“යුද්ධයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් සඳහා!”

සසජාතශි බර්ලින්හි හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ පාර්ලිමේන්තුවේ ආසන දෙකක් දිනාගනී

[මෙම ලිපිය ජූලි 6 වනදා IYSSE wins two seats in Berlin’s Humboldt University student parliament මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනය යි}

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගියදා ආසන දෙකක් සහිතව නැවතත් බර්ලින් හී හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලබාගත්තේය. සසජාතශි යුද්ධයට සහ මිලිටරිවාදයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන එකම කන්ඩායම ලෙස මැතිවරනයට සහභාගී වූ අතර පසුගිය අඟගරුවාදා ඡන්ද 47 ක් (සියයට 2.8) දිනාගත්තේය.

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරනය පැවැත්වූයේ යුක්‍රේනය තුල මිනීමරු නැටෝ වක්‍ර යුද්ධය සහ හිට්ලර්ගෙන් පසු ජර්මනිය දැවැන්තම සන්නද්ධකරන වැඩසටහන මධ්‍යයේ වන අතර සසජාතශි එම ප්‍රශ්න වලට විශේෂයන් ආමන්ත්‍රනය කලේය. “න්‍යෂ්ටික ලෝක යුද්ධයේ අන්තරාය වෙන කවරදාකටවත් වඩා අද වන විට මතුවී ඇත,” යනුවෙන් සසජාතශි සිය මැතිවරන ක්‍රියාමාර්ගය තුල අනතුරු ඇඟවීය.

“හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට අප නැවතත් තේරී පත් වීම දැවැන්ත වගේම තීරනාත්මක සාර්ථකත්වයක්” යැයි සසජාතශි හි ප්‍රමුඛ අපේක්ෂකයෙකු වන ග්‍රෙගර් කාල් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කීවේය. “අපි ජර්මානු ප්‍රභූවේ යුද ගැති පිලිවෙත් ගැන මෙන්ම යුක්‍රේනය තුල යුද්ධයේ පසුබිම ගැන සිය ගනනක් ශිෂ්‍යයින් සමහ සාකච්ඡා කලා. විශ්වවිද්‍යාලය තුල මිලිටරිවාදයට සහ බලහත්කාරීව ලබාගන්නා පක්ෂපාතීත්වයන්ට විරුද්ධ වන ලෙස අප කල කැඳවුමට බලගතු ප්‍රතිචාරයක් හිමිවුනා. විශ්ව විද්‍යාලයේ දේශන ශාලා තුල කතාකරන විට සහ සාකච්ඡා පවත්වන විට යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට ශිෂ්‍යයින් අතර ඊට බලගතු සහායක් පවතින බව අපට දැනගන්නට ලැබුනා. අපගේ උද්ඝෝෂනය යුද්ධයට එරෙහිව පවතින පලල් විරුද්ධත්වයට සවිඥානික දේශපාලන ප්‍රකාශනය ලබා දුන්නා.”

දක්ෂිනාංශික කන්ඩායම් විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ සහය සහිතව සසජාතශි මැතිවරන ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ගත් උත්සාහය හේතුවෙන් මෙම ප්‍රතිඵලය සැලකිය යුතු ලෙසම තීරනාත්මක එකකි. ඔවුන් සංවිධානාත්මකව සසජාතශි පෝස්ටර් සහ බැනර් විනාශ කල බැවින් ශිෂ්‍යයින්ට අප කන්ඩායමේ ක්‍රියාමාර්ගය සහ රැස්වීම් පිලිබඳව තොරතුරු දැන ගැනීමට නොහැකි විය. සසජාතශි හි මිලිටරිවාදයට විරුද්ධ ආස්ථානයන් “රුසියානු අධිරාජ්‍යවාදී” ලෙස නම් කරමින් යුක්‍රේන ජාතිකවාදීහු මඩ ගැසූහ.

ජර්මානු මිලිටරිවාදය සහ යුක්‍රේනය තුල නැටෝ වක්‍ර යුද්ධය පිලිබඳ කවර හෝ විවේචනයක් විශ්වවිද්‍යාල තුලින් ඉවත් කර දැමීමට ගෙන ගිය මෙම උත්සාහයට සසජාතශි දැඩි ලෙස විරුද්ධ විය. එය, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දක්ෂිනාංශික සහ මිලිටරිවාදී ආස්ථානයන් ගැන සිසුන්ගේ විවේචන යටපත් කිරීම සඳහා වසර ගනනාවක් තිස්සේ පරිසරය නිර්මානය කර ඇත්තේ කෙසේද යන්න පෙන්නුම් කරයි.

විශ්වවිද්‍යාල පාලනාධිකාරය සසජාතශි ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිත ස්වෙන් වර්ම්ට අන්ත දක්ෂිනාංශික මහාචාර්යවරයෙකු වන ජෝර්ජ් බබරොව්ස්කි සිදු කල කායික ප්‍රහාරය හෙලා දැකීම සහ ඒ සම්බන්ධයෙන් මහාචාර්යවරයාට එරෙහිව පියවර ගැනීම වසර ගනනාවක් තිස්සේ ප්‍රතික්ෂේප කොට ඇත. එබැවින් සසජාතශි, ශිෂ්‍යයින්ගේ සහය සහිතව, හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ සභාපති ජූලියා වොන් බ්ලූමැන්තල්ට එරෙහිව ජූනි මාසයේදී විනය චෝදනා පත්‍රයක් ගොනු කලේය.

දක්ෂිනාංශික අන්තවාදී මහාචාර්ය ජෝර්ජ් බබරොව්ස්කි හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ වාමාංශික සිසුන්ට පහර දෙයි

බ්ලූමැන්තල් ට එරෙහිව විනය චෝදනා පත්‍රයේදී වර්ම් මෙසේ සඳහන් කලේය: “මෙම දක්ෂිනාංශික අන්තවාදී දෘෂ්ටිවාදය, ශිෂ්‍ය මැතිවරන දැන්වීම් ඉරා දමන සහ ශිෂ්‍යයින්ට කායිකව පහරදෙන දක්ෂිනාංශික අන්තවාදී ක්‍රියාකාරිකයෙකු ලෙස විශ්වවිද්‍යාලය තුල සැරිසැරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය වගකිව යුතුය. එය, නැගෙනහිර යුරෝපීය ඉතිහාස අංශයේ බබරොව්ස්කි දැරූ සභාපති ධූරය යටතේ වසර ගනනාවක් තිස්සේ වර්ධනය කල රැඩිකල් දක්ෂිනාංශික ව්‍යූහයන් ආරක්ෂා කරමින් සහාය දුනි. වොන් බ්ලුමැන්තල් දැන් එම ක්‍රියාවලිය අඛන්ඩව ඉදිරියට ගෙන යමින් සිටී.”

“විශ්වවිද්‍යාල පාලනාධිකාරය දක්ෂිනාංශික මහාචාර්යවරුන්ට සහ ක්‍රියාධරයින්ට විශ්ව විද්‍යාලය පුරා සැරිසැරීමට දේශපාලනික බලපත්‍රයක් ලබා දීම සහ සිසුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ඉඩ හැරීම සැලකිය යුතු සිසුන් පිරිසක් කම්පනයට ලක් කලේය” යනුවෙන් කාල් මේ සම්බන්ධයෙන් සඳහන් කලේය. “ජර්මනියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක් තුලදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ විවේචනයන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය දියත් කිරීම සියලු ශිෂ්‍යයින්ගේ ප්‍රජාතන්ත්‍රිය අයිතීන්ට එල්ල කල ප්‍රහාරයක් වන අතර, එයට ජාත්‍යන්තර අර්ථභාරයක් ඇත.'

බබරොව්ස්කි අන්ත දක්ෂිනාංශයේ දෘෂ්ටිවාදියෙකු වන අතර ජාත්‍යන්තරවම නාසි අපරාධ වලට සුදු හුනු ගෑම සහ හිට්ලර් සුලු කොට තැකීම සම්බන්ධයෙන් කුප්‍රකටය. ජූනි 26 වනදා සසජාතශි මැතිවරන රැස්වීම විශ්වවිද්‍යාල දකුනට තල්ලු වීම ක්‍රමානුකූලව වර්ධනය කොට ඇති ආකාරය සහ එය ෆෙඩරල් ආන්ඩුවේ යුද ගැති පිලිවෙත් දෘෂ්ටිවාදාත්මකව හැඩ ගස්වා ඇති ආකාරය ගැන සාකච්ඡා කලේය. සසජාතශි, සතියකට පෙර, යුක්‍රේනය තුල යුද්ධයේ ඓතිහාසික හා සාමාජීය හේතු විශ්ලේෂනය කල අතර යුද්ධයට සහ සන්නද්ධකරනයට එරෙහිව යුක්‍රේනයේ, රුසියාවේ සහ ලෝකය පුරා කම්කරුවන් ඒකාබද්ධ කිරීම සඳහා සමාජවාදී ක්‍රියාමාර්ගය විස්තාරනය කලේය.

සසජාතශි අපේක්ෂක ග්‍රෙගර් කාල් ශිෂ්‍ය මැතිවරන කමිටු විවාදයේදී සසජාතශි හී සමාජවාදී දේශපාලනය පැහැදිලි කරමින්

ශිෂ්‍ය මැතිවරන කමිටුව සංවිධානය කල විවාදයකදී, කාල් රුසියාව සහ නැටෝ සංවිධානය අතර න්‍යෂ්ටික ගැටුමක අන්තරාය මතු කරමින් වර්ධනය වෙමින් පවතින තුන්වන ලෝක යුද්ධය ගැන සඳහන් කලේය. මෙම වාතාවරනයට ප්‍රතිවිරුද්ධව සසජාතශි හි සමාජවාදී ඉදිරි දර්ශනය සහ හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් වන බබරොව්ස්කි සහ හෆ්‍රෙයිඩ් මුන්ලර් ගේ දේශපාලනය සමග ප්‍රතිමුඛ වීමේ දේශපාලන වැදගත්කම ඔහු පැහැදිලි කලේය. ඉන් පසුව ඔහු ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයේ පවතින පටු දේශපාලනික රාමුව බිඳ දැමීමට සහ යුද්ධයට එරෙහිව සටන පෙරට ගැනීමට ඉදිරියට එන ලෙස කැඳවුම් කලේය.

සසජාතශි උද්ඝෝෂනය එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ පංති අරගලය පිලිබඳ සැමුවෙල් ටිසොට් සහ ලන්ඩනයේ සිට සහභාගී වූ තෝමස් ස්ක්‍රිප්ස්ගේ වාර්තා සහිතව සඳුදා පැවැත්වුනු ජාත්‍යන්තර රැස්වීමකින් කුලු ගැන්විනි. ටිසොට් සහ ස්ක්‍රිප්ස්, අරගල ජාතිකවාදී සහ වෘත්තීය රේඛාවන් ඔස්සේ බෙදීම සඳහා ජාතික වෘත්තිය සමිති නිලධරය සහ ව්‍යාජ වාම සුලු ධනේශ්වර පක්ෂ සහ ඔවුන්ව ආරක්ෂා කරන්නන් මූලික ක්‍රියාකලාපයක් ඉෂ්ට කරන බව පැහැදිලි කලේය.

සසජාතශි අපේක්ෂක ක්‍රිස්ටෝපර් කාමිස් “යුරෝපය තුල වැඩෙන වැඩ වර්ජන රැල්ල සහ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරි දර්ශනය” රැස්වීම අමතයි

සසජාතශි අපේක්ෂක ක්‍රිස්ටෝපර් කාමිස් තම කතාව මෙසේ අවසන් කලේය: “යුද්ධයට සහ ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සුන්දර සිහිනයක් නොව සං‍යුක්තව වර්ධනය වන්නකි. හතරවන ජාත්‍යන්තරයේ තරුන සංවිධානය ලෙස අපි මෙම ව්‍යාපාරයට නායකත්වය දීමට සහ එය ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයකින් ඒකාබද්ධ කිරීමට සටන් වදින්නෙමු. යුද්ධය නැවැත්වීමට ඇති එකම මාවත මෙයයි. මම ඔබ සැමට මෙම සටන සමග ඒකාබද්ධ වන ලෙස සහ සසජාතශිට බැඳෙන ලෙස කැඳවුම් කරමි.”