නව කම්කරු නීතිවලට එරෙහිව ශ්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ විරෝධතා දක්වති

ආන්ඩුව විසින් යෝජිත නව කම්කරු නීති හකුලා ගන්නා ලෙසත් විශ‍්‍රාම වැටුප් කප්පාදුව නවත්වන ලෙසත් බලකරමින් පුද්ගලික අංශයේ සේවකයින් 2,000ක් පමන ජූලි 25දා කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

2023 ජුලි 25 වන දින කම්කරුවන් දෙදහසකට වැඩි පිරිසක් කොලඹ දී උද්ඝෝෂන කරති

විරෝධතාවයේ සිටි කම්කරුවන්ගෙන් බහුතරයක් කොලඹ දිස්ත්‍රික්කයේ පිහිටි කටුනායක සහ බියගම නිදහස් වෙලඳ කලාපවල (නිවෙක) කම්කරුවෝ වූහ. ඇතැම්හු මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ නුවරඑලිය වැනි දුර බැහැර ප්‍රදේශවල සිට පැමින සිටියහ. ලංකා විදුලිබල මන්ඩලය, කොලඹ වරාය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ බැංකු යන ආයතනවල සේවකයෝ සිය ගනනක් ද සහභාගි වූහ.

ආන්ඩුව විසින් කෙටුම්පත් කරනු ලබන නව රැකියා පනත මගින් දැනට පවතින නීති 13 ක් විස්ථාපනය කෙරෙන අතර පසුගිය දශක කිහිපයේ අරගල මගින් දිනාගත් කම්කරුවන්ගේ අයිතිවාසිකම් අහෝසි කෙරෙනු ඇත. ජුලි 1දා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද මෑතකාලීන දේශීය නය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) සහ සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) සඳහා වන පොලී අනුපාත විශාල ලෙස කපා හැරීමට නියමිතය.

මෙම පියවර දෙකම මාර්තු මාසයේදී අනුමත කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ඇප නයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඉල්ලීම් තෘප්තිමත් කිරීම පිනිස සිදු කෙරිනි.

විරෝධතාව කැඳවනු ලැබ තිබුනේ යුනයිට් (UNITE) වෘත්තීය සමිති ස්නධානය විසිනි. එයට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස), නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමය (නිවෙකපොසේස), ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා සම්බන්ධ කම්කරු අරගල මධ්‍යස්ථානය සහ අනෙකුත් කන්ඩායම් ඇතුලත් වේ.

්‍රී ලංකා නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ 2023 ජුලි 25 වැනි දින කොලඹදී විරෝධතාවයක නිරත වෙති.

වෘත්තීය සමිති සන්ධානය රට පුරා සියලුම නිවෙක සහ අනෙකුත් සමාගම්වල කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් කොලඹ දැවැන්ත විරෝධතාවක් පවත්වනබව නිවේදනය කලේය. වෘත්තීය සමිති මෙම විරෝධතාව කැඳවා ඇත්තේ යෝජිත කම්කරු නීති, විශ්‍රාම වැටුප් කප්පාදුව සහ ජීවන කොන්දේසිවල ශීඝ්‍ර පරිහානියට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන කෝපය විසුරුවා හැරීමට ය.

ඇත්ත වශයෙන්ම, වෘත්තීය සමිති පුලුල් සහභාගීත්වය වැලැක්වීමට සෑම දෙයක්ම කල නමුත් සමහර සේවකයෝ වැටුප් රහිත නිවාඩු ලබා ගනිමින්ද තවත් සමහරු තමන්ගේ නිවාඩු දිනයේදී ද විරෝධතාවට සහභාගී වූහ.

“නය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් ඊපීඑෆ්/ඊටීඑෆ් [විශ්‍රාම වැටුප් අරමුදල්] කොල්ලකෑම නවත්වනු”, “යෝජිත වහල් කම්කරු නීති ප්‍රතිසංස්කරන වහා හකුලාගනු”, සහ “ජාමූඅ කප්පාදුව යටතේ ඊපීඑෆ්-ඊටීඑෆ් කපා හරින මර්දනකාරී ආන්ඩුව පලවා හරිනු” ඇතුලු සටන් පාඨ සහ සටන් පුවරු විරෝධතාකරුවෝ ප්‍රදර්ශනය කලහ.

විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වීමට සැලසුම් කර තිබුනද, කෙසේ වෙතත්, කිසිදු පෙලපාලියක් වලක්වාලමින් පොලිසිය අධිකරන නියෝගයක් ලබා ගත්තේය.

ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කම්කරු නීතිවලට එරෙහිව ශ‍්‍රී ලාංකික කම්කරුවන්ගේ විරෝධතා පාගමනක් අවහිර කිරීමට පොලිසිය බලමුලු ගන්වා ඇති අයුරු.

ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කම්කරු නීතිවලට එරෙහිව ශ‍්‍රී ලාංකික කම්කරුවන්ගේ විරෝධතා පාගමනක් අවහිර කිරීමට පොලිසිය බලමුලු ගන්වා ඇති අයුරු.

නිවෙකපොසේස ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස්, 'ඔබට එය (වැඩ වර්ජන) වැලැක්වීමට අවශ්‍ය නම්, මෙම කම්කරු පනත් වහා හකුලා ගත යුතුය' යනුවෙන් ප්‍රකාශ කරමින් කම්කරුවන්ගේ වැඩ වර්ජන පිලිබඳව අනතුරු ඇඟවීය.

“කම්කරු නීති ප්‍රතිසංස්කරනය කරන්නේ කෙසේද යන්න පිලිබඳ පියවර සූත්‍රගත කිරීමට” සාකච්ඡා සඳහා ආයාචනා කරමින් ආන්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට වෘත්තීය සමිතිවල සූදානම එම හුස්මෙන්ම ඔහු ප්‍රකාශ කලේය.

මහ බැංකු අධිපති නන්දලාල් විශ්‍රාම වැටුප් අරමුදල් කප්පාදු කිරීම සඳහා ලියකියවිලි අත්සන් කිරීමට පැකිලෙන බවට අසසේස නායක වසන්ත සමරසිංහ ව්‍යාජ ලෙස ප්‍රකාශ කලේය. විරෝධතාව හුදෙක් “පෙරහුරුවක්” බවද “අපි ජයග්‍රහනය තෙක් ඊපීඑෆ්-ඊටීඑෆ් ආරක්ෂා කිරීමේ සටන දිගටම කරගෙන යන්නෙමු,” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කලේය.

පෙසප විසින් පාලිත කම්කරු අරගල කන්ඩායමේ නායක දුමින්ද නාගමුව ගුගුලේය: “අපි නන්දලාල්ට ඊපීඑෆ් කොල්ල කන්න ඉඩ දෙන්නේ නැහැ. කම්කරු ඇමතිට කියනව අපි ඔහුට [වර්තමාන] කම්කරු නීතියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ කියල.'

කෙසේ වෙතත්, මැයි 31 දා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් කැඳවන ලද සාකච්ඡාවකට නාගමුව ඇතුලු වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙක් සහභාගී වූහ.

පෙසප වෘත්තීය සමිති නායකයා නානායක්කාරගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ පැය අටේ වැඩ දිනය, කාන්තා කම්කරුවන්ගේ රාත්‍රී සේවා මුරය සහ සේවයෙන් නෙරපා හැරීමේදී බලපාන කම්කරු නීති වෙනස් නොකරන ලෙසටය. ඇමතිවරයා මෙම නීතිවලට අත තබන්නේනම්, “අපි ඔබ සමඟ වීදිවල ගනුදෙනු බේරා ගන්නම්” යනුවෙන් ඔහු වාචාල ලෙස ප්‍රකාශ කලේය.

ඒ අතරම, නාගමුව ඇමතිට යෝජනා කලේ තීරන ගැනීමේ ක්‍රියාවලියට කම්හල් කලමනාකාරීත්වය විසින් සේවක නියෝජිතයන්, එනම් වෘත්තීය සමිති නිලධාරීන්, සම්බන්ධ කර ගන්නා ලෙසටයි. සමාගම්වල නියෝග පැනවීමේදී වෘත්තීය සමිති නිලධාරීන් සමාගම් නියෝජිතයන් සමග සහයෝගයෙන් කටයුතු කරන ජර්මනියේ වැඩ සභා (work councils) පිලිබඳ උදාහරනය ඔහු උපුටා දැක්වීය.

වෙනත් වචන වලින් කිවහොත්, කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට අවශ්‍යව තිබ්යදී, වෘත්තීය සමිති නායකයන් ඉල්ලා සිටින්නේ සමාගම්වල හා ආන්ඩුවේ නියෝග පටවන, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහි ඕනෑම ඒකාබද්ධ අරගලයක් අවහිර කරන සංගතවාදී ආයතන පිහිටුවන ලෙසටයි.

ලෝසවෙඅ වාර්තාකරුවෝ ජූලි 25දා විරෝධතාවයේ නිරත කම්කරුවන්ට කතා කලහ.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නෙක්ස්ට් ඇඟලුම් කම්හලේ තරුන කම්කරුවෙක් මෙසේ පැහැදිලි කලේය: “අපගේ ඊපීඑෆ්-ඊටීඑෆ් නැතිවෙයිද කියල අපිට බයක් තියෙනවා. අපි 100ක් විතර ආවා. මම මගේම නිවාඩුව අරගෙනයි ආවේ.”

කම්කරු නීතිවල වෙනස්කම් පිලිබඳව ඔහු මෙසේ පැවසුවේය: “[නව යෝජිත කම්කරු නීති] පැය 12 වැඩ කරන දිනය ගැන මම කනස්සල්ලෙන් ඉන්නෙ. අපිට පැය 12ක් එක දිගට හිටගෙන වැඩ කරන්න අමාරුයි. සමාගම් අපි ගැන හිතන්නේ නැහැ.

මිලියන සංඛ්‍යාත කම්කරුවන් එක්දින මහා වැඩ වර්ජන දෙකකට සහභාගී වූ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ අප්‍රේල්-ජූලි මහජන නැගිටීම ඔහු සිහිපත් කලේය. දිගින් දිගටම පැවති විරෝධතා හේතුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට සිදු විය.

නිවෙක කම්කරුවෝ 2023 ජූලි 25 වන දින කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ නව කම්කරු නීතිවලට එරෙහිව උද්ඝෝෂන කරති.

විපක්ෂ ධනේශ්වර පක්ෂවලට සහය දැක්වීම සඳහා මහජන කෝපය අවමංගත කරමින්, පෙසප වැනි ව්‍යාජ වම්මුන්ගේ පිටුබලය ලබන වෘත්තීය සමිති විසින් අරගලය පාවා දී ඇති ආකාරය ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පැහැදිලි කලහ. වෘත්තීය සමිති දිගින් දිගටම කම්කරුවන්ගේ අරගල අවහිර කරන බව සත්‍ය බව ඔහු පැවසීය.

කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය සම්බන්ධයෙන් ඔහු තම සහයෝගය ප‍්‍රකාශ කලේය. “අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ආන්ඩුවක් තමයි. කම්කරුවන් තම ප්‍රශ්න විසඳ ගන්න ඉදිරිපත් විය යුතුයි. වෘත්තීය සමිති නායකයෝ තමන් ගැන විතරක් හිතනවනම් නම්, එය වැරදියි.“

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ස්ටාර් ගාමන්ට් කම්හලේ තරුන කම්කරුවෙක් පැවසුවේ “අපි මහන්සි වෙලා ටිකක් ඉතුරු කරගන්නවා. අන්තිමට, ආන්ඩුව මේකත් කප්පාදු කරනවනම් අපිට මොනවත් ඉතිරි වෙන්නේ නැහැ.“

කලමනාකාරීත්වය සාමාන්‍ය නිවාඩු ලබා නොදීම නිසා ඇයට වැටුප් රහිත නිවාඩු සඳහා අයැදුම් කිරීමට සිදුව ඇත. ඇගේ කම්හලේ සේවක සේවිකාවෝ බස්රථ 10 කින් විරෝධතාවයට පැමින සිටියහ.

වසර 12කට පෙර කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය ගැන තවත් ස්ටාර් ගාමන්ට් කම්හලේ තරුන කම්කරුවෙක් කතා කලේය. '2011 දී පොලිසිය අරගලයකදී වෙඩි තියල එක් පුද්ගලයෙකු මැරුන කියල මට ආරංචි වුනා.'

2011 මැයි මාසයේදී, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් යෝජිත විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව කටුනායක නිවෙක කම්කරුවන් දස දහස් ගනනක් වැඩ වර්ජනය කලහ. පොලිසිය විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර, කඳුලු ගෑස් සහ බැටන් ප්‍රහාර සහ වෙඩි ප්‍රහාර එල්ල කලහ. එමගින් 21 හැවිරිදි රොෂාන් චානක නමැති සේවකයකු මරනයට ගොදුරු වූ අතර 200 කට වැඩි පිරිසකට තුවාල සිදු විය.

වැඩිදුර කියවන්න

ඝාතනය කරන ලද ශී‍්‍ර ලංකාවේ නිවෙක කම්කරුවාගේ අවමඟුලට දහස් ගනනක් සහභාගි වෙති

6 June 2011

https://www.wsws.org/sinhala/2011/2011jun/ftzf-10j.html

Loading