ලංකාව ආසියා පැසිෆික් කලාපයේ ඉහලම අසමානතාව ඇති රටවල් පහට අයත් බව යූඑන්ඩීපී වාර්තාව හෙලි කරයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (යූඑන්ඩීපී) පසුගිය සතියේ නිකුත් කල 'අපගේ අනාගතය නිර්මානය කිරීම: ආසියා සහ පැසිෆික් කලාපයේ මානව සංවර්ධනය සඳහා නව දිශාවන්,' (Making Our Future: New Directions for Human Development in Asia and the Pacific), නමැති වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ධනය බෙදී යාමේ අසමානතාව සම්බන්ධයෙන් ආසියා පැසිෆික් කලාපයේ ඉහලින්ම ඇති රටවල් පහෙන් එකක් බව හෙලිකර තිබේ.

වාර්තාවේ මෙසේ සඳහන් වේ'

“දකුනු ආසියාවේ ධනය බෙදීයාමේ අසමානතාව පිලිබඳ ගිනි සංගුනකය 0.71 සිට 0.77 [ගිනි සංගුනකය යනු රටක ජනයාගේ ආදායම හෝ ධනය බෙදී යාම පිලිබඳ මිනුමක් වේ. මෙම සංගුනකය 0 යනු පූර්න සමානතාවයයි. එය 1 නම් පූර්න අසමානතාවය, එනම් එක් පුද්ගලයෙකු අත සියලු ධනය සංකේන්ද්‍රනය වීම සටහන් කරයි---මෙම ලිපියේ කර්තෘගේ සටහනකි] දක්වා ඉහල ගොස් තිබේ. කලාපයේ බොහෝ රටවල පහලම ආදායම් ලබන සියයට 50 හි ධනයේ පංගුව සියයට 6ක්වත් නොඉක්මවීම අවධානයට ලක් විය යුතු බැරෑරුම් කරුනකි. ඉහලම සියයට 10 හි ධනයේ පංගුව මඟින් ධනය බෙදී යාමේ අසමානතාව මනිනු ලබන, ඉහලම ධන අසමානතාවය ප්‍රදර්ශනය කරන රටවල් අතරට තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුලත් වේ.”

සමාජ අසමානතාවය උග්‍ර වෙමින් පවතින්නේ ලොව පුරා ධනේශ්වර ආන්ඩු විසින් කෝවිඩ් වසංගතය ලොව පුරා පැතිරීම වැලැක්වීමේ ක්‍රියා මාර්ග නොගනිමින් සිය ලාභ පොදි තර කර ගැනීම සඳහා වැඩ කරන ජනයා වැඩට දක්කමින් වසංගතයට ගොදුරු කිරීමට ගත් පියවරයන් මෙන්ම යුක්‍රේනය මැදි කර ගනිමින් රුසියාවට පහර දී යටත් කර ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ නැටෝ බලයයන් විසින් දියත් කල යුද්ධය මඟින් උත්සන්න කෙරුනු ගෝලීය ආර්ථික කඩාවැටීම මඟිනි.

දැන් ඊශ්‍රායලය විසින් ගාසාතීරුව තුල කෙරෙන ජන ඝාතන යුද්ධයට ඇමරිකාව ඇතුලු බටහිර බලයයන් මුදල් පොම්ප කරන්නේ ඒ් ඒ් රටවල කම්කරු පන්තීන්ගේ ජීවන මට්ටම් කප්පාදු කරමින් හා සමස්ත ගෝලීය ආර්ථික අර්බුදය තවතවත් උග්‍ර කරමිනි.

සමාජයේ පොහොසත්ම සියයට 10 සමස්ත ආදායමෙන් සියයට 50ට අධික පංගුව නොකඩවා භුක්ති විඳින බව පෙන්වා දෙන යූඑන්ඩීපී වාර්තාව මෙම තත්වය දකුනු ආසියාවේ උග්‍ර වෙමින් පවතින බව පෙන්වා දෙයි. උත්සන්න වී ඇති ලෝක ආර්ථික කඩා වැටීමේ තියුනුම ප්‍රකාශනයක් දකුනු ආසියාව තුල පිහිටි ලංකාවෙන් ප්‍රකට වී තිබේ.

යූඑන්ඩීපී ආයතනයේ දේශීය ආර්ථික විශේඡඥවරිය වන වගීෂා ගුනසේකරට අනුව ලංකාවේ ආර්ථික අර්බුදයේ සන්දර්භය තුල දරිද්‍රතාවය අඩුකිරීම පිලිබඳව ඉහත දී ලබාගත් සියලු අත්කර ගැනීම් නිෂ්ප්‍රභා වී ගොස් තිබේ. 2022දී ආර්ථික අර්බුදය උග්‍ර වීමට පෙරාතුවමත් සුවිසල් අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රය ඇතුලුව අසමානතාවය මුල් බැස පැවතිනි.

ඇයට අනුව විශේෂයෙන්ම කෝවිඩ් වසංගතය හා ආර්ථික කඩා වැටීම රට තුල ධනය හා ආදායම් බෙදී යාමේ අසමානතාවය ඉහල යෑමට තදින්ම බලපා තිබේ.

ඇය මෙසේ පැවසුවාය; “ශ්‍රී ලංකාව සැලකිය යුතු ඉහල ආදායම් විෂමතාවයක් ඇති රටකි; අප සිටින්නේ ලෝකයේ අසමාන රටවලින් ඉහලම තුනෙන් එකේ වන අතර ධන අසමානතාවයද ඉතා ඉහලය. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ඉහලම සියයට එකට රටේ සමස්ත පුද්ගලික ධනයෙන් සියයට 31ක් හිමි වන අතර, පහල සියයට 50ට හිමි වන්නේ රටේ සමස්ත ධනයෙන් සියයට 4කට අඩු ප්‍රමානයක් පමනි. අපේ රට කෙතරම් අසමාන ද යන්න පිලිබඳ කෙටි ඡායාරූප සටහනක් මෙය අපට සපයයි.”

කෝවිඩ් වසංගතය සමඟ උග්‍රවූ ආර්ථික අර්බුදය තුල මහා ව්‍යාපාරික ලාභ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අයුරින් රැකියාවන්ගෙන් දොට්ට දැමීම හා වැටුප් කැපීම නීත්‍යානුකූල කෙරිනි. ඒ් අනුව ලක්ෂ පහකට වඩා රැකියා අහිමි කෙරිනි.

යූඑන්ඩීපී වාර්තාවේ මෙසේ සඳහන් කෙරේ;

“වසංගතය සහ ඉන් පසුව ඇති වූ වසා දැමීම් කලාපයේ අවිධිමත් ශ්‍රම බලකායෙන් අඩකට පමන බලපෑවේය - බොහෝ රටවල් අවිධිමත් සේවකයින් විශාල සංඛ්‍යාවක් සේවය කරන සංචාරක, ප්‍රේෂන සහ නිෂ්පාදන වලින් ලැබෙන ආදායමෙන් බරපතල පාඩු ලැබීය...විශේෂයෙන්ම දකුනු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ, සෞඛ්‍ය සේවා පද්ධතිවල දුර්වලතා එම (වසංගතයේ) කම්පනයන් මඟින් හෙලි කෙරිනි. ඉන්පසුව යුක්‍රේනයේ යුද්ධය සහ ජීවන වියදම් අර්බුදය ඇති විය. 2020 සහ 2021 දී, වසංගතය සමඟ ඒකාබද්ධව, මෙම පහර මාලාව නැගෙනහිර ආසියාව හැර අනෙකුත් සියලුම උප කලාපවල මානව සංවර්ධන දර්ශකයේ පුලුල් පරිහානියකට හේතු විය.”

2022 අප්‍රේල් මස ලංකාවේ ආන්ඩුව විදේශ නය පැහැර හැර බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැදිහත් වුනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ වැඩ කරන ජනයා මතට ආර්ථික කඩා වැටීමේ බර සම්පූර්නයෙන් පටවමින් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ඇති නය මිරිකා ගැනීමට හා මහා ව්‍යාපාරික ලාභ පවත්වා ගෙන යාමට අවශ්‍ය කප්පාදු කොන්දේසි නිර්දේශ කලේය.

2022 අග වන විට ආහාර උද්ධමනය සියයට 90ට ලඟාවූ අතර සාමාන්‍ය උද්ධමනය සියයට 70 ට ලඟා විය. මෙලෙස වැඩිවූ බඩු මිල එතැනින් ඉහලට මිස පහලට ගොස් නැත. මේ වන විට රාජ්‍ය අංශයේ ආයතන 430ක් විකිනීම හා වසා දැමීම මඟින් තවත් ලක්ෂ පහක් පමන රැකියා විනාශ කිරීමට වැඩ කටයුතු සම්පාදනය කෙරේ.

වැඩ කරන ජනයා මත බදු පිට බදු පනවා තිබෙන අතරතුර කෝපරේට් බදු පහත මට්ටමක පවත්වාගෙන යයි. උපයන විට ගෙවන බදු, එකතු කල අගය මත පනවන බද්ද, (වැට්), භාන්ඩ හා සේවා මත බදු මෙයින් ප්‍රධානය. 2024 ආරම්භයේ සිට වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කෙරෙන අතර ඉන්ධන, පිසින ගෑස් හා .පොහොර ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩ 97 කට වැට් බද්ද යොදනු ලබයි.

යූඒන්ඩී පී වාර්තාවට අනුව නය මත යැපෙන ලංකාවේ නිවාස වලින් සියයට 31ක් සිය කනකර උකස් කරන අතර සියයට 24ක් පොලීකරුවන් මතද සියයට 23ක් බැංකු නය මතද වාරුවී සිටියි.

මේ වසරේ ජූනි මස වනවිට රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7ට අධික වූ නිවාසවල නය ප්‍රමානයෙන් සියයට 42ක් පමන ආර්ථික ප්‍රශ්න සඳහාද, සියයට 20ක් පමන ආහාර, ඉන්ධන ආදිය සඳහාද සියයට 33ක් පමන නිවාස හා අලුත්වැඩියාවන් සඳහාද නය ලබාගෙන තිබේ.

දකුනු හා ගිනිකොන දිග ආසියාවේ ධනය බෙදීයාමේ අසමානතාවය නිදන්ගතව පවතින බව පෙන්වාදෙන වාර්තාව මානුෂීය සංවර්ධනය අතිශයින්ම අසමාන මට්ටමක පවතින බවද පෙන්වා දෙයි. දකුනු ආසියානු රටවල් අතුරින් ලොව වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දියාව පිලිබඳව වාර්තාව මෙසේ සඳහන් කරයි.

“ශීඝ්‍ර වර්ධනයක් නමුත් නොනවතින විෂමතාවක් මධ්‍යයේ, ආදායම් බෙදීයාම වඩාත් විකෘති වී ඇත. ජනගහනයේ ඉහලම සියයට 10 ජාතික ආදායමෙන් සියයට 57ක් ලබා ගන්නා අතර ඉහලම සියයට 1ට සියයට 22ක් ලැබේ - එය ඉතාමත් අසමාන ආදායම් බෙදීයාමකි. සමාජ ධනයේ බෙදී යාමද ඊට සමානය. ජනගහනයෙන් ඉහලම සියයට 10 ජාතියේ මුලු ධනයෙන් සියයට 65ක් පාලනය කරයි. ප්‍රධාන වශයෙන් 2000 වසරෙන් පසු කාලපරිච්ඡේදය තුල ධන අසමානතාවයේ ප්‍රබල ඉහල යාමක් පිලිබඳ සාක්ෂි වර්ධනය වෙමින් පවතී.”

මෙම ප්‍රහාර මඟින් යූඑන්ඩීපී වාර්තාවේ පෙන්වා ඇති අසමානතාවයේ ඉහල යාම තවතවත් උග්‍ර වනු ඇත. එම තත්වය මඟින් 2022 මහජන නැගිටීම පරයා යන මහජන පිපිරීමක ලක්ෂන වර්ධනය කෙරෙමින් පවතී. ඉන් තැතිගැනී සිටින ධනපති පන්තියේ කොටස් එවැනි නැගිටීමක් වැලැක්වීමට, මැඩීමට හා තලා දැමීමට සූදානම වේගවත් කර ඇත.

ඊට වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිචාරය වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සියල්ල පාගා දැමීම සඳහා මිලිටරි - පොලිස් මර්දනය මෙන්ම මර්දන නීති, උසාවි හා හිර ගෙවල් යොදා ගැනීමයි. ත්‍රස්ත විරෝධී පනත හා සමාජ මාධ්‍ය මර්දන පනත රටේ නීතිය බවට පත් කිරීමට ආන්ඩුව ක්‍රියා කරමින් සිටියි.

ධනේශ්වර පද්ධතියේ සමාජ අසමානතාවයේ විෂම චක්‍රය පිලිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ පිලිවෙලේ වාර්තාවෙහි මෙසේ සඳහන්වේ.

“මෙම දිගටම පැවතීගෙන යන ධන බෙදීම විවිධ සාධක මගින් මෙහෙයවනු ලැබේ. නිදසුනක් වශයෙන්, ගෝලීයකරනය සහ තාක්ෂනික දියුනුව සමහර කන්ඩායම් සඳහා නව අවස්ථා නිර්මානය කර ඇති අතර අනෙක් අය පසු පසට තල්ලු කර දමා ඇත. මෙමගින් සාමාන්‍යයෙන් සිදුව ඇත්තේ ප්‍රාග්ධනයේ හිමිකරුවන්ට ජාතික ආදායමෙන් වැඩි කොටසක් ඇදී යාමයි. උදාහරනයක් ලෙස, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත පෙන්නුම් කරන්නේ, ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ශ්‍රමයට ලැබෙන්නේ ලෝක සාමාන්‍යයට වඩා අඩු ආදායම් කොටසක් බවයි. ඒහි ප්‍රතිඵලයක් ලෙස, කම්කරුවන්ට ඉතිරි කිරීමට සහ ආයෝජනය කිරීමට අඩු ආදායමක් ඇති අතර, අසමානතාවය තවත් නරක අතට හැරේ. මෙම විෂම චක්‍රයේ වඩාත්ම අවදානමට ලක්විය හැක්කේ අවිධිමත් අංශයේ සේවය කරන කම්කරුවන්, විශේෂයෙන් කාන්තාවන් ය. දූෂනය, (ධනවතුන් සඳහා) දුර්වල බදු ප්‍රතිපත්තිය සහ පරිපාලනය මෙන්ම ඵලදායී සමාජ ආරක්ෂන ජාල නොමැතිකම නිසා අසමානතාවය තව දුරටත් උග්‍ර වේ.”

ලංකාව ඇතුලු කලාපීය රටවල ප්‍රකාශයට පත්ව තිබෙන්නේ ගෝලීය වශයෙන් ගැඹුරුවන සමාජ අසමානතාවයයි. මේ අවුරුද්ද මුල නිකුත්වූ ඔක්ස්ෆෑම් වාර්තාව අනුව 2020 හා 2021 අතර කාලය තුල නිර්මානය කෙරුනු ධනයෙන් සියයට 63ක්ම, එනම් ඩොලර් ට්‍රිලියන 26කට වැඩි ප්‍රමානයක් උරාබොන ලද්දේ ධනවත්ම සියයට 1 විසිනි. ඊට පහලින්, සියයට 9 ධනයෙන් සියයට 27ක් ඩෑහැ ගත් අතර පහලින් සිටින සියයට 90ටම, එනම් බිලියන 7.2 ජනයාට ලැබුනේ එම කාලය තුල නිර්මානය කෙරුනු ධනයෙන් සියයට 10ක් පමනි. '

පලල් වන 'විෂම චක්‍රය' බිඳ දැමිය හැකිය, බිඳ දැමිය යුතුය. එය කල හැක්කේ ලෝක කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමෙනි.

වැඩ කරන ජනයා විසින් නිෂ්පාදනය කරන ධනයේ අති දැවැන්තම කොටස පාලක ප්‍රභූව ප්‍රමුඛ ධනපති පන්තිය විසින් සූරා කනු ලැබීම උත්සන්න කිරීම හා ඉන් තවත් දැවැන්ත කොටසක් නය හා පොලී ලෙස ජාත්‍යන්තර නයකරුවන්ට ගෙවීමේ ජාමූඅ හි කොන්දේසි වලට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුලු සියලු විරුද්ධ පක්ෂ එකඟ වේ. රටට වෙනත් මඟක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුන පුනා අවධාරනය කරන්නේ එම පසුබිම තුලය. කම්කරු පන්තිය මෙම කොන්දේසි වලට රුදුරු ලෙස බැඳ තැබීමේ ක්‍රියා කලාපය ඉටු කරමින් සිටින්නේ වෘත්තීය සමිති නිලධරයයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වමේ පක්ෂ එහි කොටස් කරුවන් වෙයි.

උග්‍රවන සමාජ අසමානතාවය අවසන් කල හැක්කේ ගම්බද ජනයාගේ සහය සහිතව කම්කරු පන්තිය දේශපාලන බලය තම අතට ගැනීම සඳහා සංවිධානය වීම මඟිනි. ඒ් සඳහා ඉදිරියට යා හැක්කේ සමිති නිලධරයේ පාවාදීම් වලට එරෙහිව කම්කරු පන්තිය සිය ස්වාධීන බල සංස්ථා ලෙස ක්‍රියාකාරී කමිටු තනා ගනිමින් කම්කරු පන්තියේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩ නැගීමට පියවර ගැනීමෙනි. එවන් සම්මේලනයක් මෙම ඉහල නගින සමාජ අසමානතාවයට අවසන් තිත තබන්නාවූ සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවකට මඟ සකස් කරනු ඇත.

විදේශ නය ගෙවීම නිශ්ප්‍රභාකිරීම හා මහා සමාගම් හා ප්‍රකෝටිපතීන් විසින් සූරාගත් සියලු ධනය කම්කරු පාලනය යටතේ සමාජය සතු කිරීම ඇතුලත් එම වැඩ පිලිවෙල ක්‍රියාවට දැමීමට සමත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම වැඩකරන ජනයා මුහුන දෙන ව්‍යසනය නතර කිරීමේ එකම මාර්ගයයි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි.

Loading