ශ්‍රී ලංකා රජය කම්කරුවන්ගේ විශ්‍රාමික අරමුදල් කොල්ලකෑම අරඹයි

[මෙය Sri Lankan government begins looting workers’ pension funds යන මැයෙන් 2023 සැප්තැම්බර් 12 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කම්කරුවන්ගේ විශ්‍රාමික අරමුදල් මත සියයට 30 ක අතිවිශාල බද්දක් පැනවීමේ පනතක් සැප්තැම්බර් 7දා සම්මත කලේ ය. මන්ත්‍රීවරුන් 103 දෙනෙකු විසින් අනුමත කරන ලද දේශීය ආදායම් (සංශෝධිත) පනතට විපක්ෂව ඡන්ද 58 ක් ලැබී තිබූ අතර එය පසුදින සිට බලාත්මක කෙරුනි.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

පුද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අනිවාර්ය විශ්‍රාම වැටුප් අරමුදලක් වන සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) නව පියවරෙහි ප්‍රධාන ඉලක්කය වේ. මිලියන 2.5ක කම්කරුවන් ආවරනය වන අරමුදලේ දැනට රුපියල් ට්‍රිලියන 3.4ක් අධික මුදලක් පවතී.

සියයට 30 නව බද්ද ගෙවීමෙන් වැලකී සිටීමට සහ සේවක අර්ථසාධක අරමුදල සඳහා දැනට පවතින සියයට 14 බදු අනුපාතය පවත්වා ගැනීම ට සම්පුර්න අරමුදල ම 2024 සිට 2032 දක්වා අඩු පොලී අනුපාත ගෙවීම් යටතේ භාන්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කල යුතුය. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහට අනුව වෙලඳ පොල අනුපාතය කුමක් වුවත් මෙය සියයට 9ක් පමනක් වනු ඇත.

මෙම ම්ලේච්ඡ පියවර, ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නයක් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නය ප්‍රතිව්‍යුහකරනය සහ ආන්ඩුව විසින් කලින් එකඟ වී ක්‍රියාවට දමා ඇති අනෙකුත් කප්පාදු ඉල්ලීම් වලට අනුකූල වේ.

බදාදා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ “නය තිරසාර බව සහතික කිරීම සඳහා” මෙම පියවර සම්මත කල යුතු බවයි. මීලඟ ඇපදීමේ නය වාරිකය අනුමත කිරීමට පෙර එහි කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීමට ජමූඅ කන්ඩායමක් සැප්තැම්බර් 14දා ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ඓතිහාසික බිඳවැටීමක් මධ්‍යයේ එවකට පැවති රාජපක්ෂ ආන්ඩුව සිය විදේශ නය ගෙවීම 2022 අප්‍රේල් මාසයේ දී පැහැර හැරියේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට අනුකූල ව, වික්‍රමසිංහ ආන්ඩුව සිය විදේශීය නයවල කවර හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් පිලිබඳ සාකච්ඡා කිරීමට පෙර දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වී ඇත. රජයේ දේශීය නය භාන්ඩාගාර බිල්පත්, දේශීය බැංකු, පුද්ගලික ගනුදෙනුකරුවන්, මහ බැංකුව සහ විශ්‍රාමික අරමුදල් විසින් දරනු ලබන බැඳුම්කර අතර බෙදී ගොස් ඇත.

වානිජ බැංකු සහ අනෙකුත් සංගත අංශවල මූල්‍ය මෙහෙයුම්කරුවන් බැහැර කරන අතර භාන්ඩාගාර බැඳුම්කරවල නය අගය අඩු කිරීම සඳහා රජය, විශ්‍රාම අරමුදල්, විශේෂයෙන් ම, රටේ විශාලතම අරමුදල වන අර්ථසාධක අරමුදල තෝරාගෙන ඇත.

වෙරිටේ රිසර්ච් චින්තන පර්ශදයට අනුව, “දේශීය මුදල් බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්න බර (ප්‍රකාශිත දත්ත මත පදනම්ව) කම්කරුවන්ගේ සමාජ ආරක්ෂන අරමුදල් මත පමනක් පටවන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි”. ආන්ඩුව, මෙම අසමාන සැලකීමේ ව්‍යවස්ථා විරෝධී බව වසන්කිරීම සඳහා, මෙම පියවර 'ස්වේච්ඡා' නය හුවමාරුවක් ලෙස ඉදිරිපත් කිරීමට ද්විත්වමය තේරීමක් ඉදිරිපත් කර ඇත.

ප්‍රධාන වශයෙන් අඩු ආදායම් ලාභීන්ගේ - එනම් මසකට රුපියල් 100,000 ට අඩුවෙන් ගෙවනු ලබන අයගේ ඉතුරුම් වලින් සියයට 90 ක් වන අර්ථසාධක අරමුදලෙ හි භාරකරු මහ බැංකුවයි. මෙයට ලක්ෂ සංඛ්‍යාත නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන්, ඇඟලුම් කම්හල් සේවකයින් සහ වතු කම්කරුවන් ඇතුලත් වන අතර, ඔවුන්ගේ මාසික ආදායම රජය විසින් පනවා ඇති වත්මන් බදු සීමාවට වඩා අඩුය.

සේවක අර්ථසාධක අරමුදල අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බන්ඩාරනායක ගේ රජය විසින් 1958 දී ස්ථාපිත ලැබුවේ, විශ්‍රාම ගැනීමෙන් පසු විශ්‍රාම වැටුපකට අයිතිය ඉල්ලා පෞද්ගලික අංශයේ සේවකයන් කල උද්ඝෝෂනයට ප්‍රතිචාරයක් ලෙසය. එකල සේවක අර්ථසාධක අරමුදල කිසිදු බද්දකට යටත් නොවීය. කෙසේ වෙතත්, මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුන දුන් පසු ශ්‍රී ලංකා ආන්ඩු මෙම ආර්ථික බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා සේවක අර්ථසාධක අරමුදලට බදු පැනවීමට පටන් ගත්හ.

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය සහ දකුනේ ග්‍රාමීය තරුනයින්ගේ නැගිටීම අතරතුර, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පියා වන ජනාධිපති රනසිංහ ප්‍රේමදාසගේ ආන්ඩුව 1989 දී, සියයට 10 ක බද්දක් අර්ථසාධක අරමුදල මත පැනවීය.

2011 දී මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සේවක අර්ථසාධක අරමුදල සොච්චම් මාසික විශ්‍රාම වැටුපක් බවට පරිවර්තනය කරමින් එය අහෝසි කිරීමට උත්සාහ කලේ ය. මෙම නිර්ලජ්ජිත සමාජ ප්‍රහාරයට කම්කරු පන්තිය විසින් දැඩි ලෙස විරුද්ධ විය. ඊපීඑෆ් අහෝසි කිරීමේ රාජපක්ෂගේ සැලසුම්වලට එරෙහිව උද්ඝෝෂනයේ යෙදුන කම්කරුවන් 2,000 කට පොලීසිය වෙඩි තැබීමෙන් එම වසරේ ජූනි මාසයේදී තරුන නිවෙක කම්කරුවෙකු වූ රොෂාන් චානක මිය ගොස් තවත් 200 දෙනෙකු තුවාල ලැබීය. ප්‍රචන්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන් මතු වූ මහජන කෝපය හේතුකොටගෙන ආන්ඩුවට සිය සැලසුම් හකුලා ගැනීමට බල කෙරුනි.

2017 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ රජය සේවක අර්ථසාධක අරමුදලේ බද්ද සියයට 14 දක්වා වැඩි කලේ ය. ජාමූඅ විසින් අන කරන ලද වත්මන් ප්‍රහාරය, කෝවිඩ් 19 වසංගතය සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද යුද්ධය මගින් තීව්‍ර කරන ලද ගෝලීය ධනවාදයේ උත්සන්න වූ අර්බුදයක කොටසක් වන ශ්‍රී ලංකා ආර්ථිකයේ පෙර නොවූ විරූ කඩා වැටීමට ප්‍රතිචාරයකි.

කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් අමු අමුවේ ආන්ඩුව සොරකම් කිරීම හැරුනු කොට-බොහෝ අවස්ථාවලදී මෙය ඔවුන්ගේ එකම ඉතුරුම් වේ-මෙම තනි පුද්ගල ඊපීඑෆ් තැන්පත්කරුවන් අරමුදල් තැන්පත් කිරීමේදී සහ ආපසු ගැනීමේදී දැනටමත් බදු ගෙවිය යුතුය. එපමනක් නොව, පවතින අධි උද්ධමනය මගින් කම්කරුවන්ගේ විශ්‍රාම අරමුදල්වල සැබෑ වටිනාකම පසුගිය වසර කිහිපය තුල අඩකින් පමන අඩු වී ඇත.

මේ වසර මුලදී, වික්‍රමසිංහ ආන්ඩුව ජාමූඅ කප්පාදු ඉල්ලීම් ක්‍රියාවට නැංවීමේ කොටසක් ලෙස කුරිරු බදු රේට්ටු පනවන ලදී. අප්‍රේල් මාසයේ දී, එය සියලූ භාන්ඩ හා සේවා සඳහා එකතු කල අගය මත බද්ද සියයට 15 දක්වා ඉහල දැමූ අතර දස දහස් ගනනක් කම්කරුවන් සහ වෘත්තිකයන් මත උපයන විට ගෙවීමේ බද්දට අධික නව බදු අනුපාත පැනවීය. සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධනය සඳහා රජයේ අරමුදල් ද කප්පාදු කර ඇති අතර ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කරමින් රජය සතු ව්‍යවසායන් 430ක් පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය සතියේ පනත පිලිබඳ පාර්ලිමේන්තු විවාදය විහිලුවක් විය. විරුද්ධ පක්ෂ, ප්‍රධාන වශයෙන් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන, කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල්වලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කිඹුල් කඳුලු හෙලූහ. කෙසේ වෙතත්, ඒ වෙනුවට බදු පැහැර හැරීම් සහ දූෂනය සම්බන්ධයෙන් ආන්ඩුවේ ගජමිතුරන් නරුම ලෙස හෙලා දකිමින්, ඔවුන් සහය දක්වන ජාමූඅ වැඩපිලිවෙල පිලිබඳ කිසිදු විවේචනයක් කිරීම ඔවුන් පරිස්සමෙන් මග හැරියේය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කම්කරුවන් ගෙන් කන්ඩායමක් 2023 අගෝස්තු 28 වන දින ආන්ඩුවේ කප්පාදුවලට එරෙහිව විරෝධතාවයේ නිරත වේ.

විශ්‍රාම වැටුප් මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන කෝපය විසුරුවා හැරීමේ දී වෘත්තීය සමිති ප්‍රධාන භූමිකාවක් ඉටුකරන අතර රජය සතු ආයතන වල රැකියා විනාශයට, පුද්ගලීකරනයට සහ ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තියේ කවර හෝ ඒකාබද්ධ බලමුලු ගැන්වීමකට ඔවුහු විරුද්ධ වෙති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තිය සියලු ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් කැඩී ස්වකීය ස්වාධීන අවශ්‍යතා සඳහා සටන් කරන ලෙස ඉල්ලා ඇත්තේ මේ නිසාය.

එවැනි ව්‍යාපාරයක් සඳහා කම්කරුවන් විසින් සෑම සේවා ස්ථානයකම සහ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ. සමාජවාදී සමානතා පක්ෂය, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක ට සටන් කිරීම සඳහා, ක්‍රියාකාරී කමිටු නියෝජිතයින්ගෙන් සැදුම්ලත්, කම්කරු හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත.

එවැනි ආන්ඩුවක් බැංකු සහ ප්‍රධාන සංගත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරනු ඇත. එය සුපිරි ධනවතුන්ගේ ධනය අත්පත්කර ගන්නා අතර විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කර වැඩකරන ජනතාවගේ වැටුප් හා විශ්‍රාම වැටුප් මත ඇති සියලුම බදු ඉවත් කරනු ඇත.

Loading