සසජාතශි වෙතින් ශිෂ්‍යයන්ට හා තරුනයන්ට කැඳවුමක්

යුද්ධයට එරෙහි කම්කරු පන්තික මහජන ව්‍යාපාරයක් ගොඩනගමු!

පහත දැක්වෙන්නේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ විසින්, 'යුක්‍රේන යුද්ධය සහ එය නවත්වන්නේ කෙසේද?' යන මාතෘකාව යටතේ, ඔක්තෝබර් 19 වැනිදා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී, ප.ව. 3 ට පවත්වන ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන ලෙස තරුනයින්ට සහ සිසුන්ට ඇරයුම් කිරීම සඳහා නිකුත් කරන ලද පත්‍රිකාවයි. මෙය IYSSE (Sri Lanka) calls on students and youth to build a mass working-class movement against war! යන මැයෙන් සැප්තැම්බර් 25 වැනි දා ඉංග්‍රීසි බසින් පල කෙරුනි.

ශ්‍රී ලංකාවේ තරුනයන් සහ සිසුන්, ලොව පුරා සිටින තම සහෝදර-සහෝදරියන් මෙන් ම, 2023 අවසාන කාර්තුවට පා තබනුයේ, යුක්‍රේනය අරබයා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය උත්සන්නවීමක්, වැඩිවන පාරිසරික ව්‍යසනයන්, දරාගත නොහැකි සමාජ තත්වයන්, කෝවිඩ්-19 වසංගතයේ තවත් නැග්මක්, පැතිර යන විරැකියාව සහ ඒකාධිපති පියවර කරා පාලක ප්‍රභූන්ගේ වේගවත් ධාවනයන් මධ්‍යයේ ය.

ගෝලීය ධනේශ්වර ලාභ පද්ධතියට තරුනයින් වෙනුවෙන් පිරිනැමිය හැක්කේ යුද්ධය සහ සමාජ කාලකන්නිභාවය පමනක් බව, ගෙවී යන වසර බලගතු ලෙස පෙන්නුම් කර ඇත.

තරුනයින්ට සහ සිසුන්ට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කර ගත හැක්කේ ධනවාදයට එරෙහිවත්, සමාජවාදය සඳහාත් සටන් කිරීමෙන් පමනක් බව සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ප්‍රකාශ කරයි.

යුක්‍රේන යුද්ධය නතර කරනු!

2022 පෙබරවාරි මාසයේ ආරම්භ වූ යුක්‍රේන යුද්ධය දැන් තීරනාත්මක අවධියක පවතී. රුසියාවට එරෙහිව ජූනි මාසයේ දී දියත් කරන ලද යුක්‍රේනයේ ඊනියා 'වසන්ත ප්‍රහාරය', දහස් ගනනක් යුක්‍රේන සොල්දාදුවන්ගේ මරනයට හේතු වෙමින් පරාජයට පත්විය. එක්සත් ජනපදයේ සහ නැටෝවේ රූකඩයක් ලෙස ක්‍රියා කරන ජනාධිපති සෙලෙන්ස්කිගේ පාලන තන්ත්‍රය දැනටමත් සොල්දාදුවන්ගේ ජීවිත 200,000 කට වඩා බිලි දී ඇත.

යුද්ධය අවුලුවාලූ සහ යුක්‍රේනයට ආයුධ හා මුදල් සපයන එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ට ඇත්තේ එක් කොල්ලකාරී අරමුනකි: එනම්, රුසියාව යටත් කිරීම, එය බිඳ දැමීම සහ එහි දැවැන්ත ස්වභාවික සම්පත් කොල්ලකෑම යි. අධිරාජ්‍යවාදී බලවතුන් තම අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට ෆැසිස්ට්වාදී පිටුබලය ලබන සෙලෙන්ස්කි තන්ත‍්‍රය භාවිතා කරන අතර, යුක්‍රේනයේ “ප්‍රජාතන්ත්‍රවාදය” සහ “ස්වෛරීභාවය” ආරක්ෂා කරන බවට මෙම බලවතුන් කරන ප්‍රකාශ බේගල් ය.

කොපමන ජීවිත බිලි දුන්න ද, එක්සත් ජනපදය යුක්‍රේන යුද්ධයේ පරාජයක් පිලි නොගනු ඇත. මන්ද එය දැනටමත් පිරිහී ඇති තම ගෝලීය ආධිපත්‍යය තව දුරටත් අඩපන කරන බැවිනි. රුසියාවට එරෙහි ගැටුම උත්සන්න කිරීම සඳහා බයිඩන් පරිපාලනය සහ එහි නැටෝ සහචරයින් ඩොලර් බිලියන ගනන් සහ නවීන ආයුධ පොම්ප කරන අතර, මුලුමහත් මානව සංහතියට සහ පෘථිවියට ම ව්‍යසනකාරී ප්‍රතිවිපාක සහිත, න්‍යෂ්ටිකව සන්නද්ධවූ ජාතීන් අතර නව ලෝක යුද්ධයක අන්තරාය මතු කරයි.

යුක්‍රේනයේ යුද්ධයට සහ රුසියානු කතිපයාධිකාරයේ අවශ්‍යතා නියෝජනය කරන පුටින් තන්ත‍්‍රය විසින් එරට ප‍්‍රතිගාමී ලෙස ආක‍්‍රමනය කිරීමට සසජාතශි මුල සිටම විරුද්ධ විය.

සසජාතශි සමග එක්වී, මෙම යුද්ධය අවසන් කිරීම සඳහා යුක්‍රේනයේ සහ රුසියාවේ ද ඇතුලුව ජාත්‍යන්තරව කම්කරුවන් හා තරුනයින්ගේ යුද විරෝධී මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

යුද්ධය සහ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය

අධිරාජ්‍යවාදී යුද ධාවනයේ මූලයන් ඇත්තේ ධනේශ්වර පද්ධතියේ මූලික ප්‍රතිවිරෝධතා තුල ය—එක් අතකින් ගෝලීය ආර්ථිකය සහ යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතර, සහ අනෙක් පැත්තෙන් සමාජයීය නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය අතර ය. වෙලඳාම, ස්වභාවික සම්පත් සහ මුහුදු මාර්ග අරබයා ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් අතර තරඟය පලමු හා දෙවන ලෝක යුද්ධවලට වඩා තියුනු වෙමින් පවතී.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගෝලීය ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීම සඳහා සිය සුපිරි මිලිටරි බලය ආක්‍රමනශීලී ලෙස භාවිතා කිරීමට උත්සාහ කරයි. යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න කරන අතරේ, එක්සත් ජනපදය චීනයට එරෙහි සිය ප්‍රකෝප කිරීම් සහ මිලිටරි වැඩකටයුතු වර්ධනය කරමින් සිටී.

මෙම මිලිටරි සූදානමට අනුකූලව, වොෂින්ටනය විසින් ඉන්දියාව චීනයට එරෙහි පෙරටු රාජ්‍යයක් බවට පරිවර්තනය කර ඇත. ශ්‍රී ලංකාව සහ අනෙකුත් දකුනු ආසියාතික රටවලට බීජිනය සමග ආර්ථික හා දේශපාලන සබඳතා බිඳ දැමිය යුතු බවට බල කරන වොෂින්ටනයට සහ නව දිල්ලියට, චීනයට එරෙහි ඔවුන්ගේ භූ-මූලෝපායික මෙහෙයුම් එම රටවල් විසින් මුලුමනින්ම වැලඳ ගැනීම අවශ්‍ය වෙයි. ඉන්දියන් සාගරයේ දියාගෝ ගාර්ෂියා හි දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපදය ප්‍රධාන නාවික කඳවුරක් පවත්වාගෙන ගොස් ඇත.

2023 පෙබරවාරි 4දා කොලඹ පැවති 75 වන නිදහස් දින උත්සවයේ දී සන්නද්ධ හමුදා ප්‍රධානීන් පෙරටු කොටගෙන පැමිනෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. (ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය) [Photo: Sri Lanka president’s media division]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්මන් පාලනය ඇතුලු කොලඹ ආන්ඩු, තමන් එක්සත් ජනපදය හා චීනය අතර 'මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්' අනුගමනය කරන ලෙස අවධාරනය කර ඇති නමුත්, ශ්‍රී ලංකා පාලක පන්තියේ අධිරාජ්‍ය ගැති වාර්තාව පෙන්නුම් කරන්නේ එවැනි සියලු ප්‍රකාශයන් රැවටිලිකාර සහ වංචනික බවයි.

මහජනතාවට හොරෙන්, ශ්‍රී ලංකාව, වොෂින්ටනය සමඟ අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුමක් (ඒසීඑස්ඒ) අත්සන් කර ඇත; එය දිවයිනේ වරායන්, ගුවන් තොටුපලවල් සහ අනෙකුත් සැපයුම් පහසුකම් භාවිතා කිරීමට එක්සත් ජනපද හමුදාවට ඉඩ සලසයි. එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් බලකාය සමඟ ශ්‍රී ලංකා හමුදාව ද ඒකාබද්ධ කර ඇති අතර ඉන්දීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ නිරන්තර අභ්‍යාස සිදු කරයි.

සසජාතශි මෙසේ ඉල්ලා සිටී:

  • එක්සත් ජනපදය සමඟ ඇති සියලු හමුදා ගිවිසුම් අහෝසි කරනු!
  • කිසිදු චීන විරෝධී හමුදා සන්ධානයක් එපා!
  • කලාපය තුල ඇති එක්සත් ජනපද හමුදා කඳවුරු ඉවත් කර ගනු!

යුද්ධය සහ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර

එක්සත් ජනපදය 2001 දී තම “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කිරීමේ සිට 2022 දී යුක්‍රේන යුද්ධය ආරම්භ වන තෙක්, මිලිටරිය සහ යුද්ධ සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 8 (රුපියල් ට්‍රිලියන 2,596 ක්) ඉක්මවා වියදම් කර ඇත. බයිඩන් පරිපාලනය දැන් යුක්‍රේන යුද්ධයට ඩොලර් බිලියන සිය ගනනක් පොම්ප කරමින් සිටින්නේ, මේ සඳහා—සහ මහා ව්‍යාපාරිකයන්ට සහන සඳහා—වන මුදල් කම්කරු පන්තියෙන් කොල්ලකමිනි.

මහා ධනේශ්වර සංගතවලට ඇප දීම සහ බදු සහන සඳහා කම්කරු පන්තිය ඇටපොත්තටම සූරාකනු ලැබේ. ජනවාරි මාසයේ දී නිකුත් වූ “ධනවත්ම තැනැත්තාගේ පැවැත්ම” නම් වූ ඔක්ස්ෆෑම් වාර්තාවකට අනුව, 2020 සිට නිර්මානය කරන ලද නව ධනයෙන් තුනෙන් දෙකක්ම පාහේ ධනවත්ම සියයට 1 විසින් අත්පත් කරගෙන ඇත; එය, ලෝක ජනගහනයෙන් පහලම සියයට 99 හි මුලු මුදල මෙන් දෙගුනයකට ආසන්නය.

කෝවිඩ්-19 වසංගතයෙන් ගෝලීය ධනවාදයේ අර්බුදය උග්‍ර කෙරුනු අතර, යුක්‍රේන යුද්ධයෙන් එය තවත් ගැඹුරු විය. රටක් රටක් පාසා, පාලක ප්‍රභූහු නිර්දය ලෙස කප්පාදු පියවර ගනිමින් මෙම අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පටවති. පන්ති අරගලයේ ඕනෑම නැගිටීමක් මැඩපැවැත්වීම සඳහා ආන්ඩු ඒකාධිපති පාලන රූපාකාරයන් කරා ගමන් කරමින් සිටිති.

තීව්‍ර වන මූල්‍ය අර්බුදයෙන් බැට කන ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථිකය පෙර නොවූ විරූ කඩාවැටීමකට මුහුනපා සිටින අතර, වික්‍රමසිංහ ආන්ඩුව ඩොලර් බිලියන 3 ක ඇප නයක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) වෙත හැරී ඇත.

ජාමූඅ රුදුරු නියෝග යටතේ, රජය සතු ව්‍යවසායන් 420 ක් දැන් පුද්ගලීකරනය හෝ වසා දැමීම සඳහා දංගෙඩිය මත තබා ඇත; එයින් අදහස් වන්නේ ලක්ෂ ගනනක් රැකියා විනාශ කිරීම, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව සහ දැඩි සේවා කොන්දේසි පැනවීමයි.

ජාමූඅ විසින් ඉල්ලා සිටින රාජ්‍ය වියදම් කප්පාදුවේ ප්‍රධාන ඉලක්කයන් වන්නේ මහජන අධ්‍යාපනය සහ සෞඛ්‍යය වේ. රජයේ පාසල් සහ විශ්ව විද්‍යාලවල දැඩි ගුරු හිඟයක් ද ඇතුලුව, ප්‍රමානවත් සම්පත් නොමැතිව පන අදින අතර, ආන්ඩුව පුද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාල සඳහා වැඩි ආයෝජනයක් ඉල්ලා ඇත.

මේ මස මුලදී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වාර්තාවක් හෙලි කලේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 55.7 ක් “බහුවිධ අවදානම් වලට ලක්විය හැකි” බවයි. අවම වශයෙන් පුද්ගලයන් 500,000 කට රැකියා අහිමි වී ඇත; ඔවුන්ගෙන් බහුතරය තරුන කම්කරුවන් ය.

උද්ධමනය සහ ඉහල යන ජීවන වියදම පාසල් හැර යන සංඛ්‍යාව වැඩි කිරීමට හේතු වී ඇත‍; රටේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් ආහාර හිඟයට ලක්ව ඇති අතර අර්ධකාලීන රැකියා සොයා ගැනීමට ඔවුන්ට බල කෙරී ඇත. එය ඔවුන්ගේ අධ්‍යාපනයට බරපතල ලෙස බලපායි.

වික්‍රමසිංහගේ “ආර්ථික ප්‍රකෘතියේ” ප්‍රකාශයන් කිසිවෙකු විශ්වාස නොකල යුතුය. ජාත්‍යන්තර බැංකුකරුවන්ට පැහැර හරින ලද නය ආපසු ගෙවීමට සහ ආයෝජකයින්ගේ ලාභ ඉහල නැංවීම සඳහා ආන්ඩුව නිර්දය ලෙස රජයේ වියදම් කපා හරිමින් ද සමාජ අයිතීන්ට පහර දෙමින් ද සිටී.

වික‍්‍රමසිංහගේ තන්ත‍්‍රය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි සිය ප‍්‍රහාරය වෙිගයෙන් ඉහල දමමින් සිටී. ප්‍රකාශනයේ නිදහස යටපත් කිරීම අරමුනු කරගත් අන්තර්ජාල (ඔන්ලයින්) ආරක්ෂන පනත් කෙටුම්පත (ඕඑස්බී) සහ කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ අරගල ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නිර්වචනය කර ඔවුන්ට දැඩි සිර දඬුවම් පැනවීමට ගෙන ආ නව ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත (ඒටීබී) මෙයට ඇතුලත් වේ.

ආන්ඩුව පිලිබඳ ඔවුන්ගේ කුහක හෙලාදැකීම් නොතකා, සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ජාමූඅ කප්පාදුවට කැපවී සිටී.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) සහ වෘත්තීය සමිති මෙම ප‍්‍රහාර ආපසු හැරවීම සඳහා ආන්ඩුවට බලපෑම් කල හැකි බව පවසමින් තම සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට සටන් වදින කම්කරුවන් හා සිසුන් පීලි පන්නමින් සිටී. කෙසේ වෙතත්, කුමන තරමක පීඩනයකින් වුව ද අර්බුදග්‍රස්ත ධනවාදයේ ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇත.

ධනේශ්වර පක්ෂ, ව්‍යාජ වාම කන්ඩායම් සහ වෘත්තීය සමිතිවල පිලිවෙත් ප්‍රතික්ෂේප කරන ලෙස සසජාතශි තරුනයන්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටී.

  • අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු ක්ෂේත්‍රයන්හි පුද්ගලීකරනය එපා!
  • අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට බිලියන ගනනින් වෙන් කරනු! සැමට නොමිලේ මහජන අධ්‍යාපනය සහ සෞඛ්‍යය!
  • රුදුරු ඕඑස්බී සහ ඒටීබී වලට විරුද්ධ වනු!

කම්කරු පංතිය වෙත සහ 21 වන සියවසේ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය වෙත හැරෙමු!

යුද්ධය අවුලුවන ධනවාදයේ වෛෂයික අර්බුදය ම ලෝක සමාජවාදී විප්ලවය සඳහා කොන්දේසි ද නිර්මානය කරයි. මේ වසරේ ප්‍රංශයේ මිලියන තුනකට අධික කම්කරුවන් ආන්ඩුවේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව සටන් කිරීමට පියවර ගත්හ.

එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස්, ෆෝර්ඩ් සහ ස්ටෙලන්ටිස් සමාගම්වල 150,000 කට වැඩි මෝටර් රථ කම්කරුවන්, හොඳ වැටුප් සහ වඩා යහපත් සේවා කොන්දේසි දිනා ගැනීම සඳහා සම්පූර්න වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යාම වැලැක්වීමට, බයිඩන් පරිපාලනය සමග සහයෝගයෙන් කටයුතු කරන යුනයිටඩ් ඔටෝ වර්කර්ස් නිලධරය ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෙබනනය සහ ආර්ජන්ටිනාව ඇතුලු රටවල කම්කරුවන් සහ දුගී ජනතාව ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහිව බලගතු අරගලවල නිරතව සිටිති.

පසුගිය වසරේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවන්, දුගී ජනතාව සහ තරුනයින් සහභාගි වූ මහජන නැගිටීමකින් ශ්‍රී ලංකාව දෙදරා ගියේය. රාජපක්ෂගේ පාලනය බිඳවැටීමත් සමඟ රටින් පලා යාමට සහ ඉල්ලා අස්වීමට එම නැගිටීමෙන් ඔහුට බලකෙරුනි.

2022 අප්‍රේල් 28 වැනි දින ශ්‍රී ලංකාවේ පැවති ආන්ඩු-විරෝධී උද්ඝෝෂන අතරතුර, මහනුවර රෝහල් සේවකයින් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සටන්පාඨ සහිත පුවරු රැගෙන යයි.

පෙසප හා අවිශිබම නායකයින්ගේ සහ අනෙකුත් ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටුබලය ලද වෘත්තීය සමිති විසින් මෙම අරගලය පාවා දුන්හ. ඔවුහු, අන්තර්වාර ධනේශ්වර ආන්ඩුවක් සඳහා සජබ සහ ජවිපෙ විසින් කරන ලද ඉල්ලීම් වලට සහයෝගය දැක්වීම කරා කම්කරුවන් හරවා යැවූහ. මේ දේශපාලන පාවාදීම වික්‍රමසිංහට බලයට ඒමට පාර කැපීය.

ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා කම්කරුවන්ගේ අරගල පෙන්නුම් කර ඇත්තේ සමාජයේ එකම විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය බව යි. ධනවාදයට එරෙහි අරගලයේදී තරුනයින්ට සහ පීඩිත ජනතාවට නායකත්වය සැපයිය හැක්කේ මෙම විප්ලවවාදී පන්තියට පමනි.

“වම” ලෙස ව්‍යාජව පෙනීසිටින, ඇමරිකාවේ ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා, ග්‍රිසියේ සිරිසා, ස්පාඤ්ඤයේ පෙඩොමොස්, ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ සහ සංවිධාන කම්කරු පංතියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් ක්‍රියාත්මක වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයේ ආධාරකරුවන් සහ ධනපති පක්ෂවල කොටස් ලෙස පමනකි.

පසුගිය සියවසේ මූලික ප්‍රශ්න—අධිරාජ්‍යවාදී යුද්ධය, ෆැසිස්ට්වාදය සහ සමාජවාදී විප්ලවය—මෙම සියවසේ න්‍යාය පත්‍රයට පැමින ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් නායකත්වය දෙන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, මෙම මූලෝපායික දේශපාලන හා ඓතිහාසික අත්දැකීම් ගැඹුරින් විශ්ලේෂනය කර, ධනවාදය අවසන් කිරීමට සහ සමාජවාදී අනාගතයක් කරා ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් සහ වැඩපිලිවෙලක් වර්ධනය කර ඇති එකම සංවිධානයයි. සසජාතශි යනු හජාජාක තරුන ව්‍යාපාරයයි.

යුද්ධයට හා සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට එරෙහි සටන ගෝලීය ධනවාදයට එරෙහි සටනකි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනකි. අද, එය ට්‍රොට්ස්කිවාදය සඳහා වන සටනයි.

  • 21 වන සියවසේ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය අධ්‍යනය කරමු!
  • කම්කරු පංතිය වෙත හැරෙමු!
  • සමාජවාදය සඳහා සටන් කරමු!
  • සසජාතශි සමග එක්ව එය ගොඩනඟමු!
Loading