ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සර රැස්වීම් සඳහා උද්ඝෝෂනයට උද්‍යෝගිමත් ප්‍රතිචාරයක් හිමිවෙයි

[මෙය Enthusiastic response to campaign for Sri Lankan Centenary of Trotskyism meetings යන මැයෙන් 2023 දෙසැම්බර් 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජාතික ලේකම් ජෝශප් කිෂෝර්, ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය සැමරීම සඳහා සසප සහ සමාජ සමානතාව උදෙසා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් සංවිධානය කරන ලද රැස්වීම් වල කථා කිරීමට ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතය.

කිෂෝර් 2008 සිට සසප (එක්සත් ජනපදයේ) ජාතික ලේකම් වන අතර හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ප්‍රකාශයට පත් කරන ලෝක සමාජවාදී වෙබ් අඩවියට නිරතුරු ලිපි සම්පාදනය කරයි. ඔහු 2020 එක්සත් ජනපද මැතිවරනයේදී සසප ජනාධිපති අපේක්ෂකයා ද විය.

මෙම රැස්වීම් දෙකෙන් පලමුවැන්න 'ලියොන් ට්‍රොට්ස්කි සහ 21 වන සියවසේ සමාජවාදය සඳහා අරගලය' යන තේමාව යටතේ දෙසැම්බර් 7 වන දින පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ අනුග්‍රහයෙන්, විශ්ව විද්‍යාලයේ අංක 86 හිදී පැවැත්වෙන අතර දෙවැන්න දෙසැම්බර් 10 වැනිදා කොලඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.

සසප සාමාජිකයින්, 2023 දෙසැම්බර් ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය ගැන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් සමග සාකච්ඡා කරමින්

මාක්ස්වාදය ආරක්ෂා කිරීමටත් වර්ධනය කිරීමටත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙනගිය සියවසක අරගලය සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය සඳහා එහි සමකාලීන අදාලත්වය පැහැදිලි කරමින් සසප සහ සසජාතශි රැස්වීම් සඳහා උද්ඝෝෂනය කරයි. එය කම්කරුවන් හා තරුනයින්ගෙන් උද්‍යෝගිමත් ප්‍රතිචාරයක් ආකර්ෂනය කර ගෙන ඇත.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන්, ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයින් විසින් දක්වන ලද අදහස් කිහිපයක් පහත පල කෙරේ.

කලා පීඨ ශිෂ්‍යයෙකු වන චමිල් මෙසේ පැවසීය: “පසුගියදා මෙම විශ්ව විද්‍යාලයේ සසජාතශි විසින් පවත්වන ලද දේශන දෙකකට මම සහභාගී වුනා. ට්‍රොට්ස්කි සහ ඔහු ගොඩනැගූ ව්‍යාපාරය ගැන මා මුලින්ම දැනගත්තේ යුක්‍රේන යුද්ධය පිලිබඳ දේශනයෙන්.

“එම දේශන පෙන්වා දුන්නේ, ධනවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන සටනක් හරහා ලෝක යුද්ධයේ අන්තරාය සහ අපගේ අයිතීන්ට එරෙහි ප්‍රහාර නැවැත්විය හැකි බවයි. මම ඒකට එකඟයි.

“අද සාකච්ඡාව තුලින්, මෙම කරුනු 20 වැනි සියවස ආරම්භයේදී පවා ට්‍රොට්ස්කි විසින් පැහැදිලි කර ඇති බව මම දැන ගත්තා. කෙසේ වෙතත්, ඔවුන්ගේ මාධ්‍ය ද ඇතුලු පාලකයන්ගේ බලය ගැන සලකා බලන විට මේ ආකාරයේ වැඩපිලිවෙලකට කම්කරුවන් තම පැත්තට දිනා ගත හැකිද යන්න පිලිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා.”

ධනපති පාලකයන්ට එවැනි බලයක් තිබියදී ම, කම්කරු පන්තිය පසුගිය වසරේ මිලියන සංඛ්‍යාත ජනතාවක් ආකර්ශනය කර ගත් ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමට සම්බන්ධ වූ විට, එය සිය දැවැන්ත ශක්තිය ප්‍රකාශ කල බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පැන යාමට සිදු විය.

චමිල් එයට මෙසේ පිලිතුරු දුන්නේය: “ඔව්, කම්කරු පන්තියට එවැනි බලයක් තිබෙන බව එයින් පැහැදිලි වෙනවා. නමුත් රාජපක්ෂගෙන් පසුව දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්‍ර පෞද්ගලීකරනය කිරීමයි. පොලිසිය යොදවා උද්ඝෝෂන මර්දනය කරනවා.”

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම් සහ වෘත්තීය සමිති, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන වැනි ධනේශ්වර විරුද්ධ පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන ලද “අන්තර්වාර ආන්ඩුවක්” සඳහා වූ ඉල්ලීමට යටත් කිරීම මගින් මහජන නැගිටීම පාවා දුන් බව සසප හා සසජාතශි සාමාජිකයෝ පැහැදිලි කලහ. ඒ පාවාදීම වික්‍රමසිංහ ආන්ඩුවට පාර කැපීය.

පසුව සාකච්ඡාව, 1917 රුසියානු විප්ලවයේ දී ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ බොල්ෂෙවික් පක්ෂය විසින් ඉටු කරන ලද භූමිකාව වෙත යොමු විය. චමිල් තවදුරටත් මෙසේ පැවසීය: “බෝල්ෂෙවික් පක්ෂය තිබූ නිසා රුසියානු විප්ලවය සාර්ථක වූ බව මට දැන් වැටහෙනවා. තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා, මම දේශනයට සහභාගී වෙනවා.”

(වමේ සිට) සුජිත් සහ චමිල් 2023 දෙසැම්බර් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂනය අතරතුර සසප සාමාජිකයන් සමග කතා කරමින්

තවත් කලා පීඨ ශිෂ්‍යයෙකු වන සුජිත් මෙසේ අදහස් දැක්වීය: “ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමකින් තොරව යුද්ධය නැවැත්විය නොහැකි බවත් ඒ සඳහා ක්‍රියා කරන්නේ ඔබේ ව්‍යාපාරය පමනක් බවත් මම පිලිගන්නවා. ඔබේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙන ඒම සඳහා සමාජ මාධ්‍ය නිර්මානශීලීව භාවිතා කල යුතුයි කියලයි මම හිතන්නෙ.”

ලෝසවෙඅ සහ සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් කම්කරුවන් හා තරුනයින් වෙත ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය සහ වැඩපිලිවෙල ගෙන ඒමට සසප සහ සසජාතශි ක්‍රියා කරන ආකාරය උද්ඝෝෂකයින් විස්තර කලහ. 21 වැනි සියවසේ මාක්ස්වාදය වූ ට්‍රොට්ස්කිවාදයෙන් සන්නද්ධ කේඩරයක් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඔවුහු පෙන්වා දුන්හ.

සුජිත් මෙසේ ප්‍රතිචාර දැක්වීය: “ඇත්ත වශයෙන්ම, ඔබ පවසන පරිදි කම්කරුවන් හා තරුනයන් තුලට අප ගෙන ආ යුතු දේ ගැන අප සිතා බැලිය යුතුයි. ඒ සඳහා ට්‍රොට්ස්කිවාදයෙන් සන්නද්ධ කේඩරයක් අවශ්‍ය බව මම පිලිගන්නවා. සමාජයේ විප්ලවවාදී පන්තිය කියන්නෙ කම්කරු පන්තිය බවත් ශිෂ්‍යයන් කම්කරු පන්තිය දෙසට හැරී තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා එහි නායකත්වය යටතේ සමාජවාදය සඳහා සටන් කල යුතු බවත් මම මෙම සාකච්ඡාවේදී තේරුම් ගත්තා.”

විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙකු වන රුචිර මෙසේ පැවසීය: “ට්‍රොට්ස්කිගේ නම මා අසා තිබුනත්, ඔහු ඉතිහාසයේ මෙතරම් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරලා තියෙන බව මම දැන සිටියේ නැහැ. ඔබේ පැහැදිලි කිරීමත් එක්ක මට එක දෙයක් තේරෙනවා; ලෝකයේ සෑම කෙනෙකුම මුහුන දෙන භයානක යුද්ධ, විරැකියාව, දරිද්‍රතාවය, වසංගත සහ පරිසර විනාශය, කොටින්ම කියතොත්, අපි මුහුන දෙන සෑම ප්‍රශ්නයකම මූලයන් තියෙන්නෙ ධනවාදය සහ යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය තුල.

“මැදපෙරදිග සහ යුක්‍රේනයේ යුද්ධ සහ අනෙකුත් ගැටලුවලට ලෝකයේ ඇත්තේ එකම විසඳුමයි. එය නම් ධනේශ්වර ක්‍රමය සහ එහි ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක් මත ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමයි. එක පාරටම අමාරු වැඩක් වගේ පෙනුනත්, තරුනයින්, ශිෂ්‍යයින් සහ ජනතාවගෙන් බහුතරය යුද්ධ නවත්වන්න කියලා උද්ඝෝෂනවල නියැලෙන හැටි අපි ප්‍රවෘත්තිවල දකිනවා. ඒ නිසා මම හිතනවා අපිට ජය ගන්න පුලුවන් කියලා. අනිවාර්යයෙන්ම මම දෙසැම්බර් 7 රැස්වීමට එනවා.”

විශ්වවිද්‍යාල සිසුන් මුහුන දෙන දුෂ්කරතා පැහැදිලි කරමින් ඉංජිනේරු ශිෂ්‍යයකු වන විමුක්ති සාකච්ඡාවට එක් විය.

නේවාසිකාගාර පහසුකම් නොමැති සිසුන්ට මසකට අවම වශයෙන් රුපියල් 5,000 ක් වත් ගෙවා පිටත නවාතැන් පහසුකම් සොයා ගැනීමට සිදුවෙනවා. එවැනි සිසුන්ගෙන් බහුතරයකට විශ්වවිද්‍යාල ආපනශාලාවලින් අඩු මිලට නිර්මාංශ ආහාර ගැනීමට සිදුවෙනවා.

“කාමර කුලිය, කෑම බීම සහ අනෙකුත් වියදම් සඳහා මාසයක් සඳහා මුලු වියදම අවම වශයෙන් රුපියල් 15,000 සිට 20,000 දක්වා වෙනවා. අහස උසට නැඟෙන ජීවන වියදම නිසා දෙමාපියන්ට එවැනි වියදම් දරාගන්න බැහැ. ඒ නිසා අපිට අර්ධකාලීන රැකියා කරන්න සිදුවෙලා. ඒක අපේ අධ්‍යාපනයට බාධාවක්.”

සිසුන්ට උපාධියක් ලබා ගත හැකි වුවද රැකියාවක් සොයා ගැනීමේ ගැටලුවට ඔවුන් මුහුන දෙන බව විමුක්ති ද පැවසීය. ඔහු ඇතුලු තරුන තරුනියෝ මේ ගැටලුවලට විසඳුම් සොයමින් සිටිති.

“ඔබ විස්තර කල පරිදි, මර ලතෝනි දෙන ධනවාදය යටතේ ගැටලු සඳහා විසඳුම් සෙවිය නොහැකි බව ඉතා පැහැදිලියි. ඔබේ ව්‍යාපාරය ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී විසඳුම තර්කානුකූලයි. තවත් පැහැදිලි කර ගැනීම සඳහා, මම මගේ යාලුවත් එක්ක දෙසැම්බර් 7 රැස්වීමට එනවා.”

සසප සහ සසජාතශි සාමාජිකයින් මනෝවිද්‍යා අංශයේ අවසන් වසරේ සිසුන් පිරිසකට දෙසැම්බර් 7 දේශනයේ මාතෘකාව සහ එහි අන්තර්ගතය පැහැදිලි කිරීමෙන් පසු එක් ශිෂ්‍යාවක් මෙසේ පැවසුවාය:

“පසුගිය ශතවර්ෂයේ මානව වර්ගයා මුහුන දුන් සියලු තීරනාත්මක ගැටලු උග්‍ර ලෙස නැවත මතු වී ඇති බව ඔබ කියනකොට, එම සියවසේදී ඒවා විසඳීමට නොහැකි වූනේ ඇයි කියලා මට තේරුම් ගන්න අමාරු වුනා. ට්‍රොට්ස්කි සහ ඔහුගේ ව්‍යාපාරය අඛන්ඩව සටන් කරමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සිටියත්, ඒක සාක්ෂාත් කරගන්න බැරි වුනේ ට්‍රොට්ස්කිගේ වැඩපිලිවෙලට එරෙහිව ලොව පුරා කම්කරුවන් අතර අනෙකුත් ව්‍යාපාර ක්‍රියා කල නිසා බව මම තේරුම් ගත්තා. වත්මන් පරපුර ලෙස අපි මේ ඓතිහාසික කරුනු දැනගත යුතුයි. ඒ නිසා අපි රැස්වීමට සහභාගි වෙනවා.”

විශ්ව විද්‍යාලයේ දුරස්ථ අධ්‍යයන අංශයේ අනධ්‍යයන සේවකයෙකු වන චතුරංග පැවසුවේ දේශපාලන වැඩපිලිවෙලක් නොමැතිව වික්‍රමසිංහ ආන්ඩුව විසින් එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ කෙසේද යන්න පිලිබඳව තමා ව්‍යාකූල වී ඇති බවයි. දැන් ඔහු එය තෙරුම් ගත්තේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඇසීමෙන් පසුවය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “වෘත්තීය සමිති ඉල්ලා සිටියේ [මාසික වැටුපෙන්] රුපියල් 20,000 වැඩි කිරීමක් විතරයි; අපේ මාසික ආදායමේ සැබෑ වටිනාකම ඉතා අඩුයි. ඒ මුදල තීරනය කරන්න කලින් අපිත් එක්ක සාකච්ඡා කලේ නැහැ. දැන් අවම වශයෙන් මසකට රුපියල් 50,000 ක් අපේ මූලික වැටුපට එකතු කල යුතුයි. නැත්නම් අපිට ජීවත් වෙන්න බැහැ.

“ආන්ඩුව අයවැයෙන් දීලා තියෙන්නේ රුපියල් 10,000 ක දීමනාවක් විතරයි. එවැනි සොච්චම් මුදලක් පිරිනැමීමට ආන්ඩුවට පාර කැපුවේ වෘත්තීය සමිති. ආන්ඩුවත්, වෘත්තීය සමිතිත් එකමුතුවයි කටයුතු කරන්නෙ. ඒ නිසා අපිට වෘත්තීය සමිති ගැන විශ්වාසයක් නැහැ.

“ධනපති ක්‍රමය යටතේ අපේ ප්‍රශ්න විසඳන්න බැහැ කියන ඔබේ පැහැදිලි කිරීමට මම එකඟයි. මගේ මෑත අත්දැකීමෙන් මම එය තේරුම් ගත්තා. අපේම සටන් සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු සඳහා අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. මම මේ ගැන මගේ යාලුවන් එක්ක කතා කරලා දෙසැම්බර් 7 වන දින දේශනයට සහභාගී වන ලෙස ඔවුන්ව ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා.”

විශ්ව විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂන අංශයේ කථිකාචාර්ය අහමඩ් මෙසේ පැවසීය: “මම ගාසා තීරයේ ජන සංහාරයට සම්පූර්නයෙන්ම විරුද්ධයි. මේ ජන සංහාරයට පූර්න පිටුබලය දෙන අධිරාජ්‍යවාදීන්ගේ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට යුද්ධය නැවැත්වීමට ආයාචනා කිරීම මුලුමනින්ම නිෂ්ඵල යි. මේ [ගාසාවට එල්ල කරන] ම්ලේච්ඡ ප්‍රහාරය නවත්වන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියදීයි මට ඔබව මුනගැසුනේ. අරාබි සහ යුදෙව් කම්කරුවන්ගේ එකමුතුව හරහා මැදපෙරදිග එක්සත් සමාජවාදී ජනරජයකට සටන් කිරීමෙන් මෙම ජන සංහාරය නැවැත්විය හැකි බවට ඔබේ අදහස තර්කානුකූලයි.”

Loading