ලියොන් ට්‍රොට්ස්කිගේ පාවා දුන් විප්ලවය කෘතිය අධ්‍යයනය කල යුත්තේ මන්ද?

ලොව පලමු කම්කරු රාජ්‍යය වූ සෝවියට් සංගමයට සිදු වූයේ කුමක්ද යන්න කම්කරු පන්තිය බලය කරා මෙහෙයවීමේ සමාජවාදී විප්ලවය සංවිධානය කිරීමේ සටන තුල ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු කාරනාවකි. එබැවින් 1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට ව්ලැඩිමීර් ලෙනින් සමඟ සම-නායකත්වය දුන් ලියොන් ට්‍රොට්ස්කි විසින් 1936දී පල කරන ලද පාවා දුන් විප්ලවය කෘතිය වර්තමානයේ ලෝක අධිරාජ්‍යවාදයේ හා ඊට කත් අදින ධනපති ආන්ඩුවල ප්‍රහාරයන්ට එරෙහිව සටන් වදින සියලු සටන්කරුවන්ගේ බැරෑරුම් අධ්‍යනයට ලක් විය යුතු ය.

එම මාහැඟි කෘතිය දැන් දෙමල භාෂාවට පරිවර්තනය කර ඇති හෙයින් එය අධ්‍යයනය කිරීමේ අවස්ථාව දෙමල භාෂාවෙන් කියවන ඔබට ලැබී තිබේ.

ව්ලැඩිමීර් ලෙනින් 1919 දී මොස්කව්හි ක්‍රෙම්ලිනයේ ඔහුගේ කාර්යාලයේ. [AP ඡායාරූපය] [AP Photo]

ලෙනින්ගේ නායකත්වයෙන් රුසියාවේ ගොඩ නැගුනු බෝල්ෂෙවික් පක්ෂයේ නායකත්වය ලද කම්කරු පන්තිය, ගොවි ජනයාගේ ද සහය ඇතිව 1917 ඔක්තෝබරයේ දී සමාජවාදී විප්ලවයෙන් තම අතට බලය ගෙන ප්‍රධාන ධනපති දේපල කම්කරු පාලනය යටතට පත් කලේ ය.

1991 වන විට සෝවියට් සංගමයේ බලයේ සිටි නිලධාරී තන්ත්‍රය විසින්ම කම්කරු පාලනය යටතේ පැවැති නිෂ්පාදන බලවේග ඇතුලු දේපල එම නිලධාරී තන්ත්‍රය පාදක කර ගනිමින් බිහි වුනු ධනපති කතිපයාධිකාරියකට පවරා දෙමින් සෝවියට් සංගමය බිඳ දැමීම සිදු කලේ ය. එවැනි විනාශකාරී තත්වයක් සිදු කෙරුනේ කෙසේ ද? ඊට විකල්පයක් පැවතියේ ද? යන තියුනු ප්‍රශ්න 1936 තරම් ඈත දී, එනම් සෝවියට් සංගමය බිහිවී දශක දෙකක් ගත වීමටත් පෙර ට්‍රොට්ස්කි මෙම කෘතියේ සාකච්ඡාවට භාජනය කරයි.

රුසියානු විප්ලවයෙන් බිහිවුනු ලදරු කම්කරු රාජ්‍යයට එරෙහිව අධිරාජ්‍යවාදී පිටු බලය සහිතව දියත්වුනු සිවිල් යුද්ධයෙන් ජය ගැනීමට ගොවි ජනයාගේ සහාය ලද රුසියානු කම්කරු පන්තිය සමත් වුවද ඔවුනට මුහුන පෑමට සිදුවූ ප්‍රධානම ප්‍රශ්නය වූයේ තම රටේ පැවති අතිශයින්ම පසුගාමී තාක්ෂනය හා ගම්බද පැවති දරුනු දුප්පත්කම මෙන්ම පසුගාමී සාමාජීය වාතාවරනය යි. ඒ් අනුව සියලු වැඩ කරන ජනයාගේ මූලික අවශ්‍යතාවයන් සපුරන අයුරින් නිෂ්පාදනය වැඩි දියුනු කිරීම හා එම නිෂ්පාදන බෙදාහැරිම ඇතුලු සමාජීය අවශ්‍යතා සපුරා ගැනීමට පැවතුනු නොහැකියාව ලදරු කම්කරු රාජ්‍යය මත ලඹ දුන් අභියෝගාත්මක තත්වය විය.

මේ තත්වය ජය ගැනීමේ යතුර තිබුනේ ලෝකයේ අනෙකුත් රටවල - විශේෂයෙන්ම දියුනු ධනපති රටවල - කම්කරු පන්තිය බලය ගැනීම හරහා සිදු කර ගත යුතුව පැවති සමාජවාදී ක්‍රියා මාර්ගය මත පදනම් වූ ගෝලීය ඒ්කාග්‍රකරනයක් තුල ය යන කරුන ඔක්තොබර් විප්ලවයේ ප්‍රධාන නායකයන් වූ ලෙනින් හා ට්‍රොට්ස්කි තේරුම් ගෙන තිබුනේ විප්ලවයට බොහෝ පෙරාතුව ය.

රුසියානු විප්ලවයෙන් පසුව, ලෙනින් හා ට්‍රොට්ස්කි ප්‍රමුඛ නායකයන්ගේ ඉලක්කය වූයේ ලෝකයේ අනෙක් රටවල විප්ලවයන් ජය ගැනීම යි. ඔවුන් ඔක්තෝබර් විප්ලවය දැක ගත්තේ ලෝක විප්ලවයේ පලමු වෙඩි මුරය ලෙස යි. ඔවුන් තුන්වන ජාත්‍යන්තරය ගොඩ නගා ගනිමින් වැඩ ආරම්භ කලේ දෙවන ජාත්‍යන්තරයේ නායකයන් ධනවාදය ආරක්ෂා කරමින් ජාතිකවාදයට යටවෙමින් මාක්ස්වාදයට පසුපස හරවා ජර්මානු විප්ලවය පාවාදෙමින් තිබූ පසුබිමකයි. වෘත්තීයමය විප්ලවවාදීන්ගෙන් සැදුම්ලත් බෝල්ෂෙවික් පක්ෂය වැනි පක්ෂයක නායකත්වය නොලැබීම ජර්මනිය ඇතුලු රටවල විප්ලවයන් පරාජයන්ට තුඩු දුන්නේ ය.

ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රියාව, චීනය, පෝලන්තය, බල්ගේරියාව හා එස්තෝනියාව ඇතුලු රටවල් ගනනාවක පැන නැගුනු විප්ලවීය තත්වයන් තුල කම්කරු පන්තිය බලය ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්, 1924දී ජෝසෆ් ස්ටාලින් හා නිකොලායි බුකාරින් විද්‍යාත්මක සමාජවාදයේ මූලික ලියවිල්ල වූ කොමියුනිස්ට් ප්‍රකාශනයටමත් විරුද්ධ න්‍යායක් වූ “තනි රටක සමාජවාදය” ගොඩනගා නිම කල හැකිය යන ප්‍රතිගාමී ජාතිකවාදී න්‍යාය තුල සෝවියට් සංගමය සිරකිරීමට ක්‍රියා කලේය.

1920 ගනන් මුලදී පටන්, බෝල්ෂෙවික් පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් අහෝසිකර දමමින් නැගෙන්නට වූ නිලධරයට එරෙහිව අරගලට මූලිකත්වය ගත් ට්‍රොට්ස්කි, පක්ෂ නායකත්වයේ සම චින්තකයන් සමග එක්ව, 1923 වාම විපාර්ශ්වය පිහිටුවා ගත්තේ ය. තනි රටක සමාජවාදය ගොඩනැගීම පිලිබඳ ජාතිකවාදී න්‍යායට එරෙහිව ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගය ආරක්ෂා කිරීමේ තියුනු අරගලයට නායකත්වය ගනු ලැබුවේ ලියොන් ට්‍රොට්ස්කි විසිනි. සොවියට සංගමය තුල දේශපාලන බලය තමන් අතට කොල්ලකා ගත් ස්ටාලින් ප්‍රමුඛ නිලධරය 'ට්‍රොට්ස්කිවාදයට' එරෙහිව යුද්ධයකට එලැඹුනි.

ස්ටාලින් ඉදිරිපත්කල තනි රටක සමාජවාදය තැනීම පිලිබඳ ප්‍රතිගාමී න්‍යාය බෝල්ෂෙවික් පක්ෂයේ නිලධාරිවාදී පරිහානිය තුල නැංගුරම් ලා ගත්තේය. නිලධරයේ මූලික ඉලක්කය වූයේ තම වරප්‍රසාද අඛන්ඩව පවත්වාගෙන යාම හා වර්ධනය කර ගැනීම ය. නිලධරය තම නායකයා ලෙස ස්ටාලින් තෝරා ගත්තේ ඔවුන්ගේ උවනාකම් හා වරප්‍රාසාද සඳහා අවශ්‍ය දේශපාලන හා පුද්ගලික ගතිගුන වූ පුද්ගලික බලයෙන්, බාල තත්කාර්යවාදී සහ ජාතිකවාදී දැක්මෙන් ඔහු අනූනව සිටි නිසාය.

1927 තරම් ඈතදී, ට්‍රොට්ස්කි, ඍජුවම ස්ටාලින් නම් කලේ “විප්ලවයේ මිනීවල කනින්නා” ලෙසය.

ලියොන් ට්‍රොට්ස්කි සිවිල් යුද්ධය පැවති සමයේ රතු හමුදාවේ නායකයා

ට්‍රොට්ස්කි සිය පාවා දුන් විප්ලවය කෘතියේ සඳහන් කරන ආකාරයට 1927 වන විට සෝවියට් සමාජයේ සියයට 15 -20 අතර ඉහල කොටස් ඉන් පහල සියයට 80 ක ජනගහනය බුක්ති විඳි ප්‍රමානයට සමාන සම්පත් ප්‍රමානයක්, එනම් කම්කරු අතිරික්ත ශ්‍රමය බුක්ති වින්දෝය. නිලධරයේ වැඩීම පිලිබඳව ට්‍රොට්ස්කි කදිම උදාහරනයක් සැපයුවේ ය. නිෂ්පාදනය කෙරුනු අඩු භාන්ඩ ප්‍රමානයක් වැඩි පිරිසකට බෙදා දීමේදී පෝලිම් දිගු විය. එය හැසිරවීමට පොලිසියක් වැනිවූ නිලධාරී තන්ත්‍රයක් අවශ්‍ය විය. නිලධාරී තන්ත්‍රය වැඩි පංගුව තමන්ට බෙදා ගත්හ.

ජෝසප් ස්ටාලින් 1943 දී [AP ඡායාරූපය] [AP Photo]

බලය තහවුරු කර ගත් ස්ටැලින්වාදී නිලධරය මෙම ප්‍රතිවිප්ලවීය ක්‍රියා මාර්ගයේ අශමනීය සතුරා වූ ලියොන් ට්‍රොට්ස්කි 1928දී සෝවියට් සංගමයෙන් පිටුවහල් කලේය. 1936-1939 වසරවල බෝල්ෂෙවිකයන් හා විද්‍යාත්මක සමාජවාදයට සහය දුන් නිදහස් චින්තකයින් ඇතුලු දස දහස් ගනන් සිර ගෙවල්වල දමමින් හා බොරු නඩු අටවා ඝාතනය කරමින් රුසියානු විප්ලවයට එරෙහි ප්‍රතිගාමී ප්‍රහාරය උත්සන්න කලේය.

මෙසේ පැලපදියම් වූ නිලධාරී තන්ත්‍රය ලෝක විප්ලවයට වල කපන්නා බවට පත්විය. මෙම නිලධාරී තන්ත්‍රයේ වැඩ කටයුතු සෝවියට් සංගමය තුල යලිත් ධනවාදය තහවුරු කිරීමේ මාවතට පිලි පැන්නවීමට ඉවහල් වූවා පමනක් නොව ලෝකයේ අනෙකුත් රටවල විප්ලවයන්ගේ ගෙල හිර කර දැමීමට ද තුඩු දුන්නේය. අනික් අතට මෙම ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ ක්‍රියා කලාපය නිසා අනෙකුත් රටවල විප්ලවයන් පරාජය වීමෙන් එම නිලධාරී තන්ත්‍රය ශක්තිමත් විය.

ට්‍රොට්ස්කි සෝවියට් සංගමයේ පැවති තත්වයට ධනවාදය හෝ සමාජවාදය වැනි නිශ්චිත අර්ථකථනයක් නොදී එය ධනවාදය හා සමාජවාදය අතර පවතින පරස්පරවිරෝධී අතරමැදි අවස්ථාවක් ලෙස හැඳින්වූ අතර කම්කරු පන්තියේ දේශපාලන විප්ලවයක් මගින් නිලධරය පෙරලා දමා කම්කරු පන්තිය අතට දේශපාලන බලය නොගතහොත්, එය සම්පූර්නයෙන්ම ධනවාදය කරා පල්ලම් බැසිය හැකි බවට අනතුරු ඇඟවීය. සෝවියට් සංගමයේ පැවති දුර්වල ශ්‍රම ඵලදායිත්වය සමාජවාදී ප්‍රතිපත්ති මත බෙදා හැරීම සඳහා පවතින තියුනු බාධකයක් ලෙස ට්‍රොට්ස්කි පැහැදිලි කලේය.

ට්‍රොට්ස්කි එම තත්වය පාවා දුන් විප්ලවය කෘතිය තුල මෙසේ අර්ථ ගැන්වීය;

“(කම්කරු) රාජ්‍යය මුල් ආරම්භයේ පටන්ම සෘජුව ද්විත්ව ස්වරූපයක් ආරෝපනය කර ගනියි. එය නිෂ්පාදන මාධ්‍ය තුල සමාජ දේපොල ආරක්ෂා කරන තාක් දුරට සමාජවාදී වෙයි. වටිනාකම පිලිබඳ ධනවාදී මිම්මක් උපයෝගී කර ගනිමින් ජීවිතයට අවශ්‍ය භාන්ඩ බෙදා හැරීම සිදුකර ගෙන යන තාක් දුරට හා ඒ් කැටුව එන ප්‍රතිපල සියල්ල සහිතව ගත් කල එය ධනේශ්වර වෙයි.” (129 පිටුව, පාවා දුන් විප්ලවය, සිංහල පරිවර්තනය: සේපාල විජේසේකර, ප්‍රකාශනය: ඇස්. ගොඩගේ, 2012)

ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය ආධිපත්‍ය දැරූ ක්‍රෙම්ලිනය අනිත් රටවල් සමඟ ගනුදෙනු කලේ ඒ් රටවල සමාජවාදී විප්ලවය පරදුවට තබමින් කම්කරු පන්තිය පාවාදෙමිනි. එය යුක්ති යුක්ත කලේ සෝවියට් සංගමය තුල සමාජවාදය ගොඩ නැගීම සඳහා එය අවශ්‍ය බව ප්‍රකාශයට පත් කරමිනි.

මීට ප්‍රතිකූලව ලෙනින්, සෝවියට් සංගමය රාජ්‍ය තන්ත්‍රික ගනුදෙනුවල දී කිසිසේත්ම ඒ් ගනුදෙන කරන රටවල විප්ලවයන් පාවා නොදිය යුතු බව අවධාරනය කලේය. ස්ටැලින්වාදී නිලධරය හා ලෙනින්ගේ නායකත්වය අතර පැවති දේශපාලන ක්‍රියාමාර්ගික ප්‍රතිවිරුද්ධතාවය මෙම කෘතිය තුල මෙසේ සංගෘහිතව පෙන්වා දෙනු ලබයි:

“සෝවියට් සභා වල ජාත්‍යන්තර ප්‍රතිපත්තියේ මූලික රීතිය පදනම් වී තිබුනේ පහත සදහන් කරුනු මතය; අධිරාජ්‍යවාදීන් සමඟ සෝවියට් රජය සිදු කරන ඒ් හෝ මේ වානිජමය, රාජ්‍ය තාන්ත්‍රික හෝ යුදමය කේවල් කිරීම් එය මුහුන පා සිටි අවස්ථාව අනුව නොවැලැක්විය හැක්කක් වන නමුත් මොනම හේතුවක් නිසාවත් මෙය අනුරූපී ධනවාදී රටවල නිර්ධන පන්තියේ අරගලය දුර්වල හෝ සීමා නොකල යුතුය, අවසාන විග්‍රහයේදී කම්කරු රාජ්‍යයේ ආරක්ෂාව සහතික කල හැක්කේ ලෝක විප්ලවයේ වර්ධනයෙන් පමනි.” (අවධාරනය ඈඳිනි. ඉහත දැක්වූ පරිවර්තනය: 268 පි.)

ධනවාදය පුනස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය පිලිබඳව පාවා දුන් විප්ලවය මෙසේ පවසයි;

“සෝවියට් පාලන තන්ත්‍රයේ බිඳ වැටීම නොවැලැක්විය හැකි අයුරින් සැලසුම්ගත ආර්ථිකයේ බිඳ වැටීමකටත් ඒ් අනුව රාජ්‍ය දේපල අහෝසි වීමකටත් මඟ පාදයි. සංගතය හා කම්හල් අතර වන අනිවාර්ය බැඳීම ඒ්වා ඇතුලතින්ම ක්‍රමයෙන් අතුරුදහන් වනු ඇත. වඩාත් සාර්ථක ව්‍යවසායයන් ස්වාධීනත්වයේ මාර්ගයට ප්‍රවේශ වීමට සමත් වනු ඇත. ඒ්වා දේපොල වල සංක්‍රමනීය ප්‍රාකාරය වන ව්‍යාපාර වස්තු සමාගම් බවට පරිවර්තනය විය හැකිව තිබේ. එසේ නැතහොත් දේපොල වල වෙනත් සංක්‍රමනීය ප්‍රකාරයක් සොයා ගැනීමට ඉඩ තිබේ. නිදසුනක් වශයෙන් එය ලාබ සම්බන්ධයෙන් කම්කරුවන්ගේ සහභාගීත්වය සහිත සමාගමක් විය යුතුය. ඒ් සමඟම සාමූහික ගොවිපලවල් වඩාත් පහසුවෙන් කැඩී බිඳී විසිරී යනු ඇත. වර්තමාන නීලධාරීවාදී ආඥාදායකත්වය නව සමාජ පර්යායකින් විස්ථාපනය කරනු නොලැබුවහොත් ඒහි බිඳවැටීමෙන් අදහස් වනු ඇත්තේ මේ අයුරින් ආර්ථිකයේ හා සංස්කෘතියේ විනාශකාරී පරිහානියක් සහිත ධනවාදී දේපොල සබඳතා කරා ආපසු ගමන් කිරිමකි.” (ඉහත දැක්වූ පරිවර්තනය: 331 පි.)

මේ පිලිබඳව පසුගිය මස ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිකුත් කල නව වසරේ ප්‍රකාශය තුල සම්පින්ඩනය කෙරුනේ මෙසේය;

“සෝවියට් සංගමය විසුරුවා හැරීම, එහි ඛේදනීය ප්‍රතිවිපාක නොතකා, ‘තනි රටේ සමාජවාදය’ යන ස්ටැලින්වාදී ප්‍රතිපත්තිය පිලිබඳ සාරභූත මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී විවේචනය තහවුරු කලේය. හුදකලා සමාජවාදී රාජ්‍යයක් පිලිබඳ ප්‍රතිගාමී ජාතිකවාදී මනෝරාජ්‍යය, ට්‍රොට්ස්කි පුරෝකථනය කල පරිදි, ලෝක ආර්ථිකයේ යතාර්ථයට ගොදුරු විය”. (අවධාරනය ඈඳිනි) (7වන ඡේදය; 1වන කොටස;)

ලෝක ආර්ථිකයේ යතාර්ථය වූයේ 1980 ගනන් වන විට තාක්ෂනයේ (පරිගනක, ප්‍රවාහන, පනිවිඩ හුවමාරු) වර්ධනය සමඟ නිෂ්පාදනයේ භූගෝලීයකරනය විසින් සියලු ජාතිකවාදී වැඩ පිලිවෙලවල් බංකොලොත් කරනු ලැබීමයි. මෙය සෝවියට් සංගමයේ මෙන්ම නැගෙනහිර යුරෝපයේ “තනිරටේ සමාජවාදය” වැඩ පිලිවෙලට එනම් ආර්ථිකයට තදින්ම බල පෑවේය.

1982 වන විට ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් ධනවාදය පුනස්ථානය කිරීමේ “ආර්ථික පර්යේෂන” අරඹනු ලැබීය. මෙහි ප්‍රතිපල ලෙස 1986 – 1988 කාල පරිඡ්චේදයෙදී සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වූ මිහායිල් ගෝර්බචෙව් දියත් කල පෙරස්ට්‍රොයිකා (යලිගොඩනැඟීම) හා ග්ලැස්නොස්ට් (විවෘතබව හෝ පාරදෘශ්‍ය බව) වැඩ පිලිවෙල ධනවාදය පුනස්ථාපනය කිරීමේ අරමුනෙන් දියත් කල වැඩ සටහනක් වූ බව අද නොරහසකි.

රාජ්‍ය ඒ්කාධිකාරය බිඳ දමමින් පුද්ගලීකරනය දක්වා මෙහෙයවුනු ධනවාදී පුනස්ථාපන ක්‍රියා මාර්ගයන්ට එරෙහිව සෝවියට් සංගමය තුල ලක්ෂ සංඛ්‍යාත පතල් කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් පැන නැගී පැතිරුනු වර්ජනයන් සමඟ දේශපාලන විප්ලවයක එනම් සෝවියට් කම්කරු පන්තිය නිලධාරී තන්ත්‍රයේ දේශපාලන බලයට අභියෝග කරන අවස්ථාවකට පත් වීමේ පෙරනිමිති පහල වීම නිසා බයෙන් බිරාන්තවූ නිලධාරී තන්ත්‍රය වහ වහා ධනවාදය පුනස්ථාපනය කිරීමේ “කම්පන ප්‍රතිකාරය” නමින් හැඳින්වූ අතිශයින්ම රුදුරු ලෙස කම්කරු රාජ්‍යය සතු දේපල බිඳ දැමීමේ ඉහතින් ට්‍රොට්ස්කි පෙන්වා දුන් පිලිවෙත් වේගයෙන් දියත් කලේය. අධිරාජ්‍යවාදයේ සෘජු නියෝජිතයා ලෙස පෙනී සිටි බෝරිස් යෙල්ට්සින්, 1991දී පිහිටුවා ගත් රුසියානු ෆෙඩරේෂනයේ ජනාධිපති විය.

සෝවියට් සංගමය බිඳ දැමීම සමාජවාදයේ අවසානය සටහන් වූ බවත් ධනවාදයට විකල්පයක් නොමැති බව ඉන් සනාථ වූ බවත් කියාපාමින් ප්‍රතිගාමී ප්‍රචාරයක් උසිගැන්වීමට නොයෙකුත් ධනේශ්වර චින්තකයෝ හා ශාස්ත්‍රාලිකයෝ ධනවාදයේ විජයග්‍රහනය සැමරුහ.

එහෙත් සිදුවී ඇත්තේ කුමක් ද?

සෝවියට් සංගමය විසුරුවා දැමීමත් සමග, විශේෂයෙන්ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී පාලකයන් ලෝක බලාධිකාරය යලි අත්පත් කරගැනීමට දශක තුනකට අධික කාලය තුල ගෙනගිය යුද්ධ අද වනවිට ලෝක යුද්ධයේ තර්ජනය මතුකරන මට්ටමට නැගී තිබේ. සමාජ අසමානතාවය පෙර නුවුවිරු මට්ටමකට පලල් වී ඇති අතර ධනවාදයේ අර්බුදය සහ යුද වියදම් බර වැඩකරන ජනයා මතට හෙලමින් රැකියා, වැටුප් හා ජීවන හා සේවා කොන්දේසි කපාහරිමින් තිබේ.

අද ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයයන්ගේ පූර්න පිටුබලය සහිතව ගාසා තීරයේ දස ලක්ෂ සංඛ්‍යාත මහජනයාට එල්ල කෙරෙන අතිශයින්ම ම්ලේච්ඡ ප්‍රහාරය මෙන්ම දස දහස් ගනන් සංක්‍රමනිකයන්ට හා සරනාගතයින්ට බටහිර අධිරාජ්‍යවාදී ආන්ඩු “සතුන්ට” මෙන් සැලකීමත් මහජන වෛරයට පාත්‍රවී ඇත.

අධිරාජ්‍යවාදයේ මෙම ප්‍රහාරයන්ට එරෙහිව ලෝක කම්කරු පන්තිය ප්‍රමුඛ තරුන හා සාමාන්‍ය මහ ජනතාව දස ලක්ෂ සංඛ්‍යාතව ලෝකය පුරා සටනට එලැඹී තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිකුත් කල නව වසරේ ප්‍රකාශය තුල මේ පිලිබඳව සඳහන් කෙරුනේ මෙසේය;

“ලෝක අර්බුදය, මිලියන සිය ගනනින් රැඩිකලීකරනය කරමින් පවතී. මහජනතාවගේ තීරනාත්මක අවශ්‍යතා සහ පාලක පන්තියේ වරප්‍රසාද අතර පරතරය එන්න එන්නම පැහැදිලි වෙමින් තිබේ. අධිරාජ්‍යවාදය විසින් යුද්ධය, ජන සංහාරය, වසංගත සහ ෆැසිස්ට්වාදය සාමාන්‍යකරනය කිරීම, මහජන විඥානයේ විප්ලවීයකරනය සඳහා ප්‍රබල ආවේගයක් සපයනු ඇති අතර, එබැවින් කම්කරු පන්තියේ දේශපාලන දෘෂ්ටිය තුල සමාජවාදය සාමාන්‍යකරනය වනු ඇත.”(34 ඡේදය; 4වන කොටස;)

පාවා දුන් විප්ලවය කෘතිය තුල ට්‍රොට්ස්කි ඉදිරිපත් කල තීරනාත්මක කාරනාව වූයේ රුසියානු විප්ලවය තුල බලය අල්ලා ගත් කම්කරු පන්තියේ ජයග්‍රාහී මාවත රඳා ඇත්තේ ලෝක සමාජවාදී විප්ලවය එනම් අනෙකුත් රටවල විශේෂයෙන්ම දියුනු ධනපති රටවල කම්කරු පන්තිය ධනපති පාලනයන් පෙරලා බලය අල්ලා ගැනීම තුල බවයි.

අද මේ සඳහා වෛෂයික තත්වය වේගයෙන් නිර්මානයවෙමින් පාවා දුන් විප්ලවය කෘතියෙන් ආරක්ෂා කරන ලෝක සමාජවාදී ක්‍රියා මාර්ගය ජයග්‍රහනය කරා ගෙන යා හැකි කාල පරිච්ඡේදයක් දැන් අප ඉදිරියේ විවෘත වෙමින් පවතී.

Loading