ශ්‍රී ලංකා බලශක්ති වෘත්තීය සමිති සම්මේලනය, ලංකා විදුලිබල මන්ඩලයේ “සැබෑ ප්‍රතිව්‍යුහගත කිරීමක්” ඉල්ලා සිටී

[මෙම ලිපිය ජූනි 29දා Sri Lanka power unions conference demands “real restructuring” of Ceylon Electricity Board මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනය යි.]

ජූනි 21 දා, ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (ඒවෘසස), කොලඹ විහාර මහාදේවී උද්‍යානයේ එලිමහන් රංග පීඨයේදී, 'විකිනීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම' යන මැයෙන් වූ සම්මන්ත්‍රනයක් පැවැත්වීය.

2023 ජූනි 21 වැනි දින පැවති වෘත්තීය සමිති සම්මේලනයට සහභාගී වූ ලංකා විදුලිබල මන්ඩල සේවකයින්ගෙන් කිහිපදෙනෙක් [ඡායාරූපය: ලෝසවෙඅ]

හදිසි අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගන්නා විදුලි බලාගාර පවත්වාගෙන යන්නන් හැර අනෙකුත් ලංවිම සේවකයින් එදින ලෙඩ නිවාඩු විරෝධතාවක් පැවැත්වූ නමුත්, සමුලුවට සහභාගී වූයේ 26,000 ක් වූ ශ්‍රම බලකායෙන් 1,500 කට ආසන්න පිරිසක් පමනි. මෙම අවස්ථාවට සහභාගී වූයේ ඉතා සුලු කොටසක් පමනක් වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, මෑතකාලීන පාවාදීම් හේතුවෙන් කම්කරුවන්ට මෙම වෘත්තීය සමිති කෙරෙහි එතරම් විශ්වාසයක් නොමැති බවයි.

ඒවෘසස සමන්විත වන්නේ, ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේසං), ලංවිම හි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේසං), ජාතික සේවක සංගමය (ජාසේසං), පාරිභෝගික සම්බන්ධීකරන නිලධාරීන්ගේ සංගමය (පාසනිසං) සහ ඉංජිනේරු සංගමය ඇතුලු දුසිම් දෙකකට වැඩි සංගම් වලිනි. පලමු වෘත්තීය සමිති තුන පිලිවෙලින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂවලට අනුබද්ධ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ඉල්ලා සිටින පරිදි, ලංවිම සහ තවත් රජය සතු ව්‍යවසායන් (රසව්‍ය) සිය ගනනක් පුද්ගලීකරනය කිරීමට වික්‍රමසිංහ ආන්ඩුවේ පියවරයන්ට එරෙහිව වැඩෙන කම්කරු පන්තියේ විරෝධය මධ්‍යයේ වෘත්තීය සමිති සන්ධානයට සම්මේලනය කැඳවීම සඳහා බල කෙරුනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග සමග මූලික වෙනස්කම් නොමැති ලංවිම වෘත්තීය සමිති, ලංවිම පුද්ගලීකරනය කරන බවට ආන්ඩුව ප්‍රකාශ කිරීමෙන් පසු මාස ගනනාවක්ම නිහඬව සිටියහ.

ආන්ඩුව ලංවිම පුද්ගලීකරනය කිරීමට උත්සාහ කලහොත් 'දැවැන්ත අරගලයක්' ඇති වනු ඇති බවට සම්මන්ත්‍රනය ඇමතූ වෘත්තීය සමිති නායකයෝ වාචාල ලෙස ප්‍රකාශ කලද, පසුව රාජ්‍ය ව්‍යවසායයේ 'සැබෑ ප්‍රතිව්‍යුහගත කිරීමක්' සමග සම්පූර්න සහයෝගීතාවය පල කලහ.

ශ්‍රීලංනිසේසං ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් පැවසුවේ වෘත්තීය සමිති “නිවැරදි වෙනසකට” සහාය දෙන බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය: “ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකියි. අපි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ සේවකයන්ගේ පවතින ප්‍රතිලාභ සුරක්ෂිත වන ආකාරයේ ප්‍රතිව්‍යුහගතකිරීමක් කරන ලෙසයි.”

වැඩවර්ජනයට සමගාමීව අනධ්‍යන කම්කරුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ පැවැත්වූ විරෝධතාවක් [ඡායාරූපය: ලෝසවෙඅ]

වෘත්තීය සමිති ආන්ඩුවට ලංවිම විකිනීමට ඉඩ නොදෙන බව පවසා සිටි ලංවිසේසං ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්, අනෙකුත් වෘත්තීය සමිති නායකයින්ට කියා සිටියේ: “මෙන්න අරගලයේ මේජර්ලා සහ සාජන්ට්ලා! ඔවුන් ලංවිම පෞද්ගලීකරනයට ඉඩ දෙන්නේ නැති බවට කිසිම සැකයක් නෑ. පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ සමාගම් මේ රටට ආවොත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ.”

මෙම කථා හිස් ප්‍රලාපවලට වඩා වැඩි දෙයක් නොවේ. ඒවායේ සැලසුම, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ආන්ඩුව සමග වෘත්තීය සමිතිවල සහයෝගීතාවයෙන් අවධානය වෙනතකට හැරවීම ය. කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ කොන්දේසි වල වියදමින් සමාගම 'ලාභ ලබන' ආයතනයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ලංවිම වෘත්තීය සමිති නිලධරය මුලුමනින්ම කැපවී සිටී.

සමුලුවේදී යෝජනා දෙකක් සම්මත විය: එකක් පුද්ගලීකරනයට එරෙහිව සහ ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දැක්වීමටත්, අනෙක ජාතික වෘත්තීය සුදුසුකම් (එන්වීකිවු) ආයතනයේ අනියම් සේවකයන්ගේ රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා සිටීමටත් ය.

ලංවිම සාමාන්‍ය සේවකයින්ට ඔවුන් මුහුන දෙන කිසිදු ගැටලුවක් ගැන තබා, යෝජනා ගැන කතා කිරීමට පවා කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැත. යෝජනා ඒකමතිකව සම්මත වූ බව ප්‍රකාශ කල වෘත්තීය සමිති නිලධරයන්, ඒවා ඡන්දයට ඉදිරිපත් කරන ලදී.

පලමු යෝජනාවෙන් ඉල්ලා සිටියේ මෙයයි: “ලංකා විදුලිබල මන්ඩලය පමනක් නොව, රටේ සමස්ත බලශක්ති ක්ෂේත්‍රයම නඟාසිටුවීම සඳහා... සංවිධානාත්මක, සැලසුම් සහගත සහ කාලානුරූපී ප්‍රතිව්‍යුහගත කිරීමක්... පෞද්ගලීකරනයෙන් හෝ කොටස් විකුනා දැමීමකින් තොරව, සැලසුම් සහගතව සහ ප්‍රායෝගික කාල රාමුවක් තුල විධිමත් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් සඳහා පූර්න සහයෝගයක් මෙම සමුලුව යෝජනා කරයි.”

ඒවෘසස සම්මේලන යෝජනාව, අනෙකුත් රාජ්‍ය ආයතන වන ටෙලිකොම්, රක්ෂන, වරාය සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් නිකුත් කරන ලද ප්‍රකාශයන්ම ප්‍රතිරාවය කරමින්, පුද්ගලීකරනය 'ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්' බව ප්‍රකාශ කලේය.

කෙසේ වෙතත්, පාලක ප්‍රභූ පැලැන්තිය මෙන්ම වෘත්තීය සමිති නිලධරයන් ද සඳහන් කරන ජාතික ආරක්ෂාව, කම්කරු පන්තිය හා ශ්‍රමික ජනතාව ආරක්ෂා කිරීම සමග කිසිදු සම්බන්ධයක් නැත. එහි අර්ථය නම්, ධනවාදය සහ එහි රාජ්‍ය යාන්ත්‍රනය ආරක්ෂා කිරීමයි.

වික්‍රමසිංහ ආන්ඩුවේ ඇමති මන්ඩලය 'ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලැස්මක් සහ කාලසටහනක්' අප්‍රේල් මාසයේදී අනුමත කරන ලද අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම මාසයේ කැබිනට් මන්ඩලයට සිය ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීමට නියමිතය. එහි සැලසුම් යටතේ විදුලිබල මන්ඩලය ඒකක 15 කට බෙදා වෙනම සමාගම් ලෙස විකුනා දමනු ඇත.

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන, සමස්ත ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ සැලසුම් මැයි 17දා මාධ්‍ය වෙත පැහැදිලි කලේය.

'ප්‍රතිපත්තියේ අරමුන වන්නේ [රසව්‍ය] පරිවර්තනය කිරීමත්, ඒවා පිරිවැය පරාවර්තීය ප්‍රතිපත්තියක් (“cost-reflective policy” හෙවත් භාන්ඩයේ සම්පූර්න වටිනාකම පාරිභෝගිකයා විසින් ගෙවන ප්‍රතිපත්තිය-පරිවර්තක) [සමග] ... වෙලඳපලට දිශාවනති කිරීමට' මිස, රටට හෝ අයවැයට බරක් නොදීම බවයි. ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුන “දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂනය කර ගැනීමට … පරිසරයක් නිර්මානය කිරීම” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වික්‍රමසිංහගේ 'වෙලඳපොල-දිශානතිගත' න්‍යාය පත්‍රය ජනගහනයට එරෙහි දැවැන්ත සමාජ ප්‍රහාරයක් වන අතර එය මිලියන භාගයකට වැඩි රාජ්‍ය සේවකයින්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට බරපතල ලෙස බලපායි. විදුලිය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාන්ඩවල පිරිවැයේ තියුනු වැඩිවීමක් සමඟ එය සම්බන්ධ වේ. විදුලි ගාස්තු 2022 අගෝස්තු මාසයේ දී සහ මෙම පෙබරවාරි මාසයේ දී පිලිවෙලින් සියයට 75 කින් සහ සියයට 66 කින් වැඩි කෙරිනි.

පසුගිය සැප්තැම්බරයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මාධ්‍ය වෙත පැවසුවේ, ලංවිම 26,000 කින් යුත් ශ්‍රම බලකාය ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් (වීආර්එස්) හරහා සියයට 50 කින් හෙවත් රැකියා 13,000 කින් අඩු කල හැකි බවයි. වියදම් සහ ශ්‍රම බලකාය තවදුරටත් කප්පාදු කරන්නේ කෙසේද යන්න පිලිබඳ මූල්‍ය හා මානව සම්පත් විගනනයක් සිදු වෙමින් පවතී.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ, ජූනි 21 සමුලුවට සහභාගී වන ලංවිම කම්කරුවන් සමග “ශ්‍රී ලංකා ආන්ඩුව රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනයට විරුද්ධ වනු! රැකියා සහ වැටුප් සඳහා සටන් කිරීමට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනමු!” යන මැයෙන් වූ පක්ෂයේ ප්‍රකාශය බෙදා හරිමින් කතා කලහ. පෞද්ගලීකරනයට සහ අනෙකුත් ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කරන්නේ කෙසේදැයි ඔවුහු සාකච්ඡා කලහ. ප්‍රතිව්‍යුහගත කිරීම, වෘත්තීය සමිතිවල සහ ධනේශ්වර දේශපාලන පක්ෂවල ක්‍රියාකලාපය පිලිබඳව කම්කරුවන් කිහිප දෙනෙක් සිය අදහස් ප්‍රකාශ කලෝ ය.

සසප සාමාජිකයෙක් (වමේ), ජූනි 21 කොලඹ පැවති වෘත්තීය සමිති සම්මේලනයේදී ලංකා විදුලිබල මන්ඩල කම්කරුවන් සමග පක්ෂයේ වැඩපිලිවෙල පිලිබඳව සාකච්ඡා කරයි. [ඡායාරූපය: ලෝසවෙඅ]

පාරිභෝගික සම්බන්ධීකරන නිලධාරියෙකු පැහැදිලි කලේ, ලංවිම කලමනාකාරීත්වය විසින් කම්කරුවන්ට කිසියම් විරෝධතාවයකට සහභාගී වීම නැවැත්වීම සඳහා සීමා පනවා ඇති බවයි. “රාජකාරී අතරතුර විරෝධතාවලට සහභාගී වීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කලේ මීට දින කිහිපයකට පෙරයි. ඒ නිසා මේ සමුලුවට සහභාගි වෙන්න මට මගේම නිවාඩුවක් ගන්න සිද්ධ වුනා,” ඔහු පැවසීය.

සම්බන්ධීකරන නිලධාරියා වෘත්තීය සමිති නායකත්වයේ ප්‍රකාශයන් නිසා ව්‍යාකූල වී සිටි අතර ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරනය නොවන බව විශ්වාස කලේය. 'අපි පෞද්ගලික අංශයට ඉඩ නොදී ඉහල සිට ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කල යුතුයි,' ඔහු පැවසීය.

ප්‍රතිව්‍යුහගත කිරීම පුද්ගලීකරනය කරා යන පලමු පියවර බව සසප සාමාජිකයින් පැහැදිලි කිරීමෙන් පසු ඔහු මෙසේ පැවසීය: “[ලංවිම] පෞද්ගලීකරනය කලහොත් අප කොදුකැඩෙනකල් වැඩ කරන්න වගේ ම අපට නිවසේ සිට පවා වැඩ කිරීමට සිද්ධ වේවි. පෞද්ගලීකරනයෙන් පස්සේ අපිට විශ්‍රාම වැටුපක් දෙනවා කියලා ඇමතිවරයා මවාපෑවත් අපි ඒ බොරුව පිලිගන්නේ නැහැ.”

නය සහ අනෙකුත් අඩුකිරීම් කපා ගැනීමෙන් පසු ස්වේච්ඡාවෙන් ඉවත් කිරීමේ යෝජනා ක්‍රමය රුපියල් මිලියන 2 නොඉක්මවන බව ඔහු පැවසීය. “අපේ විශ්‍රාම වැටුප නැති වුනොත් මේ මුදලින් අපි මොනවා කරන්නද?” ඔහු විමසීය.

කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලයේ ජනන සැලසුම් අංශයට අනුයුක්තව සේවය කරන තවත් සේවකයෙක් පැවසුවේ, පුද්ගලීකරනය කම්කරුවන්ට සහ සෙසු ජනගහනයට දැඩි ලෙස පහර දෙන බවයි. 'පෞද්ගලික සමාගම් ලාභය ගැන පමනක් සැලකිලිමත් වන නිසා අපගේ රැකියා අහිමි වෙලා, බදු වැඩි කිරීමත් එක්ක මිනිසුන්ට දහ දුක් විඳීමට සිදුවනු ඇත,' ඔහු පැවසීය.

රත්නපුර මනු කියවන්නෙක් වෘත්තීය සමිති සහ ඔවුන් ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රවර්ධනය කිරීම හෙලා දුටුවේය. 'ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ පෞද්ගලීකරනයම තමයි' ඔහු පැවසීය. 'ආන්ඩුව සහ වෘත්තීය සමිති උත්සාහ කරන්නේ කම්කරුවන් සහ ජනතාව රැවටීමටයි.'

සසප සාමාජිකයෝ ඔහුට පසුගිය වසරේ මහජන නැගිටීම සහ රාජපක්ෂ ආන්ඩුව බලයෙන් නෙරපා හරින ලද අප්‍රේල්-ජූලි මහා වැඩවර්ජන ගැන සිහිපත් කලහ. කෙසේ වෙතත්, වෘත්තීය සමිති, අන්තර්වාර ආන්ඩුවක් සඳහා ධනේශ්වර සමගි ජන බලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුනෙන් කල ඉල්ලීම් පිටුපසට ව්‍යාපාරය අපසරනය කලේ ය.

'වර්ජනය දිගටම පැවතුනේ නම්, බොහෝ වෙනස්කම් සිදුවෙන්න තිබුනා, නමුත් එය අතරමග නතර වුනා,' මනුකියවන්නා පැවසීය. “ඔව්, වෘත්තීය සමිති විවිධ මාර්ගවල යනවා, ප්‍රතිලාභ වෙනුවෙන් තමන් යටත් වෙනවා. ඒ නිසා මේක අපිට අවාසියක්.”

කම්කරුවන්ට තම රැකියා, වැටුප් සහ කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සිදු වූ බව සසප සාමාජිකයින් පැහැදිලි කලේය. සාකච්ඡාවකින් පසු ඔහු විදුලිබල මන්ඩලයේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීම අවශ්‍ය බවට එකඟ විය.

කොලඹ කැලනිතිස්ස බලාගාරයේ සේවකයෙක් වෘත්තීය සමිති හා ධනේශ්වර දේශපාලන පක්ෂ හෙලා දුටුවේය.

“වෘත්තීය සමිති සටන් කරන්නේ අපේ අයිතීන් ආරක්ෂා කිරීමට නෙවෙයි. තවමත් අපට පසුගිය අවුරුද්දේ ප්‍රසාද දීමනාව සහ වෛද්‍ය දීමනාව ගෙවලා නැහැ. ඒ වගේම උසස්වීම් අත්හිටුවලා. ආන්ඩුවට බලපෑම් කරලා පෞද්ගලීකරනය නතර කරන්න බැහැ කියන එක මම පිලිගන්නවා. පෞද්ගලීකරනයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය වුනත් වෘත්තීය සමිති එවැන්නක් කරන්න ලෑස්ති නෑ. ඔවුන් පසුගිය වසරවල අපේ අරගල පාවලා දුන්නා,” ඔහු පැවසීය.

කිසිදු ධනේශ්වර පක්ෂයක් කෙරෙහි තමාට විශ්වාසයක් නොමැති බව විදුලි බලාගාර සේවකයා පැවසීය. 'ඔවුන් හැමෝම අපිව රවට්ටනවා,' ඔහු පැවසීය. 'දේශපාලන තත්වය සහ කම්කරුවන් මුහුන දෙන ගැටලු පිලිබඳව මම ඔබෙන් වැදගත් කරුනු ඉගෙන ගත්තා. ඔබේ පක්ෂය සහ එහි වැඩපිලිවෙල ගැන වැඩිදුර අධ්‍යයනය කිරීමට මට අවශ්‍යයි.'

වික්‍රමසිංහ ආන්ඩුවට සහ එහි ජාමූඅ වැඩපිලිවෙලට එරෙහිව ඒකාබද්ධ අරගලයකින් තොරව කම්කරු පන්තියට පුද්ගලීකරනය නැවැත්විය නොහැක. මේ සඳහා සෑම වැඩපලකම, කම්හලකම, වතුකරයේ සහ කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශයකම වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ. ඒ සඳහා ශ්‍රී ලංකාව පුරා සහ ජාත්‍යන්තරව සිටින කම්කරුවන්ගේ එකමුතුව අවශ්‍ය ය.

වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි අරගලය ධනේශ්වර රාජ්‍යයට එරෙහි සටනකි. අවශ්‍ය වන්නේ බැංකු හා සංගත, කම්හල් සහ වතු පොදු අයිතියට හා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම ඇතුලු සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකි.

Loading