ඉදිරිදර්ශන

ජපානය සහ දකුනු කොරියාව සමග බයිඩන්ගේ යුද සමුලුව

[මෙය Biden’s war summit with Japan and South Korea යන මැයෙන් 2023 අගෝස්තු 22 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2023 අගෝස්තු 18 වැනි සිකුරාදා, මේරිලන්ඩ් හි තර්මොන්ට් අසල, ජනාධිපති විවේක ස්ථානය වන කැම්ප් ඩේවිඩ් හි පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපති ජෝ බයිඩන් කතා කරන විට දකුනු කොරියාවේ ජනාධිපති යූන් සුක් යොල්, දකුනු පස සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සවන් දෙයි.[ ඡායාරූපය /Andrew Harnik AP] [AP Photo/Andrew Harnik]

පසුගිය සිකුරාදා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සහ දකුනු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් අතර පැවති කෑම්ප් ඩේවිඩ් සමුලුව, චීනය සමග යුද්ධයට එක්සත් ජනපදයේ වේගවත් ධාවනයෙහි අශුභ සන්ධිස්ථානයක් සනිටුහන් කලේය.

ආසියාවේ 'සාමය සහ ස්ථාවරත්වය' පවත්වා ගෙන යාමේ සහ 'චීනය වැලැක්වීමේ' මුවාවෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊසානදිග ආසියාවේ එහි ප්‍රධාන මිලිටරි සගයන් දෙදෙනා මිලිටරි සහ ආර්ථික සහයෝගීතාවයට එකඟවීමේ එකම අර්ථය වන්නේ යුද්ධය සඳහා සුදානම් වීමයි. මේවාට වාර්ෂික ඒකාබද්ධ යුද ක්‍රීඩා, පුලුල් වූ මිලිටරි බුද්ධි තොරතුරු බෙදාගැනීම, සැපයුම් දාම ඒකාබද්ධ කිරීම සහ අර්බුදවලට ප්‍රතිචාර දැක්වීම සඳහා නායකයින්ගේ ත්‍රෛ-මාර්ගික ක්ෂනික ඇමතුම් ඇතුලත් වේ..

ජපානයේ සහ දකුනු කොරියාවේ මිලිටරි සහයෝගීතාවය, දෙරටම ප්‍රධාන ඇමරිකානු කඳවුරු සහ දස දහස් ගනනක් මිලිටරි භටයින් සඳහා සත්කාරකත්වය දරයි. එය න්‍යෂ්ටික-සන්නද්ධ ප්‍රතිවාදියා සමග යුද්ධය සඳහා එක්සත් ජනපද සැලසුම් සඳහා අත්‍යවශ්‍ය වේ. ඕනෑම නූතන ගැටුමකදී සන්නිවේදනය සහ බුද්ධි තොරතුරු බෙදාගැනීම ඉතා වැදගත් වේ. එහෙත් චීනය සමඟ න්‍යෂ්ටික යුද්ධය සඳහා පෙන්ටගනයේ මූලෝපායට තීරනාත්මක වන ජපානයේ සහ දකුනු කොරියාවේ නවීන බැලස්ටික් නාශක මිසයිල පද්ධති සම්බන්ධීකරනය සඳහා එය විශේෂයෙන් වැදගත් වේ.

ජපානය විසින් කොරියාවේ කුරිරු යටත් විජිතකරනය විසින් ජනනය කරන ලද දිගුකාලීන සතුරුකම ජය ගැනීමට බයිඩන් සමත් වී ඇති බව ඇමරිකානු පාලක කවයන් තුල ප්‍රශංසාවට ලක්ව ඇත. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මතවාදී තීරු ලිපියක් එය “උතුරු කොරියාවෙන් සහ චීනයෙන් වැඩෙන තර්ජනවලට” එරෙහිව “නව ත්‍රෛපාර්ශ්වික සන්ධානයක්” කරා ගෙන යන ප්‍රධාන පියවරක් නියෝජනය කරන “ප්‍රධාන බයිඩන් ජයග්‍රහනයක්” ලෙස වර්නනා කලේය.

වෝල් ස්ට්‍රීට් ජර්නලය “උතුරු ආසියාවේ බයිඩන්ගේ සාර්ථකත්වය” සඳහා කතුවැකියක් කැප කලේ, සමුලුව “සංකේතවාදයේ සහ හරය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික සාර්ථකත්වයක්” ලෙස ප්‍රකාශ කරමිනි. “එක්සත් ජනපදය ජපානයේ සහ දකුනු කොරියාවේ ඉදිරිපෙල හමුදා යොදවා ඇති අතර, එක රටකට පහර දුන්නොත් එම හමුදා ඔවුන්ගේ බැරැක්කවල රැඳී සිටිනු ඇතැයි කිසිවෙකු සිතන්නේ නැත” යි ප්‍රකාශකරමින් තුන් බලවතුන් මිලිටරි ක්‍රියාමාර්ගයකට යොමු කොට නේටෝව වැනි ගිවිසුමක් ස්ථාපිත කිරීමට රැස්වීම අපොහොසත් වූ බවට එල්ල වූ විවේචන එය ප්‍රතික්ෂේප කලේ ය.

ඒ අතරම, එක්සත් ජනපද මිලිටරිය නංවාලීමට සහ චීනය ආර්ථික වශයෙන් හුදකලා කිරීමට ජපානය හා දකුනු කොරියාව සම්බන්ධ කර ගැනීම ට බයිඩන්ට තව බොහෝ දේ කල යුතු බව කතුවැකිය ප්‍රකාශ කලේය. “චීනය මිලිටරි හා ආර්ථික ආධිපත්‍යය ලබා ගැනීමට උත්සාහකරන කලාපයක, අශමනීය එක්සත් ජනපද මිලිටරි බලය සහ නිදහස් වෙලඳාම සමඟ එන බලපෑමට ආදේශකයක් නැත” යි එය ලිවීය.

උතුරු කොරියාව තර්ජනයක් ලෙස සඳහන් වුවද, එක්සත් ජනපදය ප්‍රමුඛ ත්‍රෛපාර්ශ්වික හමුදා සන්ධානයේ ප්‍රධාන ඉලක්කය චීනය බවට කිසිවෙකුට සැකයක් නැත. යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව උත්සන්න වන යුද්ධයක නොසැලකිලිමත් ලෙස නිරත වන විට පවා, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස චීනය සලකයි.

ට්‍රම්ප් පරිපාලනයේ ජාතික ආරක්ෂක උපදේශකයෙකු වන එල්බ්‍රිජ් කොල්බි සමඟ මේ මාසයේ ඩර් ස්පීගල් සඟරාව විසින් කල සම්මුඛ සාකච්ඡාවක ශීර්ෂ පාඨය වූයේ “මහා බලවතුන්ගේ ගැටුමේ එක්සත් ජනපද උපායමාර්ගය: ෂී පුටින්ට වඩා බෙහෙවින් භයානකය”. කොල්බි ( ඔහුගේ සීයා ජනාධිපති නික්සන් යටතේ සීඅයිඒ හි ප්‍රධානියා විය) “යුක්‍රේනයේ යුද්ධයේ බර යුරෝපීයයන් පමනක් උසුලන ලෙස ඉල්ලා සිටියි. චීනය සමඟ යුද්ධයකට සූදානම් වීමට එක්සත් ජනපදයට එහි සියලු සම්පත් අවශ්‍ය වේ,” යනුවෙන් ජර්මානු සඟරාව පැහැදිලි කලේය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් සහ 2014 එක්සත් ජනපදයේ පිටුබලය ලත් අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රනයෙන් පසුව නේටෝව කියෙව්හි රුසියානු දේශසීමා ආක්‍රමනය කිරීමේ ප්‍රතිඵලයක් වන යුක්‍රේන යුද්ධය ට මෙන්ම, චීනය සමග වැඩෙන එක්සත් ජනපද ගැටුම ට ද ගැඹුරු ඓතිහාසික මූලයන් ඇත.

1972 දී නික්සන්-මාඕ සහයෝගීතා රැස්වීමෙන් පසුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සෝවියට් සංගමයට එරෙහිව අවියක් ලෙස චීනය ගසාකෑවේය. ඉන්පසුව, චීන කොමියුනිස්ට් පක්ෂය ධනේශ්වර පුනස්ථාපනය වැලඳගත් විට, චීනය දැවැන්ත ලාභ ශ්‍රමයේ ප්‍රභවයක් ලෙස භාවිතා කරන ලදී. කෙසේ වෙතත්, චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වීමේ වර්ධනය ම වොෂින්ටනයේ ගෝලීය තත්වයට වල කැපීමට පටන් ගෙන තිබේ.

ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” සමඟින් චීනයට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජනපදයේ සූදානම ආරම්භ වූයේ ය.. එය ආසියාවේ චීන බලපෑම යටපත් කිරීමට, බීජිනය බැහැර කල ආර්ථික කඳවුරක් ඇති කිරීම, කලාපය පුරා එක්සත් ජනපද මිලිටරි හමුදා සහ සන්ධාන නංවාලීම ඉලක්ක කරගත් - රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ මිලිටරි ඇතුලු සකලාංග සහිත මුලෝපයකි. පෙන්ටගනයේ ගුවන් හා නාවික සම්පත්වලින් සියයට 60ක් ඉන්දු-පැසිෆික් කලාපයට වෙන්කරමින් මිලිටරි “ ප්‍රතිතුලනය” 2020 දී නිම කරන ලද අතර මිලිටරි ගොඩ නැගීම වේගවත්ව සිදුවෙයි.

Northeast Asia [ඊසානදිග ආසියාව] [Photo by NormanEinstein / CC BY-SA 3.0]

ට්‍රම්ප් පරිපාලනය ගැටුම අඛන්ඩව පෙරට ගෙනයමින් චීනයට දන්ඩනීය වෙලඳ තීරුබදු සහ ආර්ථික සම්බාධක පනවන ලද අතර බයිඩන් පරිපාලනය යටතේ ඒවා විශාල ලෙස පුලුල් කර ඇත. ඔබාමා යටතේ උප-ජනාධිපති ලෙස සේවය කල බයිඩන් 'ජාතික ආරක්ෂාව' නාමයෙන්, චීන අධි තාක්ෂනික කර්මාන්ත අඩපන කිරීම සහ ආර්ථික හා මිලිටරි ක්ෂේත්‍ර දෙකෙහිම ඇමරිකානු තාක්ෂනික ආධිපත්‍යය සහතික කිරීම සඳහා අපනයන තහනම් පනවා ඇත.

බයිඩන් ජපානය සහ දකුනු කොරියාව සමග ත්‍රෛපාර්ශ්වික සන්ධානයක් ගොඩ නැගුවේ, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමග අර්ධ මිලිටරි පෙලගැස්මක් වන සිව්පාර්ශ්වික ආරක්ෂක සංවාදය නොහොත් කොඩ් (QAUD) සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසුවය. මීට අමතරව, පසුගිය වසරේ ඔහු බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව සමඟ ඔකස් (AUKUS) ගිවිසුම විධිමත් කලේය. එය ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ප්‍රහාරක සබ්මැරීන සහ විශාල වශයෙන් පුලුල් කල මිසයිල හැකියාව ලබා දෙන අතරම, චීනය සමඟ යුද්ධයක් සඳහා දකුනු නැංගුරම බවට පරිවර්තනය කරමින් එක්සත් ජනපද හමුදාවන්ට එහි කඳවුරු තවදුරටත් විවෘත කලේය.

ආසියාවේ එක්සත් ජනපද මූලෝපාය යුක්‍රේන යුද්ධය සමග තවත් සමාන්තර කමක් ඇත. එය යුක්‍රේනය ආක්‍රමනය කිරීමට මොස්කව් පෙලඹවූවා සේම, එක්සත් ජනපදය, චීනය සමග එහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වන සමස්ත පදනම, එනම් තායිවානයේ තත්වය, හිතාමතාම යටපත් කරයි. වොෂින්ටනය, තායිවානය ඇතුලු සමස්ත චීනයේ තථ්‍ය නීත්‍යානුකූල ආන්ඩුව ලෙස බීජිනය පිලිගෙන ඇති, තනි චීනය (One China) ප්‍රතිපත්තිය ඉරා දමා ඇත. තායිවානය සමග ආර්ථික හා මිලිටරි විධිවිධාන ඉහල නැංවීම මගින් වොෂින්ටනය, දිවයින ආක්‍රමනය කිරීමට සහ යුද්ධයට කඩතුරාව සැපයීමට බීජිනයට හිරිහැර කරයි.

මිලියන ගනනකගේ ජීවිත බිලිගත් ව්‍යසනකාරී ගෝලීය ගැටුමකින් කූටප්‍රාප්තියට පත් වූ ආර්ථික කඳවුරු සහ මිලිටරි ගිවිසුම් ගොඩනැගීමත් සමග, දෙවන ලෝක යුද්ධයට පෙරාතුව පැවති උන්මත්තකාගාරයට ලෝකය වඩ වඩාත් සමාන වෙමින් තිබේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි සහචරයින්ගේ ආක්‍රමනශීලී මූලෝපායට ප්‍රතිචාර වශයෙන්, චීනය සහ රුසියාව එක්ව මෙහෙයවනු ලැබේ. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුනු අප්‍රිකාවේ නායකයින් සම්බන්ධ කරගනිමින් වත්මන් බ්‍රික්ස් සමුලුවේදී, චීන ජනාධිපති ෂී ජින්පින්, එක්සත් ජනපදය ප්‍රමුඛ ආර්ථික ආක්‍රමනයට එරෙහිව බ්‍රික්ස් ව්‍යාප්ත කිරීම සහ කන්ඩායමක් බවට පරිවර්තනය කිරීම සඳහා කැඳවුම් කරයි.

ලෝක යුද්ධය දෙසට ශීඝ්‍රයෙන් ඇද වැටීමට යටින් පවතින්නේ, එහි ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා කිසිවක් නතර නොකරන ඇමරිකානු අධිරාජ්‍යවාදය මත්තෙහි කේන්ද්‍රගත වූ ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදයයි. 2023 සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාත්‍යන්තර ගිම්හාන පාසලට ඔහුගේ හැඳින්වීමේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේය.

අර්බුදයේ මූලික වසයෙන් අස්තිත්වවාදී ස්වභාවය අවබෝධ කරගැනීමට, මෙම යුද්ධය හිතාමතා ම ඇවිලවීම සහ න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් වන රුසියාව හා චීනය යන රටවල් දෙකම සමග ගැටුම තීව්‍ර කිරීමේ ඉව බව නැති අධිෂ්ඨානය, හුදෙක් අතාර්කික ආක්‍රමනශීලීත්වයේ නිෂ්පාදනයක් පමනක් නො වන බව හඳුනාගැනීම අවශ්‍ය කරයි. 1930 ගනන්වල දී මෙන්, පාලක පන්තීහු යුද්ධය හරහා හැර ඔවුන්ගේ මෙම අර්බුදයෙන් එලියට වෙනත් මාවතක් දැක නො ගනිති. 1938 දී සංක්‍රමන ක්‍රියා මාර්ගයේ ආරම්භයේ ට්‍රොට්ස්කි ලියුවේ, පලමුවන ලෝක යුද්ධය අද්දර දී ටත් වැඩියෙන්, පාලක පන්තිය දෙවන ලෝක යුද්ධය වැලැක්වීමට අසමත් බව යි. එතරම් ම හදිසි භාවයකින් යුතු ව දැන් කිව හැක්කේ, දෙවන ලෝක යුද්ධය පුපුරා යාම නැවැත්වීමට අසමත් වූවාටත් වැඩියෙන්, උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ ධනපති ප්‍රභූන් තුන්වන ලෝක යුද්ධය වැලැක්වීමට අසමත් බව යි.

න්‍යෂ්ටික ලෝක යුද්ධයක් පුද්ගලයින් කෝටි ගනනකගේ මරනවලටත් එක්සත් ජනපදයේ විනාශයටත් -- එක්සත් ජනපදය තුල පමනක් මිලියන සියගනනක් පුද්ගලයින් බව අපි කිව යුත්තෙමු -- තුඩු දීමේ ඉහල හැකියාව ගැන බයිඩන් පරිපාලනය මුලුමනින් ම නො දැනුවත් නො වන බව යමෙක් උපකල්පනය කල යුතු ය. එහෙත්, මෙහි එක ම අර්ථය විය හැක්කේ, ඇමරිකානු ධනවාදයේ පැවැත්ම සඳහා වඩා තීරනාත්මක වන අරමුනු කරා ලඟා වනුවස් මුහුන දිය යුතු අන්තරායක් ලෙස පාලක ප්‍රභූන් විසින් න්‍යෂ්ටික යුද්ධය දැකගනු ලබන බව යි. තව ද පාලක පන්තියේ දෘෂ්ටි ආස්ථානයෙන් ගත් කල, ධනවාදය රහිත ඇමරිකාවක් රැකගැනීමට තරම් නො වටිනා රටකි.

කෙසේ වෙතත්, න්‍යෂ්ටික සමූලඝාතනයක ගිලුන ලෝකයක් අනිවාර්ය නැත. න්‍යෂ්ටික ගැටුමක් කරා ඇදෙන ධනවාදයේ එම ප්‍රතිවිරෝධතාම, කවරදාකටත් වඩා විශාල ආර්ථික බරක් දැරීමට බලකෙරෙන ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල අවුලුවනු ලබයි.

එවන් ව්‍යසනයක් නැවැත්වීමට නම්, යුද්ධයේ මූලාශ්‍රය සහ ඔවුන්ගේ ජීවන කොන්දේසිවලට එරෙහිව ගෙන යන පන්ති යුද්ධය එකක්ම බව කම්කරුවන් තේරුම් ගත යුතුය -ලාභ පද්ධතිය සහ ගෝලීය ආර්ථිකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බංකොලොත් බෙදීම. යුද්ධය වැලැක්වීම සඳහා ධනවාදය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කිරීමට අවශ්‍ය කෙරෙන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයකට වඩා අඩු දෙයක් අ නොවේ. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සටන් වදින විප්ලවවාදී ඉදිරිදර්ශනය එයයි.

අදාල අනෙකුත් ලිපි:

යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන

අ ධිරාජ්‍යවාදයට එරෙහිව කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනඟනු!

Loading