නිරීක්ෂනය කලේ, චිත්‍රපටියේ 'සංඛ්‍යාවන්', 'ඇදහිය නොහැකි තරමින් ආකීර්න, පැය තුනක, ආර්-ශ්‍රේනිගත ඓතිහාසික දෘශ්‍ය කාව්‍යයක් සම්බන්ධයෙන් අඩුවැඩි වසයෙන් නොඇසූ විරූ ඒවා' බව යි.

එක්සත් ජනපදයේ 'ද මෝෂන් පික්චර් ඇසෝෂියේෂන්', එහි දැක්ම ගැන අප දැනගත යුතු සියල්ල අනාවරනය කරමින් ඕපන්හයිමර් චිත්‍රපටියේ බොක්ස්ඔෆිස් 'ගජ වාසිය' විස්තර කලේ “සුපිරි වීරයින් ඇතුලත් නො වූ, ඒ සා සංකීර්න චරිතයක් පිලිබඳ චිත්‍රපටියක්' සම්බන්ධයෙන් 'ඇදහිය නොහැක්කක්' වසයෙනි. සිය පුදුමය සැඟවීමට අසමත් එම සංගමය වැඩිදුරටත් මෙසේ කියා සිටියේ ය: “බොහෝ දෙනෙකු මඳ වසයෙන් දැන සිටි ඓතිහාසික චරිතයක් පිලිබඳ දීර්ඝ, බොහෝ විට තාකෂනික, සංකීර්න චිත්‍රපටියක් මුලු ලොව පුරා ප්‍රේක්ෂකයින් වසඟ කරගන්නා වර්ගයේ චිත්‍රපටියක් වීම අපේක්ෂා නො කෙරේ.”

'බොක්ස් ඔෆිස් මෝජෝ' (Box Office Mojo) වෙබ් අඩවියට අනුව දැන් ඕපන්හයිමර් ලොව පුරා 'යාව ජීව සමස්ත ආදායම්' ලැයිස්තුවේ අංක 62 ස්ථානයේ රැඳී සිටියි. කෙලින් ම කියතොත් එහි පලමු චිත්‍රපටි 100 අතර ශ්‍රේනිගතව ඇති වැඩිහිටියන් සඳහා වූ එක ම හරවත් චිත්‍රපටිය වන්නේ එය යි; අන් සියල්ල ම පාහේ කොමික් පොත්වල අනුවර්තන, ලමා චිත්‍රපට, ජේම්ස් කැමරන්ගේගේ ශෝකජනක ප්‍රයත්න (ටයිටැනික්, ඇවටාර් ආදිය) ආදිය යි. රේන් මෑන් 428 වැනි තැනත්, ශින්ඩ්ලර්ස් ලිස්ට් 494 වැනි තැනත්, ග්‍රීන් බුක් 496 වැනි තැනත්, ලින්කන් 599 වැනි තැනත්, ද ටෲමන් ශෝ 631 වැනි තැනත් රැඳෙන අන්දම දැකගැනීමට කෙනෙකු සත්තකින් ම ලැයිස්තුවේ ගැඹුරට කිමිඳිය යුතු වෙයි. කාලයත් සමඟ ටිකට්පත්වල මිල ඉහල නැඟීම චිත්‍රය යම් තරමකට අඳුරු කරන නමුත් ඕපන්හයිමර් චිත්‍රපටියේ සාක්ෂාත් කිරීම තව මත් කැපී පෙනෙයි.

නොලන්ගේ චිත්‍රපටිය භූගෝලීය ප්‍රදේශ නොතකමින් මේ සා විශාල පිරිසක් සමඟ අනුකම්පනයක් ජනනය කර ඇත්තේ ඇයි?

ඕපන්හයිමර් කැපී පෙනෙන්නේ සියල්ලට පලමු එහි සංකීර්නතාව හා අභියෝගාත්මක ස්වරූපය ද එය නරඹන්නාගේ මානසික ශක්තීන්ට ආමන්ත්‍රනය කිරීම ද හේතුවෙන් බව දෙවැනි වර නැරඹීමේ දී තහවුරු වෙයි. මෙය සිදු වන්නේ බුද්ධියට නිගා දෙන හෝ අබලදුබල කරවන ඝෝෂාකාරී, හිස්, ප්‍රමානයෙන් විශාල චිත්‍රපටි, වැඩි වැඩියෙන් චිත්‍රපටි නිෂ්පාදනය තුල ආධිපත්‍යය උසුලන වාතාවරනයක් තුල ය. එහි සාර්ථකත්වය නැවතත් ප්‍රදර්ශනය කරන්නේ බැරෑරුම් සිනමා කෘති සඳහා නිර්ව්‍යාජ, ස්ථිරසාර හා වැඩෙන පිපාසයක් පවතින බව යි.

ටෲමන්, ලුවී ස්ට්‍රවුස් (ඩව්නි) වැනි දේශපාලන චරිත හා අධිකාරවාදී ආඥාදායකත්වයකට සරිලන මිලිටරි හා ආන්ඩුවේ මැකැර්තියානු මදාවියන් පිලිබඳ අතිශය රුදුරු නිරූපනයන් ද 1930 ගනන්වල එක්සත් ජනපදයේ වාමාංශික බුද්ධිමය ජීවිතය දෙස හෙලන සානුකම්ප බැල්ම ද යන දෙක ම ඔස්සේ නොලන්ගේ චිත්‍රපටිය ඒත්තුගන්වනසුලු හා වෛෂයික ආකාරයකින් දේශපාලන ජීවිතයට සලකයි. වඩාත් ඒත්තුගන්වනසුලු හා ලෙන්ගතු දර්ශන එන්නේ මෙහි ය. ඕපන්හයිමර්ගේ 'සමීප කවයේ සිටි සෑම පුද්ගලයකු ම යම් අවස්ථාවක එක්කෝ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු හෝ එයට ඉතා සමීපයකු ව සිටි බවත්, ඔහු ද බොහෝ දුරට ඉතා සමීප ව සිටි බවත්' හොබොකන් හි 'ස්ටීවන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි' ආයතනයේ න්‍යෂ්ටික අවිවල ඉතිහාසය පිලිබඳ විශේෂඥ ඉතිහාසඥයකු වන අලෙක්ස් වෙලර්ස්ටයින් ටයිම් සඟරාවට පෙන්වා දුන්නේ ය. නැතහොත් චිත්‍රපටියේ එක් චරිතයක් නිරීක්ෂනය කරන පරිදි ඕපන්හයිමර්ගේ ආරක්ෂක ලිපි ගොනුව 'කොමියුනිස්ට්වාදීන් වූ ඔහුගේ සහෝදරයා, නෑනා, හොඳ ම මිතුරා හා බිරිඳ' පිලිබඳ අනාවරනය කලේ ය.

ජීන් ටැට්ලොක් ලෙස ෆ්ලොරන්ස් පියු

ඕපන්හයිමර් චිත්‍රපටිය පුලුල් ප්‍රේක්ෂකත්වයක් ආකර්ෂනය ගැනීමට හේතු වූයේ එය පෘථුල සාර්ථකත්වයක් නොලබනු ඇත යන අදහස වෙනුවෙන් ඉදිරිපත් කෙරුනු තර්ක ම බව මේ එක ද පන්ඩිතයකුට වත් කිසි ම විටෙක කල්පනා නො වේ - නිදසුනක් වසයෙන් එක් තැතිගත් විචාරකයකුට අනුව, “එය විද්‍යාඥයකුගේ චරිතාපදානයකි, පරමානු බෝම්බය නිපදවීම පිලිබඳ සදාචාර කතාන්දරයකි, රතු භීතිකා සමයේ අධිකරන ශාලා දැක්වෙන නාටකයකි' (ඒවී ක්ලබ්); අන් සියල්ලට ම වඩා, වෙනත් වචනවලින් කියතොත්, ඊට හේතු වූයේ චිත්‍රපටියේ තේමාවන්ගේ හා ඓතිහාසික පසුබිමේ බැරෑරුම්කම සහ එය ඉදිරිපත් කර ඇති ආකාරයේ බැරෑරුම්කම යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පසු ගිය ජූලි මස පල කල ප්‍රාරම්භක විචාරයක තර්ක කල පරිදි ඕපන්හයිමර් යනු 'න්‍යෂ්ටික ආයුධ හා න්‍යෂ්ටික යුද්ධය පිලිබඳ බැරෑරුම් වූ ද නියමාකාරයෙන් සිත් කලඹනසුලු වූ ද චිත්‍රපටියකි. නරඹන්නා කම්පිත කිරීම අරමුනු කරගත් එය එම කාර්යයෙහි සාර්ථක වෙයි.' විශේෂයෙන් රුසියාව සමඟ 'න්‍යෂ්ටික යුද්ධයක තර්ජනයෙන් තමන් 'පසු නොබසින බව'” බයිඩන් තන්ත්‍රය සහ එහි නේටෝ සගයින් - සාපරාධී ඉවබව නැතිකමකින් යුතු ව - අවධාරනය කරමින් සිටින සමයක නොලන්ගේ චිත්‍රපටිය 'පුලුල් ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන තිබීම, පොදු ජනගහනය තුල පවතින ඊට වඩා වෙනස් හැඟීමක් ගැන, න්‍යෂ්ටික බෝම්බයක් භාවිත කිරීමේ ඉඩ පිලිබඳ පවතින ගැඹුරු තැතිගැනීමක් ගැන කියා පායි.”

එවැනි උත්සුකයන් ඔහු තුල දසක ගනනක් තිස්සේ පැවති බව සම්මුඛ සාකච්ඡාවල දී නොලන් (1970 උපන්) අනාවරනය කර තිබේ. තමන් 1980 ගනන්වල, “න්‍යෂ්ටික ආයුධ පිලිබඳ මහා භීතියේ යුගයක' බ්‍රිතාන්‍යයේ හැදී වැඩුනු බව 'ඩෙඩ්ලයින්' සමඟ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු සඳහන් කලේ ය. “ඒක 60 ගනන්වල කියුබානු මිසයිල අර්බුදය එක්ක හැදී වැඩීමට සමාන යි' නොලන් වැඩිදුරටත් කී ය. '80 ගනන්වල තිබුනෙත් ඉතා ම සමාන දෙයක්. උද්ඝෝෂන තිබුනා, ඒ වගේ ම න්‍යෂ්ටික ආයුධ ගැන ගොඩක් දේවල් ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ තිබුනා. ස්ටිං නිර්මානය කරපු රෂියන්ස් [1985] ගීතයෙන් තමයි මම මුලින් ම ඕපන්හයිමර්ගේ නම ඇහුවේ; ඉතින් න්‍යෂ්ටික ලෝක විනාශය ගැන ඉතාම පැහැදිලි බියක් තිබුනා.”

චිත්‍රපටිය නිකුත් කිරීමට පෙර පරමානුක විද්‍යාඥයින්ගේ බුලටිනයෙහි (Bulletin of the Atomic Scientists) ජෝන් මෙක්ලින් සමඟ කල කුතුහලජනක සංවාදයක දී නොලන් ඉතා නිශ්චිත ව මෙසේ අවධාරනය කලේ ය: 'චිත්‍රපටිය සම්බන්ධයෙන් අපේ අරමුන - එය නිකුත් කෙරෙන්නේ මොන විදිහේ ලෝකයකට වුනත් - අනිවාර්යයෙන් ම චිත්‍රපටියේ අරමුනින් කොටසක් වුනේ න්‍යෂ්ටික අවිවල විශේෂිත හා අත්‍යසාමාන්‍ය අන්තරාය ගැන යලි යලිත් කියා සිටීම යි. මේක අපි සියලු දෙනා ම හැම මොහොතේ ම සිතිය යුතු හා ඉතා ගැඹුරින් උත්සුක විය යුතු දෙයක්. ඒත් පැහැදිලි ව ම, ඒ ගැන ප්‍රවෘත්තිවල කතා කරන තරමට භූදේශපාලනික තත්වය ආයෙමත් පිරිහී තිබීම අසාමාන්‍ය අන්දමින් සිත් කරදරයට පත් කරන කාරනයක්.”

මේ තිරරචක-අධ්‍යක්ෂවරයා රජයේ හා මිලිටරියේ නිලධාරීන් 'ඒවා [න්‍යෂ්ටික ආයුධ] වඩා සාමාන්‍ය යුද්ධෝපකරන හැටියට දකින්නට පටන්ගන්නා' වාතාවරනයක් හෙලාදැක්කේ ය. “ඔබ දසදහස් සංඛ්‍යාත මිනිසුන් ඝාතනය කිරීම සාමාන්‍යකරනය කරනවා. ඔබ වෙනත් වර්ගවල ගැටුම් සමඟ සදාචාරාත්මක සමීකරන, ව්‍යාජ සමීකරන ගොඩනඟනවා.” “උපායික න්‍යෂ්ටික අවි' පිලිබඳ කතා කිරීමට පටන්ගන්නා හමුදා ප්‍රකාශකයින් ගැන ඔහු සඳහන් කලේ ය. “දැන් මම වැඩියෙන් ම බය සංවාදය ඒක තමයි. මොකද දේශපාලන වර්නාවලියේ දෙපැත්තෙන් ම මට ඒක ඇහෙනවා, පුටින්ගෙන් [රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්] විතරක් නෙමෙයි. මට දැනෙන්නේ මිනිස්සු ආයෙමත් ඒ දේවල් අපේ ලෝකය තුල පිලිගත හැකි විභවයන් හැටියට ගනිමින් කතා කරන ලෝකයක අපි දැන් ඉන්නා බව යි.”

න්‍යෂ්ටික ලෝක විනාශය “බෝම්බකරුවන්ට වැරදි සංඥා ලැබීමත් සමඟ හටගන්නා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලව් වර්ගයේ සිදුවීම් දාමයකින්' හටගත නොහැකි බව නොලන් යෝජනා කලේ ය. 'මුල දී න්‍යෂ්ටික අවි සාමාන්‍යකරනය, උපායික න්‍යෂ්ටික අවි භාවිතය හා අවසානයේ ග්‍රහලෝකය විනාශ කරනු ඇති වඩවඩාත් විශාල පරිමානයේ ගැටුම්වලට මඟපෑදීම' ඊට ඩඩා විය හැක්කක් බව ඔහු සඳහන් කලේ ය. ඔහු ඕපන්හයිමර් නිපදවීම අවසන් කොට පැමිනියේ 'ලෝකය මේ දේවල් මඟින් විනාශ වීමට යන්නේ ය යන කරුන පිලිබඳ එම අවසාන භීතිය මත ම අවසානයේ පදනම් වූ, වෙනස් අවබෝධයක්, වෙනස් භීතීන් රාශියක් සමඟ' බව සිනමාකරුවා අවධාරනය කලේ ය.

නොලන් පිලිබඳ සිය ලිපිය තුල ටයිම් සඟරාව මෙසේ සඳහන් කලේ ය: “ඕපන්හයිමර්ගේ පුංචි හිරෝෂිමා බෝම්බයට කිලෝටොන් 15ක - නැතහොත් ටීඑන්ටී ටොන් 15ක - ස්ඵෝටක බලයක් තිබිනි. අද දවසේ එක්සත් ජනපදයට අයත් ට්‍රයිඩන්ට් II මිසයිලයකට, එකක් තුල කිලෝටොන් 475ක ප්‍රහාරක බලයක් සහිත න්‍යෂ්ටික අවිශීර්ෂ 12ක් දක්වා රැගෙන යා හැකි ය.' වෙනත් වචනවලින් කියතොත්, එවැනි සෑම බෝම්බයකට ම (මෙවැනි බෝම්බ සිය ගනනක් දැනට පවතී) ප්‍රධාන නගරයක් විනාශ කොට 100,000ක් පමන මිනිසුන් ඝාතනය කල ඒ බෝම්බයට වඩා 380 ගුනයකට වැඩි විනාශකාරී බලයක් තිබේ.

ඕපන්හයිමර් තුල කිලියන් මර්ෆි සහ ඩේවිඩ් ක්‍රම්හෝල්ට්ස්


චිත්‍රපටකරුවා සිය දැවෙන උත්සුකයන්, සමස්තයක් ලෙස මානව වර්ගයාට ම බලපාන උත්සුකයන් රැගෙන ඒවා සම්බන්ධයෙන් හෘදයසාක්ෂියට අනුකූල ව හා දෘඪතර ලෙස ක්‍රියාත්මක වී තිබේ. ප්‍රධාන පෙලේ චිත්‍රපටියක් යනු සිතාගත හැකි වඩාත් ම විස්තීර්න හා ආකූලිත වූ කලාත්මක ව්‍යායාමයකි. එයට ජංගම කොටස් අතිවිශාල ගනනාවක් ඇතුලත් වෙයි. තිරරචක-අධ්‍යක්ෂවරයා සිය අවධානය මේ නිශ්චිත තේමාව වෙත සංකේන්ද්‍රනය කොට, සියගනනක් වූ සහක්‍රියාකාරීන්ගේ ප්‍රයත්න හා නිපුනතා ද එම දිශාවට ම සම්බන්ධීකරනය කරගෙන තිබේ. එහි දී තාක්ෂනයන් සමූහයක් යොදාගනිමින් ප්‍රේක්ෂකයා මේ ගැටලුව තුල, ඓතිහාසික සිදුවීම් හා වර්තමානය පිලිබඳ මේ සංකීර්න හැඟීම් සමුදාය හා අදහස් තුල ම යලි ජීවත් කරවයි, නැතහොත් ඒවා ප්‍රතිකරනය කරයි. නොලන්ගේ චිත්‍රපටිය බලවත් හදිසි අවශ්‍යතාව පිලිබඳ හැඟීමක් සාර්ථකව සන්නිවේදනය කරයි. ඒ මෙම චිත්‍රපටි නිර්මාපකයින් තමන් තුල ම පවතින බලවත් හදිසි අවශ්‍යතාව ඉවසිලිවන්ත, ප්‍රවේසමෙන් ගොඩනඟන ලද කලා කෘතියක ස්වරූපයෙන් මූර්තිමත් කිරීමට සමත්ව ඇති බැවිනි.

ඕපන්හයිමර් ආමන්ත්‍රනය කිරීමට ඉදිරිපත් වන්නේ, ඔවුන් දැනුවත්ව සිටියත් නැතත්, සුවහස් සංඛ්‍යාත ජනකායකට ඉතා නොපමාව පිලිතුරු අවශ්‍ය ව ඇති ඓතිහාසික ප්‍රශ්න යි: මනුෂ්‍ය වර්ගයා සිය වර්තමාන අන්තරායකර, තර්ජනාත්මක තත්වයට සේන්දු වී ඇත්තේ කෙසේ ද? ඒ සම්බන්ධයෙන් කල යුත්තේ කුමක් ද? ඊටත් වඩා, එය එසේ කරන්නේ දේශනයක් හෝ නිබන්ධයක් ලෙස නො ව ලගන්නා අන්දමින් මානුෂීය වූ, බහු-පාර්ශ්වික දෘශ්‍ය කාව්‍යයක් හැටියට ය. රොබර්ට් ඕපන්හයිමර්ගේ භූමිකාව හා උරුමය කෙරේ නොලන් දක්වන ක්ෂමාලාපී, පිලිගන්නාසුලු දැක්ම (“ඔහු නිසැකව ම වීරයෙක් විය' හා මැන්හැට්න් ව්‍යාපෘතියෙහි වැඩ කල විද්‍යාඥයින්ට 'ඔවුන් කිරීමට සිදු වූ දෙය කිරීමට සිදු විය') සමඟ ඇති නොඑකඟතාව පවා මර්ෆිගේ සියුම්, අසාමාන්‍ය අන්දමින් අවංක වූ රංගනයෙහි සහ තවත් බොහෝ දෙනාගේ රඟපෑම්වල අගය අඩු කරන කිසිවකුදු නොකරයි.

සමකාලීන ධනේශ්වර දේශපාලනයෙහි පිලිකුල්සහගත ස්වභාවය, එය නියෝජනය කරන පෘථුල සදාචාර හා බුද්ධිමය රික්තය ද ඕපන්හයිමර් වැනි කෘතියක් සඳහා සංවේදී වාතාවරනයක් නිපදවීමට උදව් වෙයි. රටින් රටට සෑම තැනක ම ප්‍රධාන දේශපාලන චරිත වනාහි කෝපරේට් ආවතේවකරුවන් රොත්තක් ද, ෆැසිස්ට් මැරයෝ හා යුද්ධයට පොලඹවන්නනෝ ද වෙති. ප්‍රධාන දේශපාලන පක්ෂ පොදුවේ පිලිකුලට භාජනය වී ඇති අතර තොරතුරු පිලිබඳ නිල මූලාශ්‍ර දකිනු ලබන්නේ රාජ්‍යයෙහි බොරුකාර දිගුවකට වඩා වැඩි නොවන්නක් ලෙස යි. මිලියන ගනන් දෙනා, ජීවිතය පිලිබඳ අවංක ඇගැයුමක් අපේක්ෂාවෙන් ඇතැම් විට ලාමකව හා ඉක්මනින් රැවටෙනසුලු අන්දමින්, වෙනත් දිශාවක් දෙස, කලාකරුවන් දෙස බැලීම පුදුමයක් නො වේ. ට්‍රොට්ස්කි සිය 'සංස්කෘතිය හා සමාජවාදය' කෘතියෙහි මෙසේ ලිවී ය: 'කලාව යනු මිනිසා ලෝකය තුල මංහසර පාදාගන්නා ආකාරයන්ගෙන් එකකි.” නිල මූලාශ්‍රයන්ගෙන් තාර්කික දිශානතියක් නොලැබෙන විට චිත්‍රපටිකරුවාට පමනට වඩා විශාල වැදගත්කමක් ලැබීමේ ඉඩ තිබේ.

එතැනින් ඔබ්බෙහි, කෙසේ වෙතත්, ඕපන්හයිමර් ප්‍රබල ප්‍රතිචාරයක් ආකර්ෂනය කරගෙන ඇත්තේ හුදෙක් ආසන්නතම සිද්ධීන්ගේ සම්බන්ධය නිසා නො වන බවට කෙනෙකු තර්ක කිරීමට ඉඩ තිබේ. පිලිස්තීනුවකුගේ මනස තුල පමනක් 'අනපේක්ෂිත ලෙස' හා 'මවිතකාරී ලෙස' පැනනඟින යම් අන්දමක සමුච්චිත බලපෑමක් මෙහි තිබේ. මහා ජනකායන් මෑත දසකවල ක්ෂතිමය අත්දැකීම්වලට පාත්‍ර ව තිබේ, නැතිනම් ඒවා දැක තිබේ. යුද්ධය අඛන්ඩ ව පැවතී ඇත. ඍජු ව ම හෝ වක්‍ර ව මහා බලයන් විසින් උසිගන්වනු ලැබූ සංක්ෂෝභයන්, කඩාකප්පල් කිරීම් ලෝකයේ සෑම කොනක ම සිදු වී තිබේ. රටවල් හා භූගෝලීය ප්‍රදේශ 133 ක සහ 500 කට වැඩි ස්ථාන ගනනක, බලහත්කාරයෙන් අවතැන් කරනු ලැබූ හා රටක් නැති පුද්ගලයින් සංඛ්‍යාව දල ඇස්තමේන්තු අනුව 2024 දී මිලියන 130කි.

ග්‍රහලෝකයේ වෙසෙන සෑම කෙනෙකු ම පාහේ [මේ ක්‍රියාවලියෙහි] පැටලෙයි. අධිරාජ්‍යවාදය අතිවිශාල ජනකායක් කලඹමින්, දේශපාලනීකරනය කරමින් හා රැඩිකලීකරනය කරමින් සිටින්නේ අතිශය මූලික ප්‍රශ්න ගැන සිතීමට ඔවුන්ට බල කරමිනි. මේවා හුදෙකලා සිදුවීම් හෝ සාමාන්‍යයෙන් පැහැබර අහසක රැඳෙන කුඩා වලාකුලු නො ව අඛන්ඩව පවතින, නැවත නැවත හටගන්නා, වැඩි වැඩියෙන් ප්‍රචන්ඩ දේවල් වෙයි. දසක ගනනාවක ගැටුම් හා අසමතුලිතතාව, දැන් තෙවැනි ලෝක යුද්ධයක නැඟීම පොදු චින්තනයේ වෙනස්කම්වලට මඟ පාදයි. මිනිස්සු අත්දැකීම් එකිනෙක සම්බන්ධ කිරීමට ද නිගමනවලට එලඹීමට ද, ධනපති මාධ්‍යවල ඉදිරිපත් කරන හේතූන්ට වඩා වඩා ගැඹුරු හේතු සෙවීමට ද පටන්ගනිති. ප්‍රාදේශිකවාදය, ජාතිකවාදය, “සුවිශේෂතාවාදය' බිඳ වැටීමට නැඹුරු වෙයි. මේවා වඩවඩාත් පොදු, සාමූහික ගෝලීය අත්දැකීම් ය. වඩා බැරෑරුම් කලාත්මක අමුද්‍රව්‍ය උදෙසා සාගින්නක් තිබීම කවර නම් පුදුමයක් ද!

තව ද සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිති හා එම ක්ෂතිය විසින් ඉස්මත්තට ගෙන එනු ලැබූ යෝධ ඓතිහාසික ගැටලු හමුවේ, බාල ජනාන්දෝලක රැඩිකල්වාදය වඩවඩාත් දෙනෙකුට ප්‍රමානවත් නොවන දෙයක් ලෙස පෙනී යනු ඇත. “සමාජවාදී' රටවල් තුල ධනේශ්වර ක්‍රමය පුනස්ථාපනයෙන් පසු, සරිලන්නේ වඩාත් විනිවිද යන තර්ක හා විශ්ලේෂන පමනකි. මේ 'අසාර්ථකත්වය' සිදු විය හැකි වූයේ කෙසේ ද? හෙලාදැකීම් හා සටන්පාඨ පුනරුච්චාරනයෙන් පලක් ලැබෙනු නැත. නිශ්චිත හා සන්සුන් විභාග කිරීම් යලිත් වතාවක් ජනප්‍රිය වන්නට පටන්ගනී. බොහෝ කාරනා තව ම අවබෝධ කරගැනී නැතත්, දුෂ්කර, අභියෝගාත්මක ගැටලු සමඟ ගනුදෙනු කල යුතු බවත්, අමාරු, වෙහෙසකර වැඩ කල යුතු ව ඇති බවත් පිලිබඳ වැඩෙන අන්තර්ඥානයක් පවතී.

මිනිසුන්ට තමන්ගේ ම ජීවිත, ඓතිහාසික ව හා සමාජීය ව හැඩගස්වනු ලැබූ ඒවා හැටියට සැලකීම සඳහාත්, තීරනාත්මක ඓතිහාසික හා සමාජීය වර්ධනයන් අවබෝධ කරගෙන පාරප්‍රාප්ත වීමෙහි ඇති අතිමහත් වැදගත්කම දැකගැනීම සඳහාත් විභවය යලිත් වරක් මතු ව එයි. මහජන සංචලතාව හා කැකෑරෙන නොසන්සුන්කම සහිත වාතාවරන යටතේ එහි හොඳ ම තත්වයෙන් ක්‍රියාත්මක වන සිනමාකරනය, බහුජන, විශාල පරිමානයේ, කාර්මික ශෛලියේ ක්‍රියාකාරකමක් හැටියට මේ ක්‍රියාවලිය විචාරයට ලක් කිරීම අහම්බයක් නො වේ. 'විශාල පරිමානයෙන් සිදු කරන වැඩ වෙත ආකර්ෂනය වීම' හා එම සම්පත් 'වඩාත් ම පලදායී හා සිත්ගන්නා අන්දමින්' උපයෝගී කරගැනීමේ 'වගකීම' තමන්ට දැනෙන බව නොලන් මත් පිලිගනී.

කිලියන් මර්ෆි

මේ වර්ධනයන් සමහරක් පිලිබිඹු කරන එක ම කලා කෘතිය ඕපන්හයිමර් නො වේ. මේ කලාත්මක ක්‍රියාවලිය මේ දැන් පටන්ගත්තක් ද නො වේ. පවත්නා තතු පිලිබඳ තැවුල, නොසෑහීම, පිලිකුල පවා සන්නිවේදනය කර ඇති වෙනත් කෘති, චිත්‍රපටි හා රූපවාහිනී මාලා නාටක අපි පෙන්වා දී ඇත්තෙමු. එහෙත් ඕපන්හයිමර් හි දැවැන්ත, ජාත්‍යන්තර ප්‍රමුඛතාව කිසියම් ආකාරයක තීරානාත්මක අදියරක් නියෝජනය කරයි.

මේ කිසිවකින් චිත්‍රපටිය දුබලතාවලින් හා අන්ධ බින්දුවලින් තොර වෙතියි යෝජනා කිරීමක් අදහස් නො කෙරේ. ගිය ජූලියේ දී අප සඳහන් කල පරිදි, ඕපන්හයිමර් කෘතියේ ගැටලු 'බොහෝ දුරට තිරරචක-අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික අඩුපාඩු නො වේ. ඒවා අනාවරනය කරන්නේ දෙවැනි ලෝක යුද්ධය හා 20 වැනි සියවස මැද භාගයේ දේශපාලන යථාර්ථයන් අවබෝධ කරගැනීම හා බැඳුනු වඩා පොදු ප්‍රශ්න යි.' මේ චිත්‍රපටිකරුවන් කරන පරිදි, කෙනෙකු දෙවැනි ලෝක යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කෙරුනු ශ්‍රේෂ්ඨ සටනක් ලෙසත් රූසවෙල්ට් පාලනය සමාජ ප්‍රතිසංස්කරනවාදී මනෝරාජ්‍යයක් ලෙසත් ගනිමින් ආපස්සට වැඩ කරන විට, සිදු කර ඇති පරිදි, ඕපන්හයිමර් 'නිදොස් කිරීම' අනිවාර්යයක් වන බව පවා කෙනෙකු කීමට ඉඩ ඇත. චිත්‍රපටියෙහි දුර්වලතම කොටස හටගන්නේ, එය වට්ටෝරුමය 'පටිපාටීය දෙයක්' බවට පත් වන, රහසිගත මිලිටරි මධ්‍යස්ථානයක් හැටියට ලොස් ඇලමොස් සංවිධානය කිරීම හා පලමු පරමානු බෝම්බය සඳහා සූදානම් වීම අතරතුර ය.

අප ගිය වසරේ තර්ක කල පරිදි, “කම්කරු පන්තියට ඕපන්හයිමර් තමන්ගේ වීරයකු ලෙස භාරගත නො හැකි ය. ඔහු 1930 ගනන්වල අග අවංකව වාමාංශික අදහස් දැරුව ද, ඕපන්හයිමර් ඇමෙරිකානු මිලිටරි-ඔත්තු සේවා සංවිධාන ව්‍යුහයේ වැදගත් චරිතයක් බවට පත් විය. ප්‍රමුඛ වසයෙන් කොමියුනිස්ට් පක්ෂය ද ඇතුලුව ඇමෙරිකාවේ “වාමාංශය” සමස්තයක් ලෙස හිරෝෂිමා සහ නාගසාකි දවා හලු කිරීම පිලිබඳ ඔල්වරසන් දුන්නේ ය යන්න ද ඕපන්හයිමර්ට අඩු වැඩි වසයෙන් රූසවෙල්ට්-හිතවාදී මහජන පෙරමුනුවාදයේ සිට ඇඟට නොදැනී යුද යන්ත්‍රයට ඍජුව සහභාගි වීම වෙත ගමන් කල හැකි වී ය යන්න ද, යන මේ කිසිවක් ඔහුගේ භූමිකාවට ක්ෂමාව ප්‍රදානය නො කරයි.”

ඕපන්හයිමර් බඳු පුද්ගලයින්ට හා ඔහුගේ පරම්පරාවට තව මත් ඒ සා බලපෑමක් සිදු කල 1917 ඔක්තෝබර් විප්ලවයේ ස්වභාවය, සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදයේ නැඟීම හා විප්ලවය පාවාදීම, එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂයේ අපවිත්‍ර භූමිකාව යන මේවා නොලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටිය මත නොවිසඳී පා වෙන දැවැන්ත ගැටලු ය.

ගිය වසරේ 'පරමානුක විද්‍යාඥයින්ගේ බුලටිනය' සමඟ සම්මුඛ සාකච්ඡාවක දී නොලන් මේ සමහර ගැටලු පිලිබඳ අඟවන සඳහන් කිරීම් කලේ ය. '1920 ගනන්වල ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විප්ලවවාදී ස්වභාවය' ගැන කතා කරමින් ඔහු මෙසේ එකතු කලේ ය: 'ඔබ ගනුදෙනු කරන්නේ විශ්වයේ නීතීන් පිලිබඳ විප්ලවවාදී යලි ඇගැයුමක නිරත ව සිටි පුද්ගලයින් සමඟ යි, ඒ හරියට පිකාසෝ හා වෙනත් කලාකරුවන් සෞන්දර්යාත්මක කලාව, දෘශ්‍යමය නිරූපනය සම්බන්ධයෙන් කලා වගේ, ඔබ දන්නා විදිහට හරියට ම ස්ට්‍රැවින්ස්කි වගේ, ඒ වගේ ම සත්තකින් ම මාක්ස්, කොමියුනිස්ට්වාදියෝ - එහෙම කියද්දී, මාක්ස්ගෙන් ඉදිරියට ආවාම, 1920 ගනන්වල කොමියුනිස්ට්වාදියෝ, රුසියානු විප්ලවය වගේ.”

ඔහු වැඩිදුරටත් මෙසේ කීවේ ය: “ඒක විස්මයජනක කාලයක්. ඉතින් ඊට පස්සේ ඔබ අධ්‍යයනය කරන්න පටන්ගනිද්දී ඔහුගේ [ඕපන්හයිමර්ගේ] ජීවිතයේ නාටකය දිහා බලනවා, ඒක එතනින් කොහෙට ද ගියේ, ඒ විප්ලවවාදී උද්‍යෝගය ඇත්තෙන් ම කෙලවර වුනේ කොහෙන් ද - විප්ලවවාදියෝ ඒ තරම් විශාල ගනනක් සෑහෙන්න භයානක තැනකින් කෙලවර වුනේ අන්න එතකොට යි.”

නොලන් සිය අදහස් දැක්වීමේ දී හා ඇතැම් විට චින්තනයේ දී ඊට වඩා දුර නොයතත් මෙය තීරනාත්මක කරුනකි. ස්ටැලින්වාදයේ ද්‍රෝහිත්වයේ හා පාවාදීමේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් විප්ලවය 'කෙලවර වුනු' “භයානක තැන' ද, 1930 ගනන්වල විද්‍යාඥයින් හා බුද්ධිමතුන් ඇතුලු මනුෂ්‍ය වර්ගයාගෙන් විශාල කොටසක් මුහුන දුන් දරුනු ඓතිහාසික උභතෝකෝටිකය සහ ඉන් පසු පැමිනි ලෝක යුද්ධයේ හා හොලෝකෝස්ට් සංහාරයේ ඝාතන සමුදාය ද අතර සත්තකින් ම සම්බන්ධයක් තිබේ. මෙය ද නිසැකව ම බැරෑරුම් කලාත්මක චිත්‍රපටියක් (හෝ චිත්‍රපටි) තුලින් ගවේෂනය කල යුතු කරුනකි. එය ද මිලියන සංඛ්‍යාත ජනයාගේ ආකර්ෂනය ලබනු ඇති බව අපි ඒත්තුගෙන සිටිමු.

Loading