ඉදිරිදර්ශන

යුනිෆෝර්/යූඒඩබ්ලිව් කඩාකප්පල්කාරී මෙහෙයුම ප්‍රතික්ෂේප කරනු! මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය උතුරු ඇමරිකාව පුරා පුලුල් කරනු!

[මෙය Reject the Unifor/UAW sabotage operation! Expand the autoworkers struggle across North America!යන මැයෙන් 2023 සැප්තැම්බර් 21පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

යුනිෆෝර් සභාපති ලානා පේනි ෆෝඩ් සමාගම සමඟ ගිවිසුම් ගැන සාකච්ඡා ආරම්භ කරමින්. [ඡායාරූපය: යුනිෆෝර්/ට්විටර්] [Photo: Unifor/Twitter]

කැනඩාවේත් එක්සත් ජනපදයේත් දේශසීමාව දෙපස ම වෘත්තීය සමිති නිලධරයන්, උතුරු ඇමරිකාව පුරා 170,000 කට ආසන්න මෝටර් රථ කම්කරුවන් තමන්ගේ කොන්ත්‍රාත්තු අරභයා ආරම්භ කර ඇති අරගලය කඩාකප්පල් කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටියි.

කැනඩාවේ දී, එරට විශාලතම කාර්මික වෘත්තීය සමිතිය වන යුනිෆෝර් යාන්ත්‍රනය, ෆෝඩ් මෝටර්රථ සමාගමේ කම්කරුවන් 5,600 ක් ආවරනය කෙරෙන ගිවිසුමක් වඩාත් නිර්ලජ්‍ජී ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් සම්මත කර ගැනීමට තැත් කරමින් සිටියි.

කොන්ත්‍රාත්තුව සඳුදා රාත්‍රී 11:59 ට අවසන් වී පැය දෙකකට ආසන්න කාලයකට පසුව, යුනිෆෝර්, වර්ජනයක් සිදුවීම අවහිර කිරීම සඳහා අත්තනෝමතික ලෙස එය පැය 24 කින් දීර්ඝ කිරීමක් නිවේදනය කලේය. අඟහරුවාදා සවස, මෙම 'වාසි' යැයි කියනු ලබන දේවල් මොනවාද යන්න පිලිබඳ කිසිදු විස්තරයක් ලබා නොදී එය කියා සිටියේ, 'ඓතිහාසික' සහ 'පරිවර්තනීය වාසි' සමඟ තාවකාලික එකඟතාවයකට එලඹී ඇති බවයි. කේවල් කිරීමේ කන්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයින්ට ඔවුන්ගේ “ඒකාබද්ධ” අනුමැතිය ලබා දීමට පෙර, ගිවිසුම සම්පූර්නයෙන් කියවීමටවත් වෙලාවක් නොතිබූ බව පසුව පැහැදිලි වෙනු ඇත.

වඩ වඩාත් කෝපයට පත්ව සිටින කම්කරුවන් තාවකාලික ගිවිසුමේ කොන්දේසි පිලිබඳව තවමත් අඳුරේ තබා ඇති යුනිෆෝර්, සෙනසුරාදා අනුමත කිරීමේ රැස්වීම් සඳහාත්, ඉරිදා පෙ.ව. 10 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහාත් ලබා දීමට සැලසුම් කර තිබේ. මෙම රැස්වීම් සූම් තාක්ෂනය යොදාගෙන පවත්වනු ලබන අතර, විරුද්ධත්වය මැඩපැවැත්වීමටත්, පාවාදීම ගැන සාකච්ඡා කිරීමට කම්කරුවන් පුද්ගලිකව හමුවීම වැලැක්වීමටත් නිලධාරි තන්ත‍්‍රයේ සුපැහැදිලි ප‍්‍රයත්නයකි. ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපින යාවත්කාලීන නොවේ නම්, ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇති බවට ද කම්කරුවන්ට අනතුරු අඟවා ඇත; එනම්, වඩාත් කාර්යබහුල ජීවිතයක් ගත කරන, වඩාත් සූරාකෑමට ලක්වන කම්කරුවන්ට දැනුම් දීමක් නොලැබෙනු ඇති අතර, (ගිවිසුමට) “නැත” යනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වනු ඇත.

කැනඩාවේ ෆෝර්ඩ් කම්කරුවන්, පාවාදීමේ ගිවිසුමක් පිලිගැනීම කරා ඔවුන් තල්ලුකිරීමට යුනිෆෝර් නිලධරය ගත් නිර්දය උත්සාහය සැලකිල්ලට ගෙන, මෙම ගිවිසුම ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කල යුතුය. කොන්ත්‍රාත්තුව මෙතරම් “ඓතිහාසික” නම්, වෘත්තීය සමිති නිලධරය එය සෙනසුරාදා දක්වා සඟවා තබමින්, කම්කරුවන්ට තීරනයක් ගැනීමට පැය 24 කට අඩු කාලයක් පමනක් ලබා දෙන්නේ ඇයි?

ෆෝඩ් සමඟ යුනිෆෝර්ගේ තිරය පිටුපස ගනුදෙනුව ප්‍රතික්ෂේප කිරීම, උතුරු ඇමරිකාව පුරා කම්කරුවන්ගේ සටන්කාමී විරුද්ධත්වයේ වැඩීයාම ඉමහත් ලෙස දිරිමත් කරනු ඇත. නමුත් එය පලමු පියවර පමනක් වනු ඇත.

දේශසීමාවෙන් දෙපස සිටින වෘත්තීය සමිති නිලධරයන් පෙන්නුම් කරන්නේ, ඔවුන් කම්කරුවන්ට එරෙහිව කැනඩාවේ ටෘඩෝ ආන්ඩුවත්, එක්සත් ජනපදයේ බයිඩන් ආන්ඩුවත් සමග කුමන්ත්‍රන කරමින් සංගතවල අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් වැඩ කරමින් සිටින බවයි. කම්කරුවන් එක්සත් වී මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව නැවැත්වීමට නම්, කැනඩාවේ, එක්සත් ජනපදයේ, මෙක්සිකෝවේ සහ වෙනත් තැන්වල කම්කරුවන්ට ඔවුනොවුන් සමඟ සන්නිවේදනය කිරීමටත්, ජාත්‍යන්තර වශයෙන් ක්‍රියා සම්බන්ධීකරනය කිරීමටත් මාධ්‍යයක් සපයන කම්කරු පාලනය යටතේ සංවිධානාත්මක ව්‍යුහයන්—කම්හල් ක්‍රියාකාරී කමිටු—අවශ්‍ය වේ.

දේශසීමාව හරහා, යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සභාපති ෂෝන් ෆේන්, පසුගිය මාසයේ වැඩවර්ජන ක්‍රියාමාර්ග සඳහා අතිමහත් ලෙස ඡන්දය දුන් එක්සත් ජනපදයේ ෆෝඩ්, ජෙනරල් මෝටර්ස් සහ ස්ටෙලන්ටිස් කම්කරුවන් 150,000 කගේ අරගලය අඩපන කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. පවාදීම සම්බන්ධයෙන් වන විරෝධය දුර්වල කරමින්, මෝටර් රථ කම්කරුවන් හුදකලා කිරීම සහ අධෛර්යමත් කිරීම ඉලක්ක කරගත් ව්‍යාජ 'තෝරාගත් පරිශ්‍රවල' වැඩ වර්ජනවලදී, යූඒඩබ්ලිව් කැඳවා ඇත්තේ කම්හල් දෙකහමාරක කම්කරුවන් සියයට 10 කටත් අඩු ප්‍රමානයකි.

යූඒඩබ්ලිව් තම සාමාජිකයින් සියල්ල කැඳවනවා වෙනුවට, කම්කරුවන් විරැකියාව හෝ වර්ජන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන්නේද යන්න පිලිබඳව ඔවුන් අඳුරේ තබමින්, කම්හලක් කම්හලක් පාසා කම්කරුවන් දොට්ට දැමීමට සමාගම්වලට හැකියාව ලබාදෙයි. විශාල මෝටර් රථ කම්කරුවන් තිදෙනාගේ කොන්ත්‍රාත්තු දීර්ඝ කිරීමට වඩා කල් ඉකුත් වීමට ඉඩ දීමෙන්, යූඒඩබ්ලිව්, කම්කරුවන් වෙහෙසට පත්කිරීමේ තම මූලෝපායේ කොටසක් වන සුලු වැරදි සඳහා කම්කරුවන් දොට්ට දැමීමට සමාගම්වලට වරපතක් පිරිනමමින් සිටී.

කැනඩාවේ ෆෝර්ඩ් කම්කරුවන් වෙත වැඩවර්ජනය ව්‍යාප්ත කිරීම සමාගමේ මෙහෙයුම්වලට බරපතල ලෙස බලපානු ඇත. ෆෝර්ඩ් සමාගමේ වඩාත්ම ලාභදායී වාහනය වන F-series ට්‍රක් රථය සඳහා අවශ්‍ය එන්ජින් වලින් 30% ක් පමන සඳහා වින්සර්හි එන්ජින් පහසුකම් මත සමාගම රැඳී සිටී. පාවාදීමේ කොන්ත්‍රාත්තු ක්‍රියාවේ යොදවනු ඇති බවට බයිඩන් පරිපාලනයට අවිවාදයෙන්ම සහතික කර ඇති ෆේන්, සීමිත වැඩ නැවැත්වීම් මගින් බිග් ත්‍රී සමාගම්වලට (“බිග් ත්‍රී” යන යෙදුමෙන්: ෆෝඩ්, ජෙනරල් මෝටර්ස් සහ ස්ටැලන්ටිස් යන ඇමෙරිකාවේ ප්‍රමුඛ මෝටර් රථ සමාගම් ත්‍රිත්වය ඇඟවුම් කරයි-පරිවර්තක) බරපතල මොනයම්ම බරපතල බලපෑමක් සිදුවීම වලක්වා ගැනීමට වෑයම් කලේ ය. කැනඩාවේ අරගලය ගැන ඔහු කිසිවක් නොකියයි. මෙය එක්සත් ජනපද කම්කරුවන්, දේශසීමාව හරහා තම සහෝදර සහෝදරියන් කරන අරගලය ගැන දැන ගැනීම වලක්වමින්, හුදකලා කර තැබීමට හිතාමතා දරන උත්සාහයකි.

කැනඩාවේ සහ එක්සත් ජනපදයේ වෘත්තීය සමිති නිලධරයන්, මෝටර් රථ නිෂ්පාදකයින් සහ ආන්ඩු, හවුල්කාරිත්වයේ සංගත පද්ධතියක් හරහා සමීපව ඒකාබද්ධ වී ඇත. කැනඩාවේ යුනිෆෝර් යනු ඔට්ටාව් (කැනඩාව) සහ වොෂින්ටනයේ පාලක පන්තීන්, මහා බලවතුන් අතර යුද්ධයක් සඳහා සූදානම් වීමට යොදාගන්නා “පලමුව උතුරු ඇමරිකාව” යන ආර්ථික ආරක්ෂනවාදී ප්‍රතිපත්තිවල ප්‍රමුඛ යෝජකයෙකි. තීරනාත්මක අමුද්‍රව්‍ය සඳහා සැපයුම් දාමයන් ඒකාබද්ධ කිරීම හරහා උතුරු ඇමරිකානු ආරක්ෂනවාදී වෙලඳ හවුලක් ශක්තිමත් කරගැනීම , මෝටර් රථ නිෂ්පාදකයින්ට විදුලි වාහන වෙත මාරුවීමට ද කේන්ද්‍රීයව වැදගත් ය. සමාගම් ප්‍රධානීන් සහ ඔවුන්ගේ වෘත්තීය සමිති 'හවුල්කරුවන්' මෙම සැලසුම්ප්‍රකාරව ඉදිරියට යන්නේ නම් මෙම පරිවර්තනයේ පිරිවැය දරනු ඇත්තේ මෝටර්රථ කම්කරුවන් විසිනි.

යුනිෆෝර් සහ යූඒඩබ්ලිව්, කම්කරුවන් මත කප්පාදු පැනවීම සහ මිලිටරි වියදම් නාටකාකාර ලෙස ඉහල දැමීම ඇතුලු පාලක ප්‍රභූවේ පන්ති යුද පිලිවෙත් සඳහා සහය පලකිරීමේ ප්‍රධාන කුලුනු ලෙස ද සේවය කරයි. යූඒඩබ්ලිව් මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය මැඩපැවැත්වීමට උත්සාහ කරන අතර, යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි රුසියාවට එරෙහි එක්සත් ජනපද/නැටෝ යුද්ධය උත්සන්න කිරීම ගැන සාකච්ඡා කිරීමට බයිඩන් සමඟ රැස්වීමක් සඳහා ධවල මන්දිරයට පැමිනෙයි.

උතුරු ඇමරිකාව පුරා දශක ගනනාවක් තුල විශාලතම වැඩ වර්ජන රැල්ල මෑත මාස තුල වර්ධනය වීම අත්දැක්කේ ය. මේ තත්වය යටතේ, වොෂින්ටනයේ සහ ඔට්ටාව් හි ආන්ඩුවලට, යුද්ධය සඳහා ගෙවීමට කම්කරුවන් කප්පාදු සහ වැටුප් 'සීමාකිරීම්' මගින් කැපකිරීම් කල බවට වන ඔවුන්ගේ ඉල්ලීම්වලට සෘජු අභියෝගයක් විය හැකි දේශසීමා සිසාරා ව්‍යාපාරයක් පැන නැගීම ඉවසිය නොහැක.

මෝටර් රථ කම්කරුවන්ගේ අරගලයේ ගෙල සිරකර යටපත් කිරීමට යුනිෆෝර් සහ යූඒඩබ්ලිව් හි අදිටන, පසුගිය දශක හතර පුරා විහිදුනු පාවාදීම් මාලාවක නවතම එකයි. 1985 දී කැනේඩියානු මෝටර් රථ කම්කරුවන්, යූඒඩබ්ලිව් සංවිධානයෙන් ප්‍රතිගාමී ජාතිකවාදීමය භේදවීමේ සිට, ඇමරිකානු සහ කැනේඩියානු නිලධරයේ කන්ඩායම් දෙකම, වැටුප්, කොන්දේසි සහ රැකියා පහලට දමන තරඟයකදී මෝටර් රථ කම්කරුවන් එකිනෙකාට එරෙහිව පොරකෑමට සලස්වා ඇත.

වත්මන් අරගලය අතරතුරදී, යුනිෆෝර් සභාපති ලානා පේනි මෙම නිසැකවම පිනාගොස් ඇත. මෙම අරගලය, දශක ගනනාවකට පසු පලමු වතාවට එක්සත් ජනපද සහ කැනේඩියානු මෝටර් රථ කම්කරුවන් එකවිටම ගිවිසුම් සාකච්ඡා කරමින් ඒකාබද්ධ සටනක් සඳහා ඔවුන් බලවත් ස්ථානයක පිහිටුවයි. කැනේඩියානු මෝටර් රථ කම්කරුවන්ට ඔවුන්ගේ එක්සත් ජනපද සගයන් සමඟ පොදු කිසිවක් නොමැති බව ඒත්තු ගැන්වීමේ අරමුන ඇතිව 'අපගේම මග සටහන් කරනු' යන සටන් පාඨය පේනි විසින් යෝජනා කෙරිනි. එමෙන්ම ඇය, 1985 භේදය 'ප්‍රගතිය' නියෝජනය කරන බවට ද ඔජවඩා ඇත.

යථාර්ථය නම්, භේදය යුක්ති සහගත කිරීමට යොදාගත් “වාම” සහ “ප්‍රගතිශීලී” තර්ක, නිලධරයේ කම්කරු විරෝධී සංගතවාදී මූලෝපායට සඳහා කවරයක් ලෙස සේවය කල බවයි. මෙම මූලෝපාය සමන්විතවූයේ, එක්සත් ජනපදයට වඩා ගෝලීය වශයෙන් ජංගම මෝටර් රථ සමාගම් අඩු ශ්‍රම පිරිවැයක් පිරිනැමීම සඳහා ලාභ කැනේඩියානු ඩොලරය සහ රාජ්‍ය අරමුදල් සහිත සෞඛ්‍ය සේවය යොදාගැනීමෙනි. එහි ප්‍රතිඵලය වූයේ දැවැන්තම සහන ලබා දිය හැක්කේ කාටදැයි බැලීමට දේශසීමාවේ දෙපස කම්කරුවන් එකිනෙකාට එරෙහිව තරඟ කිරීමට තල්ලුවීයාම යි.

යුනිෆෝර්/යූඒඩබ්ලිව් ඒකාබද්ධ පාවාදීම නැවැත්වීමට වාහන කම්කරුවන් ක්‍රියා කල යුතුය!

යුනිෆෝර් විසින් දැඩිව ෆෝඩ් කම්කරුවන්ගේ ඇස් වසා කට බැඳ සිටින අතරතුර තාවකාලික ගිවිසුමකට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටීම තීරනාත්මකව ප්‍රතික්ෂේප කල යුතුය.

ප්‍රාදේශීය ව හදිසි රැස්වීම් කැඳවිය යුතු අතර, කර්මාන්තය පුරා වැඩ නැවැත්වීමකට පක්ෂව යෝජනා සම්මත කර ගත යුතු ය; එක්සත් ජනපදයේ වැඩවර්ජනය පුලුල් කිරීමට සහ කැනඩාවේ බිග් ත්‍රී මෙහෙයුම් වල ද වැඩවර්ජනයක් දියත් කිරීමට සූදානම් විය යුතුය.

සමස්ත වැඩ වර්ජනයක් සාක්ෂාත් කර ගත හැක්කේ සාමාන්‍ය කම්කරුවන්ගේ මුලපිරීම හරහා පමනි. සාමාන්‍ය කම්කරුවන් අතට බලය පැවරීම සඳහා සෑම කම්හලකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය.

සෑම රටකම කම්කරුවන් ගෝලීය වශයෙන් සංවිධානයවූ සංගතවලට ප්‍රතිමුඛව සිටින අතර රැකියා සහ කොන්දේසි මත මෝටර් රථ නිෂ්පාදකයින්ගේ ගෝලීය ප්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තරව එක්සත් විය යුතුය. මේ සඳහා බලවත් වෛෂයික පදනමක් තිබේ. එක්සත් ජනපදයේ සහ කැනේඩියානු මෝටර් රථ කම්කරුවන්ට, විදුලි මෝටර් රථ වෙත මාරුවීමේ කොටසක් ලෙස මහපරිමාන දොට්ට දැමීම්වලට මුහුන දෙන මෙක්සිකෝව තුල බලගතු සගයින් සිටිති. ඉතාලිය, ප්‍රංශය, තුර්කිය, ජර්මනිය සහ තවත් බොහෝ රටවල මෝටර් රථ කම්කරුවන් සම්බන්ධ වැඩවර්ජන සහ කොන්ත්‍රාත්තු සටන් වර්ධනය වෙමින් පවතී. මෙය ලොව පුරා කම්කරු පන්තියේ වැඩෙන නැගිටීමක කොටසකි.

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රික-ජාකස) ආරම්භ කිරීමේදී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කලේ, එහි අරමුන පාලක පන්තියට හා සංගතවාදී වෘත්තීය සමිතිවලට එරෙහිව විවිධ කර්මාන්තශාලා, කර්මාන්ත සහ රටවල අරගල සම්බන්ධීකරනය කිරීම බවයි. “කම්කරු පන්තිය සටන් කිරීමට සූදානම් ය. එහෙත් ප්‍රතිරෝධයේ සෑම ප්‍රකාශනයක්ම යටපත් කරන ප්‍රතිගාමී නිලධර සංවිධාන විසින් එයට විලංගු දමා ඇත,” හජාජාක පැහැදිලි කලේ ය.

එක්සත් ජනපද හා කැනේඩියානු මෝටර් රථ කම්කරුවන්ගේ සටන පැහැදිලිව පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ අරගලය සියතට ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු සංවිධානය කිරීමේ අත්‍යාවශ්‍යතාවයයි.

Loading