ජවිපෙ තරුන සංවිධානයේ පා ගමනට පොලිසිය ජල ප්‍රහාර එල්ල කරයි

ජූලි 23 දා ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) තරුන සංවිධානය වන සමාජවාදී තරුන සංගමය (සතස), 1983 ජූලි දෙමල ජන විලෝපනය අනුස්මරනය කිරීමට පැවැත් වූ විරෝධතා පා ගමනකට පොලිසිය ජල ප්‍රහාර එල්ල කලේ ය.

සමාජවාදී තරුන සංගමයේ විරෝධතා පා ගමනකට පොලිසිය ජල ප්‍රහාර එල්ල කරයි -ෆේස්බුක්

සතස කොලඹ විහාර මහා දේවි උද්‍යානයේ එලිමහන් රංග පීඨයේ “බෙදෙන්නට ඉඩ නොදෙමු එක් ව අපි පියාඹමු” යන මැයෙන් රැලියක් සංවිධානය කර තිබුනි. ඉබ්බන්වල හංදියේ සිට රැස්වීම් භූමියට පෙලපාලියකින් පැමිනි සතස ට පොලීසිය ජල ප්‍රහාරය එල්ල කලේ පෙලපාලිය සඳහා නිසි පොලිස් අවසරයක් ලබා ගෙන නැතැයි යන සන්දර්භය යොදා ගනිමිනි. රැස්වීමට සහ පෙලපාලියට එරෙහි ව දහසක පමන දැවැන්ත පොලිස් හමුදාවක් බලමුලු ගන්වා තිබුනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව එල්ල කරන ලද මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පොලිස් ප්‍රහාරය සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩිලෙස හෙලා දකී. කෙසේ නමුත්, ජවිපෙ හි ප්‍රතිගාමී ධනපති දේශපාලනයට කවර හෝ සහනයක් ලබාදීම ඉන් ඇඟවුම් නොකෙරේ. කොලඹ ධනේශ්වර සංස්ථාපිතයේ ම පක්ෂයක් වන ජවිපෙට එල්ල කෙරුනු මෙම ප්‍රහාරය කම්කරු-පීඩිත මහජනතාවගේ වැඩෙන අරගලවලට එරෙහිව මුදා හැරෙනු අති ම්ලේච්ඡත්වයේ පරිමානය පෙන්නුම් කෙරෙන අනතුරු ඇඟවීමකි.

ආන්ඩුව, එ දින ම, එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) ප්‍රධානත්වයෙන් 'උතුරු දකුනු සහෝදරත්වය' නම් වූ සංවිධානය බොරැල්ල කනත්ත ඉදිරිපිට මංසන්ධියේ සංවිධානය කර තිබුනු 1983 ජූලි විලෝපනයේ අනුස්මරනයට ද දහසකට අධික පොලිස් බලකායක් බලමුලු ගන්වා තිබුනි. සිංහල රාවය නම් සිංහල ස්වෝත්තමවාදී සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු යොදවා ගනිමින් ප්‍රකෝපකාරිත්වයක් අවුලුවා එම අනුස්මරනය කඩකප්පල් කර විසුරුවාලීමට පොලිසිය කටයුතු කලේ ය.

මෙම ප්‍රහාරයන් දෙක ම පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු විධානයන් ක්‍රියාවට දැමීමට අධිෂ්ඨාන වී සිටින ආන්ඩුව, තමාට එරෙහි කුමන ආකාරයක හෝ විරෝධතාවක් නොඉවසන බවයි. මහජන නැගිටීමක් ලෙස පසුගිය වසරේ පුපුරා ගිය දැවැන්ත සමාජ ආතතිය සමනය වී නැති අතර ආන්ඩුවේ සමාජ ප්‍රහාර හමුවේ ඒවා තවත් තියුනු වී ඇතිවාක් පමනි.

ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ මර්දනීය මෙවලම් සවිමත් කර ගනිමින් සමාජ ආතතිය යටපත් කර ගෙන සිටීමට වික්‍රමසිංහ උත්සහ කලද, ආන්ඩුවේ කප්පාදුවට සහ මර්දනයට එරෙහි ව කම්කරු පංතියේ අරගල රැල්ලක් වැඩෙමින් පවතිනුයේ, සමිති නිලධරයට ද එරෙහි කැරැල්ලක ස්වරූපයෙනි.

මේ තතු යටතේ ඉහත පොලිස් ප්‍රහාරයන් සම්බන්ධයෙන් කම්කරු පීඩිත මහජනතාව ගැඹුරින්ම උත්සුක විය යුතු ය. 1983 ජූලි 23 වැනි දා සිට දින කීපයක් දිවයින පුරා දෙමල ජනතාවට එරෙහි විලෝපනයක් දියත් කරමින් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ මැර කල්ලි නිදහසේ සැරිසැරුවේ රාජ්‍ය ආරක්ෂක අංශවල පූර්න අනුග්‍රහය සහිතවය. රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ඝාතනය වූ සංඛ්‍යාව 350ක් වූවද එහි සැබෑ අගය 3 000කට ආසන්න යැයි තක්සේරු කෙරෙයි. ලක්ෂ සංඛ්‍යාත දෙමල ජනතාවකට උන් හිටි තැන් සහ දේපල අහිමි විය.

එම වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියාව, 1980 ජූලි මහ වැඩවර්ජනය තලා දැමීමෙන් පසු, ජේ.ආර්.ජයවර්ධන ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩපිලිවෙල ඇතුලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරමින් සිටි ප්‍රහාර වලට එරෙහි ව කම්කරු පන්තිය යලි සංවිධානයවීම වැලැක්වීමේ පූර්ව භංග ප්‍රහාරයක් විය. වාර්ගික භේදකරනයන් නොතකමින් මහජනතාව එක්සත් වූ පසුගිය වසරේ මහජන නැගිටීමෙන් පසු වාර්ගික ප්‍රකෝපකරනයක් ඇවිලවීමට ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතිය මාන බලමින් සිටින තත්ත්වයක, 1983 රාජ්‍ය අනුග්‍රයෙන් දියත් කෙරුනු වාර්ගික ප්‍රචන්ඩත්වය ගැන කවර හෝ මහජන සිහිකැඳවුමක් වික්‍රමසිංහ ආන්ඩුව නොඉවසන බව මෙම ප්‍රහාර මගින් පෙන්නුම් කෙරෙයි.

කෙසේ නමුත්, ජවිපෙ විසින් ජූලි විලෝපනය අනුස්මරනය කරනු ලැබීම මුලුමනින්ම කුහකය. ජවිපෙ යනු, මෙම විලෝපනයත් සමගම දියත් කෙරුනු 26 වසරක දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයේ ප්‍රධාන උද්ඝෝෂකයෙකි, කසකරුවෙකි.

1965 දී ජවිපෙ බිහි වූයේ කොලඹ ආන්ඩුවල සිංහල බෞද්ධ වර්ගවාදයට අනුගත වූ සුලු ධනේශ්වර ව්‍යාපාරයක් වශයෙන් වන අතර එහි සමස්ත දේශපාලන ඉතිහාසය පුරා ම ක්‍රියාත්මක වී ඇත්තේ, පශ්චාත් යුද සමථයේ සංරචකයක් වශයෙන් හා ඉන්දු උපමහද්වීපයේ සමාජවාදී විප්ලවය ගබ්සා කරනු වස් අධිරාජ්‍යවාදීන් විසින් 1948 දී අටවනු ලැබුවා වූ ප්‍රතිගාමී ඒකීය රාජ්‍යයේ ආරක්ෂකයන් වශයෙනි.

1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු, කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් පන්නයේ වැඩකටයුතුවල නිරත වූ ව්‍යාපාරයක් බවට ම මෙම ඒකීය රාජ්‍ය රැක ගැනීමේ ව්‍යාපාරය වර්ධනය විය. එල්ටීටීඊ ය ඇතුලු දෙමල බෙදුම්වාදී ව්‍යාපාර පැන නැගුනේ, 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සන්ධාන ගතවී ලංකා සම සමාජ පක්ෂය සිදුකල මහ පාවාදීමෙන් නිර්මානය කෙරුනු දේශපාලන ව්‍යාකූලත්වය මැද කොලඹ ආන්ඩුවල සිංහල වර්ගවාදී පිලිවෙත්වලට එරෙහි ප්‍රතිචාරයක් වශයෙනි. දකුනේ තරුනයන් අතරින් ජවිපෙ පැන නැගීම ද මෙම දේශපාලන ව්‍යාකූලත්වයේ ප්‍රතිඵලයකි.

2009 අප්‍රේල් සිවිල් යුද්ධයේ අවසන් සටන්වල දී ගුවන් ප්‍රහාර සහ බර අවි ප්‍රහාර නතර කරන බවට කොලඹ ආන්ඩුව ප්‍රකාශ කරද්දී, නොනවත්වා බර අවි ප්‍රහාර එල්ල කරන ලෙස ආන්ඩුවට බල කරමින් ජවිපෙ නරුම උද්ඝෝෂනයක යෙදී ගත්තේය. එම ප්‍රහාරවලින් සති කීපයක් තුල 40 000කට අධික සිවිල් ජනයා ඝාතනය විය.

ජූලි විලෝපනය ගැන ජවිපෙ හෙලන කිඹුල් කඳුලු වලට කම්කරු පංතිය නොරැවටිය යුතුය. ජවිපෙ තවමත් ඒකීය රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව උක්ත රැලියේ දී එහි නායකයෙකු වන බිමල් රත්නායක නැවතත් සඳහන් කලේ ය.

ඔහු මෙ ලෙස පැවසීය: “රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගිහින් 13 (ව්‍යවස්ථා සංශෝධනය) ගැන කතා කරනවා. පලාත් සභා ක්‍රමය ලංකාවට ගෙන ආවේ බලෙන්. එය ජාතික සමගිය ඇති කරන්න අසමත් වෙලා තියෙනවා. නමුත් අපි බහුතරය පිලිගන්න දෙයක් තියෙනවා අද පලාත් සභා ක්‍රමය පවත්වා ගෙන යාමෙන් රට බෙදීමේ අනතුරක් ඇති වෙන්නේ නෑ. දෙමල මුස්ලිම් ජනතාවට ඒකෙන් ඇත්ත අයිතිවාසිකම් ලැබිල නැති වුනාට ඒක හරි තියෙන එක ගැන ඔවුන් තුල යම් කිසි පුංචි විශ්වාසයක් තියෙනවා.”

තමන්ගේම ආන්ඩුවක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නංවා ධනපති ක්‍රමය ආරක්ෂා කිරීම අරමුනු කරගෙන සිටින ජවිපෙ උත්සාහ දරන්නේ, ඒ සඳහා සුලු ජන වර්ගයන්ට අයත් ධනපති සහ ඉහල මධ්‍යම පන්තික කොටස්වල සහය තමන් වටා රැලි කර ගැනීමටයි.

කෙසේ නමුත්, කම්කරු පංතිය බෙදනුවස්, ආරම්භයේ සිටම සිංහල ස්වෝත්තමවාදී පදනමක ගොඩනගා ඇති කොලඹ ධනේශ්වර සංස්ථාපිතය, තමාසතු වරප්‍රසාද දෙමල ධනපති පංතිය අතර හෝ බෙදීයාමට සපුරා එරෙහි ය.

කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයේ පදනම මත වර්ගවාදී යුද්ධයට නිරන්තරයෙන් විරුද්ධ වූ එකම පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය (විකොස) යි. උතුරු හා නැගෙනහිරින් මිලිටරිය කොන්දේසි විරහිතව ඉවත් කිරීම වෙනුවෙන් පෙනීසිටි විකොස/ සසප, කම්කරු පන්තියේ වාර්ගික බෙදීම් ප්‍රවර්ධනය කල එල්ටීටීඊ බෙදුම්වාදයට ද විරුද්ධ විය.

දකුනු ආසියාවේ සමාජවාදී සමුහාන්ඩු සංගමයක් සඳහා සටනේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක ඉදිරිදර්ශනය මත සසප සටන් වදී.

Loading