ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්, ආර්ථික අර්බුදයේ බලපෑම පිලිබඳ ගෘහස්ථ සමීක්ෂනය – 2023 යන මාතෘකාව යටතේ ප්‍රකාශයට පත් කරන ලද විශේෂ වාර්තාවක් මගින් රටේ ජනගහනයේ පුලුල් කොටස්වලට, ප්‍රධාන වශයෙන් වැඩ කරන ජනතාවට සහ ග්‍රාමීය දුප්පතුන්ට බලපාන, නරක අතට හැරෙන සමාජ අර්බුදය අවධාරනය කර ඇත.
'1948 නිදහසින් පසු ශ්‍රී ලංකාව මේ වන විට එහි වඩාත්ම අභියෝගාත්මක ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින' බව එහි සඳහන් වන අතර, “ආර්ථික අභියෝගවලට මුහුන දීම සඳහා කුටුම්භයන් විසින් අනුගමනය කරන උපාය මාර්ග පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සැපයීම මෙම සමීක්ෂනයේ අරමුන” බව යලියලිත් අවධාරනය කරයි. එය, ආදායම් කලමනාකරනය, කැපවීම් ඉටු කිරීම සහ පවුලේ සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීම ලෙස මෙම අභියෝග පැහැදිලි කලේය.
සොයාගැනීම්වල පිටු 8 කින් යුත් සාරාංශය අනුව, සියයට 91 කට වැඩි කුටුම්භයන් ඔවුන්ගේ වියදම් වැඩි කිරීමට යොමු වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් ආදායම් අඩුවීම ගැන සඳහන් කර ඇත. ප්‍රතිචාර දැක්වූවන් අතරින් සියයට 99 කට වැඩියෙන් පවසා ඇත්තේ ආහාර වියදම් ඉහල යාම පිලිබඳවයි. අනෙකුත් වැඩිවූ වියදම් අතර ප්‍රවාහන වියදම්, සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම්වලට අමතරව විදුලිය, ඇඳුම් පැලඳුම් ආදිය ඇතුලත් වේ.
වාර්තාව, එකතු කරන ලද දත්ත ගැන සඳහන් කරමින් මෙසේ අදහස් දැක්වීය: “ආර්ථික පසුබෑම සහ ඔවුන්ගේ කුටුම්භවල වියදම් කෙරෙහි එහි ප්‍රතිවිපාකවලට මුහුන දීම සඳහා කුටුම්භයන් බොහෝ විට එකවර උපාය මාර්ග කිහිපයක් භාවිතා කරන බව සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය වේ.”
කුටුම්භවලින් සියයට 97 කට වැඩි ප්‍රමානයක් තම වියදම් අඩු කර ගැනීම සඳහා “වියදම් සීමා කිරීම හෝ පාලනය කිරීම” සඳහා විවිධ උපාය මාර්ග භාවිතා කරයි. ආදායම් අඩුවීමට සාපේක්ෂව ආහාර, ප්‍රවාහන හා අධ්‍යාපනික ක්‍රියාකාරකම් වැනි වියදම් සහ පරිභෝජනය අඩු කිරීම මෙයට ඇතුලත් ය. අධ්‍යයනයේ සොයාගැනීම් තවදුරටත්, භෝජන රටා වෙනස් කිරීම, ඉතුරුම් අඩු කිරීම හෝ ඉවත් කිරීම, විකිනීම, උකස් කිරීම හෝ නය ලබා ගැනීම සම්බන්ධ උපාය මාර්ග ගැන ද සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 55 කට ආසන්න ප්‍රමානයක් දැන් නය වී ඇති බව, එනම් රටේ පවුල්වලින් අඩකට වඩා වැඩි ප්‍රමානයකට හිඟ නය ඇති බව වාර්තාව අවධාරනය කරයි. නය බරින් සියයට 22 කට වැඩි ප්‍රමානයක් දෛනික ආහාර අවශ්‍යතාවලින් පැන නගින බව එහි සඳහන් වේ. අනෙක් අතට, නයගැති පවුල්වලින් සියයට 31ක් උකස් මත රඳා පවතී (බොහෝ විට ස්වර්නාභරන - කර්තෘ); සියයට 22 කට ආසන්න ප්‍රමානයක් බැංකු නය ලබාගෙන ඇති අතර සියයට 10 කට ආසන්න ප්‍රමානයක් වෙනත් නය දෙන්නන්ට නය වී ඇත.
වාර්තාවේ සොයාගැනීම් විශේෂයෙන් සඳහන් කරන්නේ, සෞඛ්‍ය සහ අධ්‍යාපනය පිලිබඳව කුටුම්භයන් පොරබදන ක්‍රමෝපායන් පිලිබඳවයි.
වාර්තාවේ සොයාගැනීම් පෙන්නුම් කරන්නේ සමස්ත ජනගහනයෙන් සියයට හතක්, එනම් මිලියන 1.5 කට අධික ජනතාවක් ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රමවේදය වෙනස් කර ඇති බවයි. එම වෙනස්කම්, අත්‍යවශ්‍යතාවය මත පදනම් වූ ප්‍රතිකාර සැකසීම්, ඖෂධ සහ භාවිත රටා ඇතුලත් වේ. ඔවුන් අතරින් සියයට 35 කට වැඩි පිරිසක් ප්‍රතිකාර කරන ස්ථාන වෙනස් කර ඇති අතර සියයට 34 කට ආසන්න පිරිසක් ඖෂධ භාවිතයට යොමු වී ඇත්තේ රෝගය අසාධ්‍ය තත්වයට පත් වූ විට පමනි.
අවුරුදු 3 ත් 21 ත් අතර පුද්ගලයින්ගෙන් සියයට 55 ක් පමන ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින බව වාර්තාව පෙන්වා දෙයි. අධ්‍යාපනයේ වියදම් කපා හැරීම් අතර, බලපෑමට ලක් වූ පුද්ගලයන්ගෙන් සියයට 53 කට වැඩි ප්‍රමානයක් නව ලිපි ද්‍රව්‍ය සඳහා වන වියදම් අඩු කර හෝ ඒවා සම්පූර්නයෙන්ම මිලදී නොගෙන ඇත. තවත් සියයට 44 ක් නව පාසල් නිල ඇඳුම් මිලදී ගැනීම කපා හැර හෝ ඒවා මිලදී ගැනීම සම්පූර්නයෙන්ම නතර කර ඇත. මේවාට අමතරව සියයට 40 කට වැඩි පිරිසක් උපකාරක පන්තිවලට පැමිනීමේ වාර ගනන අඩු කරමින් සිටින අතර සියයට 28 ක් ඔන්ලයින් පන්ති වෙත මාරු වෙමින් සිටිති.
ආර්ථික අර්බුදය, රට තුල විවිධ ක්ෂේත්‍රවල රැකියාවලට සැලකිය යුතු ලෙස බලපා ඇති ආකාරය වාර්තාවේ සඳහන් කර ඇති අතර, “ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා කරන පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමානයකට, ඔවුන් දැනට නියැලී සිටින ප්‍රධාන රැකියාවේ වෙනස්කම් කිරීමට සිදුව තිබේ” යැයි පවසයි. වැඩ විරාම හෝ තාවකාලික නොපැමිනීම, වැඩ කරන පැය ගනන අඩු කිරීම, වැටුප් හෝ දීමනා කපා හැරීම සහ ආදායම් අහිමිවීම වැනි මූලික වෙනස්කම් සිදුව ඇති අයුරු එය පෙන්වයි. '... සියයට 60 කට ආසන්න ප්‍රමානයක් අවම වශයෙන් එක් ආදායම් ප්‍රභවයක අඩුවීමක්වත් වාර්තා කර ඇතැ' යි වාර්තාව පවසයි.
ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සියයට 60.5 ක කුටුම්භ, ඔවුන්ගේ මුලු ආදායමේ අඩුවීමක් අත්විඳ ඇත. ආදායම අඩුවීමට බොහෝ විට වාර්තා වන හේතුව වී ඇත්තේ වැඩ කරන පැය ගනන අඩු වීමයි. අනෙක් ඒවාට රැකියා අහිමිවීම, පාරිභෝගිකයන් පැමිනීමේ අඩුවීම (ව්‍යාපාරවල), ඉන්ධන, පොහොර සහ අනෙකුත් යෙදවුම් සහ නිෂ්පාදන අලෙවි කල නොහැකි වීම වැනි වියදම් ඇතුලත් වේ.
ආදායම් පහත වැටීම අවම කිරීම සඳහා කුටුම්භයන් විසින් භාවිතා කරන උපාය මාර්ග පිලිබඳව ද වාර්තාව සඳහන් කරයි. කෙසේ වෙතත්, අඩු ආදායමට මුහුන දුන් කුටුම්භවලින් සියයට 75 කට ආසන්න ප්‍රමානයක්, එවැනි, අනුගමනය කිරීම සඳහා ප්‍රවේශ විය හැකි කිසිදු උපාය මාර්ගයක් නොමැති බව පෙන්නුම් කරයි. මුහුන දීමේ උපාය මාර්ගයක් ලෙස ද්විතීයික රැකියාවක් හෝ අතිරේක ආදායම් මාර්ගයක් වෙත හැරෙන බව වාර්තා කලේ සියයට හතකට ආසන්න ප්‍රමානයක් පමනි.
ශ්‍රී ලංකාව මුහුන දෙන ආර්ථික අර්බුදය, 2020 මුලදී මතුවූ කෝවිඩ්-19 වසංගතයෙන් ද, 2022 මුල සිට යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් ද උත්සන්න වූ ධනවාදයේ ගෝලීය අර්බුදයේ කොටසකි. දැන් ගාසා තීරය තුල කරගෙන යන ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධය, ඉරානය, සිරියාව සහ ලෙබනනය ඉලක්ක කරගනිමින් එක්සත් ජනපද යුද නෞකා, ගුවන් යානා ගෙනයාම සහ න්‍යෂ්ටික සබ්මැරීන කලාපයට යෙදවීමත් සමඟ මැදපෙරදිග පුලුල් යුද්ධයකට තර්ජනය කිරීම, ශ්‍රී ලංකාවට බලපාන ගෝලීය ආර්ථික අර්බුදය තවත් තීව්‍ර කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීම තුලින්, ආර්ථික අර්බුදයේ සම්පූර්න බර කම්කරුවන් මත පැටවීම, ඔවුන්ගේ රැකියා, වැටුප් සහ සේවා සහ ජීවන කොන්දේසි මත ප්‍රහාර මාලාවක් මුදා හැර ඇත.
“ආර්ථික පසුබෑම හේතුවෙන් කුටුම්භයන් කඩා වැටුනු අතර එහිදී අර්බුදයේ සැබෑ බලපෑම වඩාත් පැහැදිලි වූ” බව පවසමින්, විශේෂයෙන් ජාමූඅ නියෝග යටතේ, අනුප්‍රාප්තික ආන්ඩුවලින් එල්ල කෙරෙන කප්පාදු ප්‍රහාර දියාරු කිරීමට වාර්තාව උත්සාහ කර ඇත. රැකියා කප්පාදු, වැටුප් කප්පාදු, අධි උද්ධමනය සහ අධික බදු පැනවීම වැනි ආකාර, වැඩකරන ජනතාව මත බලපාන සෘජු ප්‍රහාර බව සටහන් කල යුතුය.
ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවරවල බලපෑම, පවතින සමාජ දුක්ඛිත තත්වය තව දුරටත් උග්‍ර කරනු ඇත. 2024 ආරම්භයේ සිට, එකතු කල අගය මත බද්ද (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කර ඇත. ඊට අමතරව ඉන්ධන, පොහොර, පිහුම් ගෑස් ඇතුලු තවත් භාන්ඩ රැසක් සඳහා වැට් බද්ද දීර්ඝ කර තිබේ.
මෙම පසුබිම තුල, අවම වශයෙන් කිවහොත්, සමීක්ෂන වාර්තාවේ ප්‍රකාශිත පරමාර්ථය විගඩමක් වී ඇත. එහි මෙසේ සඳහන් විය: “රට පුරා ඇති කුටුම්භයන් මුහුන දෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති, සමාජ මැදිහත්වීම් සහ ආධාරක යාන්ත්‍රනයන් දැනුවත් කිරීම සඳහා මෙම සමීක්ෂනය හරහා රැස් කරන ලද දත්ත ඉතා අගනේය.”
කලින් ප්‍රකාශ කල පරිදි, කම්කරු පන්තියේ හා ගම්බද දුගීන්ගේ ආර්ථික හා සමාජ කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාර තව තවත් ගැඹුරු කරන ආන්ඩුව, ජාමූඅ කප්පාදු නියෝග මුලුමනින් ම අනුගමනය කරයි.
සමගි ජන බලවේගය (සජබ), ජාතික ජන බලවේගය (ජාජබ) හෝ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි විරුද්ධ පක්ෂ කිසිවක් මෙම ධනේශ්වර ප්‍රහාරයට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ, එම කුරිරු කප්පාදු පිලිවෙත්ම ක්‍රියාවට නංවනුවස් නව ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා, මෙම විනාශකාරී සමාජ තත්වයන්ගෙන් කැකෑරෙන මහජන අතෘප්තිය ගසාකෑමට ය.
අපගේ අනාගතය නිර්මානය කර ගැනීම: ආසියා සහ පැසිෆික් කලාපයේ මානව සංවර්ධනය සඳහා නව දිශාවන් යන මැයෙන් වූ මෑත කාලීන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යූඑන්ඩීපී) වාර්තාව ද, ශ්‍රී ලංකාවේ සමාජ අසමානතාවයේ ගැඹුරු වීමත්, ආසියා පැසිෆික් කලාපයේ වත්කම් අසමානතාවය ඉහල ම රටවල් පහ අතරට එය පැමිනීමත් හෙලිදරව් කරයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව මගින් ඉස්මතු කරන ලද මෙම ගැඹුරු වූ සමාජ අර්බුදය, ජාමූඅ විසින් නියම කරන ලදුව, වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන කප්පාදු සමග තව දුරටත් ඔඩු දුවනු ඇත. මෙම කරුනු අවධාරනය කරන්නේ ජනගහනයෙන් අතිමහත් බහුතරයක් මුහුන දෙන සමාජ ගැටලු කිසිවක් ධනවාදය තුල විසඳිය නොහැකි බවයි. කම්කරු පන්තිය, ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුල බලමුලු ගන්වමින්, ග‍්‍රාමීය දුගීන් පෙලගස්වා ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා පුලුල් අරගලයක කොටසක් ලෙස ධනේශ්වර පාලනය පෙරලා දැමීමේ සහ සමාජවාදී ප‍්‍රතිපත්තිවලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ තමන්ගේම විසඳුම සඳහා සටන් කිරීමට, කාරනා තමන්ගේ අතට ගත යුතුය.